සිංහල සහ දෙමළ කියන්නේ අද ලංකාවේ ස්වදේශිකයෝ කතා කරන ප්‍රධාන භාෂා දෙකක් විතරයි. මීට අමතරව මැලේ, රොඩියා, වැදි, සහ පෘතුගීසි යන භාෂාවන් සුළු ජන කණ්ඩායම් අතර භාවිත කෙරෙනවා. විදේශීය භාෂාව ලෙස ඉංග්‍රීසි ද මෙරට භාවිතයේ පවතිනවා. සිංහලයන්ගේ භාෂාව සිංහල භාෂාව වන අතර ද්‍රවිඩයන්ගේ භාෂාව දෙමළ ය. අනුපිළිවෙලින් මැලේ, බර්ගර්, රොඩී සහ වැදි ජන වාර්ගිකයන්ගේ භාෂා වශයෙන් මැලේ, පෘතුගීසි, රොඩිය සහ වැදි භාෂා හඳුනාගත හැකි ය. මෙම ජන කොටස් ඉතිහාසය පුරාම තමන්ගේ මව් භාෂාව ලෙස භාවිත කළේ සහ තවමත් භාවිත කරන්නේ මෙකී භාෂාවන් ම ය. එහෙත් මුස්ලිම්වරුන්ගේ භාෂා භාවිතයේ මීට හාත්පස වෙනස් ය. කාලයත් සමඟ විවිධ වෙනස්කම්වලට භාජනය වී සහ භාජනය වෙමින් පවතී.
වත්මන් ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 9.7%ක ප්‍රතිශතයක් වන මුස්ලිම් හෙවත් යෝනක ජනයාගේ මව්භාෂාව පිළිබඳව තවමත් තිබෙන්නේ මතභේදයක් සහ අපැහැදිලිතාවයකි. මුලින්ම මෙරටට පැමිණි අරාබීන් කතා කරන්නට ඇත්තේ අරාබි බසිනි. තත්කාලීනව මෙකී යෝනකවරු කතා කරන භාෂාව දමිළය. එහෙත් 8 වන සියවස සිට 19 වන සියවස තෙක් ඔවුහු භාවිත කළේ අර්වි යනුවෙන් හදුන්වන භාෂාවකි. එම භාෂාව සෝනහර් යනුවනේ ද යෝනකවරු හඳුන්වන්නට යෙදුනු බවත් තවත් අදහසක් පවතී. ඒ කෙසේ වෙතත් මෙම ලිපියේ අරමුණ වන්නේ සිංහල පාඨකයන් බොහෝ දෙනා නොදත් මෙම අර්වි භාෂාව පිළිබඳ සැකෙවින් අවබෝධයක් ලබා දීමයි.
භාෂාවක් කියන්නේ එකිනෙකා අදහස් සන්නිවේදනය කරගන්න හුදු මෙවලමක් විතරක්ම නෙවෙයි. සංස්කෘතියක් නිර්මාණය කරන්නෙත් මෙකී භාෂාවෙන්මයි. එකම රටක් තුළ විවිධ සංස්කෘතීන් බිහි වන්නේ විවිධ භාෂා හෝ ආගම් තිබෙන නිසා ය. එකල මෙරට විසූ මුස්ලිම්වරුන්ගේ සංස්කෘතිය, සාහිත්‍යය සහ කලාව ගොඩනැගුනේ මෙකී අර්වි භාෂාව පදනම් කරගනිමිනි. එසේ නම් ලංකා යෝනකවරු ලෙස පොදුවේ හඳුන්වනු ලබන මුස්ලිම්වරුන්ගේ සංස්කෘතිය, කලාව, සාහිත්‍යය හා සෞන්දර්ය හැදෑරීමට ප්‍රථමව ඔවුන්ට භාෂාව ගැන හැදෑරීම උචිතය.
අර්වි භාෂාව කෙටි හැඳින්වීමක්
8 වන සියවසයෙන් පසු ශ්‍රී ලංකාවේ සහ දකුණු ඉන්දියාවේ වාසය කළ මුස්ලිම්වරුන්ගේ භාෂාව මෙනමින් හැඳින් වේ. අර්වි භාෂාව දෙමළ භාෂාවෙන් වෙනස් වූයේ මුස්ලිම්වරු කතා කළ දෙමළ භාෂාවට තිබූ අරාබි හා පර්සියානු භාෂාවල ලක්ෂණයන්හි බලපෑම නිසාය. දෙමළ වචන උච්චාරණය තුළ අරාබි උච්චාරණ ලක්ෂණ තිබීමත් අරාබි හා පර්සියානු වචන බහුලව එකතු කර භාවිත වීමත් එම ලක්ෂණ අතර ප්‍රධාන ය. මෙම ආභාෂය අද වන තුරුත් ලංකාවේ සහ ඉන්දියාවේ දෙමළ භාෂාව කතා කරන මුස්ලිම්වරු අතර පවතියත් අද එම භාෂාව අර්වි යනුවෙන් තනි අනන්‍යතාවයක් නොගනී. ඊට හේතුව එකල අර්වි භාෂාවේ විශේෂත්වම ලක්ෂණය වූ අරාබි අක්ෂර ලේණය සඳහා භාවිත කර වර්තමානයේ අභාවයට ගොස් තිබීමයි. එකල මුස්ලිම්වරු දෙමළ හෝඩියේ අක්ෂර දෙසීයකට වැඩි ප්‍රමාණය අක්ෂර වෙනුවෙන් අරාබි අක්ෂර 28ත් අමතරව තවත් අක්ෂර 8කුත් එකතු කර භාවිත කළහ. එලෙස මුස්ලිම්වරු ගොඩනගාගත් මෙම නව භාෂාව ලිසානුල් අර්වි යනුවෙන් ද අරබුත්තමිල් යනුවෙන් ද හඳුන්වයි. කෙටියෙන් සඳහන් කළහොත් : ආර්වි භාෂාව (අරබුත්තමිල්) යනු වර්තමානයේ මුස්ලිම්වරු කතා කරනු ලබන දමිළ භාෂාව අරාබි (බහුතර) අක්ෂර අනුව ලියනු ලබීම යයි කීවත් වැරදි නැත. අර්වි භාෂා හෝඩිට අදාල යුනිකෝඩ් කේත ද හඳුන්වා තිබෙන බවත් සඳහන් කළ යුතු ය. අර්වි භාෂාවේ භාවිත කළ අක්ෂර මාලාව පහතින් දැක්වේ.
8 වන සියවසයෙන් පසු ශ්‍රී ලංකාවේ සහ දකුණු ඉන්දියාවේ වාසය කළ මුස්ලිම්වරුන්ගේ භාෂාව මෙනමින් හැඳින් වේ. අර්වි භාෂාව දෙමළ භාෂාවෙන් වෙනස් වූයේ මුස්ලිම්වරු කතා කළ දෙමළ භාෂාවට තිබූ අරාබි හා පර්සියානු භාෂාවල ලක්ෂණයන්හි බලපෑම නිසාය. දෙමළ වචන උච්චාරණය තුළ අරාබි උච්චාරණ ලක්ෂණ තිබීමත් අරාබි හා පර්සියානු වචන බහුලව එකතු කර භාවිත වීමත් එම ලක්ෂණ අතර ප්‍රධාන ය. මෙම ආභාෂය අද වන තුරුත් ලංකාවේ සහ ඉන්දියාවේ දෙමළ භාෂාව කතා කරන මුස්ලිම්වරු අතර පවතියත් අද එම භාෂාව අර්වි යනුවෙන් තනි අනන්‍යතාවයක් නොගනී. ඊට හේතුව එකල අර්වි භාෂාවේ විශේෂත්වම ලක්ෂණය වූ අරාබි අක්ෂර ලේණය සඳහා භාවිත කර වර්තමානයේ අභාවයට ගොස් තිබීමයි. එකල මුස්ලිම්වරු දෙමළ හෝඩියේ අක්ෂර දෙසීයකට වැඩි ප්‍රමාණය අක්ෂර වෙනුවෙන් අරාබි අක්ෂර 28ත් අමතරව තවත් අක්ෂර 8කුත් එකතු කර භාවිත කළහ. එලෙස මුස්ලිම්වරු ගොඩනගාගත් මෙම නව භාෂාව ලිසානුල් අර්වි යනුවෙන් ද අරබුත්තමිල් යනුවෙන් ද හඳුන්වයි. කෙටියෙන් සඳහන් කළහොත් : ආර්වි භාෂාව (අරබුත්තමිල්) යනු වර්තමානයේ මුස්ලිම්වරු කතා කරනු ලබන දමිළ භාෂාව අරාබි (බහුතර) අක්ෂර අනුව ලියනු ලබීම යයි කීවත් වැරදි නැත. අර්වි භාෂා හෝඩිට අදාල යුනිකෝඩ් කේත ද හඳුන්වා තිබෙන බවත් සඳහන් කළ යුතු ය. අර්වි භාෂාවේ භාවිත කළ අක්ෂර මාලාව පහතින් දැක්වේ.
අබ්ජදියියා අරබියියා හෝඩියේ බලපෑම
අරාබි අක්ෂර නැතිනම් අරාබි හෝඩිය අබ්ජදියියා අරබියියා යනුවෙන් හදුන්වයි. මෙම ලේඛණ ක්‍රමය ආසියාවේ සහ අප්‍රිකාවේ බොහෝ භාෂාවන් ලිවීමට භාවිත කරන ප්‍රමුඛ හෝඩියකි. ලතින් අක්ෂර ලේඛණ ක්‍රමයෙන් පසු ලොව වැඩියෙන්ම ලේඛණය සඳහා භාවිත කරන අක්ෂර ක්‍රමය මෙයයි. (1)
මෙම ලේඛණ ක්‍රමය ප්‍රධාන ලෙස ප්‍රචලිත වූයේ ඉස්ලාම් ධර්මය ව්‍යාප්ත වූ රටවල් වලය. ඒ අතර සෙමටික් භාෂා මෙන්ම අරාබි භාෂාව අයත් සෙමටික් නොවන භාෂාවන් වන පර්සියානු භාෂාව, උරුදු, පකිස්තාන පන්ජාබි, පෂ්තෝ, මැලේ, සින්ද්, තුර්කි ආදී භාෂාවන් ද තිබේ. අරාබි හෝඩියේ මුලු අක්ෂර සංඛ්‍යාව 28කි. එම අක්ෂර 28ට අමතරව ඒ ඒ භාෂාවන්හි උච්චාරණයන්ට අවශ්‍ය අලුත් අක්ෂර අරාබි හෝඩියේ අක්ෂරවලට සුලු සුලු වෙනස්කම් සිදු කරමින් එකතු කරගෙන ඇත. අබ්ජදියියා අරබියියා හෝඩිය භාවිතයට ගත් ඉහත භාෂාවන්ට අමතරව ලෝකයේ වැඩි අවධානයට ලක්වූ එහි බලපෑමට ලක් වූ තවත් භාෂා දෙකක් වූයේ ස්වාකිලි සහ අර්වි ය. ස්වාකිලි යනු ටැන්සානියාවේ ඇරඹී අප්‍රිකානු රටවල් කිහිපයකම භාවිත කෙරෙන භාෂාවකි. අප්‍රිකානු සංගමයේ නිළ භාෂා අතර තිබෙන එකම අප්‍රිකානු නිළ භාෂාව ස්වාකිලි ය.
අර්වි භාෂාව ප්‍රභවය සිදුවූයේ දකුණු ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ය. ඒ ද්‍රවිඩ භාෂාවක් වන දමිළ භාෂාවත් සමඟ මිශ්‍ර වීමෙනි. සියවස් දොළොහකට ආසන්න කාලයක් භාවිතයේ පැවැති මෙම අර්වි භාෂාව මේ වන විට අභාවයට ගොස් ඇත. මුලින්ම බිහි වූයේ ශ්‍රී ලංකාවේ ද ඉන්දියාවේ ද යන්න පිළිබඳ මත භේදයක් පවතී. එහෙත් මේ වන විට ඉන්දියාවෙන් අර්වි භාෂාව තුරන් වී ඇතත් ලංකාවේ මුස්ලිම්වරු සාම්ප්‍රදායික අර්වි භාෂාවට තවමත් ආදරය කරති. (2)
අර්වි භාෂාව බිහිවීම පිළිබඳ මත කිහිපයක්.
19 වන සියවසට පෙර ජීවත් වූ මුස්ලිම්වරු අරාබි, සිංහල, ග්‍රීක, පර්සියානු, ඉංග්‍රීසි ආදි භාෂා රැසක් සමඟ සම්බන්ධතා පවත්වා තිබේ. එහෙත් ඒවා ව්‍යාපාරික ගණුදෙනුවලට සීමා වී ඇත. ආගමික භාෂව ලෙස අරාබි භාෂාව ද එදිනෙදා කටයුතු සඳහා දෙමළ භාෂාව ද භාවිත කළහ. උතුරු නැගෙනහිර වගේම රට අභ්‍යන්තරයේ ජීවත් වූ මුස්ලිම්වරු පවා ඔවුන්ගේ සාහිත්‍ය හා කලා නිර්මාණ සිදුකර තිබෙන්නේ දමිළ භාෂාවෙනි. එහෙත් ඔවුන්ගේ දමිළ භාෂාව ද්‍රවිඩයන්ගේ දමිළ භාෂාවට වඩා වෙනස් මුහුණුවරක් ගත්තේ ය.
අර්වි භාෂාවේ ආරම්භ ඉස්ලාමයට ප්‍රථම යුගයේ සිදුවන්නට ඇතැයි යන මතයක් පවතී. එම මතයට අනුව මලබාර් ප්‍රදේශයට වෙළඳාම පිණිස පැමිණි අරාබීන් දමිළ භාෂාව ඉගෙන ගෙන අරාබි සහ දමිළ මිශ්‍ර කර භාවිත කිරීමෙන් අර්වි බිහි වූ බවකි. මෙම භාෂාව 8 වන සියවස සිට දකුණු ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ මස්ජිදවල දරුවන්ට උගන්වා ප්‍රචලිත කළේ එම අරාබීන් විසින් ය. තවත් මතයකට අනුව මෙය අරාබි භාෂාවේ වෙනස් වූ ස්වරූපයකි. එනම් අරාබි යන්න පසුකාලීනව අරාවි බවටත් අනතුරුව අර්වි බවටත් පෙරළුනු බව කියති. තවත් මතයක් අනුව ඩෙකෑන්වරු (උර්දු භාෂාව කතාකරන මුස්ලිම්වරු) දමිළ භාෂාව හැඳින්වීමට භාවිත කළ අරවම් සමග අරාබි එක්වීමෙන් මෙම භාෂාව ආරම්භ වූවේ ය යන්න තවත් අදහසකි. (3) 8 වන සියවස වන විට අරාබි වෙලෙන්දන් සහ ස්වදේශික ද්‍රවිඩයන් අතර සම්බන්ධීකරණ භාෂාවක් ලෙස අර්වි උපත ලැබීය. (4) යන අදහසත් පෙරකී ප්‍රථම මතය තවදුරටත් ශක්තිමත් කරයි. අනෙක් මතය වන්නේ අර්වි යනු ලංකාවේ බිහි වූ ලංකාවේ යෝනකයන්ගේ සාම්ප්‍රදායික සෝනහාර් භාෂාවයි. එහෙත් මෙම මතය පිළිගත හැකි තරම් සාධක හමු වී නැත. අරබුත් තමිල්, අර්වි සහ සෝනහාර් යනුවෙන් විවිධ නම් වලින් හැඳින් වූ මෙම භාෂාවේ බිහිවීම පිළිබඳ තවමත් පිළිගත් අදහසක් නැත.
අර්ව භාෂාවේ ස්වරූපය.
ලංකාවේ මුස්ලිම්වරු සහ තමිල්නාඩු මුස්ලිම්වරු ‘අර්වි මුස්ලිම්’ යනුවෙන් හඳුන්වනු ලබති. දෙරට මුස්ලිම්වරු අතර ආගම, භාෂාව, සදාචාරය යනාදියෙහි දක්නට ලැබෙන සමානත්වය අර්වි යන වචනයෙන් පෙන්නුම් කරයි. ලිසානුල් අර්වි නැතිනම් අරබුත් තමිල් යන වචනය අරාබීන්ගේ ඍජු සංස්කෘතික සම්බන්ධතාවයත් ලංකා ඉන්දීය මුස්ලිම්වරුන්ගේ සංස්කෘතික සම්ප්‍රදායන්ගේ පොදු තත්වයක් ලෙස සැලකේ. (5) අර්වි භාෂාවේ ප්‍රධාන කේන්ද්‍රස්ථාන දෙක වූයේ ඉන්දියාවේ කායල්පට්ටනම් සහ ශ්‍රී ලංකාවේ කොළඹ යන නගරයන් ය.
දමිළ ජනයා භාවිත නොකරන තරම් විශාල ප්‍රමාණයක අරාබි වචන ද පර්සියානු වචන ද මුස්ලිම්වරු තම කතන භාෂාවේ සහ ලේඛණ භාෂාවේ මිශ්‍රකොට භාවිත කළහ. තමන් කතාකරන දමිළ භාෂාවට දමිළ හෝඩිය වෙනුවට අරාබි හෝඩිය භාවිත කළහ. මෙනිසා අරාබි භාෂාව කියවීමට නොදත් මුස්ලිම්වරු සහ දමිළයන් විසින් මුස්ලිවරු ලියන දමිළ භාෂාව කියවීමට නොහැකි විය. (6) අර්වි භාෂාවේ අබ්ජදියියා අරබියියා අක්ෂර 28ට අමතරව තවත් අක්ෂර 8ක් එකතු කරනු ලැබීය.
අර්වි භාෂාවෙන් ලියූ දේවල්.
ගැඹුරු ඉස්ලාම් ආධ්‍යාත්මික කරුණු, ආගමික වතාවත් ආදිය නිවැරදි ලෙස හැඳින්වීමට අරාබි වදන් යොදාගැනීමට ආදී කාලයේ සිටම මුස්ලිම්වරු පුරුදු වී සිටියහ. ශුද්ධ කුර්ආනයේ ආරබි බසින් කියවීම සඳහා ඉගෙනීමත් තමන්ට පැවරෙන ආගමික යුතුකමක් ලෙස ඔවුහු සැලකූහ. එමෙන්ම අනෙකුත් ආගමික හා සාහිත්‍ය ග්‍රන්ථ ද බොහෝවිට අරාබි බසින්ම ඉගෙනීමේ ආයතන පිහිටුවා තිබුණු බැවින් අරාබි වචන මිශ්‍රිත දෙමළ භාෂාව කෙරෙහි මුස්ලිම්වරුන්ගේ වැඩි අවධානය යොමු වී තිබුණි. අර්වි භාෂාව භාවිතයේ දී හුදෙක්ම දෙමළ භාෂාව අරාබි අක්ෂරවලින් ලිවීමට සීමා නොවී දහස් ගණනක අරාබි වචන එදිනෙදා භාවිත කළහ.
මුස්ලිම්වරුන්ගේ වාණිජ කටයුතු, දේපල බෙදීම, මස්ජිද දැන්වීම්, ආරාධනා පත්‍ර, මරණ දැන්වීම්, ලිපි, සටහන් ආදී සමාජ කටයුතු රැසකට අර්වි භාෂාව භාවිත කළහ. (7) අර්වි භාෂාවෙන් සූෆීවවාදය, නීතිය, වෛද්‍ය විද්‍යාව ආදී ක්ෂේත්‍රවල පොත්පත් ලියවිනි. කුර්ආනය ඇතුළු තවත් ආගමික ග්‍රන්ථ රැසක් ද ලියවිණි. 1926 වර්ෂයේ අර්වි භාෂාවෙන් පළවෙනි බයිබලය පළකරනු ලැබීය. (8)
අර්වි භාෂාවෙන් ග්‍රන්ථ 150කට වැඩි ප්‍රමාණයක් ලියවී ඇත. ඒ අතර අල්කුර්ආනයට විග්‍රහ සපයන තෆ්සීර් ග්‍රන්ථයක් මෙරට සිටි මුස්ලිම් විද්වතෙක් වන ෂෙයික් මුස්තෆා ආලිම් මහතා ලියා ඉන් කොටස් 05 මුද්‍රණය කොට පල කර ඇත. එමෙන්ම අර්වි භාෂාවෙන් සිද්ධි ලෙබ්බේ මහතා විසින් 1889 දී ‘කෂ්පූර් රාන් ෆී කල්බිල් ජාන්’යනුවෙන් සඟරාවක් ද පල කර තිබේ. අර්වි බසින් තවත් සාහිත්‍ය ග්‍රන්ථ රැසක් ලංකාවේ ලියවී ඇත.
අර්වි භාෂාවෙන් ලියන ලද පොත් පත් වර්ෂ අවුරු 1890 සිට 1915 දක්වා කාලය තුළ 3000කට වැඩි ප්‍රමාණයක් මදුරාසියේ ලේකණාරක්ෂණ පුස්තකාල සුචියේ සඳහන් වේ. 1870 වසරේ ලංකාවේ සහ රැන්ගූන්වල අර්වි භාෂාවෙන් සඟරා පළා වී ඇත. අර්වි භාෂාවෙන් 1930 දී බයිබලයත්, ශබ්ද කෝෂ හතරක් ද නිකුත් කොට තිබේ. විවාහය ආදී විශේෂ අවස්ථාවලට ආරාධනා පත්‍ර ද අර්වි භාෂාවෙන් මුද්‍රණය කර තිබේ. (9)
අර්වි භාෂාව පිළිබඳ වැඩි උනන්දුවක් දක්වා තිබුණේ මුස්ලිම් කාන්තාවන් ය. අර්වි භාෂාවෙන් ලියූ පොත්පත්, සඟරා හා පුවත්පත් මුස්ලිම් කාන්තාවන් වැඩි වශයෙන් පරිහරණය කළ බවක් වාර්තා වේ. අර්වි ආගමික ග්‍රන්ථ නිවෙස්වල සාමූහිකව කියවීමේ පුරුද්දක් ද එකල තිබී ඇත. මෙම ලිපිය සම්පාදනය කරන ලිපිකරුගේ ආච්චි අසල මීට දශකයකට පමණ පෙර සහෝදරයන් සමඟ වාඩි වී අර්වි භාෂාවෙන් ආගමික කතන්දර ඇය කියවීමට සවන් දී ඇත.
ලංකාවේ පිරිවෙන් අධ්‍යාපනය ප්‍රචලිත වී තිබුණේ මීට දශක ගණනාවක සිටය. එය වඩාත් තීව්‍ර වූයේ මිෂනාරි ඉංග්‍රීසි අධ්‍යාපනය හඳුන්වා දෙන කාලය තුළයි. මේ හා සමානව එකල මුස්ලිම් දරු දැරියන්ට මුස්ලිම් මද්රසා පාසැල්වල පවත්වා අර්වි භාෂාව උගන්වා ඇත. මන්දයත් එකල ආගම් හා සම්බන්ධ පොත්පත් ලියවී තිබුණේ අර්වි බාෂාවෙන් පමණි. මීට අමතරව, තාරකා ශාස්ත්‍රය, වෛද්‍ය විද්‍යාව ආදී පොත්පත් කියවීමටත් සාහිත්‍ය නිර්මාණ කිරීමටත් අර්වි භාෂාව ඉගෙනීම අත්‍යාවශ්‍ය විය. ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා ඇත්තේ සිද්ධි ලෙබ්බේ වැනි අතලොස්සක් පමණි.
අර්වි භාෂාව අභාවයට යයි.
අර්වි භාෂාව අභාවයට යාමට පටන් ගත්තේ මුද්‍රණ යන්ත්‍රය පැමිණීමත් සමග ය. එනම් 19 වන සියවස අග 20 වන සියවස ප්‍රථම භාගයේ ය. 19වන සියවස ආරම්භය වන විට දමිළ හෝඩියෙන් මුද්‍රණ කටයුතු ආරම්භ වුණි. දකුණු ඉන්දියාවේ මෙන්ම ලංකාවේ ද දමිළ මුද්‍රණය පහසු හා ලාභදායි විය. නමුත් අර්වි අක්ෂරවලින් මුද්‍රණ යන්ත්‍ර නිෂ්පාදනය කිරීම බොහෝ සෙයින් ප්‍රමාද විය. එනිසා පොත්පත්, සඟරා, පුවත්පත් ආදිය අර්වි හෝඩියෙන් මුද්‍රණය කිරීමේ අභීයෝගයට මුස්ලිම්වරු මුහුණු පෑහ. ඒත් සමඟ මුස්ලිම්වරු තමන්ගේ ආගමික හා සාහිත්‍ය නිර්මාණ දමිළ හෝඩියෙන් මුද්‍රණය කිරීමට පටන්ගත්හ. එබැවින් අර්වි භාෂාවට තිබුණු ඉල්ලුම සහ ප්‍රසිද්ධිය ක්‍රමයෙන් පහව යාමට පටන් ගත්තේය.
මීට අමතරව දමිළ භාෂාව උගත් විද්වතුන් අර්වි භාෂාව කතා කිරීමේ දී සහ ලිවීමේ දී දමිළ වචනයන්ට සිදුවන වෙනස්කම් සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල විය. එහෙයින් අර්වි භාෂාවෙන් අධිකව පොත්පත් කියවීමට පුරුදු වී සිටි කාන්තාවන්ගේ කියවීම ක්‍රමයෙන් අඩුවිය.
එහෙත් තවමත් මෙරට අර්වි අක්ෂරවලින් ලියූ පත් පත් දැකිය හැකි ය. විශේෂයෙන් ඉපැරණි සූෆි චින්තකයන්ගේ පොත්පත් සහ මව්ලූදු වැනි භක්ති ගීත ලියා තිබෙන්නේ අර්වි අක්ෂරවලිනි. මෙවැනි ග්‍රන්ථ ඉපැරණි පුස්තකාලවල සහ අරාබි පාසල්වල තවමත් දැකිය හැකි ය. මේවා ජාතික උරුමයන් ලෙස සලකා ආරක්ෂා කළ යුතු දේවල් බව අපගේ හැඟීමයි. එක් ජන කණ්ඩායමක සංස්කෘතියේ සැඟවිය නොහැකි අංගයකි.
වර්තමානයේ මද්රසා පාසල්වලත් අර්වි ඉගෙන්වීම අභාවයට ගොසිණි. ඒ වෙනුවට මද්රසා පාසල්වල අරාබි භාෂාව ඉගෙන්වීම අරඹා ඇත්තේ වර්තමානයේ ඉස්ලාම් ධර්මය ඉගෙනීම සම්බන්ධ පොත්පත් වැඩි වශයෙන් අරාබි භාෂාවෙන් දැකි ය හැකි නිසාය.
අර්වි සම්බන්ධයෙන් තවත් මතයක්.
අර්වි භාෂාව සම්බන්ධයෙන් සිද්ධි ලෙබ්බේ, ඒ.එම්.ඒ අසීස් සහ මහාචාර්ය එම්.අයි.එම් අමීන් යන අය දරනුයේ ‘මුස්ලිම්වරු විසින් අරාබි, පර්සියානු උරුදු වචන බහුලව යොදා කතා කරන දමිළ භාෂාවත් අබ්ජදියියා අක්ෂරවලින් නොලීවත් අරාබි, පර්සියානු, උරුදු මිශ්‍ර දමිළ අක්ෂරවලින්ම ලියනු ලබන දමිළ භාෂාවත් අර්වි භාෂාව වේ’ යනුවෙනි. (10) ඔවුන්ගේ එම මතයට අනුව නූතනයේ උතුරු නැගෙනහිර පළාත්වලින් පිට ජීවත්වන මුස්ලිම් ප්‍රජාව කතා කරන සිංහල හා ඉංග්‍රීසි ද මිශ්‍ර වූ භාෂාව අර්වි යැයි හැඳින්විය හැකි ය.
- “Arabic Alphabet”. Encyclopedia Britannica online.
- ඒ.එම්.ඒ අසීස්, අරබුත් තමිල් එංගල් අන්බුත් තමිල්
- Torsten Tschacher (2001). Islam in Tamilnadu: Varia.
- The hindu, 2017.June 22, M.O Badsha
- තිනකරන්, 2013.05.05
- ලංකා මුස්ලිම්වරුන්ගේ ඉතිහාසය හා සංස්කෘතිය, එම්.අයි.එම් අමීන්, 2000
- තිනකරන්, 2013.05.05
- https://tamilculture.com/what-is-arwi-arabic-tamil/
- The Hindu, 2019, May, 24 Nahla Nainar
- ඉලංගයි මුස්ලිම්ගලින් වරලාරුම් කලාචාරමුම්, එම්.අයි.එම් අමීන් 2000