පානාතිපාතා (1) සහ කත්ල් (2)
“පානාතිපාතා වේරමණී සික්ඛා පදං සමාදියාමි”
කිසිම සතෙකු නො මැරීමේ ශීලය මම රකිමි. (පංච ශීලය)
“ෆකඅන්නමා කත්ලන් නාස ජමීආ”
(තවත් ජීවියෙක්) ඝාතනය කිරීම සියලු ජීවීන් ඝාතනය කිරීම හා සමාන ය. (අල්කුර්ආනය)
බෞද්ධ දෘෂ්ටියෙන් ප්‍රාණ ඝාතනය.
මෙලොව ජීවත් වන්නෝ අකුසල කර්ම වර්ග තුනක් තම තමන්ගේ ශරීර අවයවයෙන් කරන බව බුදු රජාණන් වහන්සේ දේශනා කළහ. ඉන් පළමු වැන්න ‘පානාතිපාතා’ එනම් ප්‍රාණ ඝාතනයයි. දෙවනුව ‘සොරකම’ සහ තෙවනුව ‘කාම මිත්‍යාචාර ක්‍රියා’ යැයි උන්වහන්ස වදාළහ. බෞද්ධ ඉගෙන්වීම්හි ප්‍රාණ ඝාතනය ගැන සඳහන් වන්නේ මෙලෙසයි. ‘ලුත්තේ’ ඉතා අමානුෂීයව ‘ලෝහිතපානි’ රුධිරය තැවරුණු අතින්, ‘හදපහදේ නිවිට්ටෝ’ ඇණ කොටා මරා දැමීමේ සිතැතිව ‘අදයාපන්නෝ සප්පාන පූදේසු’ ප්‍රාණීන් කෙරෙහි කිසිදු අනුකම්පාවක් නොමැතිව ප්‍රාණ ඝාතනයක් කරන්නේ නම් එය ‘පානාතිපාතා’ සත්ව හිංසනය වෙයි. (මජ්ජිම නිකාය – දේවදූත සූත්‍රය) (3) පානාතිපාතා යන ප්‍රාණ ඝාතනයෙන් වැළකීම පංචශීල අතුරින් පළමු ශිලය වෙයි. ජීවය ඇති සියල්ල ප්‍රාණ ලෙස සැලකෙයි. ඒ අනුව මෙම සංකල්පයෙන් කිසිවකගේ ප්‍රමාණයන් නොසලකා ජීවී සියල්ල ප්‍රාණ ලෙස සලකනු ලැබේ.
සැමට ජීවත්වීමේ ආශාව තිබේ. එනිසා කිසිවෙකු, කිසිවක ඝාතනය කිරීම හෝ ඝාතනය කිරීමටට පෙළඹවීම නොකළ යුතු යැයි බුදු දහම දේශනා කරයි.
සබිබඛේ තසන්ති දණ්ඩස්ස සබ්බේ භායන්ති මච්චුනො
අත්තානං උපමං කත්වා න හනය්‍ය න ඝාතයෝ (4) (ධම්මපදය)
මේ භවයේ සත්ව හිංසනයන් සිදුකරන තැනැත්තා මතු භවයේ එහි විපාක විඳින්නේ ය. ‘සියලු ජීවීන් සැනසීමෙන් ජීවත් වීමට ප්‍රිය කරයි. නමුත් කවරෙකු තම සැනසුම උදෙසා සෙසු ජීවින්ට පහර දී හිංසා කරන්නේ ද ඔහු පරලෝ සැනසුම නොලබන්නේ ය. (5), මුනිවරු කවුරුන් ද යන්නත් මුනිවරු නොවන්නේ කවුරුන් ද යන්නත් ධම්මපදය විග්‍රහ කරයි.
ප්‍රාණ ඝාතනයක් අකුසල කර්මයක් වීමට කෝන්දේසි පහක් සපිරිය යුතු වේ.
‘පාණෝ භවේ පාණසඤ්ඤි
වධ කචිත්ත මුපක්කමෝ
තේන ජීවිත නාසෝ ච
අංගා පඤ්ච වධස්සීමේ’
- ජීවයක් තිබීම. (ජීවියාට ප්‍රාණය තිබිය යුතු ය)
- දැනුම – ජීවියා ප්‍රාණීව සිටින බවට දැනුවත්ව සිටීම.
- ඝාතනය කිරීමේ ඡේතනාව හෝ ඝාතනය කිරීමට තීරණය කිරීම.
- ඝාතනය කිරීට සූදානම් වීම.
- මේ හේතුවෙන් සිදුවන ප්‍රාණ ඝාතනය. (8) එනමුත් යම් තැනැත්තෙක් හෝ වෙනත් ජීවියෙකු මැරීමට හඹා යෑමේ දී සිදු වූ අනතුරකින් ඔහු හෝ එම ජීවියා ඝාතනය වූයේ නම් එය ප්‍රාණ ඝාතනයක් ලෙස සැලකෙන්නේ නැත.
ගුණ යහපත් අයෙකු මරා දැමීම, ගුණ යහපත් නොවන්නෙකු මරා දැමීමට වඩා, මව, පියා, පූජකයන්, අරහතුන් වහන්සේලා මරා දැමීම/අපවත් කිරීමට වඩා බයානක ය. එමෙන් ම ආත්මාරක්ෂාව උදෙසා කරනු ලබන ඝාතනයකට වඩා තන්හාව නිසා කරනු ලබන ඝාතන බරපතල ය. සත්වයින්ට වඩා මිනිසා ගුණධර්ම අනුගමනය කරන්නෙකු බැවින් සතුන් ඝාතනය කිරීමට වඩා මිනිසුන් ඝාතනය කිරීම බැරෑරුම් ය. මිනිසුන් අතුරින් බ්‍රාහ්මණයන් ඝාතනය කිරීම පාපයකි. (9) ‘කිසියම් ජීවයක ප්‍රාණය නසන්නෙකු මතු භවයේ දී, වස්තූන්, ලස්සන යන සියල්ල ලැබුව ද හොඳ මරණයක් ලබන්නේ නැත’ යන්න බෞද්ධ ඉගෙන්වීමයි.
“බුදුදහම සාකල්‍යයෙන් ම මානව කේන්ද්‍රීය දහමක් වන අතර මිනිස් දිවියෙහි උත්තරීතරත්වය මනාව අගයයි. මනුෂ්‍ය ඝාතනය හෙළා දකී. උපසපන් භික්ෂුවක විසින් මනුෂ්‍ය ඝාතනය කළහොත් හෙතෙම පාරාජිකා වූයේ වෙයි. පන්සිල්හි මුලින් ම සඳහන් වන්නේ ප්‍රාණ ඝාතයෙන් වෙන් වීමයි. එය මානව වර්ගයාට සීමා නොවී සියලු සත්වයන් විෂයෙහි ම අදාළ වේ. විරමනය පමණක් නොව සමාදානය ද එයට අයත් වේ. පන්සිල්හි මුල් ශික්ෂා පදය ආරක්ෂා කරන්නා ප්‍රාණ ඝාතය අතරහැර, ප්‍රාණ ඝාතයෙන් වැළකී දඬු මුගුරු හා අවි ආයුධ හැර දමා පවට ලැජ්ජා වූයේ දයාන්විතව සියලු ප්‍රාණීන් කෙරෙහි හිතානුකම්පා පෙරදැරිව වසයි. (10) මෙලෙස මෛත්‍රී ගුණය ප්‍රගුණ කිරිමට මෙත්ත සූත්‍රය මග පෙන්වයි. සියලු සත්වයන් කෙරෙහි ම මෙත් සිත පැතිර වීමට එහි දී අනුදනී.
කෙලෙස් සහිත – රහිත, සිරුරින් දිග් වූ ද, මහත් වූ ද, කුඩා වූ ද, සියුම් හෝ ස්ථූල වූ ද (11) සත්වයන්ටත්, දුටු – නුදුටු හෝ දුර-ළග හෝ සිටින සත්වයන්ට (12) පමණක් නොව ඉපිදෙමින් සිටින සත්වයන්ට පවා මෙත් වඩති. මෙසේ සියලු සතුන්ට ම සිටින, ඇවිදින, හිඳින ආදී වශයෙන් සෑම විටෙක ම මෛත්‍රී සහගත වීමට උගන්වයි. මව තම දරුවා රකින්නාක් මෙන් අප්‍රමාණ සත්වයා වෙත මෙත් වැඩීමට (13) අනුශාසනා කෙරේ. මෙය ප්‍රගුණ කළ පරමාදර්ශී ලෙස මෙත් වඩන්නා තම ශරිරාවයව කියතක් ගෙන කපා වෙන් කරද්දී වුව ඔවුන් කෙරෙහි ද වෛර නොකරමින් මෙත් වැඩු අයුරු මජ්ජිම නිකායේ කකචූපම (14) සූත්‍රගත කථා පුවතින් පැහැදිලි වෙයි.
“වෛරයෙන් වෛරය නො සන්සිඳේ. වෛරය සන්සිදෙන්නේ මෛත්‍රියෙන්”(15) යන්න බුදුදහමේ ඉතැන්වීම යි. මෙලෙස සත්ව ඝාතනය, හිංසනය පිටු දැක මෛත්‍රී සහගත වීමට බුදුදහම කරුණු දක්වා තිබෙන්නේ ආචාර විද්‍යාත්මක පදනමක් මත සිට ය. සියලු සත්වයෝ සැප කැමති වෙති. (16) දඬුවමට බිය වෙති. එමෙන් ම ජීවිතයට ප්‍රිය වෙති. (17) මේ නිසා තමා උපමා කොට අන්‍යයන්ට හිංසා නො කළ යුතු ය. නොමැරිය යුතු ය, එමෙන් ම නොමැරවිය යුතු ය(18) මෙසේ අන්තූපනායක ධර්මයන් හි පිහිටා ප්‍රාණඝාතාදියෙන් වැළකීමට සංගුප්ත නිකායේ වෙළුද්වාර සූත්‍රයෙහි ද කරුණු දැක්වේ.
ඉස්ලාමීය දැක්මෙන් ප්‍රාණ ඝාතන.
ඉස්ලාම් ධර්මය මිනිසාට විදානය කරන්නේ සියලු මැවීම් සමඟ ඉතා මැනවින් හැසිරෙන ලෙස ය. දේවිඳාගේ සියලු මැවීම් සමඟ යහපත් අන්දමින් කටයුතු කිරීමත්, ඇදහීමක් වන්නේ ය. “මහපොළොවේ සිටින්නවුන්ට කරුණාව දක්වන්න. අහසේ සිටින්නා ඔබට කරුණාව දක්වනු ඇත. (19)
එමෙන් ම ඉස්ලාමය අල්ලාහ්ගේ මැවීම් පිළිබඳවත් සුපැහැදිලි සංකල්පයක් ඉදිරිපත් කොට තිබේ. මලක්වරු, මිනිස්සු, ජින්වරු ඇතුළුව මහපොළොවේ ජීවත් වන ජීවීන් සියල්ල දේව මැවීම් යන සංකල්පය ඉස්ලාමය හඳුන්වා දෙයි.
‘මැවීම් අල්ලාහ්ගේ කුටුම්භය වේ. අල්ලාහ්ට වඩාත් ප්‍රිය තැනැත්තා අල්ලාහ්ගේ කුටුම්භයට ප්‍රයෝජනවත් තැනැත්තා ය.” (20) මෙම හදීසය තුළින් එක් මූලික කරුණක් මිනිසාට පෙන්වා දෙනු ලැබේ. මිනිසා මිනිසුන්ට ආදරය කරන අන්දමින් ම සෙසු නිර්මාණයන්ට ද ආදරය දැක්විය යුතු වේ. දෙවියාගේ කුටුම්භයට ප්‍රයෝජනවත් වීමෙන් දේව ප්‍රසාදය මිනිසාට ළඟා කර ගත හැකි ය.
අල්ලාහ්ගේ ජීවී මැවීම් කොටස් තුනකට බෙදා දැක්විය හැකි ය.
1 – මානවයා
2 – ශාක ජීවීන්
3 – සත්ව ජීවීන්
දැන් මේ එකින් එක සවිස්තරව සාකච්ඡා කරමු.
මානවයා.
ඉස්ලාම් ධර්මය විවිධ ඉගෙන්වීම් ඔස්සේ මිනිසා සෙසු මිනිසුන්ට ආදරය කිරීම සම්බන්ධයෙන් මගපෙන්වීමක් පිරිනමයි. මිනිසුන් අතර ‘මනුෂ්‍යත්වය’ යන ගුණාංගය උද්දීපනය වීම ඉස්ලාමයේ ඉළක්කය වෙයි. මානවයාගේ ආරම්භය පිළිබඳව ඉස්ලාමය පවසන්නේ මෙලෙසිනි. “මිනිසුනේ! නියත වශයෙන් ම අපි ඔබව එක් පිරිමියෙකු හා ගැහැනියකුගෙනන් උත්පාදනය කළෙමු. පසුව කෙනෙකු අනිත් කෙනාව හඳුනා ගැනීම පිණිස ජාතීන් බවට ද, ගෝත්‍රිකයින් බවට ද පත් කළෙමු.” (21)
මෙවැනි විග්‍රහයක් සිදු කරන්නේ මානවයා මැවූ දෙවියන් වහන්ස විසිනි. ‘ජාතියෙන් වර්ණයෙන් විවිධ වුවත්, පෙළපතෙන් කුලයෙන් වෙනස්කම් තිබුණත් සියලු දනන් එක මවකගේ සහ එක ම පියෙකුගේ දරුවෝ වෙති’ යැයි ඉස්ලාමය ඉදිරිපත් කරන ස්ථාවරය මානව ඒකාබද්ධතාවයට මහෝපකාරි වන්නේ ය.
භූමියෙහි දෙවියන්ගේ නියෝජිතයා මිනිසා බවත් ඉස්ලාමය අවධාරණය කොට දක්වයි. “එම මොහොත සිහිපත් කරන්න. ඔබගේ දෙවියන් මලායිකාවරුන්ට ‘මා භූමියෙහි (මගේ) නියෝජිතයාව නිර්මාණය කිරීමට යන්නෙමි’ යයි පැවසුවේ ය…..” (22) එමෙන් ම සෙසු මැවීම් මෙන් නොව මිනිසාට වගකීම් පවරා තිබේ. එම වගකීම් පිළිබඳව අල්කුර්ආනය මෙවන් අදහසක් දක්වයි. “……එවැන්නක් ම මිනිසා උසුලා ගත්තේ ය.” (22)
වගකීම්සහගත මිනිසා සිය වගකීම් නිශ්චිතව ම ඉටු කළ යුතු වේ. මිනිසාගේ කාර්යයන් සම්බන්ධයෙන් වගකීම් දරන්නේ ද තමා විසින් ම ය. තමා කරන ක්‍රියාවන් පරළොව දී තමාට ඵල ගෙන දෙන්නේ ය. “නියත වශයෙන්ම “(අපගේ) වගකීම උසුලාගන්නෙහුද?”යි අපි අහස්, භූමිය හා කඳු ආදියෙන් විමසුවෙමු. එයට ඒවා, ඒ ගැන බිය වී එය උසුලා නොගෙන ඈත් වූවේය. එවැන්නක්ම මිනිසා උසුලා ගත්තේය. (එබැවින්) නියත වශයෙන්ම ඔහු නොදැනුවත්කම නිසා තමන්ට තමන්ම හානියක් කර ගත්හ.” (23)
මෙබඳු ඉහළ ගරුත්වයක් මානව ජීවිතයකට ලබා දී තිබිය දී මිනිස් ජීවිතයක් නිරපරාදේ ඝාතනය කිරීම මානව වර්ගයා ම මරා දැමීමට සමාන බව අල්කුර්ආනය කියා සිටියි. “කවුරුන් හෝ තවත් ආත්මයක් ඝාතනයට වන්දි වශයෙන් හෝ නැතහොත් භූමියෙහි ආරවුල් ඇති වීම වැළැක්වීම සඳහා හෝ මිස, (අසාධාරණය අන්දමින්) මරා දමන්නේ ද, ඔහු මිනිසුන් සියල්ලන්ව ම මරා දැමූවෙකු බවට පත් වන්නේ ය. තවද කවුරුන් හෝ එක් ආත්මයක් ජීවත් කරවීමට සලස්වන්නේ ද, ඔහු මිනිසුන් සියල්ල ජීවත් කරවන්නෙකු බවට පත් වන්නේ ය” (24) ඒ අයුරින් ම මානවයා නැමැති මෙම උසස් ජීවියා ජීවත් කරවන තැනැත්තා මානව සංහතිය ම ජීවත් කළ තැනැත්තෙකුට සමාන යැයි ද අල්කුර්ආනය සඳහන් කර තිබීමෙන් පෙනී යන්නේ කෙතරම් ගෞරවයක් මානව ජීවිතයට ලබා දී ඇත් ද යන්න ය.
මානව ජීවිතයකට හානි කිරීම සම්බන්ධයෙන් අනතුරු අගවීමෙන් පමණක් නොනැවතී එකී අපරාදය සඳහා දෙනු ලබන දඬුවම් පිළිබඳව ද තවදුරටත් ඉස්ලාමය පැහැදිලිව විග්‍රහ කර ඇත. “(මිනිසුනේ!) ඔබ දරිද්‍රතාවයට බිය වී ඔබගේ දරුවන්ව ඝාතනය කර නොදමනු. අපි ඔවුන්ට ද ආහාර ලබා දෙන්නෙමු. ඔබටත් (ලබා දෙන්නෙමු). ඔවුන්ව මරා දැමීම නියත වශයෙන් ම විශාල පාපයකි.” (25)
“කවුරුන් හෝ යම්කිසි විශ්වාසවන්තයෙකු උවමනාවෙන් ම මරා දැමුවහොත් ඔහුට නියමිත දඬුවම නිරයයි.” (26) පරලෝ විනිශ්චයේ දී ප්‍රථමයෙන් ම විමසනු ලබන්නේ රුධිර ගැනයි. මේ පිළිබඳව තිර්මදි, නසඊ වැනි හදීස් ග්‍රන්ථ වැඩිදුර විග්‍රහ කර ඇත. (27) මිනිසුන් නොවන ජීවන් ඝාතනය කිරීම ද ඉස්ලාමය අනුමත කරන්නේ නැත.
සත්වයන්.
ඉස්ලාමය සත්ව හිංසනයට ඉඩ දෙන බවට වැරදි මතයක් දිගු කලක් තිස්සේ බොහෝ දෙනෙක් අතර පවති. සතුන් පිළිබඳව ඉස්ලාමීය දෘෂ්ටිය හැදෑරීමට ප්‍රථමව, ඉස්ලාමයට පෙර අරාබියාවේ ජීවත් වූ ජනයා සතුන් සමඟ හැසිරුණු අයුරු ගැන යම් අවබෝධයක් ලබා ගැනීම සුදුසු ය. සතුන් මැරීමත්, සතුන්ට හිංසා පීඩා කිරීමත් ඔවුන්ගේ විනෝදාංශයක් ව පැවතුණි. සාපරාදි ලෙස සතුන් මරා ආහාරයට ගන්නා මෙන් ඔවුහු සාමාන්‍ය ජනයාගෙන් ඉල්ලා සිටිති. තරඟයට ඔටුවන් කපා මරා දැමීමේ පුරුද්දක් ද ඔවුන් අතර තිබුණි. කිසිවෙක් මරණයට පත් වුවහොත් ඔහුගේ සොහොන මත ඔහුට අයත් වූ ඔටුවා ගැට ගසා ආහාර පාන නොදී තබන නිසා ඔටුව එම ස්තානයේ ම නිරාහාරව මැරී වැටෙන තත්වයක් එකල පැවතුණි. (28)
එමෙන් ම එකල ජනයා අතර, ඉළක්කයට ඊ විදීම පිණිස සතුන් ඉළක්කය ලෙස ගැටගසා තබාගන්නා පුරුද්දක් ද පැවතිණි. වරෙක කොලුවෙකු විසින් කුකුළෙකු ගැට ගසා ඌ මර දැමීමට උත්සහ ගනු ලබනු දුටු අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රලි) තුමා එම කොලුවා කැටුව ඔහුගේ ප්‍රජාව වෙත ගොස්, මින් පසු එසේ කිරීමට මොහුට ඉඩ නොදෙන්න යැයි පවසා ඔහුව භාර දුන්නේ ය. සතුන් සමඟ කරුණාවන්තව හැසියෙන ලෙසත් එසේ නොකළේ නම් අල්ලාහ් දඬුවම් කරන බවත් හෙතෙම කීහ. එසේ ම එකල අරාබීහු, තමන්ගේ නිවසට අමුත්තෙක් පැමිණි විටෙක සම්පූර්ණ ඔටුවෙකු මසට මරා දැමීම පාඩුවක් බැවින් ද, ස්වල්ප ප්‍රමාණයක මස් මිලදී ගත නොහැකි බැවින් ද වෑංජන සඳහා පණ පිටින් සිටින ඔටුවන්ගේ මස් කැබැල්ලක් කපා ගනිති. නබිනායක තුමාණණෝ ඔවුන්ගේ මෙම ක්‍රියාවට දැඩි ලෙස විරුද්ධ වූ අතර එලෙස ලබා ගන්නා මාංශ අනුභව කිරීම් හරාම් යැයි තහනම් කළහ.
මෙසේ එකල අරාබීන් අතර පැවැති සත්ව හිංසන කටයුතු සියල්ල නබි තුමාණෝ වැළැක්වූහ. මිනිසුන් සමඟ මෙන් ම සත්වයන් සමඟ ද කාරුණිකව කටයුතු කිරීමත්, උන්ට පිහිට වීමත්, හිංසා පීඩා නොකර සිටීමත් විශිෂ්ට ක්‍රියා යැයි ඉස්ලාමය පෙන්වා දෙයි. “පුද්ගලයෙකු ගමනක් යමින් සිටිය දී දැඩි පිපාසයක් ඔහුට ඇති විය. එවිට අසළ තිබූ ලිඳක් දුටු ඔහු එතුළට බැස වතුර බී තම පිපාසය සංසිඳවා ගෙන පිටතට පැමිණියේ ය. ඒ මොහොතේ දැඩි පිපාසයෙන් හති දමමින්, මඩ ලෙවකමින් සිටින සුනඛයෙක් දුටු ඔහු තමාට ම මෙසේ පවසා ගත්තේ ය. ‘මම පිපාසිතව දුක් විඳි අයුරින් මේ සුනඛයා ද පිපාසිතව දුක්විඳිනවා නොවේ ද’. පසුව ඔහු නැවත ළිඳට බැස තම සපත්තුවට වතුර පුරවා එය සුනඛයාට දී උගේ පිපාසය සංසිඳෙව්වේ ය. ඔහුගේ මෙම ක්‍රියාව නිසා අල්ලාහ් , ඔහුගේ පාපයන් කමා කළේ ය.” මීට හාත්පස වෙනස් ක්‍රියාවක් කළ කාන්තාවක් අපාගත වන්නී ය යැයි නබි (සල්) තුමාණෝ කීහ. (29) තවදුරටත් නබි (සල්) තුමාණෝ, (සතුන්ගේ) මුහුණට පහර දීමත්, හංවඩු ගැසීමත් තහනම් කළහ.” (30)
සතුන්ට කරුණාව දක්වන තැනැත්තාට අල්ලාහ්ගේ ආදරය හිමි වන බව සැබෑ ය. ‘වරෙක සහාබිවරයෙකු නබි තුමාණන් හට, තමා එළුවෙකු කැප කිරීමට යන මොහොතේ තමා තුළ ඌ කෙරේ කරුණාවක් පහළ වූවා යැයි කීවේ ය. ඊට නබි තුමාණේ කීවේ “ඔබ එළුවා කෙරේ කරුණාව දැක්වූයේ නම් අල්ලාහ් ඔබ කෙරේ කරුණාව දක්වන්නේ ය”, යනුවෙනි.
නමුත් ආහාර පිණිස සත්වයන් ඝාතනය සම්බන්ධයෙන් ඉස්ලාමය විවෘත දැක්මක් යොමු කරයි. ඉස්ලාමය තුළ නිර්මාංශ ආහාර අනුභව කළ යුතු යැයි අනිවාර්ය කිරීමක් නැත. ඉස්ලාමයේ මාංශ ආහාර අනුමත බැවින් ඒවා අනුභව කිරීමෙහි වරදක් නැත. “සිව්පාවුන් ද ඔහු ම මවා ඇත්තේ ය. ඒවායෙන් ඔබ වෙනුවෙන් (ශීතලෙන් මිදීමට) වස්ත්‍ර ද, විවිධ ප්‍රයෝජනවත් දේවල් ද ඇත්තේ ය. ඒවායෙන් සමහරක් ඔබලා අනුභව කරන්නෙහු ය.” (31)
එසේ ම අනුභව කළ හැකි ආහාර වර්ග කවරේ ද යන්නත් අල්කුර්ආනය මනාව පැහැදිලි කර දේ. “ස්වභාවිකව මැරුණු දැය, වෑහෙන ලේ, ඌරන්ගේ මස් මාංශ ආදිය හැර, මිනිසා ආහාරයට ගත හැකි දැයෙන් කිසිවක් තහනම් කර හැරියේ යයි මා හට දැනුම් දෙන ලද වහී හි මා දුටුවේ නැත. ” (32)
තවදුරටත් සූරා අල් මාඉදා හි මෙසේ සඳහන්. (33) මැරුණු, ලේ, ඌරු මස්, අල්ලාහ් නොවන දැයෙහි නම් පවසනු ලැබූ දැය ආදියද, ඛෙල්ල මිරිකා මැරුණු දැයද, පහර වැදී මැරුණු, (ඉහළ සිට) වැටී මිය ගිය දැයද, අං වලින් අනිනු ලැබ මැරුණු, (සිංහ දත්, වීර නියපොතු වලින් යුත් මස් බුදින සතුන් වන සිංහයින්, කොටියන්, දිවියන් වැනි) දඬයම් සතුන් විසින් සපා (මැරුණු) දැයද ඔබට තහනම් කරනු ලැබ ඇත්තේය. (එහෙත් මෙම සතුන් දඬයම් කරන ලද) ඒවායෙන් (පණ පිටින් සිටින විටදී) නියම අන්දමින් (බිස්මිල්ලාහ් කියා) ඔබ ඛෙල්ල කැපූ (කුර්බාන් කළ) දැය හැර. (එසේ ඛෙල්ල කැපූ දැය ආහාරයට ගත හැකිය. තවද පූජා කිරීම සඳහා) සිටුවන ලද (කුළුණු, කොඩි, පිළිරූ වැනි) දැය සඳහා කැපූ දැයද, දුන්නෙන් විද (නිවිති බලා) පංගු ඛෙදා ගැනීමද (ඔබට තහනම් කරනු ලැබ ඇත්තේය). මේ සියල්ල පාපයන් වන්නේය……….. තමන්ට අනුමැතිය දෙනු ලැබූ දැය කුමක්දැයි ඔවුන් ඔබගෙන් විමසන්නාහ. (එයට) ඔබ මෙසේ පවසනු: (පරිශුද්ධ වූ) හොඳ දැයම ඔබට අනුමත කරනු ලැබ ඇත්තේය. තවද අල්ලාහ් ඔබට උගන්වා දී ඇති අන්දමට දඬයම් කරන (බල්ලා, දිවියා වැනි) සතුන්ට හා (රාජාලියා වැනි පක්ෂීන්ටද) ඔබ දඬයම් කිරීමට උගන්වා, ඒවා (දඬයම් කර, තමන් අනුභව නොකර) ඔබ වෙනුවෙන් වළක්වා (තබා ගත්) දැයද -(ඒවා මිය ගියා වුවද)- ඔබට ආහාරයට ගත හැකිය………
අනුභව නොකළ යුතු වර්ගයේ ආහාර මොනවා ද යන්න පිළිබඳව නබි තුමාණෝ මෙලෙස පහදා දුන්හ. “සතුන් අතුරින් උල් දත් සහිත සත්වයන් සහ පක්ෂීන් අතරින් උල් නිය සහිත පක්ෂීන් (අනුභව කිරීම) නබිතුමාණෝ තහනම් කළ හ.” (34) අනුමත සත්වයින් ආහාරය පිණිස ඝාතනය කිරීමට ඉස්ලාමය අනුමැතිය දුන්නත් එවැනි සතුන් නිකරුනේ, නිරපරාදේ ඝාතනය කිරීම කිසිසේත් අනුමත නොකරයි. මාංශ ආහාර අනුභව කිරීම අනුමත කළත්, මිනිස් සිරුරට අහිතකර ආහාර පිළිබඳව පෙන්වා දී ඒ කිසිවක් අනුභව කිරීම තහනම් කොට තහංචි පනවා තිබේ. එහෙත් නොවැළැක්විය හැකි තත්වයක් ඇති වූ විටෙක ඒවා ද අනුභව කිරීමට අවකාශ හිමි වේ.” (35) එමෙන් ම තවත් වැකියක ද අනුවභ නොකළ යුතු දේවල් පිළිබඳව සඳහන්. (36)
ඉස්ලාමය සීමා පැනවූ මංශ වර්ග අතර උල් දත් සහිත සත්වයින්, උල් නිය සහිත පක්ෂීන්, බල්ලන්, සූකරයින් වැනි සතුන් කිහිපයකි. ඒ අනුව මෙකී සීමාවන්ට යටත් සතුන් සහ පක්ෂීන් ආහාර පිණිස මරා දැමීම වළක්වා උන් සුරක්ෂා කර තිබේ. නමුදු සර්පයින් ආදි මිනිසුන්ට හානිදායක සත්වයින් ආරක්ෂාව පිණිස මරා දැමීමට ඉස්ලාමය අවසර දෙයි.
ශාක.
ඉස්ලාමයේ ශාක පිළිබඳව ස්ථාවරය වන්නේ ඒවා ද ජීවීන් වේ යන්න ය. “මැවීම් සියල්ල අල්ලාහ්ගේ කුටුම්භය වෙයි.” ඒ අනුව ශාක ද අපගේ කරුණා දයාවට පාත්‍ර විය යුතු දේවල් වේ. අල්ලාහ්ගේ සෙසු සියලු මැවීම් මෙන් ශාක ද ඉතා විශිෂ්ට හා අපූරු ම මැවීම් වේ. අල්කුර්ආනය ශාකයන්ගේ ප්‍රයෝජනය ජලය මගින් පෙන්වා දෙයි. (37) එමෙන් ම තවත් වැකියක, “ඔහු ම ය අහසින් වැසි වසින්නට සලස්වා ඉන් සෑම දෙයක ම පැලෑටි ශාක හටගැන්වූවේ ය” (38) මිනිසුනට ශාක මගින් යහපත ඇතැයි පවසයි. පැලෑටි, ධාන්‍ය ආදිය අල්ලාහ්ගේ ආශිර්වාද, බව පෙන්වා දෙයි.
කුසල් අප්‍රමාණව හිමිවන පල ප්‍රයෝජනවත් ක්‍රියාවකි, යන ස්ථාවරයේ සිටිමින්, ශාක, බීජ ආදිය සාපරාධී ලෙස විනාශ නොකරන ලෙසත්, ඒවා රෝපණය කිරීම මගින් කුසල් හිමි කර ගත හැකි බවත් ඉස්ලාමය මිනිසාට විධානය කරයි. ඉස්ලාමීය ඉතිහාසයේ පළමු කලීෆාවරයා සිය සේනාව යුද්ධයට පිටත් කර හරින මොහොතේ ‘ඵල දරණ ගස් කපා නොදමන්න’, මිනිසුන් ජීවත් වන පෙදෙස්වලට පහර දී විනාශ නොකරන්න, ආහාර පිණිස මිසක එළුවන්, ඔටුවන් ඝාතනය නොකරන්න, මී වද ගිනි තබා පුලුස්සා නොදමන්න’ යනුවෙන් සේනාවට අවවාද කළේ ය. (අයියූබ්, 2020)
රුක් රෝපණය කර නඩත්තු කළ යුතු බවත් ඒවා සාපරාධීව විනාශ නොකළ යුතු බවත් පවසන ඉස්ලාමය මිනිසාට හානිදායක ගංජා වැනි ශාක වැවීම දිරිනොගන්වයි. එමෙන් ම ශාක නිෂ්පාදනය මිනිස් සුභසිද්ධියට හානිදායක අන්දමින් උපයෝගී නොකළ යුතු බවත් ඉස්ලාමය පෙන්වා දෙයි. රට ඉඳි, තල්, පොල්, පළතුරු, මල් ආදිය මත් පැන් හා මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කිරීම ගැන ඉස්ලාමය දැඩි විරෝධයක් දක්වයි.
නිගමනය
ඉහත ආගම් දෙක තුළ ම පර පණ නැසීම පිළිනොගන්නේ ය. මිනිසා, සතුන්, ශාක යන සියලු ජීවීන් සිතාමතා ම ඝාතනය කිරීමත් තහනම් කරන්නේ ය. ඉස්ලාමය සහ බුදුදහම පෙන්වා දෙන පර පණ නැසීම පිළිබඳ සංකල්ප අනුගාමිකයන් බහුතරයක් නොදනිති. බොහෝ විට ඔවුහු මේවා පිළිබඳව අධ්‍යයනක් නොකර තෙවන පාර්ෂවය පවසන දේ විශ්වාස කරයි. නමුත් මෙම අධ්‍යයනය තුළ එම තත්වයෙන් මිදී ආගම් දෙකෙහි මේ තේමාවට අදාළ ගැඹුරු කාරණා කෙරෙහි ප්‍රමුඛතාවක් ලබා දී විග්‍රහ කර තිබේ.
පර්යේෂණය, ෆාතිමා අෆ්රා සහ ආසාද් ශිරාස්.
සිංහල පරිවර්තනය – සකීෆ් සාම්
- The Pali word Panatipatais derived from the word ‘pana’ and ‘atipata’. ‘Pana’ means ‘being or life’ and ‘atipata’ means ‘end rapidly’. So, Panatipata means ‘cause an end to a being or life rapidly’ and shortly means ‘killing’
- The Arabic word Qatl means murder; annihilation; assault; assassination; homicide; killing; manslaughter
- Dhammapada (Taipei: The Corporate Body of the Buddha Educational Foundation, 2013), v. 129.
- Dhammapada, v. 131. ඡේතවනාරමයේ දරුවන් පිරිසකට දේශනා කළ ඒවා වේ.
- Dhammapada, v. 269.
- Dhammapada, v. 405.
- Hammalawa Saddhatissa, Buddhist Ethics. (London: Wisdom Publication, 1987). P.75
- Sanu Matthanadull,& Sarita Mahatthanadull, (The Five Precepts: Criteria and the Promotion of Individual and Social Peace, 2018), https://www.researchgate.net/publication/340629233
- පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතෝ හොති, නිහිත දඬේ නිහිත සත්ථා ලජ්ජි දයාපනො සබ්බපාණ භූතහිතානු කම්පී විහරති.
දිග නිකාය 1, කූට දන්ත සූත්‍රය, 284 පිටුව, මජ්ජිම නිකාය 1, සාලෙය්‍යක සූත්‍රය, 666 පිටු හා බොහෝ සූත්‍රයන්)
- යෙ කෙචි පාණභූතත්ති තසා වා ථාවරා වා අනවසෙසා දීඝා වා, යෙ මහන්තා වා මජ්ඣිමා රස කාණුකථූලා
(බුද්ධක නිකාය, සුත්තනිපාතය, මෙත්ත සූත්‍රය, 146 ගාථාව)
- ට්ඨා වා යෙව අද්දියෙ, දූරෙ වසන්ති අවිදූරෙ, යෙච භූතා වා සම්භවෙසීවා
(එම . 147 ගාථාව)
- මාතා යථා නියං පුත්තං, එක පුත්ත මනුරක්ඛ – එවම්පි සබ්බ භූතෙසු,
(මානසං භාවයෙ අපරිමාණං – එම – 149 ගාථාව)
- මජ්ජිම නිකාය 1, ඕපම්මවග්ග, කකචූපම සූත්‍රය
- නිහි වේරේන වේරානි – සම්මන්ත්‍රී කුදාචනං අවේරේනධ ච සම්මන්ති – ඒස ධමො සනත්තනො
(බුද්ධක නිකාය 1, ධම්මපදය, යමක වග්ගය, 5 ගාථාව)
- සුබ සාමානි භූතානි
(එම – දණ්ඩ වගය, 2 ගාථාව)
- සබ්බෙ නසන්ති දණ්ඩස්ස – සබ්බේසං ජීවිතං පියං
(එම – 3 ගාථාව)
- අත්තානං උපමං කත්වා – න හනෙය්‍ය න ඝාතයෙ
(එම – 1 ගාථාව)
- මූලාශ්‍රය : නබි මග, ග්‍රනථය, තිර්මිදි.
- මූලාශ්‍රය : නබි මග, ග්‍රනථය;, බුහාරි.
- අල්කුර්ආන්, සූරා අල් හුජ්රාත් : 31
- අල්කුර්ආන්, සූරා අල් බකරා : 30
- අල්කුර්ආන්, සූරා අහ්සාබ් : 72
- අල්කුර්ආන්, සූරා අල් මාඉදා : 32
- අල්කුර්ආන්, සූරා බනී ඉස්රාඊල් : 31
- අල්කුර්ආන්, සූරා අන්නිසා 93
- මූලාශ්‍රය : නබි මග, ග්‍රනථ : බුහාරි – 6533, මුස්ලිම් 3178, තිර්මිදි – 1316, නසඊ – 3926.
- මුහම්මද් අක්රම් එම් එම්. (දෙහිවල : නඩෛමුරෛක්කේට්ප ඉස්ලාම්, 2006). පි 266
- මූලාශ්‍රය : නබි මග, ග්‍රනථය : බුහාරි 2365
- මූලාශ්‍රය : නබි මග, ග්‍රනථය : මුස්ලිම් 5672
- අල්කුර්ආන්, සූරා අන් නහ්ල් : 5
- අල්කුර්ආන්, සූරා අල් අන්ආම් : 144
- අල්කුර්ආන්, සූරා අල් මාඉදා 3-4
- මූලාශ්‍රය : නබි මග, ග්‍රනථය මුස්ලිම් 3914
- අල්කුර්ආන්, සූරා බකරා : 173
- අල්කුර්ආන්, සූරා අන් නහ්ල් : 155
- අල්කුර්ආන්, සූරා අල් වාකිආ 68-69
- අල්කුර්ආන්, සූරා අල් අන්ආම් : 99
- අල්කුර්ආන්, සූරා කඅෆ් : 9-11