භාරතයේ නිදහස වෙනුවෙන් සටන් කළ මුස්ලිම්වරු
2022 වසරෙහි භාරතය නිදහස ලබා 75 වන වසර සමරණ ලදී. භාරතයේ නිදහසේ ඉතිහාසයට අප මඳක් යොමු විය යුතු ය. භාරතයට නිදහස ලැබීමට දායක වූ පිරිස් අතර එහි වාසය කළ මුස්ලිම්වරුන් ද නොමසුරු දායකත්වයක් දිවි පුදා ලබා දුන්හ. බොහෝ මුස්ලිම්වරුන් ඉංග්‍රීසින්ට විරුද්ධව එදා හින්දුන් සමග නැගී සිටියහ. ඒ නිදහස් ඒකීය භාරතයක් වෙනුවෙන් ය. මහාත්මා ගාන්ධි සිය අවසානය තෙක් බල කළේ එක්සත් භාරතයක් සඳහාය.
මේ අතර බොහෝ ඉන්දියානු මුස්ලිම්වරු ඉන්දීය නිදහස් අරගලයට තම සමුහයාගේ දායකත්වය නිතර සිහිපත් කිරීමට මැලිකමක් දක්වති. මෙයට හේතුව එදා මුස්ලිම්වරුන් නිදහසට සහභාගී වූ බව සිහිපත් කරමින් ඉන්දියාවේ සියලු දෙනාට ම හිමි සමාන පුරවැසි අයිතිය උපයා ගැනීමට උත්සාහ කිරීමේ අවශ්‍යතාවයන් තමන්ට නැත යන ආකල්පයක් ඔවුන්ට සහජයෙන්ම තිබෙන නිසා ය. එනම් නිදහස් සටනට සහභාගී වුවා හෝ නොවුවා තමන් ඉන්දීය පුරවැසියන් යන්නෙහි මතභේදයක් නොතිබිය යුතු ය යනු ඔවුන්ගේ ස්ථාවරයයි. එය අවශ්‍ය නොවන විටෙක කරන නිවට නියාලු බැගෑපත්වීමක් වනු ඇත යනු ඔවුන්ගේ තර්කයයි.
කෙසේ වෙතත් තමන්ගේ අයිතිය වෙනුවෙන් හඬ නැගීමට සුළු ජාතියක් ලෙසින් මුස්ලිම්වරුන් පසුබට නොවිය යුතු ය යනු අසාදුද්දීන් උවෙයිසි වැන්නන්ගේ මතයයි. ලෝක් සභාව හෙවත් ඉන්දීයාවේ මධ්‍යම රජයේ පාර්ලිමේන්තුවෙහි හයිදරබාද් ප්‍රාන්තය නියෝජනය කරන උවෙයිසි ඉන්දියාවේ නිදහස වෙනුවෙන් මුස්ලිම්වරුන් කළ කැපවීම නිතර අවධාරණය කරන්නෙකි. වත්මන් දේශපාලනයට ඓතිහාසික සංවාද කේන්ද්‍රිය වී ඇති මෙවන් කාලවකවානුවක ඉන්දිය නිදහස වෙනුවෙන් මුස්ලිම්වරුන්ගේ දායකත්වය අවධාරණය කළ යුතු ප්‍රබල සාධකයක් යැයි උවෙයිසි පෙන්වා දෙයි.
ඉන්දියාවේ නිදහස වෙනුවෙන් සුද්දන්ට එරෙහිව නිර්භීතව සටන් කළ මුස්ලිම් විරුවන් අතරින් සිරාජුද් දවුලාන් ප්‍රමුඛයෙක් යැයි උවෙයිසි පවසයි. එමෙන් ම බෙංගාලයේ නවාබ් වු දවුලාන් ‘ප්ලැසි සංග්‍රාමය’ යයි ප්‍රකට යුද්ධයක් ඉංග්‍රිසින්ට එරෙහිව මෙහෙයවුයේ ය. කෙසේ වෙතත් එම යුද්ධයෙන් ඔහුට ජය හිමිවුයේ නැති අතර එයට හේතුව වූයේ ඔහුගේ හමුදාපති ලෙස කටයුතු කළ මීර් ජාෆර් සුද්දන් හා එක්වී කළ ද්‍රෝහිකමයි. ද්‍රෝහිකමට නිදසුන් දක්වන්නට අද වුව ද ඉන්දියාවේ ඇතැම් පිරිස් ජාෆර්ගේ නම සිහි කරති. එහෙත් ප්‍රාන්තයක නවාබ්ව එනම් පාලකයෙකුව සිටි දවුලාන් කැපවීමෙන් කළ දායකත්වය ගැන කතා නොකරති යැයි උවෙසි සිය සංවේගය පළ කරයි.
එසේ ම බ්‍රිතාන්‍ය පාලනය යටතේ හුදු නාම මාත්‍ර ස්වෛරී පාලනයක් භාරතයට ලබා දීමට ඉංග්‍රීසීන් කැමැත්ත පළ කළ විට එයට එරෙහිව පළමු වෙඩි මුරය තැබුවේ ද මුස්ලිම් ජාතිකයෙකු වූ උත්තර් ප්‍රදේශයේ හසරත් මොහානි යන සත්‍යය ද යටපත්ව ඇති බව උවෙසි පෙන්වා දෙයි. මහාත්මා ගාන්ධි 1942 වසරෙහි ඉංග්‍රීසින්ට එරෙහිව දියත් කළ විරෝධතා ව්‍යාපාරය සඳහා වන සටන් පාඨය වු Quit India (ඉන්දියාවෙන් පලයවි) මෙන් ම ඉන්කිලාබ් ජින්දාබාද් (විප්ලවයට ජය වේවා) යන සටන් පාඨය ද නිර්මාණය කළේ හසරත් මොහානි ය. බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව අරගල කිරීම නිසා අට වරක් රැජිනගේ නිලධාරීන් විසින් මොහිනිව සිරගෙට යවන ලදී.
මෙයට සමගාමීව සය්යිද් උබෙයිදුර් රහ්මාන් නම් වන ප්‍රකට කතුවරයෙක් භාරතයේ නිදහස වෙනුවෙන් සටන් කළ හා දිවි පිදු ඉන්දීය මුස්ලිම්වරුන්ගේ නම් සහ විස්තර සහිත නාමාවලියක් ප්‍රකාශයට පත් කළේ ය. ඉන්දියානුවන්ගේ මතකයෙන් ගිලිහෙමින් සිටින මෙවන් ඉන්දීය මුස්ලිම්වරුන්ගේ මතකය අලුත් කිරීමට තමා මෙම මෙහෙය කළ බව සය්යිද් උබෙයිදුර් රහ්මාන් පවසයි. මෙම නාමාවලියෙහි සඳහන් මුස්ලිම් විරුවන්ගේ නම් අතර මුලින් ම සඳහන්ව ඇත්තේ ඉංග්‍රීසීන්ට එරෙහිව සටන් වැදුනු හා අවසාන මෝගල් අධිරාජයා වු බහදුර් ෂා ජාෆර්ගේ නමයි. 1857 ඉංග්‍රිසි පාලකයන්ට එරෙහිව පැවති විරෝධතා අරගලයෙන් පසු සුද්දන් විසින් එම අරගලය සංවිධානය කළ බහදුර් ෂා ජාෆර්ව රැංගූනයට (වර්තමාන මියන්මාරය) පිටුවහල් කරන ලදී. මෝගල් පාලනය ගැන අසත්‍ය ප්‍රචාර කොතෙක් අද අසන්නට ලැබුණ ද හින්දුන් සහ මුස්ලිම්වරුන් දහස් ගණනින් ආක්‍රමණික සුද්දන්ට එරෙහිව පෙළගස්වා එනිසා ම සිය රාජධානිය පවා අහිමි වි රටින් පිටුවල් කරනු ලැබු ජාෆර් වැනි විරුවන් ගැන කිසිවෙකු කථා නොකරති.
මොවුන් හැරෙන්නට බටන් මිලාන් නම් මුස්ලිම් අරක්කැමියා ද සිය දේශ හිතෛෂි බව නිසා ඉංග්‍රීසින් විසින් සිපිරිගෙයට පත් වුවෙකි. මොහු මහාත්මා ගාන්ධිගේ සුපවේදියාව සිටි අතර ඔහුව රහසිගතව හමු වු ඉංග්‍රීසින් විසින් මහත්මා ගාන්ධිගේ ආහාරවලට විෂ මුසු කරන මෙන් ඔහුට කරන ලද නියෝගය ප්‍රතික්‍ෂේප කිරීම මොහු කළ වරද විය. ඇතැම් විට මහත්මා ගාන්ධිට විෂ දෙන්නට බටන් මිලාන් එකග වී තිබුණොත් ඉන්දියාවේ නිදහසේ ඉතිහාසය මෙයට වඩා වෙනස් වන්නට පවා තිබුණි. තවත් ලෙසකින් කියනවා නම් මෙය වනාහී ඉන්දියාවේ ඉරණම හැන්දක් සොලවා වෙනස් කර එය වෙනුවෙන් රැජිනගෙන් බුහුමන් ලැබීමේ අවස්ථාව සාමාන්‍ය අරක්කැමියෙකු වු අසරණ මුස්ලිම් ජාතිකයෙකුගේ අතට පත් වුව ද ඔහු භාරතයේ යහපත උදෙසා විශිෂ්ට තීරණයක් ගනිමින් මව්බිමට ද්‍රෝහි වනවාට වඩා සිරගෙය හොඳය යැයි සිතා කටයුතු කළ අද්වීතීය අවස්ථාවක් ලෙස ද මෙය විග්‍රහ කළ හැකි ය.
මෙලෙසින් භාරතය වෙනුවෙන් කැපවීම් කළ මුස්ලිම්වරුන් බොහෝ සිටිය ද ඉන්දියාවේ පාසැල් පෙළ පොත්වල මව්ලානා අබ්දුල් කලාම්, ආසාද් ඛාන්, අබ්දුල් ගෆාර් ඛාන් වැනි අතළොස්සක් අයගේ නම් පමණක් ඇතුළත් කර ඉන්දිය ප්‍රජාවගේ මතකය ඒ අන්තයෙන් සීමිත කරන්නට එතෙක් මෙතෙක් සිටි බලධාරින් කටයුතු කර තිබීම කණගාටුවට කරුණකි.
මුස්ලිම්වරුන්ගේ නාමාවලියක් සම්පාදනය කළ සය්යිද් උබෙයිදුර් රහ්මාන්ගේ අදහස් දැක්වීමක් සමග මෙම ලිපිය අවසන් කරමු. ‘ක්‍රිස්තු වර්ෂ 1800 සිට 1947 දක්වා ඉංග්‍රීසීන්ගෙන් නිදහස ලබා ගන්නට දායකවු මුස්ලිම්වරුන්ගේ නම් ගම් ඉන්දියානුවන්ගේ මතකයෙන් ඉවත් කිරීමට හා ඒවා යටපත් කිරීමට ඇතමුන් කරන වෑයමේ නිමක් නොමැතිව තිබුණද එම මතකයන් අළුත් කරන්නට මිලියන 200 ක් වන ඉන්දීය මුස්ලිම් සමුහයා සිදු කරන මෙහෙයන් නම් දක්නට ලැබෙන්නේ ඉතා අල්ප වශයෙනි’
යම් ජන කොටසක් තම පෞඨ ඉතිහාසය සංරක්‍ෂණය කරන්නට කටයුතු නොකරයි නම් එම ඉතිහාසය තමන්ට රිසි ලෙසින් හා සෘණාත්මක ලියන්නට අන් සමුහයා කටයුතු කරනු ඇති බව කිසිවෙකු අමතක නොකළ යුතු ය.