තිරසාර සංවර්ධනය යාථාර්තයක් කර ගැනීමට අලුත් කියවීමක්.
තිරසාර සංවර්ධනය පිළිබඳ නූතන යෝජනාව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් 2015 දී යෝජනා කරනු ලදුව රටවල් 193ක් විසින් පිළිගෙන තිබේ. 2030 වර්ෂය වන විට අප සපුරා ගත යුතු ගෝලීය තිරසාර සංවර්ධන අභිමතාර්ත (Sustainable Development Goals -SDGs) 17ක් ද යෝජනා 169ක් සහ දර්ශක 244ක් එහි ඇතුළත් වේ. 2030 වසර වන විට දුප්පත්කම තුරන් කිරීම, අසාමානතාව හා අසාධරණත්වයට එරෙහිව සටන් කිරීම, කාලගුණික වෙනස්කම් ජයගැනීම ඉන් අරමුණු කරයි. (1)
මූලිකව SDGs හි මිනිසාගේ යහපැවැත්ම අරඹයා අභිමතාර්ත 17ක් තිබේ. මිනිස් සංවර්ධන ප්‍රවේශයට අනුව, SDGsහි අවසාන ඉලක්කය, මිනිසා සහ සංවර්ධනයත් මිනිසාගේ යහපැවැත්මත් ය. (2) SDGs අඩංග අංග අතුරින් සංවර්ධන අභිමතාර්ත 07ක්, මිනිසාගේ යහපැවැත්ම අවසාන අරමුණ ලෙස ගෙන තිබෙන අතර සෙසු ඒවා එම අරමුණු වෙත ළඟා වන මාධ්‍යයන් වේ. (3)
නව ආර්ථික සංකල්ප ඉතා වේගයෙන් පරිසරයටත් සමාජයටත් දරුණු විනාශයන් ගෙන දුන්නේ ය. නමුත් ඒ මේ ගැටලුව සඳහා ප්‍රායෝගික, සාධනීය පාරිසරික හා සාමාජීය විසඳුමක් ඉදිරිපත් වී නොමැති තත්වයක් තුළ SDGs පිළිබඳ අවසන් යෝජනාව ඉදිරිපත් විය. තිරසාර සංවර්ධනය පිළිබඳ සංකල්පය 1970 දශකය සිට අවස්ථා රැසක එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අවධාරණය කරමින් සිටිය ද එය තවමත් යථාර්තයක් කරගැනීමට අසමත් වී ඇත. පවතින නව ආර්ථික ප්‍රතිපත්තීන් හා තිරසාර අභිමතාර්ත අතර ඝට්ටණයක් තිබෙන බැවින් සහ එම අභිමතාර්ත ආධ්‍යත්මික පාර්ෂවය මුළුමනින්ම අත්හැර තිබීම ප්‍රධාන හේතු සාධකයයි. මන්ද මෙම පාරිසරික ගැටලුවට විසඳුම පවතින්නේ ආධ්‍යාත්මිකත්වය සහ මානවයාගේ අභ්‍යන්තරයේ කරනු ලබන වෙනස්කම් තුළයි.
ඉස්ලාමීය සංකල්ප රාමුව.
සංවර්ධනය සහ දියුණුව පිළිබඳ සංකල්ප රඳා පවතින්නේ මානව පරමාදර්ශයන් විසින් හැඩගස්වා තිබෙන මිනිසුන් විසින් පිළිගත් වටිනාකම් පද්ධති මතය. (4) ඉස්ලාමීය දෘෂ්ටිය තුළ මිනිස් ජීවිතයට අරමුණක් තිබේ. සංවර්ධනය මැනිය හැක්කේ මෙම අරමුණෙහි දර්ශනය තුළ සිටයි. අල් කුර්ආනය පහත දැක්වෙන වාක්‍යන් තුළින් එම අරමුණු ගොඩනගයි. “මාව නැමදීමට මිස ජින්වරුන්ව ද, මිනිසුන්ව ද මා නිර්මාණය කළේ නැත.”(5), “මා භූමියෙහි නියෝජිතයා (කලීෆා) නිර්මාණය කිරීමට යන්නෙමි” (6), “අවසාන වශයෙන් නැවත යා යුත්තේ ඔබගේ දෙවියන් වෙතයි.” (7)
ඉහත වැකි තුන මිනිසාගේ මෙලොව ජීවිතයේ අරමුණු ලෙස දෙවියන්ට වන්දනාමාන කිරීම හා මතුලොව බලාපොරොත්තුවෙන් භාරකාරත්ව වගකීම දැරීම බව විග්‍රහ කරයි. නූතන ලෞකික සංවර්ධන පරමාර්ත මෙන් නොව ඉස්ලාමීය සංවර්ධනය අධ්‍යාත්මික වශයෙන් පිරුපුන් වන අතර එය ද්‍රව්‍ය පරිභෝජනය හෝ රැස් කිරීම ගැන පමණක් නොසලකයි. (8)
ඉස්ලාමීය දැක්මෙන් සංවර්ධනය.
ඉස්ලාමීය සංවර්ධනය වූ කලි මානව චිත්ත පවිත්‍රතාවය (තස්කියා) තුළින් සදාචාරාත්මක (අහ්ලාක්) වර්ධනය කරගැනීමක් බව සඳහන් කරයි. චිත්ත පවිත්‍රතාවය යනු මනසේ හට ගන්නා තන්හාව, ක්‍රෝධය, වෛරය, මසුරුකම ආදී දුර් ගතිපැවතුම් ඉවත්කර පරාර්තකාමීත්වය, ඉවසීම, ලද දෙයින් සතුටු වීම වැනි යහගුණ රෝපණය කිරීම වේ. දිව්‍යමය මාර්ගෝපදේශ මගින් මිනිස් ක්‍රියාවන් හැසිරවීම සහ අභ්‍යන්තර වශයෙන් මානව චරිත ලක්‍ෂණ නිවැරදි කිරීම හා පිරිසිදු කිරීම තුළින් එය විදහා දක්වයි. තස්කියාව තුළින් මිනිසාට දේව ප්‍රසාදය හිමි කර ගත හැකි ය. “කවුරුන් තමන්ව පරිශුද්ධ කර ගත්තේ ද, ඔහු නියත වශයෙන්ම මෙලොව සහ පරලොව ජයග්‍රහණය කළේය.” (9) අල් කුර්ආනය සාර්තකත්වය මෙලෙස පවිත්‍රත්වය සමඟ සම්බන්ධ කර පෙන්වයි. “කවුරුන් පරිශුද්ධවන්තයෙකු වන්නේ ද, ඔහු නියත වශයෙන්ම ජයග්‍රහණය කළේය.” (10)
තිරසාර සංවර්ධනයට මංපෙත්.
මිනිසා විසින් ස්වාභාවික සම්පත් පරිහරණය කිරීමේ දී වර්තමානයේ අධික ප්‍රතිලාභ ලබා ගැනීම උදෙසා අනාගතය නොතකා ප්‍රමාණය ඉක්මවා පරිසරය සූරා කෑමෙහි නිරත වේ. එනිසා ඒ ආශ්‍රිතව පාරිසරික ගැටලු පැන නැඟුනි. එබැවින් තිරසාර සංවර්ධනය යන සන්දර්භය තුළ අල්-අහිරා (පරලොව) සහ මආද් (අල්ලාහ් වෙත නැවත යෑම) යන සංකල්ප ද වැදගත් ය. ඉස්ලාමීය දෘෂ්ටිය තුළ පරිභෝජනය වැඩි නොකිරීම සහ ධනය අධිකව රැස් කිරීම වෙනුවට, ආශාවන් හා පරිභෝජනය අඩු කරන ලෙස නිර්දේශ කරයි. එමගින් දිගු කාලීනව ප්‍රතිලාභ ලබා ගැනීම වෙනුවෙන් කෙටි කාලීන වර්තමාන පුහු ප්‍රතිලාභ කැප කරන ලෙස නිර්දේශ කරයි.
දෙවියන්ගේ මැවීම්වල එකමුතුව හා සමගිය (Harmony) හඳුනාගැනීම සහ දෙවියන්ගේ නියෝජිතයා (භාරකරු) වීමේ වගකීම්සහගතබව මිනිසා හඳුනා ගැනීම ඔහු මිහිතලය මත ඉතා සැහැල්ලුවෙන් ජීවත් වීමට උත්තේජනයක් ලබා දෙයි. එමෙන්ම මිනිසුන් අතර සහජීවනයෙන් ජීවත් වීමටත් ස්වභාවික පරිසරය සමග සහජීවනයෙන් ක්‍රියා කිරීමටත් උත්තේජනය කරයි. කෙසේ වෙතත් මින් ඇඟවෙන්නේ ඉස්ලාමීය චින්තනය, තපස් හෝ පැවිදි ජීවතයකට යන ලෙස හෝ පෘථිවියේ හා මානව සමාජයේ සංවර්ධනය දිරිමත් නොකිරීමක් ලෙස නොවේ. මුස්ලිම්වරු මෙලොව හා පරලොව යන දෙකෙහිම යහපත සොයති. අල්කුර්ආනයේ මගපෙන්වීම වන්නේ, “අල්ලාහ් ඔබට ලබා දී ඇති දැයෙන් පරලොව නිවහන (යහපත්ව) සොයා ගනු. මෙලොව ඔබගේ කොටස බව ඔබ අමතක කර නොදමනු! අල්ලාහ් ඔබට යහපත කළ ආකාරයට ඔබත් යහපත කරනු. (11)
මිනිසාගේ වගකීම
ඉස්ලාමයට අනුව විශ්වය අල්ලාහ් විසින් නිර්මාණය කර තිබෙන්නේ නිශ්චිත අරමුණක් උදෙස් නිශ්චිත කාලාපරාසයක් සඳහා ය. ස්වභාවික සම්පත් (නිඅමතුල්ලාහ් – අල්ලාහ්ගේ දායාද) මිනිසා වෙනුවෙන් ආයෝජනය කළ පූජනීය භාරයන් වේ. මිනිසා හුදෙක් ඒවායේ කලමණාකරුවෙකු මිසක ඒවායේ හිමිකරුවා නොවේ. එමෙන්ම ඒවායේ ප්‍රතිලාභියා මිසක ප්‍රතිලාභ සපයන්නා නොවේ. ඒ අතරම කුර්ආනයේ මුස්ලිම්වරුන්ට යොදා තිබෙන්නේ (උම්මතන් වසතා) මධ්‍යස්ථ සමාජයක්, සියලු දේවල්හි සීමාව ඉක්මවා යාමෙන් වැළකුනු සමාජයක් ලෙසයි.
මේ අනුව, විශේෂයෙන් මුස්ලිම්වරු මෙම මහපොළොව ඉතා වගකීම්සහගතව තම යහපත උදෙසා භාවිත කළ යුතු ය. එමෙන්ම මැනවින් එය සංරක්‍ෂණය කර, සැලකිල්ලෙන් හා මධ්‍යස්ථව භාවිත කර මතු පරපුරට හොඳ තත්වයෙන් භාර දිය යුතු ය. එහි සුන්දරත්වය අගය කිරීමත් සහ එය භාර දීමත් අල්ලාහ්ට කරන වන්දනාමානයක්මය.
සම්පත් භාවිතය
ගොඩබිම, ජලය, වාතය, ගින්න (බලශක්තිය), වනාන්තර, සාගර යන සියළුම ස්වාභාවික සම්පත් භාවිතය සමස්ත මානව වර්ගයාගේම අයිතියක් ලෙසත් සහ පොදු දේපලක් ලෙස සැලකේ. මන්දයත් මිනිසා පෘථිවියේ කලීෆතුල්ලා (අල්ලාහ්ගේ නියෝජිතයා – භාරකරු) බැවිනි. මිනිසාට පිරිනමා තිබෙන කොටස මතු පරම්පරාව සමඟ හවුලේ භාවිත කළ යුතු බැවින් සහ අන් අයගේ අයිතිය සහ ආශාවන් ආරක්ෂා කිරීම උදෙසා තම ස්වාමියාගේ සෑම පූර්ව ආරක්ෂණ විධිවිධානයක්ම සැලසා එය සුරැකිය යුතු වේ.“අල්ලාහ් ඔබට යහපත සැලසූ පරිදිම ඔබත් යහපත සලසන්න. භූමියෙහි ඔබ අපරාධ කිරීමට කැමති නොවනු! මන්දයත් අපරාධකාරයින්ව නියත වශයෙන්ම අල්ලාහ් කැමති වන්නේ නැත” (12)
ජලය ආදි ස්වභාවික සම්පත් නාස්තියත් අල්කුර්ආනය වළක්වයි. “ඔබ අනුභව කරනු. පානය කරනු. එහෙත් අපතේ නොහරිණු. මන්දයත් නියත වශයෙන්ම අල්ලාහ් අපතේ හරින්නන්ව ප්‍රිය කරන්නේ නැත.” (13) “සීමාව ඉක්මවා නාස්ති කරන්නන්ගේ අණට ඔබ යටත් නොවනු. ඔවුන් භූමියෙහි අපරාධ කරන්නන් මිස, හොඳක් නොකරන්නාහ”(14) මහපොළොව නිසි පරිදි සකස් කළ පසු එහි අපරාධයන් කරමින් නොහැසිරෙනු. (15)
තිරසාර සංවර්ධනයට ආධ්‍යාත්මක් මගපෙන්වීම අවශ්‍ය ඇයි?
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ඉදිරිපත් කරන තිරසාර සංවර්ධන අභිමතාර්ත උදෙක්ම භෞතික අරමුණු මත පදනම් වූවකි. එහෙත් ඉස්ලාමය සංවර්ධන සංකල්පය ආධ්‍යාත්මික විෂයට සම්බන්ධ මානව චර්යාවන්, ආකල්පයන් හා බැදුනු කරුණක් බව ඉහත සඳහන් කුර්ආන ඉගැන්වීම්වලින් පැහැදිලි වේ. පාරිසරක හා ජෛවී සහයෝගීතාව, සුරක්ෂිතතාව, හරපිරිමැස්ම, නාස්තිය අවම කිරීම ආදී SDGs අභිමතාර්ත ප්‍රමාණාත්මකව කුරාන සහ හදීස් ඉගෙන්වීම මගින් සාකච්ඡා වී තිබේ. ඉස්ලාමීය නීති මගපෙන්වීම් මගින් තනි පුද්ගලයාට සහ රාජ්‍ය පාලනයට මිනිසුන් අතර සහ ජීවින් අතර සහජීවන සහයෝගීතාව, තිරසාර මානව සංවර්ධනය ඇති කිරීමට ප්‍රමාණවත් ශක්තිමත් හා ප්‍රයෝගික පදනමක් ලබා දී තිබේ. නමුත් මෙම ලිපිය ආරම්භයේ සඳහන් කළ පරිදි එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් තිරසාර සංවර්ධනයට ආධ්‍යාත්මික ප්‍රවේශයක් ලබා නොදීම ගෝලීයව මෙම සංකල්පය සාර්ථක නොවීමට හේතුවී ඇත.
නව මනස වෙබ් අඩවියේ පළ කරනු ලබන තිරසාර සංවර්ධනය පිළිබඳ මෙම පළමු හැඳින්වීම් ලිපිය මගින් සංවර්ධනය, තිරසාර සංවර්ධනය සහ ඉස්ලාමීයේ සංකල්ප රාමුව තුළ සංවර්ධනය කවරෙක් ද යන්න සැකෙවින් අධ්‍යනය කළෙමු. ඉදිරි ලිපි මගින් තිරසාර සංවර්ධන අභිමතාර්ත 17 පිළිබඳව එකින් එක ගැඹුරින් අධ්‍යනය කිරීමටත් අපි අපේක්ෂා කරමු. එහිදී සමාජීය දැක්මෙන් සහ ඉස්ලාමීය දැක්මෙන් එම අභිමතාර්ත සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ. ප්‍රයෝගිකව තිරසාර සංවර්ධන පරමාර්තවල අනුගත වීමට අවශ්‍ය ආධ්‍යාත්මක මගපෙන්වීම ලබා දීමටත් අපේක්ෂා කරමු.
සටහන – සකීෆ් සාම්
- UNDP, 2015. Sustainable Development Goals.
- Harry. (2015) Human Development from Global Discourse to Local Action.
- Salih, Mohomded Shyukri, 2015. A New Approach for Sustainable Development Goals in Islamic Perspective), Indonesia.
- Zamaan Azaad, Qadir Junaid, Sustainable Development Viewed from The Lens of Islam,Pakistan.
- අල්කුර්ආනය (51:56)
- අල්කුර්ආනය (2:30)
- අල්කුර්ආනය (53:42)
- Qadir, J., 2017. The Islamic Worldview and Development Ideals.
- අල්කුර්ආනය (91:9)
- අල්කුර්ආනය (87:14)
- අල්කුර්ආනය (28:77)
- අල්කුර්ආනය (28:77)
- අල්කුර්ආනය (7:31)
- අල්කුර්ආනය (26:151-152)
- අල්කුර්ආනය (7:56)