ඉස්ලාම් ඉගෙන්වීම් තුළ සතුට.
ඉස්ලාම් ධර්මය, ආගමකට වඩා එහා ගිය පරිපූර්ණ ධර්මයකි; එය සර්ව සම්පූර්ණ ජීවන මාර්ගයක් ද වෙයි. ඉස්ලාමයේ ඉගැන්වීම්වලින් ආවරණය නොවන කුඩා හෝ විශාල අංශ කිසිවක් නැත. සතුටින් ප්‍රීතිමත්ව හා ධනාත්මකව සතුටින් සිටීම ඉස්ලාමයයි. ප්‍රබෝධමත් වී සතුටු වන්න, ධනාත්මකව සිට සාමය උදාකරගන්න. [1] අල් කුර්ආනය සහ මුහම්මද් නබිතුමාගේ තහවුරු කරන ලද හදීස් වාර්තා කිරීම් ඔස්සේ ඉස්ලාම් අපට උගන්වන්නේ මෙයයි. දෙවියන් වහන්සේගේ සෑම ආඥාවක්ම පුද්ගල සතුට ඇති කිරීම අරමුණු කරයි. වන්දනාමාන, ආර්ථික හා සමාජ යන ජීවිතයේ සෑම අංශයකටම මෙය අදාළ ය.
පිරිමි වුවද, ගැහැනු වුවද, විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කවුරුන් කළා වුවද, නියත වශයෙන්ම අපි ඔවුන්ව (මෙලොවදී) හොඳ ජීවිතයක් ගත කිරීමට සලස්වන්නෙමු. තවද (පරලොවදී නම්), ඔවුන් කරමින් සිටි දැයට වඩා ඉතාමත් අලංකාරවත් ඵලවිපාකම නියත වශයෙන්ම අපි ඔවුන්ට දෙන්නෙමු. (අල්කුර්ආන් පාඨ – 16:97)
ඔබ අප පෙර ලිපියන් කියවූ පරිදි, සතුට යනු තෘප්තිය සහ ශාන්තිය ගැබ්වූ අභෞතික ගුණයකි; එය අපගේ තොල්, මුහුණු සහ හදවත්වල සිනහවක් ඇති කරන මෘදු ප්‍රීතියකි. එය තීරණය කෙරෙන්නේ දෙවියන් වහන්සේ කෙරෙහි අපගේ අවනතභාවය සහ ඇදහීම මත ය. මේ අනුව සතුට තුළ සාමකාමී සුරක්ෂිතතාව, යටහත්වීම අන්තර්ගත ය. එනම් එය ඉස්ලාමයයි. දෙවියන් හඳුනා ගැනීමෙන් ලැබෙන සතුට තහවුරු කරන්නේ ඉස්ලාමයේ නීති රීති ය. ඒවා මෙලොව ජීවිතයේත් මානව සංහතියේත් සතුට තහවුරු කිරීමට ද උපකාරී වේ. කෙසේ වෙතත්, මෙලොව ජීවිතය පරලොව දිවියේ ජයග්‍රහණය ළඟා කර ගැනීමේ මගක් මිස අන් කිසිවක් නොවන බවයි ඉස්ලාම් අවධාරණය කරන්නේ. ඉස්ලාමයේ මාර්ගෝපදේශ අනුගමනය කරම තුළින් අපගේ සදාකාලික සතුට පිළිබඳ අපේක්ෂාවක් තබාගෙනම මෙලොවේ ද සතුට විඳිය හැකිය.
පුංචි දේවල්වලින් සතුට ලැබේ.
සමහර විට, මිනිසුන් සතුට ළඟා කර ගැනීම සඳහා, ඉතා සංකීර්ණ මාර්ග කරා යාමට උත්සාහ කරති; නමුත් ඔවුහු ඉස්ලාම් නැමැති පහසුම මාර්ගය දැකීමට අසමත් වෙති. සත්‍යය මත අචලව සිටීමෙන් ලැබෙන සැනසීම තුළින් ද සතුට ළඟා කරගත හැකිය. එමෙන්ම අවංකව ඇදහීම, ගුණ යහපත් කටයුතු කිරීම, ධර්මිෂ්ඨ හා සැදැහවත් ක්‍රියාවන් කිරීම, කාරුණික ක්‍රියා හෝ පුණ්‍යකර්ම කිරීමෙන් ද සතුට ළඟා කරගත හැකි ය. අපව සෑම දිනකම, ඕනෑම තත්වයක් යටතේ සතුටු කිරීමේ හැකියාව මේ සියල්ලට තිබේ. දේව ප්‍රසාදය උදෙසා කරන කුඩාම කුඩා දානයකින් පවා ඔබේ මුහුණට සිනහවක් සහ ඔබේ හදවතට සතුටක් ගෙන දිය හැකිය. නිදසුනක් ලෙස ඔබට මාසික වැටුප රුපියල් ලක්ෂයක් ලැබේ. එමගින් ලැබෙන සතුටට වඩා ඔබට ලැබුණු ලක්ෂයක වැටුපෙන් යාචකයෙකුට ලබා දෙන බත්පතකින් ඔහුගේ මුහුණේ නැගෙන සිනහව ඔබව සතුටු කරන්නේ ය.
කවුරුන් තමන්ගේ වස්තුව අල්ලාහ්ගේ ශුද්ධ වූ සොම්නස බලාපොරොත්තුවෙන් තමන්ගේ සිත් ස්ථීරභාවයෙන් වියදම් කරන්නෝ ද, ඔවුන්ගේ (දානමානයට) උපමාව, උසස් උද්‍යානයකට සම වන්නේය. එහි විශාල වර්ෂාවක් පහළ වුවහොත් ඵල ප්‍රයෝජන දෙගුණයක් ලැඛෙන්නේය. වැස්ස නොලැබුණා වුවද, සිසිල් මද වැස්ස ද එයට ප්‍රමාණවත් වන්නේය. (අල්කුර්ආන් පාඨ – 2:265)
විශ්වාසය සතුටේ ප්‍රභවයක්.
මුහම්මද් නබිතුමා පැවසුවේ, “නියත වශයෙන්ම විශ්වාසවන්තයෙකුගේ කටයුතු විශ්මයජනකයි! ඒ සියල්ල ඔහුගේ යහපත සඳහා ය. ඔහුට පහසුවක් ලබා දෙනු ලැබුවේ නම්, ඔහු ඊට ස්තුතිවන්ත වන අතර, එය ඔහුට යහපතක් ම ය. ඔහු දුෂ්කරතාවයකින් පීඩා කරනු ලැබුවේ නම්, ඔහු එය ඉවසා දරා ගනී, මෙයත් ඔහුට යහපතක් වන්නේ ය. “ [2] ලෝක ධර්මතාව හා මනුෂ්‍ය ස්වභාවය වනුයේ සතුට අතරම විශාල දුකක් තිබිය හැකි වීමත් වේදනාව සහ බලාපොරොත්තු සුන්වීම තුළ මහත් සතුටක් ඇති විය හැකි වීමත් ය. නබිතුමාගේ මෙකී ඉගෙන්වීම් විශ්වාසිකයා තුළ සෑම මොහොතකම බලාපොරොත්තුවක් දැල්වීමට සමත් ය. අයහපතක් සිදු වුවත් ඔහුගේ මනස මුමුණා කියන්නේ මීට වඩා සිදු වීමට තිබුණු දරුණු විනාශයකින් මම මිදීමට මෙම අයහපත සිදු වූ බවය. නිදසුනක් ලෙස උදෑසනම රැකියාවට යෑමට බස්රථය පැමිණෙන වේලාවට පෙර සූදානම් නොවීම නිසා බස් රථය මගහැරුණත් විශ්වාසිකයා සිතන්නේ අද දින මා බස් රථයේ ගියේ නම් කිසියම් අනතුරක් මට සිදු වීමට ඉඩ තිබුණි, එනිසා මෙම බස් රථය අතපසුවීම යහපතක් බව සිතා දුක් නොවී සතුටු වෙයි. එමෙන්ම ප්‍රීතිමත් යමක් සිදුවන හැම මොහොතක විශ්වාසිකයා දෙවියන් වෙත ස්තුති වන්ත වන්නේ මේ සාර්තකත්වය ළඟා වූයේ මගේ හැකියාවෙන් නොව දෙවියන්ගේ කැමැත්ත නිසා ය යන හැඟීමෙනි. ඒ අනුව විශ්වාසවන්තයෙකු තමා වෙනුවෙන් වූ දෙවියන් වහන්සේගේ සියලු නියමය පිළිගන්නා නිසා ඔහු මුළුමනින්ම බලාපොරොත්තු සුන්වීම් හෝ දරාගත නොහැකි වේදනාවෙන්ට තල්ලු නොවී නිදහස් ප්‍රීතිමත් ජීවිතයක් ගත කරයි.
සියලු පීඩාවන්ට විසඳුම් ඇත.
මනුෂ්‍ය වර්ගයා පීඩා විඳින සියලුම වර්ගයේ ගැටළු සඳහා පිළිතුරු ඉස්ලාමය තුළ තිබෙන අතර, මේ බව දැන සිටීමත් සතුටට එක් හේතුවක් වේ. යමෙකුගේ පවුලක් තුළ නිතර කරදර ඇති වන මොහොතක ඔවුහු පේන බැලීම, යන්ත්‍ර මන්ත්‍ර දැමීම, ශාස්ත්‍ර බැලීම වැනි දේවල්වලට යොමු වීම අනුවන හා මිත්‍යා ක්‍රියාවක් බවත් ඔප්පු වී හමාර ය. මෙවැනි තැන්වලට යොමු වීමෙන් ඇති වන්නේ තව තවත් රැවටීම්වලට හා කරදරවලට මුහුණ පෑමට සිදු වීම ය. එනිසා ජීවිතයේ යම් පීඩාවක්, කරදරයක් ඇති වන්නේ නම්, එම පීඩාව දෙවියන් වහන්සේ විසින් මිනිසාගේ ඉවසීම හා තිර විශ්වාසය පරික්ෂා කර බැලීම සඳහා වන එක් විභාගයක් පමණක් බවට සිහි තබා ඉවසීමෙන් බලාපොරොත්තුවෙන් විසිය යුතු වේ. සියලු ප්‍රශ්නවලට ඉස්ලාමය තුළ විසඳුම් ඇතැයි විශ්වාස කිරීම, ආත්ම තෘප්තියේ අවශ්‍යතාවයෙන් ඔබ්බට බැලීමටත් දේපළ අත්පත් කර ගැනීමේ අවශ්‍යතාවයෙන් ඔබ්බට බැලීමටත්, අපට ඉඩ සලසා දෙයි. ඉස්ලාමයේ ඉගැන්වීම් අනුගමනය කිරීම සහ දෙවියන් වහන්සේව සතුටු කිරීමට වෙහෙසීම, අප ජීවත් වන මෙලෝ ජීවිතය සදාකාල ජීවනයක් කරා යන ගමනේ තාවකාලික විරාමයක් බවට වූ නිරන්තර සිහිගැන්වීමක් වෙයි.
“කවුරුන් මගේ හොඳ ඔවදන් ප්‍රත්කෂේප කරන්නේද (කුර්ආනය පිළි නොගෙන එහි ඉගෙන්වීම් අනුව කටයුතු නොකරන්නේ ද), ඔහුගේ ජීවිතය නියත වහයෙන්ම ඉතාමත් දුක් ගැහැට වලින් පිරි එකක් වශයෙන්ම තිඛෙණු ඇත. විනිශ්චය දිනදී නම්, අපි ඔහුව අන්ධයෙකු වශයෙන්ම නැගිට්ටවන්නෙමු.” (අල්කුර්ආන් පාඨ – 20:124)
දෙවියන් හඳුනා ගැනීම හා ඇදහීම.
අල්ලාහ් අල්කුර්ආනයේ මෙලෙස ද පවසයි. “නියත වශයෙන්ම මම අල්ලාහ් වෙමි. මා හැර වෙන කිසිදු දෙවියෙකු නැත. මාවම ඔබ නමදිනු.” (අල්කුර්ආන් පාඨ – 20:14) සතුට සඳහා ළඟා කරන අනෙක් ප්‍රධාන දෙය දෙවියන් වහන්සේ හඳුනාගෙන ඇදහීමයි. යමෙක් මැවුම්කරු ඇදහිය යුතු හා සිහිපත් කළ යුතු අයුරින් අදහමින් සහ සිහිපත් කරමින් සිටින විට, ඔහුට අඳුරු රාත්‍රියේ ඇතුළු ඕනෑම මොහොතක තමා වටා සතුට පිරී තිබෙනු නිරීක්ෂණය කළ හැකි ය. එය කුඩා දරුවෙකුගේ සිනහව තුළ, සැනසිලිදායක අතක ස්පර්ශයක් තුළ, වියළි පොළව මත පතිත වන වැස්සකින් හෝ වසන්තයේ සුවඳ තුළින් ඔහුට අත්විඳිය හැකි ය. මේවා දෙවියන් වහන්සේගේ දයාවේ සහ ප්‍රේමයේ ප්‍රකාශනයන් වන නිසා මෙමගින් අපගේ හදවත් සැබවින්ම සතුටු වන්නේ ය. සැබෑ සතුට ළඟා කර ගැනීමට අප දෙවියන් වහන්සේව, විශේෂයෙන්ම උන්වහන්සේගේ නාමයන් සහ ගුණාංගයන් ඔස්සේ දැන ගැනීමට උත්සාහ කළ යුතුය.
ප්‍රයෝජනවත් දැනුම සෙවීම ද සතුට ගෙන දෙයි.
දැනුම සොයන්නන්ට සුරදූතයන් තම පියාපත් විහිදා ඔවුන් පිළිබඳ වාර්තාවන් ද තබා ගනී. මේ පිළිබඳ හැඟීමම විශ්වාසවන්තයාගේ මුහුණට සතුටේ සිනහව පහළ කරයි. අපට පෙර සිටි ධර්මිෂ්ඨ මුතුන් මිත්තේ දෙවියන් වහන්සේට ළං වීමට උත්සාහ කිරීම තුළ ලැබෙන සතුට සහ ප්‍රීතිය අවබෝධ කරගෙන සිටියහ. සුප්‍රසිද්ධ ඉස්ලාමීය විද්වතෙකු වන ඉබ්නු තයිමියා, වරක් මෙසේ පැවසුවේ ය, “මම වරක් රෝගාතුර වූ අතර වෛද්‍යවරයා මට පැවසුවේ කියවීම හා දැනුම ලබා දීම (ඉගෙන්වීම) මගේ තත්වය තවත් උග්‍ර කරනු ඇති බවයි. එයට මම ඔහුට පවසා සිටියේ මගේ මේ දැනුම් පරිශීලනය අත්හැරිය නොහැකි බවයි. ඉන්පසු ඔහුගෙන් මම විමසා සිටියේ මනසට සතුටක් හා ප්‍රීතියක් දැනෙන්නේ නම් ශරීරය ශක්තිමත් වී අසනීප දුරු වන්නේ ද යනුවෙනි. ඔහු ස්ථිර ලෙසම, එසේ ය! යැයි පිළිතුරු දුන්නේය, එබැවින් මගේ මනසට සතුට, සැනසීම සහ ශක්තිය ලැබන්නේ දැනුම පරිශීලනය කිරීමෙන් යැයි කීවෙමි.
පරිපූර්ණ සතුට හිමි වන්නේ ස්වර්ගයේ දී.
පරිපූර්ණ සතුට අපට ලබා ගත හැක්කේ ස්වර්ගයේ දාකාලික ජීවිතය ගත කිරීමේ අවස්ථාව අපට ලැබුණු විටෙක පමණි. අපට සම්පූර්ණ සාමය, සතුට, ශාන්තිය සහ ආරක්ෂාව ලැබෙන්නේ ස්වර්ගය තුළ පමණි. මිනිස්කමේ එක් අංගයක් වන බිය, කාංසාව සහ වේදනාව ආදියෙන් අප නිදහස් වන්නේ ද එහි පමණි. කෙසේ වෙතත්, ඉස්ලාමය විසින් සපයනු ලබන මාර්ගෝපදේශ, අසම්පූර්ණ මිනිසුන් වන අපට මෙලොව තුළත් සතුට සෙවීමට ඉඩ සලසා දෙයි. මෙලොව සහ පරලොවේ සතුටින් සිටීමට කළ යුතු ප්‍රධානතම කාර්යය නම්, දෙවියන් වහන්සේට හවුල්කරුවන් නොතබා දේව ප්‍රසාදය සෙවීම හා දෙවියන් ඇදහීම ය.
තවද “අපගේ දෙවියනේ! අපට ඔබ මෙලොවදී ද, හොඳක් ම ලබා දෙනු මැනව! පරලොවදී ද හොඳක් ම ලබා දෙනු මැනව! (නිරා) ගින්නේ දඬුවමෙන් අපව ඔබ ආරක්ෂා කරනු මැනව!” යයි ඉල්ලා සිටින්නන් ද ඔවුන් අතර සිටිති. (අල්කුර්ආන් පාඨ – 2:201)
https://www.islamreligion.com/articles/4342/happiness-in-islam-part-3-of-3/
ලිපිය ඇසුරින්.
සකීෆ් සාම්.
[1]Al Qarni, Aaidh Ibn Abdullah, (2003),Don’t be sad. International Islamic Publishing House, Saudi Arabia.
[2]සහීහ් මුස්ලිම්