කලාව

නාවිකයන්ට කොළඹ නගරයට මග කියන රතු පල්ලිය.

නාවිකයන්ට කොළඹ නගරයට මග කියන රතු පල්ලිය.

කොළඹ නගරයේ සංචාරක ආකර්ෂණය දිනාගත් රතු පල්ලිය ලෙස සිංහලෙන් ද දෙමළ බසින් සම්මන් කෝඩු පල්ලිය ලෙස ද හඳුන්වනු ලබන ඉන්දු-සැරසෙනික් ශෛලියට අනූව ඉදි කරන ලද අල්-මස්ජිද් අල්-ජමයිඋල් අල්ෆර් (Al – musjid – Al – jamiul Alfar) නම් (මස්ජිද් යනු පල්ලිය වේ. ජමයිඋල් යනු දිනපතා පස් වතාවක් ආගම ඇදහීමට සහ සිකුරාදා ‘ජුම්මා‘ ලෙස හඳුන්වන සියලු දෙනා එකතු වී ආගම ඇදහන පල්ලියක් යන අරුත වෙයි. අල්ෆාර් යනු සාර්ථකත්වයි) වූ ඉස්ලාම් පල්ලිය මැලේසියාවේ ක්වාලාලම්පූර්හි ජාමෙක් මුස්ලිම් පල්ලිය සිහිගන්වයි (එකම කාලයකදී ඉදිකරන ලදි). එමෙන්ම ටව්න් හෝල් හි පිහිටි 1906 දී ඉඳිකළ පැරණි ඇස්වාට්ටු රෝහල් කොටසට ද සමානකම් කියයි. අධික කාර්යබහුල ඝෝෂාකාරී මෙරට වෙළෙඳ අගනගරය වූ කොළඹ පිටකොටුවේ කෙලින් වීදියේ පිහිටා ඇති මෙම දේවස්ථානය තුළට පිවිසි විට බාහිර පරිසරයෙන් සම්පූර්ණයෙන්ම ඈත් වූ ස්වාභාවයක් පෙන්නුම් කරයි.

අතීතයේ ශ්‍රී ලංකාවේ වෙළඳ කටයුතුවල යෙදී සිටි ඉන්දියානු මුස්ලිම් වෙළඳුන්ට නිතර වෙළෙඳ කටයුතු වෙනුවෙන් ගැවසෙන කොළඹ වරාය ආසන්නයේ තම ආගම ඇදහීමට ස්ථානයක් නොවීය. එබැවින් ඔවුන් තම ධනය වැය කොට තම ආගම ඇදහීමට පල්ලියක් ඉදි කිරීමට සැලසුම් කළ අතර එහි සැලසුම්කරු සහ ඉදිකිරීම්කරු වූයේ එච්.එල් සයිබෝ ලෙබ්බේ නැමැත්තෙකි. 13-14 වන සියවස්වල සිටම ඉන්දියානු මුස්ලිම්වරු මෙරට වෙළඳ කටයුතු සඳහා පැමිණියත් 18 වන සියවස අවසානයේ සහ 19 සියවස ආරම්භයේ යෙමෙන් ජාතික අරාබීන්ගෙන පැවත එන ගුජරාට මුස්ලිම්වරු මෙහි පැමිණිය. පිටකොටුවේ වෙළඳ ආධිපත්‍ය කෙටිකලකින් සියතට ගත් ඔවුහු වෙළඳ කාර්යයට සමගාමීවම ආගම් ඇදහීම සඳහා වෙළඳ ස්ථානය අසලම පල්ලියක් ඉඳිකර ගැනීමට පෙළඹී ඇත. බෝහ්රාවරු ලෙස පොදුවේ හඳුන්වනු ලබන ඔවුන් තමන්ටම වෙනම පල්ලියක් ඉදිකිරීමේ අරමුණින් රතු පල්ලිය ඉඳි කිරීමට 1900 දී පමණ ආරම්භ කර ඇත. මෙම පල්ලිය ඉඳිකළේ අදිරයි සිට බෝට්ටු මගින් කොළඹ වෙළඳාම් කිරීමට පැමිණි පිරිසක් යැයි ද සඳහන්. අදටත් මෙම පල්ලියේ භාරකාර මණ්ඩල සාමාජිකයන් ඉන්දියාවේ චෙන්නයි ආශ්‍රිත අදිරයි ප්‍රදේශයට අයත් පිරිසක් වීම මෙම මතය ශක්තිමත් කරයි. බෝහ්රා ස්ථම්භයක් සහිතව දෙමහල් ගොඩනැගිල්ලක් ලෙස 1908 දී ආරම්භ කර පළමුව බිම් මහල ද ඉන් පසු පළමු මහල ද පසුව බෝහ්රා ස්ථම්භය සහ පල්ලියේ කොත ද ඉදිකර 1909 වසරේදී වැඩ වසන් කර ඇත.

මෙය ස්වදේශික ඉන්දු ඉස්ලාමික සහ ඉන්දියානු ගෘහ නිර්මාණ ශිල්පයේ අංග උකහා ගත් දෙමුහුන් ශෛලියක් වූ ඉන්දු – සැරසෙනික් ශෛලිය හා වික්ටෝරියානු බ්‍රිතාන්‍යයේ ගොතික් පුනර්ජීවනය සහ නව සම්භාව්‍ය ශෛලීන් සමඟ ඒකාබද්ධ වූ ස්වරූපයකින් නිර්මාණය වූවක් යැයි ඇතැමුන්ගේ මතයයි. ඉතාමත් විශ්මිත ගෘහ නිර්මාණ ශිල්පයකට අනුව ඉදිකර තිබෙන රතුපල්ලිය ස්පාඥ්ඥයේ කුර්තුබා මස්ජිදයේ අද්විතීය බවටත් සමානකම් කියයි. මෙරට තිබෙන සෙසු සියලු පල්ලිවල ගෘහ නිර්මාණයට වඩා වෙනස් ආකෘතියක් හා ස්වභාවයක් ගන්න රතු පල්ලියේ මිනාරත් ආදී කොටස් කිහිපයක පර්සියානු ආභාෂයන් දැකි ය හැකිය. එවැනි ලක්ෂණ සහ රතු පල්ලිය ආකාරයේ වර්ණ භාවිතයක් එම පල්ලිය ඉඳිකල කාලයේ සහ වර්තමානයේ සෙසු පල්ලිවල දැකිය නොහැකි ය. එහෙත් මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර ප්‍රදේශයේ පමණක් රතු පල්ලියට සමාන ගෘහ නිර්මාණ ශිල්ප හා වර්ණ භාවිතයෙන් යුත් එක් පල්ලියක් දැකිය හැකි ය.

පල්ලිය ඇතුලතින් බිම් මහල සහ පළමු මහල වහලට සම්බන්ධ කරන ඇති දැවැන්ත කණු හතර බැගින් කණු අටක් තනි තේක්ක දැව භාවිත කරමින් සාදා ඇති අතර ඒ සඳහා එක කණුවට එක තේක්ක ගස බැගින් යොදාගෙන තිබේ. එමෙන්ම මෙම පල්ලියේ අනෙකුත් දැවමය කොටස් සහ සියලුම ගෘහ භාණ්ඩ ද තේක්ක දැවයෙන් නිර්මාණය කර ඇති ඒවා වේ. රතු පල්ලියේ කොත සාම්ප්‍රදායික හැඩයෙන් (ළූණු ගෙඩියක හැඩයෙන්) බැහැරව දෙලුම් ගෙඩියක හැඩයට නිර්මාණය කර ඇත. මුල් කාලයේ දී හත්සියයක පමණ බැතිමතුන් පිරිසකට පල්ලිය ඇතුළෙ එකවර යාඥා කරන්න පහසුකම් තිබී ඇති අතර 1975 දී හාජි උමර් භාරයේ සහාය ඇතිව යාබද දේපල ගණනාවක් මිල දී ගෙන මෙම පල්ලියෙහි ධාරිතාව 10,000 දක්වා වැඩි කිරීම සඳහා පල්ලිය පුළුල් කිරීම ආරම්භ කර ඇත. පසුව ශත වර්ෂයකට ආසන්න කාලයක් ගත වූ විට එනම් 2007 වසරේ දී පල්ලියේ වර්තමාන අනිකුත් ඉදිකිරීම් ගොඩ නංවා ඇත. වර්තමානයේ රතු පල්ලිය මහල් හයකින් යුක්ත විදුලි ආලෝකයෙන් සැරසූ අලංකාර දේවස්ථානයක් වන අතර කොත් හතක් නිර්මාණය කොට ඇත. ඒ අතර කුලුණු ලෙස දිස්වන ප්‍රාසාද (minarets) 49 ක් තිබේ. මුලු පල්ලියටම රතු සහ සුදු වර්ණයන් පමණක් ආලේප කොට ඇති අතර දෙකට කැපූ දෙලුම් ගෙඩියක මැද කොටස පෙනෙන සේ හැඩයන් දිස්වන මෝස්තරයකට අනූව කොටු (checked), දැති (jagged), ඉරි (striped) සහ සර්පිලාකාර (spiral) කියන මෝස්තර හතරක් සහිත (කැරකෙන හෝ සර්පිලාකාර හෝ ප්‍රත්‍යාවර්ත) විස්තීර්ණ ඉරි රටාවන් ගෙන් යුතුව පින්සල් භාවත කරමින් පමණක් මෙම පල්ලිය වර්ණ ගන්වා ඇත.

අද ඉතාමත් කාර්යබහුල පිටකොටුවේ ඕනෑම විථියක සිට බලන්නෙකුට රතු පල්ලියේ උස්ව පිහිටා ඇති කොත් සහ පල්ලියේ ඔරලෝසු දැක ගත හැකිය. අතීතයේ කොළඹ වරාය බලා පැමිණෙන නැව් නිවැරදි දිශාවට එල්ල තියන්න තෝරාගෙන ඇත්තේ රතු පල්ලිය මත බවත් කියවේ. ඈත මුහුඳ සිට බලන්නෙකුට පෙනෙන අයුරින් පල්ලියේ ආලේප කර තිබෙන වර්ණයත් උස්ව පිහිටීමත් ඒ සඳහා මහෝපකාරි වන්නට ඇතැයි සිතිය හැකි ය.

පල්ලියේ මහල් හය තුළම තියෙන ශාලාවන් යාඥා මෙහෙයන් සඳහා භාවිත කරන අතර වර්ග අඩි 50,000ක් පුරා පැතිරී ඇති මෙම පල්ලිය තුළ එකවර බැතිමතුන් 16,000 කට ආගමික වතාවත්වල යෙදීමට හැකියාව පවතී. ලංකාවේ මුස්ලිම් දේවස්ථාන අතරින් වඩා විශාලම දේවස්ථානය ලෙස මෙය හඳුන්වන අතර එකවර වැඩිම පිරිසක් ආගමික වතාවත් උදෙසා සහභාගී වන මුස්ලිම් දේවස්ථානය ද මෙය බව කියැවේ.

මෙම මුස්ලිම් දේවස්ථානය ඕනෑම කෙනෙකුට නැරඹීමට අවස්ථාව හිමි වන අතර කාන්තාවන්ට ද සංචාරකයින් ලෙස ඇතුළු වීමට අවසර හිමි ව ඇත. ආගමික චාරිත්‍රයන් ට ගරු කරමින් හිසකෙස් සහ පාද ආවරණය කර ගැනීම නරඹන්නන්ගේ යුතුකමකි. (කාන්තාවන් අත් ආවරණය කිරීම ද කළ යුතුය.) පල්ලියේ ආරක්ෂාව සහ බැතිමතුන් ගේ පහසුව උදෙසා මෙම දේවස්ථානයට පිවිසීමට ඇති මාර්ග දෙකෙන් පල්ලියේ මිදුලට වාහන ඇතුළු කිරීම තහනම් කොට ඇත. යාඥා මෙහෙයන් පවත්වන වේලාවන් සහ සිකුරාදා දිනයන් වලදී හැර මේ සඳහා උදේ 10ත් දහවල් 12 ත් අතර කාලයේ මෙහි සංචාරකයන් සඳහා ඇතුළු විය හැකිය.

ශ්‍රී ලංකාවේ මුස්ලිම් දේවස්ථාන අතරින් වඩා ලස්සනම දේවස්ථානයක් වූ මෙය වර්තමානයේ යුනෙස්කෝ ලෝක උරුම ස්මාරකයක් ලෙස නම් කොට ඇති අතර මෙම දේවස්ථානය මෙරට ආගමික සංහිඳියාව ඇති කිරීමට හේතු වනු ඇතැයි විශ්වාස ය.

සංස්කරණය සකීෆ් සාම්.

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *