තිරසාර සංවර්ධනයට

ජනජීවිතයට සමෘද්ධිය සලසන මුහුඳු සම්පත විනාශ කළ හැකි ද?

ශ්‍රී ලංකාව සිව්දෙසින් ම මුහුඳෙන් වට වූ දූපතකි. කි.මී 1340ක මුහුඳු තීරයක් සහ වර්ග කි.මි21500ක් විශාල මුහුඳයක් ශ්‍රී ලංකාවට අයත් ය. මුහුඳ සිය ජීවනෝපාය සකස ගනිමින් ලක්ෂ 10 ජනගහණයක් මෙරට ජීවත් වෙති යොදා ගනිති. මෙරට සංචාරක කර්මාන්තයට ද මුහුඳු තීරය ගෙන දෙන්නේ ඉහළ වටිනාකමකි. රට වැසියන්ගේ ප්‍රෝටීන අවශ්‍යතාවයෙන් 55% සපුරන්නේ මුහුඳු සම්පත් මඟිනි. එමෙන් ම මුහුඳු මතස්‍ය සම්පත් මෙට්‍රික් ටොන් 25000ක ප්‍රමාණයක් අපනයනය කිරීමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 300ක වාර්ෂික ආදායමක් ශ්‍රී ලංකාවට හිමි වෙයි. ඒ අනුව මුහුඳ අපට දායාද වී තිබෙන සම්පතකි. රට වැසියාගේ සමෘයට හේතුවන සම්පතකි. ඒ අර්ථයෙන් බලන කල සාගර සම්පත තිරසාර ලෙස භාවිත කිරීම, කලමනාකරණය කිරීම, ආරක්ෂා කිරීම අපගේ වගකීමකි. නමුත් කනගාටුවට හේතු වී තිබෙන්නේ අනීතික ධීවර කටයුතු සහ සංවර්ධනය කටයුතු හේතුවෙන් මෙරට මුහුඳු සම්පත දූෂණය වීම ඉහළ යමින් තිබීම ය. එබැවින් මෙම ලිපිය තුළින් අපෙක්ෂා කරන්නේ මුහුඳු සම්පත ආරක්ෂා කිරීම පිළිබඳ ආගමික මගපෙන්වීම පිළිබඳව ය. සාගර සම්පත ආරක්ෂා කිරීම එක්සත් ජාතීන් සංවර්ධන වැඩසටහනේ තිරසාර අභිමතාර්තවලින් ද එකකි.
පොදුවේ ස්වභාවික සම්පත්, විශේෂයෙන් ම සාගර සම්පත්, ආරක්ෂා කිරීම, කළමනාකරණය කිරීම, භාවිතා කිරීම සහ සංරක්ෂණය කිරීම සම්බන්ධයෙන් ඉස්ලාමයේ සංකල්පය/දැක්ම මූලික වශයෙන් පහත මූලධර්මයන් මත ගොඩනගා ඇත:

  1. සාකල්‍ය / තව්හීද්
  2. කිලාෆා
  3. භාරය
  4. පාරිසරික සමතුලිතතාවය / ඉ‘තිදාල්
  5. ප්‍රයෝජනවත් නිර්මාණය / ඉස්තිස්ලා.
  6. අන්තර්-පරම්පරා සාධාරණත්වය / ස්වභාවික සම්පත් තිරසාර ලෙස භාවිතා කිරීම;
  7. ස්වභාවික සම්පත් අධි පරිභෝජන තහනම
  8. ආගමික වගකීමක් ලෙස ස්වභාවික සම්පත් සංරක්ෂණය
  9. නීතිය සම්පාදනය සහ බලාත්මක කිරීමේ අධිකාරීන්ගේ මූලධර්ම.

1- සාකල්‍ය / තව්හීද්; (දිව්‍යමය මූලිකාංග)
ඉස්ලාම් දහමේ පරිසරය සහ ස්වභාවික සම්පත් පිළිබඳ දැක්ම සාකල්‍ය වන අතර අල්-කුර්ආනයේ ඉගැන්වීම්වල සාරය වන ආචාර ධර්ම සහ ඒකදේවවාදය ද එයට ඇතුළත්. මුස්ලිම්වරයෙකුට, ඉස්ලාමයේ ආචාර ධර්ම (සදාචාර) සහ ඒකදේවවාදය ඉතා වැදගත් මූලිකංග වේ. එබැවින්, ස්වභාවික සම්පත්, ආර්ථිකය සහ අනෙකුත් තාක්ෂණික කාරණා, සෑම විට ම ඒක දේවවාදයේ මූලධර්මය, එනම් අල්ලාහ්ගේ සර්වබලධාරී බව තහවුරු කිරීමේ රාමුව තුළ තිබිය යුතු ය. සරලව විග්‍රහ කරන්නේ නම් මුළු විශ්වයේ නිර්මාතෘ වන්නෙත් සෑම දෙයක් ම නැවත යාම සිදුවන්නේත් දෙවියන් වෙතට යන්න විශ්වාස කිරීම ය. එමෙන් ම තව්හිද් අපට උගන්වන්නේ සියලු සාරධර්මවල උල්පත අල්ලාහ් පමණක් බව ය.
අල්-කුර්ආනයේ ඇතැම් වාක්‍යවලට අනුව මෙම සංකල්පයය විග්‍රහ වන්නේ දෙවියන්ගේ සෑම දෙයකට ම “මිනුමක්” (qadr) ඇති බවත්, එබැවින් සෑම දෙයක් ම දෙවියන් වහන්සේ මත රඳා පවතින බවත් ය. එබැවින් ඕනෑ ම (මිනිසා ද ඇතුළුව) අල්ලාහ්ගේ මැවීමක් ඒවාට හිමි යම් දෙයක් උල්ලංඝනය කරන්නේ නම්, විශ්වය අවුල් සහගත වනු ඇත.

ආචාර ධර්ම සඳහා විශාල වටිනාකමක් ලබා දෙන්නේ තව්හීද් හෙවත් දෙවියන්ගේ ඒකීය භාවය යි. තව්හීද්හි මෙම අගය කඩ කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම යනු ඉස්ලාමයේ විශාලත ම පාපකාරී ක්‍රියාව වන ෂිර්ක් වෙයි. එබැවින් ඒකදේවවාදය යනු මිනිසාගේ සෑම ක්‍රියාවක් සඳහා ම පදනමයි, බාහිර ක්‍රියාව සහ අභ්‍යන්තර ක්‍රියාව චින්තනය යන යන දෙකටම මෙය බලපාන්නේ ය.

2 – කිලාෆා (දේව නියෝජිත මූලධර්මය)
මිනිසාව මැවීම පිළිබඳවත් මිනිස් ජීවිතයේ අරමුණ සහ අර්ථය පිළිබඳවත් අල්කුර්ආනය දාර්ශනික ප්‍රවේශයකින් පැහැදිලි කරයි. මිනිසා මැවීමේ අරමුණ, දිව්‍ය කැමැත්ත ඉටු කිරීම සහ සාක්ෂාත් කර ගැනීමට කටයුතු කිරීම ය. මිනිසාගේ පරම වගකීම වන්නෙත් එයයි. දෙවියන් වහන්සේගේ උත්තරීතර (පරිපූර්ණ) මැවිල්ල බවට පත් කරමින්, මිනිසාට ශාරීරික, මානසික (සදාචාරාත්මක), බුද්ධිමය (aql) සහ අධ්‍යාත්මික (අල්ලාහ්ගේ මඟ පෙන්වීම) යන සියලු අත්‍යවශ්‍ය හැකියාවන් ලබා දී ඇත. ඒ අනුව මිනිසාට කලීෆතුල්ලාහ් (Khalifatullah) හෙවත් අල්ලාහේගේ නියෝජිතයා වශයෙන් විශේෂ මෙහෙවරක් පැවරෙයි.
මහපොළොවේ කලීෆතුල්ලාහ් (අල්ලාහ්ගේ නියෝජිතයා) වන මිනිසා, දෙවියන් වහන්සේගේ ගුණාංග අනුව (ක්‍රියාකාරීව)  කටයුතු කිරීමට ද බැඳී සිටියි. ස්වභාවධර්මය පිළිබඳ දෙවියන්ගේ එක් ගුණාංගයක් වන්නේ ස්වභාවධර්මයේ භාරකරුවෙකු, ආරක්ෂකයෙකු (අල්-රබ් – අල්’ආලමින්) වීමයි. එබැවින් පෘථිවියේ අල්ලාහ්ගේ නියෝජිතයා (කලිෆා) වශයෙන්, මිනිසා විසින් තම ජීවිතයේ තිරසාර බව ආරක්ෂා කර ගනිමින්, මිනිසුන් ඇතුළු දෙවියන්ගේ සියලු මැවීම් සඳහා ජීව ස්ථානයක් ලෙස පෘථිවිය කලමනාකරණය කිරීමට වගකිව යුතු ය.

3 – භාරකාරත්වය (දේවියන්ගේ භාරකාරත්වයේ මූලධර්ම)
ස්වභාවධර්මය මිනිසාගේ පරීක්ෂණ භූමියකි. මිනිසා, ස්වකීය කැමැත්තෙන්, ස්වභාව ධර්මය භාරයක් (අමානා) ලෙස සහ සදාචාර අරගලයේ ස්ථානයක් ලෙස තෝරගත්තේ ය. මෙම භාරකාරත්ව වගකීම, අහස, පොළොව සහ කඳුවැටිය භාර ගැනීම ප්‍රතික්ෂේප කළ බවත් කුර්ආනය පෙන්වා දෙයි. කෙසේ නමුත් මිනිසුන් මේ ලෝකයේ ඉතා වැදගත් භූමිකාවක් උසුලයි. මිනිසා විශ්වීය පරිසරයේ කේන්ද්‍රීය සාධකයයි. ස්වභාවධර්මයේ කළමනාකරුවා සහ භාරකරුවා මිනිසා ය.
ඉස්ලාමයට අනුව, පෘථිවියේ (ගොඩබිමේ සහ මුහුදේ) ස්වභාවික සම්පත්වලට හානි සිදුවුවහොත්, මහපොළොවේ දෙවියන්ගේ (කලිෆතුල්ලාහ්) නියෝජිතයා ලෙස දෙවියන්ගේ භාරය (අමානා) මිනිස් අතින් නොසලකා හැරීමක් සිදුවූ බවට හෝ උල්ලංඝණය වීමක් සිදු වූ බවට සැලකේ. මෙය සූරා අර් රූම්, (30: 41) තහවුරු කරයි: “මිනිසුන්ගේ අත් සොයා ගත් (නපුරු) ක්‍රියාවන් හේතුවෙන් මුහුදෙහි ද, ගොඩ බිමෙහි ද, අපරාධයන් ඇති විය. (ඒවායෙන්) ඔවුන් ඈත් වනු පිණිස, ඔවුන්ගේ (නපුරු) ක්‍රියාවන්ගෙන් සමහරක් ඔවුන් (මෙලොව දී ම) විඳින සේ ඔහු සලස්වන්නේ ය.“

4 – පාරිසරික සමතුලිතතාවය / ඉ‘තිදාල්
ලෝක ප්‍රජාව විසින් පරිසර සංරක්ෂණයේ එක් පදනමක් ලෙස අසූව දශකයේ සිට අවධාරණය කරනු ලැබුවේ පාරිසරික සමතුලිතතාවය පිළිබඳ සාධකයයි. එය පරිසරය පිළිබඳ ඉස්ලාමයේ ද ප්‍රධාන ඉගැන්වීමකි. අල්ලාහ් විශ්වය ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව සමානුපාතිකව හා නිශ්චිත ප්‍රමාණයකින් නිර්මාණය කර ඇති බව අල් කුර්ආනය පෙන්වා. දෙවියන් වහන්සේගේ මැවීමේ නිර්ණායක තුළ ද පිළිවෙල, සමබරතාවය සහ සමානුපාතිකත්වය යන අංග ඇතුළත්. අල්ලාහ් අල් කුර්ආනයේ මෙසේ ද ප්‍රකාශ කර ඇත.
“සැබැවින් ම, අපි සෑම දෙයක් ම මිනුමක් සහිතව සාදා ඇත”; (13-08),
“අපි භූමිය විස්තීරණය කර, එහි නොසෙළවෙන කඳු සිටෙව්වෙමු. සෑම දෙයක් ම (එයට හිමි) නියමිත ප්‍රමාණයකින් සකස් කළෙමු. (15-19)
ඉහත අල් කුර්ආන් වාක්‍යයන් පෙන්වා දෙන්නේ දෙවියන්ගේ මැවීම්වල ප්‍රමාණය, පිළිවෙල සහ සමබරතාවයක් තිබෙන බවයි. පස, ජලය, වාතය, ශාක හා සතුන් යන මූලද්‍රව්‍යවලින් සමන්විත ස්වභාවික පරිසරය සමානුපාතිකත්වය, සමබරතාව සහ සමතුලිතතාවය යන එකී සංකල්පයට අනුකූලව නිර්මාණය වී ඇත. ස්වභාවික පරිසරයේ එක් එක් අංග එකිනෙකට බලපෑම්කාරීව අන්තර් ක්‍රියාකාරීව පවතී. එබැවින් ස්වභාවික සම්පත්වල කිසියම් මූලද්‍රව්‍යක් අධික ලෙස භාවිතා කරන්නේ නම්, ස්වභාවික සම්පත්වල අනෙකුත් මූලද්‍රව්‍යයන් ද ව්‍යාකූල වන්නේ ය. ස්වාභාව ධර්මයේ ඇතිවන අසමතුලිතතාවයේ නිසා වැඩි ම බලපෑමක් සිදුවන්නේ මිනිසාට ය. මන්ද ස්වභාව ධර්මයේ දූෂණය සහ හානිය අවසානයේ බලපාන්නේ මිනිස් ජීවිතවලට ය. සාගර සම්පත් අධි පරිභෝජනය ද නීති විරෝධී සහ තිරසාර නොවන අයුරින් සාගර සම්පත් පරිහරණය ද ඒවායේ සමතුලිතතාවයට හා තිරසාරභාවයට බාධා ඇති කරන්නේ ය.

5 – ප්‍රයෝජනවත් නිර්මාණය / ඉස්තිස්ලා
දෙවියන්ගේ කිසිම මැවිල්ලක් නිෂ්ඵල නිර්මාණයක් නොවේ. දෙවියන් වහන්සේ මැවූ සෑම දෙයක් ම නිවැරදි සහ නිශ්චිත අරමුණු (ප්‍රතිලාභ) සහිතව නිර්මාණය කර ඇත. ඉස්තිස්ලා යනු ඉස්ලාමීය ෂරිආවේ ප්‍රධාන කුළුණකි. ස්වභාවික සම්පත් කළමනාකරණය ද ඊට අයත් ය. දෙවියන් වහන්සේ නිශ්චිත අරමුණක් ඇතිව නිර්මාණයක් කළ පසු (ඉස්තිස්ලා) මිනිසා විසින් පරිසරය තුළ විනාශකාරී ක්‍රියා කිරීම, දෙවියන් වහන්සේ පැහැදිලිවම තහනම් කරයි. ස්වභාවික සම්පත් සහ පරිසර පද්ධති ආරක්ෂා කිරීම සහ කළමනාකරණය කිරීමේ අරමුණ විශ්ව (සියලු ජීවීන් සඳහා) සුභසාධනයයි.

6 – අන්තර්-පරම්පරා සාධාරණත්වය (තිරසාරත්වයේ මූලධර්මය)
සාගර සම්පත ඇතුළු ලොව තිබෙන ස්වභාවික සම්පත් සියල්ල වර්තමාන සහ අනාගත පරම්පරාවේ ප්‍රයෝජනය සඳහා (අන්තර්-පරම්පරා සාධාරණත්වය) අල්ලාහ් නිර්මාණය කර ඇත. මහපොළොවේ දෙවියන්ගේ නියෝජිතයා බවට මිනිසා පත් කර ඔහුට භාරයක් ලෙස ද එය පවරා ඇත. මෙම සංසිද්ධිය පැහැදිලිව අන්තර් පරම්පරා සාධාරණත්වය පිළිබඳ සාධකය ද පැහැදිලිව පෙන්නුම් කරයි. එබැවින් ස්වාභාවික සම්පත් තිරසාර ලෙස භාවිත නොකර අධික ලෙස භාවිත කරන්නේ නම් සහ, අනාගත පරම්පරාවට (අන්තර්-පරම්පරා සාධාරණත්වය) කිසිදු ප්‍රතිලාභයක් එයින් ලබා දීමට නොහැකි වනු ඇත. ඒ අර්ථයෙන් බලන කල මෙය දෙවියන්ගේ අණ කඩ කිරීමක් ද වන්නේ ය.

7 – ස්වභාවික සම්පත් අධි පරිභෝජන තහනම
ස්වභාවික සම්පත් අධික ලෙස ප්‍රමාණය ඉක්මවා පරිභෝජනය කිරීම ඉස්ලාමය තහනම් කරයි. එමෙන් ම ඉස්ලාමය ඉල්ලා සිටින්නේ ස්වභාවික සම්පත් තිරසාර ලෙස සහ බුද්ධිමත්ව භාවිතා කරන ලෙසයි. කඩොලාන විනාශ කිරීම, කොරල්පර විනාශ කිරීම, සාගර ස්වභාවික සම්පත් දූෂණය කිරීම ආදි සියලු ම ක්‍රියා  අවසානයේ සමස්ත සාගර පරිසර පද්ධතිය ම විනාශ කිරීමට හා තර්ජනයට ලක්කිරීමට හේතුවන නිසා ඒ සියල්ල ඉස්ලාම තහනම් කර ඇත.

8 – ආගමික වගකීමක් ලෙස ස්වභාවික සම්පත් සංරක්ෂණය
ස්වභාවධර්මය, පරිසරය සහ ස්වභාවික සම්පත් භාවිතයේ දී තිරසාරභාවය සඳහා ඉස්ලාමීය ආචාර ධර්ම, සදාචාරය සහ හැසිරීම පිළිපැදීමට ඉස්ලාමය ආරාධනා කරයි. ස්වභාවික සම්පත් නාස්ති කිරීම හෝ අධි පරිභෝජනය නොකරන ලෙසත් ස්වාභාවික සම්පත් විනාශ කරන සියලු ක්‍රියා නීති විරෝධී ක්‍රියා ලෙස පිළිගන්නා ලෙසත් ඉස්ලාමය ආරාධනා කරයි. තවදුරටත් ඉස්ලාමය පෙන්වා දෙන්නේ කිසි ම ආකාරයක විනාශයක්, අවභාවිතයක් නොකිරීමත්, පරිසරයේ සහ ස්වභාවික සම්පත්වල ගුණාත්මකභාවය හා ප්‍රමාණයට හානි සිදුනොකිරීමත් සහ තිරසාර සංවර්ධන අනුගමනය කිරීමත් ආගමික වගකීමක් ලෙස ය.

9. නීති සම්පාදනය සහ බලාත්මක කිරීමේ අධිකාරීන්ගේ මූලධර්ම.
ස්වභාවික සම්පත් දූෂණය / අපහරණය, විනාශය සහ අධි පරිභෝජනයට හේතු වන ක්‍රියාවන් සිදුකිරීම ඉස්ලාමය තහනම් කරයි. මෙවැනි ෆසාද් අපරාද (fasād) ලෙස ඉස්ලාමය වර්ගීකරණය කර ඇත. මෙවැනි අපරාදවලින් සිදුවන හානි වළක්වා ගැනීම සඳහා සහ ස්වභාවික සම්පත් තිරසාර ලෙස කළමනාකරණය කරමින් සම්පත්වල ප්‍රයෝජනය සහ ප්‍රතිලාභ පොදු සමාජයටත් මතු පරම්පරාවටත් රැක දීමට රජයක් මඟින් නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මඟපෙන්වීම ඉස්ලාමීය නීතිය පෙන්වා දී ඇත.
සාකල්‍ය / තව්හීද්, කිලාෆා සහ අමානා යන මූලධර්ම ද, පාරිසරික සමතුලිතතාවය / ඉ‘තිදාල්, ප්‍රයෝජනවත් නිර්මාණය / ඉස්තිස්ලා, අන්තර්-පරම්පරා සාධාරණත්වය / ස්වාභාවික සම්පත් තිරසාර ලෙස භාවිතා කිරීම, ස්වාභාවික සම්පත් අධි පරිභෝජන තහනම, ආගමික වගකීම, සහ නීතිය බලාත්මක කිරීම සඳහා රාජ්‍ය අධිකාරියේ මැදිහත්වීම යන මූලධර්මය සියල්ල එක් වූයේ නම් ස්වභාවික සාගර සම්පත් කළමනාකරණය පිළිබඳ පුළුල් සංකල්පයක් ගොඩනැගෙන ඇත. මෙම රාමුව පිළිබඳව පුරවැසියා දැනුවත් කිරීම සහ ක්‍රියාත්මක කිරිීම නිසා පරිදි සිදුවන්නේ නම්, අපගේ සාගර සම්පත්වල ගුණාත්මක හා ප්‍රමාණාත්මකභාවයේ සිදුවන විනාශය හා හානිය පිළිබඳ ගැටලුව පහසුවෙන් ජය ගත හැකි ය.

සටහන සකීෆ් සාම්.

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *