කලාව

හෙළයන්ගේ අංගම්පොරට සමාන ලංකා මුස්ලිම්වරුන්ගේ චීන අඩි සටන් ශිල්පය

චීන අඩි

ලංකාවේ තිබෙන පැරණි ම සටන් කල දෙක වන්නේ අංගම්පොර සහ චීන අඩි ය. චීන අඩි සටන් කලාව මීට වසර 1600කට පමණ පෙර බෞද්ධ චීන මුණිවරු ලංකාවට පැමිණෙද්දි ගෙන එනු ලැබූ සටන් කලාවක් යැයි සැලකේ. මෙම සටන් කලාවට වැඩි අවධානයක් යොමු වූයේ ඉංග්‍රීසීන් විසින් අංගම්පොර තහනම් කිරීමෙන් පසු ය. මෙම සටන් කලාව ලංකාවේ මුස්ලිම්වරු අතර විශේෂයෙන් ප්‍රචලිත සටන් කලාවකි. ලංකා මුස්ලිම්වරුන්ගේ සංස්කෘතික අනන්‍යතාවයේ එක් අංගයක් වශයෙන් ද එය සැලකේ. කාලාන්තරයක් තිස්සේ මෙම සටන් කලාව ආරක්ෂා කරමින් දියුණු වන්නේ මුස්ලිම්වරුන්ගේ ගුරුහරුකම් මධ්‍යයයේ ය.

චීන අඩි, චීනාඩි, චයිනඩි, චයිනාපුඩි යන විවිධ නම්වලින් හැඳින්වෙන මෙම සටන් කලාව තුළ අංගම්පොර සටන් කලාවට බොහෝ සමානකම් තිබෙන නිසා මේ සටන් දෙක ම එක ම සටන් කලාවක් යන පටලවිල්ලක් ඇතැමුන් අතර පවතී. එනිසා මෙම ලිපියෙන් අපි උත්සහ කරන්නේ චීන අඩි සටන් කලාවේ ආරම්භය, විකාශය සහ එහි භාවිතය පිළිබඳව තොරතුරු පාඨක ඔබ වෙත ළඟා කිරීමට ය.

චීන අඩි සටන් කලාවේ උපත

චීන අඩි සටන් කලාව ලංකාවේ මුස්ලිම්වරු අතර බිහි වූ සටන් කලාවක් යන මතය මුස්ලිම්වරු ප්‍රබලව දරති. නමුත් චීන අඩි සටන් කලාව බිහි වූ ප්‍රදේශ සහ ස්වරූප පිළිබඳ මත දෙකක් තිබේ. එක් මතයකට අනුව චීන අඩි ආරම්භ වූයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා ප්‍රදේශයේ ය. ත්‍රිකුණාමලය වරාය අතීතයේ පටන් සමෘද්ධිමත් වෙළඳ වරායකි. එම වරාය ආශ්‍රිත ප්‍රදේශවල මුස්ලිම්වරු ජනාවාස වී වෙළඳාම් සිදුකළහ. වර්තමාන කින්නියා ප්‍රදේශය බිහි වී ඇත්තේ ඔවුන්ගෙනි. එම වරායට ව්‍යාපාරික කටයුතු සඳහා චීනුන් ද නිතර ආ ගියහ. එනිසා එහි ස්ථානයකට චීන බොක්ක යන නම ද ලැබී ඇත. මෙසේ ව්‍යාපාර සඳහා ත්‍රිකුණාමලයට පැමිණි චීනුන්ගෙන් එහි වාසය කළ මුස්ලිම්වරු හදාරා ඇත. පසුකාලීනව එය ආත්මාරක්ෂක සටන් ශිල්පයක් වශයෙන් මුස්ලිම්වරු අතර දියුණු වී ඇත.

මීලඟ පිරිසට අනුව එය බේරුවල ප්‍රදේශයේ බිහි වූ කලාවකි. අතීතයේ සිට ම බේරුවල මැණීක් වෙළඳාමට ප්‍රසිද්ධියක් ඉසිලූ සක්‍රීය වරාය නගරයකි. එහි මැණික් වෙළඳ ඒකාධිකාරය මුස්ලිම්වරු අතෙහි විය. බේරුවල මැණික් වෙළඳාම සියතට ගැනීමට චීනුන් උත්සහ කර ඇති අතර බේරුවල මුස්ලිම්වරු ඔවුන්ගේ සටන් ශිල්පය භාවිතයෙන් චීනුන්ට පහර දී පළවා හැර ඇත. එහි විසූ මුස්ලිම්වරු අතර යුනානි වෙද ශිල්ප, නිල ශාස්ත්‍ර ආදි දැනුම භාවිතයෙන් දියුණු කරගත් සටන් ක්‍රමයක් පැවතියේ ය. එනිසා චීන අඩි (අඩි යනු පහර දීමයි) යන නම මෙම සටන් කලාවට ලැබුණු බව මේ මතය ඉදිරිපත් කරන්නෝ පවසති. බේරුවල ප්‍රදේශයේ චීන කොටුව යන නමින් ප්‍රදේශයක් තිබීමත් ඔවුන්ගේ මෙම මතයට ශක්තියක් සපයයි.‍

චීන අඩි බිහි වීම පිළිබඳ මීළග මතය වන්නේ, එය දකුණු ඉන්දියාවේ බිහි වූ කලාවකි යන්න ය. මලබාරයේ විශේෂයෙන් මලයාලිවරු අතර පැවැති මෙම සටන් කලාව ලංකාවට සංක්‍රමණය වී ඇත. දකුණු ඉන්දි‍යාවෙන් පැමිණි මෙම කලාව මුහුදබඩ ප්‍රදේශවල ජීවත් වූ පිරිස් ආරක්ෂා කර දියුණූ කර ඇත. ලිපිකරුට අනුව මෙම මතය පිළිගත හැකි මතය වන නමුත් මේ සම්බන්ධයෙන් විද්‍යාත්මක පර්යේෂණයක් සිදු නොකොට ස්තීරව ම කීම උගහට ය. කෙසේ නමුත් මෙම සටන් ක්‍රමය තවමත් දකුණූ ඉන්දියාවේ මලයාලිවරු අතර ප්‍රචලිත තිබෙන බැවින් එහි යම් සත්‍යතාවක් තිබිය හැකි ය. මෙරට මුස්ලිම්රු හා මලබාරය අතර සමීප වෙළද සබඳතාක් 13වන ශතකයේ සිට ම පැවත ඇත. එමෙන් ම 16 වන සියවසයේ මලබාර මුස්ලිම්වරු සැලකිය යුතු සංඛ්‍යාවක් මෙරට තුළ ජනාවාස වී ඇත. එබැවින් මෙම කලාව දකුණු ඉන්දියාවෙන් පැමිණි කලාවක් යැයි අනුමාන කළ හැකි ය.

චීන අඩිවල ලක්ෂණ.

මෙම සටන් කලාව තුළ චීන සංයුතියකට වඩා මලයාලම් සටන් හරඹවල සංයුතිය බහුලව තිබෙනවා. ඉන්දීය සටන් විශ්ලේෂකයන් මෙම සටන් කලාව දකුණු ශෛලියේ සටන් කලාවක් වශයෙන් හඳුනා ගන්නවා. කෙසේ නමුත් එහි ආරම්භක මුල් ඇදී යන්නේ චීනුන්ට ය. එනිසා කුඩා ශරීරයක් හිමි කඩිසර චීනුන්ගේ වේගවත් පියවර, ක්ෂණික පහර ආදි ලක්ෂණ චීන අඩිවල බහුලයි.

කුඩා ශරීරයක් හිමි චීනුන්න්ගේ ආත්මාරක්ෂක සටන් බහුතරය විශාල ශක්තියක් වැය නොකර තාක්ෂණිකව ආත්මාරක්ෂාව සපයා ගන්නා සහ ප්‍රතිමල්ලවයා වෙහෙසට පත් කිරීමේ ශීල්පයන් ය. මේ මූලධර්මය මත බිහි වූ සටන් කලාවක් වශයෙන් ද චීන අඩි හඳුනාගන්න පුළුවන්. චීන අඩි ශිල්පිය වෙහෙසකාර පහර දීම්වලට යොමු නොවී සතුරා පරාජය කිරීමට අවශ්‍ය කුසලතා ප්‍රගුණ කරගන්නවා.

චීන අඩි කලාවේ තිබෙන මීලඟ විශේෂත්වය වන්නේ මෙම සටන් ක්‍රමයේ තිබෙන ප්‍රහාරයන් සියල්ල ප්‍රතිමල්ලවයා අසලට ම පැමිණ පහර දීම ය (Close Range Fight). අනෙකුත් සටන් කලා කොතරම් ප්‍රශස්ත මට්මට ප්‍රගුණ කලත් ප්‍රතිමල්ලවයාට පහර දීමට කිසියම් දුර ප්‍රමාණයක් අවශ්‍ය වනවා. කඩු හරඹ වුවත් බොක්සින්, ජූඩෝ ආදී ක්‍රීඩාවල වුවත් ප්‍රතිමල්ලවයාට පහර දීමට දුර ප්‍රමාණයක් අවශ්‍ය වනවා. නමුත් චීන අඩි ශිල්පියාට එවැනි දුරක් අවශ්‍ය නොවේ. ඔහු ප්‍රතිමල්ලවයා අසලට ම පැමිණෙන ප්‍රහාර එල්ල කිරීමේ තාක්ෂණික ක්‍රම ප්‍රගුණ කර තිබෙන අතර ම ඔහු අසලට ම පැමිණ සිටින නිසා තව චීනඩි ශිල්පියෙකුට මිස කිසිවෙකුට ඔහුට පහර දීම අපහසු ය.

චීන අඩි ඉගෙන්වීම් ප්‍රධාන වර්ගීරකරණය තුනකට බෙදිහිය හැකියි. අතින් පහර දීම් (Punches) මෙය සතුරා අසලට ගොස් එල්ල කරන ප්‍රහාරයවන් ය. දෙවනුව පයින් පහර දීම් (Kicks). මෙහි දී පා පියවර (Foot Steps) වැදගත් තැනක් උසුලයි. තුම්මුල්ල පනිනවා යන කියමන ප්‍රචලිතව තිබෙන්නේ මෙම සටන් කලාවේ තිබෙන සතුරාගේ පිටුපසට වේගයෙන් යන පියවර ය. තෙවැන්න වන්නේ ආයුද සමඟ කරන සටන් ය. මුස්ලිම්වරු අතර ආයුද සමඟ කරන සටන් කඩු හරඹ වශයෙන් සහ පොලු හරඹ වශයෙන් තනි සටන් කලා දෙකක් වශයෙන් දියුණු වී තිබෙනවා.

අනෙකුත් සටන් කලා සේ ම චීන අඩි සඳහා ද විවිධ රටා තුළින් සටන් ක්‍රමයේ අන්තර්ගත ආවේණික පහරවල් පුහුණු වීම කළ යුතු වනවා. ඒ අනුව මෙම සටන් කලාව ගුරුන්නාන්සේ කෙනෙක්, වාත්තියාර් කෙනෙක් නොහොත් මාස්ටර්වරයෙකුගෙන් ප්‍රගුණ කරගත යුත්තක්. (බොහෝදුරට මාස්ටර් යන යෙදුම වෙනුවට අන්නාවි යන නම භාවිත වනවා) අංගම්පොර මෙන් මෙය එක් පරම්පරාවකට හෝ පවුලකට ආවේණික ශිල්පයක් නොවන නිසා පොදුවේ ඕනෑ ම අයෙකුට පුහණු විය හැකියි. මෙම සටන් කලාවට මුල්කාලීනව නිශ්චිත ප්‍රමිතයක් නොතිබූ අතර පසුකාලීනව දකුණු ආසියාතික කලාපයේ පැවැති විවිධ සටන් ක්‍රමවල ලක්ෂණ එක්කරගනිමින් නව සටන් කලාවක් වශයෙන් මෙරට තුළ තහවුරු වී තිබෙනවා. චීන අඩි ශිල්පය තුළ මුෂ්ටි පහරවල්, විවෘත අත්ල පහරවල්, ඇඟිලි තෙරපීම්, නළල පහරවල්, මිටිය පහරවල්, වැලමිට පහරවල්, දණහිස් පහරවල්, දණහිස පහරවල්, පයින් පහරවල් සන්ධි අගුල් ආදි විවිධත්වයන් ඇතුළත් වනවා.

චීන අඩි සම්බන්ධයෙන් සම්මත ප්‍රමිතයක් විධිමත් ක්‍රමයක් නොමැති නිසා අන්නාවිගෙන් අන්නාවිට චීන අඩි රටා ආදිය වෙනස් වන ස්වභාවයක් ද දක්නට ලැබෙනවා. කෙසේ නමුත් මෙම ශිල්පය පුහුණුවන්නනන්ගෙන් කිසිසේත් අවභාවිත නොකරන බවට අන්නාවි ප්‍රතිඥාවක් ලබා ගැනීම සිදු වනවා. ඒ අනුව චීන අඩි ශිල්පියෙක ඉවසීමෙන් සහ වගකීමෙන් කටයුතු කිරීම අපේක්ෂා කෙරෙනවා. චීන අඩි ආරම්භ කෙරෙන්නේ සලාම් කීමෙන් වීමත් විශේෂත්වයක්. ඒ අනුව චීන අඩි ශිල්පය තුළ ඉස්ලාමීය ලක්ෂණ ගැබ් වෙලා තියෙනවා. චීන අඩි සටන් කලාවක් නොව ක්‍රීඩාවක් ය යන මතයක් ද තවත් පිරිසක් ඉදිරිපත් කරනවා.

වර්තමාන ව්‍යාප්තිය

මීට දශක දෙක තුනකට ඉහත චීන අඩි බහුලව පුහුණු කරන ලද ශිල්පයක් විය. විනෝදාස්වාද ක්‍රීඩාවක් ලෙස විවේක වේලාවන්හි ‍මෙහි නිරතවනු ලැබුණි. නමුත් රූපවාහිනිය, ගුවන්විදුලිය, ජංගම දුරකතනය ආදී උපාංග බිහි වීම මෙවැනි ශිල්ප වෙත යොමු වීමෙන් තරුණ පරම්පරාව වළක්වනු ලැබූවේ යැයි චීන අඩි පුහුණු වූ වැඩිහිටි පරපුරු චෝදනා කරති. එමෙන් ම කරාටි, කුන්ෆු, වුෂු ආදී සටන් කලා සම්බන්ධයෙන් චිත්‍රපටි ආදියෙන් ලද ප්‍රචලිතතාව නිසා ද දේශීය සටන් කලා කෙරෙහි තිබූ උනන්දුව ක්‍රමයෙන් හීන වී ඇත.

කෙසේ නමුත් නැගෙනහිර කලාපයේ මුස්ලිම්වරු අතර තවමත් මෙම ශිල්පය පුහුණුවන පිරිස් සිටිති. ආරාධිත අමුත්තන් පිළිගැනීම, සංචාරකයන් පිළිගැනීම ආදි අවස්ථා සඳහා ද ඔවුහු චීන අඩි ශිල්පයේ පියවරයන් ප්‍රදර්ශනය කරනු ලබයි. එමෙන් ම මීගමුව ප්‍රදේශයේ කන්දූරි ආදී උත්සව අවස්ථාවන්වලත් චීන අඩි සටන් ප්‍රදර්ශනය කරනු ලබයි. චීන අඩි මුස්ලිම්වරුන්ගේ සංස්කෘතික අනන්‍යතාවක් බැවින් එය ආරක්ෂා කිරීමේ වගකීම රජය විසින් මුස්ලිම් සංස්කෘතික කටයුතු දෙපාර්තුමෙන්තුවට පවරා ඇත. කෙසේ නමුත් මෙම සටන් කලාවේ වේගයෙන් අභාවයට යන සංස්කෘතික උරුමයක් බව පෙන්වා දිය හැකි ය.

සටහන සකීෆ් සාම්.

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *