තිරසාර සංවර්ධනයට

කුස ගින්න නිවීම සහ ආහාර සුරක්ෂිතතාව

කුස ගින්න නිවීම සහ ආහාර සුරක්ෂිතතාව.

ලෝකයටම අභියෝගයක් වී තිබෙන සාගතය.

ලෝකයේ නිෂ්පාදනය කරන ආහාරවලින් තුනෙන් එකක් පරිභෝජනය නොකරම අපතේ යයි. ඒ අතරම ලෝක ජනගහනයෙන් මිලියන 821ක් සාගතයෙන් කල්ගෙවන බව ඇසීමෙන් ඔබ කණගාටුවට පත්වනු නියතයි. එම සංඛ්‍යාවෙන් 63%ක්ම සිටින්නේ ඔබ අප ජීවත්වන ආසියානු මහද්වීපයේ ය. ලංකාවේ ජනගහණයෙන් 7.8%ක් සාගතයෙන් පෙළෙන බව 2018 සංඛ්‍යා ලේඛණ පෙන්නුම් කරයි. ලෝක ආහාර සංවිධානයට අනුව ලෝක ජනගහණයෙන් මිලියන 135ක් උග්‍ර සාගතයෙන් පෙළෙන්නේ ආර්තික කඩා වැටීම්, කාලගුණික විපර්යාස සහ මිනිසා විසින් ඇතිකරගන්නා ලද අර්බුද ආදිය හේතුවෙනි. කොවිඩ් වසංගතයත් සමඟ එම තත්වය දෙගුණ වී තිබෙනු ඇතැයි ද ලෝක ආහාර සංවිධානය අනුමාන කරයි.

එමෙන්ම ලෝක ජනගහණයෙන් බිලියන දෙකකට සුරක්ෂිත, පෝෂ්‍යදායි හා ප්‍රමාණවත් ආහාර ලබාගත නොහැකිව සිටින බව 2019 වසරේ ගණන් බලා ඇත. පෝෂ්‍යදායි ආහාර නොලැබීම හේතුව නිසා කාන්තාවන් තුන් දෙනෙකුගෙන් එක් අයෙකු රක්ත හීනතාවයෙන් ද වයස අවුරුදු පහට අඩු දරුවන් මිලියන 90ක් අඩුබර හා මන්දපෝෂණ තත්වයෙන් ද පෙළෙන බවත් හඳුනාගෙන ඇත. වාර්ෂිකව මිලියන 9ක් සාගතය හෝ සාගතය හා සම්බන්ධ කිසියම් රෝගයක් නිසා මරණයට පත්වීම මානව සංහතිය මුහුණ දී තිබෙන මහත් ඛේදවාචයකි. වයසට අවුරුදු 5ට අඩු දරු මරණයන්ගෙන් අඩකට වැඩි පිරිසකගේ මරණයට හේතුව ඔවුන්ගේ ශරීරියේ මූලික පෝෂණයක් නොමැතිකම වීම අභාග්‍යයක් නොවේ ද! ජාත්‍යන්තර ප්‍රජාව මුහුණ දී තිබෙන අර්බුද අතර ආහාර අර්බුදය කාටත් පොදු අර්බුදයක් බව ඔබට වැටහෙනු ඇති. ශ්‍රී ලංකාව ද කුසගින්න නැමැති රකුසාගෙන් මිදී නැත. 2030 වන සාගතය සහ සියලුම මන්දපෝෂණ තත්වයන් තුරන් කිරීමට ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම තිරසාර සංවර්ධනය දෙවන ඉළක්කය වී ඇත. මෙම ඉළක්කය වෙත ළඟා වීමට වඩාත් සාධනීය ඉගෙන්වීම් රැසක් ඉස්ලාමය ඉදිරිපත් කරයි.

හාමත/කුසගින්න යනු කුමක් ද? ඇයි මිනිසුන් කුසගින්නෙන් පෙළෙන්නේ? ලෝකයේ ආහාර සුරක්ෂිතතාවයට තිබෙන අභියෝග කවරේ ද? සාගතින් පෙළන ලෝකයට ආහාර සුරක්ෂිතතාවය සඳහා ඉස්ලාමය හඳුන්වා දෙන විසඳුම් කවරේ ද, යන්න මෙම ලිපියෙන් අධ්‍යන කරයි.

ආහාර සුරක්ෂිතතාවය යනු.

කුසගින්න යනු කාටත් පොදුවේ ඇතිවන ජීව විද්‍යාත්මක අවශ්‍යතාවයකි. එක්සත් ජාතීන් ආහාර වැඩසටහනට අනුව ආහාර සුරක්‍ෂිතතාවය තහවුරු වන්නේ, ක්‍රියාශීලී සහ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ළඟා කරගැනීම සඳහා සියලු දෙනාගේ ආහාර අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත්, ආරක්‍ෂිත සහ පෝෂ්‍යදායී ආහාර ලබා ගැනීමට භෞතික, සමාජීය සහ ආර්ථික ප්‍රවේශයක් තිබීම ය.

සාගතය යනුවෙන් අදහස් කෙරෙන්නේ ප්‍රමාණවත් ආහාර නැතිනම් දෛනිකව අවශ්‍ය පෝෂණ ලබා ගැනීමට ආහාර නොලැබීමේ තත්වයයි. සාගතය නිසා මන්ද පෝෂණය ඇතුළු රෝග තත්ව රැසක් නිර්මාණය වේ. සාගතය එක් පරම්පරාවකින් තවත් පරම්පරාවකට ගමන් කරන භයානක චක්‍රයකි. කුසගින්නෙන් හා මන්දපෝෂණයෙන් පෙළෙන පවුල්වල සාමාජිකයන්ගේ මනසට සහ ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ නොලැබෙන නිසා, ඔවුන් රැකියාවේදීත්, පාසැලේදීත් ඔවුන්ගේ ජීවිතය දියුණු කරගැනීමට එය බාධාවක් ලෙස පවතීයි. එම නිසා පරම්පරාවෙන් පරම්පරාවට සාගතය ගමන් කරයි.

ආහාර සුරක්ෂිතතාවය සඳහා තිබෙන අභියෝග

ගැටලු කිහිපයක් නිසා දුගී පවුල් තමන්ට අවශ්‍ය ආහාර ලබා ගැනීම සඳහා අරගල කිරීමට සිදුවී තිබේ; යටිතල පහසුකම් නොමැතිකම, නිරන්තර යුද්ධ සහ අවතැන්වීම්, ස්වභාවික විපත්, දේශගුණික විපර්යාස, දරිද්‍රතාවය සහ ආහාර මිලදී ගැනීමේ හැකියාව නොමැතිකම යන ඒවා ය. නමුත් ඊටත් වඩා ආහාර අපතේ යාමේ අභියෝගය දැවැන්තම ගැටලුවකි. ඇත්තෙන්ම, ලොව පුරා නිපදවන ආහාරවලින් තුනෙන් එකක් කිසිවෙකු විසින් පරිභෝජනය නොකරම විනාශ වී යයි. අකාර්යක්ෂම කෘෂිකාර්මික ක්‍රමවේද, පසු අස්වනු ගබඩා කිරීමේ පහසුකම් නොමැතිකම, බිඳුණු හෝ අකාර්යක්ෂම සැපයුම් ජාලය ආදිය ආහාර අපතේ යාම කෙරෙහි හේතු වී තිබේ.

මානව වර්ගයාටම ප්‍රමාණවත් ආහාර නිෂ්පාදනය කිරීමේ හැකියාව මහපොළොවට තිබේ.

වර්තමාන ලෝක ජනගහණය බිලියන 7.5කි. 2050 වන විට ජනගහණය බිලියන 10ක් වනු ඇතැයි අනුමාන කෙරේ. එසේත්නම් 2050 වසර වන විට තවත් අමතර පුද්ගලයන් බිලියන 2.5කට ආහාර අවශ්‍ය වේ. බිලියන 7.5කට ප්‍රමාණවත් ආහාර නිෂ්පාදනය කළ නොහැකි ලෝකයක තවත් අමතර බිලියන 2.5කට ආහාර නිෂ්පාදන ධාරිතාවක් දැරිය හැකි ද යන සාධාරණ ප්‍රශ්නයක් කාටත් නැගෙනු ඇත. එම පැනයට අල්කුරානය මෙලෙස පිළිතුරු දෙයි.

“ඔහුම ඒ මත ඉතාමත් උස කඳු නිර්මාණය කර, ඒ මත (සියලූ අන්දමේ) භාග්‍යයන් ද පහළ කළේය. තවද එහි (වාසය කරන්නන්ට අවශ්‍ය) ආහාර ද දවස් හතරකදී සැලසුම් කළේය. අවශ්‍ය සියලු දොටම සමාන වශයෙන් (ලැඛෙන සේ) සැලැස්සුවේය.” (අල් කුර්ආන් පාඨ – 41:10)

කුර්ආනයෙන් සහතික කෙරෙන්නේ ලෝක ජනගහණයට අවශ්‍ය ප්‍රමාණයේ ආහාර නිෂ්පාදනය කිරීමේ හැකියාව මහපොළොවට තිනෙ බවයි.

නිෂ්පාදනයන් කෙරෙහි උනන්දු කිරීම සහ කෘෂිකර්මාන්තයේ වැදගත්කම

කම්මැලිකමට හෝ අන් අය මත සාධාරණ හේතුවකින් තොරව යැපීම ඉස්ලාමය පිළිගන්නේ නැත. තම තමන්ගේ ජීවනෝපාය ඉපයීම කෙරෙහි ඉස්ලාමය සියලු දෙනා දිරිමත් කරන අතර එය ප්‍රශංසනීය ක්‍රියාවක් ලෙසත් දේව නමස්කාරයක් ලෙසත් සලකයි.

නබිතුමාණෝ වරෙක මෙසේ කීහ. “තමන්ගේම අතින් වැඩකර උපයාගෙන කෑමට වඩා හොඳ ආහාර වේලක් කිසිවෙකු මෙතෙක් අනුභව කර නැත. අල්ලාහ්ගේ වක්තෘ දාවුද් පවා තම ශ්‍රමයෙන් උපයන මුදලින් ආහාර ගෙනීමට පුරුදුව සිටියේය. (නබි වදන් ග්‍රන්ථ – බුහාරි)

අල්කුර්ආනයේ මෙලෙස සඳහන් වේ, ඔහුම ඔබට භූමිය (ඔබ වාසය කිරීමට) සැප පහසු අන්දමට පත් කර තැබුවේය. එබැවින් එහි විවිධ දිසාවන්ට ගොස් ඔහු (ඔබට) ලබා දී ඇති දැය අනුභව කරනු. නැවත යා යුත්තේ ඔහු වෙතම ය. (අල් කුර්ආන් පාඨ – 67:15)

කෘෂිකර්මාන්තය වෘත්තියක් ලෙස කිරීමට ඉස්ලාමය උනන්දු කරයි. ප්‍රසිද්ධ හදීසයක නබි තුමාණෝ මෙසේ කී බව සඳහන්. “ගසක් සිටුවීම අඛණ්ඩව පින් ලැබෙන සදාතනික දානයකි” (නබි වදන් ග්‍රන්ථ – සහීහ් මුස්ලිම්)

කිසියම් මුස්ලිම්වරයෙකු ගසක් හෝ බීජයක් සිටුවා, ඉන්පසුව එමගින් පක්ෂියෙකු, මිනිසෙකු හෝ සතෙකු ආහාර අනුභව කළේ නම්, එය එම තැනැත්තාගේ දානමය කටයුත්තක් ලෙස සැලකෙන්නේ ය. (නබි වදන් ග්‍රන්ථ – සහීහ් මුස්ලිම්)

මහපොළොව සරුසාර කර දී ඇති බවත් මිනිසාට සුහුරු කරදුන් බවත් කුර්ආනය දෙස් දෙයි. එමෙන්ම මිහිමත ජීවත්වන ජනගහණයට අවශ්‍ය ආහාර ප්‍රමාණයේ ආහාර නිෂ්පාදනය කිරීමේ හැකියාවත් මහපොළොවට ඇත. එබැවින් කෘෂිකර්මානතයේ නියැලීමෙන් මහපොළොව සශ්‍රීක කිරීම මිනිසාගේ වගකීම වෙයි.

ආහාර නාස්තිය හා නාස්තිකාර පරිභෝජනය ඉස්ලාම් පිළිගන්නේ නැත.

ආහාර නාස්තිය දරුණු පාපයකි. සම්පත් නාස්ති කිරීම සඳහා ඉස්ලාමයේ ඉඩක් නැත. ලෝකයට අවශ්‍ය ආහාර මෙන් දෙගුණයක් නිෂ්පාදනය කළ ද ඉන් සියයට 60ක් පමණ විවිධ අන්දමින් අපතේ යන බව ඉහත අප සඳහන් කළෙමු. (ද ගාඩියන් සඟරාව)

නබිතුමාණෝ මෙසේ ප්‍රකාශ කළහ. එක් අයෙකුගේ ආහාර දෙදෙනෙකුට ද, දෙදෙනෙකුගේ ආහාර සිව් දෙනෙකුට ද සිව් දෙනෙකුගේ ආහාර අට දෙනෙකුට ද ප්‍රමාණවත් ය” මෙම නබිවදනින් පැහැදිලි වන්නේ මිනිසාගේ ලෝභකම තුරන් වන්නේ නම් ලොව සෑම අයෙකුටම ප්‍රමාණවත් ආහාර දැනටමත් නිෂ්පාදනය කෙරෙන බවත් කිසිදු අර්බුදයකින් තොරව දුප්පතුන්ට ද ආහාර සැපයිය හැකි බවත් ය.

විහිදී යන වැල් ද, විහිදී නොයන පැළෑටී ද ඇති උයන් වතු ද, ඉඳි ගස් ද, ආහාරයට ගත හැකි විවිධ (ගස්වැල්, පලා වර්ග ද), ධාන්‍ය වර්ග ද, (බැලු බැල්මට) එක සමානව ද, (රසයෙන්) විවිධ වූ ඔලිව් ද, දෙළුම් (හා තවද විවිධ වර්ගයේ පලතුරු) ආදිය ද, ඔහුම උත්පාදනය කර ඇත්තේය. ඒවා අස්වැන්න නෙලා ගන්නා කාලයෙහි ආහාරයට ගෙන එහි කොටස ද, (දුප්පතුන්ට) සකාත් වශයෙන් දෙනු. සීමාව ඉක්මවා වියදම්/පරිභෝජනය නොකරනු. මන්දයත් සීමාව ඉක්මවා වියදම්/පරිභෝජනය කරන්නන්ව නියත වශයෙන්ම අල්ලාහ් ප්‍රිය කරන්නේ නැත. (අල් කුර්ආන් පාඨ -6:141)

ආදම්ගේ දරුවනේ! සලාත් කරන සෑම තැනදීම අලංකාරවත් කර ගනු. ඔබ අනුභව කරනු. පානය කරනු. එහෙත් ප්‍රමාණය ඉක්මවා නොයනු. මන්දයත් නියත වශයෙන්ම අල්ලාහ් ප්‍රමාණය ඉක්මවා යන්නන්ව ප්‍රිය කරන්නේ නැත. (අල් කුර්ආන් පාඨ -7:31)

මෙම වැකිවලින් පැහැදිලිව පෙන්වා දෙනේනේ නාස්තිය අවම කරන ලෙසයි. නාස්තිය අවම කිරීමට නම් නිෂ්පාදකයාගේ සිට පාරිභෝගිකයා දක්වා සියලු දෙනා විසින්ම කරනු ලබන ආහාර ද්‍රව්‍ය අපතේ හැරීම නැවතිය යුතු වේ. එහෙත් ප්‍රායෝගික තලයේ අප දකින්නේ මීට හාත්පස වෙනස් තත්වයකි. දඹුල්ල ආර්තික මධ්‍යස්ථානය වෙත ගොස් බැලූ කල කොතරම් එළවලු ප්‍රමාණයක් අපතේ යන්නේ ද යන්න සියසින් බලාගත හැකි ය. එමෙන්ම විවාහ උත්සව ආදියේ දී තමාට අනුභව කළ හැකි ප්‍රමාණයට වඩා බත් සහ වෑංජන බෙදාගන්න පිරිස් ඒවා කුණු කූඩයට විසි කිරීමේ දීත් සිදුවන්නේ ආහාර නාස්තියයි. ප්‍රමාණය ඉක්මවා අනුභව කිරීමත් නාස්තියක් යන්න ඉස්ලාමයේ ස්ථාවරයයි.

සහයෝගීතාව කුසගින්නට විසඳුමයි.

සහයෝගීතාවය යනු සාගතය තුරන් කිරීම සඳහා ඉස්ලාම් ධර්මය ජනයා අතර පුරුදු කරන එක් වැදගත් උපාය මාර්ගයකි. මිනිසුන් එක් කොටසක් දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වන අතර තවත් පිරිසක් පමණක් සුඛෝපභෝගී සැප සම්පත් මිලදී ගෙනීමට අධික ලෙස වියපැහදම් කිරීම ඉස්ලාම් දහම පිළි නොගනී. COVID-19 වැනි වසංගතයක් ලොව පුරා ව්‍යාප්ත වී ලොක්ඩව්න් කිරීම් සහ රැකියා අහිමිවීම් සිදු ව තිබූ තීරණාත්මක අවස්ථාවන්හිදී, සමාජ සහයෝගීතාවය අතිශයින් වැදගත් සහ අත්‍යවශ්‍ය දෙයක් බව ලොවම පසක් කරගත්තේ ය. පොහොසතුන් විසින් අව වරප්‍රසාදිතයන්ගේ අවශ්‍යතා සපුරාලීම වගකීමක් සහ යුතුකමක් යැයි ඉස්ලාමය පෙන්වා දෙයි. අල්-කුර්ආනය මේ ගැන විස්තර කරමින් පවසා සිටින්නේ, පොහොසතුන් දුප්පතුන්ගේ අවශ්‍යතා සපුරාලීම දුප්පතුන්ට පොහොසතුන්ගෙන් ලැබිය යුතු අයිතියක් ලෙස ය; එනම් ඔවුන් කරන ප්‍රධානයන් අනුග්‍රහ දැක්වීමක් නොව ඔවුන් ප්‍රජාව වෙනුවෙන් කළ යුතු වගකීමක් සහ යුතුකමකි.

සමාජ සහයෝගීතාවයේ එක් ක්‍රමාවේදයක් ලෙස ඉස්ලාමය සකාතය හඳුන්වා දෙයි. සකාතය ඉස්ලාමයේ කුළුණු පහෙන් එකකි, සකාත් රැස්කර එය ලැබීමට නීත්‍යානුකූල සුදුසුකම් ඇති අය අතර බෙදා යුතු ය. පළමු කලීෆා අබු බකර් තුමා සකාත් ගෙවීම ප්‍රතික්ෂේප කළ පිරිසකට එරෙහිව යුද්ධයක් පවා දියත් කළේ සකාතයට කළ හැකි සමාජ කාර්යයේ තීව්‍රතාවය නිසා ය. සකාතය ඉස්ලාමය පෙන්වා නෙ තිරසාර සමාජ ආරක්ෂණ ක්‍රමයක් යැයි හැඳින්වීමත් නිවැරදි ය.

අල්ලාහ්ව ද, ඔහුගේ දූතයාව ද, විශ්වාස කරනු. තවද ඔබව ඔහු කුමකට නියෝජිතයින් බවට පත් කළේ ද, එයින් (දානමාන වශයෙන්) වියදම් කරනු. ඔබගෙන් කවුරුන් විශ්වාසය තබා දානමාන කරන්නෝ ද, ඔවුන්ට අති විශාල ඵලවිපාකයක් ඇත. (අල් කුර්ආන් පාඨ – 57:7)

සකාත් ලැබීමේ සුදුසුකම් සහිත තැනැත්තන් පිළිබඳව ද කුර්ආනයේ සඳහන් වේ.

(සකාත් නමැති) දානමානය නම්, දිළින්දන්ට ද, දුප්පතුන්ට ද, සකාත් එක්කාසු කරන්නන්ට ද, සිත් පැහැදුනු අයට ද, වහලුන්ව නිදහස් කිරීමට ද, ණය බරෙන් මිරිකී සිටින අයට ද, අල්ලාහ්ගේ මාර්ගයෙහි යුද සගයන්ට ද, මගියන්ට ද, (අයිති දැය වශයෙන්) අල්ලාහ් නියම කර ඇති අනිවාර්ය යුතුකමකි. අල්ලාහ් (සියල්ල) ඉතාමත් දැනුවත්ව හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය. (අල් කුර්ආන් පාඨ – 9:60)

රමලාන් මාසය අවසානයේ පිරිනැමිය යුතු ෆිත්රා දානයත් පුරා මාසයක් රැකි උපවාසය සම්පූර්ණ වීමට අවශ්‍ය කොන්දේශියකි. ෆිත්රා දානය මගින් ද අපේක්ෂා කරන්නේ දුගී දුප්පතුන්ගේ කුසගින්න නිවීම ය. වක්ෆ් භාරයන් ද සාගින්න නැති කිරීම සඳහා භාවිත කළ හැකි ඉස්ලාමය පෙන්වා දෙන සුවිශේෂ යාන්ත්‍රණයකි.

මෙම මඟ පෙන්වීම් මුල්කාලීන මුස්ලිම්වරුන් විසින් අව්‍යාජ ලෙස පිළිගෙන පිළිපැද්දහ. සහයෝගීතාවයේ සහ දන්දීමේ විස්මිත ගුණයක් මුස්ලිම් සමාජය පුරා පැතිරී තිබුණු අතර අල්-කුර්ආනයේ එය අපූරු අන්දමින් වාර්තා කරයි.

හැරත් අල්ලාහ් කෙරෙහි වූ ආදරයේ හේතුවෙන් දුප්පතුන්ට ද, අනාථයින්ට ද, සිර ගතවූ අයටද, ආහාර ලබා දෙමින්ම සිටියහ. (දානමාන ලබා ගන්නා අයට) “අපි ඔබට අහාර ලබා දෙන්නේ, අල්ලාහ්ගේ ප්‍රසාදය උදෙසාම මිස, ඔබ වෙතින් අපි කිසිම කුලියක් හෝ නැතහොත් (ඔබ අපට) කෘතඥ වීම බලාපොරොත්තුවෙන් නොවේ” (යයිද) “නියත වශයෙන්ම අපි කෝපයෙන් යුතු මුහුණින් දත්මිටි කමින් විදිණු ලබන අප දෙවියන් වෙත ඇති එක් දිනයක් ගැන බිය වන්නෙමු” (යයිද පවසමින් සිටියහ) (අල් කුර්ආන් පාඨ – 76:8-19)

සමාව දීමේ මාර්ගයක් ලෙස දුප්පතුන්ට ආහාර දීම නිර්දේශ කිරීම

වර්තමානයේ වරදක් කර සිර දඬුවම විඳන්නෙකු සිර බත් කයි. ඇත්තෙන්ම සිරබත් යනු දුගී දුප්පතුන්ගෙන් අය කරගන්න බදුවලින් ලබා දෙන ආහාර බව කවුරුද් දනිති. එහෙත් ඉස්ලාමය ඇතැම් වැරදි සඳහා සමාව ලැබීමට වරදකරුවා විසින් දුප්පතුන් හට ආහාර දීම නිර්දේශ කරයි. නිදසුනක් ලෙස හජ් වන්දනාවට ගොස් සිටිය දී දඩයම් කිරීම, නෝම්බි උපවාසය කඩකිරීම් (කිසියම් නිශ්චිත වැරදි) ආදී අවස්තා කිහිපයක දුප්පතුන්ට ආහාර වේල් ලබා දිය යුතු වේ. දඬුවම් ක්‍රමයක් ලෙසත් හාමතේ පෙළෙන දුගීන්ගේ කුසගින්න නිවීමට යෝජනා කරන එකම ධර්මය ඉස්ලාමයයි.

රාජය ඉටු කළ යුතු යුතුකම්

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගැනීම රජයක වගකීමකි. ඒ අතර : උපාය මාර්ගික සැලසුම් කිරීම වැදගත්ම කාර්යය වේ. ආහාර ගැටලුව විශ්ලේෂණය කිරීම සහ එම ගැටලුවට මුහුණ දීමට සුදුසු සැලසුම් සහ ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීම රජයක අත්‍යවශ්‍ය කාර්යභාරයකි. සූරා යූසුෆ්හි, අල්ලාහ් යුසුෆ් නබිතුමා ඊජිප්තුවේ ආණ්ඩුකාරවරයා වශයෙන් ඉදිරියේ පැමිණීමට නියමි සාගතයට මුහුණ දීම ඉදිරිපත් කළ ක්‍රියාකාරී සැලැස්ම විස්තර කරයි. ඒ යුගයේ ඊජිප්තු භාණ්ඩාගාරය භාරව සිටීමේ සුදුසුකම් යූසුෆ් නබිතුමාට තිබීම ගැනත් සූරතයෙන් ඉස්මතු කර දක්වයි. මෙම විස්තර මගින් සාගතය වැනි බරපතල ගැටලුවක් සම්බන්ධයෙන් දක්ෂයන් සැලසුම් කිරීමේ හා ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ කාර්යයට යෙදවීමේ වැදගත්කම කුර්ආනය ඇඟවුම් කරයි:

“එයට ඔහු මෙසේ පැවසුවේය: “පිළිවෙලින් එක දිගට (පුරුදු පරිදි හොඳින්) වසර හතක් ඔබ ගොවිතැන් කරන්නෙහුය. එහි ඔබ කපා නෙලා ගන්නා අස්වැන්නෙන් ඔබ ආහාරය සඳහා අවශ්‍ය සුළු ප්‍රමාණයක් මිස, අන් සියල්ල ඒවායේ කරල් වශයෙන්ම තැන්පත් කර තබනු.” “ඉන් පසුව අවුරුදු හතක දරුණු (නියඟයක්) එනු ඇත. ඔබ කරල් වශයෙන් තැන්පත් කර තිබූ දැයෙන් (ගොවිතැන සඳහා අවශ්‍ය) සුළු ප්‍රමාණයක් හැර, (ඔබ එක්කාසු කර තිඛෙණ) සියල්ල (එම නියඟය) කා දමනු ඇත.”“ඉන් පසුව එක් වසරක් එනු ඇත. එහිදී අප්‍රමාණ වැසි ලැබී (ඔලිව්, මිදි ආදිය හොඳින් වැඩී මිදි ආදියෙහි) යුෂ මිනිසුන් මිරිකාගෙන (බී සුවසේ) සිටිනු ඇත” (යයිද පැවසුවේය). (අල් කුර්ආන් පාඨ – 12:47)

එසේ නම් ආහාර සුරක්ෂිතතාවය සඳහා සීතාගාර පිහිටුවීම, ආහාර සංරක්ෂණය සඳහා ගබඩා නඩත්තු කිරීම, බෙදාහැරීම් යාන්ත්‍රණය ශක්තිමත් කිරීම යන මෙකී නොකී සියලු පියවර ගත යුත්තේ රජයක් විසිනි.

ඉස්ලාමීය ඉගැන්වීම් මගින් පෙනී යන්නේ පොදු ජනයාගේ ආහාර අවශ්‍යතාව ප්‍රමාණවත්ව ලබා දීමේ සම්පූර්ණ වගකීමත් රජයකට පැවරෙන බවකි. දිනක් කලීෆා උමර් නගරය වටා වීථි සංචාරයක යන අතරතුර අතර, පැල්පතක කාන්තාවක් ගිනි උදුනක යමක් රත්කරමින් සිටින අයුරු සහ ඇගේ දරුවන් අඬමින් සිටින අයුරු දුටුවේ ය. ඔහු එම පැල්පත අසලට පැමිණ දරුවන් අඬන්නේ කුමක් නිසාද යනුවෙන් සහ උදුනේ පිසිනු ලබන්නේ කුමක්ද යන්න ගැන විමසුවේ ය. දරුවන් කුසගින්නෙන් අඬන බවත්, පිසීමට ආහාර කිසිවක් නොමැති නිසා භාජනය තුළ වතුර සහ ගල් දමා රත් කරමින් සිටින බවත්, කෑම පිස අවසන් වන තුරු බලාපොරොත්තුවෙන් සිටින දරුවන් නින්දට යනු ඇතැයි තමා බලාසිටින බවත් එම කාන්තාව පිළිතුරු දුන්නාය. කලීෆා උමර් වහාම බයිතුල් මාල් (රාජ්‍ය භාණ්ඩාගාරය) වෙත ගොස් එම පවුල සඳහා ආහාර රැගෙන ආවේ ය. ඔවුන්ට ආහාර පිසීමට උදව් කළ ඔහු ඔවුන්ට තවදුරටත් සාගින්න නොදැනෙන්න සහතික සහතික කළේ ය. මෙම සිදුවීමෙන් පෙන්නුම් කරන්නේ කිසියම් පුරවැසියෙකු සාගතින් පෙළෙන්නේ නම් ඔවුන් ආරක්ෂා කිරීමේ වගකීම රජයේ වගකීම් යන්න නොවේ ද!

සමාප්තිය.

ඒ අනුව ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීමට ඉස්ලාමය ඉදිරිපත් කරන මගපෙන්වීම් පියවර කිහිපයකි. පළමුව කෘෂිකර්මාන්තයේ නියැලීමට දිරිමත් කරන ඉස්ලාමය ආහාර නාස්තියට තදින්ම විරුද්ධ වේ. එමෙන්ම සමාජයේ සිටින අවවරප්‍රසාදිත කණ්ඩායම් ආරක්ෂා කිරීම, සකාත්, සදකා, ෆිත්රා, වක්ෆ් ආදී සමාජ සහයෝගීතා සංකල්පය කිහිපයක් ඉදිරිපත් කරයි. එමෙන්ම රජයක් ලෙස ගත යුතු පියවර නිසි පරිදි ක්‍රියාත්මක කරන විටෙක ආහාර සුරක්ෂිතතාව සහතික වන බව අවසාන වශයෙන් පෙන්වා දේ.

සටහන සකීෆ් සාම්.

මූලාශ්‍ර

https://www.iiibf.com/the-sustainable-development-goals-from-a-shariah-perspective/

https://aboutislam.net/shariah/shariah-and-humanity/shariah-and-life/moral-aspect-islam-real-life-stories-part-2-2/

http://jiscnet.com/journals/jisc/Vol_6_No_1_June_2018/5.pdf

https://worldfinancialreview.com/emphasizing-zakat-and-waqf-for-global-zero-hunger/

https://www.alhakam.org/addressing-hunger-among-humanity-how-islam-addresses-challenges-of-sustainable-food-security/

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *