ආදර්ශමත් ශිෂ්ටාචාරයකට ඉතිහාසයෙන් බිඳක්

ශ්‍රී ලංකාවේ අරාබි (කූෆික්) සෙල්ලිපි

මහාචාර්ය එමි. ඒ. එම්. ශුක්රීගේ ලිපියක් ඇසුරිනි.

1827 සිට මේ රටින් අරාබි (කුෆික්) සෙල්ලිපි විසිහයකට කිට්ටු ගණනක් සොයා ගෙන ඇත. ඒවා ක්‍රි.ව. 10 වන ශත වර්ෂයේ සිට 16 වන ශතවර්ෂයේ දකුණු ආසියා කලාපයේ යුරෝපීයයන්ගේ කටයුතු ආරම්භ වන තෙක් කාලයට අයත් ඒවා වේ. මේ සෙල්ලිපි සොයා ගැනීම අඩ වශයෙන් තනි පුද්ගලයන්ගේත් අඩ වශයෙන් රාජ්‍ය නොවන සංවිධානවලත් ගවේෂණයන්ගේ ප්‍රතිඵලයකි. පසු කාලීනව මේ සම්බන්ධෆයන් සංවිධානාත්මකව කටයුතු කොට අරමුණක් සහිත මඟ පෙන්වීමක් ලබා දෙන ලද්දේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව විසිනි. මෙරටේ පුරාවිද්‍යා ශත සංවත්සරය (1890 – 1990) ත් සමඟ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අරාබි සෙල්ලිපි කෙරෙහි මහත් උනන්දුවක් දැක්වී ය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පෝල් ගෝල්ඩ්ශ්මිව්ගේ සැසි වාර්තා (1875-76), එඩ්වඩ් ම්‍යුලර්ගගේ සැසි වාර්තා I හා II  කොටස් (1833, ලන්ඩන්) හා පරණවිතානයන්ගේ ශ්‍රී ලංකාවේ සෙල්ලිපි අංක I හා 11 (1970) වන ශ්‍රී ලංකාවේ අනිකුත් ලිපි ලේඛන ලෙස ම මුළු අරාබි සෙල්ලිපි එකතුව ද සංස්කරණය කිරීමත් පළ කිරීමත් ආරම්භ කොට ඇත. බ්‍රාහ්මී, සිංහල හා දෙමළ සෙල්ලිපි පිළිබඳව ද පෘතුගීසීන්ගේ, ලන්දේසීන්ගේ හා බ්‍රිතාන්‍යයන්ගේ සොහොත් සෙල්ලිපි පිළිබඳව ද බොහෝ වැඩ කෙරී ඇත. එනයින් කල්පනා කරන කල්හි මීට බොහෝ කලින් කළ යුතුව තිබුණු දෙයක් වුව ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අරාබි සෙල්ලිපි පළ කිරීමට ඇරඹීම මඟින් මේ රටේ පමණක් නොව මුළු කලාපයේ ම ඉතිහාස මූලාශ්‍රයන් පොහොසත් කරනු නිසැක ය.
හමු වී ඇති අනෙකුත් සෙල්ලිපි හා සසඳන කල්හි  ලංකාවේ අරාබි සෙල්ලිපි ගණන ඉතා අල්ප ය. එසේ වුව ද ඒවා පුළුල් ලෙස ව්‍යාප්ත වූ ජනවාර්ගික – භාෂා කණ්ඩායමක කොටසකි. එකී ජනවාර්ගික – භාෂා කණ්ඩායම ක්‍රි.ව. 7 වන සියවසෙන් ආරම්භ වූ ඉස්ලාම් ධර්මයේ ව්‍යාප්තියත් සමඟ වේගයෙන් අතිවිශාල ප්‍රදේශයක පැතිරී ගියේ ය. එහෙයින් මේ සෙල්ලිපිවලින් මේ රටේ මුල් අරාබි ජනාවාසින් පිළිබඳ තොරතුරු පමණක් නොව දකුණු ආසියාතික කලාපයේ නාවික හා වාණිජ කටයුතු ද, මේ දිවයිනට නිතර පැමිණි ඉස්ලාම් ආගම් ප්‍රචාරකයන්ගේ බහු ජනවාර්ගික ස්වභාවය හා ඔවුන්ගේ සංස්කෘතික බලපෑම් පිළිබඳ ද තොරතුරු හෙළි වනු ඇත.
මේ රටේ මෙවැනි සෙල්ලිපි ගාල්ල, බේරුවල, කොළඹ, පොම්පරිප්පු, මන්නාරම, තිරිකුණාම්ලය වැනි මුහුදු බඩ නගරවලින් පමණක් නොවේ රට අභ්‍යන්තරයේ පිහිටි දුර බැහැර ස්ථානවලින් ද හමු වී තිබේ. මේ ස්ථාන අතීතයේ නාගරික ජීවිතයේ සමෘද්ධිමත් මධ්‍යස්ථාන ලෙස පැවතියේ ය. පුත්තලම්-අනුරාධපුර මාර්ගයේ හා කුරුණෑගල-පුත්තලම් මාර්ගයේ ඇති සෙල්ලිපි ද බලංගොඩ ගුහා ලිපි ද ශ්‍රී පාද ගිරි ලිපිය ද තිබෙන්නේ දිවයිනේ බොහෝ අභ්‍යන්තරයට වන්ට ය. මෙනයින් මේ සෙල්ලිපි සාක්ෂි දරන්නේ අතීතයේ මේ රටේ වාණිජ්‍යය හා විවිධ ජාතීන් අතර පැවති සංස්කෘතික සබඳතා පමණක් නො වේ, ඒවා මේ රටේ විවිධ ජීවන රටා හා දෘෂ්ටීන් සහිත මිනිසුන් අතර පැවති සහනශීලිත්වය හා සහජීවනය පිළිබඳවත් ය.
මේ අභිලේඛත සාක්ෂිවල විශ්වසනීයභාවය සාහිත්‍යයික මූලාශ්‍රයන්ට වඩා බොහෝ සෙයින් අධික ය. සොහොන්වල කොටා ඇති ලේඛනවල ඇත්තේ වියෝ දුක ය. තලාපිටිය වැනි පල්ලිව්ල ඇති සෙල්ලිපි බාර ඔප්පු කිරීම් හා ප්‍රදානයන් පිළිබඳව ය. තේරුම් ගත නො හැකි වදන් තුනක් හේතු කොට ගෙන බලංගොඩ ගුහා ලිපිය ගුප්ත ය. ඒවා මෙහි යුරෝපීයයන්ගේ කටයුතු ආරම්භ වීමට ප්‍රථම, මෙරටට නිතර ආ ගිය පර්සියානුකරණය වූ උතුරු ඉන්දියානු හෝ පර්සියානු සුෆී සාන්තුවරුන් විසින් පිහිටුවන ලදැයි විශ්වාස කෙරේ. ත්‍රෛභාෂාත්මක ගාලු සෙල්ලිපිය ඇත්තෙන් ම ලියවී ඇත්තේ (චීන හා දෙමළ හැරුණු කොට) පර්සියානු බසිනි. අරාබි අකුරින් ලියා (එහෙයින් වැරදි ලෙස අරාබිය යි වර්ගීකරණය කෙරී) ඇතත් එය අන්තර්ගතය අතින් නිවේදනයක් හා පූජාවකි. සංඛ්‍යාවෙන් අඩු වුව ද මේ සෙල්ලිපි නිවැරදිව කියවා ගත හොත් බොහෝ කරුණු අතින් අමිල වටිනාකමකින් යුක්ත  වනු ඇත. මේ අතිවිශාල කලාපය හවුලේ බෙදා හදා ගෙන විසූ බොහෝ ජාතීන්ට අයත්  මිනිසුන්ගේ ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික ජීවිතය ද ඔවුන්ගේ අන්තර් සබඳතා ගැන ද බොහෝ තොරතුරු ඒවායින් හෙළි වනු ඇත.
අරාබි සෙල්ලිපි හා කූෆික් රීතිය
අතීතයේ පරිහරණය වූ දැනට ඉතිරි වී ඇති බොහෝ අක්‍ෂර මාලාවලට මෙන් ම සෙමෙටික් අක්‍ෂර ලෙස අරාබි අක්‍ෂර මාලාවට ද පරිණාමය හා ව්‍යාප්තිය පිළිබඳ දීර්ඝ ඉතිහාසයක් තිබේ. ඉස්ලාම් ආගමටත් වඩා පැරණි වූ එය නැබටීයන් හා ඇරමයික් කරා ද මෙසපොතේමියානුවන්ගේ කීලාකාර අක්‍ෂර කරා ද ඉන් පසු අඳුරු අතීතයේ නෙබියුලාකාර නොපැහැදිලි කුරුටු ගෑම් කරා ද දිවෙයි.
මීට ඇරබ් යැයි හැඳින්වෙන්ට වූයේ මෑත භාගයේ, ඉස්ලාම් ආගම උපදින්ට පෙර, ක්‍රිස්තු වර්ෂයේ ආරම්භයේ සිට ය. එමඟින් භාෂාවක් හා අක්‍ෂර මාලාවක් ද සහිත සංස්කෘතික මූලිකාංග “අරාබි ” හෝ ‘‘ඇරබික්’’ යන්නට ඇතුළත් කෙරිණ. අරාබි අක්ෂර මාලාව ඉතා ශීඝ්‍රයෙන් වර්ධනය වීමට පටන් ගත්තේ ඉතා ශීඝ්‍රයෙන් ප්‍රසාරණය වන සමාජයක ප්‍රායෝගික අවශ්‍යතා ද ඉස්ලාම් ධර්මය සඳහා කියවීමට හා ලිවීමට ඇති වූ අවශ්‍යතාව ද හේතු කොට ගෙන ය. කාලයේ අවශ්‍යතා විසින් මෙහෙයුම් ලද එය ඉක්මන් නමුදු කෙටි, බොහෝ අතරමැදි රටා සහිත යුග පසු කළේ ය. ඒ රටා පිළිබඳ සඳහන් ඇතත් ඒවායේ නිදර්ශක ඉතිරි වී නැත.
හෙජාසි අක්‍ෂර අරාබියේ සිට කූෆා කරා ළඟා වූ සමය වන විට පිටපත් කරන්නවුන්ට ඉස්ලාම් ආගමේ ඉගැන්වීම් පිටපත් කිරීමට ද නගරයේ වාණිජ හා ලේඛන කටයුතු වාර්තා කිරීම සඳහා ද වැඩි වැඩියෙන් භාවිත කිරීම පහසු වන තරමට එම අක්‍ෂර වර්ධනය වී තිබුණි. මෙලෙස පූර්ව නැබටියන් යුගවල අරාබි යනුවෙන් හඳුන්වනු ලැබූ මේ සෙමිටික් අක්ෂර මාලාවේ කූෆික් හා නස්බි රටාවලට කලින් බොහෝ වෙනස්කම් ඇති වී තිබුණි. අවාසනාවකට මෙන් සසඳා බලා අධ්‍යයනය කිරීමට තරම් වන නිදර්ශක සංඛ්‍යාවක් මේ ළදරු භාෂාවෙන් ඉතිරි වී නැත්තේ ය. හෙජාසි අක්ෂර අරාබියෙන් කුෆාවලට ළඟා වන කාලය වන විට පිටපත් කරුවන් ඉස්ලාමි ධර්මයේ අන්තරාගය කිරීම් ලේඛනගත කිරීමට මෙන් ම එම නගරයේ වාණීජ හා සාහිත්‍යමය කටයුතු සඳහා ද වඩ වඩාත් යොදා ගැනීමට පහසුවන තරමට නිශ්චිත තත්ත්වයකට වර්ධනය වී තිබිණි.
මෙසේ පශ්චාත් නැබටියන් යුගවල ඇරබික් යනුවෙන් හැඳින් වුනු සැමිටික් අක්ෂරවල විවිධ විවර්තන කූෆික් හා නස්බි යන ශෛලී දෙකට කලින් පැවැතියේ ය. අවාසනාවට කුරුටු අක්ෂරවලට පෙර පැවති අක්ෂර පිළිබඳ නිදර්ශක තුලනාත්මක අධ්‍යයනයකට ප්‍රමාණවත් තරමින් ඉතිරිව නැත. කූෆා නගරය වත්මන්හි පිහිටියේ ඉරාකයේය; යුෆ්‍රටීස් ගංගාවේ හිහියා අතු ගඟේ අන්නාෆුඩ්වලින් නැඟෙනහිරට වන්නට ය. ඕමාර් කාලිෆ්වරයා විසින් මෙය තනවන ලද්දේ යුද භටයන් නවත්වන නගරයක් ලෙස ය. ඉස්ලාම් ආගමේ සමෘද්ධිමත් යුගයේ සිට 10 වන සියවස දක්වා වන තෙක් මේ නගරය අරාබි සාහිත්‍යමය හා වාණිජ ක්‍රියාකාරිත්වයේ මධ්‍යස්ථානයක්ව පැවතිණ. අරාබි අක්ෂරවල තිබුණු විවිධ රටා එක් රටාවකට ඉඩ දෙමින් ස්ඵටිකීභූත වූයේ මේ නගරයේ දී ය. කුෆා නගරයේ නමින් ම ඒ අක්ෂර රටාව කුෆික් නමින් ප්‍රකට විය.
අප විසින් කිව යුතු දෙයක් තිබේ. එනම්, බොහෝ අරාබි අක්‍ෂර ඉව බව නැතිව කුෆික් ලෙස විස්තර කරමින් පුනරුද යුගයේ පුරාවිද්‍යාඥයන් ද සෞන්දර්ය විද්‍යාඥයන් ද 19 වන සියවසේ ප්‍රාචීනවේදීන් ද මහත් හානියක් සිදු කර ඇත. පූර්ව “කූෆික් ” සම්භවයේ සිට අරාබි අක්‍ෂර මාලාව අත් කර ගත් නව වර්ධනයන් අවබෝධ කර ගැනීමේ අන්තර් ඥානය “කූෆික් ” යන වචනයේ රොමැන්ටික රැස් මාලාවෙන් වැසී ගියේ ය. මෙය වඩාත් වැදගත් වන්නේ සිය වසකටත් අඩු කාලයක් තුළ අරාබි අක්‍ෂර කූෆාවලින් බටහිරට ස්පාඤ්ඤය තෙක් ද නැඟෙනහිරට මුළු මධ්‍යම ආසියාව පුරා ද වේගයෙන් පැතිරි ගොස් ඊසාන දිග ඉන්දියාවට (පකිස්තානයට) ඇතුළු වීම පිළිබඳව සලකා බලන කල්හි ය. පර්සියානු භාෂාව පවා තම පෙහ්ලවී අක්‍ෂර අරාබි අක්‍ෂරවලින් විස්ථාපනය කර ගති. එහෙයින් අරාබි අකුරු අලංකාරව ලිවීමේ නිර්මාණාත්මක සංවර්ධනයේ හැකියාව ජනවාර්ගික ඒකරාශී වීම, එනම්, ඉස්ලාම් භක්තිකයන්ගේ ඒකවාසය මඟින් ඇති කෙරුණේ ය. අලුත් රටා ඇති කිරීමෙහිලා විවිධ ආකාරවල ඓතිහාසික බලවේග ක්‍රියාත්මක විය. “කූෆික්” යන පදය අවිශේෂයෙන් පාවිච්චි කිරීමෙන් ඒ බලවේග හඳුනා ගැනීමට බාධා ඇති විය.
ශ්‍රී ලංකාවේ අරාබි සෙල්ලිපි සමහරක් කුෆික් අක්ෂර හා ඒවායේ විකරණ සමඟ සසඳා පිරික්සා බැලූ කල්හි මෙය වඩාත් පැහැදිලි වෙයි. අරාබි අක්ෂර කියවීමේ දී හඳුන්වා දෙන ලද අවිශද හා පුළුල් බෙදීම් දෙකකි. ඒවා නම් පූර්ව කුෆික් හා පශ්චාත් කුෆික් ය. මාටින් ලිංග්ස් විසින් බ්‍රිතාන්‍ය පුස්තකාලය සඳහා ප්‍රකාශයට පත් කරන ලද කෘතියක් වෙනත් දේවල් අතර බටහිර හා නැගෙනහිර යන බෙදීමත් පිළිබඳව ද අපේ අවධානය යොමු කරවයි. මේ බෙදීම මඟින් ඔහු එම ප්‍රදේශයේ ජනයාගේ බහු ජනවාර්ගිකභාවය ද අත් අකුරු අලංකාරව ලිවීමේ කලාව ද ඇතුළු බොහෝ සංස්කෘතික ලක්ෂණ පිළිබිඹු වන්නේ කෙසේ ද යන්න තේරුම් ගත හැකි අන්දමට පැහැදිලි කරයි. කෙසේ වුව ද මේ බෙදීම පවා කුෆික්වල අනුල්ලංඝනීය භාවයෙන් නො මිදෙයි. එහෙයින් ම එය කූෆික්වලින් එපිට කිසිදු ආරම්භයක් හෝ නිර්මාණයක් තිබුණේ නැතැයි දක්වයි.
මධ්‍යම ආසියාව හා ටියුරේනියානු තැනිතලා හරහා විත් ඉරාන භූමිය වටා පදිංචි වූ මිනිස්සු පෙශාවෝර්හි තැනිතලාවලට ඇතුළු වූහ. සංස්කෘතික හා ශිෂ්ටාචාර පිරිපහදුව අතින් ඔවුන් තුළ විවිධ මට්ටම් වුයේ ය. ඒ නොතකා ඔවුන් තුළ පියකරු බව හා සුන්දර කලාත්මකත්වය කෙරෙහි වූයේ මහත් අභිරුචියකි. ඉස්ලාම් ආගමට හැරීමෙන් පසු මේ අරාබි නොවන මිනිසුන්ගේ ලැදියාවන් ප්‍රකාශයට පත් වූයේ කූෆාවලින් නැඟෙනහිර දී අලංකාර අත්අකුරු ලිවීම හා කැටයම් රටා තුළ ය. කුෆාවල බටහිර ප්‍රදේශය අරාබිකරණය විය. එය එක්තරා අතකින් කුෆාවලින් බටහිරට වූ ප්‍රදේශයේ කුෆික් අක්‍ෂරවල සැලකිය යුතු වෙනස් වර්ධනයක් සලකුණු කරයි. එක්තරා ප්‍රමාණයකට දකුණු ඉන්දියානු ද්‍රවිඩ සංස්කෘතියේ දැඩි පීඩනය ද 16 වන සියවසේ සිට නැඟ එන ක්‍රිස්තියානි බටහිර බලය ද ඒ වන විට රටට ළඟා වී තිබුණු කුෆික් අක්‍ෂරවලට කා වැදී ඒවා ද්‍රවිඩ අකුරු වැනි ඇල ලක්ෂණයක් ගති. මේ ලක්ෂණය ගාල්ලේ තලාපිටිය පල්ලියේ සෙල්ලිපි මාලාවේ (ලිං – අංක 41) සැලකිය යුතු තරමකට දිස් වේ. මේ ගැන වැඩි විස්තර පසුව සඳහන් වෙයි.
විසරණය වීම හා වැදගත්කම අතින් අරාබි බස ග්‍රීක, ලතින් හා පර්සියානු භාෂා සමඟ තරඟ වැදිණ. මුහම්මද් තුමාගේ අභාවයෙන් ශත වර්ෂයක් තුළ බටහිරින් ස්පාඤ්ඤය තෙක් ද නැගෙනහිරින් හින්දුස්ථානය තෙක් ද එය ළඟා විය. කුරානයේ සෑම අකුරක් හා සෑම වචනයක් ම සම්පුර්ණ දක්ෂතාවයකින් යුතුව ලිවීම අවශ්‍ය විය; එන්ට එන්ට ම වර්ධනය වන අධිරාජ්‍යයක ව්‍යාපාරික කටයුතු සන්නිවේදනය, පරිපාලනය හා මෙහෙය වීම ද සම්බන්ධීකරණය කර ගෙන යාම ද අවශ්‍ය විය. මුස්ලිම්වරුන්ට ලිවීම කෙරෙහි තියුණු උනන්දුවක් දැක්වීමට බල කෙරුණේ එහෙයිනි. සාමාන්‍ය අකුරු ලිවීමේ කලාව ඉහළ පෙළේ කුශලතාවක් බවට වෙනස් කෙරිණ. සෞන්දර්යාත්මක නිර්මාණ සඳහා වූ අභ්‍යන්තර මානව ප්‍රේරණය බහිර්ගත වූයේ අලංකාර චිත්‍රකරණයෙහි ය. අරාබි අකුරුවල වූ නිදහසේ ගලා යන ස්වභාවය සමඟ එක් වූ කල්හි එහි ප්‍රතිඵලය වූයේ අපරිමිත අක්‍ෂර රටා බිහි වීමයි. කෙතරම් ප්‍රයෝජනවත් වුව ද මේ ලිපියෙහි මේ අදියරෙහි දී චාරු ලේඛනය පිළිබඳ විවරණයක් ඉදිරිපත් කිරීම අනවශ්‍ය ලෙස මාතෘකාවෙන් පිට පැනීමක් වන්නේ ය.
කුෆාවල හා බස්රාවල දී අරාබි අක්‍ෂර තව දුරටත් වර්ධනය වීම දිගට ම සිදු විය. එයින් බොහෝ රටා ද ප්‍රාදේශීය විවිධතා ද බිහි විය. එහෙත් ප්‍රධාන රටාව ලෙස කූෆික් රටාව ම පැවතියේ ය. අරාබි අක්‍ෂර එලෙස ම පැවතිණි. එහෙත් ඒවායේ ව්‍යූහය වෙනස් විය. මේ රටා අතර ඇති වෙනස්කම් ඉංගිරිසි මුද්‍රණ කාර්යයේ දී යොදා ගන්නා ඉතාලි, රෝමානු හා ගොතික් අක්‍ෂර අතර ඇති වෙනස්කම්වලට සම වේ. අකුරුවල නෛසර්ගික වටිනාකම් එලෙසම පවතී. එනමුදු ඒවායේ සෛන්දර්යාත්මක කාර්යය හා දෘශ්‍යමය වටිනාකම වෙනස් වෙයි.
අරාබි අක්ෂරවල විද්‍යමාන රටා
අරාබි අක්‍ෂරවල ඇති විවිධ රටා පිළිබඳ දැනුමක් සහිත හුරු බව ඒවා වෙන් කොට හඳුනා ගැනීමට උදව් වනු පමණක් නො වේ; ඉස්ලාමීය ලෝකය තුළ පවතින පුළුල් සංස්කෘතික හරස් ප්‍රවාහයන් තේරුම් ගැනීමට දර්ශකයක් ද වෙයි. මේ ඉස්ලාමීය ලෝකය එහි ආගමික ඒකාත්මිකත්වය තිබිය දී ම සමාජ-සංස්කෘතික ජීවිතය අතින් බහුවිධ වෙයි.
 
විවිධ කටයුතු සඳහා යොදා ගනු ලබන දැනට පවත්නා අරාබි අක්ෂර රටා පහත දැක්වේ:
(1) කූෆි : කාසි අභිලේඛන, ගොඩනැඟිලි, ස්මාරක සඳහා පුළුල් ලෙස යොදාගන්නා ලද පැරණි ම අකුරුයි. මේ අකුරු කෝණාකාර ය. අබ්බසිවරුන් යටතේ අලංකාර කෙරුණු මේවා චාරු ලේඛන කටයුතු සඳහා යොදා ගන්නා ලදි. මේ අකුරු අනෙකුත් අක්‍ෂර ස්වරූපවලට පූර්වගාමී වී යයි විශ්වාස කෙරේ. පසු කාලයේ විවිධ ආකාරවලට වර්ධනය වූ බොහෝමයක් රටාවල ආයු කාලය ඉක්මවා පැවතියේ ය. අලංකරණ කටයුතු වල දී දැනුදු කූෆික් අක්‍ෂර පාවිච්චි කරනු ලැබේ.
 
(2) නස්බි : දසවන ශත වර්ෂයේ දී පරිසමාප්තියට පත් කෙරිණ. මීර්විසියර් ඉබ්න් මුග්ලාහ් විසින් සම්මුතිගත කරන ලිදි. කූෆික්වල ඇති තිරස් හා සිරස් ගලා යන ආකාරය මෙන් නොව මේවා වටකුරු ය. පිටපත් කරන්නන් හා ලේඛකයන් විසින් පොත් ලිවීම සඳහා හා බහුලව යෙදිණ. ඉන්දියාවේ මෝගල්වරු මේ අකුරුවලට විශේෂයෙන් රුචි කළහ. කූෆික් මෙන් නොව ඉක්මනින් පොත් පිටපත් කිරීම සඳහා මේවාට කැමැත්ත වැඩි විය. කුෆික්හි එතරම් නැති දුර්බෝධ වූ දාවී ස්වභාවයක් පැවති බැවින් පර්සියානුකරණය වූ මිනිස්සු මේ අකුරුවලට කැමැත්ත දැක්වූහ. ලාහෝරයේ ජෙහන්ගීර්ගේ සොහොනෙහි මෙන් ම එහි ම නූර්ජහාන්ගේ සොහොනෙහි ද නස්බි අකුරින් ලියූ අභිලේඛන ඇත. අක්බර්ගේ සොහොන පකිස්තානයෙන් පිටත පිහිටියේ වුව ද එහි අභිලේඛන නස්බි හා නස්තලික් අතර මිශ්‍රණයකට කිට්ටු සමානත්වයක් දරයි. උච්චාවචනය වන දේශපාලන හා භූගෝලීය සීමා නො තකා හා සුලෙයිමාන් කඳුවැටි අතර පෙදෙසේ කලාත්මක සම්ප්‍රදායෙහි සම්භවයක් හා ආවේණියක් පවතී. චාරු ලේඛනයෙහි මෙය වැඩි වැඩියෙන් දැක ගත හැකිය.
 
(3) නස්තලික්: වර්ධනය හා පරිසමාප්තිය යන දෙක ම 15 වන ශතවර්ෂයෙ මුල දී සිදු විය. 16 වන ශතවර්ෂය වන විට ඊසාන දිග ඉන්දියාවේ (පකිස්තානයේ) ප්‍රචලිත විය. පර්සියානු රුචියට හරියට ම ගැළපිණ. චාරු ලේඛනයෙහි ජනප්‍රියත්වයට පත්වූයේ පර්සියානු බලපෑම යටතේ ය. ලාහෝරයේ අනර්කලීගේ සොහොනෙහි ජෙහන්ගීර් කුමරාගේ හැඟීම් ලේඛනගත කර ඇත්තේ නස්තලික් අකුරිනි. නස්තලික් නස්බි අක්‍ෂරවල ම පරිණත අදියරක් ලෙස සැලකිය හැකි ය. මෝගල්වරුන් හැරුණු විට මධ්‍යම ආසියාතිකයන් ද අභිරුචිය දැක්වූයේ නස්කි හා නස්තලික් අතර මිශ්‍රණයකට ය.”
 
(4) ථුලුත් : නස්බිවලින් වර්ධනය වුව ද වැඩි අලංකරණ සහිත ය. එබැවින් පොත්වල මාතෘකා සැරසීම, පරිච්ජේද මාතෘකා හා වෙනත් එවැනි දේවල් සඳහා යොදා ගනු ලැබී ය. එහෙයින් එහි පරිහරණ ක්ෂේත්‍රය සීමා සහිත විය.
 
(5) රයිහානි : මෙය නස්බි හා ථුලුත් අතර මිශ්‍රණයකි. සිත් බැඳ ගන්නා තරම් අලංකාර වුව ද කියවීමේ පහසුව නිසා දීර්ඝ ඡේද සඳහා වැඩි කැමැත්තෙන් යොදා ගනු ලැබී ය. ථුලුත් මෙන් ම මෙය ද කාර්මික තාක්‍ෂණයේ දියුණුව සමඟ පිරිහී ගියේ ය.
 
(6) රුගාහ් : සියලු අකුරුවලට වඩා සරල ය. එහෙයින් වෙළඳ ගනුදෙනු, ආණ්ඩුවේ ලියකියවිලි හා ලිපි ආදි එදිනෙදා ලේඛන කටයුතු සඳහා යොදා ගන්නා ලදි. චාරු ලේඛකයන් තුළ එතරම් කැමැත්තක් නො තිබුණ ද මේ අකුරුවල සරල භාවය ම ඒවායේ චිරස්ථිතියට හේතු විය.
 
(7) දීවානී : අරාබි භාෂාවේ සියලු ම විවිධ අකුරු වර්ග අතරින් අතිමහත් වෙනස්කම් ඇත්තේ දීවානී අකුරුවල ය. මේ අකුරුවල විස්මයජනක නම්‍යතාව කෙතරම් වීද යත් කොපමණ කලාපීය වෙනස්කම් ඒවායින් ප්‍රකාශ කිරීමට හැකි වුව ද ඒවායේ මූලික දීවානී ලක්‍ෂණ එලෙස ම රැකගැනීමට මේ අකුරු සමත් විය. ඔටෝමන්වරුන් ඒවා පෘථුල ලෙස ප්‍රයෝජනයට ගත් අතර තුර්කිවරුන් යටතේ ඊජිප්තුවේ ද ඒවා බහුල ප්‍රචාරිත ව පරිහරණය විය. කලෙක මේවා ඔටෝමන්වරුන්ගේ ආඥා ලිවීමට වෙන් කර තබන ලදි. ඒවායේ එක් විශේෂ විකරණයක් රාජ්‍ය රහසක් ලෙස තබා ගන්නා ලදි. ඒ රාජකීය ප්‍රදානයන් හා අධිකාර විහ්න සඳහා ය.
 
(8) ෆාරිසි : නමින් ම හැඟවෙන පරිදි එහි සම්භවය පර්සියාවේ ය. එයට ද බොහෝ විසදෘශතා තිබුණි. කෙසේ වුව ද මේ අක්ෂර වර්ගයට ඉරානයෙන් බටහිරට පය ගසා ගන්නට නුපුළුවන් විය. නැඟෙනහිරෙහි නම් එයට යහපත් ප්‍රතිචාරයක් ලැබිණ. එනම්, පර්සියාවේ නැඟෙනහිර, ඇෆ්ගනිස්ථානයේ, මධ්‍යම ආසියානු ජනරජයන්හි හා මෝගල්වරුන් යටතේ උතුරු ඉන්දියාවට ය. ෆාරිසි අකුරු මේ දිවයිනට ද ආවේ ය. ඒ පර්සියානුකරණය වූ උතුරු ඉන්දීය බලපෑම මඟිනි. (බලන්ගොඩ සෙල්ලිපිය ෆාරිසි නිදර්ශනයක් උතුරු සමඟ සසඳා බලන්න.)
 
(9) මස්රිබි (බටහිර) : මේ අක්ෂර බෙහෙවින් යොදා ගන්නා ලද්දේ අන්දුලුස් (මුස්ලිම් ස්පාඤ්ඤය) සහ ලිබියාවේ සිට මොරොක්කෝව දක්වා වූ උතුරු අප්‍රිකාවෙහි ය. කූෆික්වලට කිට්ටු සමානත්වයක් දක්වන අතර උමයියිඩ්වරුන් යටතේ බටහිරට ගියා සේ පෙනේ.

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *