කලාව

රහ්මත් මුදියාන්සේ පෘතුගීසීන්ට එරෙහි සටනේ සෙන්පති වෙයි.

රහ්මත් මුදියාන්සේ පෘතුගීසීන්ට එරෙහි සටනේ සෙන්පති වෙයි.

කපිතාන් පෙඩ්රෝ ලොපස් ද සූසා ලංකාවට පැමිණ කෝට්ටේ රජු ධර්මපාලගෙන් කොළඹ කොටුවක් ඉදිකිරීමට අවසර පැතූවේය. පෘතුගීසි අධිරාජයාට යටත් ආයුද සන්නද්ධ කොටුවක් ඉදිකිරීමට ඉඩනොදෙන ලෙස මුස්ලිම්වරු රාජ්‍ය සභාවේ සාමාජිකයන්ගේ ඉල්ලා සිටියහ. ඉන්දියාවේ කොරමන්ඩල් දූපතේ මුස්ලිම් ව්‍යාපාර විනාශ කළ පරිදි කොළඹ ද එසේ කරනු ඇතැයි ඔවුන් සැක කළහ. ධර්මපාල රජු ප්‍රථම කොටුව ඉදිකිරීමට අවසර දුන්නේ.

පෘතුගීසින් ලංකාවේ මුස්ලිම්වරුන්ව සැලකුවේ සතුරන් ලෙසිනි. ඉස්ලාමය සහ රෝමානු කතෝලිකයන් අතර තිබූ තරඟයත් මුස්ලිම්වරු ස්පාඥ්ඥය හා පෘතුගාලය අත්පත්කර ගැනීමත් ප්‍රංශයේ දී ඇතිවූ ගැටුම් ආදී වෙළඳ තරඟය හේතුවෙනුත් දෙපිරිස අතර සතුරු තත්තවයක් තිබුණි. ක්‍රි.ව 1565 දී පෘතුගීසීන් කොළඹ කොටුව ඉදිකිරීමට මුස්ලිම් පල්ලියක් කඩා දැමූහ. පසු දින කොළඹ මහපල්ලිය ගිනිබත් කළහ. පෘතුගීසි පාලනය සමය තුළ මුස්ලිම් ව්‍යාපාරයන්ට සීමා පනවා තිබුණි. මුස්ලිම් පල්ලිවල ප්‍රසිද්ධියේ යාඥා කිරීමත් තහනම් විය. එතෙක් ස්වදේශීකයන් සමඟ මුස්ලිම්වරු සාමකාමීව ගොඩනගාගෙන තුබූ ව්‍යාපාරයන් බිඳ දැමූහ. එනිසා වෙරළබඩ මුස්ලිම්වරු උඩරටට වෙළඳ භාණ්ඩ සොයමින් ගමන් කිරීම ආරම්භ කළහ. උඩරට රජු ද ඔවුන්ව පිළිගත්තේ ය. (1)

1576 දෙසැම්බර් 04 වන දින විසුරේ හෙවත් ප්‍රතිරාජයා විසින් පනවන ලද ආඥාවක් මගින් ප්‍රකාශිත අනිකුත් දේ අතර, පෘතුගීසි පාලනයට යටත්ව පවත්නා ප්‍රදේශවල පිහිටි සියලුම මිථ්‍යාදෘෂ්ටික පල්ලි, පන්සල් කඩා දැමිය යුතු ය. මුස්ලිම් පල්ලිවල යාඥ්ඥාව සඳහා අඬ ගැසීමේ දී මුහම්මද්තුමාගේ නම සඳහන් නොකළ යුතු ය. ක්‍රිස්තු ලබ්ධික නොවන සියලු පූජකවරුන්, ගුරුවරුන් සහ ගිහියන් නෙරපා දැමිය යුතු අතර, කුර්ආනය වැනි ඔවුන්ගේ ශුද්ධ පොත් පත් දුටු සෑම තැනකම දීම අත් අඩංගුවට ගෙන විනාශ කළ යුතු ය. බෞද්ධයන් සහ හින්දුවරු වන්දනාමාන සදහා අසල්වැසි ප්‍රදේශවල පන්සල්වලට සහ කෝවිල්වලට යාම පමණක් නොව, එවැනි සිද්ධස්ථානවලට පිටින් පැමිණෙන ආසියානු වන්දනාකරුවන්ගේ ගමන් පවා තහනම් කළ යුතු ය. යනු ද පනවනු ලැබීය. (2)

ස්වදේශීය ආගම්වලට කෙනෙහිලිකම් කිරීම පෘතුගීසීන් ප්‍රතිපත්තියක් කරගත්තේ ආගම් ප්‍රචාරණ මාධ්‍යයක් ලෙසිනි. කතෝලික දහම වැළඳ ගැනීම බදුවලින් නිදහස් වීමටත් බොහෝ පහසුකම් හා සහන ලැබීමටත් අවකාශය උදාකරන්නනක් විය. බෞද්ධ හා හින්දු සැලකිය යුතු පිරිසක් කතෝලික දහම පිළිගත් අතර මුස්ලිම්වරු පහසුවෙන් ආගමට හරවා ගැනීමට පෘතුගීසීන්ට නොහැකි විය. තම ගැටලුවලට විසඳුමක් වශයෙන් කතෝලික ආගම වැළඳ ගැනීම මුස්ලිම්වරුන් දිගින් දිගටම ප්‍රතික්ෂේප කළ බැවින් වන්දනාමාන කිරීමේ තම අයිතිය භුක්ති විඳිමට හැකි වන වඩා හිතකර පරිසරයකට සංක්‍රමණය වීම හැර වෙනත් විකල්පයක් ඔවුන්ට නොවීය. උඩරට රාජධානියේ දී ඔවුහු ඒ අයිතිය ලබා ගත්හ. තම ඇදහිල්ල ආරක්ෂා කර ගැනීම සඳහා සංක්‍රමණය වීම මුස්ලිම්වරු විෂයෙහි ආගමික වශයෙන් පුණ්‍ය කර්මයක් පමණක් නොව ඇතැම් අවස්ථාවල දී ආගමික වගකීමක් ද වේ. (3)

දොන් ජුවන් ධර්මපාල රූකඩ පාලකයෙක් වූ අතර කෝට්ටේ පාලනය කළේ පෘතුගීසීන් ය. ඒ අනුහසින් මුස්ලිම්වරුන්ගේ වෙළඳාම කඩකප්පල්කර අපනයන වෙළඳපල ආක්‍රමණය කිරීමට පෘතුගීසීන් සමත් වූහ. කුරුදු සම්බන්ධයෙන් වැඩි නැඹුරුතාවක් දැක්වූ පෘතුගීසීන් දකුණු පළාතේ කුරුඳු වැවීමට ඉන්දියාවෙන් කම්කරුවෝ ගෙන ආහ. වෙළඳ බලය සහ කුමන්ත්‍රණකාරී ලෙස දේශපාලනය දිනාගැනීමට සමත්වූ පෘතුගීසීන්ට අඛණ්ඩ තර්ජනයක් වූයේ ටිකිරි කුමරු හෙවත් පළමුවන රාජසිංහ රජුය. පළමුවන රාජසිංහ රජුගේ හමුදාවේ සැලකිය යුතු සංඛ්‍යාවක් මාපුල්ල මුස්ලිම්වරු වූහ. සැමෝරීන් රජුගේ සෙබලු ලෙස මෙරට පැමිණි දහස් ගණනක පිරිසකට නැවත යාමට නොහැකි වූ නිසා සීතාවක රාජධානිය තුළ අභ්‍යන්තර ගම්මානවල ඔවුන් පදිංචි කරනු ලැබූහ. එම පිරිස සිංහල හමුදාවේ වැදගත් කාර්යයක් ඉටු කළෝය. 1568 දී පෘතුගීසීන්ට එරෙහි සටනට මුස්ලිම් තරුණයෙකු සේනාධිපති පදවිය දැරුවේ ය. ඒ රහමත් මුදියාන්සේ ය. යාපනය ආක්‍රමණය කිරීමටත් පළමුවන රාජසිංහ රජු රහමත් මුදියාන්සේගේ නායකත්වයෙන් සේනාවක් යවන්නේ ය. කෙසේ වෙතත්  1593 වසරේ පළමුවන රාජසිංහ රජුගේ මරණයෙන් පසු දකුණු හා බටහිර වෙරළ තීරයේ බලය පෘතුගීසීන් සතු විය. මෙලෙස සීතාවකත් බිඳ වැටුනු පසු වරින් වර උඩරට ඇල්ලීමටත් පෘතුගීසීන් උත්සහ කළ අතර ගිවිසුම් ද සිදු විය.‍

1613 දී පෘතුගීසි කපිතාන් ජනරාල් දොන් ජෙරනිමෝ ද අසවේදු මුස්ලිම්වරුන් තව දුරටත් කෝට්ටේට සංක්‍රමණය වීම තහනම් කරමින් ආඥාවක් නිකුත් කොට, ඒ ආඥාවම නැවතත් 1622, 1623, 1624 සහ1626 වසරවලදී ද නිකුත් කළේ ය. (4) කොන්ස්තන්තීනූ ද සා නොරොඤ්ඤ කාලයේ මුහුඳුබඩ වෙළඳ ප්‍රජාව ක්‍රමයෙන් උඩරට රාජධානියේ අභ්‍යන්තරයට රිංගා ගත්හ. එවිට උඩරට පාලකයා සෙනරත් රජු (1604-1635) ය. (5)

අපගේ පරම හතුරන් තමන්ගේ පැත්තට නම්මා ගැනීමට මෙය කදිම අවස්තාවක් කර ගත් කන්ද උඩරට රජු ඔවුන් ගෙන් බොහෝ දෙනෙකුට රැකවරණය සැපයී ය. එහි දී අලුතෙන් සිදු වූ නොසැලකීම් හේතු කොටගෙන ඔවුහු ක්‍රෝධය අතින් මෙන්ම වෘත්තීය අතින් ද සදහට ම පරම හතුරන් වශයෙන් ප්‍රසිද්ධ වූහ. මඩකලපුවේ පමණක් මොවුන් 4000ක් දෙනෙකු ගැරිසන් කාණ්ඩයක් නැවැත්වූ මේ පිළිම වඳින රජ අප ගේ හතුරන්ට උපකාර කිරීමෙන් සිය හැඟුම් විදහා දැක්වීය යි ක්ව්රෝස් සහතිකව කියයි. (6) මුස්ලිම්වරුන් හට ඔවුන්ගේ දුර්භාග්‍ය සමයේ දී ක්ෂේම භූමියක් වූයේය උඩරටයි. රජුගෙන් හෝ පාප්තුමාගෙන් හෝ බාධාවක් නොමැතිව තම ආගම රිසි සේ ඇදහීමට ඔවුන්ට අවකාශ තිබුණු දිවයිනේ එකම ප්‍රදේශය වූයේ එයයි. (7)

මෙකල දී (1930) ඕලන්ද ජාතිකයන් ගාල්ලේ බළකොටුව අල්ලා ගත් අතර, අගහිඟකම්වලින් පෙළී කෑම බීම සොයා බලකොටුවෙන් පිටතට ආ විට ඔවුහු පෘතුගීසීන්ගේ ප්‍රහාරයට ලක් වූහ. එවිට ඕලන්දවරු මාතර මුස්ලිම්වරු 200-300 දෙනෙකුගේ පමණ හිත් දිනාගෙන මුදල් හා වෙනත් වාසි ලබා දීමේ පොරොන්දුව මත පෘතුගීසීන්ට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ඔවුන්ගේ ආධාර උපකාර ඉල්ලා සිටියහ. මේ කාලය වන විට සමහර මුස්ලිම්වරු ගාලු කොටුව තුළ පදිංචිව සිටියහ. ඒ කුමන්ත්‍රණය මුස්ලිම් වැසියෙකුගෙන්ම අනාවරණය විය. තම හමුදාවත් සමග මාතර සිටි කපිතාන් ඇන්ටෝනියෝ ද ඇමරඩ් කුමන්ත්‍රණය ගැන අසා කෙතරම් කෝප වූයේ ද යත්, කඩ වීදිය වට කොට ඔවුන් සියල්ලන්ම පෙති ගසන ලෙස තම හමුදාවට අණ කළ ඔහු මුස්ලිම්වරුන්ගේ දේපොළ රාජසන්තක කොට ස්ත්‍රීන් සහ බාල ළමයින් හිරකරුවන් වශයෙන් කොළඹට ගෙනගියේ ය (1642). (8) එම රාජද්‍රෝහීභාවය නිසා 200-300ක් අතර මුස්ලිම් පිරිමීන් මරා දමනු ලැබූහ. ඉන්පසුව මුස්ලිම්වරු බහුළ ජනවාස වී වෙළඳාම්වල නිරත වූ හලාවත, මීගමුව, කළුතර, අලුත්ගම ප්‍රදේශ මංකොල්ල කා මෙවැනිම සංහාරයක් සිදුකරනු ලැබුණි.

මාතර සිදු වූ සංහාරයේ ප්‍රතිපලයක් ලෙස, තමන් පත්ව ඇති අවදානම් තත්වය වටහා ගත් මුස්ලිම්වරු තව තවත් මහනුවරට පලා ගියහ. තම පියා මෙන් දෙවන රාජසිංහ රජු ද (1635-1687) තම ප්‍රදේශයේ ස්ථීරව පදංචි වන ලෙසට මුස්ලිම්වරුන් දිරි ගැන්වූයේ ය. (9)

පෘතුගීසි පාලන සමුය මෙරට සිටි මුස්ලිම් ප්‍රජාවට ඉතාමත් කටුක කාල පරිච්ඡේදයක් විය. මුස්ලිම්වරුන්ගේ වෙළඳ නිදහස සහ ආගමික නිදහස මුලුමනින්ම සීමා කොට තිබුණි. අවස්ථා කිහිපයක දී ම කොළඹ ඇතුළු තොටුපල නගරවල්වලින් මුස්ලිම්වරු පන්නා දමනු ලැබූහ. මුස්ලිම්වරුන්ගේ වෙළඳාම අඩපන කිරීමට විවිධ බාධක ඇති කළහ. මේ හේතූන් නිසා පෘතුගීසීන්ට විරුද්ධ සටන්වල මුස්ලිම්වරු ඍජුව සම්බන්ධ වූ අතර විදේශීය මුස්ලිම් හමුදාවන්ගේ සහාය ලබා දුන්හ. මුස්ලිම් සමාජය සිංහල සමාජය සමඟ සම්මිශ්‍රණය වැඩි වැඩියෙන් සිදුවූයේ මේ සමය තුළය. පෘතුගීසි සමයේ සිදුවූ සංහාරයන් නිසා ස්වාධීන රාජධානයක්ව පැවැති උඩරටට සංක්‍රමණය වීමටත් මුස්ලිම්වරු පෙළඹුනු අතර උඩරට රජුගේ කල්පිටිය වරාය ඔස්සේ ඉන්දියාව සමඟ වෙළඳ කටයුතු සිදු කළහ. පෘතුගීසීන්ගේ වෙළඳ අරමුණ යම් පමණකට සාර්තක වී මුස්ලිම්වරුන්ගේ අපනයන වෙළඳ ආධිපත්‍ය බිඳ වැටුනු අතර ආගම් ප්‍රචාරණයේ දී ඇතැම් සිංහල හා දෙමළ කුලවල පිරිස් කතෝලික ආගමට හරවාගත හැකි වුවත් එකදු මුස්ලිම් ජාතිකයෙකු ආගමට හරවා ගැනීමට ඔවුන්ට නොහැකි විය.

සකීෆ් සාම්.

  • The Muslims of Sri Lanka under the British Rule, Dr. M.N.M Kamil Asad, 1993, Navrang Publishers, New Delhi.
  • Boxer, The Portuguese Seaborne Empire, p.67-68
  • දේවරාජ ලෝනා, ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ගේ ඉතිහාසය.
  • දේවරාජ ලෝනා, ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ගේ ඉතිහාසය, පි. 92.
  • දේවරාජ ලෝනා, ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ගේ ඉතිහාසය, පි. 96.
  • Fernao de Queroz, The Temporal is Spiritual Conquest of Ceylon, 745
  • දේවරාජ ලෝනා, ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ගේ ඉතිහාසය, පි. 96.
  • Fernao de Queroz, The Temporal is Spiritual Conquest of Ceylon, 865
  • දේවරාජ ලෝනා, ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ගේ ඉතිහාසය, පි. 98.

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *