විචිත්‍රවත් මීලාද් දිනය.
හජ්ජි සහ රාමසාන් උත්සව දින දෙකට අමතරව මීලාද් නබි උත්සව දිනයත් මුස්ලිම්වරු වෙනුවෙන් වෙන්ව තිබෙන රජයේ නිවාඩු දිනයකි. සෑම වසරක ම මෙම නිවාඩු දිනය යෙදෙන නිසා මීලාද් නබි දිනය යන නම වැඩි දෙනෙක් දන්නවා විය යුතු ය. එහෙත් එදින පිළිබඳවත්, ඒ දිනය හා බැඳි සංස්කෘතික අංගයන් පිළිබඳවත් වැඩි වැටහීමක් ඇතැයි නොසිතමි. කසීදා, දික්ර්, කන්දූරි ආදි විවිධ අංග මීලාද් දිනය හා බැඳී පවතිනඅංගයන් ය. බොද්ධයන්ට බුදුන්ගේ තෙමඟුලට දින විශේෂ දිනයක් වන අන්දමින් නබිතුමාගේ උපන්දිනය මුස්ලිම්වරුන්ට විශේෂ දිනයක් ලෙස හැඳින්විය හැකි ය. අදවන විට මෙරට විවිධ ප්‍රදේශවල ජීවත්වන මුස්ලිම්වරු අතර මෙම සම්ප්‍රදායන් විවිධ ප්‍රමාණයන්ගෙන් ක්‍රියාත්මක ය.
මීලාද් දිනය මව්ලූද් දිනය යැයි ද හඳුන්වයි. මීලාද් සහ මව්ලූද් යන්න උපන් දිනය අඟවන අරාබි වචනයෙන් සැකසී ඇති නමුත් මව්ලූද් යන්න බහුලව භාවිත වන්නේ මීලාද් දිනයට සමගාමීව ගායනා කරන භක්ති ගීත හැඳින්වීම පිණිස ය. මීලාත් දිනයට සමගාමීව සිදු කෙරෙන සංස්කෘතික අංගයන් සඳහා ආභාෂය වැඩි වශයෙන් ලැබී තිබෙන්නේ ඉන්දියාවෙනි. එනිසා මෙරට මීලාද් දිනය හා සම්බන්ධ සංස්කෘතිය දකුණු ආසියාතික ලක්ෂණයන්ගෙන් පොහොසත් ය. ලංකාවට අමතරව දකුණු ඉන්දියාව, මැලේසියාව, සිංගප්පුරුව ආශ්‍රිතව ද මීලාද් දිනය හා බැඳි විචිත්‍රවත් සංස්කෘතික ලක්ෂණ දැකගත හැකි ය. ඒවා ද ශ්‍රී ලංකාවට සමාන ය. අප්‍රිකානු රටවල්වල මෙන් ම ඉන්දුනීසියාව, තුර්කිය ආදී රටවල්වල ද මීලාද් දිනය හා බැඳුනු සංස්කෘතික අංග පවතී.
ඉස්ලාමීය දින දර්ශකයේ තුන්වන මාසය වන රබිඋල් අව්වල් මාසයේ 12 වන දිනය නබිතුමාගේ ජන්ම දිනය යැයි පොදු පිළිගැනීමක් පවති. එනිසා මෙම මාසය ආරම්භ වීමත් සමඟ නිවෙස් පිරිසිදු කර අලංකාර කරගැනීම, මුස්ලිම් දේවස්ථාන සැරසීමත් සිදු කරයි. මාසය ආරම්භ වීම සංකේතවත් කරමින් කොඩි එසවීම ද සිදු කෙරේ. රබිඋල් අව්වල් මාසයේ දාන මාන දීම් බහුලව සිදු කරනු ලබයි. විශේෂ ආගමික මෙහෙයන් සිදු කෙරෙයි. විශේෂයෙන් ම නබි තුමාණන්ට ආදරය දැක්වීම පිණිස නිතර නබිතුමා සිහිපත් කිරීම, නබිතුමාගේ ගුණ ගායනා කිරීම, ප්‍රශස්ති ගායනය සිදු කිරීම සිදු වේ. ඒ සඳහා විවිධ කසීදා ගායනය කරයි. මෙලෙස ගායනා කරන කසීදා අතර කසීදා බුර්දා වැදගත් ස්ථානයක් ගනී. කසීදා යනු අරාබි ගීත වර්ගයකි. දික්ර් හෙවත් ස්තෝත්‍ර මණ්ඩපයන් ද පවත්වයි.
රබිඋල් අව්වල් පළමු දින දොළහ තුළ සුබ්හාන මව්ලුදු නම් භක්ති ගීත ගැයේ. ඉමාම් ගස්සාලි සහ මුහම්මද් මදනි විසින් අරාබි බසින් රචිත සුබ්හාන මව්ලූද් ග්‍රන්ථයේ කුර්ආන් සහ හදීස් පාඨ ද ඇතුළත්ව බඳින ලද ගීත ඇතුළත්. භක්ති ගීත ගායනය සන්ධ්‍යාවේ සලාත් යාඥාවෙන් පසු මුස්ලිම් දේවස්ථානයේ ප්‍රධාන පූජකතුමාගේ ප්‍රධානයෙන් සිදු වෙයි. ඒ සඳහා ළමුන්ගේ සහභාගීත් වේ. විවිධ තාලයන්ගෙන් ගැයෙන භක්ති ගීත ගායනය විවිධ රටාවන්ට ද සිදු වෙයි. වම්පස හා දකුණු පස යනුවෙන් පිල් දෙකකට බෙදී ගායනා සිදු කෙරෙන අතර පූජක තුමා දකුණු පස අසුන්ගෙන පළමු ගීත ඛණ්ඩය ගායනා කරයි. වම්පස කණ්ඩායම ඊළඟ ගීත කණ්ඩය ගායනා කරයි. ගායනය අතරවාරයේ හිකායත් හෙවත් හදීස් කියවීම වැඩිහිටියන් විසින් සිදු කරනු ලබයි. මෙම භක්ති ගීත ගායනයට සහභාගී වන පිරිස් සඳහා කන්දූරි බත් යනුවෙන් ප්‍රචලිත පොල් කිරි දමා පිසූ ඉතා සුවඳවත් හා රසවත් බත් පිරිනමනු ලැබේ. මෙම බත් සැපයීම ගම්මුන් විසින් සපයනු ලැබේ. එමෙන් ම දේවස්ථානය සුවඳවත් කිරීම සඳහා සුවඳ විලවුන්, හඳුන් කූරු, කස්තුරු ආදිය ද භාවිත කෙරෙන නිසා මනරම් පරිසරයක් ගොඩනැගේ.
නබිතුමාණන්ට ආදරය සහ ගෞරවය දැක්වීම පිණිස කෙරෙන ගුණ ගායන හා කවි අතර කසීදා බුර්දා සුවිශේෂ කවියකි. ලොව වැඩි ම දෙනෙක් දන්නා, නිතර ගයනය කරන කාව්‍යයන්ගෙන් එකක් වන්නේ ද කසීදා අල් බුර්දා කාව්‍යයි. කසීදා යනු අරාබි භාෂාවෙන් ලියන කාව්‍ය ප්‍රවර්ගයක් වන අතර බුර්දා යනු ශුද්ධ වූ සළුවයි. වරෙක මුහම්මද් නබිතුමා ඉදිරියට පැමිණි, ඉස්ලාමය වැළඳගත් කඅබ් බින් සුහායිර් නම් සහාබිවරයා නබිතුමා ප්‍රශංසා කරමින් බනාත් සවු ආද් නම් ගීතයක් ගැයී ය. එය අසා සිටි මුහම්මද් නබිතුමා බෙහෙවින් සතුටට පත් ව තම සළුව (ලෝගුව) ගලවා, ඔහුට පොරවා ආදරය දැක්වී ය. එතැන් පටන් එම කාව්‍යය අල් බුර්දා නම් විය. අතීත ලෝකයේ කසීදා අල් බුර්දාව එය වුවත් වර්තමානයේ ප්‍රසිද්ධ බුර්දා කසීදාව එය නොවේ. වර්තමානයේ ප්‍රසිද්ධ බුර්දා කාව්‍යය 13 වැනි සියවසේ ඉමාම් අල් බූසරිතුමා විසින් රචනා කරන ලද්දකි.
ඉමාම් අල් බූසරිතුමා එනම් සර්ෆුද්දීන් අබු අබ්දුල්ලා මුහම්මද් බින් අල් බූසරි යනු 13 වැනි සියවසේ මම්ලුක් අධිරාජ්‍යයේ වර්තමාන ඊජිප්තු ප්‍රදේශයේ විසූ, බර්බර් ජනවර්ගයේ උපන් කවියෙකි. ෂාදිලීයා තරීකා ඛාණ්ඩයට අයත් එතුමාට මම්ලුක් රාජ්‍යයේ ඇමැතිවරයෙකු වූ ඉබ්නු හින්නාගේ අනුග්‍රහය යටතේ කාව්‍ය රචනා කිරීමට අවස්ථාව සැලසී තිබුණි. සිරුරේ එක් කොටසක් අප්‍රාණික වී සිටි ඉමාම් අල් බූසරිතුමා බුර්දාව රචනා කළේ අංශභාග රෝගයෙන් පීඩිතව ය.
අල් බුර්දාව අනු කොටස් 10කින් යුතු ය. මුහම්මද් නබිතුමා කෙරෙහි වූ ඔහුගේ ආදරය, ගෞරවය, මුහම්මද් නබිතුමාගේ ජීවිත කතාව, ප්‍රාතිහාර්ය, ඉස්රාව ආදිය ඒවායෙන් විස්තර කෙරෙන අතර අවසන් කොටස්වලින් දෙවියන් වහන්සේගේ කරුණාව වර්ණනා කරමින් මුහම්මද් නබිතුමාගේ මැදිහත්කාරකම ආයාචනා කරයි. බුර්දාව රචනා කළ එතුමා නිරතුරුව එය සිතමින්, ගයමින් එතුළින් දෙවියන්ගේ පිහිට පැතුවේ ය. දිනෙක නින්දේ සිටි ඔහු මුහම්මද් නබිතුමා සිහිනෙන් දුටුවේ ය. එතුමා හමුවේ සිය මනරම් ගීය ගැයූ ඔහු වෙත පැමිණි මුහම්මද් නබිතුමා සිය හස්තයෙන් ඔහුගේ වත පිසදමා සිය සළුවෙන් ඔහුව පෙරවූහ. එසැණින් පිබිදුණු ඔහුගේ රෝගය සුවපත් වී තිබිණි. එතැන් පටන් එම කාව්‍යය ඉස්ලාම් ලෝකය පුරා විසිර ගියේ ය.
රබීඋල් අව්වල් මස දොළොස් වැනි දිනය නබිතුමාගේ උපන්දිනය ලෙස සැලකෙන නිසා එදිනය ඉතා උත්සව ශ්‍රියෙන් සමරනු ලබයි. මෙදින වැඩිහිටියන් සහ විශේෂයෙන් ළමුන් භක්ති ගීත ගයමින් පෙරහැරෙන් ගම් පුරා සංචාරය කරනු ලැබේ. පෙරහැරේ යන ළමුන්ට ගමේ තැනින් තැන තේ පැන් බිස්කට් බීම වර්ග ආදියෙන් ද සංග්‍රහ කරනු ලැබේ. මෙය බෞද්ධයන් අතර පවතින පෙරහැර පිංකම් සහ දන්සැල් සිහිකරවන ඉස්ලාම් ආගමික සිරිතකි. බෞද්ධයන්ගේ පෙරෙහැර සහ හින්දූන්ගේ තිරුවිලාවලට සමාන ලක්ෂණවලින් යුතු මීලාද් දින උත්සව තමිල්නාඩුවේ සහ මැලේසියාවේ අදටත් දැක ගත හැකි ය. වර්ණවත් ඇඳුම්වලින් සැරසී වීථි පුරා ගමන් කරනු ලැබේ. මීට වසර වසර කිහිපයකට පෙර දක්වා ම මහනුවර කාට්ටු පල්ලියේ බැතිමතුන් විසින් ද හින්දූන්ගේ තේරුවලට සමාන විශාල කූඩුවක් කරත්තයක තබා ඇදගෙන පෙරහැරක යාම සිදු විය.
සති දෙකක කාලයක් තිස්සේ දිවෙන විවිධ චාරිත්‍ර වාරිත සහ උත්සවයන්ගෙන් පිරුනු මෙම පූජා සමය තුළ වලියුල්ලාවරුන් පිණිස කරනු ලබන සිරිත් විරිත් ද වැදගත් ස්ථානයක් ගනී. වලියුල්ලාවරු යනු අල්ලා දෙවියන්ගේ ආශිර්වාද ලත් සාන්තුවරු යැයි සූෆී තරීකා කණ්ඩායම්වල සාමාජිකයෝ අදහති. ඒ අනුවන ශ්‍රී ලංකාවේ දේශීය හා විදේශීය වලියුල්ලාවරු ඔවුන්ගේ ගෞරවයට පාත්‍ර වේ.
ගලේබණ්ඩාර දෙවියන් හෙවත් කුරාසාන් මොහොමඩ් වලියුල්ලා එවැනි දේශීය වලියුල්ලා වරයෙකු වේ. දකුණු ඉන්දියාවේ නාගූර් සිට පැමිණි ෂාහුල් හමීඩ් වලියුල්ලා ද ගෞරවයට පාත්‍ර වන විදේශීය මුස්ලිම් සාන්තුවරයෙකි. එතුමා දකුණු ඉන්දියාවේ සැමොරින් රජුගේ සහයෝගය මායාදුන්නේ රජුට ලබා දීමට මැදිහත් වූ අයෙකු බව කියැවේ. බලංගොඩ ප්‍රදේශයේ අබ්දුල් කාදර් ජීලානි සාන්තෘවරයාට ගෞරව දැක්වීමේ උත්සව ද පවත්වනු ලැබේ. බෞද්ධයෝ ආගමික උත්සවවල දී ධජ පතාකවලින් සැරසිලි කරන්නාක් මෙන් කොඩි උත්සව පවත්වා මේ ශාන්තෘවරයින්ට ගෞරව කරනු ලැබේ. කොඩි එසවීමේ දිනය විශේෂ දිනයක් වන අතර මෙම චාරිත්‍රය තවමත් වෙරළබඩ කලාපයේ මුස්ලිම්වරු අතර ප්‍රසිද්ධ ය. කොල පැහැති කොඩි මේ සඳහා භාවිත කරයි. බලංගොඩ දෆ්තර් ජීලානි කොඩි එසවීමේ උත්සවය, කතරගම කොඩි එසවීමේ උත්සවය, කල්මුණේ කඩකර පල්ලි වාසල් කොඩි එසවීමේ උත්සවය එවැනි වැදගත් අවස්ථා වේ. මෙම උත්සව සඳහා සිව් දෙසින් බැතිමතුන් පැමිණෙති. මෙම උත්සව ඇතැම් විට මීලාද් දිනට සමගාමීව හෝ වෙනත් දින වකවානුවක පවත්වනු ලබන්නේ ය.
ශාන්තෘවරු යැයි සැලකෙන පෙර කි පිරිසගේ සොහොන් ෂියාරම් යැයි හැඳින්වෙන අතර සූෆි තරීකාවන්ට සම්බන්ධ පිරිස් වාර්ෂිකව ඒවාට ගෞරව දැකවීම සඳහා ද කන්දූරි දානයක් පවත්වනු ලැබේ. මෙම දානයට ප්‍රදේශවාසි සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනා ම සහසම්බන්ධ වීම දක්නට ලැබේ. බේරුවල, කූරගල, කල්මුණේ කඩකර, මාතර පෝරුවේ යන මුස්ලිම් පල්ලිවල පැවැත්වෙන වාර්ෂික කන්දූරි උත්සව ඒවායින් කීපයකි.
මීලාද් දිනයට අදාළව රබීඋල් අව්වල් 12වන දින කන්දූරි උත්සවයක් පවත්වන අතර ගම්වාසීන් සහ දානපතියන්ගේ සහයෝගය ඇතිව ගම් කිහිපයකට බෙදා දීමට ප්‍රමාණවත් ආහාර පිසිනු ලබයි. ගමේ සියලු ම පවුල්වලට ආහාර බෙදා දෙන අතර කන්දූරි උත්සවය සඳහා අවට ගම්වලින් ද බැතිමතුන් පැමිණෙන නිසා පැමිණෙන සියලු දෙනාට ම ප්‍රමාණවත් ආහාර පිසිනු ලබයි. කන්දූරි (Kenduri) යනු ජාවාවරුන්ගේ (Javanese) සම්ප්‍රදායකි. කන්දූරි යනු ආශිර්වාදය පතා කෙරෙන නැතිනම් කිසිවක් සිහිපත් කිරීම සඳහා කෙරෙන හෝ වෙනත් ආගමික කටයුත්තක් සඳහා කෙරෙන භෝජන සංග්‍රහයයි. ජාවා දූපත්වලින් පැමිණි මැලේවරුන්ගෙන් මෙම සම්ප්‍රදා මෙරට මුස්ලිම්වරු අතරට පැමිණ ඇතැයි සිතිය හැකි ය. මීට අමතරව කන්දූරි යනුවෙන් මුහම්මද් නබිතුමාගේ අතර දියණිය වන ෆාතිමා මව්තුමිය මංගල්‍යයක් පර්සියානුවන් පවත්වන අතර එහි ආභාෂයෙන් කන්දූරි සම්ප්‍රදාය මෙරට මුස්ලිම්වරු අතරට පැමිණෙන්නට ඇත.
මීලාද් දිනය සැමරීමේ ඉතිහාසය නබි තුමාටගෙන් පසු දෙවන පරම්පරාවේ පිරිසක් අතරින් ආරම්භ වී ඇතැයි සැලකේ. තාබිඊන්වරු යැයි සැලකෙන ඔවුහු නබිතුමාගේ ගුණ ගායනය සඳහා කවි සාමූහිකව කවි ගායනා කර ඇත. මෙම සිරිතට නිළ පිළිගැනීමක් ලැබි තිබෙන්නේ ක්‍රි.ව 1588 ඔටෝමෝන් අධිරාජ්‍යයේ පාලකයෙක් යටතේ ය. නමුත් උත්සවාකාරයෙන් සැමරීම ඊජිප්තුවේ ආරම්භ වූ බවට හා බග්දාදයේ ආරම්භ වූ බවට ද මතයක් පවතී. කෙසේ නමුත් ආරම්භයේ පටන් ම මීලාද් දිනය සැමරීම පිළිබඳ ආගමික මතභේදයක් පැවති අතර එම මත භේදය අදටත් දැකිය හැකි ය. නබිතුමාගේ උපත මෙන් ම විපත සිදු වූ මාසයේ රබීඋල් අව්වල් ය. එනිසා එම මාසය සැමරීම නුසුදුසු යැයි පෙන්වා දෙන පිරිස් වැඩිදුරත් කියා සිටින්නේ ඉස්ලාමීය ප්‍රධාන මූලාශ්‍රවල නොමැති මෙවැනි සම්ප්‍රදායන් පිළිපැදීම ආගමානුකූල නොවන බව ය.