කලාව

පෘතුගීසීන්ට හිසරදයක් වූ මනමාල මුස්ලිම් (මාපුල්ල මුස්ලිම්) හමුදාව.

පෘතුගීසීන්ට හිසරදයක් වූ මනමාල මුස්ලිම් (මාපුල්ල මුස්ලිම්) හමුදාව.

අප රට අද තිබෙන තත්වයට පත්ව තිබෙන්නේ ඉතාමත් අසීරු කාලවකවානුවක් ගෙවමින් ගමන් කිරීමෙන් පසුවයි. එම ගමන තුළ මුණගැසුනු යුරෝපීය රටවල පාලනය එක්තරා දුරටක අප රටේ සමාජ, ආර්ථික, ආගමික හා ශිෂ්ඨාචරික විපරිවර්තනයකට ඍජුව බලපෑවේ ය. 1505 වසර සිට 1948 දක්වා වසර 450ක පමණ කාලයක් පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි ජාතිකයන් අප රට යටත් විජිතයක් ලෙස පාලනය කළහ. පොදුවේ රටටම බලපාන ප්‍රතිපත්තියක් එම පාලකයන් සතු තිබුණි. එහෙත් මෙරට වෙසෙන එක් එක් ජනකණ්ඩායම් කෙරෙහි යටත් විජිත පාලකයන් අනුගමනය කළ ප්‍රතිපත්ති එකිනෙකට වෙනස් විය. මෙම ලිපිය වෙන් වන්නේ පෘතුගීසි පාලකයන් මුස්ලිම් ප්‍රජාව කෙරෙහි දැක්වූ ආකල්පය සහ මුස්ලිම්වරු ඒවාට දැක්වූ ප්‍රතිචාර පිළිබඳවයි.

ඉන්දියන් සාගරයට පිවිසි පළමු පෘතුගීසි ජාතිකයා ලෙස සැලකෙන්නේ වස්කෝ ද ගාමා ය. වස්කෝ ද ගාමා පැමිණීමට පෙර පෙරදිග වෙළදාම මුලුමනින්ම අයත් වී තිබුණේ මුස්ලිම්වරු අතෙහි ය. මුස්ලිම්වරු අති දක්ෂ නාවිකයෝ වූ බැවින් පෙරදිග වෙළද ආධිපත්‍යය නිසර්ගයෙන් මුස්ලිම්වරු සතු විය. වෙළදාම සම්බන්ධයෙන් සහ නාවික කටයුතු සම්බන්ධයෙන් මුස්ලිම්වරුන්ට අභියෝග කළ හැකි කිසිදු ජාතියක් 16 වන සියවස තෙක් ලොව නොවූහ. පසුකාලීනව අනාවරණය කරගෙන තිබෙන්නේ 1498 වසරේ වස්කෝද ගාමා රැගත් නැව පවා අප්‍රිකාව වටා ගොස් සුභපැතුමේ තුඩුව පසුකර ඉන්දියන් සාගරයට පිවිසීමට සමත් වූයේ එම නැවේ කපිතාන්වරයා අරාබි ජාතික මුස්ලිම්වරයෙක් වූ හෙයිනි. වස්කෝ ද ගාමා පැමිණෙන කාලයේ ඉන්දියන් සාගරය ආරක්ෂා කිරීම දකුණු ඉන්දීය රාජ්‍යයක් වූ සැමෝරින් (වර්තමාන කේරළය ආශ්‍රිතව) පාලකයෝ කරමින් සිටියේ ය.

සැමෝරින් රාජ්‍යයේ නාවික හමුදාව සන්නද්ධ වී තිබුණේ දක්ෂ මුස්ලිම් නාවික බලඇනියකිනි. සැමෝරින් යනු වර්තමාන දකුණු ඉන්දියාවේ කේරල ප්‍රාන්තය ආශ්‍රිතව තිබුණු රාජ්‍යයකි. එහි මුස්ලිම්වරු අරාබි හා ද්‍රවිඩ මිශ්‍ර පිරිසක් වන අතර ඔවුන්ව අරාබියෙන් අරූස් ලෙසත් දෙමළින් මාපුල්ල මුස්ලිම් ලෙසත් හඳුන්වෙයි. අරූස් හා මාපුල්ල යනු මනමාලයා යන්නයි. සැමෝරින් බලඇණිය සැකසී තිබුණේ මාපුල්ල මුස්ලිම්වරුන්ගෙනි. එනම් කුන්ජලි මරික්කාර්වරුන්ගේ නායකත්වයෙනි. අවස්ථා කිහිපයක දී ම ඉන්දියුනු සාගරයට ඇතුළු වූ පෘතුගීසී නැව්වලට ප්‍රහාර එල්ල කර පළවා හැරීමට ඔවුහු සමත් වූහ. එහෙත් පෘතුගීසීන් සන්තකයේ තිබුණු නවීන තාක්ෂණික යුද ආම්පන්න හමුවේ සැමෝරින් නාවික බලඇණිය අභිබවා පෙරදිග රටවල් අත්පත් කරගැනීමට ඔවුන්ට හැකි විය. එහෙත් කුන්චලි මරික්කාර්වරුන්ගේ හමුදා මුලුමනින්ම පරාජය කර දැමීමට සියවසයක කාලයක් පෘතුගීසීන්ට ගත විය. ඒ අතර කාලය තුළ කුන්චලි මරික්කාර් නාවිකයන් අතින් පෘතුගීසීන්ගේ නැව් විශාල සංඛ්‍යාවක් විනාශ වී නාවිකයන් සෑහෙන ප්‍රමාණයන් ඝාතනය වී සිටියහ. අවසානයේ ඔවුන් පරාජය කිරීමට හැකි වූයේ සිව්වන කුන්චලි මරික්කාර් සහ සැමෝරින් රාජා අතර ඇති වූ මත භේදයකින් පසු පෘතුගීසීන් සහ සැමෝරින් රජුගේ හමුදාව සිව්වන කුන්චලි මරික්කාර් සහ ඔහුගෙ පිරිස වටලා අත්අඩංගුවට ගැනීමත් සමඟය.  එය සිදු වූයේ ක්‍රි.ව 1600 වසරේ දීය.

පුරා දශක කාලයක් ඉන්දියන් සාගරයේ පෘතුගීසීන්ට හිසරදයක් වූ කුන්චලි මරික්කාර්ගේ මුපුල්ල මුස්ලිම් නාවික බලඇණිය පෘතුගීසීන් ලංකාවට පැමිණීමට විරුද්ධවත් මෙහෙයුම් දියත් කළහ. සැමෝරින් නාවික හමුදාවන්ගේ සහාය මායාදුන්නේ සහ පළමුවන රාජසිංහ රජුට නිතර ලැබිණි. එනිසා 1593 වසරේ පළමු රාජසිංහ රජු මරණයට පත්වන තුරුම හමුදා බලයෙන් මෙරට පාලන බලය අත්පත් කරගැනීමට පෘතුගීසීන්ට නොහැකි විය. පෘතුගීසීන් මෙරට ශක්තිමත් පදනමක් තනා ගැනීමට සමත් වූයේ සැමෝරින්ගේ නාවික හමුදාවන් මගින් එල්ලවූ තර්ජන අවසන් වීමෙන් පසුවයි.

මෙරට පා තැබූ පළමු පෘතුගීසි ජාතිකයා ලොරෙන්සෝ ද අල්මේ දා ය. ඔහු මෙරටට පැමිණීම පිළිබඳ අදහස් දෙකක් පවති. ඉන් පළමුවැන්න මලබාර වෙරළ තීරයේ බලය තහවුරු කරගත් පෘතුගීසීන් තවදුරටත් මුස්ලිම්වරුන්ගේ වෙළඳාම විනාශ කර දැමීමේ අටියෙන් මාලදිවයින මුහුඳු තීරයේ මුස්ලිම් වෙළඳාමට ප්‍රහාර එල්ල කිරීම පිණිස මුස්ලිම් වෙළඳ නැව් පන්නාගෙන පැමිණි අවස්තාවක ඔවුන්ගේ නැව කුණාටුවකට හසුවී ගසාගෙන විත් ගාලු මුවදොටරට සේන්දු විය. දෙවන අදහසට අනුව ඉන්දියාවේ පෘතුගීසීන් තහවුරු වී සිටි කොචින්හි සිට නැවියන් 300ක් සමඟ ලොරෙන්සෝ ද අල්මේදා පිටත් වී කොළඹට ලඟා වී ඇත. (1)

1505 දී පැමිණී පෘතුගීසීන් කෝට්ටේ රාජධානිය සමඟ මුල්ම සබඳතා ආරම්භ කළහ. ඔවුන් මෙහි පැමිණෙන මොහොත වන විටත් යාපනය, මහනුවර, සීතාවක සහ කෝට්ටේ යනුවෙන් රාජධානි හතරක් ක්‍රියාත්මක වෙමින් තිබුණි. මේ අතරින් වැදගත්ම රාධානිය කෝට්ටේ වූ අතර මුස්ලිම්වරු ප්‍රධාන වශයෙන් කෝට්ටේ රාජධානිය තුළ වෙළඳාම් කරමින් සිටියහ. එවකට කෝට්ටේ පාලකයා හත්වන විජයබාහු රජුය. පෘතුගීසීන් කෝට්ටේ රජු සමඟ ගිවිසුමකට එළඹුණේ ය. නමුත් වෙළඳාමේ නියුතු මුස්ලිම්වරුන්ට පෘතුගීසීන් සිංහල රජු මුණගැසීම ප්‍රිය නොවූ අතර සැතපුම් කොළඹ වරාය සිට සැතපුම් හතක් පමණක් කෙටි දුරක පිහිටි කෝට්ටේ රජවාසලට දින තුනක් තිස්සේ දීර්ඝ මාර්ගයකින් රැගෙන යෑමට මුස්ලිම්වරු කටයුතු කළේ පෘතුගීසීන් නොමග යැවීමේ අදහසිනි. පරංගියා කොට්ටේ ගියා වගේ යන පිරුළ නිර්මාණය වන්නේ මෙම සිදුවීමෙන් පසුවයි. පසුව පෘතුගීසී නියෝජිතයන් ඔවුන්ව නොමග යවා ඇති වග වටහා ගත්හ. කෙසේ වෙතත් පෘතුගීසි නියෝජිතයා සහ සිංහල රජු අතර ගිවිසුමක් අත්සන් කරනු ලැබුණි. විජයබාහු රජුගේ දුර්වලත්වයත් පෘතුගීසීන්ට වාසියක් විය. මුල්කාලයේ වෙළඳ සබඳතා පමණක් පැවැත්වූ ඔවුනට රාජ්‍ය බලය අවශ්‍ය නොවීය. පසුව කුරුඳු පාලනය ලබා ගැනීම සඳහා පාලන බලය ලබා ගැනීමට පෘතුගීසීන් උත්සහ ගත්හ.

පෘතුගීසීන් අනපේක්ෂිත අයුරින් දිවයිනට පැමිණීම නිසා එතෙක් පැවති සාකාමී වෙළඳ ද්‍රව්‍ය හුවමාරුවට මරු පහරක් එල්ලවිණි. ආගම, දේශපාලන සහ වාණිජ කටයුතු පිළිබඳ අංශවල දී පෘතුගීසීන් සහ මුස්ලිම්වරුන් පරම හතුරන් වූ අතර, කිසිදු තරඟයකින් තොරව තනි වෙළඳ ආධිපත්‍යයක් භුක්ති විඳිමින් තමන් ගත කළ කාලය අවසන් වූ බැව් මුස්ලිම්වරුන්ට හැඟී ගියේ ය. ස්වලබ්ධිකයනට පෘතුගීසීන් විසින් නැගෙනහිර අප්‍රිකාවේ දී සහ ඉන්දියාවේ දී පමුණුවන ලද අනේකවිධ ක්‍රෑර වධ හිංසා පිළිබඳව අසා දැන සිටි මුස්ලිම්වරු ඊළඟට සිදු වනුයේ කුමක් දැයි අවබෝධ කර ගත්හ. රත්තරන් සඳහා වූ අධික තෘෂ්ණාවත්, දෙවියන් විෂයෙහි වූ භක්තියත් විසින් මෙහෙයවනු ලැබූ පෘතුගීසීහු පෙරදිග මුහුඳු තීරයෙන් මුස්ලිම්වරුන් මුළුමනින්ම එළවා දැමීම සඳහා දැඩි උත්සාහයක යෙදුණාහ. ශ්‍රී ලංකාවේ දී සිංහලයන් අපනයන වෙළඳාමේ නොයෙදුනු බැවින් එහි ඒකාධිකාරය අත්කර ගනු ලැබීමට තමන්ට ඇති එකම බාධාව මුස්ලිම්වරුන්ට සිටීම යැයි පෘතුගීසිහු ඉක්මණින්ම පසක් කර ගත්හ.

ගෝවේ ප්‍රථම පෘතුගීසි ප්‍රතිරාජයාගේ පුත් දොන් ලොරොන්සෝ ද අල්මේදා 1505 දී කොළඹ අසල මුහුඳට පා වී එන විට වෙළඳ බඩු ගොඩ බාමින් සහ පටවමින් තිබුණු මුස්ලිම් නැව් ගණනාවක් වරායේ නැංගූරම්ලා තිබිණි. තත්වයේ බරපතළකම අවබෝධ කර ගත් මුස්ලිම්වරු වහා ක්‍රියාත්මක වී අනවසරයෙන් පැමිණි අයට එරෙහිව ක්‍රියා කරන ලෙස කොළඹ වැසියන් උසි ගැන්වූහ. පෘතුගීසි පැක්ටරියක් යනු, මුස්ලිම්වරැන්ගේ ගබඩා මෙන් නොව, පෘතුගාල රජුගේ සන්නද්ධ බලකොටුවක් බැවින් එවැන්නක් මෙහි ඉදි කිරීම ගැන මුස්ලිම්වරු බලවත් විරෝධය දැක්වූ හ. ඊට එරෙහිව කෙතරම් විශාල විරෝධයක් ගොඩ නැගීමට ඔවුන් සමතත් වූවා ද යත් කර්මාන්ත ශාලාව ගලවා ඉවත් කිරීමට සිදු විය. ශ්‍රී ලංකාවේ බලකොටුවක් ඉදි කරන ලෙසට පෘතුගාල රජු දුන් ආඥාවක් අතැතිව 1518 දී ලොපෝ සෝරස් ද ඇල්බගේරියා ලංකාවට පැමිණීයේ ය. සිංහල සමාජයේ සියලු තරාතිරම්වල ජනයාට කරුණු පහදා දෙමින්, බලපෑම් ඇති කරමින් බලකොටුවක් ඉදි කිරීම වැළැක්වීමට මුස්ලිම්වරු ඔවුන්ට හැකි හැම දෙයක්ම කළහ. පෘතුගීසීන්ගේ එකම අභිප්‍රාය රට අල්ලා ගැනීම බැවින් නොබෝ කලකින්ම රජු ගේ ස්වෛරී ආධිපත්‍යය දිය වී යනු ඇති බවට ඔවුහු කෝට්ටේ රජුට අනතුරු ඇඟවූහ. තමන් විසින් මෙරටට කරන ලද යහපත් සේවය ගැනත්, මෙ රටට තමන් ගෙන ආ ධනය සහ සමෘද්ධිය ගැනත්, රජු කෙරෙහි ඔවුන් තුළ ඇති ස්ථිරසාර පක්ෂපාතීත්වය ගැනත්, තම ආගමික මතවාද අන්‍යයන් මත බලෙන් පැටවීමට තමන් කිසිදාක උත්සාහ නොකළ අයුරු ගැනත් ඔවුහු රජුට සහ ප්‍රභූවරුන්ට මතක් කර දුන්හ. පෘතුගීසි පාලනයේ පදනම වනුයේ අනිකුත් ඇදහීම් මුලෝත්පාටනය කිරීම බැවින් බුද්ධාගමට සිදු විය හැකි තර්ජනය ගැන ඔවුහු මහා සංඝයාට කල් ඇතිව අනතුරු ඇඟවූහ. මුස්ලිම්වරු ජනතාව උසි ගන්වා පෘතුගීසීන්ට අවශ්‍ය කළමනා සැපයීමෙන් ඔවුන් වක්වාලීමට උත්සාහ කළහ. ගිනි අවි සපයා දෙනු ලැබ නැව්වලට පහර දෙන ලද නමුත්, මුස්ලිම්වරුන්ගේ විරෝධත්වය තඹ දොයිතුවකට නොසලකා බලකොටුව ඉදි කරනු ලැබීය. මුස්ලිම්වරුන්ගේ සහ කැලිකට් සැමෝරින්ගේ මලබාර් හමුදාවල ආධාර උපකාරලත් කෝට්ටේ රජු පෘතුගීසීන් එලවා දැමීමට පුන පුනා උත්සාහ කළ ද ඒ සියල්ල අසාර්ථක විය.  (2)

පෘතුගීසින් මෙරට පැමිණීමෙහි අරමුණු අතර පෙරදිග කුළුබඩු වෙළඳාම නතු කරගැනීම සහ ආගම් ප්‍රචාරය ප්‍රමුඛ විය. පෘතුගීසීන්ගේ පැමිණීම ගැන කිසිසේත් ප්‍රය නොවූ මුස්ලිම්වරු ඔවුන්ගෙන් සිදුවිය හැකි විනාශය කල්තියාම මෙරට රජුට දැන්වීමටත් ඔවුන්ට මෙටර වෙළඳමාට ඉඩ නොදෙන ලෙසටත් තරයේ කියා සිටියහ.

ක්‍රි.ව 1505 දී පෘතුගීසින් කොළඹට පැමිණි විට ඔවුන්ට වෙළඳ අයිතිය දීම ප්‍රතික්ෂේප කිරීමට මුස්ලිමුන් විසින් කෝට්ටේ රජු පෙළඹැවුණේ පෘතුගීසීන් ඉන්දියාවේ ගෙනගිය මුස්ලිම් විරෝධී කටයුතු අවධානයට ගැනීමෙන් බව සී. ආර්. ද සිල්වා කියයි. (3)

1521 වසරේ විජයබා කොල්ලය සිදුවීමත් සමඟ කෝට්ටේ රාජධානිය කොටස් තුකට බෙදුනි. ඉන්පසු 1521 – 1539 දක්වා කාලයේ කෝට්ටේ පාලනය කළ හත්වන බුවනෙකබාහු රජුටත් පෘතුගීසි බලපෑමෙන් මිදිය නොහැකි විය. ඔහුට සීතාවක හා රයිගම සමඟ අභ්‍යන්තර අර්බුද තිබුණු නිසා ඔහු පෘතුගීසි සහාය පැතීය. මායාදුන්නේගෙන් නිතර එල්ල වන ආක්‍රමණවලින් මායිම් ප්‍රදේශ ආරක්ෂා කිරීමට බූවනෙකබාහු පෘතුගීසී සහාය පැතීය.

මායාදුන්නේ සොහොයුරාට බිය වූ බුවනෙකබාහු පෘතුගීසි සහය පැතුවේ ය. මෙය පළිගැනීමට කදිම අවස්ථාවක් කර ගත් පෘතුගීසීහු මුස්ලිම්වරුන් කොළඹින් පලවා හරින තැනට බුවනෙකබාහු නම්මා ගත්හ. සීතාවක රාජධානියේ රැකවරණය සොයා ගිය මුස්ලිම්වරු මායාදුන්නේ වටා පෙළ ගැසුනහ. ඔවුන්ගේ ආධාර උපකාර ලත් ඔහු ජාතික නායකයා වශයෙන් තහවුරු වූ අතර බුවනෙකබාහු පෘතුගීසීන්ගේ වහලෙකු ලෙසින් හංවඩු ගැසිනි. තම රාජ සාවේ සිටි සරණාගතයන්ගේ උපදෙස් මත ක්‍රියා කළ මායාදුන්නේ, දිවයිනේ වරායවල් කිහිපයක්ම භාර දීමට පොරොන්දු වෙමින්, තම සොහොයුරාට එරෙහිව ගෙන යන යුද්ධයේ දී තමාට ආධාර දෙන ලෙස ඉල්ලා කැලිකට්හි සැමොරින් වෙත දූත පිරිසක් යැව්වේ ය. (4)

කොළඹීන් පලවා හැරීම හේතු කොටගෙන මුස්ලිම්වරුන්ගෙන් සැලකිය යුතු පිරිසක් සීතාවක රාජධානියේ රැකවරණය සලසා ගත්තෝය. වෙළෙන්දෝ බොහෝම දෙනෙක් කොළඹින් ඉවත් වී මීගමුව, පුත්තලම, බේරුවල සහ අලුත්ගම වැනි බටහිර වෙරළේ වෙනත් වරායබද නගරවල පදිංචි වූහ. ඒවායින් සමහර නගර සීතාවක රාජධානියේ සීමා ඇතුළත විය. (5) තවත් පිරිසක් ඉන්දියාවට ගියහ.

සැමෝරින් විසින් මායාදුන්නේ හට උදව් සඳහා ක්‍රිව 1527 අවසන් කාලයේ පච්චි මරික්කාර් ඔහුගේ සෝවුරු කුන්හේල් මරික්කාර් සහ අලි ඉබ්‍රාහිම් නැමැති සෙන්පතින් තුන්දෙනා ද සමඟ 8000ක පමණ සැදුණු බල ඇණියක් එවිණි. තවත් වැටලීමක් කළ යුතු බව මායාදුන්නේ හට වැටුණෙන් ක්‍රි.ව 1536 දීය. හේ යළිදු ඉදිරිපත් වී සැමොරීන්ගේ උදවු ඇති ව නැව් 45 පමණ ද 2000 පමණ සැදුණු සෙබල හමුදාවක් ද අලි ඉබ්‍රාහීම්ගේ නායකත්වයෙන් ක්‍රි.ව 1536 ඔක්තෝබර් මස දී මායාදුන්නේ වෙත එවන ලදි. ක්‍රි.ව 1537 යළි සැමෝරින් ආධාර එව්වේය. එනම් 8000ක් සෙබලු, තුවක්කු 400ක් නැව් 51 වශයෙනි. නමුත් රාමේස්වරම් දූපත අසලදී මාර්තිම් අපොන්සොද සූසාගේ පෘතුගීසි නාවික බලඇණිය ඔවුන් පරාජය කර දැමුවේ ය. (6)

සිංහල හමුදා සමග එක් වූ මුස්ලිම් හමුදා කෝට්ටේ වැටලූ සෑම වාරයක දීම ගෝවෙන් අතිරේක බළ ඇණිවල සහය ලැබීම නිසා මායාදුන්නේට පසු බැසීට සිදු විය. අන්තිමේ දී සමාදාන වීමට මායාදුන්නේට සිදු විය. සාකච්ඡා ඇරඹීම සඳහා පූර්ව කොන්දේසියක් වශයෙන් මුස්ලිම් සෙන්පතියන් තුන්දෙනාගේ හිස් තමන් වෙත ගෙන එන ලෙස පෘතුගීසීහු නියම කළහ. ඉතාම අකෘතඥ වූ ඒ අපරාධය සිදු කරනු ලැබූ අතර, ඉන් පසු කිසි දාක සැමෝරීන් සිංහල රජු ගේ උදව්වට නොපැමිණියේ ය. (7) 1539 දී මලබාර් නායකයන් 03ක් මායාදුන්නේ රජු පාවා දී මරවා හිස් ගසා මිගෙල් පෙරේරා වෙත යැවීය. මෙසේ මැරුම් කෑ අය අතර පච්චි මරික්කාර් හා කුන්හේල් මරික්කාර් යන අය සිටි බව කෙරෝෂ් පවසයි.

කෝට්ටේ පාලනය කළ බුවනෙකබාහුගේ මරණයෙන් පසු ඔහුගේ පුත් දොන් ජුවන් ධර්මාපාල කෝට්ටේ පාලකයා ලෙස පෘතුගීසීන් පත් කර පාලන කටයුතු ඔවුන් විසින් මෙහෙයවන ලදි. ඒ අතර සීතාවක රජු මායාදුන්නේගේ මරණයෙන් පසු ඔහුගේ පුත් රාජසිංහයට පාලනය හිමි විය. පෘතුගීසීන් සහ සීතාවක රජවරු සමඟ නිතර ගැටුම් ඇති විය. එහෙත් ඔවුහු ඉතා දක්ෂ ලෙස පෘතුගීසී ආක්‍රමණවලින් මිදීමට සමත් වූහ. 1561 දී රාජසිංහ රජුට ආධාර කිරීමට මලබාරයේ මොහොමඩ් ඉදිරිපත් වීය. (8)

මුස්ලිම්වරු මායාදුන්නේට සහ පසුව ඔහුගේ පුත් රාජසිංහට (1582 – 1592) නන් අයුරින් ආධාර උපකාර කළහ. පෘතුගීසීන්ට විරුද්ධව ගෙන ගිය යුද්ධයේ දී ඔවුහු සටන් කළහ, කැලිකට් පාලකයන්ගේ සහය ලබා ගැනීමේ දී තානාපතිවරුන් වශයෙන් සේවය කළහ. සිංහල හමුදාවේ වූ හිඟ තුවක්කුකරුවන් ලෙස ද සේවය කළහ, උද්ගත වූ හැම කැරැල්ලක දී ම මුස්ලිම්වරු නිරතුවරුවම තම හතුරා ගේ පැත්ත ගත්හ යි ක්වේරෝස් තදින් මැසිවිලි නගයි. (9)

සකීෆ් සාම්

1        Silva,C.R.D, “Portuese Policy Towords Muslims in Ceylon 1505-1626. CJHSS, Vol.9, July-December 1966, No 2 Colombo, P.113

2        දේවරාජ ලෝනා, ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු, පි. 88-90

3        ජනදාස පීරිස්, ගෝත්‍රික රාජ්‍යයේ සිට ගෝලීය රාජ්‍ය දක්වා, 2007, කොළඹ.

4        Paul E. Peiris, Ceylon the Portuguese Era, Vol. I, Colombo, 1913, p. 70-73.

5        Fernao de Queroz, The Temporal is Spiritual Conquest of Ceylon, P 754.

6        Fernao de Queroz, The Temporal is Spiritual Conquest of Ceylon, P.230.

7        දේවරාජ ලෝනා, ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ගේ ඉතිහාසය, පි. 91.

8        මුනිදාස කුමාරතුංග, ලක්මිණි පහන් කතු වැකි, 2006, කොළඹ.

9        Fernao de Queroz, The Temporal is Spiritual Conquest of Ceylon, P 754.

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *