කලාව

ඉංග්‍රීසීන්ගේ බෙදා වෙන්කර පාලනය කිරීමේ ප්‍රතිපත්තිය ජාතීන් අතර බෙදීම් තීව්‍ර කළේය.

ඉංග්‍රීසීන්ගේ බෙදා වෙන්කර පාලනය කිරීමේ ප්‍රතිපත්තිය ජාතීන් අතර බෙදීම් තීව්‍ර කළේය.

ලන්දේසී පාලනය යුගය ස්වදේශිකයන්ට පෘතුගීසි පාලනයට වඩා පීඩාකාරී එකක් විය. ඉගුරු දී මිරිස් ගත්තා වගේ යන ප්‍රස්ථා පිරුළ නිර්මාණය වී තිබෙන්නේ ඒ වග ඇඟවීමට ය. පෘතුගීසි පාලනයේ අවසාන භාගය වන විට යුරෝපයේ සිදුවෙමින් තිබුණු බල තුළනයත් සමඟ යටත් විජිත අල්ලා ගැනීමේ තරඟයේ ඉදිරියෙන්ම සිටියේ ප්‍රංශය සහ මහා බ්‍රිතාන්‍යයි. මේ අධිරාජ්‍යයන් දෙකම ලන්දේසි ලංකාව ගැන අවධානය යොමු කර තිබුණු අතර උඩරට රජු මුණගැසීමටත් තැත් කළහ. 1757 සිට පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම යටතේ පාලනය වූ ඉන්දියාව ඉන්දියානු උපමහද්වීපයේ සෙසු ප්‍රදේශ ද වෙළඳ සමාගමට ඈඳා ගැනීම කෙරෙහි උපක්‍රම යොදමින් තිබුණිහ. 1762 දී ජෝන් පයිබස් ලංකාවට පැමිණෙන අතර ගන්නෝරුවේ දී උඩරට රජුගේ නියෝජිත උදුමාන් ලෙබ්බේව මුණ ගැසීම සිදු විය. 

ලන්දේසීන් සමඟ අමනාපයෙන් සිටි උඩරට රජු ඉංග්‍රීසීන් සමඟ ලිපි හුවමාරු කරගත්ත ද ඉංග්‍රීසීන් සහ ලන්දේසීන් අතර තිබූ අවබෝධතා ගිවිසුමක් හේතුවෙන් ලන්දේසී යටත් විජිත අල්ලා ගැනීමට මුලදී ඉංග්‍රීසීන් උත්සහ නොගත්හ. 1782 කාලය වන විට ත්‍රිකුණාමලය වරාය අල්ලා ගැනීමට ප්‍රංශය සමත් විය. ලන්දේශී යටත් විජිත ප්‍රංශය අතට පත්වීමට පෙර බ්‍රිතාන්‍ය හිතවාදීන් ලන්දේසි රාජාණ්ඩුවාදීන්ට බ්‍රිතාන්‍යය කිව් මාලිගාවේ ආරක්ෂාව දී ඕලන්ද කපිතාන් ජනරාල් හා අද්මිරාල්වරයෙකුගෙන් ලිපියක් ලබා ගත්හ. එයින් සියලු ඕලන්ද යටත් විජිත බ්‍රිතාන්‍යයට පවරා දෙන ලෙස ආණ්ඩුකාරවරුන්ගෙන් සහ සේනාධිපතිවරුන්ගෙන් ඉල්ලා සිටිනු ලැබුණි. ඒ අනුව ලංකාව ඇතුලු ලන්දේසි යටත් විජිත බ්‍රිතාන්‍ය අතට පත්විය. 1796 වන විට ලංකාවේ මුහුඳුබඩ ප්‍රදේශ බ්‍රිතාන්‍ය පාලනයට නතු විය. 1796 සිට 1802 දක්වා පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම යටතේ මෙරට පාලනය වී 1802න් පසු ඍජුව කිරීට පාලනයට යටත් කරනු ලැබුණි.

ලිබරල් ධනවාදී ආර්ථිකය ප්‍රවර්ධනය කළ ඉංග්‍රීසීන් නිදහස් වෙළඳාමට බාධා නොකළහ. වෙළඳපල තරඟයට ඉඩහැර නිදහස් ව්‍යාපාර දියුණු වීමට අවශ්‍ය පසුබිම් සකස් කළහ. ප්‍රවාහන පහසුකම් දියුණු කළහ. මහා මාර්ග ඉදිකළහ. ඔවුන්ගේ මෙම ප්‍රතිපත්තිය මුස්ලිම්වරුන්ගේ සිත් ඇදගැනීමට සමත් විය. පෘතුගීසීන් සහ ලන්දේසීන්ගේ තාඩන පීඩනයන්ට ලක්වූ මුස්ලිම්වරුන්ට අහිමි වී තිබූ ව්‍යාපාරික අවස්ථා නව ඉංග්‍රීසි පාලනයත් සමඟ උදා වී ඇතැයි සිතූහ. මුස්ලිම්වරු උද්‍යෝගයෙන් ව්‍යාපාරික කටයුතු සිදු කළහ. ආනනය අපනයන වෙළඳාම, තොග සහ සිල්ලර වෙළඳාම, මැණික් ව්‍යාපාර, මුතු කිමිඳීම, ඉදිකිරීම් ආදි ක්ෂේත්‍ර වෙත මුස්ලිම්වරු යොමු වූහ. පුරා දශක තුනක් අහිමි වූ වෙළඳ නිදහස ඉංග්‍රීසීන් ලබා දීම නිසා වෙරළබඩ මුස්ලිම්වරු ඉංග්‍රීසීන්ට පක්ෂපාතිත්වයක් දැක්වූහ. වෙරළබඩ ප්‍රදේශයේ වෙළඳුන් ආරක්ෂා කිරීම තම වගකීමක් ලෙස ඉංග්‍රීසී බලධාරීන් සැලකූහ.

උඩරට ආක්‍රමණය කිරීමට ඉංග්‍රීසීන් ගත් උත්සාහය දෙවරක් ආසර්තක වුවත් රොබර්ට් බ්‍රවන්රිග් 1815 උඩරට ආක්‍රමණය කිරීමට මූලික හේතුවක් ලෙස දක්වන්නේ උඩරටට පිවිසි වෙළඳුන් චරපුරුෂ සේවයේ පැමිණි බවට සැක කර කන් හා නාස් කපා දැමීමට පළි ගැනීමක් ලෙසිනි. ඇත්තෙන්ම ජෝන් ඩොයිලි විසින් උඩරට ප්‍රදේශයේ ඔත්තු බැලීමට ඇතැම් මුස්ලිම්වරු චරපුරුෂයන් ලෙස යොදාගත්තේය. උඩරට වාසය කළ මුස්ලිම්වරුන්ගේ පක්ෂපාතීත්වය ඉංග්‍රීසීන් වෙත දිනාගැනීම සඳහා ඩොයිලි විසින් ‘ආසන’ නම් මැලේ මුහන්දිරම්වරයෙකු යොදා ගත්තේ ය. එමෙන්ම ඔහු ඉතා සූක්ෂම ලෙස උඩරට සිංහල රදලයන් සහ රජු අතර භේදයක් ඇති කර උඩරට පාලනය දුර්වල කිරීමට සමත් විය. ඇහලේපොල මහාදිකාරම්ගේ ද සහාය ඉංග්‍රීසීන් ලබාගැනීමට සමත් වූහ. ඒ අනුව 1815 මාර්තු මස තුන්වන දින උඩරට ගිවිසුම අත්සන් කරමින් මුලු දිවයිනම සිය පාලනය යටතට ගැනීමට ඉංග්‍රීසීන් සමත් වූහ.

මෙහි ද, ඉන්දියාවේ දී මෙන්ම මුස්ලිම්වරු බ්‍රිතාන්‍යයන්ගේ අතෙහි බල සම්පන්න ආයුධයක් වූහ. මහනුවර රජුගේ බල පරාක්‍රමය සහ බලපෑම රහසින් දුර්වල කිරීම සඳහා තම වාසියට යොදාගත හැකි මිතුරෝ වූහ. මුස්ලිම්වරුන්ට අදාළ වන නීති සුරක්ෂිත කරමින් ආණ්ඩුකාර ප්‍රෙඩ්රික් නෝර්ත් විසින් නිකුත් කරන ලද 1799 ප්‍රකාශනය සහ 1806 දී ක්‍රියාත්මක කෙරුණු මහම්මදු නීති සංග්‍රහය, මුස්ලිම්වරුන්ට වෙනම අනන්‍යතාවක් ඇතැයි ඔවුන්ට ඒත්තු ගැන්වීමට දරණ ලද ප්‍රයත්නයක් විය. (1) ඒ වන තෙක් මුස්ලිම්වරු ස්වදේශිකයන් ලෙස සිංහල පෙදෙස්වල සිංහලයන් සමඟත් දමිළ ප්‍රදේශයන්වල දමිළයන් සමඟ එක්ව වාසය කළහ. මේ ඉංග්‍රීසීන්ගේ බෙදා වෙන්කර පාලනය කිරීමේ පළමු උත්සාහයයි. ඒ සඳහා ඉංග්‍රීසීන් ඉත්තන් කරගත්තේ මුස්ලිම්වරුන් ය.

ශ්‍රී ලංකාවේ දී ද බ්‍රිතාන්‍ය ප්‍රතිපත්තියෙන් අපේක්ෂිත ප්‍රතිපල අත්විය. සිංහල රාජ වංශය පැවැති තාක් කල් මුස්ලිම්වරු එයට දැඩි වශයෙන් පක්ෂපාත මිතුරන්ව සිටියහ. එහෙත් 1815 දී බ්‍රිතාන්‍යයන් කන්ද උඩරට අල්ලා ගත් පසු, මුස්ලිම්වරු බ්‍රිතාන්‍යයන්ගේ පැත්ත ගැනීමට නැඹුරු වූහ. බ්‍රිතාන්‍යයන් විසින් දෙන ලද නොයෙකුත් දිරි ගැන්වීම් ඊට අඩ වශයෙන් හේතු වූ බැව් සැබෑ ය. එය මුස්ලිම්වරුන් ඊට ඉහත දී විදේශීය බලවතුන් වෙත දැක්වූ ආකල්පයට ඉඳුරා වෙනස් වූවකි. මේ විදේශීය බලවතා සම්පූර්ණ ජයග්‍රහණයක් ලබා සිටියා පමණක් නොව පූර්ණ ආඥාදායකයකු ද වූ බැවින් වෙන විකල්පයක් නොමැති වීම ඊට හේතු වූවා විය හැකි ය. (2)

උඩරට ප්‍රභූවරුන්ට පොරොන්දු වූ පරිදි ඉංග්‍රීසීන් බුදු දහම ආරක්ෂා නොකළහ. ප්‍රභූවරුන්ගේ ද බලතල අඩු කෙරුණි. මේ හේතූන් මත දැඩි ලෙස කලකිරී සිටි ප්‍රභූවරු ඉංග්‍රීසීන් විරුද්ධව කැරලි ගැසීමකට සූදානමින් සිටියහ. ඉංග්‍රීසීන්ට එරෙහි කැරැල්ලට ආසන්නම හේතුවක් බවට පත්වෙමින් ඉංග්‍රීසීන් විසින් ඌව වෙල්ලසට හජ්ජි මරික්කාර් නැමැති මුස්ලිම්වරයෙකු මුහන්දිරම් බවට පත් කිරීම සිදු විය. එම සිදුවීම ඉංග්‍රීසීන්ට එරෙහි ගරිල්ලා සටනක් ඇරඹීමට හේතු වූයේ සැබවින්ම සිංහල මුස්ලිම් විරෝධයක් නිසා නොව ඉංග්‍රීසීන් කෙරෙහි තිබූ වෛරය පිට කිරීමක් ලෙසිනි. ඒ බව ආචාර්ය කොල්වින් ආර් ද සිල්වාගේ විග්‍රහයෙන් පැහැදිලි වේ.

මුස්ලිම්වරුන්ට ඔවුන්ගේම ගම්මුලාදෑනීන් සිටිය ද පළාත භාර දිසාවගේ අධිකාරයට ඔවුන් යටත් වූ බැව් දක්නා ලදි. අනාදිමත් කාලයක සිට සිංහල ගැමියන් මෙන් මුස්ලිම්වරු ද දිසාවට බදු ගෙවූ අතර, ඔහුගේ අධිකරණ බලයට යටත් වූහ. බ්‍රිතාන්‍යයන් විසින් දක්වන ලද අනුග්‍රහය නිසා මුස්ලිම්වරු ඔවුන්ගේම අය අතරින් මුහන්දිරම් කෙනකු පත් කර ගැනීමට අවසර ඉල්ලා සිටියහ. ඒ ඉල්ලීමට ඉඩ දුන් ශ්‍රීමත් රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා බලගතු මුස්ලිම්වරයකු ඒ තනතුරට පත් කළේ ය. මුස්ලිම්වරු ඒ මගින් දිසාවට බදු ගෙවීමෙන් ගැලවුණා පමණක් නොව ඔහු ගේ අධිකාරි බලයට පිටුපෑමට ද සමත් වූහ. එතෙක් කල් ඇතැම් රදළ පවුල්වල අය පමණක් දැරූ තනතුරකට පත් කරනු ලැබූ නව නිලධරයා සමග ප්‍රධානියෝ සහ සිංහල වැසියෝ කුපිත වූහ. මෙතෙක් කල් සාමකාමීව එකට වාසය කළ ජනතාවක් අතර, පාලකයන් ගේ උපායශීලි කටයුතුවලින් ඉතා සියුම් ආකාරයෙන් භේදයක් ඇති වූ අයුරු මේ සිද්ධියෙන් පැහැදිලි වේ. (3)

එම පත් කිරීම සම්බන්ධයෙන් කලකිරී සිටි ජනතාවට නායකත්වය දෙමින් උඩරට ප්‍රභූවරු කැරැල්ලක් මෙහෙය වූහ. 1818 සිදු වූ එම කැරැල්ලේ දී ඉංග්‍රීසි ආණ්ඩුව මුස්ලිම්වරුන්ව ආරක්ෂා කරමින් ඉතා කෲර ලෙස කැරලිකරුවන්ව මර්ධනය කර දැමුවේ ය. එතෙක් විදේශ ආක්‍රමණයන්ට එක්ව මුහුණ දුන් සිංහලයන් සහ මුස්ලිම්වරුන් දෙකඩ කර දැමීමට තරම් මෙම සිදුවීම ප්‍රබල විය. තවදුරටත් මේ පැලුම් රේඛාව තීව්‍ර කරමින් ඉංග්‍රීසි ආණ්ඩුව සිංහල ජනයා රිදවමින් මුස්ලිම්වරු සම්බන්ධයෙන් සහනශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නට යෙදුණු බවත් ඔවුන්ගේ පහත සන්දේශයෙන් පෙනී යයි.

මේ පළාත්වල වාසය කරන මරක්කල ජනතාවගේ විශ්වාසය නොයෙකුත් අවස්ථාවලදී බ්‍රිතාන්‍ය ආණ්ඩුවට ලැබී ඇති හෙයින් ද, අදාළ ප්‍රදේශය කෙරෙහි අපගේ දැඩි සැලකිල්ල යොමු කිරීමෙන් පසුව, ඔවුන්ගේ ඒ පක්ෂපාතීත්වය ගැන අප නිසියාකාරව සැලකිලිමත් වූ බව ඔවුන්ට ඇඟවීමට අප කැමති හෙයින් ද, අපගේ මේ ප්‍රකාශනය උඩරට පළාත්වල ඒ ඒ දිස්ත්‍රික්කවල ප්‍රසිද්ධ කරනු ලැබූ දින සිට සහ පසුවත්, මේ රටේ මරක්කල වැසියෙකු සම්බන්ධයෙන් කවර ආකාරයේ හෝ කිසිදු අධිකරණ බලයක් උඩරට කවර හෝ ප්‍රධානයකු විසින් ක්‍රියාත්මක කිරීම නිත්‍යානුකූල නොවන බවත්, මෙයින් පසුව මරක්කල වැසියකු පාර්ශ්වයක් වන්නා වූ හැම සිද්ධියක දී ම සිවිල් සහ අපරාධ යුක්තිය පසිඳලීම, මින් පසුව විධිවිධාන කරනු ලබන ආකාරයෙන් යථා පරිදි බ්‍රිතාන්‍ය නිළධරයන් විසින් අපක්ෂපාතව ඉටු කළ යුතු බවත්, ඒ ඒ මඩිගෙ දෙපාර්තුමේන්තු භාර මුහන්දිරම්වරුන් මෙයින් පසු ඔවුන්ගේ පත්වීම කෙලින්ම මහනුවර බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ පිළිගත් ප්‍රධාන ඒජන්තවරයාගෙන් ලබා ගත යුතු බවත් මෙයින් ප්‍රකාශ කර පනවනු ලබන්නෙමු.

තව ද, බ්‍රිතාන්‍ය ආණ්ඩුවට පක්ෂපාතව සිටීම හේතුකොටගෙන කායික වශයෙන් හෝ දේපොළවලට හෝ හානි විඳීමට සිදු වන කවර හෝ මරක්කල වැසියෙකුට, සිදු වූ හානියේ ස්වභාවය අනුව හිමි විය යුතු පූර්ණ වන්දි මුදල ලබා දෙන බවටත් අපි මෙයින් තව දුරටත් පොරොන්දු වෙමු.

ඔවුන්ට මෙයින් පිරිනමා ඉදිරිපත් කරන්නා වූ ප්‍රතිලාභ මුස්ලිම් වැසියන් යථා ආකාරයෙන් අගය කරනු ඇතැයි ද, දැනට සිදු වෙමින් පවත්නා සැහැසි කැරැල්ල මැඩ පැවැත්වීමට ඔවුන් සහතික ලෙසින් සහ උද්‍යෝගයෙන් යුතුව ආධාර අනුබල දෙනු ඇතැයි ද අපි විශ්වාස කරමු. ඔවුන්ට උපද්‍රවයක් විය හැකි මහා බ්‍රිතාන්‍යයේ රාජෝත්තමයාණන් වහන්සේට විරුද්ධව ආයුධ සන්නද්ධව සිටින ද්‍රෝහී පුද්ගලයන්ට සම්බන්ධ වීමෙන් වළකින ලෙසත්, තමන් සතු හැම බලයක්ම යොදා සියලු ආකාරවලින් සතුරාට විරුද්ධ වන ලෙසත් අපි ඔවුන්ට චෝදනා මුඛයෙන් නියෝග කර සිටින්නෙමු.

වර්ෂ 1818 ක් වූ මාර්තු මාසයේ 2 වන දින වන මෙදින එකී ලංකාද්වීපයේ මහනුවර දී නිකුත් කරන ලදී.

අතිගරු ආණ්ඩුකාර උතුමාණන් ගේ

අණ පරිදි,

අත්සන් කළේ / ජෝර්ජ් ලුසිග්නන්

උඩරට පළාත්වල ලේකම්

උඩරට කැරැල්ල මර්ධනය කිරීමෙන් පසු මෙරට සමාජයේ විශාල විපර්යාසයක් ඇති කරමින් යටිතල පහසුකම්, අධ්‍යාපනය, සමාජය සහ දේශපාලනයේ වෙනස්කම් රැසක් සිදුකරනු ලැබුණි. එහෙත් ඉංග්‍රීසීන් බලාපොරොත්තු වූ ලාභයක් මෙරටින් නොලැබූ නිසා කෝල්බෲක් කැමරන් ප්‍රතිසංස්කරණය 1833 වසරේ හඳුන්වා දෙන ලදි. එම කොමිසන් වාර්තාව අනුව මෙරට ආර්ථික ක්‍රමයේ වේගවත් වෙනසක් ඇති විය. එතෙක් ස්වදේශිකයන් පුරුදු පුහුණු වී සිටි දේශපාලන ව්‍යූහය වෙනුවට නව දේශපාලන ව්‍යූහයක් හඳුනවා දෙන ලදි. විධායකයා වූ ආණ්ඩුකාරවරයාට සහාය වන ව්‍යාවස්ථාදායක සභා ක්‍රමයක් ප්‍රථමයෙන් හඳුන්වා දීම කෝල්බෲක් කොමිසමේ ප්‍රමුඛ යෝජනාව වූ අතර ව්‍යවස්ථාදායක සභාවේ සභික සංඛ්‍යාව 15ක් විය. ඉන් 9ක්ම බ්‍රිතාන්‍යය විසින්ම පත්කරන නිලලත් සාමාජිකයෝ වූ අතර සෙසු හය දෙනා ආණ්ඩුකාරවරයා විසින් තෝරාපත් කරනු ලබන නිළනොලත් සාමාජිකයෝ ය.

ව්‍යවස්ථාදායක සභාවට පත්කරන හය දෙනාගේ සංයුතිය යුරෝපීයන් 03 දෙනෙකු සහ සිංහල, දෙමළ, බර්ගර් එක් අයෙකු බැගින් පත් කළ යුතු යැයි යෝජනා කෙරුණි. ජාතිමූල නියෝජන ක්‍රමය හඳුන්වා දෙමින් ක්‍රියාත්මක කළ මෙම ප්‍රතිසංස්කරණය නිසා ඉදිරි කාලය තුළ ස්වදේශිකයන් අතර පැහැදිලි බෙදීමක් ඇති විය. එමෙන්ම කෝල්බෲක් කොමිසමේ අනෙක් වැදගත් යෝජනාව වූයේ ස්වදේශිකයන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය දීමයි. ඒ අනුව ඉදිරිකාලය තුළ මිෂනාරි ඉංග්‍රීසි අධ්‍යාපන ක්‍රමය ආරම්භ වෙමින් පාසල් පද්ධතියක් නිර්මාණය විය. එම පාසල්වලින් අධ්‍යාපනය ලබා ඉංග්‍රීසි උගත් මධ්‍යම පංතියක් ඉදිරි වර්ෂ 20කින් පසු මෙරට නිර්මාණය විය. කෝල්බෲක් කැමරන් කොමිසමේ ලිබරල් ආර්ථික යෝජනාව නිසා ඉඩම් හිමි ධනවත් පංතියක් ද නිර්මාණය විය. ඉංග්‍රීසි උගත් මධ්‍යම පංතිය සහ ඉඩම් හිමි ධනපති පංතිය 19වන සියවස අවසානයේ මෙරට දේශපාලනයේ ප්‍රබල භූමිකාවක් ඉටුකරනු දැකිය හැකි ය. 1848 අධිරාජ්‍ය විරෝධී කැරැල්ලත් මර්ධනය කර දැමූ පසු ඉංග්‍රීසි උගත් මධ්‍යම පංතිය සහ ඉඩම් හිමි ධනවත් පංතිය ආගමික හා සංස්කෘතික පුනරුද ව්‍යාපාරයේ ආරම්භයට මුල පිරූහ. කණ්ඩායම නියෝජනය පිරිස් අතර අනගාරික ධර්මපාල, ආරුමග නාවලර්, සිද්ධි ලෙබ්බේ යන අය ප්‍රමුඛ ස්ථානයක් හිමි කරගනිති.

සකස් කළේ සකීෆ් සාම්.

  1. දේවරාජා ලෝනා, ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු, පි. 208
  2. දේවරාජා ලෝනා, ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු, පි. 209
  3. Colvin R. de Silva, Ceylon Under the British Occupation, Colombo, 1953, Vol. I, p.177

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *