ආදර්ශමත් ශිෂ්ටාචාරයකට

සිංහල රජවාසලේ රාජකීය වෙදකම යූනානි

මුස්ලිම්වරුන්ගේ සාම්ප්‍රදායික වෙදකම – යූනානි.

මේ කාල වකවානුවේ වෛද්‍ය විද්‍යාව, වැඩි දෙනෙක්ගේ අවධානයට යොමු වුණ ක්ෂේත්‍රයක්. වෛද්‍ය සම්ප්‍රදායන් අතුරිනුත් පාරම්පරික වෙදකම් ගැන නොයෙක් මතිමතාන්තර ඉකුත් කාලයේ පළ වූණා. ඒ කොවිඩ් වසංගතය ව්‍යාප්තියත් සමඟ පැණි වර්ගයක් භාවිත කර වසංගතයෙන් මිදිය හැකි බවට ප්‍රසිද්ධ වුණු ආරංචියක් නිසා. පාරම්පරි හෙළ වෙදකමෙන් එන පැණියක් යැයි පවසනු ලැබූ එම පැණිය පිළිබඳ අදහස් දක්වමින් බස්නාහිර පළාත් හිටපු ආයුර්වේද කොමසාරිස්, නිමල් කරුණාසිරි මහතා කියා සිටියේ එම පැණිය හෙළ වෙදකමේ එන පැණියක් නොව යුනානි වෙදකමේ පැණියක් බවයි. අද අපේ ලිපිය වෙන් වෙන්නේ මෙකී යුනානි වෙදකම පිළිබඳ විස්තර කෙටියෙන් විමසා බැලීමටයි. යුනානි වෙදකම අරාබි ශිෂ්ඨාචාරය තුළත් ලංකා මුස්ලිම්වරුන්ගේ සංස්කෘතිය තුළත් සුවිශේෂී තැනක් හිමි කර ගන්නවා.

‘යූනානි’ යන නම හැදුනේ කොහොම ද? 

යූනානි යන අරාබි හා පර්සියානු වචනයේ තේරුම ග්‍රීකයට අයත් යන්නයි. ශ්‍රී ලංකාවේ ද ග්‍රීකයන් හැඳින්වීම සඳහා මුල්කාලීනව යොනුන් යන යෙදුම භාවිත කළා. ඉන්පසු එම වචනයම අරාබීන් හැඳින්වීමට භාවිත වුණා. වර්තමානයේ එම වචනය මුස්ලිම්වරුන් හැඳින්වීමට සුලු වෙනස්කමක් සහිතව යෝනක යැයි භාවිත කරති. ඒ අනුව යෝනක යන වචනය නිපැදී තිබෙන්නේත් ග්‍රීකය හැඳින්වීමට භාවිත වූ පෙරකී යූනාන් යන  මූල වචනයෙනි. එසේ නම් යූනානි වෙදකම යනු ග්‍රීකයට අයත් වෛද්‍ය ශාස්ත්‍රය බව ඔබට වැටහෙනු ඇති. මෙම වෛද්‍ය ශාස්ත්‍රය ග්‍රීක් – අරාබි වෛද්‍ය විද්‍යාව, යුනානි තිබ්, ඉස්ලාමීය වෛද්‍ය ක්‍රමය ආදී ලෙසත් හඳුන්වනු ලැබේ. වත්මනේ මෙම වෛද්‍ය ශාස්ත්‍රය බහුලව ප්‍රචලිතව තිබෙනුයේ ශ්‍රී ලංකාව, ඉන්දියාව වැනි දකුණු ආසියාතික රටවල්වල ය.

යුනානි වෛද්‍ය ක්‍රමයේ උපත

යුනානි වෛද්‍ය විද්‍යාවේ ඉතිහාසය ඇරඹෙන්නේ පෙරිකල්ස් (ක්‍රි.පූ 526-430) යුගයත් සමඟ ය. බොහාරත්  (හිපොග්‍රේට්ස් ක්‍රි.පූ 460-360)  මෛ වෛද්‍ය ශාස්ත්‍රය මිත්‍යා විශ්වාසයන්ගෙන් මුදවා ඊට විද්‍යාත්මක පදනමක් සැපයීය. ශ්‍රේෂ්ඨ දාර්ශනික අරාස්කු (ඇරිස්ටෝටල් ක්‍රි.පූ 384-322) යුනානි වෛද්‍ය විද්‍යාවේ ඊළඟ ප්‍රමුඛ චරිතය විය. ගැලෙන්‍ (ක්‍රි.ව 131-210) නම් රෝම දාර්ශනිකයා මෙම වෛද්‍ය ශාස්ත්‍රය ලොව පුරා ප්‍රචලිත කිරීමට දායක වූයේ ය. ගැලන් යුනානි වෛද්‍ය ශාස්ත්‍රය මිසරයට හඳුන්වා දී මිසර රාජ සභාවේ වෛද්‍යවරයා ලෙස පත්වූයේ ය. ඒ සමයේ ඔහු විසින් සෑම ව්‍යාධියක් සඳහාම නව බෙහෙතක් සොයා ගනු ලැබුණි. (1)

 

එලෙස රෝමය සහ ග්‍රීසිය මුල්කරමින් ආරම්භවන වෛද්‍ය ක්‍රමය ඉස්ලාමීය ලොක්යේ අබ්බාසි කලීෆත් යුගයේ මඋමූන් නම් පාලකයාගේ කාලයේ මුස්ලිම්වරුන්ගේ අවධානයට යොමු විණි. මඋමූන්ගේ පාලන කාලයේ බග්දාදයේ ‘බයිතුල් හික්මා’ යනුවෙන් මධ්‍යස්ථානයක් පිහිටුවා ශාස්ත්‍රීය වාද විවාද, පර්යේෂණ, සංවාද, නව සොයාගැනීම් ආදිය මුස්ලිම්වරු විසින් සිදු කරනු ලැබුණි. එහිදි රෝම, ග්‍රීක, ලතින්, සංස්කෘත භාෂාවන්ගෙන් ලියවුණු දර්ශන, තර්ක ශාස්ත්‍ර, කලා ආදි විවිධ ක්ෂේත්‍රවල පොත්පත් අරාබි බසට පරිවර්තනය කරනු ලැබුණි. එලෙස පරිවර්තනය කරනු ලැබූ ග්‍රීක පොත් ඇසුරින් උකහා ගත් වෛද්‍ය ශාස්ත්‍රය මුස්ලිම්වරු විසින් ප්‍රගුන කර දියුණු කරනු ලැබීය.




මෙම වෛද්‍ය ශාස්ත්‍රය සම්බන්ධයෙන් විධිමත් පර්යේෂණයන් සිදුකරමින් ශක්තිමත් පදනමක් සැපයුවේ පර්යානු ජාතික රාසි (ක්‍රි.ව 850-925) හා අවිසින්නා (ක්‍රි.ව 980-1037 – ඉබ්නු සීනා) වැනි පර්සියානු හා අරාබි මුස්ලිම් දාර්ශනිකයන් විසිනි. යුනානි වෛද්‍ය ශාස්ත්‍රය ඊජිප්තුව, සිරියාව, ඉරාකය, පර්සියාව සහ චීනය ඇතුළු මධ්‍යම ආසියාතික රටවල්වල එකල බහුළව ව්‍යාප්තව පැවතියේ ය. (2) 

මධ්‍යකාලීන යුගයේ දී නාවිකයින් වූ අරාබිවරුන්ට, ප්‍රධාන වශයෙන්ම ඉන්දියාව සමඟ වාණිජ සම්බබන්ධකම් තිබුණ ද, පසුව ඔවුන් ශ්‍රී ලංකාව සමඟ ඍජු වෙළඳාමක් පැවැත්වූහ. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාවේ, විශේෂයෙන් වෙරළබඩ ප්‍රදේශවල පදිංචි වූහ. 21 වන ශතවර්ෂය දක්වාම ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් අතීතයේ රැගෙන ආ මෙම වෛද්‍ය ක්‍රමය සංරක්ෂණය කරගෙන තිබේ. (3)

යූනානි වෛද්‍ය ක්‍රමයේ සිද්ධාන්ත

18 වන සියවස දක්වා යුරෝපා විශ්වවිද්‍යාලවල වෛද්‍ය විද්‍යාව බයිබලය ලෙස සැලකූ ‘අල්කානූන් ෆිත් තිබ්’ යන අවි සිනිනාගේ කෘතිය තවමත් යුනානි වෙද ශාස්ත්‍රයේ ප්‍රධාන අත්පොතයි. ඊට අනුව,

අද පවතින යුනානි සම්ප්‍රදායට අනුවමිනිස් ශරීරයේ සෞඛ්‍යය පවත්වා ගැනීම සඳහා ‘උමූර් තබඉයියා’ නම් ස්වාභාවික හා මූලික කොටස් හතක් තිබේ. ඒවා නම් අර්කාන් (මූලිකාංග)මිසාජ් (ස්වභාවය)අක්ලාත් (මූලද්‍රව්‍ය)ආසා (අවයව)අර්වාහ් (ප්‍රාණය)කුව්වා (ශක්තිය) සහ අෆ්ආල් (කාර්යයන්) ය. ශරීරයේ නිසි ක්‍රියාකාරිත්වය සඳහා ඉහත සඳහන් සියළුම සංරචක තිබිය යුතු අතර එකිනෙක අතර අන්තර්ක්‍රියාකාරීත්වයෙන් යුතුව සමතුලිතව ක්‍රියා කළ යුතුය. මෙම මූලික අංගයන්ගෙන් එකක් හෝ නැතිවීම හෝ ඒවායේ භෞතික තත්ත්වය වෙනස් වීම රෝගාබාධ හෝ මරණයට පවා හේතු විය හැකිය. ඒ අනුව නිවැරදි රෝග විනිශ්චය සඳහා සහ ප්‍රතිකාරයට නිවැරදි මානය ලබා ගැනීමට මේ සියලු කරුණු සලකා බැලීම ඉතාමත් අත්‍යවශ්‍ය ය. (4)

ග්‍රීක දාර්ශනික හිපොක්‍රටීස් (වෛද්‍ය විද්‍යාවේ පියා) විසින් පිහිටුවන ලද යුනානි ක්‍රමයේ පළමු මූලික න්‍යාය පදනම් වී තිබෙන්නේ පුද්ගල ශරීරය‘අනාසිර් අර්බා’ ලෙස හැඳින්වෙන මූලික අංග හතරකින් සමන්විත බවට වූ ඔහුගේ උපකල්පනය මත ය. ශරීරය සෑදී ඇත්තේ මූලද්‍රව්‍ය හතරකිනි. එනම් පසවාතයජලය සහ ගින්න ආදියෙනි. මේවා පිළිවෙලින් සීතලඋණුසුමතෙත සහ වියලි ස්වභාවයන් ගනී. (5)

මෙම මූලද්‍රව්‍ය හතර මිශ්‍ර වීමෙන් හා අන්තර්ක්‍රියා කිරීමෙන් පසු ශරීරය තුළ නව මිසාජ් (ස්වභාවයක්) සහිත නව සංයෝගයක් ඇතිවේඑනම් උණුසුම් තෙත්උණුසුම් වියලිසීතල තෙත් සහ සීතල වියලි ය ආදියයි. ශරීරයේ සරල හා සංයුක්ත අවයව තිබෙන අතර ඒවා අක්ලාත් (මූලද්‍රව්‍ය) හතරකින් එනම් දම් (රුධිරය)බායිගම් (සෙම)සෆ්රා (කහ පිත) සහ සෞදා (කළු පිත) තුළින් පෝෂණය ලබයි. සෑම මූලද්‍රව්‍යකටම ආවේණික ස්වභාවයක් තිබේ. රුධිරය උණුසුම් හා තෙත් යසෙම සීතල හා තෙත් යකහ පිත උණුසුම් හා වියලි යකළු පිත සීතල හා වියලි ය. (6)

මේ දේවල් ගන්නා ආහාර හා පානයන් හි පෝෂක සංඝටක මගින් අක්මාවේ ජනනය වේ. මෙම මූල ද්‍රව්‍ය සාමාන්‍ය සමතුලිතතාවයෙන්සාමාන්‍ය ප්‍රමාණයන්ගෙන් සහ ශරීරයේ සුදුසු තැන්වල තිබෙන තාක් කල්මූලද්‍රව්‍ය පද්ධතිය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වේ. මේ අනුවසෞඛ්‍යය යනු මූලද්‍රව්‍යයන් අතර සමතුලිතතාවයක් ඇති ශරීර තත්වයක් ලෙස සලකනු ලබන අතරශරීරයේ ස්වභාවය සහ බාහිර පරිසරය අනුව ශරීරයේ ක්‍රියාකාරිත්වය සාමාන්‍ය තත්වයේ පවතී.  මූලද්‍රව්‍යයන්වල සමතුලිතතාවයට බාධා ඇති වන විටත් ශරීරයේ ක්‍රියාකාරිත්වයන් අසාමාන්‍ය වන විටත්එහි ස්වභාවය සහ පරිසරයට අනුකූලවඑම තත්වය රෝගයක් ලෙස හැඳින්වේ. (7)

අස්බාබේ සිත්තා සරූරියා (ජීවිතයට අත්‍යවශ්‍ය සාධක හයක්)

ප්‍රතිකාරයන්ට වඩා රෝග වැළැක්වීමටත් සෞඛ්‍යය ප්‍රවර්ධනයටත් යුනානි වෛද්‍ය විද්‍යාව ඉතා වැදගත් තැනක් ලබා දෙයි. මිනිසාගේ සෞඛ්‍ය කෙරෙහි පරිසරයේ හා පාරිසරික තත්ත්වයන්ගේ බලපෑමක් තිබේ. යහපත් සෞඛ්‍යය තත්වයක් පවත්වා ගැනීම සඳහා ‘අස්බාබේ සිත්තා සරූරියා’ නම් සාධක හයක් හඳුන්වා දී තිබේ. යුනානි වෛද්‍ය විද්‍යාවේ සඳහන් වන්නේ යහපත් සෞඛ්‍යයක් පවත්වා ගැනීම සඳහා ගුණාත්මකභාවයප්‍රමාණය සහ අනුපිළිවෙල අනුව මෙම සාධක සමබරව පවත්වාගත යුතු බවයි. එනම්:

හවා මුහීත් (නැවුම් වාතය)

පිරිසිදු වාතය සෞඛ්‍යයට අත්‍යාවශ්‍යය. වාතය වෙනස් වීම විවිධ රෝගවලට හේතුවේ. ඉබ්නු සීනා සිය කානූත් ෆි තිබ් කෘතියේ කියා සිටින්නේ පරිසරය වෙනස්වීම රෝගියාට බොහෝ රෝගයන්ගෙන් සහනයක් හිමිකර දෙන බවයි. එමෙන්ම නගරයන්වල, උද්‍යාන, ක්‍රීඩා පිටි පිහිටුවීම පිරිසිදු වාතය ලබා ගැනීමේ ක්‍රම බවත් සිය කෘතියේ දක්වා තිබේ.

මඋකූල් මෂ්රූබ් (ආහාර සහ බීම)

            කෑමට ගන්නා ආහාර සහ ජලය පිරිසිදු හා වස විසෙන් තොර විය යුතු යැයි කියයි.

හර්කත් ව සුකූන් බදනියියා (ශරීර චලනය සහ විවේකය)

            මනා සෞඛ්‍යය පවත්වා ගැනීමට ශරීරයේ චලනයන් මෙන්ම ශරීරයට විවේකයක් ද ලැබිය යුතු ය.

හර්කත් ව සුකූන් නෆ්සානියා (මානසික චලනය සහ විවේකය)

දුක, සතුට වැනි විවිධ මානසික තත්වයන් ඍජුව සෞඛ්‍යයට බලපානු ලැබේ. යුනානි වෙදකම තුළ ඇතැම් රෝග සඳහා මනෝවිද්‍යාත්කමව ප්‍රතිකාර කරනු ලබයි. එක් යුනානි වෛද්‍ය කණ්ඩායමක් බෙහෙත් භාවිත නොකොට සංගීතයෙන් ද තවත් කණ්ඩායමක් මනෝවිද්‍යාත්මකව ද ප්‍රතිකාර කරයි.

නව්ම් ව යක්සා (නින්ද සහ අවදිවීම)

සාමාන්‍ය නින්ද සහ අවදිවීම සෞඛ්‍යයට උවමණා ය. අඩු නින්ද ශාරීරික හා මානසික තුළිතතාවයටත් ජීර්ණ පද්ධතියටත් අහිතකර ලෙස බලපාන්නේ ය.

ඉහ්තිබාස් ව ඉස්තාෆ්රාග් (රඳවා තබා ගැනීම සහ ඉවත් කිරීම)

ශරීරයේ නිපදවන දේවල් නිවැරදිව දහනය නොකළහොත් රෝග ඇති විය හැකි ය. ස්වභාවිකව දහදිය, කඳුලු, මල මුත්‍රා, වමනය මගින් ශරීරයේ නිපදවෙන දේවල් ඉවත් වී යයි. ඒවා දහනය වීමේ ක්‍රියාවලියට යම් බාධාවක් ඇති වූයේ නම් රෝගයන්ට මග පාදන්නේ ඒවායි. (8)

යුනානි ප්‍රතිකාර ක්‍රම.

රෝග විනිශ්චය කිරීමේදී නාඩි පරීක්‍ෂණය වැදගත් ස්ථානයක් ගනී. එමෙන්ම ප්‍රමාණයශක්තියවේගයඅනුකූලතාවපූර්ණත්වයඅනුපාතයඋෂ්ණත්වයවිධිමත් බව සහ රිද්මය වැනි ලක්‍ෂණ මෙහිදී අවධානයට ගනී. අවශ්‍ය වූ විට මුත්‍රා හා මළපහ පරීක්‍ෂා කිරීම ද සිදු කෙරේ. (9)

යුනනි ක්‍රමයේ ආබාධ හා රෝග සඳහා මූලිකම ප්‍රතිකාර ප්‍රවේශය වන්න්නේ බාහිර සාධක (උදා: වාතයජලය සහ ආහාර) සාමාන්‍යකරණය කිරීම හා සමබර කිරීම ආදී පාලනයන් සිදු කිරීමයි. එය ප්‍රමාණවත් නොවන බව තහවුරු වුවහොත් ස්වාභාවික ඖෂධ මිගින් ප්‍රතිකාර කිරීම වැනි සෙසු ක්‍රම නිර්දේශ කරයි. හකීම්වරයෙකු (යුනානි වෛද්‍යවරු) විසින් නියම කරන ලද ඕනෑම යුනානි ප්‍රතිකාරයක් රෝගියාගේ ‘තබියාත්’යහපැවැත්ම හා සෞඛ්‍යය ඉහළ නැංවිය හැකි බාහිර සාධකයක් ලෙස ක්‍රියා කරයි.

හකීම්වරු සතුව විවිධ චිකිත්සක ක්‍රමයන් තිබේ. ඉලාජ්-බි-ගිසානොහොත් ආහාර චිකිත්සාවහකීම්වරුන්ගේ සරලම හා ස්වාභාවික ප්‍රතිකාර ක්‍රමයකි. නිශ්චිත ආහාර වේලක් නිර්දේශ කිරීම මෙහිදී සිදු කරයි. නිදසුනක් වශයෙන් උණ සඳහා යුනනි වෛද්‍ය විද්‍යාවේ පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත්අඩු රළු සහිත ආහාර වේලක් නියම කරයි. එයට දාලියා (කැඳ) සහ ඛීර් (කිරි සුප්) වැනි දේවල් ඇතුළත් විය හැකිය.

නූතන යුනානි ප්‍රතිකාරයේ, සාපේක්ෂව කලාතුරකින් භාවිත කෙරෙන රෝගී අවයව සුව කිරීම සඳහා නීරෝගී සතෙකුගෙන් එම අවයවයෙන් ලබා ගන්නා පටක මගින් කරන ‘ඉලාජ්-බි-මිස්ලා’ නොහොත් කායික චිකිත්සාව ද තවත් ප්‍රතිකර්මයකි.

‘ඉලාජ්-බි-දවා’ හෝ ඖෂධ චිකිත්සාව යනු යුනානි හකීම්වරු විසින් ඖෂධ භාවිත කරමින් කරන ප්‍රතිකාරයයි. මෙම ප්‍රතිකාර ක්‍රමය හකීම්වරු ස්වාභාවිකපරිසර හිතකාමී සහ අවම අතුරු ආබාධ සහිත සාර්තක ක්‍රමය ලෙස සලකති. විවිධ ශාකසාරඛනිජ සහ සත්ව මූලයන්ගෙන් ලබාගත් ඖෂධ වර්ග 2000 කට අධික ප්‍රමාණයකින් යුනානි ඖෂධවේදීන් පොහොසත් ය. (10)

යුනානි වෛද්‍ය ක්‍රමයට සිංහල රාජ සභාවේ ඉහළ පිළි ගැනීමක්. 

පළමුවන සියවස තුළ දී අරාබිවරුන් මෙම වෛද්‍ය ක්‍රමය ලංකාවට ගෙන ආ අතර මුස්ලිම්වරුන් එය වැඩි දියුණු කළෝය. ඉතිහාසය හෙළිදරව් කරන්නේ අරාබි කායික වෛද්‍යවරුන් රටේ විවිධ රාජධානිවල රජුන්ගේ පවුල් උපදේශකයන් බවට පත්ව සිටි බවය. (11) දළ වශයෙන් හත්වන සියවසයේ සිට නවවන සියවස දක්වා කාලයට අයත් යැයි සැලකෙන සැසේනියානු බුජම් අනුරාධපුරයේ මිහින්තලේ ඉපැරණි රෝහල් භූමියේ නටබුන් අතරින් සොයාගෙන තිබේ. යුනානි ඖෂධ වර්ග මේ බුජම්වලින් අරාබියේ සහ පර්සියානු බොක්කේ සිට ශ්‍රී ලංකාවට ආනයනය කළේ යැයි සිතිය හැකි ය. (12)

 

යුනානි වෛද්‍ය ශිල්පය, පුරාණයේ සිට ලංකාවේ බලවත්ව පැවැති බවට සාධක එමට හමු වී තිබේ. යුනානි වෙදවරුන් අතර ඉතාම ප්‍රසිද්ධ වූවෝ කෑගල්ල දිස්ත්‍රික්කයේ ගැටබේරිය ගමේ ගෝපාල මුස්ලිම්වරු ය. මෙම පවුල අන්දුලුස් හි (ඉස්ලාමීය ස්පාඥ්ඥය) මවහාද් රජ පෙළපතට අයත් රාජකීය වෛද්‍යවරයකු හා මහා පඬිවරයකු වූ හකීම්වරයෙකුගෙන් පැවත එයි. දඹදෙණි පරාක්‍රමබාහු රජුට (1236-1270) තම රාජ්‍ය පාලනයේ 22වන වර්ෂයේ ඇති වූ ගොත ගැසීමේ රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා තමා වෙනුවෙන් එවකට උතුරු ඉන්දියාවේ ජීවත් වූ ස්පාඥ්ඥ හකීම්ගේ මුනුබුරෙකු එවන ලෙස දිල්ලියේ සුල්තාන්වරයාගෙන් ඉල්ලීමක් කළේ ය. ඒ අනුව ඔවුන්ට ලංකාවට යන ලෙස දිල්ලි සුල්තාන්ගේ ආමාත්‍යවරු අණ කර තිබේ.

එලෙස රජු ප්‍රතිකාර කිරීමට පැමිණී හකීම්වරු අනතුරුව මෙරට කාන්තාවන් විවාහ කරගත් නිසා යුනානි වෛද්‍ය පරම්පරාවක් ලංකාවේ ආරම්භ විය. එකී පරම්පරාවට අමතරව වෙළඳාම සඳහා ලංකාවට පැමිණි කැපී පෙනෙන අරාබිවරු පිරිසක් ග්‍රීකයෙන් පරිවර්තනය කරගත් වෛද්‍ය පොත්පත් ද රැගෙන මෙහි පැමිණ ඇත. ඒවා භාවිතයෙන් වෙදකම් කරන්නටත් ඒවා වැඩි දියුණු කරන්නටත් වූහ.

දෙවන පරාක්‍රමබාහු රජ සමයේ සිට ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සමය දක්වා කාලය තුළ පෙරකී ගෝපාල මරක්කලයන්ගෙන් අයකු, රාජකීය බේත්ගේ හෙවත් රජුගේ වෛද්‍ය අංශය භාරව සිටියහයි සිතිය හැකි ය. ගෝපාල මුස්ලිම්වරු කෝට්ටේ රජවරුන්ට ද සේවය කළ හ. (13)

එක් ප්‍රකට කතාවකට අනුව කන්ද උඩරට රජ කෙනෙකු හකීම්වරුන්ගේ දස්කම් අසා තම බිසවට ප්‍රතිකාර කිරීමට පෙර, වෛද්‍යකර්මය ගැන ඔවුන්ගේ දැනුම පිරික්සීමට උපායක් යෙදුවේ ය. ඒ අනුව වෙදදුරාට බිසව නොපෙනෙන ලෙස කාමරයක තබා, වෛද්‍යවරයා නොමග යැවීමට නූලක් ගෙන එහි එක් කෙලවරක් කාමරයේ දොර පොල්ලක ගැට ගසා අනෙක් කෙලවර වෛද්‍යවරයා අතට පත් කරන ලදී. නූල අල්ලා බැලූ වෛද්‍යවරයා එය අප්‍රාණික වස්තුවක ගැට ගසා ඇතැයි ප්‍රකාශ කළේ ය. ඉන්පසුව එය සුනඛයෙකුට ගැට ගසන ලදුව ඒ සිව්පාවෙකැයි වෛද්‍යවරයා ක්ෂණිකව හඳුනා ගත්තේ ය. ඔහුගේ දක්ෂතාව ගැන මුළුමනින්ම පැහැදුනු රජ නූල බිසොවගේ මැණික් කටුවේ බඳින ලෙස අණ කළේය. නූලේ කෙලවර ඇල්ලූ පමණින්ම රෝගය හඳුනාගත් වෛද්‍යවරයා ප්‍රතිකාරයක් නියම කළේ ය. බිසවගේ රෝගය සුව විය. වෛද්‍යවරයාට බේත්ගේ මුහන්දිරම් (රාජකීය වෛද්‍ය අංශයෙහි ප්‍රධාන) නිලය පිරිනැමූ රජු පරණකූර කෝරලේ, දුම්බර, මාතලේ සහ යටිනුවර ඉඩම්, නින්දගම් වශයෙන් ප්‍රදානය කර ‘වෛද්‍යතිලක රාජකරුණ ගෝපාල මුදලියා’ යන නම්බු නාමය ඔහුට පට බැන්දේ ය. (14)

ආරම්භක අවධියේ වෙළෙඳාම පිණිස මෙරටට පැමිණි අරාබි ජාතික ජනතාව සමඟ පැමිණි යුනානි’ වෙදකම ආයුර්වේදය හා එක්වීම වැදගත් සංධිස්ථානයකි. 15 වැනි ශත වර්ෂයේ එනම් කෝට්ටේ යුගයේ දේශීය වෛද්‍ය ක්‍රමයේ ඉතා දියුණු අවධියකි. ආයුර්වේද ශාස්ත්‍රයේ විශේෂ පෝෂණයක් හා ග්‍රන්ථ රාශියක් බිහවිය. ශත වර්ෂ ගණනාවක් දියුණු වෙමින් පැවති දේශීය වෙදකම පරිහානියට පත් වූයේ 15 වැනි ශත වර්ෂයේ පෘතුගීසීන් ලංකාවට පැමිණීමත් සමඟය. අපිට උරුම වූ දේශීය වෙදකම වෙනුවට ඇලොපති වෙදකම ප්‍රචලිත කරවීම නිසාත් මහනුවර අවධිය වන විට ධර්ම ශාස්ත්‍ර උගතුන් අඩුවීම නිසාත් මුළු ආයුර්වේද ශාස්ත්‍රයම පසුබෑමකට ලක් විය. (15)

ඉංග්‍රීසි පාලනයේ අවසන් භාගයේ එනම් වර්ෂ 1926 දී, මුල්ම වතාවට, දේශීය වෛද්‍යක්‍රම ගැන සොයා බැලූ කමිටුවක්, මෙම වෛද්‍යක්‍රමයන් අනුගමනය කිරීමට උනන්දුවක් දක්වන අය සඳහා පුහුණුවක් ලබා දීමට යාබද ශික්ෂණ රෝහලක් සහිත විද්‍යාලයක් පිහිටුවීමට යෝජනා කළේ ය. 1928 දී එවක පැවැති රාජ්‍ය මන්ත්‍රණ සභාව ‘ආයුර්වේද සම්මේලන සභාව’ නමින් උපදේශක සභාවක් ආචාර්ය කේ බාලසිංහම්ගේ සභාපතීතවයෙන් යුතුව පත් කරන ලදි. මෙම කමිටුවේ නිර්දේශ මත පදනම්ව, “ස්වදේශීය වෛද්‍ය විද්‍යාලය” යනුවෙන් නම් කරන ලද ආයතනයක් 1929 ජුනි 10 වන දින ස්ථාපනය කරන ලදි. ඒ හා සමානව, වෛද්‍ය එච්.එම් ජාෆර් සහ වෛද්‍ය එච්.අහමඩ් යන ඉන්දියානුවන් විසින් යුනානි වෛද්‍ය ක්‍රමය දියුණු කිරීමට පියවර ගන්නා ලදි. මේ සඳහා ශ්‍රීමත් රසීක් ෆරීද්ගේ දායකත්වය ද අමතක කළ නොහැකි ය. ඉන්පසු යුනානි වෛද්‍ය ශාස්ත්‍රය ස්වදේශීය වෛද්‍ය ක්‍රමයක් ලෙස මෙරට තුළ නිළ වශයෙන් පිළිගැනුනි. අද වන විට යුනානි වෛද්‍ය උපාධිය පිරිනමන ආයතනය්ක කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධව ක්‍රියාත්මකය. ඊට අමතරව දිවයින පුරා යුනානි ප්‍රතිකාර මධ්‍යස්ථාන ද ක්‍රියාත්මක වේ. (16) එමෙන්ම යුනානි ශිල්පය එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය සංවිධානය විසින් 1976 පිළිගත්තේ ය. එනිසා අද ලොව පුරා විවිධ රටවල යුනානි වෛද්‍ය ක්‍රමය ප්‍රචලිත වී ඇත.

  1. Anaivarukkum Nalawvazhvu, Vol -01. Issue 05, India, May 2015.
  2. Anaivarukkum Nalawvazhvu, Vol -01. Issue 05, India, May 2015.
  3. වාර්ෂික වාර්තාව, දේශීය වෛද්‍ය ආයතනය – කොළඹ විශ්වවිද්‍යාලය, 2017.
  4. Sina I. Alqanoon Fil Tib. Vol 1st, Inter Services Press, Karachi, Pakistan, 211-213, 1987.
  5. Syed Ziaur Rahman, Khan Rahat Ali, Latif Abdul. Importance of pharmacovigilance in Unani system of medicine. Indian J Pharmacol. 2008;40(1):S17–S20.
  6. Sina I. Al Quanoon Fil Tib. Vol. 2nd (Urdu translation by Kantoori G H), Idara Kitab Alshifa, Delhi, 1119-25, 2007
  7. Hamdani SK. Usoole Tib. National Council for Promotion of Urdu Languages, Delhi, p 183-185, 2006.
  8. PERCEPTION OF HEALTH PROMOTION IN UNANI MEDICINE, AZAD H. LONE, TANZEEL AHMAD, MOHD ANWAR, GH SOFI, HASHMAT IMAM.
  9. https://www.1mg.com/articles/understanding-benefits-unani-medicine/
  10. https://www.britannica.com/science/Unani-medicine
  11. වාර්ෂික වාර්තාව, 2017, දේශීය වෛද්‍ය ආයතනය කොළඹ විශ්වවිද්‍යාලය
  12. ශ්‍රී ලංකාවේ මුසිලිම්වරු, ලෝනා දේවරාජ, පි. 185, 1994.
  13. ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු, ලෝනා දේවරාජ, පි. 188, 1994.
  14. H.C.P Bell, eport on the Kegalle District of the province of Sabaragamuwa. Ceylon Sessional Paper, XIX of 1892, p.99
  15. වෛද්‍ය ආර්.ඒ එස් රෝෂාන්, ගුණෝද්‍ය වෙද අසපුව, කොටුගොඩ.
  16. වාර්ෂික වාර්තාව, දේශීය වෛද්‍ය විද්‍යා ආයතනය, කොළඹ විශ්වවිද්‍යාලය, 2017.

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *