වැඩි ලාභ ලැබීමට භාණ්ඩ සැඟවීම සාධාරණ ද?
වර්තමාන ශ්‍රී ලාංකේය ජනසමාජය තුළ සාමාන්‍ය ජනයා මුහුණ දෙමින් සිටින ප්‍රධාන ගැටලුවක් වනුයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ දැරිය නොහැකි මිළකට ඉහළ ගොස් තිබීම ය. එක් අතකින් නිෂ්පාදන අඩුකම, ප්‍රාග්ධන පිරිවැය වැඩිවීම ආදිය භාණ්ඩ මිල ඉහළ යාමට හේතු වී තිබෙන අතර අනෙක් පසින් භාණ්ඩ සැඟවීම් නිසා ද මිළ ඉහළ ගොස් තිබේ.
දෛනිකව බස් රථවලත්, වැඩපලවලත්, ජනරාශීන් සිදුවන ස්ථානවලත් අඩු හා මධ්‍යම ආදායම්ලාභීන් මැසිවිලි නගන්නේ ‘බඩු මිල ගිනි ගණං මහත්තයෝ, කන්න බොන්න විදිහක් නෑ, ගෙදර ඉන්න කිරිකැටියෝ බඩගින්නේ අඬනවා දකිද්දි බඩ පපුව පිච්චිලා යනවා, අහස උසට බඩු මිළ ගණං ගිහින් තියෙන්නේ, ලොකු ලොකු ව්‍යාපාරිකයෝ බඩු හංගන නිසානේ’ ආදි වශයෙන්.
ඔවුන්ගේ මෙම මැසිවිලි සාධාරණ ය. ඊට පදනමක් ද තිබේ. ඉකුත් මාසයේ සීනි මිල දෙගුණ වූයේ සීනි ආනයනය කරන සමාගම් හතරක ගබඩාවලින් සීනි කිලෝ ටොන් ලක්ෂණ 29ක් පමණ වටලනු ලැබීය. එම සමාගම් ඒවා වෙළඳපොලට නිකුත් නොකළ නිසා සීනි හිඟයක් ඇති විය. එමෙන්ම හාල් සම්බන්ධයෙන් ද එවැනිම සිද්ධියක් සිදු විය. දැන් ඉතිහාසයේ නොතිබූ මිලකට වෙළඳපළේ හාල් මිල වාර්තා වෙයි. ව්‍යාපාරීකයන්ගේ මෙම කූඨ ක්‍රියාව වඩාත් අමානුෂික වනුයේ වසංගතයකින් හෙම්බත් වූ, ආර්තිකය කඩා වැටුනු තත්වයක මිනිසුන් සූරා කෑමට තැත් කරන නිසාය.
ව්‍යාපාරිකයන්ගේ කූඨ ක්‍රියා
නූතන නව ලිබරල්වාදී ආර්ථිකය තුළ ව්‍යාපාරිකයන්ගේ සදාචාරය පිරහී අවසන්. අධික ලාභය පමණක් අරමුණු කරගන්නා ඔවුහු අත්‍යාවශ්‍ය ආහාර භාණ්ඩ පවා සඟවා තබති. එලෙස කෘත්‍රීතමව බඩුමිල ඉහළ යාමක් හෝ භාණ්ඩ හිඟයක් ඇති කර වැඩි මිලකට ඒවා විකිණීමට කටයුතු කරති. එනම් නිත්‍යානුකූල නොවන ක්‍රමයට මුදල් උපයති. ඔවුන්ගේ මෙම ක්‍රියාකලාපය මානුෂ විරෝධීය, සදාචාර විරෝධීය, ආගම් විරෝධීය. සියලු ආගම් මෙවන් සූරා කෑම් අනුමත නොකරයි. විශේෂයෙන් ඉස්ලාම් ධර්මය ව්‍යාපාර ගණුදෙනුවල යෙදිය යුතු ආකාරය පිළිබඳව සවිස්තරාත්මක මාර්ගෝපදේශයක් සපයා තිබේ. ඉස්ලාමීය ගණුදෙනු නීතිය අනුව අත්‍යඅවශ්‍ය භාණ්ඩ සඟවා තැබීමත් කෘත්‍රීමව ඉල්ලුමක් ඇති කිරීමත් හා භාණ්ඩ හිඟයක් නිර්මාණය කිරීමත් තහනම් ය. නීතියෙන් හරාම් ය.
“කවුරුන් මිල ඉහළ නැවීම පිණීස බඩු (අලෙවි නොකොට) සඟවා තබන්නේ ද, ඔහු වරදක් කළ තැනැත්තෙකු බවට පත්වේ.” (මස්ලිම්)
සමාජය සෑම සාමාජිකයෙක්ම අනෙක් සාමාජිකයා මත යැපෙයි.
තනි තනි පුද්ගලයන්ගෙන් සැදුම්ලත් මෙම සමාජයේ, එක් පුද්ගලයෙකු තව පුද්ගලයෙකුගෙන් ස්වායක්තව ජීවත් විය නොහැකි ය. සියලු දෙනා එකිනෙකාට සහසම්බන්ධ ය. එනිසාම කෙනෙකුගේ අවශ්‍යතා සපුරා ගැනීමට තව කෙනෙකු මත යැපීමට සිදු වේ. ව්‍යාපාර හා ගණුදෙනු සමාජයක තිබෙන්නේ සමාජයේ සිටින සෑම පුද්ගලයෙකුම එකිනෙකා ප්‍රයෝජනයක් ලැබිමට ය. නිෂ්පාදකයා, අතරමැදියා, බෙදාහරින්නා, අලෙවිකරු, පාරිභෝගිකයා යන දාමයම ව්‍යාපාර තුළින් ඵල ප්‍රයෝජන ලබයි.
අලංකරණය, ආහාර පාන, ඇඳුම් පැලඳුම් ආදී සෑම ක්ෂේත්‍රයක්ම නිෂ්පාදන හා කර්මාන්ත මිනිස් අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් තිබේ. ඉස්ලාම් ධර්මය මේ ගණුදෙනු ක්‍රියාවලියේ එකිනෙකා අතර සාධාරණ සම්බන්ධතාවයක් ගොඩනැගීමට පිළිපැදිය යුතු නීතිරීති මාලාවක් ඉදිරිපත් කර තිබේ. එම නිති හා පිළිවෙත් ව්‍යාපාරිකයාගේ අයිතිය මෙන්ම පාරිභෝගිකයාගේ අයිතිය ද ආරක්ෂා වන පරිදි හා සමාන වෙළඳපල තරඟයක් නිර්මාණය වන පරිදි සකස් වී ඇත.
සුපිලිපන් ව්‍යාපාරයකට
ව්‍යාපාර සම්බන්ධව ඉස්ලාමයේ ස්ථාවරය ගත්කල පොදුවේ නිෂ්පාදකයන්ට සහ ව්‍යාපාරිකයන්ට තම ව්‍යාපාර නිදහසේ කළ හැකි අවස්තාව සලසා දී තිබේ. එහෙත් එහි යම්යම් සීමා ද පනවා ඇත. එම සීමා තිබෙන්නේ පොදුවේ මිනිසුන්ට සිදුවන හානි වළකා ලීමටය. එහෙයින් ඉස්ලාමයේ සීමාවන්ට යටත්ව ක්‍රියා කළ යුතුයි. ඉස්ලාමයේ මෙවැනි නීති රීති, මග පෙන්වීම නොපිළිපදින විටක සිදු වන්නේ අලාභයක්, අහිමිවීමක්. මෙය තනි පුද්ගලයකුගේ හෝ සමාජයේ පරිහානියට හේතු විය හැක. උද්ධමනය ඉහළ යාම, මන්ද පෝෂණය ඇති වීම, සොරකම සහ අපරාධ වැඩිවීම ප්‍රතිපල ලෙස බලපෑ හැකි ය.
එවැනි සුපිලිපන් මගපෙන්වීම් පිළිනොපැද්ද නිසා නිර්මාණය වූ සමාජ අර්බුදයකට කාලීන නිදසුනක් ලෙස මයික්‍රෝ ක්‍රඩිට් හෙවත් ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය පෙන්වා දිය හැකිය. ඉස්ලාමය පොලිය තහනම් කර තිබෙන්නේ ඉන් සමාජයට සිදුවිය හැකි බලපෑම නිසාය. බුදුදහම ද පොලිය ප්‍රවර්ධනය කරන්නේ නැත. මෙලෙස පොලිය තහනම් කර තිබියදීත් මයික්‍රෝ ක්‍රඩිට් යන අපූරු නමකින් නව ණය ක්‍රමක්ය තුන්වන ලෝකයේ රටවල්වලට හඳුන්වා දුන්හ. එම ණය වැඩි වශයෙන් ලබා ගැනීමට පෙළඹුණේ ගෘහණියන්. නමුත් ඔවුන්ට ඒවා නැවත ගෙවාගත නොහැකි විය. ණය නොපියවීම නිසා සමාගම් විසින් එල්ල වුණු පීඩනයන් නිසා සිය දිවි හානි කරන තත්වයට ඔවුහු පත්වූහ. තවත් පිරිසක් ලිංගික හිංසනයන්ට ද ලක් වූහ. ඉඩම් හා කෘෂිකර්මාන්ත ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයට (Movement for Land and Agricultural Reform – MONLAR) අනුව මෙතෙක් ශ්‍රී ලංකාවේ 200 දෙනෙකුට වැඩි දෙනෙක් ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා සියදිවි නසාගෙන තිබේ.
වසංගතය නිසා සූරා කෑම තීව්‍ර වී ඇත.
සමාජයට හෝ පුද්ගලයන්ට සිදුවිය හැකි හානි අවකිරීමට හා වැළැක්වීමට ගණුදෙනු සම්බන්ධයෙන් ඉස්ලාමය යම් යම් දේවල්වලින් වළකින ලෙස පෙන්වා දී ඇත. එසේ පෙන්වා දුන් මඟපෙන්වීම් අතර භාණ්ඩ සඟවා තැබීම පිළිබඳ නීතිය කාලීනව සකච්ඡාවට බඳුන් කළ යුතු පැතිකඩකි. මන්දයත් කොරෝනා ව්‍යසනයත් සමඟ ව්‍යාපාරිකයෝ පාරිභෝගිකයා සූරාකෑමට විවිධ දේවල් කරමින් සිටින බැවිනි. පසුගිය වසර (2020) මාර්තු මාසයේ මෙරට පළමු කොරෝනා රැල්ල ආරම්භ වීමත් සමඟ රුපියල් 15ක විකුණුම් මිලක් සහිත මෙඩිකල් මාස්ක් රුපියල් 150කට විකුණනු ලැබුණි. සුලු පිරිවැයකින් නිෂ්පාදනය කළ සැනිටයිසර් අධික මිලකට විකුණනු ලැබුණි. රට අගුලු දැමීමෙන් පසු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආදිය ජංගම රථවලින් දෙගුණයක මිලකට විකුණනු දක්නට ලැබුණි. තනි පුද්ගලයෙකුගේ වාසිය තකා භාණ්ඩ රැස්කර තැබීමත් මිල ඉහළ දැමීමත් නිසාත් සිදු වන්නේ බොහෝ දෙනෙකු දුෂ්කරතාවයටත්, පීඩාවටත් පත්වීමයි. වසංගතයක් තිබිය දී භාණ්ඩයේ වටිනාකම මෙන් දෙගුණයක් දුප්පතුන්ට ගෙවීමට සිදුවීම මොනතරම් අපරාධයක් ද.
“අල්ලාහ්ගේ දූතයාණෝ (ﷺ) මෙසේ පැවසූහ: පව්කාරයෙක් මිස අන්කිසිවෙක් බඩු මිල ඉහළ යන තුරු ඒවා රඳවා නොගනී.” (සුනන් අබී දාවුද් – 3447)
කෙනෙකු තම ව්‍යාපාරවලින් ලාභ ලැබීම සම්බන්ධයෙන් ඉස්ලාමය සීමා පනවා නැත. එසේ සීමා නොපනවා තිබුණත් ගණුදෙනවල දී සදාචාර විරෝධීව කටයුතු නොකළ යුතුය. එසේ කිරීම උද්ධමනයට හේතු විය හැකිය. මෙය සමාජයටම අහිතකරය. එනිසා සීමා පනවා නොතිබුණත් මේ මොහොතේ ලැබෙන වාසියට වඩා පරලොව ජීවිතයේ හිමිවීමට නියමිත යහපත සලකමින් වැඩ කරන මෙන් ඉස්ලාමය ව්‍යාපාරිකයන් උත්සුක කරයි. “සත්‍යවාදී ව්‍යාපාරිකයෙකු තම ජයහග්‍රහණය ලෙස නැවත නැගිටුවනු ලබන විනිශ්චය දිනයේ දී නැගිටුවනු ලබන්නේ අල්ලාගේ දූතවරු, අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පිදූ අය හා යහකම් කළ අය සමඟ ය” යනුවෙන් නබිතුමාණෝ ප්‍රකාශ කළහ. (තිර්මිදි – 1209) එබැවින් නිෂ්පාදකයෝ සහ ව්‍යාපාරිකයෝ සාධාරණ ලාභයක් තබා ගනිමින් භාණ්ඩ විකිණීම හොඳය. එමගින් ඔවුන්ට දේව ප්‍රසාදය දිනාගත හැකි ය. සැබවින්ම සාධාරණ නිෂ්පාදකයෝ ව්‍යාපාරයේ ලාභය මෙන්ම අලාභය ද සතුටින් භාර ගනිති.
භාණ්ඩ සැඟවීම අපරාධයක්
“භාණ්ඩ ගබඩා කිරීම” පිළිබඳ විවිධ මත දරන්නන් සිටිති. ඉස්ලාමයේ යම් යම් භාණ්ඩ ගබඩා කිරීමට අවසර ඇතැයි ඔවුන්ගේ මතයයි. අත්‍යවශ්‍ය භාණ්ඩ වන හාල්, පිටි, සීනි, තෙල්, සැනිටයිසර්, මුහුණු ආවරණ සහ ඖෂධ යනාදිය හිඟ කාලවලදී වැඩි මිලකට අලෙවි කිරීමේ අරමුණින් ගබඩා කිරීම හරාම් සහ මහා පාපයකි. මෙම අපරාධය සිදුකරන්නන්ට මොලොව දි මෙන්ම පරලොව දී විපාක විඳන්නට සිදුවනු ඇතැයි අනතුරු හඟවා තිබේ.
නබි (ﷺ) තුමා පවසා ඇත්තේ “මුස්ලිම්වරුන්ගෙන් (ජනතාවට නොදී) ආහාර ගබඩා කරන කවරෙකු වුවත් ඔහුට අල්ලාහ් ලාදුරු රෝගය හා දුප්පත්කමින් පීඩා කරන බව”යි. (සුනන් ඉබ්නු මාජා – 2155) තවත් වරෙක නබි (ﷺ) පවසුවේ “යමෙකු අධික මිලක් ලබා ගැනීමේ ආශාවෙන් දින හතළිහක් ධාන්‍ය රඳවා තබාගන්නේ නම් අල්ලාහ් ඔහුව අතහැර දමන්නේ ය.” (හකිම් – 4880)
එසේ නම් නිෂ්පාදනය, බෙදාහැරීම සහ විකිණීමේ ක්‍රියාවලියට සම්බන්ධ කිසිවෙකුට භාණ්ඩ සැඟවීමක් කිරීමට ඉස්ලාමය අනුමත නොදෙයි. පශ්චාත් කොවිඩ් යුගයේ ආර්ථික පීඩනයෙන් හෙම්බත් වී සිටින ජනතාව තලා පෙලා සූරා නොකා ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යායුතු වේ. මේ සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන් තුළ ස්වයං විනයක් ඇති කරගත යුතුය. නීතිය මගින් ද යම් යම් ක්‍රියාමාර්ග මේ වනවිටත් ගෙන ඇති අතර ව්‍යාපාරික පාර්ශවය එම නීතීන්ට අනුකූලව කටයුතු කළ යුතුය.
භාණ්ඩ රැස්කර තැබීම අනුමත අවස්ථා මොනවා ද?
කොන්දේසි තුනක් යටතේ භාණ්ඩ රැස්කර ගබඩා කර තැබීම අවසරය. අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ගයක් වුවත් මිනිසුන්ට එම භාණ්ඩයක් අවශ්‍ය නොවන අවස්ථාවක වෙළෙන්දන්ට එය එය රැස්කර ගබඩා කර තැබිය හැකිය. උදාහරණයක් ලෙස වී නිෂ්පාදනය ඉහළ ගොස් වී අතිරික්තයක් තිබිය දී ඒවා රැස්කර ගැනීම අනුමතය. එමෙන් මිනිසුන්ට අවශ්‍යතාවක් පැනනැගුණු විටෙක ඔවුන්ටම එම අවශ්‍යතාව සපුරා ගැනීමට හැකි ස්වයං පෝෂිත තත්වයකත් තිබෙන විටත් භාණ්ඩ රැස්කර තැබීමට අවසරය ඇත. එමෙන්ම සාමාන්‍ය තත්වයක, වෙළඳපොලට නිතර යාම වලක්වා ගැනීමේ වුවමණාව ඇතිව තම පවුලේ අනාගත පරිභෝජනය සඳහා භාණ්ඩ ගබඩා කර තැබීමත් නීත්‍යානුකූලය. නමුත් කිසිසේත් ඒ භාණ්ඩ වැඩි මිලකට විකිණීමේ අදහසක් නොතිබිය යුතු ය. මෙවැනි අවස්ථාවන් හැර අත්‍යවශ්‍ය භාණ්ඩ රැස්කිරීම තහනම් ය.
සමස්ථයක් ලෙස ගත් කළ ඉස්ලාමීය ගණුදෙනු පිළිබඳ නියමයන් තුළ, අයුක්තිය, වංචාව, අධික ලාභ ඉපයීම හෝ හරාම් දෙයක් ප්‍රවර්‍ධනය කරන ව්‍යාපාර හැර අන් කිසිදු වෙළඳාමක් තහනම් නොකරයි. ඉස්ලාමය විසින් යෝජනා කරනුයේ, දූෂණය හා අයුක්තිය පාලනය කිරීම සඳහා සුළු රාජ්‍ය මැදිහත් වීමක් ද සහිත නිදහස් වෙළඳ ආර්තිකයක් තිබිය යුතු බවයි. එමෙන්ම වෙළෙන්දන් සහ ව්‍යාපාරිකයන් අතර ස්වයං විනයක් තිබිය යුතු බවත් ය.