ලන්දේසීන්ගේ පැමිණීමෙන් මුස්ලිම්වරු තව තවත් පීඩාවට පත් වූහ.
පෘතුගීසින් පාලනයේ තාඩන පීඩනවලින් හෙම්බත්ව සිටි ස්වදේශිකයන් පෘතුගීසීන් පළවා හැරීමට තවත් බලවත් යුරෝපා ජාතියක් වූ ලන්දේසීන්ගේ සහාය ලබා ගැනීමට උනන්දු වූහ. ඒ වන විටත් බතාවියාව කේන්ද්‍රකරගෙන පෘතුගීසී පාලන ප්‍රදේශ අත්පත් කරගැනීමේ කාර්යයට ලන්දේසීන් අතගසා තිබුණි. ඔවුහු දෙවරක්ම පළමුවන විමලධර්මසූරිය රජු සමඟ සබඳතා ඇතිකරගැනීමට උත්සහ කළ ද රජු ඒ සඳහා කැමැත්තක් නොදැක්වූයේ ය. 1934 රාජ්‍යත්වයට පත්වූ දෙවන රාජසිංහ රජුට ලන්දේසින් සමඟ සාකච්ඡා කිරීමට අවශ්‍ය විය.
දෙවන රාජසිංහ රජු ලන්දේසීන් සමඟ කතා කිරීමට යූසුෆ් ලෙබ්බේ නැමැත්තාව යැවීය. නමුත් ලන්දේසීන් ද මුස්ලිම්වරුන්ව ඔවුන්ගේ සතුරන් ලෙස සැලකුවේ මුස්ලිම්වරුන්ගේ ආගමික විශ්වාසය නිසා ලන්දේසීන්ගේ ව්‍යාපාරයන්ට මුස්ලිම්වරු බාධකයක් වූ බැවිනි. (1)
කෙසේ වෙතත් 1638 වසරේ රාජසිංහ රජු පෘතුගීසීන් පළවා හැරීමට ලන්දේසීන්ගේ සමඟ ‘උඩරට වෙස්ටර් වෝලට්’ ගිවිසුමට අත්සන් තැබී ය. ඒ අනුව පෘතුගීසීන් සමඟ සටන් කර ඔවුන් පරාජය කිරීමට සමත් වූ ලන්දේසීන් පෘතුගීසීන්ගේ ත්‍රිකුණාමලය සහ මඩකලපුව බලකොටු සිංහල රජුට නැවත භාරදුන්නේ ය. එහෙත් පෘතුගීසීන්ගේ ගාල්ල, කළුතර, මීගමුව ආදී බලකොටු ගිවිසුම කඩ කරමින් තමන් යටතේම තබාගත්හ. 1658 දී පෘතුගීසීන්ගෙන් යාපනයත් අත්පත් කර ගැනීමට සමත් වූ ලන්දේසීහු ගිවිසුම ප්‍රකාරව යුද්ධ සඳහා වැය කළ මුදල රාජසිංහ රජු වහාම ගෙවිය යුතු යැයි ඉල්ලා සිටිය ද එම මුදල ගෙවීමේ හැකියාවක් රජුට නොතිබුණි. ඒ අනුව 1665 වසරේ ලන්දේසීහු මෙරට වෙරළබඩ ප්‍රදේශයේ සිය ආධිපත්‍ය තහවුරු කරගත්හ. ලන්දේසීන් උඩරට සමඟ මතුපිටින් යහපත් සම්බන්ධයක් පැවැත්වීය. උඩරට රජු මුස්ලිම්වරු සම්බන්ධයෙන් ලිහිල්ව කටයුතු කිරීම ගැන ප්‍රසාද නොවූ ලන්දේසීන් උඩරට රජුට අනතුරු ඇඟවූහ.
වරක් ලන්දේසීන් උඩරට රජුට ලිපියක් ලියමින් කියා සිටියේ ඉන්දියාවේ මොගුල්වරු දකුණු ඉන්දියාවේ රාමේෂ්වරම් දක්වා පැමිණ ඇති බවත් නුදුරේම ලංකාවට පැමිණෙද්දි මුස්ලිම්වරු ද්‍රෝහි වන බවත් ය. එහෙත් රජු එය පිළිනොගත්තේය. (2) ලන්දේසීන් තමන්ගේ පාලන ප්‍රදේශය තුළ ජීවත් වූ මුස්ලිම්වරු සම්බන්ධයෙන් කටයුතු කළේ කෲර ලෙසිනි.
මුස්ලිම්වරුන් වෙළෙඳ කටයුතුවල දී ද විරුද්ධවාදීන් වූ බැවින් ඔවුහු විශේෂයෙන්ම ඕලන්ද ජාතිකයන්ගේ තාඩන පීඩනවලට ලක් වූහ. ජාවා, සුමාත්‍රා, මලක්කා හා සෙලබීස් දිවයින්වල දී මුස්ලිම්වරුන් සමග තරඟ කිරීමට ඕලන්ද ජාතිකයන්ට සිදු වූ අතර, ඕලන්ද ජාතිකයන් මුස්ලිම්වරුන්ට වෙනත් ප්‍රදේශවල දී දැක්වූ ආකල්පය කෙරෙහි එම වාණිජ විරුද්ධකම් බලපෑවේ ය. රෝමානු කතෝලික ආගමට එරෙහිව ඔවුන් අනුගමනය කළ ආකාරයෙන්ම ඉස්ලාම් ආගමික චාරිත්‍ර ප්‍රසිද්ධියේ පිළිපැදීම ඕලන්ද ජාතිකයෝ තහනම් කළහ. (3)
ලන්දේසීන් මෙරට අත්පත් කරගැනීමෙහි සෙසු අරමුණවලට වඩා ප්‍රමුඛ වූයේ නව වෙළඳපලක් සොයා ගැනීම සහ කුළුබඩු අපනයනය සියතට ගැනීමයි. මෙම වෙළඳාම් තුළින් ලන්දේසීන් අපේක්ෂිත ලාභයක් නොලැබූ අතර ලාභයට සාපේක්ෂව මෙරට පාලනයට වැය වූ ඔවුන්ගේ වියදම් වැඩි විය. එනිසා රට අභ්‍යන්තර වෙළඳාමේ සහ දකුණු ඉන්දීයාව සමඟ වෙළඳාමේ නියුතු මුස්ලිම්වරුන්ගේ වෙළඳාම් නවතා දැමීමෙන් සිය ලාභය වැඩිකරග හැකි යැයි ඔවුහු සිතූහ.
වෙළෙඳ සමාගම ආර්ථික කටයුතු අන් සියල්ලටම ඉහළින් තබා සැලකූ අතර, රටේ අභ්‍යන්තරය වෙළඳ කටයුතු මෙන්ම ඉන්දු-ශ්‍රී ලංකා වෙළඳ කටයුතු ද මුස්ලිම්වරුන්ගේ තනි පාලනයට යටත්ව තිබෙනු දැකීම ඔවුන්ගේ දැඩි නොසන්සුන් භාවයට හේතු විය. එනිසා බෞද්ධයන්ට සහ හින්දු භක්තිකයන්ට එරෙහිව ගෙන ගිය ක්‍රියා කලාපයට වඩා අතිශයින් දරුණු ක්‍රියා පිළිවෙතක් ඔවුහු ඉස්ලාම් භක්තිකයන් සම්බන්ධයෙන් අනුගමනය කළහ. (4)
මීට අමතරව කොළඹ ආශ්‍රිතව තොග වෙළඳාමේ නියුතු මුස්ලිම්වරු කොළඹින් පන්නා දැමීමටත් ඉඩම් හිමි මුස්ලිම්වරුන්ගේ ඉඩම් අත්පත් කරගැනීමටත් විවිධ රෙගුලාසි පැනවූහ. 1670 දී ලන්දේසීන් විසින් නීතියක් පනවා මුස්ලිම්වරු කොළඹින් පිටවන ලෙසත් අලුත්ගම සහ ගාල්ල අතර පදිංචිවීමටත් නියෝග කළහ. එමෙන්ම ඔවුන්ගෙන් වාර්ෂිකව ඌලියම් ගෙවීමට හෝ දින කිහිපයක් වැඩකිරීමට අනිවාර්ය කිරීමට අනිවාර්ය කළහ. (5)
මුස්ලිම්වරුන් ගෙන ගිය සාමකාමී භාණ්ඩ හුවමාරු ක්‍රියාවලියෙන් ඔවුන් පලවා හැරීම සඳහා රෙගුලාසි හඳුන්වා දී ඒවා ක්‍රෑර උද්‍යෝගයකින් ක්‍රියාත්මක කරන ලදි. මුස්ලිම්වරුන්ට සහ ක්‍රිස්තු ලබ්ධික නොවන වෙනත් වෙළෙඳුන්ට අවාසිදායක වන, බර්ගර්වරුන්ට (නගරබදව ජීවත් වූ ඕලන්ද ජාතික වැසියන්ට) සහ දේශීය ක්‍රිස්තු භක්තිකයන්ට වාසි සහගත වරණීය තීරු බදු පනවන ලදි. මුස්ලිම්වරුන් ගෙනා රෙදිපිළි සඳහා වූ තීරු බද්ධ 10% දක්වා වැඩි කළ අතර, බර්ගර්වරු සහ දේශීය ක්‍රිස්තු ලබ්ධිකයෝ 5% බද්ද මත ඒවා ආනයනය කළහ. එය තව දුරටත් අඩු කිරීම කෙරෙහි සැලකිල්ල යොමු විය. රෙදි සිල්ලරට විකිණීම මුස්ලිම්වරුන්ට තහනම් කෙරුණු අතර, ඔවුන් ඒවා තොග වශයෙන් බර්ගර්වරුන්ට විකිණිය යුතු විය. තමන්ගේම පෞද්ගලික කඩ සාප්පු පවත්වාගෙන යාම මුස්ලිම්වරුන්ට තහනම් කෙරිණි. මුස්ලිම්වරුන් ආනයනය කළ හාල් 10% බද්දකට යටත් කෙරුණු අතර, ක්‍රිස්තු ලබ්ධිකයෝ සහ බර්ගරවරු තීරු බද්දෙන් නිදහස්ව හාල් ආනයනය කළහ. ක්‍රිස්තු ලබ්ධිකයනට සහ බර්ගර්වරුනට මුස්ලිම්වරුන් අවනත කර ගත හැකි එකම මාර්ගය වූයේ එය යැයි වැන් ගොයන්ස තර්ක කළේය. (6)
එමෙන්u බදු නොගෙවූවන්ගේ ඉඩම් රාජසන්තක කරනු ලැබුණි. ඊට අමතරව මුස්ලිම් ගෘහ මූලිකයා පොල් බද්දක් ලෙස ඩොලර් හයක් ගෙවීමටත් නියම කළහ. (7) මුස්ලිම්වරුන්ට තම ද්‍රව්‍ය අලෙවි කිරීමට කඩවත් ඉක්මවා යන්නට ඉඩ නොදිය යුතු යැයි අණ කරන ලදි. (8) රට අභ්‍යන්තරයට ගොස් මුස්ලිම්වරු සිදුකරන වෙළඳාම සහ ඔවුන් විසින් මිලදී ගන්නා දේශීය නිෂ්පාදන අවහිර කිරීම ලන්දේසි පාලකයන්ගේ අපෙක්ෂාව විය.
විවිධ ස්ථානවල ජීවත් වූ මුස්ලිම්වරුන්ගේ නම්, ඔවුන්ගේ රැකියා ආදිය සහිතව සටහනක් සැකසූහ. ගොවිතැන් කිරීම හා ඔරු පැදීම හැර සෙසු රැකියා කිරීම සම්බන්ධයෙන් ද සීමා පැනවූහ. ඍජුව හෝ වක්‍රව මුස්ලිම්වරු ව්‍යාපාරයේ යෙදීම නැවැත්වීමට යත්න දැරූහ. විදේශයන්ගෙන් පැමිණෙන මුස්ලිම් වෙළඳුන් එම නැවේම නැවත යා යුතු බවත්, ඒවා ‘දිසාවේ’ විසින් අධීක්ෂණය කළ යුතු බවත් වැලිගම ප්‍රදේශයේ මෙම නීතිය අනිවාර්යයෙන් ක්‍රියාත්මක කළ යුතු බවත් ලන්දේසි රජය අණ කළේ ය. (9) නැගෙනහිර ඉන්දීය වෙළඳ සමාගම සිය ආධිපත්‍යයට යටත් ප්‍රදේශවල ක්‍රිස්තියානින්ට සහ මුස්ලිම් නොවන ස්වදේශිකයන්ට දෙන පහසුකම්වලට වඩා අවම පහසුකම් සැලසිය යුතු බවත් කිසිම අවස්තාවක කිතුනුවන් අභිබවන්නට මුස්ලිම්වරුන්ට ඉඩ නොතැබිය යුතු බවත් ලන්දේසි රජය යෝජනා කළේ ය. ඒත් සමඟම මුස්ලිම් ආගමික පූජකයින් තම ප්‍රජාවේ තත්වය පිළිබඳ වාර්තාවක් කලින් කල ලබා දිය යුතු බවත් ඉල්ලා සිටියහ. (10)
වෙරළබඩ ප්‍රදේශවල ජීවත් වූ මුස්ලිම්වරුන් අතර යෝනකයින් ලෙස හැඳින් වූ මුස්ලිම් පිරිසට ඕලන්ද ජාතිකයින් නොයෙක් හිංසා පීඩාවන් සිදු කළත් ඔවුහු ලංකාවට පා තැබූ දා පටන් යවනයන් ලෙස හැඳින්වූ මුස්ලිම්වරුන්ට රැකියා දී වෙරළබඩ ප්‍රදේශවල පදිංචි කළහ. ක්‍රි.ව 1640-1796 දක්වා සියවස් එකහමාරක කාලයක් තුළ ඔවුන් ලංකාවේ පදිංචි කරනු ලැබූහ. බතාවියා පාලකයන් විසින් ඉන්දුනිසියාවේ සිට පිටුවහල් කරනු ලැබූ දේශපාලන සිරකරුවන්, ඕලන්ද රජයේ හමුදා අංශයේත්, අනෙකුත් රජයේ රැකියාවලත් සේවා කිරීම සඳහා මෙහි ගෙන්වනු ලැබූ එකී මැලේවරු මේ කාලවකවානුව තුළ ලංකාවේ පදිංචි කරනු ලැබූහ. මොවුහු ඉස්ලාමය වැලඳ සිටි හෙයින් ලංකා මුස්ලිම්වරු සමඟ එක්ව ජීවත් වූහ. (11) ඒත් සමඟ මෙතෙක් අරාබි, පර්සියානු, ඉන්දීය සහ ස්වදේශීය මුස්ලිම්වරුන්ගෙන් සමන්විත වූ ලංකා මුස්ලිම් සමාජය තුළට මැලේ මුස්ලිම්වරුන් ද එකතු වූහ. යවනයින් ලෙස හැඳින්වූ මෙම පිරිස ඕලන්ද ජාතිකයන්ගේ තාඩන පීඩනවලට යෝනකයන් මෙන් ලක් නොවූහ. (12)
ඕලන්ද ජාතිකයන් මෙරට වෙරළබඩ ප්‍රදේශ අත්පත් කරගත් පසුවත්, උතුරින් පුත්තලම සහ කල්පිටියත්, නැගෙනහිරින් ත්‍රිකුණාමලය, කොට්ටියාරම, මඩකලපුවත් උඩරට රජුගේ ආධිපත්‍යය යටතේම පැවැතිණි. මෙම වරාය නගර ඔස්සේ ඉන්දීය වෙරළේ ජීවත් වූ මුස්ලිම්වරු සහ හින්දූන් පිරිසක් උඩරට රාජධානිය සමඟ වෙළඳාම් කළහ. පුත්තලම නගරයේ සැලකිය යුතු සංඛ්‍යාවක මුස්ලිම්වරු පිරිසක් ජනාවාස වී සිටියහ. පෙර සඳහන් කළ නගරයන්වල සිට මහනුවරට ළඟා වීමට මාර්ග තිබුණි. මෙම මාර්ග ඔස්සේ යන වෙළඳ කණ්ඩායම් ඇතැම් නිශ්චිත ස්ථානයන්වල රාත්‍රිය ගත කර යන්නන් වූහ. එවන් ලැගුම් ස්ථානවලත් මුස්ලිම්වරු ජනාවාස ඇතිකර ගත්හ. කොට්ටියාරම සිට මහනුවරට වැටී තිබෙන මාර්ගයේ පංගුරන, නිකවටන යන ග්‍රාමයන් දෙක මෙලෙස ජනාවාස ඇති වූ ගම් වේ. (13) පුත්තලම, කල්පිටිය වෙරළේත් මුස්ලිම්වරු බහුලව පදිංචි වූහ. ආහාර අවශ්‍යතාවය සම්න්ධයෙන් ගත් කල, උඩරට රාජධානිය ස්වයං පෝෂිත තත්වයකට ළඟා වී තිබුණත් ලුණු, කරවල, රෙදිපිලි ආදිය ලබා ගැනීමට මුස්ලිම් ව්‍යාපාරිකයන් පැමිණෙන තෙක් බලාගෙන සිටීමට සිදු විය. මුස්ලිම්වරුන්ගේ වෙළඳාමේ දක්ෂතාවයත්, තවලම් ගවයෝත්, ගමින් ගමට ඇවිද භාණ්ඩ විකිණීමේ ඔවුන්ගේ හැකියාවත් උඩරට රාජධානියට බොහෝ සෙයින් ඵලදායි විය. උඩරට නිෂ්පාදනයන් වූ පුවක් අපනයනය කර ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කළහ. (14)
පළමුව පෘතුගීසීන් විසින් ද, පසුව ඕලන්දවරුන් විසින් ද මුහුදුබඩ පළාත් පාලනය කරනු ලැබූ විමර්ශිතකාල පරිච්ඡේදය ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් සම්බන්ධයෙන් වැදගත් සන්ධිස්ථානයක් වශයෙන් සැලකිය හැකිය. දහසය වන ශතවර්ෂයට ප්‍රථමයෙන් ඔවුන්ගේ ජනාවාස වරායබද නගරවලට සම්බන්ධ වී තිබුණු අතර, සමාජයේ අනිකුත් අය සමග සුළු සබඳතා පමණක් ඇතිව ඔවුහු කඩමණ්ඩිවල හා වීදිවල විදේශිකයන් ලෙසින් ජීවත් වූහ. ඔවුන්ගෙන් වැඩි දෙනෙකු කෙටි කාලයක් පමණක් ශ්‍රී ලංකාවේ ගත කළ අතර, වැඩි කාලයක් ජීවත් වූයේ විදේශගතව, ප්‍රධාන වශයෙන් දකුණු ඉන්දියාවේ ය. අසල්වැසි ගම්මානවල ගැමියන් සමග කිසිඳු ආශ්‍රයක් නොමැතිව, එහෙත් දකුණු ඉන්දියාව හා සමීප සම්බන්ධකම් පවත්වා ගනිමින්, තමන්ගේම වතු ප්‍රජාවන් අතර ජීවත් වූ 19 වන ශතවර්ෂයේ ඉන්දියානු වතු කම්කරුවන් මෙන්, මුස්ලිම්වරු 16 වන සියවස තෙක් ශ්‍රී ලාංකික සමාජයට බද්ධ නොවූහ. සිය මතයේම එල්බගෙන සිටි ක්‍රිස්තු ලබ්ධික බලවතුන්ගේ අවිචාර බුද්ධිය නිසා තම අනන්‍යතාව ආරක්ෂා කර ගැනීම උදෙසා උඩරට ප්‍රදේශයට අනිවාර්යයෙන්ම යාමට මුස්ලිම්වරුන්ට සිදු වූ අතර, ඔවුන් ස්වදේශීයකරණයට හසු වූයේ එහිදී ය. (15)
පෘතුගීසි පාලන සමයට වඩා අතිශය බිහිසුනු ලෙස ලන්දේසීන් විසින් මුස්ලිම්වරුන්ගේ ව්‍යාපාරයන්ට පීඩා කළහ. මුස්ලිම්වරුන්ගේ ආර්ථික ශක්තිය බිඳ දැමීමට ලන්දේසීන් සමත් වූහ. කුරුඳු වෙළඳාම, ඇත් දළ, සුවඳ විලවුන් ආදි වෙළඳාම මුස්ලිම්රුන්ගෙන් උදුරා ගත්හ. පාරම්පරිකව මුස්ලිම්වරු නගරබදව ගොඩනගාගත් ජීවන රටාව අහිමි කර දැමූහ. පෘතුගීසීන් මෙන් ලන්දේසීන් ද මුස්ලිම්වරුන්ගේ ආගමික කටයුතුවලට බාධා කළහ. 16 වන සියවස තෙක් බග්දාදය, ඊජිප්තුව සහ තුර්කිය සමඟ මෙරට මුස්ලිම්වරු ගොඩනගාගෙන තිබුණු ආධ්‍යාත්මික සබඳතාවය ද බිඳ වැටුනු අතර පෘතුගීසි හා ලන්දේසි පාලන සමය තුළ මෙරට මුස්ලිම්වරුන්ගේ ආධ්‍යාත්මික සබඳතාව දිල්ලි පාලනයටත් දකුණු ඉන්දියාව දෙසටත් හැරුණි. මෙය මුස්ලිම්වරුන්ගේ ඇදහීම් විෂයෙහි සහ දේශපාලනයේ සුවිශේෂි බලපෑම් ඇති කිරීමට බලපාන ලදි. පෘතුගීසීන් එරෙහිව සිදුකළ සටන් තරම් යුද තත්වයක් ලන්දේසීන්ට එරෙහිව දියත් නොවූ නිසා ලන්දේසීන්ට එරෙහි යුදමය ක්‍රියාමගින් මුස්ලිම්වරු දුරස්වීමට එය හේතු විය. දිල්ලි පාලනයත් දුර්වල වෙමින් පැවති නිසා ලන්දේසීන්ට එරෙහි විදේශීය මුස්ලිම් හමුදාවන්ගේ සහාය ද නොලැබුණි. මේ සියල්ලෙහිම ප්‍රතිපලයක් ලෙස ලන්දේසි පාලනය අවසන් වන විට මෙරට මුස්ලිම්වරු ආර්ථික, ආගමික, දේශපාලනික හා සාමජීය පිරිහීමට ලක්වී දුර්වල තත්වයකට පත්ව සිටියහ.
සැකසුම සකීෆ් සාම්.
- Asad Kamil M.N.M, The Muslims of Sri Lanka Under the British Rule, 1993, Navrang Publishers, New Delhi
- Asad Kamil M.N.M, The Muslims of Sri Lanka Under the British Rule, 1993, Navrang Publishers, New Delhi
- දේවරාජ. ලෝනා, ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු, පි. 103.
- දේවරාජ. ලෝනා, ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු, පි. 103-104.
- Asad Kamil M.N.M, The Muslims of Sri Lanka Under the British Rule, 1993, Navrang Publishers, New Delhi
- Memories of Rykolff Van Goens, 1663-1675, Translated by E Reimers, Colombo, 1932, p.18
- Asad Kamil M.N.M, The Muslims of Sri Lanka Under the British Rule, 1993, Navrang Publishers, New Delhi
- Van Goens 13
- Dutch Memoirs, Instruction from the Governor General and Council of India to the Governor of Ceylon. 1659: 1665- Transl. Sophla Peieters. Colombo: 1905 pp. 63-64
- අමීන් එම්.අයි.එම්, ලංකා මුස්ලිම්වරුන්ගේ ඉතිහාසය හා සංස්කෘතිය, පි.25.
- Hussain Miya, The Regiment People, A Study of the Malays of Ceylon Rifle Regiment 1827-1873. Unpublished PHD Thesis, University of Peradeniya, 1984, pp 53-54.
- අමීන් එම්.අයි.එම්, ලංකා මුස්ලිම්වරුන්ගේ ඉතිහාසය හා සංස්කෘතිය, පි.25.
- දේවරාජ, ලෝනා
- අමීන් එම්.අයි.එම්, ලංකා මුස්ලිම්වරුන්ගේ ඉතිහාසය හා සංස්කෘතිය, පි.26.
දේවරාජ. ලෝනා, ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු, පි. 123.