කලාව

විශ්වවිද්යාල

විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා ගැනීමේ කැමැත්ත සිසුන් අතර අද වැඩිවෙමින් තිබෙනු දැකිය හැකිය. මේ හා සමානව උසස් අධ්‍යාපන ආයතනවලින් දැනුම හැදෑරීමේ පිපාසය අතීත මුස්ලිම්වරුන් අතරද විය. දැනුම සොයා ගන්නා මෙන් කුර්ආනයේ බොහෝ තැන්වල සිදු කර ඇති අවධාරණය මෙන්ම නබිවදන්වල දැනුම ඝවේෂණය කිරීම විෂයයෙහි දක්වා ඇති වැදගත්කම මෙයට ප්‍රධාන හේතුවක් යැයි කිව හැකිය. එමෙන්ම විද්‍යා ඥාණය තවතවත් ධර්මයේ සත්‍යය තහවුරු කිරීමද මෙයට තවත් හේතුවකි. ඒ අනුව ඉස්ලාමය තරමට ආගම හා දැනුම උරෙනුර ගැටුනු තවත් ඇදහීමක් ලොව නැති තරම්ය.

ප්‍රාථමික අධ්‍යාපනයෙන් පසු ව්‍යාකරණය, කාව්‍යකරණය, තර්ක ශාස්ත්‍රය, වීජගණිතය, ජ්‍යාමිතිය, ජීව විද්‍යාව, ඉතිහාසය, කලාව නීතිය හා දේවධර්මය වැනි වැඩිදුර විෂයයන් ඉගැනීම සඳහා මුස්ලිම් සිසුන් උසස් අධ්‍යාපන ආයතවලට ගිය සැටි මෙතෙක් මෙම පරිච්ඡේදයෙන් දැනගත්තෙමු.

ඉස්ලාමීය අධ්‍යාපන ඉතිහාසය ගත් කල සාමාන්‍ය පාසැල් හා ජමායිය්යා යැයි අරාබියෙන් කියනු ලබන විශ්විද්‍යාල අතර සංක්‍රමණයෙහි යම් යම් පසුබැම් ඇති විය. එකල මුස්ලිම් ලොවේ ආරම්භ කරන ලද විශ්වවිද්‍යාල අතුරින් පල්ලිය හා විශ්වවිද්‍යාලය සහිත මුල් ස්වරූපය වෙනස් නොවී අද දක්වා පවතින දැවැන්ත නැණසැලක් ලෙසින් වසර 120 ක් ඉපැරණි හා  කෙයිරෝ නගරයේ පිහිටි අල් අස්හර් විශ්වවිද්‍යාලය සඳහන් කළ හැකිය.

එමෙන්ම මොරොක්කෝවේ ෆෙස් නුවර පිහිටි කරාවියීන් විශ්වවිද්‍යාලයද අල් අස්හර් වැනිවුම සුප්‍රකට අධ්‍යාපන ආයතනයකි. මෙය පිහිටුවන ලද්දේ එකල ෆෙස් නගරයේ විසු ෆාතිමා අල් ෆිහ්ර් නම් වු ධනවත් උගත් හා බියබැති සිල්වත් මුස්ලිම් කාන්තාවක් විසිනි. මෙම ආයතනයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ දිනයේ සිට එය අවසන් වන තුරු සෑම දිනෙකම ඇය උපවාසයේ යෙදුනු බව සඳහන්ය. කුර්ආනය හා එහි විග්‍රහය සහ අල් හදීස් නම් වන නබිවදන් සම්හාරයද ඇතුලු දැනුමේ සියළුම විෂයයන් මෙන්ම ජාත්‍යන්තර සබඳතා සහ තානාපති චර්යා හා මුලෝපා ආදිය ප්‍රගුණ කරන ලද කරාවියීන් විශ්වවිද්‍යාලයෙහි නක්ශෂ්ත්‍රය සම්බන්ධ උපකරණද වත්මන් ඔරලෝසුවට නෑකම් කියන හෝරා දක්වන යන්ත්‍රද තබා තිබුනු කාමරයක්ද විය. අල් අස්හර් විශ්වවිද්‍යාලයට නොදෙවෙනි කරාවියීන් විශ්වවිද්‍යාලයේ මෙම අංගසම්පුර්ණ බව නිසා දේශීය පමණක් නොව භාරතය, සිරියාව, පර්සියාව මෙන්ම රෝමය, පැරීසිය වැනි යුරෝපීය රටවල සිසුන්ද කරාවියීන් විශ්වවිද්‍යාලය කරා සිය ගණනින් ඇදී ආහ. එසේ පැමිණෙන විදෙස් හා ඈත පෙදෙස්වල සිසුන් සඳහා නවාතැන් ආහාර පාන ඇතුලු සියලුම පහසුකම් කරාවියීන් විශ්වවිද්‍යාලය විසින් නොමසුරුව හා නොමිලේ  ලබා දෙන ලදී. ආර්ථික අසීරුතා ඇති නැති සියලුම දෙස් විදෙස් සිසුන් සඳහා වන මුල්‍ය හා අනෙකුත් සහය යනු මෙම විශ්වවිද්‍යාලවල ප්‍රතිපාදන ප්‍රතිපත්තියෙහි අනුයුක්ත සේවාවන් විය. අගහිගකම් යනු දක්ෂ සිසුන් දැනුම අත් කර ගැනීමට බාධාවක් නොවිය යුතුය යනු මෙම ආයතනවල ප්‍රධාන යොමුවක් වීම හෙයට හේතුවයි. මහල් දෙක තුනක් වශයෙන් මම විශ්වවිද්‍යාල මහල් තිබුනු අතර එක් මහලක සිසුන් සියයකට පමණ අවශ්‍ය නවාතැන් පහසුකම් සුදානම් කර තිබුනි. විශාල පුස්තකාලද මෙම විශ්වවිද්‍යාලවල තිබුනි. කරාවියීන් ඇතුලු මෙවන් විශ්වවිද්‍යාලවල නඩත්තුව සඳහා ධනවතුන් නොමසුරුව මුදල් ලබා දුන්හ. 

ටුනිෂීයාවේ සයිතුනා නමින් මස්ජිදයක් තිබුනු අතර එහි ව්‍යාකරණය, තර්ක ශාස්ත්‍රය, පර්යේෂණය, නක්ෂශ්ත්‍රය, ගණිතය, ජ්‍යාමිතිය මෙන්ම ඛණිජ ද්‍රව්‍ය පිළිබඳ පොත්පත්ද තිබුනා පමණක් නොව අවශ්‍ය වෘතීය පුහුණුද එහි සිසුන්ට ලබා දෙන ලදී. ටුනිෂීයාවේ කයිරවාන් අතීකා පුස්තකාලයෙහි ක්‍රිව 420 ට පෙර ශාන්ත ජෙරෝමි විසින් ලියනද ලද ඉපැරණි ජාතීන්ගේ ඉතිහාසය නම් ග්‍රන්ථයේ අරාබි පරිවර්ථනයක්ද තිබුනි.  

ඉගැන්වීම් සිදු කරන ලද්දේ හලාකත් අල් ඉල්ම් (ඉගැනීමේ කවයන්) යැයි හඳුන්වුන ලබද කුඩා කණ්ඩායම් වශයෙනි. මධ්‍යයෙහි ගුරුවරයා සිටින අතර සංචාරය කරන ගුරුවරයෙක් පැමිණි කල ඔහු විෂයභාර ගුරුවරයා අසලින් වාඩි ගනු ඇත. මෙම විශ්වවිද්‍යාලවල මෙවන් හලාකා 120 දක්වා තිබෙනු ඇත.

වත්මන සේම වෛද්‍ය විද්‍යාව එකලද අසීරුතම විෂය වු අතර ඒ සම්බන්ධ විභාගද ඉතා දීර්ඝ හා සංකීර්ණ විය. පුර්ණ ලෙසින් විභාගය සමත් නොවන තෙක් මහජනයාට වෙදකම් කිරීමට සිසුන් නිදහස් කරනු නොලැබේ.

නීතිය හදාරන සිසුන් පශ්චාත් පුහුණු උපාදි ක්‍රමයට එය හැදෑරූ අතර පසුව ප්‍රකට නිතිඥයින් විසින් ජ්‍යෙෂ්ඨයන් ලෙසින් බඳවා පුහුණු ලබා දෙනු ලැබේ. නීතිවේදියෙකු ලෙස ඉජාසා නම් වන බලපත් ලබා ස්වාධීනව කටයුතු ආරම්භ කිරීමට ඇතැම් සිසුන්ට වසර විස්සක් පවා ගත වනු ඇත. මෙම ඉස්ලාමීය විද්‍යාලවල තිබුනු මෙම උපාධි ක්‍රමය ක්‍රිව 1230 වකවානුවේ ප්‍රංශයේ  විසු 9 වන පෝප් ග්‍රෙගරිගේ කාලයේ පැරිසීයේ විශ්වවිදා්‍යාලය විසින්ද අනුකරණය කරන ලදී. 

මෙම විශ්වවිදා්‍යාලවල ප්‍රවේශ විභාග මෙන්ම අභියෝගාත්මක අවසන් විභාගද උපාධි සහතික ආදිය පමණක් නොව සම්මාන, තෑගි සහ ශිෂ්‍යත්ව ප්‍රදාන මෙන්ම සිසුන් අතර වියත් තරගද පවත්වන ලදී.      

මහාචාර්යවරයාගේ අසුන

‘මුලසුන දරන්නා’ යන යෙදුම ඔබ අසා ඇත. මෙය සංවිධාන හා සමාගම්වල ප්‍රධානීන් හඳුන්වන වචනයක් වුවද ‘අසුන’ යන වචනය එය හා බැඳී ඇත්තේ ඇයිදැයි ඔබ ඇතැම් විට සිතන්නට ඇත. ඓතිහාසික සාධක අනුව පිරිසක් අතර අසුනක් ලබා ගැනීමේ ගෞරවයෙන් පළමුවෙන් පිදුම් ලැබ ඇත්තේ ගුරුවරුන් හෙවත් ආචාර්යවරුන්ය. පිරිසේ අන් සියල්ලන්ම වාඩි වී සිටියේ අසුන් ගත් එම ගුරුවරයා සිසාරා පොළොවෙහිය. දැනුමට එකල දෙන ලද වැදගත්කම එතරම් උසස් විය. උගන්වන්නාට සමාන උසකින් වාඩිගැනීම පවා එදා නොකරන ලදී.

එදා ගුරුවරන් තෝරා පත් කරන ලද්දේ රටේ ජනාධිපතිවරයා හෙවත් කලීෆා විසිනි. දැනුම හා ජනප්‍රියත්වය අනුව ආචාර්යවරුන් තෝරා ගන්නා ලදී.  ඇතැම් විට එකල ආචාර්්‍යවරුන් විදුහල් දෙකක ඉගැන්වීම් කටයුතු සිදු කළහ. අල් හදීස් ව්‍යාකරණය, ගණිතය, වෛද්‍ය විද්‍යාව ඇතුලු විවිධ විෂයයන් සඳහා සුවිශේෂී වු ගුරුවරුන් මෙන්ම විෂයයන් එකකට වඩා වැඩි සංණ්‍යාවක් ඉගැන්වීමේ හැකියාව තිබුනු ආචාර්යවරුන්ද එදා සිටියහ. එකල විශ්‍රාම ක්‍රමයක් හෝ වයස් සීමාවක් ආචාර්යවරුන්ට නොතිබුනු අතර ඔවුන් සාමාන්‍යයෙන් මරණය දක්වා හෝ නීරෝගීව ඉගැන්වීම් කටයුතු කරන්නට කායික ශක්තිය ඇති තාක් කල් තම ධුරවල කටයුතු කළහ. ඒ අනුව වසර පනහක් හෝ එයට වැඩි වසර ගණනාවක් ගුරුවරුන් සේවය කිරීම එකල සාමාන්‍ය කරුණක් විය. එකම පවුලක වියතුන් කිහිප දෙනෙකු නොකඩවා ගුරු වෘතියේ යෙදෙන අවස්ථාවල ඔවුන්ව පවුල් නාමයෙන් ඇමතීම එකල ඔවුන්ට ලබා දුන් සුවිශේෂී ගෞරවයක් විය. තවත් ඇතැම් අවස්ථාවල රසායනය හෝ ඔෂධවේදය වැනි එක් විෂයයක් සඳහා එකම පවුලෙන් බිහි වන ආචාර්යවරුන් නිපුණත්ව දක්වනුද පෙනෙන්නට තිබුනි.

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *