සංගීතය යන පදය නිර්මාණය වී ඇත්තේ සං සහ ගීත යන පද දෙකෙහි එකතුවෙනි. සං යන්නෙහි අදහස සාමූහික වීම සහ මනා, පරිපූර්ණ යන අදහස් ය. ගී යනු ගායනයයි. සංගීතයෙහි මාධ්‍යය වන්නේ නාද සහ ස්වර වේ. මෙම නාද කොටස් දෙකකි. මිහිරි නාද හෙවත් ශබ්ධ හා අමිහිර නාද හෙවත් ඝෝෂ යන ද්වයයි. සංගීතයේ දී මිහිරි නාද භාවිත කරයි. ඉඳහිට ඝෝෂ ද භාවිත කරයි. හින්දුස්තානි, කර්ණාට, චීන, බටහිර, සූෆි යන සියලු සංගීත සම්ප්‍රදායන් නිර්මාණය වී ඇත්තේ ස්වර මගිනි.
සංගීතය පිළිබඳව වත්මන් අදහස වන්නේ එය මිනිසාගේ ආධ්‍යත්මය සුවපත් කළ හැකි එමෙන්ම ආධ්‍යත්මය දියුණු කළ හැකි ඔසුවක් ලෙසයි. භාවනාවක් ලෙසත් පවතින එය සිතෙහි ඇතිවන දුක පලවා හැරිමටත් සුබදායි සිතුවිලි ඇතිකරවීමටත් හැකි ගුණයෙන් හෙබි කලාවකි. සංගීතයේ උපත පිළිබඳව විවිධ මත පළ වී තිබුණ ද ඒ සම්බන්ධයෙන් අපගේ අවධානය යොමු නොවන අතර මෙම ලිපියෙන් අවධානය යොමු කරන්නේ සිංහල සංගීතයට වක්‍රවවත් භාරත සංගීතයට ඍජුවත් බලපෑ සූෆි සංගීතය පිළිබඳව විමසීමක් කර බැලිමටය. තවමත් සිංහල සංගීත සම්ප්‍රදායක් දියුණු නොවීම නිසා භාරත රාගධාරි සංගීතය මත යැපීමට සිදුවීමෙන් අපේ සංගීතය තුළත් සූෆි සංගීතයේ හෙවනැළි තිබීම අරුමයක් නොවේ.
සූෆීවාදය යනු කවරක් ද?
සුෆිවාදය යනු ඉස්ලාමීය ලෝකයේ බිහි වූ සුවිශේෂී ගුප්ත, ආගමික හා දාර්ශනික ලෝක දෘෂ්ටියකි. මධ්‍යකාලීන යුගයේ එවැනි ප්‍රවනතා සුලභ විය. සියලුම ප්‍රධාන ආගම්වල (බුදු දහම, හින්දු, යුදෙව් ක්‍රිස්තියානි ධර්මවලත්) ගුප්තවාදය සැලකිය යුතු ස්ථානයක් හිමිකරගත්තේ ය. සූෆි දර්ශනය වන්නේ යහපත් ගුණාංගවලින් ආත්මය (නෆ්ස්) පවිත්‍ර කර ආත්මය (රූහ්) පරිපූර්ණ කිරීම ය. මෙම දර්ශනයට සූෆි යන නම යෙදුනේ අරාබි බසින් තසව්වුෆ් යන යෙදුමෙනි. මුල්කාලීන සූෆීවාදී න්‍යායාචාරීන් පට සලුවක් හෝ ජටාවක් පැලඳි නිසා පට යන අදහස ඇති ඉහත වචනය ඉස්ලාමීය රාමුව තුළ බිහි වූ මෙම නව දර්ශනයට ව්‍යවහාර වන්නට විය. (තවත් අදහසක් වන්නේ සූෆි යන පවත්‍රත්වය බවයි)
‘ජීවිතයේ බාහිර සහ අභ්‍යන්තරය පිළිබඳ දැනුම ඇති ඕනෑම අයෙකු සූෆිවරයා වේ’ යනුවෙන් සූෆි න්‍යායාචාර්යවරයෙක් වන හසරත් ඉනායත් ඛාන් කියා සිටියි.
ඉස්ලාමයේ මූලික හරයන් එපරිදිම සූෆිවාදය තුළත් තිබුණු අතර දෙවියන් වෙත සමීප වීම උදෙසා ඔවුන් විසින් විවිධ වූ සම්ප්‍රදායන් හඳුන්වා දෙන ලෙදි. සූෆිවාදීන් විසින් වැඩි වැදගත්කමක් දුන් දිව්‍යමය ප්‍රේමය, කරුණාව, ලෙන්ගතුකම, ඉවසීම ලැබීමට අවශ්‍ය හැඟීම ලඟා කරගැනීම පිණිස විවිධ දියාන, ස්තෝත්‍ර ආදිය හඳුන්වා දුන්හ. ඒ අතුරින් ඉතා වේගයෙන් ව්‍යාප්ත වූ, ජනාදරයට පාත්‍ර වූ, පෙර දිග හා අපරදිග සංගීතයට බලපෑ වැදගත් සම්ප්‍රදාය සූෆී සංගීතය යැයි හැඳින්වීම අතිශයෝක්තියක් නොවනු ඇත. ඉස්ලාමීය සාහිත්‍ය කලාවන් බිහිකිරීමෙහිලා මෙකී සූෆිවාදය හිමි වන්නේ අද්විතීය ස්ථානයක්.
සූෆි සංගීතයේ ආරම්භය.
සූෆි සංගීතයේ ආරම්භක සාධකය ලෙස සැලකෙන්නේ සූෆි කවීන් වන ජලාලුද්දීන් රූමි, අමීර් කුෂ්රෝ, කවාජා ගුලාම් ෆරීද් යන අයගේ කලා නිර්මාණයන් ය. සූෆී කවිවලත් සූෆි සංගීතයේත් තේමාව දේව ප්‍රේමයයි. ඉස්ලාමයේ මුල් කාලවකවානුවේ ඇෆ්ගනිස්තානය, පර්සියාව, තුර්කිය, මොරොක්කෝව ආදී මධ්‍යම හා නැගෙනහිර ආසියානු ප්‍රදේශවල සම්ආ උත්සව සම්ප්‍රදායක් නිර්මාණය වී තිබුණි. එම සම්ප්‍රදායේ නැටුම් සහ සංගීතය සමඟ එකතු වන (11 වන සියවස පමණ) සූෆි කවි අලුත් සංගීත සම්ප්‍රදායක් කරා ගමන් කළේය. එම ජන ගායන සංගීතයට තුර්කි වාද්‍ය භාණ්ඩ සංකලනය විය.
සාම්ආ උත්සවයේ අරමුණ වූයේ මිනිස් ආත්මයට දිව්‍යමය ප්‍රේමය අත්විඳිය හැකි තත්වයක් නිර්මාණය කිරීමයි. විශ්මිත සංගීතය මඟින් අසන්නා තුළ දෙවියන් කෙරෙහි දැඩි ඇල්මක් ඇති වේ. මෙම ජන ගීත මගින් දෙවියන් වහන්සේට කන්නලව් කිරීම, නබිතුමාට ප්‍රශංසා කිරීම ශ්‍රේෂ්ඨ සාන්තුවරයන්ගේ සහ සූෆි ශාස්තෘවරුන්ගේ ගුණ වැයීම තේමා කර ගනියි.
සූෆිවාදීන්ගේ විශ්වාසය අනුව සංගීතය මිනිසා දෙවියා වෙත ළඟා කරවයි. දෙවියන් වෙත ළඟා වීමටත් ආධ්‍යාත්මික උසස් තත්වයක් අත්කර ගැනීමටත් මෙවලමක් ලෙසත් ඔවුහු සංගීතය සැලකූ හ. දේව ආලෝකය හා ආශිර්වාදය ළඟා වනු ඇතැයි විශ්වාස කළ මෙයට ආත්ම සංගීතය (Soul Music) යැයි සූෆීවරු කියති. “සංගීතය සිතේත් ගතේත් චලනයක්/ගැස්මක් ඇති කරයි. මෙමගින් සූෆිවරු ආධ්‍යාත්මයේ උච්ඡම ස්ථානයට ළඟා වේ” යැයි සූෆි විද්වතෙකු වූ මුර්ෂිද් ඉනායත් ඛාන් පෙන්වා දෙයි. (The spiritual message of Hazarath Inayath Khan)
සුෆි සංගීතය යනු ‘ආත්මයෙන් නැගෙන‘ ‘ආත්මය‘ සඳහා වන සංගීතයයි. (ආචාර්ය ස්වර්ණලතා රාඕ, ඉන්දීය ජාතික කලා මධ්‍යස්ථානය,)
සූෆි සංගීතය ජනප්‍රිය කලාවක් වීම සහ ලංකාවට පැමිණීම.
13 – 16 වන සියවස් අතර කාලය තුළ මුස්ලිම් ලෝකය පුරා සූෆී චින්තනය සහ සංස්කෘතිය සීඝ්‍රයෙන් ව්‍යාප්ත විය. ඒත් සමඟ සූෆිවරු රැස්වෙන අසපු, ආරාම පිහිටුවනු ලැබුණි. එවැනි ස්ථාන ශ්‍රී ලංකාවේ ද සූෆිවරු විසින් පිහිටුවාගෙන ඇත. අද වන තුරුත් සූෆිවරුන්ගේ එවැනි අසපු පිහිටි ස්ථානවල සූෆීවරු දියානයන්වල නිරත වෙති. දෙවනගල, කූරගල යනාදි ස්ථාන එලෙස සූෆිවරුන් සිය දියානයන් සඳහා යොදාගත් ස්ථාන යැයි ඉතිහාසයේ සඳහන්. එම ස්ථානවල දියානවල නිරත වන ඔවුහු මනුස්ස ලෝකයෙන් ඉවත් වී හුදෙකලාව විමුක්තිය සෙවීමේ අරමුණින් දුෂ්කර ක්‍රියා කරති. දුෂ්කර ක්‍රියා කිරීම උදෙමසා ලෝකයේ ඈත රටවල්වල කඳු ශිකර වෙත කැලෑ බද ප්‍රදේශ වෙතත් ගොස් තමන්ගේ පෙම්වතා යැයි සූෆිවරු විශ්වාස කරන දෙවියා වෙත ලංවීමට දියානවල නිරත වෙති. එහිදි බෙර වාදනය ආදී සංගීත මගින් ආධ්‍යාත්මික ඵලය ලඟා කර ගැනීමට ඔවුහු උත්සහ කර ඇත. ආධ්‍යාත්මික දියුණුව තුළින් දෙවියන් වෙතින් අද්විතීය බලයක් හිමි වන බවටත් සූෆිවරු විශ්වාස කරති. කරාමත් යැයි කියන එම බලය ලැබුණු සූෆිවරු විවිධ හාස්කම් පෑම දුටු බොහෝ රටවල්වල මිනිසුන් මධ්‍යකාලීන යුගයේ සූෆීවාදයත් ඉස්ලාම් ධර්මයත් පිළිගෙන ඇති බවත් සඳහන්.
අප්‍රිකාවේ කාන්ගා සාවිය නමින් හඳුන්වන්නේ එලෙස සූෆිවරු දියානවල යෙදෙන ස්ථානයන් ය. ටියුනීසියාව, තුර්කිය, ඇල්බේනියා, බොස්නියා වැනි රටවල්වල එය තක්යා ලෙස හඳුන්වයි. දක්ෂිණ ලංකාවේ සාවිය සහ තක්යා විශාල ප්‍රමාණයක් සූෆීවරුන්ගේ දියාන මධ්‍යස්තාන ලෙස ක්‍රියාත්මක වී තිබේ. මෙරට සූෆිවාදීන්ගේ ආධිපත්‍යය ප්‍රබල වූ 18 වන සියවසය වන විට මුස්ලිම් දේවස්ථානයට යාබදවම සූෆි දියාන මධ්‍යස්ථන තිබී ඇත. අදත් මෙරට සැලකිය යුතු මුස්ලිම් දේවස්ථාන ආශ්‍රිතව එවැනි පරිශ්‍රයක් දැකිය හැකි ය. මෙම මධ්‍යස්ථානවල පවත්වනු ලබන දියානවල එක් කොටසක් ලෙස සංගීත වැඩසටහන් පවත්වා ඇත. ඇතැම්විට ඒවාට සම්ආ සම්ප්‍රදායේ නැටුම් ද මිශ්‍ර වී තිබේ.
සූෆි සංගීතය නව සංගීත සම්ප්‍රදායන් ලෙස බිහිවීම.
සූෆි යන දෙවිඳු සමග සම්මිශ්‍ර වීම හඟවන දියානයන් සමඟ හෝ කවි සමඟ දීර්ඝ තාල විරාමයක් (Slow-tempo) බොහෝ විට බෙර වැනි වාදන භාණ්ඩ වාදනය කරනු ලබයි. පසුකාලීනව සූෆි පඬිවරුන්ගේ කාව්‍ය සූෆි සංගීතයේ ගායනය වශයෙන් යොදා ගනු ලැබුණි. පසුව ලොව පුරා විවිධ රටවල්වලට ධර්ම මෙහෙවර සඳහා ගමන් කල සූෆිවරුන්ගෙන් ඒ ඒ රටවල්වල කලා අංග ඇතුළත්ව ප්‍රභේද රැසක් නිර්මාණය විය. (Matramaikalai Pesuwadhu, H Mujeeb Rahman)
සූෆි දර්ශනයේ ආධ්‍යාත්මික චාරිත්‍රානුකූල සංගීතය සම්ප්‍රදාය කාලයාගේ ඇවෑමත් සමඟ එක් එක් දේශීය සංස්කෘතියන්ට ආවේණික ලෙස සුවිශේෂී සංගීත ශෛලීන්, ගායන සහ උත්සව බිහි විය. එනමුත් ඒ සියල්ලකම අරමුණු වී තිබුණේ අධ්‍යාත්මික තත්වය ඉහළ නැංවීම ය. එලෙස බිහි වූ නව සම්ප්‍රධායන් අතර ප්‍රධාන ධාරාවන් ලෙස මෙව්ලවි, ඥාවා සහ කවාලි හැඳින්විය හැකි ය.
මෙව්ලවි සංගී සම්ප්‍රදාය.
මෙම සම්ප්‍රදාය තුර්කියේ මුල් බැස ඇත. එක් අතක් ඉහළ දෙවියන් වෙතටත් අනෙක් අත පහළ පොළොව දෙසටත් යොමු කරමින් එක් පාදයක ආධාරයෙන් රිද්මයානුකූලව සිරුර බ්‍රමණය කරන නර්තනයක් සමඟ සංගීතය මුසු වෙයි. මෙම නර්තනය සහ සංගීතය පිළිපදින්නේනේ මහා කවියා ජලාලුද්දීන් රූමිගේ අනුගාමික සූෆිවාදීන් ය. මෙම සංගීතයට නෙයි යනුවෙන් හඳුන්වනු ලබන තුර්කි නලාවක් භාවිත කරයි. එයින් සංකේතවත් කරන්නේ ආත්මය ආශාවෙන් තුරන් වී දෙවියන් වහන්සේ වෙත ආපසු යාමට දැඩි ආශාවකින් පිරී තිබීමයි. සෙසු සුෆී සංගීත මෙන් නොව, මෙව්ලවි උත්සවවල නෙයි නළාව මගින් ශෝකජනක විලාපයක් ඇති කරවන බව කියවේ. මෙය සුෆි කවියේ සහ සංගීතයේ පොදු මාතෘකාවක් වන පෙම්වතා (දෙවියන් වහන්ස)ගෙන් වෙන්වීමේ වේදනාව සහ ආපසු හැරී යාමේ ගමනට සූදානම සහ සියලු නිර්මාණයන්වල මූලාශ්‍රය වෙත ළඟ වීමේ (මරණය) ප්‍රීතිය යන මාතෘකා තේමා කර ගනියි. මෙම සංගීත සම්ප්‍රදාය තුර්කියේ රෝග සුව කිරීමේ කලාවක් ලෙසත්, භාවනාවක් ලෙසත් අදටත් යොදා ගනී. එරට සාම්ප්‍රදායික ජන කලාවක් ලෙස සැලකෙන මෙය සංචාරක ආකර්ෂණය දිනාගත් සංස්කෘතික අංගයකි.
ඥාවා සංගීත සම්ප්‍රදාය.
ඥාවා යනු නැගෙනහිර අප්‍රිකානු සම්භවයක් සහිත උතුරු අප්‍රිකානු සුලු ජනවර්ගයකි. ඉස්ලාම් ධර්මය වැලඳ ගන්නා මෙම ජනකණ්ඩායම තුළින් කාලයත් සමඟ එම නමින්ම සූෆි ගුප්ත ශාසනයක් ඇරඹුණි. ඔවුන්ගේ සූෆි ආධ්‍යත්මික විධි ක්‍රම අතර ඔවුන්ගේ ඉපැරණි අප්‍රිකානු ඉතිහාසය හා භාෂාව රැගත් සංගීතය සහ නර්තනය ද තිබුණි. ඔවුන්ගේ සංගීතය නොපෙනෙන ලෝකයට සම්බන්ධ වීමේ මාර්ගයක් වන අතර, ඥාවා උත්සව වලදී අත්පුඩි ගැසීම, බෙර වාදනය කිරීම සහ කැස්තානන්ට (දැවමය තාලම්පට වර්ගයක්) මෙන් වාදනය කෙරෙන සුවිශේෂී තූර්‍ය වාදනයක් වන ‘ක්රාකාබ්’ ද භාවිත වේ. එමඟින් නැගෙන ශබ්දය ‘බහු අවයවික ලොප් කිරීමක්’ ලෙස විස්තර කෙරේ. සංගීතය සහ නැටුම් නරක සිතුවිල තුරන් කරන, අසනීපය, අවාසනාව සහ මානසික අවපීඩනය සුව කරන ක්‍රියාවලියක් ලෙසත් සලකයි.
1970 දශකයෙන් පසු ඥාවා සංගීතඥයන් චාරිත්‍රානුකූල නොවන ප්‍රසංග වලට අතීර්වණ වී ප්‍රධාන ධාරාවේ ක්ෂේත්‍රයට ගොස් දේශීය මොරොක්කෝ පොප් සංගීතයක් බිහි කිරීමට දායක වූහ. එනිසා ඥාවා සංගීතය Jazz, Rock, Funk, Hip-hop සහ Drum’n’bass ඇතුළු බොහෝ සංගීත මාදිලි සමඟ මිශ්‍ර වී ඇත.
කවාලි සංගීත සම්ප්‍රදාය.
කවාලි යනු දකුණු ආසියානු සූෆි සංගීත සම්ප්‍රදාය ලෙස හැඳින්වීම වඩාත් නිවැරදිය. ආගමික පාර්ශවය පරයා ගොස් ආගමික නොවන සාමාන්‍ය සංගීත ක්ෂේත්‍රය තුළත් ඉහළ බලපෑමක් මෙය සිදු කර තිබීම වර්තමානයේ බිහිවන ඉන්දියානු ගීතවලින් පෙනී යයි. මෙම සංගීත ආරයට වසර 700ක ඉතිහාසයක් තිබේ. හසරත් අමීර් කුෂ්රු දිහ්ලාවි ශිෂ්දි විසින් පර්සියානු, අරාබි හා තුර්කි සංගීත සිද්ධාන්ත ඉන්දීය සංගීත ලෝකයට හඳුන්වා දුන්නේය. කවාලි යන නව සංගීත සම්ප්‍රදාය එතුමා විසින් දියුණු කරනු ලැබූවේ එකී සංගීත සිද්ධාන්තයන් සියුම්ව සම්මිශ්‍රණය කිරීමෙනි.
මෙම සම්ප්‍රදායට කවාලි යන නම ලැබුණේ ‘කව්ල් – භාෂණය’ යන අරාබි වචනයෙනි. චිත්තවේගී ‘වාග් හරඹ’ ලෙස විස්තර කළ හැකි දේ සමඟ අධ්‍යාත්මික කවි මුසු වීමෙන් කවාලි නිර්මාණය වේ. මෙම සංගීත සම්ප්‍රදායේ ආරම්භක චිස්ති සූෆිවරුන් දෙවියන් වහන්සේට සහ ඔහුගේ වක්තෘවරුන්ට ඇති ආදරය, අන් අයට සේවය කිරීම සහ සැමට සාමය ඇති කිරීම කෙරෙහි තමන්ගේ ජීවිතය කැප කරති.
සාම්ප්‍රදායිකව ඉන්දියාවේ සහ පකිස්ථානයේ කවාලි ගීත සහ සංගීතය වාදනය කරනු ලබන්නේ උසස් අධ්‍යාත්මික ශක්තියක් ඇති ස්ථාන ලෙස සැලකෙන සුෆි සාන්තුවරුන්ගේ සිද්ධස්ථාන වල ය. කවාලි සම්ප්‍රදාය බටහිර ලෝකයට හඳුන්වාදීමේ ගෞරවය හිමි වන්නේ නුස්රත් ෆාතිහ් අලි ඛාන්ට ය. ඉන්පසු බටහිරයේ අන්තර් සංස්කෘතික ප්‍රසංගවලදි කවාලි එක්කර ගැනීම සිදු විය.
කව්වාලි සම්ප්‍රදායේ වැදගත් වාද්‍ය භාණ්ඩ වන්නේ (සර්පිනාව) හාර්මෝනියම්, තබ්ලාව, තුර්කි නෙයි නළාව ආදියයි. වේගවත් නොවන රාගයක්, මිහිරි හඬක් සහිතව සූෆිවරුන්ගේ නෙයි නළාවත්, පසුබිමින් අත්පුඩි හඬ, අල්ලහ් නැතිනම් හූ යනුවෙන් නගන හඬ (ආලාෆ්) සමඟ තබ්ලාව හෝ ඩොලොක්, හාර්මෝනියම් මිශ්‍ර වීමෙන් අද්විතීය සංගීතයක් නිකුත් වේ. කව්වාලි ජන සංගීත ආරයේ ලක්ෂණ.
- මධ්‍ය ළයකින් ඇරඹෙන ගායනය
- ගීතය ගයන අතරවාරයේ උච්ච ස්වරයෙන් ගැයෙන වේග රිද්මය වෙත නැඹූරුවීම
- ගායනයේ පසුභාගයේදී පසුබිම් ගායකයන් විසින් නංවන ආලාෆ්.ඔස්කාර්
සම්මානලාභී ඉන්දීය සංගීතඥ ඒ.ආර් රහ්මාන් සූෆී ශානරයේ ගීත රැසකට දායක වූවෙකි. ලාංකිකයන් අතරත් බෙහෙවින් ප්‍රචලිත ජෝදා අක්බර් චිත්‍රපටයේ ‘ක්වාජා මේරේ ක්වාජා’, ඕකේ ජානු හි ‘මෞලා ව සල්ලිම්’, ඩිල්ලි සික්ස් හි ‘අර්සියන්’ ඉන් කිහිපයකි. තබ්ලා වාදනය පිළිබඳ ජාත්‍යන්තර කීර්තිය දිනාගත් උස්තාද් සාකිර් හුසේන් ද සූෆි සංගීත සම්ප්‍රදායේ පෝෂණය ලැබූවෙකි. ලෝ පූජිත සංගීතඥ රවි ශංකර් ද සංගීතය හදාරනු ලැබුවේ සූෆී සංගීතඥයෙකු වූ අලාඋද්දීන් ඛාන් ගෙනි. මධ්‍යකාලීන ඉන්දියාවේ සංගීතඥයන් බහුතරය මුස්ලිම් වීම සූෆි සංගීතය කෙතරම් දුරකට ඉන්දීය සංගීතයට බලපෑවේ ද යන්නට පැහැදිලි සාධකයකි. හින්දුස්තානි සංගීතය යනුවෙන් නව ශානරයක් ඉන්දියාවේ බිහි වූයේ සූෆි සංගීතයෙනි.
සූෆි සංගීතයෙත් තවත් බිහි වූ සංගීත සම්ප්‍රදායක් ලෙස මලයාසියානු රටවල්වල ෂේෂ වී තිබෙන කාව්‍ය සම්ප්‍රදායන් හඳුනාගත හැකිය. ලංකාවේ මැලේවරු අතරත් සාම්ප්‍රදායික මැලේ ජනගී සුරැකිව තිබෙන අතර ඒවා ද සූෆි ආරයෙන් සුපෝෂිතය.
ලාංකීය සිංහල ගීතයේ සූෆී සංගීතය
සිංහල ගීතයේ සූෆී සංගීත හා කාව්‍ය ලක්ෂණවලින් වැඩි බලපෑමක් සිදු වූයේ කව්වාලි ආරය මගිනි. ඒ මොහිදින් බේග් හරහා ය. 1958 වසරේ තිරගත වූ ‘එල් එස් රාමචන්ද්‍රන්’න්ගේ ‘දෙයියන්නේ රටේ’ සිනමා පටය සඳහා ඔහු ගැයු ගීතය ‘කවාලී’ සංගීත රසය සිංහල ගීතයේ මතු කරන්නට තැත් දෑරු මුල් අවස්ථාව යැයි අනුමාන කෙරේ. එහි සංගීත සංයෝජන නැසිගිය ‘පී.එල්.ඒ සෝමපාල’ විසින් සිදුකළ අතර ගීත පබැඳුම නැසිගිය ‘කරුණාරත්න අබේසේකර’ ගෙනි.
මොකටද කාසි බාගේ හොයා තියා………….
යනකොට ගෙනියනවද අනේ ඔයා……………..
මොකටද කාසි බාගේ හොයා තියා…………..
වෙනසක් අපේ නැතේ එයා කියා…………
මෙයා කියා………..
ජකෝලියා පොරෝලියා කොරෝලියා…………….
(ආලාෆ් කොටස – 01)
මසුරා නොකි නොබි නිදා ………
නාකි වී මැරි යනවා……….
අපි ඒ කකා බිබි නටා දැන් ….
මළත් හිනා වෙනවා…………….
(නැවතත් සුපුරුදු ගායන රටාව වෙත අවතීර්ණ වීම )
වෙනසක් අපේ නැතේ එයා කියා….
මෙයා කියා….
ජකෝලිය පොරෝලියා කොරෝලිය….
ඉන් සිව්වසරකින් ‘සංසාරේ’ සලරූ පටය වෙනුවෙන් ‘කරු අබේසේකර’ගේ ගී පද සංකල්පනාවෙන් බී.ඇස්.පෙරේරා සංගීතඥයාගෙන් දායකත්වයෙන් ගැයූ ‘මනුසතා ලෝකේ’ ගීතයත් කව්වාලි ආරට නිපදවන ලද්දකි.
මනුසතා ලෝකේ ඉපදී…………..
මංමුලා උනා මගදී…………..
හරිකියා කලේ වැරදි…………
මරුවගේ අතේ පරිදී………..
(ආලාෆ්)
වෙල්යායක ගොන් දෙන්නෙක් කකා උනි……….
ඉන් එක ගොනෙක් වල්ගය නැතිව වැනි වැනි….
වල්ගය නැති ගොනා මැස්සන්ට බැටදුනි….
දුප්පත් කමත් වල්ගය නැති ගොනා වැනි…..
මනුසතා ලෝකේ ඉපදී….
මංමුලා උනා මගදී….
හරිකියා කලේ වැරදි….
මරුවගේ අතේ පරිදී…..
ආචාර්ය සිරි ගුණසිංහයන්ගේ ‘රන්වන් කරල්’ කෙටි වෘතාන්ත සලරු පටයේ ජනාදරයට පත් පහත ගීතයත් කව්වාලි සම්ප්‍රදාය අනුගමනය කළ ගීතයකි.
ආලේ බැන්ද මාගේ පණේ ………………..
සෝමාවති මගේ සෝමාවතී ……………..
වැව් බැන්දා දිය බැන්දා සෝමාවතී ……………..
එකදු ගායිකාවක් සහභාගි කර නොගෙන ගායකයන් සමූහයක් පමණක් යොදාගනු ලැබ ඇති මෙකී නිර්මාණය උදෙසා ඔහු ‘කවාලි’ ගීත ආකෘතිය ප‍්‍රශස්ත ලෙස යොදාගෙන ඇති ආකාරය හොඳින් වටහා ගත හැකිවේ. කාන්තාවන් සහභාගි නොකර ගැනීමත් සූෆී සංගීතයේ තවත් වැදගත් ලක්ෂණයකි.
ඒ ගීත ශෛලියේ දී වැයෙන ‘හාර්මෝනියම්’ නාද රටා හා මුසුකොට ඇති ‘තබ්ලා’ වාද පරයා මතුවන ‘අත්පොළසන්’ හඞ මෙහිදී පැහැදිලිව ශ‍්‍රවණය කරන්නට හැකි වේ. මේ කවාලි ආරයේ නිර්මාණයන් සඳහා අමරදේවයන්ගෙන් අනර්ඝ දායකත්වයක් හිමි වුණි. පණ්ඩිත් අමරදේවයන් තුළත් භාරතයේ සූෆි සංගීතයේ ලක්ෂණ නොමදව කිඳා බැස තිබුණි.
බැඳි තත් බිඳුනා ………….
මිණිවෙණ වැයුනා ………….
දෝත පිදුනා ….
ඉහ මල් පිපුණා …………….
යන මර්සිලියන් ජයකොඩි පියතුමාගේ පදරචනයත් ෂෙල්ටන් ප්‍රේමරත්නගේ සංගීත මෙහෙයවීමත් සංගීතවේදී සරත් සන්දනායක, විමල් ජේ ශ‍්‍රියාරත්න සහ සුමිත් අහංගම ඇතුඵ පිරිස ගායනා කළ ගීතයත් ඉහත ආරට අනුව නිපදවුනු තවත් නිර්මාණයකි. (ප්‍රභාත් රාජසූරිය මහතාගේ හෙළදිව – භාරතය සිසාරා එදා රැව්පිළිරැව් නැගී කව්වාලි ගී රස ලිපිය ඇසුරින්)
සූෆීවාදයේ බලපෑම මධ්‍යකාලීන යුගය පුරා මෙරටටත් එලල් වූ අතර සූෆී සංගීතයත් රට පුරා ප්‍රචලිත වී තිබුණි. එහෙත් ලාංකීය ජනකලාව සමඟ මිශ්‍ර නොවූ ලංකාවේ සූෆී ගායනා වෙනම හුදෙකලා සම්ප්‍රදායක් ලෙස තවමත් සුරැකිව තිබේ. අවාසනාවකට සිංහල සංගීතයට ලංකාවේ සූෆී සංගීත උකහා ගන්නවා වෙනුවට ඉන්දියාවෙන් සහ පකිස්තානයෙන් ආනයනය කිරීමට සිදුවිය. සැබැවින්ම මෙම තත්වය ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ සූෆිවරුන්ගේ සහ මුස්ලිම්වරුන්ගේ හිඩැස පිළිඹිබු කරන්නකි.
ගෝලීය මුස්ලිම් ප්‍රජාව තුළත් ලංකා මුස්ලිම් සමාජය තුළත් කාලාන්තරයක් තිස්සේ සංගීතය ආගමානුකූලව අනුමත ද නැද්ද යන කතිකාවත සිදුවෙමින් තිබේ. පිරිසක් සංගීතය මුලුමනින්ම හරාම් හෙවත් තහනම් බවත් තවත් පිරිසක් සංගීතය සීමාවකින් තොරව හලාල් හෙවත් අනුමත බවත් තර්ක කරති. එහෙත් ඉස්ලාමයේ ප්‍රධාන මූලාශ්‍ර දෙක වන කුර්ආනය සහ හදීස් අධ්‍යනය කිරීමෙන් පෙනී යන්නේ සංගීතය සඳහා අනුමැතියක් ඉස්ලාමයේ තිබෙන බවයි.
මුහම්මද් නබි නායකයාණන්ගේ බිරිඳ අයිෂා තුමිය මෙසේ වාර්තා කර තිබීම සංගීතයට ඉස්ලාමයේ තහනමක් නැති බව පෙන්නුම් කරයි: “කුඩා අන්සාරි දැරියන් දෙදෙනෙකු මා අසළ බුආස් දිනයේ අන්සාර්වරුන්ගේ කතාව පිළිබඳ ගායනා කරමින් සිටිය දී අබූ බක්ර් මාගේ නිවසට පැමිණියේ ය. නමුත් ඔවුහු ගායිකාවන් නොවෙති. එවිට අබු බක්ර් තරයේ කියා සිටියේ, “අල්ලාහ්ගේ දූතයාණන්ගේ නිවස තුළ සාතන්ගේ සංගීත උපකරණ තිබෙනව ද!” මෙම සිදුවීම සිදු වූයේ ඊද් උත්සව දිනයක ය. එනසා අල්ලාහ්ගේ දූතයාණන් ඊට මෙසේ පිළිතුරු දුන්නේ ය, “අබු බක්ර්! සෑම ජාතියකටම උත්සව දිනයක් තිබෙන අතර මේ අපේ උත්සව දිනයයි.” (බුහාරි – 952)
නබිනායක තුමාණෝ උත්සව දින වැනි විශේෂ අවස්ථාවන්වල සංගීතය වාදනයට අනුමත දුන් අයුරුයි මින් ප්‍රකාශ වන්නේ. මෙම හදීසයේ තර්කය විමසා බැලීමේ දී පෙනී යන්නේ ඉස්ලාම් දහම තුළ සංගීතයට තහනමක් පනවා තිබුණේ නම් එම සංගීතයට කිසිදු මොහොතක අනුමැතියක් නොලැබෙන බවයි. නිදසුනක් ලෙස මත්පැන් පානය ඉස්ලාම් දහම තුළ තහනම් වන අතර කිසිඳු විශේෂිත අවස්ථාවකවත් ඊට ඇනුමැතිය තිබෙන බවක් ඉස්ලාමය සඳහන් නොකරයි. එනම් මත්පැන සම්පූර්ණයෙන්ම තහනම් ය. එනිසා කිසියම් සීමාවන්ට යටත්ව අනුමැතිය දී තිබෙන සංගීතය වැනි දේවල් ඉස්ලාමීය කෝණයෙන් වටහාගත යුත්තේ ඒවා අවස්ථානුකූලව අපිට උපයෝගීකරගත හැකි බවය.
ඇත්තෙන්ම යම් සංගීතයකට දහම තුළ අනුමැතිය නොලැබෙන්නේ ඒවා අයහපත් අසීලාචාර දුරාචාරයන්ට පොළඹ වන්නේ නම් පමණි. ඒ හැරත් මිනිස් හැඟීමක් ලෙසත් විනෝදාශ්වාදන මාධ්‍යයක් ලෙසත් සංගීත වාදනයට, රසවිඳීමට ඉස්ලාමයේ කිසිම බාධාවක් නැති බවයි බොහෝ ඉස්ලාමීය විද්වතුන් සලකන්නේ. ඒ වර්තමානයේ ද සුප්‍රසිද්ධ මුස්ලිම් සංගීතඥයින් සිටිති. ඔවුන්ගේ විශිෂ්ට නිර්මාණ මුස්ලිම් ප්‍රජාව අතර පමණක් සංගීතයට ආදරය කරන සැමගේ ඇගයීමට ලක් වී තිබීම අරුමයක් නොවේ. එවැනි ලෝ ප්‍රකට සංගීතඥයන් ලෙස සමී යූසුෆ්, අහ්මද් බුහ්කාතිර්, මාහිර් සෙයින්, යූසුෆ් ඉස්ලාම් වැන්නෝ සඳහන් කළ හැකි ය.
වර්තමානයේ මිනිස් හැඟීම් ඇවිස්සීමට සංගීතය භාවිත වනවා යන්න නොරහසකි. නමුත් පෙර කී පරිදි ඉස්ලාමයේ සංගීතයට අනුමැතිය හිමිවන්නේ යහපත් අන්දමින් භාවිත කිරීමට උදෙසා පමණි. සංගීතය යොදාගැනෙන්නේ කාමුකත්ව පෙළඹවීම, හැඟීම් ඇවිස්සීම ආදී පාපකර්මවලට හෝ කාලය අපතේ යැවීම වැනි නිෂ්ඵල ක්‍රියාවන්ට නම් එය තහනම් බව 31:6 යන කුර්ආන වැකියෙන් පැහැදිලිය. “මිනිසුන්ගෙන් සමහරෙක් විනෝදාස්වාදය මිල දී ගෙන නොදැනුවත්කම නිසා එමගින් ජනතාව අල්ලාහ්ගේ මාර්ගයෙන් නොමග යැවීමට සලස්වන්නාහ. මෙවැන්නන්ට අවමන් ගෙන දෙන දඬුවම් නියත වශයෙන්ම ඇත.” එසේ නම් සංගීතය අර්ථාන්විත විය යුතු ය. අරමුණක් තිබිය යුතු ය. සීමාව ඉක්මවා එහි ගිලී නොසිටිය යුතු ය. මෙවැනි සීමාන්ට යටත්ව සංගීතයට අනුමැතිය හිමි වේ.
සූෆි සංගීතය පිළිබඳව පර්යේෂණයක් සිදු කළ වරුන් සේනි පවසන මෙම උපුටනයෙන් සූෆි සංගීතය පිළිබඳ මෙම සටහන අවසන් කරමු. “ජනයින්ගේ විනෝදාශ්වාදය ඉලක්ක කර පොප් සංගීත නිර්මාණය කෙරෙයි. නමුත් සූෆි සංගීතය මිනිස් ආත්මයේ උන්නතිය අරමුණ කරයි.”