පවුල් සබඳතා හා මානසික සෞඛ්‍ය
පවුලක් යනු සමාජයේ කුඩාම ඒකකය ලෙස සඳහන් කළ හැකි ය. එනම් පවුල් කිහිපයක් එකතුවෙමින් සමූහයක් සෑදේ. එහිදී මෙම කුඩාම ඒකකය සවිමත් නම්, සමාජය ශක්තිමත් වෙයි. පවුලක් සෑදෙන්නේ කාන්තාවක් හා පිරිමියෙක් එක්ව කුටුම්බ ජීවිතයක් ඇරඹීමට එක වහලක් යටතට පැමිණීමෙන්. මෙම පවුල් සංස්ථාව කාලයෙන් කාලයට විවිධ අභියෝගවලට බඳුන් වෙමින් ඉදිරියට යයි. ඉස්සර කාලේ ආච්චි සීයා, නැන්දා මාමා යැයි විස්තෘත පවුලක් ව ජීවත් වුවත් වර්තමාන ආර්ථික සමාජ වෙනස් වීම සමඟ න්‍යෂ්ටික පවුල් බිහි වීම දැකගත හැකි ය. මව, පියා හා දරුවන් පමණක් සිටින පවුල් වැඩිවීමත් සමඟ සමාජ ගැටලුවල ස්වභාවය ද වෙනස් වී ඇත.
ආර්ථික උද්ධමනය හා තරඟකාරීත්වය නිසා බිරිඳ හා සැමියා යන දෙදෙනාම රැකියාවක නිරතවීමට සිදුවීම, මේ නිසා දරුවන්ගේ මානසික යහපැවැත්මට බලපෑමක් ඇති වීම දැක ගත හැක. එමෙන්ම සමාජ මාධ්‍ය භවිතය ඉහළ යෑමත් මේ පවුල් ගැටලු වඩාත් සංකීර්ණ කර තිබේ.
අල්-කුර්ආනයේ අල්ලාහ් පවසන පරිදි විවාහ සබඳතාව යනු ආශීර්වාදාත්මක සහ දිව්‍යමය භාග්‍යයකි: “භාර්යායාවන්ව ඔබ ඔවුන් වෙත හිත සුව ලැබීම පිණිස ඔබගෙන්ම ඔහු නිර්මාණය කර, ඔබ අතරේ ආදරය ද කරුණාව ද ඇති කර තිබීම ද, ඔහුගේ සාධකයන්ගෙන් ඇති දැයයි. සිතා වටහා ගත හැකි ජනතාවට මෙහි ද නියත වශයෙන්ම බොහොමයක් සාධකයන් ඇත.” (අල්කුර්ආන් පාඨ 30:21)
එනම් විවාහය පිරිමියෙකු සහ ගැහැණියක අතර ආදරය, කරුණාව, රැකවරණය ලෙන්ගතුකම ආදී බොහෝ දේවල් ලැබීමට අවස්ථාව විවර කරන බව පැහැදිලි ය. එහෙත් විස්තෘත විවාහක පවුල්වල ගැටලු පැනනැගෙමින් තිබේ. වෛවාහකයන් අතර එසේ ගැටලු නිර්මාණය වීමට හේතු රැසක් තිබුණත් ඉන් ප්‍රධාන හේතු කිහිපයක් මෙසේ සැකවින් හැඳින්විය හැකි ය.
සන්නිවේදනය දුර්වලතා:
සාර්ථක සහ ප්‍රීතිමත් විවාහ ජීවිතයක් සඳහා ඵලදායී සන්නිවේදනය මූලික අංගයක්. එහෙත් අඹු සැමියන් කෝපයෙන් සිටින විට හෝ දෙදෙනා අතර ආරවුලක් ඇති වී තිබෙන විටෙක සන්නිවේදනය බිඳවැටීම සාමාන්‍යයි. එවන් අවස්ථාවල හැඟීම් බෙදාහදා ගැනීම වෙනුවට ඇඟිල්ල දිගු කිරීමට සහ චෝදනාත්මක භාෂාවක් භාවිත කිරීමට පටන් ගනී. එපමණක් නොව විවාහ වී කාලයක් යන විට අඹූ සැමියන් අතර ඇතිවන කතා බහ ඉතාමත් කෙටි වෙයි. වගකීම් සහ අවශ්‍යතාවන් සඳහා පමණක් කතා කරනු ලැබේ. එහෙත් සහකරු නොවන සෙසු මිතුරන් සමඟ ආදරයෙන් සහ ලෙන්ගතුකමින් කතා කරනු දැකිය. මෙවැනි සන්නිවේදන දුර්වලතා අඹුසැමියන් අතර දුරස්ථභාවය වර්ධනය කරයි
ගෘහස්ථ හිංසනය
අධික කෝපය හේතුවෙන් ගෘහස්ථ හිංසනයන් සිදු වී විවාහ ගණනාවක් දික්කසාදයෙන් අවසන් වී තිබේ. විවාහක යුවල් අතර සහකරුවා කෝපයෙන් සිටින විට ඔවුන්ගේ හැසිරීම කෙබඳු ද ඔවුන් සමඟ හැසිරිය යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව නිවැරදි දැනීමක් නොමැතිකම නිසා පවුල් ජීවිතය දෙදරා යයි. කෝපය පාලනය කළ හැකි හැඟීමකි. වරෙක මිනිසෙක් මුහම්මද් තුමාණන් වෙත පැමිණ, “මට උපදෙස් දෙන්න!” යැයි විචාලේය. එතුමා ඔහුට පැවසුවේ “කෝප නොවන්න” කියාය. එම පුද්ගලයා එම ප්‍රශ්නයම කිහිප වතාවක්ම ඇසූ අතර නබි (සල්) තුමා සෑම අවස්ථාවකදීම පැවසුවේ “කෝප නොවන්න”යනුවෙනි. (නබිවදන් ග්‍රන්ථය – බුහාරි)
විශ්වාසය නොමැතිකම:
විශ්වාසය යනු යුවළක් එකට සම්බන්ධ කරන තන්තුවයි. විශ්වාසය ගොඩනඟා ගැනීමට මුලු ජීවිත කාලයම ගත වන නමුත් විශ්වාසය නැමැති මෙම සියුම් නූල බිඳී යාමට එක් නිමේෂයක් පමණක් සෑහේ. සහකරුගෙන් යම් යම් දේවල් වසන් කිරීම, බොරු කීම, ඕපාදූප කීම, සහකරු හෝ සහකාරියට බැන වැදීම, පුද්ගලික තොරතුරු අන් අය සමඟ බෙදා ගැනීම, යන සියල්ල එකිනෙකාගේ විශ්වාසය නැති කර දැමීමට දායක වේ.
දුරාචාරය
මෙය ඇත්තෙන්ම බරපතල ප්‍රශ්නයක් බවට පත්වෙමින් තිබේ. අපි ජීවත් ශ්‍රී ලාංකේය පරිසරය වේගයෙන් පිරිහෙමින් පවති. දුරාචාරය සාමාන්‍යකරණය වීම දුර්භාග්‍යමත් තත්වයක්. දුරාචාරය ඉස්ලාම් ධර්මය සලකන්නේ මහා පාපයක් ලෙසිනි. සූරා නූර්හි අල්ලාහ් ඒ පිළිබඳව ඉතා පැහැදිලිව සඳහන් කරයි.
(දීන වූ) අපචාරයේ යෙදෙන පිරිමියෙකු (තමන් මෙන්) අපචාරයේ යෙදෙන ගැහැනියෙකු, නැතහොත් සමානයන් තබා නමදින ගැහැනියෙකු මිස, (වෙන කිසිවෙකු) විවාහ කර නොගන්නේය. (එසේම) අපචාරයේ යෙදෙන ගැහැනියක් (දීන වූ) අපචාරයේ යෙදෙන පිරිමියෙකු, නැතහොත් සමානයන් තබා නමදින්නෙකු මිස, (වෙන කිසිවෙකු) විවාහ කර නොගන්නීය. මෙවැනි විවාහය විශ්වාසයවන්තයි-න්ට තහනම් කර ඇත්තේය. (24:3)
වෛවාහක ජීවිතයේ දී අඹු සැමියන් දෙපල අතරත් ගැටුම් ඇති විය හැකිය. අඹුසැමියන් අතර පවතින ප්‍රශ්න වහාම විසඳා ගත යුතු අතර, එය වෛවාහක යුවලකට ප්‍රීතිමත්, දිගුකාලීන විවාහය ජීවිතයක් ගත කිරීමට අවකාශය උදා කරයි. වෛවාහක ගැටුම් අවම කිරීම ක්‍රම කිහිපයක්:
- විවාහය සුරකින්න
ස්වාමිපුරුෂයා සහ භාර්යාව යන දෙදෙනාම ස්වයං විවේචනයක යෙදී ගැටලුවට මුහුණ දිය යුත්තේ එකම චේතනාවෙනි: එනම් විවාහය සුරැකීමේ අරමුණින් ය. අඹු සැමි දෙදෙනාම එකම දිශාවකට ගමන් කරන්නේ නම්, ගැටුම් නිරාකරණය පහසු වනු ඇත. ඔබ යමක් කිරීමට සූදානම් වන්නේ නම් ඔබලා දෙදෙනා ගැන පමණක් නොව විශේෂයෙන්ම ඔබේ දරුවන් ගැන සිතන්න.
- විවාහයක් ප්‍රීතිමත්ව තිබිය යුතුය
වෛවාහක සතුට දිගුලීන පැවැත්මට දිනපතාම කිසියම් පියවරක් ගත යුතුයි. දිනපතාම සහකරු කෙරෙහි උනන්දුව සහ අවධානය ලබා දීම වැදගත් ය පවුල් ආරවුලක අවසාන විසඳුම වන දික්කසාදයෙන් මිදී සිටීමට සෑම කෙනෙකුම මෙබව මතක තබා ගත යුතුය. කිසිවකු තම ආත්මාර්ථකාමිත්වයෙන් තමන් නිවැරදි යැයි සිතා සහකරු හෝ සහකාරිය වැරදි යැයි සිතිය යුතු නොයුතු ය. කැප කිරීම් කිරීමට නොව, එකිනෙකා සතුටින් සිටීම පිණිස දෙදෙනෙකු සෑම දෙයක් පිළිබඳවම එකඟතාවයකට හා සම්මුතියකට එළඹිය යුතුය. ඒ හැරත් දික්කසාදයට යාම අතිශය හානිකර තීරණයකි. දික්කසාදය පිළිබඳ ඉස්ලාමීය ස්තාවරය මෙම උපුටනින් වටහාගත හැකි ය.
“මුහම්මද් නබිතුමා පැවසුවේ, අල්ලාහ් ඉදිරියෙහි නීත්‍යානුකූල දේවලින් අතුරින් වඩාත්ම පිළිකුල් සහගත දෙය දික්කසාද වීමයි.” (නබි වදන් ග්රන්ථා – සුනන් අබූදාවුද්) එබැවින් දික්කසාදයට අවසර ඇතත්, හැකි උපරිමයෙන්, මුස්ලිම්වරු ඉන් වැළකී සිටීමට උත්සාහ ගත යුතුය.
- ඔබ විවාහ වීමට හේතු වූ කරුණු නැවත සිතා බලන්න.
විවාහයක් තුළ ගැටුම් ඇති වන සෑම විටම, ඔබ ඔබේ සහකරු සමඟ විවාහ වීමට තීරණය කිරීමට හේතු වූ කරුණු පිළිබඳව නැවත සිතා බලන්න. මේ මොහොතේ ජීවිතය දුෂ්කර විය හැකි වුවත්, ඔබ දෙපල එකිනෙකා සමඟ ආදරයෙන් බැඳී සිටි අවස්ථා ගැන මතක් කර බැලීමෙන් විවාහ ජීවිතයේ අර්ථය පිළිබඳව ඔබට පැහැදිලිව අදහසක් ලැබීමට ඒවා මහෝපපකාරී වනු ඇත.
- දරුවන් වෙනුවෙන් සෑම දෙයක්ම කරන්න
ඔබට දැනටමත් දරුවන් සිටී නම්, ඔබ කරන සෑම දෙයක්ම ඔබේ දරුවන් වෙනුවෙන් විය යුතුය. ඔබේ මමත්වය නිසා දරුවන්ගේ ජීවිතය අඳුරට ඇද දමා ඔවුන් ව පීඩාවට පත් නොකරන්න. ඔවුන් ගැන සිතා සියල්ල තීරණය කරන්න. ඔබේ සතුටට වඩා ඔබේ දරුවන්ගේ සතුට වැදගත් සාධකයක් කරගන්න.
- ඔබේ සහකරු හෝ සහකාරිය හොඳින් දැන හඳුනා ගන්නෙ
යම් පුද්ගලයෙක් තම සහකරු හෝ සහකාරිය දැනටමත් තේරුම් ගෙන ඇත්නම් ඉදිරියේ දී ඔවුන්ව වඩාත් හොඳින් තේරුම් ගැනීමට අපේක්ෂා කරන්නේ නම් ඕනෑම ගැටලුවක් පහසුවෙන් විසඳෙනු ඇත. සහකරුට කෘතවේදීත්වය දැක්වීම, සහකරුවන්ගේ ක්‍රියාවන්ට ප්‍රශංසා කිරීම වැන කුඩා දේවල් බැඳීම් ශක්තිමත් කිරීමට සමත් ය. විවාහ ජීවිතය ආරම්භයේ බිරිඳ හෝ සැමිය ඔබ වෙනුවෙන් කරන සෑම දෙයක්ම ඔබට විශේෂයක් වනු නියතය. ඒ සම්බන්ධයන් ඔබ ප්‍රීති වනු ඇත. එහෙත් කල් යත්ම ඔබේ සහකරු ඔබ වෙනුවෙන් කරන දේවල් ගැන ඔබ කිසිඳු හැඟීමක් අගය කිරීමක් දැනෙන්නේ නැ. එහෙත් ඔබේ සහකරු ඔබෙන් ඒ දේවල් නිතර බලාපොරොත්තු වන බව සිහි තබා ගැන්න. එනිසා ඔබේ සහකරු ඔබ වෙනුවෙන් කරන සෑම දෙයක් සඳහා ස්තූතියි කීමට වග බලාගන්න. ස්තුවන්තවීම නොවීම කොතරම් බැරෑම් ද යන්න පහත නබිවදනින් ඔබට පැහැදිලු වනු ඇත.
ජනයාට කෘතවේදී නොවන්න දෙවියාට ද කෘතවේදී නොවන්නේ ය. (නබිවදන් ග්රන්ථ – අබූදාවුද්)
- මතභේදයට ඔබේ ආදරය අභිබවා යාමට ඉඩ නොතබන්න.
ඔබේ සහකරු හෝ සහකාරිය ඔහුගේම හෝ ඇයගේම සිතුවිලි සහ අදහස්වලින් සැදුනු සම්පූර්ණයෙන්ම වෙනස් තැනැත්තෙකි. විවාහයක එකිනෙකාගේ මතවලට ගරු කිරීම සහ ඒවා අවශ්‍ය අවධානය ලබාදීම තුළ සාර්ථකත්වයට ළඟා විය හැකි යන්නෙහි තර්කයක් නැත.
- ඔබේ කතා විලාශය ආචාරශීලීව තබා ගන්න
ගැටුම කෙතරම් දරුණු වුවත්, භේදය උග්රවීම වළක්වා ගැනීම සඳහා ඔබේ කතා විලාශය පාලනයක් ඇතිව පවත්වා ගැනීම අතිශය වැදගත් ය. සෑම ක්‍රියාවක්ම අල්ලාහ් නිරීක්ෂණය කරමින් සිටින බව සිහියට ගන්න, මෙවන් කටුක අවස්ථාවක දී පවා ඉවසීමෙන් කටයුතු කළ නිසා ඔබට විශාල ආනිශංස හිමි විය හැකිය. උණුසුම් බහින්බස් වීමක දී ඔබ ඔබේ සහකරුට එල්ල කළ වදන් නිසා ඇති වන තුවාලය ජීවිතයම ගෙවී ගියත් එය සුව වීමට කාලය ප්‍රමාණවත් වන්නේ නැත. උඔබේ සහකරු හෝ සහකාරියට කිසිඳු වරදක් සම්බන්ධයෙන් කෑගැසීම හෝ දොස් පැවරීම සිදු නොකරන්න. නබි (සල්) තුමාණෝ වරක් මෙසේ පැවසූහ.
“තමා නිවැරදි වුවත් වාද කිරීම අත්හරින ඕනෑම කෙනෙකුට ස්වර්ගයේ නිවසක් සඳහා මම පොරොන්දු වෙමි.” (අබු දාවුද්)
- කොන්දේසි විරහිත ආදරය පෙන්වන්න
මතභේද යනු ඕනෑම සම්බන්ධතාවයක දි සාමාන්‍ය අංගයක්, නමුත් කෙතරම් විශාල ගැටුමක් ඇති වුවත්, කිසිවෙකු තම සහකරුට ඇති ආදරය හා ගෞරවය කිසි විටෙකත් නැති කර නොගත යුතුයි. දුෂ්කරම අවස්ථාවන්හිදී පවා එකම මට්ටමේ ආදරය පවත්වා ගන්න උත්සහ කරන්න, කෝපය ඉක්මනින් පහව යන ආකාරය ඔබට පෙනෙනු ඇත.
“යහපත් චරිතයට වඩා බරින් වැඩි කිසිවක් තුලාවේ තබා නැත. ඇත්තෙන්ම යහපත් චරිතයක් ඇති පුද්ගලයා සව්ම් උපවාසයේ යෙදෙන්නාගේ සහ සලාත් යාඥ්ඥාවේ යෙදෙන්නාගේ තැනැත්තාගේ තත්වයට ළඟා වන්නේ ය.” (තිර්මිදි)
වෙන්වීමේ බිහිසුණු ප්‍රතිවිපාක සහ දරුවන්ට ඇතිවන මානසික බලපෑම ගැන කිසිවකු නොසිතන තරමට අද සමාජය පිරිහී ඇත. විවාහ ජීවිතය සාර්ථකව ගෙවා දැමීමට ප්‍රමාණවත් මග පෙන්වීම් ආගම් දහම් තුළින් පෙන්වා දුන්නත් ඒවා පිළිනොපැදීම තුළ අසාර්ථක පවුල් සංස්ථා බිහිවීමත්, පවුල් සංස්ථා අසාර්ථක වීම නිසා වැන්දඹුවන් ප්‍රමාණය ඉහළ යාමත්, වීථී දරුවන්ගේ සහ අනාථ දරුවන්ගේ ප්‍රමාණයක් ක්‍රමයෙන් වැඩිවීමත්, ඒවා සමාජ රැසකට මුලපිරීමත් අපේ සමාජය තුළ දෛනිකව දක්නට ලැබෙන අවාසනාවන්ත දර්ශනයන් ය.
සැකසුම – සකීෆ් සාම්.