කලාව

අතීත ඉස්ලාමීය ලොවේ පාසැල්

වසර දහසකට පමණ පෙර මුස්ලිම් රටවල පාසැල් ලෙසින් පැවතුනේ මස්ජිද් හෙවත් පල්ලිය. එනම් පාසැල හා පල්ලිය එකම පීඨයක්ව එදා තිබුනි. මන්ද යත් ඉස්ලාමීය කෝණයෙන් අධ්‍යාත්මික දැනුම හා සාමාන්‍ය දැනුම යනු එකම මුලාශ්‍රයේ කරුණු වු අතර ඒ දෙක අතර වෙනස ඉතා අල්ප විය. එනිසා නැමදීමේ හා සිප් හැදෑරීමේ කටයුතු එකම වලහක් යට සිදු කිරීම ඉතා යෝග්‍ය යැයි සිතන ලදී.

ඉස්ලාමයෙහි විද්‍යාව හා ආගම උරෙනුර ගැටී සිටින විෂයයන් දෙකක් විය. එතරම්ම දැනුම ඝවේෂණය කරන මෙන් කුර්ආනය උනන්දු කරයි. ඉස්ලාමයට පෙර හෝ පසු ලොව අන් ඇදහීම් ගත් කල තත්වය මෙසේ නොවේ. ඩෙන්මාර්ක් ජාතික ඉතිහාසඥ ජොහාන්නස් පෙදෙර්සන් පවසන අන්දමට මුස්ලිම් ලොවේ ඉගැනීම යනු ආගම සමග ඉතා සමීපව බැඳුනු කරුණක් වු අතර දැනුම හා ධර්මය වෙනුවෙන් කෙනෙකු කැපවීම ආත්ම තෘප්තිය ගෙන දෙන කර්තව්‍යයක් මෙන්ම දෙවියන්ට සිදු කරන මෙහෙයක් ලෙසින්ම එකල සලකන ලදී. මම ආකල්පය නිසා දැනුම වෙනුවෙන් කැපකිරීම් කරන්නට බොහෝ අය ඉදිරිපත් වු අතර අන් අය ඒ සඳහා සහය ලබා දීමෙන් සිය දායකත්වය පළ කර සිටි බවද පෙදෙර්සන් පෙන්වා දෙයි.     

නබි මුහම්මද්තුන් එතුමන්ගේ කාලවකවානුවෙහි මේ සඳහා වන පුර්වාදර්ශය ලබා දෙමින් මස්ජිදය යනු නැණසැල් ලෙසින්ද පැවැත්වුහ. නබිතුමන්ගේ කාලයේ තිබුනු මස්ජිද්වලට එතුමන් නිතර යමින් අවශ්‍ය උපදෙස් ලබා දෙමින් අධීක්‍ෂණය කරමින් සිටියහ. එකල මස්ජිදයක් ඉදි වු වහාම එම ස්ථානයට ගුරුවරුන් යවා අවශ්‍ය මුලික මගපෙන්වීම් සිසුන්ට ලබා දෙන ලදී. අහ්ලල් ඉල්ම් (දැනුමේ අයවළුන්) නම් වු කුර්ආනය උගන්වන ගුරුවරුන්ද එම මස්ජිද්වලට නබිතුමන් විසින් යවන ලදී. එකල දැනුම සැම තැනම ව්‍යාප්ත වු අතර මෙසේ සංචාරය කරන ගුරුවරුන් සිය මෙහෙයෙන් විශාල තෘප්තියක් ලැබුහ. පලේමෝ නගරයෙහි පමණක් අවම වශයෙන් ප්‍රාථමික පාසැල් තුන් සියයක් තිබෙනු තමා දුටු බව එහි සංචාරය කළ දහවෙනි සියවසෙහි විසු භූගෝලඥයෙකු මෙන්ම ඝවේෂකයෙකු හා ව්‍යාපාරිකයෙකු වු ඉබ්න් හව්කාල් පවසයි. 

නබිතුමන්ගේ කාලයෙහි එනම් ක්‍රිව හත වර්ෂයෙහි මදීනා නුවර මස්ජිද් නවයක් තිබුනි. 653 වර්ෂයෙහි පළමු පාසැල් මෙහි බිහි වු අතර එවක් පටන් පාසැල් අධ්‍යාපනයේ අදහස් ලැව් ගින්නක් මෙන් කලාපයේ පැතිරනේනට විය. අටවෙනි හා 9 වන සියවස්වල පිළිවෙලින් සිරියාවේ ඩමස්කස් නගරයේ මෙන්ම ස්පාඥ්ඥයේ කොර්ඩෝබා නගරයෙහිද පළමු වරට පාසැල් බිහි විය. ඒ වනවිට සෑම මස්ජිදයකම පිරිමි මෙන්ම ගැහැණු ළමුනගේ ප්‍රාථමික අධ්‍යාපනය සඳහා පාසැල් පිහිටා තිබුනි. ධනවත් පවුල්වල දරුවන් වෙනුවෙන් පුද්ගලික ගුරුන් සිටි අතර සාමාන්‍ය හා මධ්‍යම පවුල්වල ළමුන් මෙන්ම ඇතැම් විට වහලුන්ගේ දරුවන් පවා මස්ජිද්වල මෙම පාසැල්වල ප්‍රාරම්භක දැනුම ලබා ගත්හ. අධ්‍යාපනය බොහෝ විට නොමිලේ හෝ ඉතා සුළු වියදමකින් ලබා ගන්නට හැකි වු නිසා සියලුම පන්තියේ දරුවන් ඒ සඳහා යොමු කරන ලදී. අස්මාඋල් හුස්නා නම් වන අල්ලාහ්ගේ සුන්දරවු විශේෂිත නාම 99 සහ කුර්ආනයේ කුඩා වැකි පළමුවෙන් උගන්වන ලදී. එයින් පසුව මුලු කුර්ආනයම උගන්වන ලද අතර ගණිතයද ප්‍රගුණ කරන ලදී. දහවන සියවස වනවිට ඉගැන්වීම ගුරුවරුන්ගේ නිවෙස්වල සිදු කරන්නට වු අතර පසුව එම නිවෙස් පාසැල් ලෙසින් පරිවර්ථනය විය. මෙම වෙනස පළමුවෙන් සිදු වුයේ පර්සියාවේය (වත්මන් ඉරානය).  

1066 වසර වනවිට නෝමන්වරු එංගලන්තය ආක්‍රමණය කළ අතර සෙල්ජුක්වරුන් නිසාමිය්යා පාසැල් ඉදි කළහ. මෙම පාසැල්වලට එසේ නම් කරන ලද එකල බැග්ඩෑඩ් නගරයේ විසු එහි නිර්මාතෘ නිසාම් අල් මුල්ක්ගේ නම අනුවය. තනි ගොඩනැගිලි සහිත පළමු පාසැල් මේවා නමුත් වටුප් ලබන ගුරුවරුන් සහිත මද්රසා පාසැල් ඉස්ලාමයේ ආරම්භ යුගයේ සිටම පැවතුනි.

එකල අන් සෑම ගොඩනැගිල්ලක් සේම ඉස්ලාමීය වාස්තු විද්‍යාවේ රටා අනුව පාසැල් ගොඩනැගිලිද අතිශය කලාත්මකව ඉදි කරන ලදී. මෙම පාසැල්වල විශාල මිදුලක් මෙන්ම එයට මුහුණලා ශාලාද කිහිපයක් විය. ඉගැන්වීම් කටයුතු සිදු කරන ලද්දේ මෙම විවෘත ශාලාවලය. එමෙන්ම සලාත් වන්දනයේ හෝරාව එළඹුනු විට එයද එහිම ඉටු කරනු ලැබ්. එය අවට ගුරුවරන්ගේ නවාතැන් සඳහා කාමර මෙන්ම අර්ධ දෝවනය සඳහා පොකුණුද සාදා තිබුනි.

පළමු වරට රජය හෝ කලීෆා නම් වන රාජ්‍ය නායකයා ඉගෙනීම් කටයුතු අධීක්‍ෂණය කරන්නට වු අතර ගුරුවරන්ට ඔවුන්ගේ මෙහෙය සඳහා වන පුර්ව අවසරය කලීෆාවරයාගෙන්  ලබා ගත යුතුව තිබුනි. 

දහහතර වන සියවසෙහි විසු අධ්‍යාපනවේදී ඉබ්න් අල් හක් මෙසේ පවසයි:

‘පාසැල් තිබිය යුත්තේ ජනාකීර්ණ කඩවීදිවල මිස ජනසුන්‍ය පාළු තැන්වල නොවේ. පාසැල් යනු උගන්වන තැන් මිස අවන්හල් නොවේ. එනිසා සිසුන් මුදල් හෝ කෑම පාසැල්වලට ගෙන ආ යුතු නොවේ. එම ආයතනයෙහි පන්ති කාමර සංවිධානය කිරීම සඳහාද අමුත්තන් ඔවුන්ගේ තත්වයන් අනුව පිළිගැනීමටද නිදා සිටින්නන් අවදි කරන්නටද කළ යුතු දේ කරන්නට හා නොකළයුතු දෙයින් වැළකී සිටීමට අවවාද කිරීමටද උපෙදස්වලට සවන් දෙන මෙන් නියෝග කරන්නටද ගුරුවරයාට සහකරුවෙකු සිටිය යුතුය. පන්ති කාමරය තුල අනවශ්‍ය සංවාද පැවැත්වීම සිනාසීම විහිළු කථා කිීම ආදිය සපුරා තහනම්ය’

පහළොස්වන සියවස වන විට තුර්කියේ බර්සා සහ එඩීර්නේ නගරවල ඉගැනීමේ පර්යන්ත පිහිටුවීම මගින් පාසැල් සංකලපයේ දැවැන්ත විප්ලයක් සිදු කිරීමට ඔටෝමන් පාලකයන් සමත් වුහ. එම පාසැල් පද්ධති කුල්ලියේ යැයි හඳුන්වන ලද අතර වර්තමාන විශ්වවිද්‍යාලවලට ඒවා බෙහෙවින්ම සමාන විය. පාසැලට අමතරව එහි මස්ජිදයක්, රෝහලක්, මධ්‍යම මුළුතැන්ගෙයක් සහ ආහාර ගන්නා ශාලාවක් ආදිය ඇතුලත් විය. මේවායෙහි අධ්‍යාපනයට අමතරව නොමිලේ අහාර පාන, වෛද්‍ය සේවා සහ නවාතැන් පහසුකම්ද සපයන ලදී. එකල ඉස්තාන්බුල් නගරයෙහි පිහිටි ෆතීහ් කුල්ලියේ කලාපයේ සුප්‍රකට නැණසැලක් වු අතර එහි විද්‍යාව හා ඒකදේව ධර්මය උගන්වන විවිධ පීඨයන් 16 ක් විය.    

විවිධ සේවා නොමිලේ හා උසස් මට්ටම්න් සැපයු මෙවන් විශාල අධ්‍යාපන ආයතනවලට මුල්‍ය ප්‍රතිපාදනය ලැබුනේ කොහි සිටදැයි ප්‍රශ්නයක් මෙවිට මතු වෙයි. මෙය සඳහා බදු මුදල්වලට වඩා වැඩි වශයෙන් ආධාර ප්‍රතිපාදන යොදා ගන්නා ලදී. එකල වාෆ් නම් වන පුණ්‍ය අරමුදල් තිබුනු අතර ඉස්ලාමීය ඇදහීම් අනුව කටයුතු කරන ඕනෑම කෙනෙකුට මෙවැනි අධ්‍යාපන ආයතනයක් පිහිටුවා ගත හැකිය. එකල අධ්‍යාපනයට ඉහළ වැදගත්කමක් මහජනතාව වෙත තිබුනු හෙයින් මෙවන් ආයතන සඳහා නොමසුරුව ඔවුන් දායකත්ව ලබා දුන්හ. 14 වන සියවසෙහි විසු මුස්ලිම් දේශ ඝවේෂකයෙකුවු ඉබ්න් බතුතා මෙය ගැන සඳහන් කරන විට එකල මෙවන් පාසැල්වල සිප් හදාරන සිසුන්ට අවශ්‍ය නම් සම්පුර්ණ වියදම වුවද මෙම ආයතන විසින් දැරූ බව කියයි.

නුතන යුගයේද හැකියාව ඇති එහෙත් මුල්‍ය පහසුකම් නොමැති සිසුන් බොහෝ දෙනෙකු මෙවන් සහනදායී අධ්‍යාපන ක්‍රමවේදයක් ගැන සිහින දකිනු දැකිය හැකිය. මේ සඳහා 14 සිවසෙහි ඉස්ලාමීය ලෝකයේ පැවති මෙවන් අධ්‍යාපන ආයතන වෙතින් ආදර්ශ ගණනාවත්ම ලබා ගත හැකිය.  

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *