Home About Us

වසර 2500ක ලිඛිත ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාව ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියයි. ඉතිහාසයේ විවිධ කාලවල නොයෙක් ආක්‍රමණ, අභියෝග එල්ල වුවත් ඒ සියල්ල පරදා ලක් දෙරණ රනින් බැබලවීමට ශ්‍රී ලාංකේය ජාතිය සමත් විය. ශ්‍රී ලාංකේය ජාතිය විවිධ ජනවර්ග, ආගම්, සංස්කෘති සහ භාෂාවන්ගෙන් සමන්විතයි. ශ්‍රී ලාංකේයත්වයේ ශක්තියත් මෙම බහුවිධත්වයයි. මෙම බහුවිධත්වය හදුනාගැනීම, පිළිගැනීම සහ ඒවාට ගරු කිරීම ලාංකේය ජාතිය දියුණු කරා ගෙන ගියේ ය. සුන්දර පරිසරයක්, සාමකාමී සමාජයක් නිර්මාණය කළේය.

නිදහසින් පසු ශ්‍රී ලංකාවේ විවිධ හේතූන් නිසා එකිනෙකා අතර දුරස්ථභාවයක් නිර්මාණය විය. එය අනවබෝධයටත් අනතුරුව සැකයටත් මගපෑදී ය. අනවබෝධය සහ සැකය විනාශයේ ආරම්භයයි. එබැවින් ඒවා මුලිනුපුටා දැමීම සෑම පුරවැසියෙකුගේම අත්හල නොහැකි වගකීමක් වන්නේ ය.

ලාංකේය ජනසමාජයේ සිත් සුවපත් කිරීම පිණිස දුරස්ථභාවයත්, අනවබෝධයත්, සැකයත් දුරු කළ යුතු කාලයයි මේ. වත්මන් ශ්‍රී ලංකාවේ සිංහල මුස්ලිම් දෙපිරිස අතර පැලුම් රේඛා වැටී ඇතැයි යන්න බැහැර කළ නොහැකි සත්‍යයක්. දෙපිරිස අතර සමීපත්වය හා අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය නොවීමට හේතූන් වන්නේ, මුස්ලිම් සමාජයට අයත් ඓතිහාසික, සංස්කෘතික, කලාත්මක, සෞන්දර්යාත්මක හා සාමාජීය අංග නිවැරදි ලෙස සන්නිවේදනය නොවීම බව විද්වත් අපගේ පිළිගැනීමයි. එනම් දුරස්ථභාවය තුරන් කිරීමට ඇති එකම විසඳුම ඒවා නිසි පරිදි සන්නිවේදනය කිරීම යි. ඒ උවමණාව වෙනුවෙන් වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය අපි වටහා ගත්තෙමු. එහි ප්‍රතිපලයක් ලෙස නව මනස වෙබ් අඩවියේ ආරම්භය සිදු විය. රටක සංවර්ධනය, සැනසුම, සාමය, දියුණුව අන්‍යෝන්‍ය අවබෝධය, තේරුම් ගැනීම සහ ගරු කිරීම මත රඳ පවතී. එබැවින් නව මනස වෙබ් අඩවිය ඔස්සේ විවෘත සංවාද මගින් සැකය හා අනවබෝධය දුරුකොට දුරස්ථභාවය තුරන් කිරීම අපගේ අපේක්ෂාවයි.

ශ්‍රී ලාංකේය ජාතියේ සෑම සාමාජිකයෙක් තුළම මිනිස් අගයන් දියුණු කර මනුෂ්‍යත්වය රෝපණය කිරීමත් අපගේ තවත් ඉලක්කයක්. මනුෂ්‍යත්වයෙන් පිරුණු තනි තනි පුද්ගලයන් වන අප සැම සාමූහික කණ්ඩායමක් ලෙස එක්වී සදාචාරාත්මක දියුණුව, ආධ්‍යාත්මක දියුණුව, ආර්ථික දියුණුව ළඟා කරගැනීම මින් අපේක්ෂා කරන්නෙමු.

ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට ආගමික, කලාත්මක, සෞන්දර්යාත්මක, ශිෂ්ඨාචාරික හා ඓතිහාසික සාධක ද අපි පදනම් කරගන්නෙමු. කෙටියෙන් කියන්නේ නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසාර සංවර්ධන අභිමතාර්ත පාදක කරගනිමින් යුක්තිකරුක, සාමයෙන් පිරුණු, පරිසර දූෂණයෙන් තොර දියුණු දේශයක් නිර්මාණය කිරීමට අපි දායක වෙමු.

ලංකා සමාජයේ සුභසිද්ධිය උදසා තිරසාර සංවර්ධන අභිමතාර්ථ, විශ්ව මානව අගයන් (Universal Human Values) වැනි වටිනා සංකල්ප ප්‍රවර්ධනය කිරීමට ආගමික සාරධර්ම අපි මූලාශ්‍රයක් කරගනිමු. වර්තමානයේ ආගම් දහම් අතර අන්‍යෝන්‍ය සබඳතාව හා අවබෝධතාව අවශ්‍යතාවයක් ලෙස අප සලකන බැවින් ඉස්ලාම් දහම පිළිබඳව ගොඩනැගී තිබෙන සෘණාත්මක පැතිකඩ පැහැදිලි කොට ධනාත්මක දෘෂ්ඨියක් ඇති කිරීමටත් අපි උත්සහ කරන්නෙමු.

මේ සියලු ඉලක්කයන් ළඟා කරගැනීමට නවමනස වෙබ් අඩවිය පුරවැසියන් තුළ මතවාදීමය, ආකල්පමය හා චර්යාත්මක වෙනසක් ඇති කරනු ලැබේ. නව මනස වෙබ් අඩවිය නව චින්තන ධාරාවක් ඉදිරිපත් කරයි. සදාචාරාත්මක ප්‍රවේශයකින් ආගමික ඉගෙන්වීම් දෙසත්, විචාරාත්මක ඇසකින් ඓතිහාසික හා සංස්කෘතික සංසිද්ධීන් කෙරෙහිත්, මානවවාදී මානයකින් කලා හා සෞන්දර්යාත්මක නිර්මාණ පිළිබඳවත් කතිකා කරනු ලබයි.

සාම්ප්‍රදායික වෙබ් අඩවියක් මෙන් නොව නව මනස වෙබ් අඩවියේ සංදේශ විවිධාංගීකරණයක්, පර්යේෂණාත්මක ලිපි එකතුවක්, විචාරාත්මක විමසුමක්, නිර්මාණාත්මක වීඩියෝ පඨ පෙළක් ඔබට කියවීමට හා නැරඹීමට අවස්ථාව උදා වී ඇත. නව මනස වෙබ් අඩවි පරිශීලකයන් වන ඔබ සමඟ අන්තර් සම්බන්ධතාවයක් ඇති කරගැනීමටත්, වෙබ් අඩවියේ පළ කරනු ලබන සංදේශ පිළිබඳව විද්වත් කතිකාවතක් ඇති කරගැනීමටත් අපි අපේක්ෂා කරන්නෙමු. නිදහස් මතවාදී, විද්වත් ඔබ නව මනස වෙබ් අඩවිය පිළිබඳව ඉදිරිපත් කරන අදහස් සහ යෝජනා ඉතා අගය කොට සලකන්නෙමු.

අපි කවුද?

අපි ස්වාධීන මුස්ලිම් විද්වත් එකතුවක්.  අපි ආගමික අගයන් තුළින් ලක් සමාජ උන්නතිය පෙරදැරි කරගෙන කටයුතු කරන දේශ හිතෛෂි පුරවැසියන්. ආගමික විශ්වාස, භාෂා සහ සංස්කෘතික වෙනස්කම් නොසලකා පොදුවේ ශ්‍රී ලාංකිකයන්ගේ යහපැවැත්ම අරඹයා කැපවෙන ස්වේච්ඡා සාමාජිකයන්ගෙන් සැදුම් ලත් කණ්ඩායමක්.

මනුෂ්‍යත්වයේ අගයන් රකිමු

මනුෂ්‍යත්වය යනු සෑම මිනිසෙකුගේම හද පතුලේ ගැබ්ව තිබෙන උතුම් මිනිස් හැඟීමකි. මිනිසුන් විසින්ම වළ දැමු මනුෂ්‍යත්වය, මිනිසුන් විසින්ම ගොඩගත යුතු කාලය පැමිණ ඇත. එහෙයින් එකිනෙකාට ගරු කරන, අවබෝධයෙන් කටයුතු කරන කාලයක් උදාකර ගනිමු.

“මිනිසුන් අතර ඉතාමත් ශ්‍රේෂ්ඨ පුද්ගලයා මිනිසුන්ගේ යහපත වෙනුවෙන් ජීවත්වන පුද්ගලයාය”. (නබි වදනකි)