දරිද්‍රතාව ගෝලීය අර්බුදයක්.
සෑම වසරකම දරිද්‍රතාවය තුරන් කිරීම පිළිබඳ ජාත්‍යන්තර දිනය යෙදෙන්නේ ඔක්තෝම්බර් මස 17 වන දිනටයි. 2021 මේ වසරේ දරිද්‍රතාවය තුරන් කිරීමේ දින තේමාව වශයෙන් “දරිද්‍රතාවය තුරන් කොට, සියලු මිනිසුන්ට සහ අපේ ග්‍රහලෝකයට ගරු කරමින් එකට දියුණු වෙමු.” යන්න යෝජනා කර තිබුණි. (1) දරිද්‍රතාවය ගෝලීය අර්බුදයක් ලෙස හඳුනාගත් අභියෝගයකි. මන්දයත් ලෝක ජනගහණයෙන් මිලියන 736ක් පසුවන්නේ දරිද්‍රතා රේඛාවෙන් පහළ ය. බිලියන 1.3ක ජනකායක් බහුමාන දුප්පත්කමින් පෙළෙන්නන් වෙති. සෑම දස දෙනෙකුගෙන් එක් අයෙකු අන්ත දුගියෙක් වේ. (2)
සංවර්ධිත රටවල පවා දරිද්‍රතාවයේ පෙලෙන ග්‍රාමීය හා නාගරික ජනගහණයක් සිටිති. සංවර්ධනය වෙමින් පවතින රටවල දරිද්‍රතාවය ඉතා බැරෑරුම් අන්තයක තිබීම කණගාටුදායක තත්වයකි. ආහාර හිඟතාව, පෝෂණ ඌණතාව, සනීපාරක්ෂණ හා සෞඛ්‍ය පහසුකම් අහිමිවීම, අධ්‍යාපනය ලැබීමේ අවස්තා හිමි නොවීම, ළමා හා මාතෘ මරණ බහුල වීම, ආයු අපේක්ෂාව අවම වීම, විරැකියාව සහ සමාජ විරෝධී ක්‍රියාවල නිරතවීම යනාදිය තුන්වන ලෝකයේ දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාව මුහුණ පාන ගැටලු අතර කිහිපයකි. එනිසා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන 2030 වන විට ළඟා කරගත යුතු තිරසාර සංවර්ධන අභිමතාර්ත 17න් පළමුවැන්න ලෙස දරිද්‍රතාවය තුරන් කිරීම නම් කර තිබේ.
තිරසාර සංවර්ධනය පිළිබඳ අපගේ පෙර ලිපියේ සඳහන් කළ පරිදි මෙම ලිපියෙන් අප විමසුමට ලක්කරනුයේ දරිද්‍රතාවය තුරන් කිරීම කෙරෙහි ඉස්ලාම් ධර්මය යෝජනා කරන සංකල්ප හා ක්‍රම පිළිබඳවත් ඒවායේ සාධනීයත්වයන් පිළිබඳවත් ය.
ඒ සාකච්ඡාවට අවතීර්ණ වීමට ප්‍රථමව දරිද්‍රතාවය පිළිබඳවත් ශ්‍රී ලංකාවේ දරිද්‍රතා තත්වය පිළිබඳවත් කෙටි අවබෝධයක් ලබා ගැනීම මෙම සාකච්ඡාවට පහසුවක් වනු ඇත.
අපි කොතැන ද?
වර්තමානයේ ජාතියක් ලෙස අප ඉදිරියේ ඇති ඉතාමත් තීරණාත්මක මෙන්ම විශාලතම සමාජ ගැටලුවක් බවට දිළිඳුකම පත්වෙමින් තිබේ. දරිද්‍රතාවයට ජාති, ආගම් වර්ග භේද නැති අතර සෑම ජනකොටසකම සැලකිය යුතු පිරිසක් දරිද්‍රතාවයෙන් පෙළෙති. දරිද්‍රතා රේඛාවට පහළ ජීවත් වන පුද්ගලයින්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාම අවාසනාවන්ත තත්වයකි. 2020 සහ 2021 වසර කොවිඩ් 19 වසංගතය නිසා රැකියා අහිමි වීම් හා භාණ්ඩ මිල ඉහළ යාම් වැඩි වශයෙන් සිදු විය. එහෙයින් දරිද්‍රතා රේඛාවට මදක් ඉහළින් සිටි විශාල පිරිසක් දරිද්‍රතා රේඛාවෙන් පහළට වැටීමේ අවධානමක් දැන් තිබේ. එනිසා මේ සඳහා ව්‍යූහාත්මක විසඳුම් පද්ධතියක් අවශ්‍ය ය.
දුප්පත්කම තුරන් කිරීමට ඉස්ලාමය හඳුන්වා දෙන ක්‍රමෝපායන්.
දුප්පත්කම තුරන් කිරීමේ ප්‍රවේශ වශයෙන් ඉස්ලාමය පියවර තුනක් අනුගමනය කරයි :
(1) ධනාත්මක පියවර,
(2) වැළැක්වීමේ පියවර
(3) නිවැරදි කිරීමේ පියවර.
ධනාත්මක පියවර : දුප්පත්කම තුරන් කිරීම සඳහා ඉස්ලාමය විවිධ
ධනාත්මක පියවරයන් ගනී:
(අ) ආදායම් වර්ධනය
(ආ) ආදායම ක්‍රියාකාරී ලෙස බෙදා හැරීම
(ඇ) සමාන අවස්ථාවක් නිර්මාණය
වැළැක්වීමේ පියවර : ඉස්ලාමීය ආර්ථිකය මඟින් ජනගහනයේ නිශ්චිත කොටසක්
තුළ පමණක් ධනය සංකේන්ද්‍රනය නොවන පරිදි වැළැක්වීමේ පියවර ගෙන තිබේ:
(අ) අයිතිය පාලනය කිරීම
(ආ) අක්‍රමිකතා වැළැක්වීම
නිවැරදි කිරීමේ පියවර : දරිද්‍රතාවය පිටු දැකීමේ තුන්වන පියවර ලෙස
ධනය සමාජයේ සෑම අන්තයකටම බෙදී යන අන්දමින් “නිවැරදි කිරීමේ පියවර” ලෙස
ක්‍රම කිහිපයක් සඳහා අනුබල දෙයි;
(අ) අනිවාර්ය මුදල් බෙදා හැරීම (සකාත්),
(ආ) නිර්දේශිත මුදල් බෙදා හැරීම (දන් දීම),
(ඇ) රාජ්ය වගකීම (3)
ඉහත පියවර සියල්ල ඉස්ලාමීය ඉගෙන්වීම් පදනම් කරමින් ගොඩනගන ලද ඒවා වේ.
(1) ධනාත්මක පියවර,
ඉස්ලාමය ඉපයීම දිරිමත් කරයි. වරෙක නබිනායක තුමන් වෙත සිඟමනේ යදිමින් පැමිණි තැනැත්තෙකු කැලයට යවා දරා කපා විකුණා ජීවත් වන ලෙස පෙළඹවීය. එමෙන්ම ශුද්ධ කුර්ආනයේ “භූමියෙහි විසිරී ගොස් අල්ලාහ්ගේ වරප්‍රසාදය සොයා ගනු. ඔබ ජයග්‍රහණය කිරීම පිණිස, නිතර අල්ලාහ් සිහිපත් කරනු.” (62:10) යනුවෙන් තම තමන් කැමතී ඉපැයීම තෝරා ගන්නා මෙන් කුර්ආනය දිර්මත් කර තිබේ. ඕනෑම අයෙකු තම ඉපැයීම ලෙස කෘෂිකර්මාන්තය, වෙළඳාම, සත්ව පාලනය, කර්මාන්ත, සේවා ආදි ඕනෑම ක්ෂේත්‍රයකින් නිරතවීමට ඉස්ලාමය අවකාශ සපයයි. තම තමන්ගේ හැකියාව උපයෝගී කරමින් දරිද්‍රතාවයෙන් මිදීමට අවකාශ සැලසේ.
(2) වැළැක්වීමේ පියවර
සමාජය තුළ දරිද්‍රතාව නිර්මාණය වීමට මුඛ්‍යතම
හේතුවක් වන්නේ එක් කුඩා කණ්ඩායමක් තුළ අතිවිශාල මුදල් ප්‍රමාණයක් සංකේන්ද්‍රණය වීමය. සමාජය තුළ මුදල් සංසරණය නොවී එක් පැලැන්තියක් අතර පමණක් මුදල් සංකේන්ද්‍රණය වීම ඉස්ලාමය කිසිලෙසකින් අනුමත නොකරන බව පහත කුරාන වැකියෙන් විග්‍රහ කෙරේ.
වස්තූන් ඔබලා අතර පොහොසතුන් අතරේ පමණක්ම සංසරණය නොතිවී, (අන් අයට ද ලැබීමට මෙසේ වස්තූන් ඛෙදා දෙන මෙන් අල්ලාහ් නියෝග කරන්නේය). (59:7) මෙම කුරාන වැකිමේ මුල් කොටස ගැන අවධානය යොමු කළ විට පොහොසතුන්ට ධනය රැස්කරගත හැකි වූයේ ඔවුන්ගේ තනි ශ්‍රමයෙන් හෝ හැකියාවෙන් නොව දුප්පතුන් සහ අසරණයන්ගේ දහදිය හා දුක් මහන්සියෙන් යන තර්කය ද ගොඩ නැගිය හැකිය. එනිසා පොහොසතුන්ගේ වස්තූන්වල අයිතිය දුප්පතුන්ට ද හිමි වන නිසා වාර්ෂිකව දුප්පතුන් වෙත දුගී බද්ද ලෙස හඳුන්වන සකාත් පිරිනැමීම පොහොසතුන් වෙත ඉස්ලාය අනිවාර්ය කරයි.
2017 කරනු ලැබූ සමීක්ෂණයක් අනුව ලෝක ධනයෙන් 50.1ක්ම අයිති වී තිබෙන්නේ පොහොසත්ම 1%ක් වූ මිලියනපති ජනගහණයකට ය. එය 2001 වසරේ 45.5ක් විය. (4) ශ්‍රී ලංකාවේ වත්කම්වලින් වැඩි කොටස හිමිවී තිබෙන්නේ පොහොසත් පවුල් කිහිපයක් අතේ ය. එක් පිරිසක් වටා මෙලෙස මුදල් සංකේන්ද්‍රණය වීම නිසා වෙළඳපොල තුළ සෑම දෙනාට නිදහස්, සාධාරණ හා සමාන අවස්ථාවක් හිමි වන්නේ නැත. නිතරඟයෙන්ම වෙළඳපල ආධිපත්‍ය හිමි කරගන්නේ පොහොසතුන් ය. සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ව්‍යාපාර ජාල පිහිටුවා වෙළඳාම හසුරුවා ගැනීමට ඔවුහු සමත් වෙති. ඔවුන් විසින් දුප්පතුන්ගේ අහිංසකම අයුතු ලෙස භාවිත කරමින් සූරා කමින් සිටිති.
කවරෙකු රත්‍රන් ද, රිදී ද රැස්කර කර තබා, ඒවා දේව මගෙහි වියදම් නොකර සිටින්නෝ ද ඔවුන්ට වේදනාකාරී දඬුවම තිබෙන බවට (නබිතුමණි) ඔබ ශුභාරංචි දෙනු මැනව! (9:34) සමාජයේ සෑම පාර්ෂවයක් වෙතම මුදල් ගලා යාම වළක්වන පිරිස් සම්බන්ධයෙන් ඉස්ලාමය දරන්නේ ඔවුහු අපරාධකරුවන් යන ස්ථාවරයයි. ඔවුන්ට දැඩි දඬුවම් හිමි වනු ඇතැයි ද කියා සිටින්නේ ඔවුන්ගේ මසුරුකම් නිසා දුප්පතුන් දැඩි සේ පීඩා විඳින බැවිනි.
සූරා අල් බකරාහි අල්ලාහ් මෙසේ පවසයි, “විශ්වාසවන්තයිනි, ඔබලාට දෙවියන් වහන්සේ විසින් දෙනු ලැබූ සෑම දෙයකින්ම වියදම් කරන්න.” (2: 254) ඒ අනුව ඉස්ලාමයේ මූලික සංකල්පය වන්නේ අල්ලාහ් මනුෂ්‍ය වර්ගයාට භාර දී ඇති ධනයේ නියම අයිතිකරු අල්ලාහ්ම ය. එනිසා අල්ලාහ්ගේ නියෝග හා උපදෙස් වලට අනුකූලව ධනය වැය කළ යුතු වෙයි. එහෙයින් දේව මගෙහි මුදල් වියදම් කිරීම හා දෙවියන් වැළැක්වූ දේවල් සඳහා ධනය වියදම් කිරීමෙන් වැළකී සිටීමත් අනිවාර්ය වේ.
වැළැක්වීමේ පියවර යටතේ ඉස්ලාමය මුදල් එක තැනක ඒකාරාශී වීමට ඉඩ නොදෙයි. එමෙන්ම කිසිලෙසකින් සූරාකෑමට තුඩු දෙන අසාධාරණය, අයුක්තිය, වංචාව, දූෂණය, පොලිය, මංකොල්ලය, රැවටීම ආදී සියලු අක්‍රමිකතා ද තහනම්
කරයි. මේ සියලු වැළැක්වීමක ම අවසාන අරමුණ දුප්පත්කම හා දරිද්‍රතාව තුරන්කොට සාධාරණ සමාජ පරිසරයක් නිර්මාණය කිරීමයි.
(3) නිවැරදි කිරීමේ පියවර.
පළමු පියවර දෙක පිළිපැදීමෙන් සෑහෙන ප්‍රමාණයකට දරිද්‍රතාව තුරන් වේ. එහෙත් ඇතැම් පිරිස් දරිද්‍රතාවයට හසු විය හැකි ය. එනිසා නිවැරදි කිරීමේ පියවරවල් කිහිපයක් ද ඉස්ලාමය හඳුන්වා දෙයි. මෙහිදී පොහොසතුන්ට පැවරෙන වගකීම පිළිබඳවත් එම වගකීම ඉටු කිරීම හා නොකිරීමෙන් ඔවුන්ට හිමි වන ඵල විපාක සම්බන්ධවත් වඩාත් හොඳින් පැහැදිලි කෙරෙන හදීසයක් මෙසේ ය.
පරමාන්ත දිනයේ දී අල්ලාහ් විමසනු ඇත, “ආදම්ගේ පුත්‍රය, මට ආහාර අවශ්‍ය වූ නමුත් ඔබ මට ආහාර ලබා දුන්නේ නැත.”
ඊට ඔහු “ස්වාමීනි, ඔබ ලෝකයේ අධිපතියා වන විට මම ඔබව පෝෂණය කරන්නේ කෙසේ ද?”
“මගේ දාසයෙක් බඩගින්නේ සිටියත් ඔබ ඔහුට පෝෂණය නොකළා නොවේ ද? ඔබ ඔහුට පෝෂණය කළා නම් එහි ආණිශංස ඔබට මාගෙන් ලැබීමට ඉඩ තිබුණි.”
“ආදම්ගේ පුත්‍රය, මා පිපාසයෙන් සිටියෙමි, නමුත් ඔබ මට පානයට කිසි දෙයක් දුන්නේ නැහැ.”
“ස්වාමීනි, ඔබ ලෝකයේ අධිපතියා වන විට මම කොහොම ද ඔබට බීමට යමක් ලබා දෙන්නේ?”
“මගේ සේවකයෙකු පිපාසීව සිටි නමුත් ඔබ ඔහුට බීමට කිසිවක් නොදුන්නා නොවේ ද? ඔබ ඔහුට යමක් බීමට ලබා දුන්නේ නම් එහි ආනිශංස මාගෙන් ඔබට ලැබෙන්නට ඉඩ තිබුණි.” (බුහාරි)
මෙය හදීසුල් කුද්සි යනුවෙන් හඳුන්ව වර්ගයේ හදීස් වාර්තාවකි. නබිතුමාණන් වෙත දෙවියන් ඍජුව හෙළිදරව් කොට දෙවියන් වහන්සේගේ වචනවලින්ම ඉදිරිපත් කෙරෙන හදීසයකි. මෙම හදසීසටය අනුව කුසගින්න, තිබහ වැනි මූලික අවශ්‍යතා පවා සපුරාගත නොහැකිව සිටින අසරණයන් සහ දුප්පතුන්ට උදව් කිරීම දෙවියන්ගෙන් ඍජුව ආනිශංස හිමිවන බවට අවධාරණය කෙරේ. මීට අමතරව දරිද්‍රතාවයෙන් දුප්පත්කමින් පෙළෙන පිරිස් වෙත උදව් උපකාර නොකළහොත් විනිශ්චය දිනයේ දී දෙවියන් ඒවා විමසන බවත් මෙම හදීසනේ කියැවේ.
ඉස්ලාමය අනිවාර්ය දන්දීම ස්වේච්ඡා දන්දීම සම්බන්ධයෙන් විවිධ අයුරින් පොහොසතුන් උනන්දු කර.
“ඔවුන් කෙබන්ඳයත්, අපි ඔවුන්ට භූමියෙහි ආධිපත්‍යය ලබා දුන්නහොත් ඔවුන්
නොකඩවා සලාත් කරන්නාහ. සකාත් ද දෙනු ඇත. හොඳ දැයට පොළඹවා පාපයන්ගෙන් වළක්වන්නාහ. සියලූ කාරණාවන්ගේ අවසානය අල්ලාහ් වෙතම ඇත්තේ ය.” (22:41) සකාත් දුගීන්ට සහ අසරණයින්ගේ අයිතියක් ලෙස ඉස්ලාමය සළකයි. සකාතය දූගීන් ආරක්ෂා කරන දරිද්‍රතාවය දුරුලන සමාජ ක්‍රියාකාරී ආරක්ෂණ වැඩපිළිවෙලකි. මෙම ක්‍රමය බොහෝ මුස්ලිම්වරු පිළිපදිති.
ඉස්ලාමය බිහිවී වසර කිහිපයක් මෙම සදකා ක්‍රමය පිළිපැදීම නිසා ඉස්ලාමීය ලෝකයේ එකදු දුප්පතෙකු පවා සොයාගත නොහැකි තත්වයක් ඇති වූයේ මෙම ක්‍රමයේ සාර්තකත්වය ඔප්පු කරමිනි.
“රහසිගතව හෝ ප්‍රසිද්ධියේ දේව මගෙහි මුදල් වියදම් කරන පුද්ගලයින්ට තම නිර්මාතෘගෙන් විශිෂ්ඨ ත්‍යාගයක් ලැබෙනු ඇත.” (2: 247) සර්වබලධාරි අල්ලාහ් දෙවිඳු, ශුද්ධ කුර්ආනයේ විශ්වාසවන්ත අනුගාමිකයින්ව ප්‍රශංසා කරන්නේ, ඔවුන් දෙවියන් වහන්සේගේ ප්‍රසාදය පතා අසරණයන්, අනාථයින් සහ වහලුන් වෙත තම ආහාර පාන ලබා දෙන බව සඳහන් කරමිනි. සෙසු මිනිසුන්ට උපකාර කිරීම දන්දීම සදකා ලෙස හැඳින්වේ.
මේ ආකාරයට ඉස්ලාමය අසරණයන්ට සහ දුප්පතුන්ට මූල්‍ය ආධාර සඳහා ක්‍රම පද්ධතියක් ස්ථාපිත කර තිබේ. නිහතමානීව කරුණාවන්තභාවයෙන් සහ ත්‍යාගශීලීභාවයෙන් සෙසු මිනිසුන්ට උපකාර කිරීම, දරිද්‍රතාවය මුළුමනින්ම තුරන් කිරීමට උපකාරී වේ. අනෙක් පසින්, ආර්ථිකමය වශයෙන් ධනවතුන් මත යැපීම වෙනුවට තමන්ගේම ජීවනෝපාය මාර්ගයක් සකසා ගැනීම සඳහා ද දුප්පතුන් වෙහෙස මහන්සි වී වැඩ කරන ලෙසත් ඉස්ලාමය නියෝග කරයි. එනිසා සමාජයේ කිසිදු පන්තියක් සූරාකෑමට ලක් නොවන සමතුලිතතාවයක් මෙම පද්ධතියෙන් නිර්මාණය කරයි.
රටක් ලෙස දරිද්‍රතාව තුරන් කිරීමට කළ හැකි දේවල් 10ක් .
- අධ්‍යාපනයට ඇති අවස්ථාව වැඩි කිරීම
- සෞඛ්‍ය පහසුකම් ඉහළ දැමීම
- පිරිසිදු ආහාර හා පානීය ජල පහසුකම් වැඩි කිරීම
- යුද්ධ සහ ගැටුම් අවසන් කිරීම
- රැකියාවේ සුරක්ෂිතතාව වැඩිකිරීම
- සමාජ ආර්තික ආරක්ෂාව තහවුරු කිරීම
- ස්වභාවික සම්පත් කළමනාකරණය
- සමාන හා සාධාරණ වෙළඳපල අවස්තා නිර්මාණය කිරීම
- සෑම කෙනෙකුටම මූලික සමාජ සේවා සැපයීම
- දරිද්‍රතාවයෙන් පසුවන ජනයා සවිබලගැන්වීම
ඉස්ලාමය පෙන්වා දෙන මෙම පියවර ත්‍රිත්වය අනුගමනය කිරීමෙන් සාමාජීය දිළිඳුකම, සදාචාරමය දිළිඳුකම සහ අන්ත දිළිඳුකම තුරන් කිරීම අතිශය පහසුය. පශ්චාත් කොවිඩ් බලපෑමක් ලෙස අප රටට ඉදිරියේ පැමිණීමට නියමිත දැඩි සමාජ පිරිහීම සහ දුප්පත්කමින් ආරක්ෂා වීමට මෙය වඩාත් ප්‍රායෝගික ක්‍රමයකි. එමෙන්ම ගෝලීය වශයෙන් 2030 වන විට ළඟා කිරීමට බලාපොරොත්තු වන දරිද්‍රතාවය තුරන් කිරීමේ ඉලක්කය සපල කරගත හැක්කේ ද මෙවැනි ක්‍රියාකාරී සැලැස්මකට ය. මෙවර දරිද්‍රතාවය තුරන් කිරීමේ දින තේමාව වන “දරිද්‍රතාවය තුරන් කොට, සියලු මිනිසුන්ට සහ අපේ ග්‍රහලෝකයට ගරු කරමින් එකට දියුණු වෙමු” යන්නත් සඵල කරගත හැකි වන්නේ මේවා පිළිපැදීමෙනි වේ.
- United Nations, Department of Economic and Social Affairs – Poverty
- UNDP
- Islamic approach to poverty alleviation, Islamic Research and Information Artistic & Cultural Institute (IRIACI)
- www.cnbc.com