කලාව

ප්‍රේමණීය මිනිසා – ජලාලුද්දීන් රූමි.

ප්‍රේමණීය මිනිසා – ජලාලුද්දීන් රූමි.

ජලාලුද්දීන් රූමි සිංහල පාඨකයාට එතරම් නුහුරු නමක් නොවේ. ඒ තරම්ම මේ මහා කවියාගේ නම සිංහල සාහිත්‍ය ප්‍රේමීන් අසා තිබේ. නමුත් ඔහු පිළිබඳව වැඩි දුර තතු දන්නෝ ඉතා විරළ ය.  මොහු මීට වසර 800 කට ඉහත පර්සියාවේ ජීවත් වූ දාර්ශනයෙක්, කවියෙක් සහ විද්වතෙක් මෙන්ම විනිසුරුවෙක්. මොහුගේ කවීත්වය කෙතරම් ප්‍රබල ද යත් 2007 වසරේ ඇමරිකාවේ ජනප්‍රියම කවියා බවට පත්ව සිටියේ මොහු ය. යුනෙස්කෝව විසින් 2007 වර්ෂය රූමි වර්ෂය ලෙසත් නම් කොට තිබුණි. මොහුගේ කාව්‍ය නිර්මාණ වර්ණ, භාෂා, ජාති, වර්ග, දේශ සීමාවන් පසුකර ලොව පුරා ප්‍රචලිත වී තිබේ. මොහු විසින් පර්සියානු, ග්‍රීක, අරාබි සහ තුර්කි භාෂාවන්වලින් රචිත කවි භාෂා රැසකට පරිවර්තනය වී තිබේ. එම කවිවල විශේෂත්වය වන්නේ වසර 800ක් ගෙවී ගියත් ගැඹුරු දාර්ශනික අදහස් සහිත ඒවා වර්තමානයේත් ඉතා නැවුම්ව පහසුවෙන් තේරුම්ගත හැකිව තිබීමයි.

රූමිගේ ළමා විය.

පර්සියානුවෙකු වූ මොහු උපන්නේ වර්තමානයේ ඇෆ්ගනිස්තානයට අයත් එකල පර්සියාවේ කුරාසාන් හි පිහිටි ‘බල්ක්’ නම් ප්‍රදේශයේ ය. ඒ ක්‍රි.ව 1207 සැපැත්ම්බර් මස 30 වන දිනයි. පර්සියානු භාෂාව කතාකළ අරාබි පරම්පරාවකින් පැවත ආ යුවලකට උපන් මොහුගේ දෙමාපියන් තැබූ නම මුහම්මද් ය විය. මොහු පසුකාලීනව රෝමයට අයත් ඇනටෝලියාවට සංක්‍රමණය වීම නිසා රූමි යන නම මොහුට ලැබුණි. (රූමි යනු අරාබි බසින් රෝමයයි) මොහුගේ පියා බල්ක් ප්‍රදේශයේ ආණ්ඩුකාරයා විසින් එහි ඉහළ තනතුරකට පත්කොට තිබුණි. රූමිට වයස අවුරුදු 12ක් සපිරෙන විට එම ප්‍රදේශයට විටින් විට එල්ල මොංගෝලියානු ආක්‍රමණ නිසා පියා සමඟ ඇනටෝලියාවට (මේ කාලය වන විට රෝමයට අයත්ව තිබූ ඇනටෝලියාව තුර්කිය අත්පත් කරගෙන තිබුණි) සංක්‍රමණය වූවේ  ආරක්ෂාව උදෙසා ය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය ශුක්රිට අනුව රූමිගේ පියා සහ බල්ක් හි පාලකයා අතර ඇති වූ දේශපාලනික ගැටුමක් නිසා ඔහු සිය පවුල සමඟ එලෙස සංක්‍රමණය වී ඇත.

රූමි සිය කුඩා කලම පියාගෙන් ආගමික ඥාණය ලැබා පියා මෙන් ඉහළ කීර්තියක් ලබා ගත්තේ ය. ඔහුගේ මුල්කාලීන කවි ආමන්ත්‍රණය කර තිබුණේ ආගමික කරුණු සහ ආගම නමින් කෙරෙමින් පැවැති මිත්‍යාවන්ට විරුද්ධව ය. ආගමික ඥාණයේ කෙල පැමිණි මොහු අති දක්ෂ වාග් චාතූර්යකින් හෙබවූ නිසා නොයෙකුත් වාද විවාදවලට අවතීර්ණ වූ බැවින් කුඩා වියේ දී ම තම පියා මෙන් ප්‍රසිද්ධියට පත්ව සිටියේ ය. පියාගේ මරණයෙන් පසු බුර්හානුද්දින් මුහක්කීන් නැමැති පඬිවරයාගෙන් ගණිතය ආදි කලාවන් රැසකම පුහුණුව ලද්දේ ය. එම පඬිවරයාගෙන්ම සූෆි දර්ශනය ද රූමි උගත්තේ ය. රූමි 33 වන වියේ පසු වන විට පඬිවරයා මිය ගිය හෙයින් රූමි සිය ගෝලයන් පිරිසකට දැනුම බෙදා දෙමින් ඉගෙන්වීම් කටයුතුවල වසර හතරක කාලයක් ගෙවා දැමුවේ ය.

රූමි සාන්තුවරයෙක් මුණ ගැසීම

ඒ වන විටත් සූෆි ක්‍රමයට ජීවන ක්‍රමය වෙනස් වී තිබුණු රූමිගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය බවට පත් වූයේ මේ වකවානුවේ ඔහු මුණ ගැසුනු ‘ෂම්සුද්දීන් තබ්රේස්’ නම් සාන්තුවරයා ය. මුණ ගැසී කෙටි කලකින් ඉතා සමීප මිත්‍රත්වයක් දෙදනා අතර ඇති විය. රූමි තම නිවසේ කාමරයක මෙම සාන්තුවරයා අසලම වසර දෙකක කාලයක් හිඳිමින් ආධ්‍යාත්මිකත්වය ප්‍රගුණ කරගත්තේ ය. සාන්තුවරයා තුළ විශිෂ්ඨ ලක්ෂණ දුටු රූමි සමාජයෙන් ඈත් වූවේ ය. හුදෙකලාව බෙහෙවින් ප්‍රිය කළේ ය. පෙර පරිදි වාද විවාදයන්වලට නොපැටලුනේ ය.

තබ්රේස්ගේ පැමිණීමෙන් තමන්ගෙන් ගුරුවරයා තමන්ගෙන් ඈත් වුණා යැයි සිතූ රූමිගේ ගෝලයන් සහ ඔහුගේ පවුල් පිරිස දැඩි ලෙස උරණ වී ෂම්සුදීන් තබ්රේස්ට නින්දා කරන්නට පටන් ගත් හ. (මහාචාර්ය ශුක්රිට අනුව මෙවන් සිදුවීමක් සිදු වී නැත) එනිසා සාන්තුවරයා හදිසියේම සැඟවී ගියේ ය. තබ්රේස් ගිය ස්ථානය කිසිවෙකු දැන සිටියේත් නැත. රූමි විශ්වාස කළේ තබ්රේස් නැවත පැමිණෙනු ඇතැයි යනුවෙනි. තම මිත්‍රයා සොයමින් බොහෝ තැන්වල ඇවිද්දේ ය. එහේ නැවත පැමිණියේ නැත.

නැවත කාව්‍ය නිර්මාණ ආරම්භය.

තබ්රේස්ගේ හදිසි වෙන්වීමෙන් කම්පාවට පත් වූ රූමි ‘දීවානා ෂම්සේ – තබ්රේස්’ යන පංති 44282කින් යුතු කවි 2500ක කාව්‍ය ග්‍රන්ථය ලීයුවේ ය. දෙදෙනා අතර සිදු වූ එම හමුව සහ වෙන්වීම එක්තරා ආකාරයක ප්‍රේමයක් සහ විරහවක්ම විය. ‘දීවානා ෂම්සේ – තබ්රේස්’ කවිවල මතු පිට අරුත් ප්‍රේමය සහ විරහව යැයි පෙනුන ද ඒ තුළ තිබෙන්නේ රූමිගේ ආධ්‍යාත්මක දර්ශනයන් ය.

රූමිගේ අනෙක් නිර්මාණය ‘මස්නවි’ ය. දිනපතා රූමි කවි කියන විට ඒවා ලියාගනු ලැබුවේ ඔහුගේ ප්‍රධාන ගෝලයා මෙන්ම සමීපතම මිත්‍රයා බවට පත්ව සිටි හුසාමුද්දීන් විසිනි. ‘මස්නවි’ වෙළුම් 06ක, කවි 25600ක් ලියා අවසන් කරන විට 68 වන වියේ පසු වූ රූමි මරණය වැළඳ ගත්තේ ඔහුගේ ‘මස්නවි’ කාව්‍ය පෙළ අවසන් කිරීමටත් පෙරය. නමුත් ‘මස්නවි’ පිරිපුන් කාව්‍ය ග්‍රන්ථයක් සේ තිබීම පුදුමයකි.

රූමිගේ කවිවල විශේෂත්වයන්.

රූමිගේ කවිවල තිබෙන ප්‍රදාන තේමාවන් වන්නේ ප්‍රේමය, ආධ්‍යාත්මය, තැවීම්, සංකා, ආශා ආදි සියුම් මිනිස් හැඟීම් ය. ‘මෙලොව ප්‍රේමයට වඩා වටින කිසිවක් නැත. ප්‍රේමය වායුව මෙනි’. ඔහුගේ මෙම පද දෙවියන් විග්‍රහ කරන්නක් හෝ මිනිසුන් අදහස් කරන්නක් විය හැකි ය. කියවන්නාගේ තත්වය මත එහි අදහස් වෙනස් වන බව පෙනී යයි.

වර්තමාන මිනිසුන් ගෙවන සිහින ලෝකය ගැන රූමිගේ අදහස අපූරු ලෙස කවියකට නගා තිබේ.

ගෞරවණීය අමුත්තා, නුඹ

මෙලොව ස්වල්ප භූමි කැබැල්ලකට

යාචකයෙක් මෙන්

සිඟමනේ යෙදෙමින් සිටියි.

මේ පද පෙළ වසර 800කට පෙර ලියනු ලැබුවත් වර්තමානයටත් බෙහෙවින් ගැලපේ. අපගේ සිහින ලොව නැමැති දුප්පත් දිවියෙන් මිදී මුලු විශ්වයම අපේම යැයි හැඟෙන සූෆි ආධ්‍යාත්මිකත්වයේ පිළිඹිබුවක් ලෙස මෙම කවිය දැක්විය හැකියි.

රූමි මෙලෝ ජීවිතයේ අරමුණු, සිය සිතුවිල සහ දර්ශනයන් ආධ්‍යත්මිකත්වය සහ ස්වභාවික වස්තූන් සමඟ මිශ්‍රකර අපූර්ව ලෙස ඉදිරිපත් කරන්නේ විචිත්‍රවත් අන්දමින්.

‘මුල් අතර සොයා බැලිය යුතු දේ

ඇතැම් විට ඔබ අතු අතර සොයමින් සිටියි.’

‘පියාපත් ඇතිව උපන් ඔබ

ජීවිතියේ බඩ ගෑමට සැරසෙන්නේ මන් ද’

‘ඔබ කුමක් සොයමින් සිටින්නේ ද

එය ඔබව සොයමින් සිටියි’

රූමිගේ කවිවල භාවිත කර තිබෙන යෙදුම්, උපමා, උපමේයන්, ධ්වනිතාර්ත ආදි වාගාලංක්‍රාර, උපක්‍රම ඉතා ඉහළ කාව්‍යත්වයක් පෙන්නුම් කරයි. ඔහුගේ කවි උදෙක්ම කවි නොව සත්‍ය මත පදනම් වූ යථාර්තයන් ය. ජීවිතයේ පිළිපැදිය හැකි ජීවිතය පිළිබඳ ඉගැන්වීම් වේ. එමෙන්ම ඔහුගේ බොහෝ කවිවල සිදුවීම්, කතන්දර උපදේශන ලෙස කාව්‍යත්වයෙන් ඉදිරිපත් කර තිබේ.

බටහිර සාහිත්‍ය ලෝකයේ රූමිගේ බලපෑම් නොලද දැවැන්තයෝ කිසිවෙක් නොසිටිතැයි කිව නොහැකි තරම් ය. ඉංග්‍රීසි කාව්‍යයේ පියා ලෙස හඳුන්වනු ලබන ච්චාසර් (Chaucer) සිට ගෝත් (Goethe) එමර්සන් (Emerson)  යන අය පවා ඒ අතර වූහ. පළමු ඉංග්‍රීසි ශබ්දකෝෂය ප්‍රකාශයට පත් කළ ආචාර්ය ජොන්සන් (Dr. Johnson)  රූමි ගැන මෙසේ පවසා තිබේ.

‘ඒකත්ව මගෙහි රහස්, රූමි ශුද්ධ ගමන්කරුවන්ට විග්‍රහ කරයි.

නිත්‍ය සත්‍ය මගෙහි රහස් මත ඇති තිර, තුරන් කරයි.’

රූමි විශ්වීය කවියෙක්.

රූමිගේ විශිෂ්ටත්වයන් අතර වඩාත් කැපී පෙනුණු වැදගත්කමක් වූයේ ආගම්, ජාති, වර්ග, දේශ භේදයන්ගෙන් මිදුනු විශ්වීය ප්‍රේමයක් ඔහුගේ කවි තුළ තිබීමයි. මෙය ඔහු ලොව පුරා ආදරයටත් ගෞරවයටත් පාත්‍ර වීමට හේතු වුවා විය හැකියි. අරාබි, පර්සියානු, ඉන්දියානු, ඉස්ලාමීය, කිතුනු, යුදෙව් මූලයන්ගෙන් ලද සියල්ල තමා සන්තක කරගත් රූමි, ඒ සියල්ල එක්කොටගත් තමන්ටම ආවේනික අනන්‍යතාවක් ගොඩනගා ගත්තේ ය. රූමි ඉස්ලාම් ලබ්ධියෙක් වූ අතර ඔහුගේ කවි එක් ආගමකට පමණක් සීමා නොවී සමස්ත ලෝකයටම පොදු විය. ඒ ඔහුගේ විශ්වීය ප්‍රේමයයි. ඔහුගේ විශ්වීය ප්‍රේමය සහතික කරන රූමිගේ කවියක් මෙසේ දැක්විය හැකි ය.

හුස්ම පොද !!!!! 

කිතුනු, යුදෙව් , මුස්ලිම් ද  නොවන්නෙමි
හින්දු , බොදුනු, සුෆි  සෙන් ද  නොවන්නෙමි
කිසියම්  දහමක   අයිතිය නොලබමි
කිසි හැදියාවක්  තුළ ද   නොවන්නෙමි  

පෙර අපරින්  පැමිණියෙකු  නොවන්නෙමි
සයුරින් හෝ  පොලොවෙන් හට  නොගනිමි
භාවික හෝ  දිව්‍යම ද නොවෙන්නෙමි.
මූල ධාතුවෙන්  හට  නොගැනෙන්නෙමි 

නොපැවෙතෙමි, නොපැවෙතෙමි,
එලෝ මෙලෝ භාවයක්  නොවන්නෙමි
ආදම්  ඒවාගෙන් හට නොගනිමි
වෙන කිසි ලෙස සම්භවය නොවන්නෙමි 

සතු  අරණ,  අරණ රහිතය
අංශුවකි,   අංශු   විරහිත
සිරුර ද  නොවන්නෙමි
ප්‍රාණය ද නොවන්නෙමි
ප්‍රියයාට අයත් වෙමි
දෙලොව එක ලෙස දුටිමි 

මුලෙන් අගින්,  ඇතුල් පිටෙන්
ඒකත්වය හදුනන්නෙත්
අමතන්නෙත්
මිනිසා හෙලු
හුස්ම පොදයි 

(ජලාලුද්දීන්  රූමිගේ  සූෆී  පද්‍යයක් ඇසුරෙන් අනුවාදය : පුෂ්ප රන්ජන් විජේසිංහ)

රූමිගේ දර්ශනය විග්‍රහ කිරීමට මෙම කවිය පමණක්ම ප්‍රමාණවත්. රූමිගේ මරණයට පත්වීමත් සමඟ ඔහුගේ අවමංගල්‍යයට මුස්ලිම්, කිතුනු හා යුදෙව් බැතිමතුන් විශාල සංක්‍යාවක් සහභාගී වී අවසන් කටයුතු සිදු කළ බවත් ඉතිහාසයේ සඳහන්. ඒ එකල විසූ දනන් සීමා මායිම් බිඳ හෙළු විශ්වීය ප්‍රේමවන්තයාට ඔවුහු දැක්වූ ගෞරවයයි. සූෆි සංකල්පය විශ්වීය සංකල්පයක් කිරීමටත් ජනප්‍රියත්වයක් ඇති කරවීමටත් ඉස්ලාමීය සාහිත්‍යයේ නව මං පෙත් විවර කිරීමටත් රූමි කළේ මහඟ කර්තව්‍යයකි. ඒක දේවත්ව සංකල්පය පිළිබඳව අදහස් දන මන අතරට ගෙන යාමේ දී රූමි කල සේවය අපමණය.

රූමිගේ පරිණාමවාදය ආදී දර්ශනයන්, සංකල්පයන් පිළිබඳ විස්තර තවත් කොටසකින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමු.

සටහන – සකීෆ් සාම්.

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *