යහපත් සමාජයකට

මනුෂ්‍යත්වය ජීවමාන කරමු.

මනුෂ්‍යත්වය හැඳින්වීම.

මිනිසා තනිව ජීවත් විය නොහැකි සාමුහික ජීවියෙකි. සාමුහිකව ජීවත් වීමට මිනිසා විසින් පිළිපැදි යුතු බොහෝ පිළිවෙත් ඇත. ආගම්වලින් දේශනා කරන්නේ සාමූහිකව ජීවත්වීමට අවශ්‍ය එකී පිළිවෙත් ය. එලෙස මිනිසුන් සාමුහිකව ජීවත් වීමට අවශ්‍යම පිළිවෙත්වල පදනම් සාධකයක් වන්නේ මනුශ්‍යත්වයයි. බොහෝ දෙනෙක් පිළිගන්නේ වර්තමාන අපේ සමාජයේ මනුෂ්‍යත්වය පිරිහී ගොස් ඇති බවයි. එනිසා අපේ සමාජයේ, මව විසින් අලුත උපන් බිළිඳා කාණුවේ දමා යාම, ගැබිණියකව සිටිය දී සැමියා තම බිරිඳ දික්කසාද කිරීම, දරුවන් විසින් තම වයෝවෘද්ධ දෙමාපියන් පාරේ දමා යාම වැනි අමානුෂික සිදුවීම් දෛනිකව අසන්නට ලැබෙමින් තිබේ.

දයාවෙන්, කරුණාවෙන්, අනෙකට අනුකම්පා දැක්වීමේ ගුණය මනුෂ්‍යතවය ලෙස සැකවින් විග්‍රහ කළ හැකි ය. මෙම ගුණය මිනිසා සතුනේගෙන් වෙන් කරන ප්‍රධාන සාධකයයි. දුප්පතුන්ට ලැබිය යුතු යමක් පැහැර ගත් අයට දෛනික ව්‍යවහාරයේදී ‘තිරිසනා’ යන යෙදුම අපි භාවිත කෙරෙන්නේ මනුෂ්‍යත්වය නම් උතුම් ගුණය ඔහු තුළ නොමැති බැවින් ඔහුව සත්වයෙකුට සමාන කරමිනි.

මනුෂ්‍යත්වය අතිශය වැදගත් සාධකය වන නිසා බොහෝ ආගම් මනුෂ්‍යත්වටය අදාල විවිධ මග පෙන්වීම් ලබා දෙයි. නමුත් ආගම් තුළ මනුෂ්‍යත්වය යන තනි තේමාව නොමැති වුවත් මානෂත්වට අදාල එක් එක් කුඩා ක්ෂේත්‍ර ආවරණ වන පරිදි මගපෙන්වීම් ගණනාවක් ඉදිරිපත් කොට තිබේ. මෙම ලිපියෙන් සාකච්ඡා කරන්නේ එක් එක් ආගම්වල මනුෂ්‍යත්වයට අදාල ඉගෙන්වීම් වන අනෙකාට උදව් උපකාර කිරීම, හිංසා පීඩා නොකිරීම, දෙමාපියන්, නැදෑයින්, අසල්වැසියන් සමඟ හොඳින් කටයුතු කිරීම යන අංගයන්වලින් කිහිපයක් පමණි. හින්දු හා ක්‍රිස්තියානි ධරමයන්හි මනුෂ්‍යත්වය පිළිබඳව පෙන්වා දී ඇති දැක්ම එම ආගමික ග්‍රන්ථවල උපුටන්වල මෙලෙස කෙටියෙන් දැක්විය හැකි ය.

කිතුනු හා හින්දු ධර්මයන්හි මනුෂ්‍යත්වය.

“ඒ වෙනුවට එකිනෙකාට කරුණාව ද ඉමහත් දයානුකම්පාව ද පෙන්වන්න. එලෙසම දෙවි ක්‍රිස්තුස් මාර්ගයෙන් ඔබට කැමැත්තෙන්ම සමාව දුන් ලෙසම ඔබත් එකිනෙකාට කැමැත්තෙන්ම සමාව දෙන්න.” (එෆීස 4:32)

“ඒ අනුව දෙවි තෝරාගත් ශුද්ධ, ප්‍රේමණීය අය ලෙස ඉමහත් දයානුකම්පාවකින්, කරුණාවන්තකමින්, නිහතමානිකමින්, මෘදුකමින් සහ බොහෝ ඉවසිලිවන්තකමින් කටයුතු කරන්න.” (කොලොස්සි 3:12)

“ස්වර්ගයේ සේනාවල අධිපති වූ යෙහෝවා දෙවි වන මා ඔබට පවසන්නේ මෙයයි. ‘ඔබ විනිශ්චය කරද්දී සාධාරණය ඉටු කරන්න. එකිනෙකා සමඟ ප්‍රේමණීයව කටයුතු කරන්න. එකිනෙකාට දයාව පෙන්වන්න.” (සෙකරියා 7:9)

මෙම බයිබල් පාඨවලින් අනෙකාට ආදරය හා කරුණව පෑමටත් ක්ෂමාශීලීව, නිහතමානීව, ඉවසිලිවන්තව හා මෘදුබවින් කටයුතු කිරීමටත් සෑම විටම සාධාරණය ඉටුකිරීමටත් දිරිගන්වයි. සියලු දෙනාට ප්‍රේම කිරීම කිතු දහමේ මනුෂ්‍යත්වය මූර්තිමත් කරන වැදගත් ඉගෙන්වීමයි.

“ආහාර හා ජලය සඳහා සමාන අයිතිවාසිකමක් ඇත. ජීවිතය නම් අශ්ව රථයේ වියගහ සියල්ල සමානව තබාගෙන තිබේ. සියළුම රාමු හා කේන්ද්‍රය සම්බන්ධ කරගත් අශ්ව රථයේ රෝදයක් මෙන් එකිනෙකා සමඟ සහයෝගයෙන් එකට ජීවත් විය යුතුය.” (අතර්ව වේදය  – සම්ජ්නන සුක්ටා)

“කිසිවෙකු උසස් හෝ පහත් නැත; සියල්ලෝම සහෝදරයෝය; සියලු දෙනාගේම යහපත උදෙසා සහ සාමූහික වශයෙන් ප්‍රගතිය වෙනුවෙන් කැපවිය යුතුය.” (ඍග් වේදය, මණ්ඩලය 5, සුඛ්ටා 60, මන්ත්‍රා-5)

හින්දු වේද ග්‍රන්ථ ඉගෙන්වීම් ද සියලු දෙනා සහයෝගයෙන්, සහෝදරත්වයෙන්, සාමූහිකව ජීවත්වීමේ වැදගත්කම අවධාරණය කරයි. අනුන්ගේ සහයෝගයෙන් තොරව කිසිවෙකුටත් තනි පැවැත්මක් නැත. මෙම සහයෝගය අතර්ව වේදයේ උපමා කරන්නේ අශ්ව කරත්තයක රෝදයකට ය. එහි රාමුව කේන්ද්‍රයට සම්බන්ධ වන්නේ එක සමානව සහ ශක්තිමත් තීරු කිහිපයකිනි. ඉන් එකක් දුර්වල වුවහොත් රෝදයට පමණක් නොව අශ්ව කරත්තයටම හානිකර ය. රාමුව, තීරු සහ කේන්ද්‍රය යන ත්‍රිත්වය එකිනෙකා ශක්තිමත් කරමින් එකිනෙකාට උදව් කරගන්නා නිසා අශ්ව කරත්තය වේගයෙන් ඉදිරියට ඇදෙයි. එලෙසම ප්‍රගතිය කරා සමාජයක් ගමන් කිරීමටත් සමාජයේ සිටින සෑම කෙනෙක්ම අනෙකා ශක්තිමත් කරමින් සහයෝගයෙන් සිටිය යුතු වේ.

බුදු දහමේ මනුෂ්‍යත්වය

සෑම ආගමක මෙන් බුදු දහමේ ද ප්‍රධාන දේශනයක් ලෙස මනුෂ්‍යත්වය නොහොත් මිනිසත්කම දැක්විය හැකිය. ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙහි දෙවන පියවර වූ ශීලය මෙය දේශනය කරයි. ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙහි ප්‍රඥාව (wisdom) යන්න නිරූපණය කරන නිවැරදි දැක්ම (සම්මා සංකප්ප) නරක සිතුවිලි නැති කර යහ චේතනාව ඇති කර ගැනීම ගැන දේශනා කරන අතර එය අංග 3ක් සමඟ බැඳී ඇත.

  1. නෙඛම්මා – ලෞකික සතුටුවලින් මිදීම හා පරාර්ථකාමී වීම (ඇල්ම, ආත්මාර්ථකාමී බව හා තමන්ගේ බව යනාදියට ප්‍රතිවිරුද්ධ)
  2. අව්‍යාපාද – ආදරය, කරුණාව, යහසිතුවිල්ල හා සානුකම්පාව (වෛරය, නරක සිතුවිල්ල යනාදියට ප්‍රතිවිරුද්ධ)
  3. අවිහිංසාව – උපද්‍රව නොකරන, දයාව (කෲරකම, රළු යනාදියට ප්‍රති විරුද්ධ)

අව්‍යාපාද යන්න ව්‍යාපාද යන පාලි වචනයට විරුද්ධ පදයයි. එනම්, තරහා, දුර්චේතනාව, වෛරය යන ඒවාට විරුද්ධ වෛරය නොමැති, ලස්සන ගතිගුණ ය. එනම් මෛත්‍රිය ආදරය, කරුණාව හා යහපත් චේතනාව ආදියයි. සතා සිවුපාවුන් යැයි වෙනසක් නොමැතිව සෑම ජීවියෙකුටම පොදු මෙත්තා ගුණය බුදුදහමේ මනුෂ්‍යත්වය ශක්තිමත් කරන අගනාම ආදර්ශයයි. නමුත් අපගේ එදිනෙදා ජීවිතයේ ඉඩම් ආරවුල් ආදිය නිසා අසල්වාසීන් සමඟ වෛර කරමින් ජීවත් වන වැඩි පිරිසක් මුණ ගැසෙති. එක කුස උපන් සහෝදර සහෝදරියෝ පවා දේපල බෙදා ගැනීමේ දී ආරවුල් ඇති කරගෙන එකිනෙකාට වෛර බැඳ ගනිති. එක් එක් ආගම් කුල අනුව ද කුලල් කා ගනිති. මේවා ඇතැම් විට කෙලවර වන්නේ මිනී මැරුම්වලිනි. අව්‍යාපාද මගින් අදහස් කෙරෙනුයේ එවැනි දුර්ගුණයන් තුරන් කිරීම ය.

අවිහිංසාව යනු උපද්‍රව රහිත හෝ දයාව වේ. අනෙකාට හිංසා පීඩා නොකිරීමත්, අනෙකාට තිබෙන හිංසා පීඩා දුක ආදිය තුරන් කිරීමත් මින් අදහස් වෙයි. බෞද්ධ ඉතිහාස කතා අතර තමන්ගේ ජීවිතය පවා කැප කර අනෙකාගේ දුක නැති කිරීමට පිහිටවීම නිරූපණය කරන කතා රැසක් ඇත. සෑම ජාතක කතාවකින්ම එබව සාධනය කළ හැකි ය. බෝධි සත්ත්වයෝ උත්සහ ගන්නේ තව කෙනෙකුගේ ජීවිතයක දුක නැති කිරීමට හා ජීවිතය තුළ සෑම ආකාරයේම සතුට අත්කර දීමටයි. එමෙන්ම මෛත්‍රිය දුප්පත්, පොහොසත් දෙපාර්ශවයටම අදාලය. පහළම මට්ටමක දිවි ගෙවන ජනයාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම, දුප්පතුන්ට උපකාර කිරීම, අවශ්‍යතා සහිත අයට හා අනාථ අයට උදව් කිරීම, රෝගීන්ට ආවතේව කිරීම, අඥානයින්ට ඥානය ලබාදීම යනාදියත් බුදු දහමේ දේශනා අතර ඇති මනුෂ්‍යත්වය ශක්තිමත් කරන ඉගෙන්වීම් ය.

ඉස්ලාම් ධර්මයේ මනුෂ්‍යත්වය.

ඉස්ලාම් ධර්මයේ දේශනාවල සාරය මනුෂ්‍යත්වය බව එහි ඉගෙන්වීම අධ්‍යනය කිරීමෙන් සක්සුදක් සේ පැහැදිලි වන්නේ ය. අන් අයට උදව් කිරීම ගැන කුර්ආනය අවධාරණයෙන් ම පවසයි. “ඔවුන්ගේ දේපලවල ඉල්ලන්නාට හා නොඉල්ලන්නා[1] කොටසක අයිතියක් ඇත” (අල්කුර්ආන් පාඨ – 51:19) යැයි පවසා අනෙකාට උදව් කිරීම තදින්ම අවධාරණය කර තිබෙන බව පෙනේ.

ලෝකයේ සම්පත් බෙදී තිබෙන ආකාරය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් ය. එකිනෙකාගේ හැකියාවන් ද වෙනස් ය. දෙවියන් වහන්ස පිරිසකට අධිකව සම්පත් ලබා දී තිබේ නම් ඔවුන් විසින් සම්පත් අඩු අයට උපකාර කළ යුතු වේ. නිදසුනක් ලෙස එකම ගමක සියලු සැපසම්පත් සහිත ඉතා පොහොසත් පවුලක් වගේම කුසට ප්‍රමාණවත් ආහාරයක් නොලැබෙන තරම් අසරණ පවුල් ද සිටිය හැකි ය. එවන් පවුල් වෙත උපකාර කිරීම දෙවියන් අධිකව සම්පත් පිරනැමූ පිරිසගේ වගකීමක් බව ඉස්ලාමය අවධාරණය කරයි. මේ හා සමානව අදහසක් වරක් නබිතුමාණන් කියා සිටියේ ‘ඔබේ අසල්වැසියා කුසගින්නේ සිටිය දී ඔබ පමණක් කුස පුරවා ගන්නේ නම් ඔබ නියම විශ්වාසිකයෙක් නොවන්නේ ය’ (නබි වදන් ග්‍රන්ථ – බුහාරි) යනුවෙන්.

මානුෂීය ගුණය නබි තුමාණන් ගේ ජීවිතයෙන් පිළිඹිබු අවස්ථාවකට පහත සිදුවීම එක් නිදසුනක් පමණි. ‘වරෙක  ශුද්ධ මස්ජිදය තුළ නූගත් අරාබිවරයකු විසින් මුත්‍රා කළේ ය. එවිට සෙසු සහාබිවරු එය දැක කෝප වී ඔහුට පහර දීමට උත්සුක වූ අවස්ථාවේ එය නවතා දැමූ නබිතුමා එම තැනැත්තා සිය ශරීර අවශ්‍යතාව ඉටුකරන තුරු සිට ඔහුට බැන නොවැදි එම ස්ථානය එතුමා විසින්ම සෝදා පිරිසිදු කළේ ය.’ පූජනීය ස්ථානයක එවැනි ක්‍රියාවක් කළ පුද්ගලයෙකුට සානුකම්පිතව සමාව දීමත්, ඉවසීමෙන් කටයුතු කිරීමත්, කෝප වූ පිරිස් සංසුන් කිරීමත්, මුත්‍ර කළ එම ස්ථානය නබි නායක තුමාණන් විසින්ම තමා නබිවරයා යන තත්වය නොසලකා පිරිසිදු කිරීමත් මනුෂ්‍යත්වයව පිළිබඳ උදාර නිදසුනකි. අද අපේ සමාජයේ මෙවැනි ලක්ෂණ සහිත නායකයෝ දුර්ලභය. බොහෝ විට ආගමික නායකයන් විසින් සාමාන්‍ය ජනයා ප්‍රකෝප කළ අවස්ථා අපි දැක ඇත්තෙමු. ආගමික නායකයන් කළ යුත්තේ ජනයා කුපිත කිරීම නොව සංසුන් කිරීම නොවේ ද!

එමෙන්ම “කුඩා දරුවන්ට දයාවන්ත නොවන, වැඩිහිටියන්ට ගෞරවය නොදක්වන්න අය අප අතර කෙනෙකු නොවේ” යැයි නබිතුමාණෝ කීහ. අප අතර කෙනෙකු නොවන්නේ ය යන්නෙහි අදහස මෙවැනි ගතගුණ නැති තැනැත්තා මුස්ලිම්වරයෙක් නොවේ යන්නයි. වත්මන් අපේ සමාජයේ වැඩිහිටියන්ට ගෞරව නොකිරීම ටිකෙන් ටික අඩුවීම සමාජය පිරිහෙමින් තිබෙන බව නිරූපණය. නූතන තරුණ පරම්පරාව නව තාක්ෂණය සමඟ යාවත්කාලීන වී සිටියත් වැඩිහිටියන්ගේ අත්දැකීම වැඩිය. එනිසා වැඩිහිටියන්ට කන්දීම, ඔවුන්ගේ අදහස් හෑල්ලුවට ලක් නොකිරීම, වැඩිහිටියන්ට ප්‍රමුඛතාව දීම මුස්ලිම්වරයෙකුගේ ලක්ෂණ විය යුතු වේ.

තවත් හදීසයක “මුහම්මද් (සල්) තුමාණෝ, දෙවියන් වහන්සේ හා අවසාන දිනය විශ්වාස කරන තැනැත්තා තම අසල්වැසියාට ගෞරව කළ යුතුය.” යනුවෙන් ද වෙනත් හදීසයක “දෙවියන් වහන්සේ හා අවසාන දිනය විශ්වාස කරන තැනැත්තා තම අමුත්තන්ට ගෞරව කළ යුතුය.” යැයි ද පවසයි. අසල්වාසීන්, අමුත්තන්, ඥාතීන් යන අයට සැලකීම ඉස්ලාම් ධර්මයේ මූලික විශ්වාස පද්ධතිය සමඟ සම්බන්ධ කර පවසයි. එසේ සම්බන්ධ කිරීමෙන් පෙනී යන්නේ ඉස්ලාමයේ මූලික විශ්වාසයට සමාන තැනක් මනුෂ්‍යත්වයට හිමිවී ඇති බවයි.

මනුෂ්‍යත්ව ගුණයන් පෙන්විය යුත්තේ ඒ ඒ තැනැත්තන් අදහන ආගමික පිරිස් වෙත පමණක් නොවන බවත් නබිනායක තුමන් ආදර්ශයකින් ඉගෙන්වූහ. වරෙක මෘත සිරුරක් අවසන් කටයුතු සඳහා රැගෙන යමින් සිටිය දී නබි තුමාණන් වාඩි වී සිටි තැනින් නැගී සිට එයට ආචාර කළේ ය. එවිට අසල සිටියවුන් විමසුවේ එය යුදෙව්වෙකුගේ මළ සිරුරක් නොවේ ද, ඇයි ඔබ ඊට නැගිට ආචාර කරන්නේ? එයට නබිතුමා පිළිතුරු දෙමින් එයත් ප්‍රාණයක් නොවේ ද! යනුවෙන් පවසා කියා එය මිනිසෙකුට කරන ගෞරවයක් බව නබි තුමාණන් අසල සිටි පිරිසගේ පැනයට පිලිතුරු දුන්නේ ය. මෙම සිදුවීමෙන් පෙනී යන්නේ මානුෂීය ගුණ පොදුවේ සෑම කෙනෙකු වෙතම දැක්විය යුතු දෙයක් බවය.

අපි අපේ ජීවිතයේ විවිධ දේවල් සඳහා කැමති ය. සුවපහසු ජීවිතයක් අපි අපේක්ෂා කරන්නෙමු. මනා සෞඛ්‍යයක්, ආරක්ෂාවක්, නිවසක්, පවුලක්, ආහාර පාන ආදිය අපිට තිබිය යුතු යැයි අපි සිතන්නෙමු. එමෙන්ම කිසිවෙකුගේ කරදරයකින් හිංසාවකින් පීඩාවකින් තොර දිවියක් ලැබීම අපේ පැතුමයි. මේ සියල්ල අපිට ලැබී තිබෙන මොහොතක මේ කිසිවක් නැති තැනැත්තෙක් අපිට මුණ ගැසුනේ නම් අපි කළ යුත්තේ කුමක් ද?

‘තමන්ට හිමි විය යුතු යැයි කැමති දෑ අන් අයට ද කැමති වනතුරු කිසිවෙකු සැබෑ විශ්වාසවන්තයකු නොවන වග (නබිවදන් ග්‍රන්ථ – බුහාරි) නබි තුමාණන් පැවසූහ. එසේ නම් අපි අපි වෙනුවෙන් කැමති සෑම දෙයක්ම අන් අය වෙනුවෙනුත් කැමති වීමයි මනුෂ්‍යත්වයේ නියම තත්වය. අපි හොඳ ජීවිතයක් ගත කරමින් අසල්වැසියා දුක්බර ජීවිතයක් ගෙවීම අපිට සතුටක් ගෙන දෙන්නේ නම්, ගමේ සිටින සියලු දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා නොදී මගේ දරුවාට පමණක් හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්නේ නම්, මගේ ජාතිය හැම දෙයකම ආධිපත්‍ය දැරිය යුතුයි සහ අන් ජාතීන් ඒවාට යටත්ව සිටිය යුතු යැයි අපි සිතන්නේ නම් සැබවින්ම මෙම සිතුවිලි මානුෂ විරෝධී ය.

සමාප්තිය.

බෞද්ධ හා ඉස්ලාමීය ඉගෙන්වීම් පොදුවේ ගත් කළ මනුෂ්‍යත්වය පිළිබඳ එක සමාන මගපෙන්වීම් ගණනක් සිදු කර තිබෙනු පෙනේ. පංචශීලයේ, සීලයන් පහම මූලික මිනිස් අයිතීන් රැකීම දේශනා කරයි. ‘පානාතිපාතා වේරමණී ශික්ඛාපදං සමාදියාමි’ යන ප්‍රාණ ඝාතනයෙන් වැලකෙමි යන්න හා සමානව කුර්ආනයේ  එක් ප්‍රාණයක් හෝ අසාධාරණව ඝාතනය නොකරන ලෙසට අණ කරයි. තවත් ජීවියෙකුගේ ප්‍රාණයට හානි කිරීම මානුෂ්‍යත්වයට වින කරන බැවින් මෙවන් වැළැක්වීමක් ආගම් දෙකින්ම පනවා තිබේ.

වසල  සූත්‍රයේ, ‘මව පියා සහෝදර සහෝදරියන්ට පරුෂ  වචනයෙන් කතා කරන්නා වසලයෙක්’ යැයි පෙන්වා දෙමින් බුදු දහම යහපත් කාරුණික වචන කතා කිරීමට උනන්දු කරන්නා සේම ඉස්ලාම් දහමේ අවසන් දිනය පිළිගන්නා අයෙක් ‘යහපත් වචන කතා කරන්න එසේ නොමැති නම් නිහඬව සිටින්න’ (නබිවදන් ග්‍රන්ථ – මුස්ලිම් හදීස්  1511) ලෙස නබි තුමාණන් දේශනා කර ඇත. යහපත් වචන කතා කිරීම මෙන්ම වචනයෙන් පවා තව කෙනෙකුට හිරිහැරයක් නොකිරීම මනුෂ්‍යතවය ආරක්ෂා කිරීමට දායක වේ.

එමෙන්ම අසරණයන්ට පිහිට වීම පිළිබඳ සෝපාක කතා වස්තුවෙන් අපට වටහා ගත හැක. පෙර සඳහන් කළ පරිදි අල්කුර්ආනයේ දිළින්දන්ට, අනාථයන්ට උපකාර කරන ලෙස අවධාරණය කර තිබේ. නබි තුමාණන් ද “ඔබ අල්ලහුතාලා ගේ සෙවණ ලබා ගැනීමට කැමති නම් අවශ්‍යතා ඇති අයට හා ණය ගෙවා ගැනීමට නොහැකිව පීඩා විඳින්නන්ට උපකාර කරන්න” (නබි වදන් ග්‍රන්ථ – සුනන් ඉබ්නු මාජා: හදීස් 2419) යැයි කීහ.

එසේ නම් අවශ්‍යතා ඇති අයට පිහිට වීම, අන් අයගේ ජීවිත ආරක්ෂා කිරීම, කතා කරන විට යහපත්ව කතා කිරීම, කාරුණික වීම, අන් අය වෙනුවෙන් සානුකම්පිත වීම, ආගම් භේද කුල භේද වලින් තොරව සහ මිනිසාට උපකාර කර ගැනීම බුදු දහම සහ ඉස්ලාම් දහම ඇතුළු සෙසු ආගම් පොදුවේ ඉතා අවධාරණයෙන්ම පවසා ඇති මනුෂ්‍යත්ව ලක්ෂණ බව පැහැදිලිවම වටහා ගත හැකිය. මේවා අපේ ජීවිතයේ කොටසක් කර ගැනීමෙන් සමාජයේ සාමූහිකව ජීවත්වීමට පහසු ය.

 

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *