තිරසාර සංවර්ධනයට

සෞඛ්‍යය සහ යහපැවැත්ම

සෞඛ්‍යය සහ යහපැවැත්ම – තිරසාර සංවර්ධනයේ තුන්වන ඉළක්කය.

2030 වසරේ සපුරාගත යුතු තිරසාර අභිමතාර්ත අතර තෙවන ඉළක්කය සෞඛ්‍යය හා යහපැවැත්ම ය. ලොව සෑම රටක්ම සෞඛ්‍යය සඳහා සිය අයවැය යෝජනාවෙන් විශාල ධනයක් වෙන් කරනු ලබයි. සෞඛ්‍යයට වෙන් කරන සමස්ත මුදලින් වැඩි කොටසක් වැය කිරීමට සිදු වී තිබෙන්නේ වළක්වා ගත හැකි රෝගවලට ප්‍රතිකාර කිරීම සඳහා ය. එනිසා වර්තමානයේ ලෝක අවධානය යොමු වී තිබෙන්නේ සෞඛ්‍ය සම්පන්න ජීවන පුරුදු ප්‍රවර්ධනය කිරීම, ආරක්ෂණ ක්‍රමවේද සහ කාර්යක්ෂම සෞඛ්‍යය සේවාවක් ඇති කිරීම යන ඒවා කෙරෙහි ය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්වචන අනුව සෞඛ්‍යය යනු රෝගාබාධවලින් තොරවීම පමණක් නොව සම්පූර්ණ කායික, මානසික, සාමාජීය හා ආධ්‍යත්මික පරිපූර්ණත්වයයි. සෞඛ්‍යය, ආරක්ෂාව, යහපැවැත්ම සහ සතුට යනු එකිනෙකට බැඳුනු පද්ධතියකි. “ආරෝග්‍යා පරමාලාභා, සංතුට්ඨි පරමං ධනං” යනුවෙන් බුදුන් වහන්සේ දේශනා කළේ එබැවිනි.

සෞඛ්‍යය සෑම අයෙකුටම දායදයක් ලෙස ලැබෙන්නෙකි. එම දායාදය නිවැරදි ලෙස කළමනාකරණය කරගත යුතු වේ. නබි මුහම්මද් තුමා මෙසේ ප්‍රකාශ කළහ. “ජනයා ප්‍රශංසා නොකරන ආශිර්වාදයන් දෙකක් තිබේ. සෞඛ්‍යය සහ විවේකයයි.” (නබි වදන් ග්‍රන්ථ – බුහාරි) ඒ අනුව සෞඛ්‍යය යනු දෙවියන් විසින් මිනිසාට කළ ආශිර්වාද අතුරින් ප්‍රධාන දායාදයක් යන්න ඉස්ලාමයේ ස්ථාවරය බව පැහැදිලි ය. එමෙන්ම පුද්ගලයෙකුට ඉතා හොඳ ජීවිතයක් හිමි වීම සඳහා ඔහුගේ මූලික අවශ්‍යතා සපුරාගැනීම සහ ඔහුගේ ආරක්ෂාව තහවුරු වී තිබීම යන දෙකෙන් පසු වැදගත්ම සාධකය ඔහුගේ මනා සෞඛ්‍යය බව ඉස්ලාම් ධර්මය පිළිගනී. නබිතුමා වරෙක මෙසේ කීහ. “විශ්වාසයෙන් අනතුරුව සෞඛ්‍යයට වඩා කිසිවක් ශේෂ්ඨ නොවේ.” (නබි වදන් ග්‍රන්ථ – ඉබ්නු මාජා) තවත් අවස්ථාවක එතුමා කළ සඳහනක් මෙසේ ය. “තම ප්‍රජාව තුළ ආරක්ෂාවත්, තම සිරිරු සෞඛ්‍යයසම්පන්න බවත් දෛනික අවශ්‍යතාත් හිමි වන තැනැත්තාට ඔහුගේ නිය තුඩේ මුලු ලෝකයම තිබෙනවා හා සමාන ය.” එසේ නම් ලොව ජීවත්වන සෑම කෙනෙකුටම මනා සෞඛ්‍යයක් ලබා ගැනීම, එය පවත්වාගෙන යාම සහ රටක ඒ සඳහා අවශ්‍ය පරිසරයක් තිබීම මූලික අවශ්‍යතාවයකි. මේවා මූලික මිනිස් අයිතියක් ලෙස වර්තමානයේ පිළි ගැනේ.

සෞඛ්‍ය ගැටලු ඇති වූයේ ඇයි?

නූතනයේ මිනිසාට මුහුණ පෑමට සිදු වී තිබෙන ගැටලු හා අර්බුදයන් අතර සංකීර්ණම ගැටලුව, සෞඛ්‍ය ගැටලු යැයි කීම නිවැරදි ය. ගෝලීයකරණය, නාගරීකරණය, පාරිසරික වෙනස්වීම්, ජීවන රටාවන්වල වෙනස් වීම්, නව ආහාර රටා, සදාචාරය පිරිහීම, ආධ්‍යාත්මික පිරිහීම යන හේතූන් පාදක කරගෙන විවිධ කායික හා මානසික රෝග මිනිසුන් අතර බහුළ වී ඇත. “ඔබ ඔබවම අනතුරට භාජනය නොකරගනු” (අල්කුර්ආන් පාඨ – 2:195) යැයි දෙවියන් වහන්ස අල්කුර්ආනයේ පවසා තිබිය දී මිනිසාගේ අක්‍රමවත් සංවර්ධන පිළිවෙත් හේතුවෙන් අධිරුධිර පීඩනය, දියවැඩියාව, පිළිකා, හෘදයාබාධ වැනි බෝනොවන හා කොරෝනෝ, ඉබෝලා, ඒඩ්ස් වැනි වෛරස බහුළව අසන්නට ලැබේ. එපමණක් නොව රිය අනතුරු, ස්වභාවික විපත් ආදිය මිනිසාගේ යහපැවැත්මට තර්ජනයක් වී තිබීම අවාසනාවන්ත තත්වයකි. අදවනවිට මිනිසාට ලැබුණු සෞඛ්‍යයසම්පන්න ජීවිතය නැමැති ආශිර්වාදය අහිමි වි යාමේ අභියෝගයක් ලෝකය ඉදිරියේ ඇත.  පුද්ගල සෞඛ්‍යය ගිලිහී යාම තනි පුද්ගලයෙකුට පමණක් නොව ඔහුගේ පවුලට ඔහු සේවය කරන ආයතනයට වගේම රටේ නිෂ්පාදනයටත් අහිතකර ලෙස බලපාන බව ආර්ථික විද්‍යාවේ අදහසයි. එනිසා සෞඛ්‍යයට එල්ල වී තිබෙන අර්බුදය වහාම විසඳාගත යුතු ය. මේ සඳහා නව ජීවන රටාවකට පුරුදු පුහුණු වීම නුවණට හුරු ය.

සෞඛ්‍යය නැමැති දායාදය ආරක්ෂා කිරීමත්, එය ප්‍රවර්ධනය කිරීමත් දෙවියන් කෙරෙහි දක්වන කෘතවේදීත්වයකි. එලෙසම සෞඛ්‍යයට වින කරන හුරු පුරුදු, චර්යා රටාවන්ට යොමු වීමෙන් රෝගාබාධ නැමැති දඬුවම් මෙලොව තුළම හිමි විය හැකි ය. දෙවියන් වහන්ස මෙලෙස ප්‍රකාශ කොට තිබේ, “ඔබලා කෘතවේදී වන්නේ නම්, නුඹලා කෙරෙහි මගේ දායාදයන් වැඩි කරන්නම්” (අල්කුර්ආන් පාඨ – 14:7) උන් වහන්සේ මෙලෙස ද දක්වා ඇත, “එසේ තිබියදී කවුරුන් හෝ සාධක තමන් වෙත පැමිණි පසුත්, අල්ලාහ්ගේ සාධකයන් වන (එම) වරප්‍රසාදයන් වෙනස් කර දමන්නේ නම්, (ඔහුට) දඬුවම් කිරීමෙහි නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් දරුණු කෙනෙකි.” (අල්කුර්ආන් පාඨ – 2:211) ඉස්ලාමය මිනිසා පිළිපැදිය යුතු සෞඛ්‍ය පිළිවෙත් රැසක් ඉදිරිපත් කර තිබේ. 1996 වසරේ ඉස්ලාමීය ජීවන රටාව තුළින් සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීම සඳහා අම්මාන් ප්‍රකාශනය එළිදක්වන ලදි. අම්මාන් ප්‍රකාශනයේ හොඳ සෞඛ්‍ය පුරුදු ඇති කරගැනීම සඳහා කුර්ආන් සහ හදීස් පාදක කරගත් කරුණු 60ක් ගොනු කර තිබේ. එම කරුණු හැට අපේ එදිනෙදා ජීවිතයේ පුරුදු බවට පත් කරගත හැකි නම් 2030 වන විට සෞඛ්‍යය පිළිබඳ තිරසාර ඉලක්කය ළඟා කරගත හැකි ය. අම්මාන් ප්‍රකාශනයේ කරුණු කිහිපයක් මෙම ලිපියෙන් ඔබට ඉදිරිපත් කරන්නෙමු.

අම්මාන් ප්‍රකාශනයේ තෝරාගත් කොටසක් සංශිප්තව.

  • හොඳ ආහාර පාන ලබා ගැනීම සහ අයහපත්/අහිතකර ආහාර පානයන්ගෙන් වැළකී සිටීම සෞඛ්‍ය සම්පන්න බව ආරක්ෂා කරයි. සෞඛ්‍යයට හානිදායක අධික රසායනික භාවිතය කෘත්‍රීම ආහාර, විෂ සහිත ආහාර වර්ග මින් අදහස් කෙරේ.
    1. අපි ඔබට ලබා දුන් දැයින් පරිශුද්ධ දැයම අනුභව කරනු. (අල්කුර්ආන් පාඨ – 2:172)
    2. මිනිසුනේ! භූමියෙහි ඇති දැයෙන් (අනුභව කිරීමට) අනුමැතිය ලබා දී ඇති පරිශුද්ධ වූ දැයම අනුභව කරනු. (අල්කුර්ආන් පාඨ – 2:168)
    3. හොඳ දැයම ඔවුන්ට අනුමත කර තබනු ඇත. නපුරු දැය ඔවුන්ට වළක්වා හරිනු ඇත. (අල්කුර්ආන් පාඨ – 7:157)


  • සෞඛ්‍ය සම්පන්න පෝෂණයක් ලැබීමට, පළමුවෙන් ප්‍රමාණවත් සමබර ආහාර වේලක් ලබාගත යුතු වේ. ආහාර ප්‍රමාණය ඉක්මවා අනුභව කිරීම සෞඛ්‍යයට අහිතකර ය, එය ඉස්ලාමීය මඟ පෙන්වීමටත් පටහැනිය. ඉන් දරුණු රෝගාබාධ ඇති විය හැකි ය. අධික ලෙස ඇතැම් ආහාර වර්ග අනුභව කිරීම නිසා දියවැඩියාව, අධික රුධිර පීඩනය, ගැස්ට්‍රරයිටිස්, තරබාරුබව ආදි රෝග ඇති වන කවුරුත් දන්නා සත්යයකි.
    1. ඔබ අවශ්‍ය තරම් අනුභව කරනු, පානය කරනු, එහෙත් ප්‍රමාණය ඉක්මවා වියදම් නොයනු (අල්කුර්ආන් පාඨ – 7:31)
    2. “අපි ඔබට ලබා දුන් දැයෙන් හොඳ දැය අනුභව කරමින් සිටිනු. එහි ඔබ සීමාව ඉක්මවා නොයනු. (අල්කුර්ආන් පාඨ – 20:81)
    3. ඔවුන් පෝෂණය කරන කටවල් කිහිපයක් ආදම්ගේ පුත්‍රයින්ට ප්‍රමාණවත් ය. යනුවෙන් නබි තුමාණෝ කීහ. (නබි වදන් ග්‍රන්ථ – තිර්මිදි)


  • සෞඛ්‍ය සම්පන්න පෝෂණයක් ලැබීමට, දෙවනුව ගුණාත්මකභාවයෙන් සමබර ආහාර වේලකින් ලබාගත යුතු වේ. එනම් මෙහිදී මිනිස් සිරුරට අවශ්‍ය, ප්‍රෝටීන, මේදය, කාබෝහයිඩ්‍රේට්, විටමින් සහ වෙනත් පෝෂ්‍ය පධාර්ත සහිත දෙවියන් මිනිසුනට ආශීර්වාද කළ විවිධ ආහාරවල මිශ්‍රණයකින් ලබාගත යුතු ය. විවිධ මන්ද පෝෂණ තත්වයන්, ඇස් පෙනීම දුර්වල වීම, මොලයේ වර්ධනය අඩාල වීම, ඇතැම් කායික ආබාධ ඇති වන්නේ සමබර පෝෂණයක් නොලැබීම නිසා යැයි නූතන වෛද්‍ය විද්‍යාව තහවුරු කර තිබේ.
    1. මිනිසුනේ! ගවමහීෂාදි සතුන් ද ඔබලාට උණුසුම ලබා දීම සහ විවිධ ප්‍රයෝජන ගෙන දීම සඳහා ඔහුම නිර්මාණය කර ඇත්තේය. (අල්කුර්ආන් පාඨ – 16:5)
    2. මාළු (අල්ලා පිළියෙල කර) අනුභව කිරීම සඳහා ඔබලාට ඔහු මුහුද සුහුරු කර දුන්නේය. (අල්කුර්ආන් පාඨ – 16:14)
    3. එමගින්ම (ජලය) භෝගද, ඔලිව්, ඉඳි, මිදි ආදී සියලූම පලතුරු වර්ගද ඔහු ඔබට උත්පාදනය කරන්නේය. (අල්කුර්ආන් පාඨ – 16:11)


  • නිතර ආහාර වසා තැබිය යුතු බවත් අපිරිසිදු දේවල් වෙත නිරාවරණය නොකළ යුතු බවත් ඉස්ලාමය පවසයි. ආහාර වසා නොතැබීමෙන් විවිධ කෘමීන්, ක්ෂුද්‍ර ජීවීන් ආහාරයට නිරාවරණය වීමෙන් ද අනතුරුදායක තත්වයන් ඇති වීමේ ඉඩක් තිබේ.
    1. සෑම විටම ආහාර භාජන වසා තබන්න. (නබි වදන් ග්‍රන්ථ – ඉබ්නු මාජා)
    2. සෑම විටම ආහාර සහ පාන ආවරණය කර තබන්න. (නබි වදන් ග්‍රන්ථ – බුහාරි)


  • ජලය අපිරිසිදු කිරීම ඉස්ලාමය අනුමත නොකරයි. විශේෂයෙන් ගලා නොබසින ජලය. ගලා නොබසින ජලය තුළට මුත්‍රා කිරීමත්, මලපහ කිරීමත්, එහි සෝදා හැරීමත් අනුමත නොකරයි. ජලය දූෂණය කිරීම නිසා සමාජය ජීවත් වන එක් කොටසකට පිරිසිදු ජලය නොලැබීම නිසා රෝගාබාධ ඇතිවීමේ ඉඩකඩ තිබේ.
    1. ජල මූලාශායන්වලත්, මාර්ගයේත්, සෙවන දෙන ගස් යටත් මල පහ කිරීම; යන ශාපයන් තුනෙන් මිදී සිටින්න, (නබි වදන් ග්‍රන්ථ – අබූ දාවුද්)
    2. ගලා නොබසින ජලයේ මුත්‍රා නොකරන්න. (නබි වදන් ග්‍රන්ථ – ඉබ්නු මාජා)


  • ඉස්ලාමයට අනුව පිරිසිදුකම සෞඛ්‍ය සම්පන්න ජීවිතයක වැදගත්ම කොටසකි. අපිරිසිදුකම ඡර්ම රෝග, බරවා වැනි මාරාන්තික රෝග තත්වයන්ට මුලපිරිය හැකි ය.
    1. පිරිසිදුකම විශ්වාසයේ අඩකි. (නබි වදන් ග්‍රන්ථ – මුස්ලිම්)


  • අපිරිසිදු යමක් ස්පර්ශ කිරීමෙන් පසු දෑත් සේදිය යුතු ය. එමෙන්ම ආහාර ගැනීමට පෙර සහ පසු ද අත් සේදිය යුතු ය. නිතර දෑත් පිරිසිදු කිරීමේ අවශ්‍යතාවය කොවිඩ් වසංගතයත් සමඟ මිනිසුන් අවබෝධ කරගෙන සිටිති. දෑත් පිරිසිදු නොකරන විට කොරෝනා වැනි මාරාන්තික වසංගත පවා ආසාදනය වීමේ සම්භාවිතාවක් පවතී.
    1. ආහාර ගැනීමට පෙර නබිතුමාණත් අත් සේදීමට පුරුදු වී සිටිය හ. (නබි වදන් ග්‍රන්ථ – නසඉ)
    2. යමෙක් නිදාගෙන සිටින අතර, ඔහුගේ දෑත් මේදයෙන් පිරිසිඳු නොවේද, ඔහුට හානියක් සිදු වේ නම්, ඔහු තමාට හැර අන් කිසිවකුට දොස් පැවරිය යුතු නැත. (නබි වදන් ග්‍රන්ථ – තිර්මිදි)


  • ආහාර ගත් පසු මුඛ පිරිසිදු කිරීම, දිනපතා දත් මැදීම යහ සෞඛ්‍ය පුරුදු වේ. දත් දිරා යෑම, මුඛ පිළික ඇති වීම වැනි මුඛ ආශ්‍රිත රෝග වර්තමානයේ බහුල වීමට එක් හේතුවක් වන්නේ නිසි කාලාන්තරයකට අනුව දත් හා කට පිරිසිදු නොකිරීම ය.
    1. කිරි බීමෙන් පසු කට සෝදන්න. මන්ද එය තෙල් සහිත ය. (නබි වදන් ග්‍රන්ථ – ඉබ්නු මාජා)
    2. නබිතුමාණෝ මෙසේ පැවසූහ. ආහාර කැබලි නොරැඳෙන ලෙස පිරිසිදු කර දත් මැදගන්න. (නබි වදන් ග්‍රන්ථ – ඉබ්නු මාජා)
    3. දහවල් හෝ රාත්‍රියේ නබිතුමාණෝ නින්දෙන් අවදි වූයේ නම් වූළු කිරීමට පෙර දත් මැදගන්නේ ය. (නබි වදන් ග්‍රන්ථ – අබූ දාවුද්)


  • ව්‍යායාම් කිරීම තුළින් කාය ශක්තිය වර්ධනය කරගැනීමට ඉස්ලාමය උන්නදු කරයි. බොහෝ ලෙඩරෝග සඳහා ප්‍රතිකාරය පෙර රෝග වැළැක්වීමේ ක්‍රමවේදය ව්‍යායාම් වේ. අධික තරබාරුකම, අලසකම පහසුවෙන්ම ව්‍යායම් තුළින් අවම කරගත හැකි ය.
    1. ඔබේ ශරීරයට ඔබට වගකීමක් ඇත. (නබි වදන් ග්‍රන්ථ – මුස්ලිම්)
    2. කායිකව දුර්වල විශ්වාසිකයාට වඩා ශක්තිමත් විශ්වාසිකයා විශිෂ්ඨ ය. (නබි වදන් ග්‍රන්ථ – මුස්ලිම්)


  • ඉස්ලාමයට අනුව නිවසක් තිබීම කායික හා මානසික නිදහස තහවුරු කරන්නකි. නිවසේ පිරිසිදුකම වැදගත් ය.
    1. ඔබගේ නිවෙස් අල්ලාහ් ඔබට නිදහස ලබා දෙන ස්ථානයක් වශයෙන් සැලැස්සුවේය. (අල්කුර්ආන් පාඨ – 16:80)
    2. ඔබේ නිවෙස් පිරිසිදු කරගන්න. (නබි වදන් ග්‍රන්ථ – තිර්මිදි)


  • වස්ත්‍ර ද දෙවියන්ගේ ලැබුණු දයාදයකි. එය මිනිසා සීතල සහ උණුසුමෙන් ආරක්ෂා වීමට උපකාරි වන්නේ ය. වස්ත්‍ර පිරිසිදු හා අලංකාරව තබාගත යුතු වේ.
    1. ඔබගේ නිරුවත වසා ගත හැකි වස්ත්‍ර ද, අලංකාරවත් කරන ඇඟලුම් ද නියත වශයෙන්ම අපි ඔබට ලබා දී ඇත්තෙමු. (අල්කුර්ආන් පාඨ – 7:26)
    2. දෙවියන් අලංකාරය. ඔහු අලංකාරය ප්‍රිය කරන්නේ ය.


  • පවුලක් ලබා ගැනීමටත්, කායික, මානසික සහ ලිංගික සන්සුන් භාවය සඳහාත්, විවාහය අවශ්‍ය ය. වැරදි ඉස්ලාමය වැරදි ලිංගික වළක්වන්නේත් කායික හා මූල්‍යමය හැකියාව ඇති තරුණයන් විවාහ කරගන්නා ලෙස ආරාධනා කරන්නේත් එබැවිනි. නීත්‍යානුකූල ක්‍රමයට ලිංගික අවශ්‍යතා සපුරා ගෙනීමේ අවස්තාව නොමැති විට දුරාචාරයේ යෙදීමෙන් ඒඩ්ස් ආදී මාරාන්තික රෝග ද වෙනත් ලිංගාශ්‍රිත රෝග ද ඇති විය හැකි ය.
    1. දෙවියන් පවසයි : (ඔබ එක්කාසු වී ජීවත් විය හැකි ඔබගේ) භාර්යයාවන්ව ඔබ ඔවුන් වෙත හිත සුව ලැබීම පිණිස ඔබගෙන්ම ඔහු නිර්මාණය කර, ඔබ අතරේ ආදරය ද කරුණාව ද ඇති කර තිබීම ද, ඔහුගේ සාධකයන්ගෙන් එකකි.
    2. ඕ තරුණයින්! හැකියාව ඇති අය විවාහ වන්න. (නබි වදන් ග්‍රන්ථ – ඉබ්නු මාජා)
    3. නබිතුමා මෙසේ කීහ. “දුරාචාරයේ නැයිලීමට මම විධානය කරනු නොලැබුවෙමි”. (නබි වදන් ග්‍රන්ථ – දාරමි)


  • ළදරුවාට මව් කිරීම දීම කෙරෙහි මව්වරුන්ට ඉස්ලාමය උන්නදු කරයි. එමෙන්ම මවගේ සෞඛ්‍යය ආරක්ෂා කරගැනීමටත් පවුල් සැලසුම් සඳහාත් ඉස්ලාමය එරෙහි වන්නේ නැත. වර්තමානයේ ඇතැම් මව්වරු තමන්ගේ ලස්සන ආරක්ෂා කරගැනීමට යැයි මව් කිරි දීමෙන් වැළකි සිටීම නිසා ඔවුන්ට පියයුරු පිළිකා තත්වයන් ඇතිව තිබෙන බව තහවුරු වී ඇත. එමෙන්ම දරුවන් ද මව් කිරි නොලැබීම නිසි විවිධ සංකූලතාවන්ට මුහුණ පා සිටිති.
    1. මව්වරුන් තමන්ගේ ළදරුවන්ට අවුරුදු දෙකක් දක්වා පූර්ණ වශයෙන් කිරි දිය යුතුය. (අල්කුර්ආන් පාඨ – 2:233)
    2. ඔබට අවශ්‍ය නම් සංසර්ගයට බාධා කරන්න, යැයි නබිතුමාණෝ කීහ. (නබි වදන් ග්‍රන්ථ – මුස්ලිම්)


  • දරුවන් සෞඛ්‍ය සුවතාව පිළිබඳ අවධානය යොමු කිරීම ඉස්ලාමය තුළ මාපිය වගකීමකි. දරුවන් සහ ඔවුන්ගේ සෞඛ්‍යය නොසලකා හැරීම දරුණු පාපකර්මයකි. දරුවන් තුළින් කුඩා වියේ දක්නට ලැබෙන ඇතැම් රෝග ලක්ෂණ වහාම වෛද්‍යවරයෙකුට පෙන්වා ප්‍රතිකාර ලබාගත යුතු ය. එසේ නොකළේ නම් ඇතැම් විට එම දරුවා ලොකු වීමෙන් පසු කුඩා කළ දක්නට ලැබුණු රෝග ලක්ෂණ නිසා දරුණු රෝගාබාධයන්ට මුහුණ පෑමට පුලුවන.
    1. දරුවන් බලා නොගන්නා තැනැත්තා අපට අයත් අයෙකු නොවේ. (නබි වදන් ග්‍රන්ථ – අබූ දාවුද්)
    2. පිරිමියා සිය පවුලේ භාරකරු වන අතර ඔහු ඔවුන්ගේ වගකීම්දාරියා වේ. බිරිඳ සිය සැමියාගේ නිවසේ භාරකාරිය වන අතර ඇය එහි සහ දරුවන්ගේ වගකීම්දාරියා වන්නී ය. (බුහාරි හා මුස්ලිම්)


  • පවුල සහ සමාජය තුළ ඉස්ලාමීය චර්යාවන් අනුගමනය කිරීම තුළීන් මානසික සෞඛ්‍යය ආරක්ෂා කරගත හැකි යැයි ඉස්ලාමය කියා සිටියි; ඉස්ලාමය නිතර දේශනා කරන්නේ ප්‍රචණ්ඩත්වයෙන් තොර ඉවසිලිවන්ත ජීවන ක්‍රමයකි. එමගින් තනි පුද්ගල මානසික සුවය මෙන්ම සමාජය තුළ සාමය ද පවත්වාගත හැකි ය.
    1. කවුරුන් හෝ (අනුන් කළ අපරාධය) ඉවසිලිමත්ව විඳ දරාගෙන සමාව දුන්නහොත් නියත වශයෙන්ම එය ඉතාමත් වීර ක්‍රියාවන්ගෙන් වූ කාරණාවක් වන්නේය. (අල්කුර්ආන් පාඨ – 42:43)
    2. එකිනෙකාට වෛර නොකරන්න, ඊර්ෂ්‍යා නොකරන්න, එකිනෙකාට සතුරු නොවන්න, ඔබ අතර සබඳතා බිඳ නොදමන්න, යනුවෙන් නබිතුමාණෝ ප්‍රකාශ කළහ. (නබි වදන් ග්‍රන්ථ – බුහාරි හා මුස්ලිම්)


  • දුම්පානය, ඇල්කොහොල්, මත්ද්‍රව්‍ය සහ අනෙකුත් අන්ත්‍රායකර ඖෂද භාවිතය සහ ජීවිතය, දේපල සහ අනෙකුත් දේවල්වලට, හානිකර බලපෑම් ඇති කළ හැකි, සෑම දෙයකින්ම ඉස්ලාමය වළක්වයි. මෙරට රෝහල්වලින් මත්පැන් පානය කිරීම නිසා ඇතිවන රෝගාබාධ, රිය අනතුරු, ආරවුල් හේතුවෙන් තුවාලකුරුවන්ට ප්‍රතිකාර කිරීමට වාර්ෂිකව වැය වන මුදල සමස්ථ සෞඛ්‍ය අංශයටම වෙන්කරන මුදල මත්ද්‍රව්‍ය හා දුම්වැටිවලින් අයකරගන්න බදු මුදලට වඩා වැඩි ය.
    1. (නබිතුමණී!) සුරාව ගැන ද, සූදුව ගැන ද ඔවුන් ඔබගෙන් විමසන්නාහ. ඔබ මෙසේ පවසනු: “මේ දෙකෙහිම විශාල පාපයන් ඇත්තේය.”( අල්කුර්ආන් පාඨ – 2:219)
    2. “නියත වශයෙන්ම මගේ දෙවියන් (අනුමැතිය නැතැයි) වළක්වනු ලැබූ දැය නම්, ප්‍රසිද්ධියේ හෝ රහසින් හෝ අවමානය ගෙන දෙන ක්‍රියාවන්ද, අනිත් පාපයන්ද….. (අල්කුර්ආන් පාඨ – 7:33)
    3. ඔබම ඔබව ඝාතනය නොකරගන්න. (අල්කුර්ආන් පාඨ – 4:29)


  • ප්‍රතිකාර මගින් වැළැක්විය හැකි රෝගයන්වලට ප්‍රතිකාර කරන ලෙසත් ඉස්ලාමය අවධාරණය කරයි. ඇතැම් අන්ධ ලබ්ධිකයෝ රෝගාබාධවලට ප්‍රතිකාර නොගෙන දෙවියන්ගෙන් සුවය ප්‍රාර්ථනා කරති. එය මුග්ධ ක්‍රියාවක් බව ඉස්ලාමය පෙන්වා දෙයි.
    1. සෑම රෝගයක් සඳහාම ඖෂධයක් ඇත්තේ ය. නිවැරදිම ඖෂධය ලබා දෙනු ලැබුවේ නම් සුවයක් ලැබේන්නේ ය. (නබි වදන් ග්‍රන්ථ – මුස්ලිම්)


  • වැඩිහිටි ප්‍රජාවගේ කායික හා මානසික සෞඛ්‍යය සුරැකිය යුතු ය. සමාජය තුළ අවධානය යොමු කළ යුතු වැදගත්ම පිරිස වැඩිහිටියන් ය. වර්තමානයේ අපේ රටේ වැඩිහිටි ජනගහණය සීඝ්‍රයෙන් ඉහළ යමින් තිබේ. ඒ සමගාමීව වැඩිහිටියන්ගේ ගැටලු ද වැඩිවිය හැකි ය. එවන් තත්වයක් තිබිය දී තම දෙමාපියන් බලා කියා ගැනීම දරුවන් විසින් කළ යුතු වගකීමකි යැයි ඉස්ලාමය පෙන්වා දෙන ඉගෙන්වීම අපේ සමාජයට කාලෝචිත ය.
    1. මව්පියන්ට කරුණාවන්ත විය යුතු ය. ඔවුන්ගෙන් කෙනෙකු හෝ නැතහොත් දෙදෙනාම හෝ මහළු වියට පැමිණියා වුවද, ඔවුන් ඔබ සමඟම සිටිය යුතු ය. ඔවුන්ට නොඉවලිවන්තකමක් හෝ තරවටු කිරීමක් නො පෑ යුතු ය. ඔවුන්ව ගෞරවාන්විතව ආමන්ත්‍රණය කළ යුතු ය. (අල්කුර්ආන් පාඨ – 17:23)

අම්මාන් ප්‍රකාශනයේ සඳහන් සෞඛ්‍ය පිළිවෙත් වඩාත් කාලොචිත හා ප්‍රායෝගිකය. වර්තමානයේ ලෝකය මුහුණ දී තිබෙන සෑම සෞඛ්‍ය ගැටලුවක් සඳහාම එතුළ විසඳුමක් තිබේ. එනිසා 2030 තිරසාර ඉලක්කයක් ලෙස සෑම වයස් කාණ්ඩයකම පුද්ගලයන්ට සෞඛ්‍ය සම්පන්න දිවියක් හිමි කරගැනීමට අම්මාන් ප්‍රකාශනයේ තිබෙන ජීවන පිළිවෙත් පිළිපැදීම සුදුසු යැයි අප යෝජනා කරමු.

අම්මාන් ප්‍රකාශනය.

https://apps.who.int/iris/bitstream/handle/10665/119558/dsa51.pdf?sequence=1&isAllowed=y

සකස් කළේ – සකීෆ් සාම්.

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *