මේ පිරිමියෙක් බව පිරිමින් පවා විශ්වාස නොකළ ‘තුවාන් හලාල්ඩීන් ෂෙරිෆ්’ නොහොත් “සරලා බායි” ගේ කතා පුවත.
1947 දී කඩවුණු පොරොන්දුවෙන් ඇරඹුණු “සිංහල සිනමාව” විසින් මෙරට නාට්‍ය කලාවට එක්තරා ආකාරයක මරු පහරක් එල්ල කළ බව කවුරුත් දන්ති. සිනමා හල්, ප්‍රේක්ෂකයන් ගෙන් පිරී ඉතිරී යාමට පෙර ශ්‍රී ලාංකිකයන් හට රසවින්දනය ලබා දුන් ටවර් හෝල්, එල්ෆින්ස්ටන් වැනි රංග ශාලා සිනමාවේ ආගමනයෙන් ප්‍රේක්ෂකයන්ගෙන් පිරුණු අවස්ථා නැති තරම් ය.
නමුදු ටවර් හෝල් යුගය යනු ශ්‍රී ලංකාවේ ප්‍රථම කලා තාරකාවෝ බිහිවූ යුගය යි. පටිගත කළ සිනමා පට දෙස බලා සිටිනවාට වඩා සජීවීව, රංගන ශිල්පීන් සහ ශිල්පිනියන්ගේ ඉදිරිපත් කිරීම් රසවිඳීමට එකල ප්‍රේක්ෂකයෝ වාසනාවන්ත වූහ. කලා තරු රංග ශාලා වෙත ඇතුළු වන විට ම රසික රසිකාවියෝ ඔවුන්ව සමීපව දැක බලා ගැනීමට ගේට්ටු අසළ පොර කෑ බව එකල පුවත්පත් වාර්තා කරයි.
කාලයා විසින් අපගෙන් වසන් කළ ඒ කලා තාරකාවෝ කවුරුන් ද… මාලනී, විජය, රවීන්ද්‍ර, ශ්‍රියානි වැනි චරයන්ගෙන් පසු, අප රටේ කලා තරු බිහිවුණේ ම නැති තරම් ය. ශ්‍රියන්ත මෙන්ඩිස්, ජැක්සන් ඇන්තනී, කමල් අද්දරරාච්චි, යශෝධා විමලධර්ම වැනි අතිදක්ෂ රංගන ශිල්පීන් සහ ශිල්පිණියන් හට තරු ලකුණු තිබුණ ද ඔවුන් කරළියට පැමිණි යුගයේ රටේ ඇති වූ කලබලකාරී තත්ත්වයන් නිසා ලාංකිකයන් හට ඔවුන්ගේ කලා කෘති නිසි ලෙස රසවිඳීමට නිදහසක් නොතිබුණි. අද වන විට ලාංකීය තරුණ තරුණියෝ විදේශීය තරු පසුපස හඹා ගිය ද පනහේ දශකයටත් පෙර සිට ම අප රටේ සිටි ස්වදේශීය කලා තරු පිළිබඳව දැන සිටීම ඉතා වැදගත් ය.
මේ සටහනේ කතානායකයා “සරලා බායි” නැමති ජන ආකර්ෂණය නොමඳව දිනා ගත් නාට්‍යාංගනාවයි. මෙම සටහන කියවන ඔබට මේ වන විටත් ගැටලුව පැනනැගී තිබෙන්නට පුළුවනි. කතානායකයා, නාට්‍යාංගනාවියක් වන්නේ කෙසේ ද යන්නයි… ටවර් හෝල් යුගයේ සිටි “සරලා බායි” සුවිශේෂී වන්නේ ඒ නිසා ම ය. සරලා බායි පිරිමියෙකි. ඔහුගේ සැබෑ නම තුවාන් හලාල්ඩීන් ෂෙරිෆ් ය.
තුවාන් හලාල්ඩීන් නොහොත් සරලා බායි 1924 අගෝස්තු මස 07 වැනි දා මීරිගම ලෝලුවාගොඩ ග්‍රාමයේ උපත ලැබුවේ ය. ඔහු පිරිමියෙක් වුව ද ඔහුගේ ඇතැම් අංග ලක්ෂණ කාන්තාවකගේ ශරීර ලක්ෂණවලට සමානව පිහිටා තිබී ඇත. වැඩිවියට පත්වත්ම ඔහුගේ රන්වන් පැහැ සිරුරත්, නාසය මත තිබූ ලපයත් නිසා ඔහුව කාන්තාවක් සේ බොහෝ දෙනෙක්ට පෙනී ඇත. ඔහු කුඩා කල සිට ම නර්තනයට දස්කම් පා ඇති අතර ඔහුගේ සිනහව සැමගේ සිත් ගන්නා සුළු විය.
බොම්බායේ සිට මෙහි පැමිණි නර්තන ශිල්පින්ගෙන් වැඩිදුරටත් නර්තනය හදාරා ප්‍රගුණ කළ තුවාන් නොහොත් සරලා බායි සෙක්කුවත්තේ පවත්වනු ලැබූ නර්තන තරඟයක දී සිය ජීවිතයේ හැරවුම් ලක්ෂය සකසා ගත්තේ ය. එම තරඟයේ දී සිය දක්ෂතාව මනාව හෙළි කළ ඔහු කාගෙත් සිත් අමන්දානන්දයට පත්කළේ ය. ඔහුගේ නර්තනය පිළිබඳ ආරංචිය ලැබුණු බොහෝ දෙනෙක් එම ස්ථානයට පැමිණි අතර නර්තන අංගය අවසන් වන විට විශාල සෙනඟක් පිරී ඇත. තුවාන් හලාල්ඩීන් එදින වේදිකාවෙන් බැස යන විට රැස්ව සිටි ජනයා ලේන්සුවල මුදල් දමා ඔහු අතේ ගැටගසා ඇති බවත් තවත් පිරිසක් වස්ත්‍රයේ මුදල් රැඳවූ බවත් පසුකාලීනව ඔහු විසින් ම පවසා ඇත. ඒ ඔහු කාන්තාවක් යැයි රැවටුණු නිසා ය.
ඔහුගේ රංගන දක්ෂතාව පිළිබඳ දැනගත් ටවර් හෝල් නාට්‍ය පදනම ඔහුට එහි රඟ දැක්වෙන් නාට්‍යන් සඳහා නර්ථනයෙන් දායක වීමට ඇරයුම් කර ඇත. ඒ කාලයේ ටවර් හෝල් නාට්‍යය ශිල්පිනියන් වූ ලක්ෂ්මි බායි, විමලා කාන්තා, සෝමා කාන්තා යන අය ජනප්‍රයත්වයේ හිනිපෙත්තේ සිට ඇත. වැඩි කල් නොගොස් තුවාන් හලාල්ඩීන් ද මහජනයා අතර සුප්‍රසිද්ධ චරිතයක් බවට පත් වූ අතර ඔහුගේ නර්තන සියල්ල කාන්තා නර්තන වූ බැවින් ඔහුගේ නම සරලා බායි ලෙස වෙනස් කරගැනීමට සිදු වී ඇත.
විශාල ජනප්‍රියත්වය ලැබීමෙන් පසු වැරදි මාර්ගයේ ගොස් කරන මුදල් ඉපයීම හෝ වෙනත් ලාභ ඉපයීමට පෙළඹෙන ඇතැම් කලාකරුවන් මෙන් සරලා බායි කටයුතු නොකිරීම නූතන කලාකරුවන්ට හොඳ ආදර්ශයකි.
‘සරලා බායි’ පිරිමියෙක් ය, යන්න කිසිවෙක් විශ්වාස නොකළහ. දිනක් නාට්‍යයකින් පසු තරුණයෙක් සරලා බායිගේ නිවසට පැමිණ සරලා සමඟ කසාද කර දීමට ඇවිටිලි කර ඇත. එම තරුණයා හට නිවැසියෝ සරලා බායි පිරිමියෙක් බව පහදා දුන්න ද ඔහු එය කිසිලෙසක් පිළිනොගත්තේ ය. අවසානයේ නිවැසියෝ එක්වී සරලාව නිවසේ දුම් කවුළුවේ සැඟවීමට සිදු වී ඇත.
ඔහු ඉතා විනයගරුක කලාකරුවෙක් ලෙස සියලු දෙනා අතර ප්‍රකටය.සිය ඇඳුම් මාරු කිරීම්, කොණ්ඩා මෝස්තර ඔහු විසින්ම තනිව කරගෙන ඇත .ඔහුගේ ඇඳුම් පවා ඔහු විසින්ම සකසාගෙන ඇත.නර්තනය කරන අතරතුර ඔහු ඇඳුම් දහතුනක් මාරු කරන බව එකල ප්‍රේක්ෂකයින් පවසා ඇත.නර්තනයේ යෙදෙන අතරතුරම ක්ෂණයෙන් ඇඳුම් මාරු කිරීම සැමට මැජික් සංදර්ශනයක් මෙන් විය.මුලින්ම සාරියක් හැඳ පැමිණි සරලා එය ක්ෂණයෙන් ගැලවූ විට ඇතුළින් ගවුමක් වූ බවත් තවත් ඇඳුම් විශාල ප්‍රමාණයක් එලෙස ගැලවීමෙන් පසුව අවසානයේදී හැට්ටයක් සහ දිලිසෙන සායක් හැඳ නර්තනය අවසන් කරන බවත් එකල වාර්තා පෙන්වා දෙයි.
සරලාගේ නර්තනයන්හි දී අවසන් කොටස ඉතා වේගයෙන් සිදුකරන අතර එහි දී සරලා තබ්ලා පද ද කියමින් නර්තනයේ යෙදෙයි. සරලාගේ නර්තනයන්ට තබ්ලා වාදනය කිරීමේ හැකියාවක් තිබී ඇත්තේ ප්‍රවීණ තබ්ලා වාදකයන්ට පමණි. සරලා නර්තනයේ යෙදෙන වන දිනයන්හිදි වස්ත්‍ර මාරු කිරීම් ආදියට රංග ශාලාවේ තනි කාමරයක් සැමවිට ම ඉල්ලා ඇති අතර ඔහුගේ එම ඉල්ලීම එලෙස ම සළසා දී ඇත. එයට ඇතුළු වීමට කිසිවෙකුටත් අවසර දී නැති ඇති අතර අධ්‍යක්ෂකවරුන් එයට ඇතුළු වීමට නම් සරලාගේ පෞද්ගලික සහායක වූ ගෆූර්ගෙන් අවසරයක් ගැනීමට සිදුවී තිබේ. සරලා අසූව දශකය දක්වා ම නර්තනයේ යෙදුණු අතර කිසිදු දිනෙක සිය කීර්තිය කැළලක් එක් කරගත්තේ නැත. ඒ සරලාගේ විනයගරුක බව නිසාම ය.
සරලා බායි, රුක්මණී දේවියගේ රුවට බොහෝ සෙයින් සමාන වුණු අතර සරලා බායිව දුටු බොහෝ දෙනෙක් ඒ රුක්මණී දේවිය යැයි රැවටුණු අවස්ථා ද වාර්තා වී ඇත. රුක්මණී දේවිය සහ සරලා බායි පසුකාලීනව ඉතා සමීප මිතුරෝ බවට පත් වූහ.
සිනමාවේ ආගමනයත් සමඟ නාට්‍ය රංගනි ශිල්පියෝ වැඩි දෙනෙක් මහමඟට ඇද වැටුණහ. සරලාට ද ඒ යුගය පහසු වූයේ නැත. “ආර්‍ය සිංහල නාට්‍ය සභාව” විසින් ටවර් රඟහල රජය සතු කිරීමට කළ සටනේ සරලා බායි ඉදිරි පෙළේ සිටි චරිතයක් වූවේ ය. ටවර් හෝල් රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් හට ඇහුම්කන් දී ටවර් හෝල් රඟහල ප්‍රතිසංස්කරණය කිර, කලාකරුවන් සහ කලාකාරිනියන් හට විශ්‍රාම වැටුපක් සහ නිවසක් ලබා දීම එකල රජය සිදුකර ඇත. එහිදී සරලා බායි හට ද නිවසක් ලැබී තිබේ.
ජීවිතයේ සැඳෑ සමය සරලා හට එතරම් සුවදායක එකක් නොවී ය. 1996 දී ලියුකේමියා රෝගයෙන් පීඩා විඳි සරලා ගැන සහ ඔහුගේ අර්ථික තත්ත්වය පිළිබඳව දැක්වෙන ලිපි පුවත් පත්වල පළ වූව ද එකල රජය හෝ දානපතියන්ගේ කිසිඳු සහායක් නොලැබීම කණගාටුවකට කරුණකි. සරලාගේ නර්තනය රසවිඳි කිසිවෙක් ද ඔහුගේ දුක සැප විමසීමට පැමිණ නැත. එම වර්ෂයේ ම සරලා බායි සදහට ම දෑස් පියාගත්තේ ය. 1995 දී කලාභූෂණ සම්මානයෙන් ද, මුස්ලිම් සංස්කෘතික සම්මානය වන “මාලිකුල් මස්‍රහි” සම්මානයෙන් ද පිදුම් ලැබූ සරලාගේ සේවය එයට සීමා කළ නොහැක.
සරලා මෙන් උපත ලබන බොහෝ දෙනෙක් වත්මන් සමාජයේ සිටින බව අප කවුරුත් දනිමු. නමුත් සරලා සේ ගෞරවාන්විතව, කිසිදු කළු පැල්ලමක් ජීවිතය එක් නොකරගනිමින් මියයන්නේ ඉන් ඉතා සුළු පිරිසක් පමණි.
ජෙහාන් ගෝමස්ගේ සටහනකින් මෙම ලිපිය සංස්කරණය කළේ සකීෆ් සාම්.
Tags: