වසර 1200 කට පෙර ඉස්ලාමීය ලොවේ සමෘධිමත් අගනුවර ලෙසින් බැග්ඩෑඩය වැජඹෙමින් තිබුනි. කලීෆා අල් රාෂිද්, අල් මාමුන්, අල් මුතද්හිද් සහ අල් මුක්තාෆී වැනි මුස්ලිමි නායකයන්ගේ පාලන කාලවල අධ්‍යාපන ක්‍ෂේත්‍රයෙන් හිමි කර ගත් ප්‍රසිද්ධිය වසර පන්සීයයක කාලයක් පුරා පැවතුනු අතර එම වකවානුවෙහි මුස්ලිම් ලෝකයේ විශිෂ්ඨතම වියතුන්ගෙන් එම නගරය පිරි තිබුනි. එක් අවධියක ජනගහණය මිලියනය ඉක්මවු බැග්ඩෑඩ් නගරය ලොව ධනවත්ම නගරය වු අතර ප්‍රමාණයෙන් එය දෙවෙනි වුයේ කොන්ස්තන්තිනෝපල් නගරයට පමණි.
ඉහත සඳහන් කළ කලීෆා සිව්වරුන් පිළවෙලින් ඔවුන්ගේ පාලන කාලවල දැනුමට මුල් තැන දුන් පාලකයන් වු අතර විද්‍යාත්මක සොයා ගැනීම් හා ඒ සම්බන්ධව ලියැවුනු පෙතේ පත් ලිපි ගැන දැඩි උනන්දුවක් දැක්වුහ. ඒ හේතුවෙන් සුප්‍රකට මුස්ලිම් වියතුන් එක්තැන් කර බයිත් අල් හිකම් හෙවත් දාරුල් හිකම් ‘දැනුමේ නිවස’ නමින් ලොව විශිෂ්ටතම ආයතනය බිහි කළහ. ඒ අනුව එකල ලොව සාහිත්‍යයේ, කලාවේ හා විද්‍යාවේ අගනුවර ලෙසින් බැග්ඩෑඩය විරුදාවලි ලැබීය. මෙහි හිසානත් අල් හික්මා නමින් විශාල පුස්තකාලයක්ද තිබුනු අතර එහි භාෂා ගණනාවකින්ම සම්පාදනය වුනු අගනා ග්‍රන්ථ සිය දහස් ගණනින් විය.
කලීෆා මුහම්මද් අල් මහ්දි දේශ ඝවේෂනයෙහි යෙදි සිටි විට විවිධ සොයාගැනීම් සම්බන්ධ කෙටුම්පත් රැස් කරන්නට විය. පසුව ඔහුගේ පුත් කලීෆා අල් හාදී සිය පියාගේ මෙහෙය නොකඩවා ඉදිරියට ගෙන ගිය අතර පසුව පැමිණි ඔහුගේ පුත් හාරූන් අල් රෂීද් (ක්‍රි ව 786-809) විද්‍යා පීඨයක් පිහිටුවේය.
ක්‍රිව 813 සිට වසර විස්සක් බැග්ඩෑඩය පාලනය කළ කලීෆා මාමුන් අල් රෂීද් දැනුමේ නිවස පුළුල් කළ අතර විද්‍යාවේ විවිධ අංශ සඳහා ශාලාවන් එහි වෙන් කළේය. ඒ අනුව අරාබි, ෆාර්සි, හීබ්රූ, අරමයික්, ග්‍රීක, ලතින්, සිරියන්, සංස්ක්‍රිත් ඇතුලු විවිධ භාෂා කථා කරන ලොව සුප්‍රකට විද්‍යාඥයින් වියතුන් කිවියන් කලාකරුවන් ඉතිහාසඥයින් ගණිතවේදීන් භූගෝල හා රසායනවේදීන් මෙන්ම භාෂා පරිවර්තකයන්ගෙන් එම ස්ථානය නිතරම පාහේ ජනාකීර්ණව තිබුනි. ඔවුන් අතර අරුසිටෝටල් ලතින් බසින් ලියු පරිච්ඡේද 19 කින් සමන්විත සතුන්ගේ ග්‍රන්ථය පර්වර්ථනය කළ යුහානා ඉබ්න් අල් බිත්රික් මෙන්ම ග්‍රීක විද්‍යාඥයන් වු හිපොක්රේට් හා ගාලෙන්ගේ කෘතීන් පරිවර්තනය කළ හුනෙයින් බින් ඉෂාක් වැන්නවුන්ද වුහ. ඇරිස්ටොටල් වැනි සුප්‍රකට වියතුන්ගේ කෘතීන්ගේ පරිවර්ථන කටයුතු අධීක්‍ෂණය කිරීම සඳහා ප්‍රකට දාර්ශනියෙකු භෞතික විද්‍යාඥයෙකු මෙන්ම ගණිතවේදියෙකු හා නක්ෂශ්ත්‍රයෙකු සහ රසායනවේදියෙකු වු අල් කින්දිව කලීෆා මාමුන් පත් කර තිබුනි. මෙම මෙහෙය සඳහා අල් කින්දියා නමින් අල් කින්දිට පෞද්ගලික පුස්තකාලයක්ද කලීෆාවරයා වෙන් කර දී තිබුනි.
එවකට සිසිලියේ තිබුනු පුස්තකාලයේ සියළුම කෘතීන් තමන්ට ලැබෙන්නට සලස්වන මෙන් සිසිලියේ රජු වෙතින් කලීෆාවරයා ඉල්ලා සිටි අතර රජුද සාදරයෙන් එම ඉල්ලීම ඉටු කර දුනි. එමෙන්ම පර්සියාවේ (වත්මන් ඉරානය) කුරාෂාන් නගරයේ සිට විරල පොත් බැග්ඩෑඩයට ගෙන්වා ගැනීමට කලීෆා මාමුන් ඔටුවන් සියයක් යොදා ගත්තේය. තවද බයිසන්තයින් රාජ්‍යයේ තිබුනු ග්‍රීක බසින් ලියු ඇතැම් අගනා ග්‍රන්ථ කිහිපයක් අරාබි බසට පරිවර්ථනය කර ගැනීම සඳහා බයිසන්තයින් අධිරාජයාගේ සහයද මාමුන් පැතූ අතර ඒ අනුව අධිරාජයාගේ අවසරය සහිතව මාමුන් සිය විද්‍යාඥයින් හා බස් පෙරලන්නන් කිහිප දෙනෙකුවම එම කටයුත්ත සඳහා බයිසන්තයින් රාජ්‍යයට පිටත් කර යැවුවේය.
මේ කර්තව්‍යයන්වලට අමතරව මර්සාද් ෆලාකී නම්ප වු තාරකාගාරයක්ද කලීෆා මාමුන් බයිතල් හිකම් සංකීර්ණයේ ඉදි කළේය. යුදෙව් ජාතික සනද් ඉබ්න් අලි අල් යහුදි සහ මුස්ලිම් ආගමිකයෙකු වු යහ්යා ඉබ්න් අබි මන්සුර් යන තාරකා විද්‍යාඥයින් දෙපළ එම තාරකාගාරයේ ප්‍රධානීන් වශයෙන් සමීප සහයෝගීතාවයෙන් හා කලීෆා මාමුන්ගේ සෘජු අධීක්‍ෂණය යටතේ කටයුතු කළහ.
බයිතුල් හික්ම් හැරෙන්නට මාමුන්ගේ පියා විසින් පිහිටුවන ලද තවත් උසස් අධ්‍යාපන ආයතන මෙන්ම රෙදිපිළි ඇතුල් විවිධ භාණ්ඩ නිෂ්පාදනය කරන කර්මාන්තශාලා ගණනාවක්ම කලීෆා මාමුන් විසින් අධීක්‍ෂණය කරන ලදී. මෙම ආයතන හා කම්හල්වල සංඛ්‍යාව එක් විටෙක 33 ද ඉක්මවු බව සඳහන්ය. විශ්වවිද්‍යාලවල දැනුම හැදෑරීමෙන් පසු අදාල කර්මාන්තශාලාවලට එම සිසුන් ප්‍රායෝගික අත්දැකීම ලබා ගැනීමට යවනු ලැබේ.
තවද ලෝක සිතියමක් සම්පාදනයට කිරීමේ කාරියකටද මාමුන් කණ්ඩායමක් නියම කළ අතර ඔවුන් නිර්මාණය කල ලෝක සිතියම අල් සුරා අල් මාමුනිය්යා යැයි ප්‍රකට විය. ටොලමි වැනි සුප්‍රසිද්ධ ග්‍රීක භූගෝල විද්‍යාඥයන්ගේ කාලයෙහි පවා මෙම සිතියම භාවිතයේ පැවතියේය.
බනු මුසා සොහොයුරන්, මුහම්මද් අහ්මද් සහ හසන් වැනි ගණිතඥයින් මෙන්ම වීජ ගණිතයේ පියා යැයි විරුදාවලි ලත් කවාරිස්මි, සංගීත න්‍යයාය ලොවට හඳුන්වා දුන් අල් කින්දි, ඉතිහාසඥ සයීද් බින් හාරූන් අල් හතීබ් භෞතිකවේදියෙකු හා ප්‍රකට බස් පෙරලන්නෙකු වු හුනයින් ඉබ්න් ඉෂාක් අල් ඉබාදී සහ ඔහුගේ පුත් ආදීන් මෙම වකවානුවේ සිටි මුස්ලිම් වියතුන් වෙති. අද අප ප්‍රයෝජන ලබන බොහෝ විද්‍යාත්මක සොයා ගැනීම් හා මුලධර්ම ප්‍රායෝගික අත්දැකීමෙන් ලොවට හඳුන්වා දුන් මෙම විද්වතුන්ගේ නම් මෙම කෘතියෙහි ඉදිරි පරිච්ඡඡේදවල අනේක වාරයක් දක්නට ලැබෙනු ඇත.
අධ්‍යාපනය හා විද්‍යාව පිළිබඳ දුරදැක්මක් කලීෆා මාමුන්ට තිබුනු හෙයින් ‘අරාබි ශිෂ්ඨාචාරයේ නිර්මාතෘ’ යන නමින්ද ඇතැම් ඉතිහාසඥයන් මාමුන්ට බුහුමන් දක්වා ඇත. (මේ අතර ක්‍රි ව 1005 වකවානුවෙහි මිසරයේ කෙයිරෝ පුරවරයේද කලීෆා අල් හාකිම් පිහිටවු දාරුල් හිකම් නමින් නැණසැලක් තිබුනු අතර එය හා ඉහත සඳහන් නැණසැල හා පටලවා නොගත යුතුය. මෙය වසර 165 ක් පැවතියේය)