යහපත් සමාජයකට

ආදාහනය පිළිබඳව ඉස්ලාමීය මතය: සදාචාරාත්මක ඇගැයීමක්

පෙරවදන

ලෝකයේ විවිධ ආගම් මිනිසාගේ යහපැවැත්ම වෙනුවෙන් විවිධ ඉගැන්වීම් මග පෙන්වීම් ලබාදෙමින් තිබේ. සෑම ආගමක්, දහමක්   තුළම එම ආගමට එම දහමට ආවේණික වූ කරුණු මෙන්ම සියලු ආගම් වලට පොදු වූ කරුණු ද අන්තර්ගත වී තිබීම දැකීමට පුළුවන්ය. නියතවශයෙන්ම ආගම් දහම් තුළ මනුෂ්‍යත්වය, මිනිසත් කම රැක ගැනීමේ වැදගත්කම පිළිබඳව විවිධ මට්ටමේ මග පෙන්වීම් පෙන්වා දෙයි. විශේෂයෙන් ආගම් දහම් කිසි විටක මනුෂ්‍යත්වයට එරෙහිව කිසිම ඉගැන්වීමක් අන්තර්ගත නොවේ එනමුත් අවාසනාවන්ත කටමෙන් සමහර උදවිය තමන්ගේ පටු අවශ්‍යතාවයන් වෙනුවෙන් ආගම් දහම් උපයෝගී කර ගනිති. ආගම් දහම් වල තිබෙනා විවිධත්වය පිළිගැනීමට තරම් විවෘත මනසක් අපට තිබිය යුතුය. මෙම ලිපියේ අරමුණ ආදාහනය පිළිබඳ වූ ඉස්ලාමීය මතය සාරාංශ කොට ඉදිරිපත් කිරීම වේ.

  1. ඉස්ලාම් දහම සහ මිනිසා

 ඒක දේව සංකල්පය අනුව විශ්වාස පද්ධතියක් ගොඩනැඟී තිබෙන ඉස්ලාම් දහමේ මූලික ප්‍රතිපත්තියක් හැටියට මිනිසාගේ යහපැවැත්ම කිව හැක.  ඉස්ලාම් දහම තුල මිනිසා දෙවියන් වහන්සේ විසින් මවනු ලැබූ උසස් ශ්‍රේෂ්ඨ නිර්මාණයක් වෙන අතර අනෙකුත් මැවීම් අතුරින් ඉතා වැදගත් මැවීමක් හැටියට සඳහන් කර තිබේ. මෙමගින් මනුෂ්‍යත්වයට ප්‍රමුඛතාවය ලබා දෙන ආගමක් හැටියට ඉස්ලාමය කිව හැක. දෙවියන්වහන්සේගේ උතුම් නිර්මාණයක් වෙන මිනිසාට වඩා ශ්‍රේෂ්ඨ නිර්මාණයක් හෝ මැවීමක් මෙම විශ්වයේ නොමැති යැයි ඉස්ලාම් දහම අවධාරණය කෙරෙයි. මිනිසත්කම රැක ගැනීමේ වැදගත්කම හා අවශ්‍යතාවය පිළිබඳව ඉස්ලාම් දහමේ අණ පනත් වල ගැබ්වී තිබීම විශේෂ කරුණකි.

අල්-කුර්ආනයේ දෙවියන් වහන්සේ සඳහන් කරන විට; නියතවශපයන්ම ආදම්ගේ පුත්‍රයන් සියලු දෙනාවම ගරු කොට (සම්භාවනීය) කර ඇත්තෙමු  (අල්කුර්ආන් 17: 70)

මෙම අල් කුර්ආන් වාක්‍ය මගින් ඉස්ලාම් දහම මානව සංහතිය පිළිබඳව අනාවරණය කරන කරුණු කිසිම ආගම් ජාති කුල මල භේදයකින් තොරව සඳහන් වී ඇති බව තහවුරු වෙයි.

 

  1. මරණය

ඉස්ලාමය අනුව මරණය මිනිස් ජීවිතේ අවසානයක් නොව. මෙලොව සියලුම දේ විනාශයට පත් වුවත් මිනිසා මරණයෙන් පසුවත් තවත් සදාතනික ජීවිතයක් සඳහා සුදම් සූදානම් විය යුතු යයි මෙලොව ජීවිතයේ පරමාර්ථය පිළිබඳව ඉස්ලාමය පැහැදිලි කරන විට සඳහන් කොට ඇත.

ඔබගෙන් කවුරුන් ක්‍රියාවන්ගෙන් ඉතාමත් අලංකාරවත් කෙනෙකු යන්නෙහි ඔබව පිරික්සනු පිණිසම ඔහු ජීවිතයද මරණයද උත්පාදනය කර ඇත්තෙය. ඔහු (දෙවියන් වහන්සේ සියල්න්ටම) බලසම්න්නයෙකි. ඉතාමත් සමාවෙන් යුත්තයෙකි.  (අල්කුර්ආන් 67:2)

ඔබ කෙසේද ජීවත් වන්නේ එසේ මෙය ඔබගේ මරණයත් සිදු වන්නේය[1] යනුවෙන් අපූරු දෙයක් නබිතුමාණෝ සඳහන් කර තිබේ. මෙමගින් මෙලොවෙ, ජීවත්වෙන විට යහ ක්‍රියාවන් කරමින් ඉතා ශීලාචාර ජීවිතයක් ගතකිරීමට මුස්ලිම්වරුන් බැඳී ඇත

  1. මරණයට පත් වූ කෙනෙකුට සිදු කළ යුතු අවසන් ගෞරවය

 

සෑම මිනිසෙක්වම ඉතා අලංකාරව දෙවියන් වහන්සේ මවා ඇති හෙයින් ඔහුගේ අවසන් කටයුතු ද ඉතා ගෞරවාන්විතව සිදුකළ යුතුයැයි ඉස්ලාමීය ඉගැන්වීම් අනාවරණය කරයි. ඉස්ලාම් දහම අනුව මරණයට පත් වූ කෙනෙකුට සමාජය විසින් කළ යුතු කටයුතු හතරක් අනිවාර්ය කොට තිබේ.

පළමුවැන්න නෑවීම හොත් පිරිසුදු කිරීම.

දෙවැන්න ආවරණය කිරීම හොත් කපන් කිරීම

තුන් වෙන්න යාඥා කිරීම හොත් ආගමික සලාතය ඉටු කිරීම.

හතරවෙන්න භූමදානය කිරීම.

නියතවශයෙන්ම මෙම අනිවාර්ය කරුණු සතර පැවරෙන්නේ එම සමාජයේ වෙසෙන මුස්ලිම් ජනයාටය මරණයට පත්වූ තැනැත්තාට එහි කිසිදු බලපෑමක් හෝ වගකීමක් පැවරෙන්නේ නැත, ජීවතුන් අතර සිටින අය මෙම වගකීම් සතර ඉෂ්ට කළ යුතු යයි ඉස්ලාමය අනිවාර්ය කරයි.

 

  1. භූමදාන කිරීම අනිවාර්යද:

ඉස්ලාම් දහම අනුව මළ සිරුරක් භුමදානය කිරීම අනිවාර්යය වේ. එය සමාජමය වගකීමක් හැටියට පෙන්වා දෙන අතර එය කෙනෙක් හෝ ඉෂ්ට නොකරන විට මුළු සමාජයටම පවක් හැටියට ඉස්ලාමය අනාවරණය කරයි.

එනමුත් සමහර විශේෂිත අවස්ථාවන් හි මෙම වගකීමෙන් මිදීමට මුස්ලිම් සමාජයට  ඉඩ ලබා දී ඇත.

භූමදාන කිරීමට හේතු:

මළ සිරුරක් භූමදානය කිරීම් අවශ්‍යතාවය ඉස්ලාම් ආගමානුකූලව පහත සඳහන් ආකාරයට පැහැදිලි කළ හැක:

  1. ගරුත්වය රැකීමට

ඉස්ලාම් දහම මිනිසාට ගරුත්වයක් ලබා දී තිබෙන හෙයින් මිනිසා ගේ අවසන් කටයුතු ද එසේ ම සිදු විය යුතු යැයි ඉස්ලාමය අනාවරණය කරයි මේ අනුව ඔහු මෙලොවෙන් සමු ගන්නා විට ඔහු මරණයට පත්වූ ආකාරයටම ඔහුගේ අවසන් කටයුතු ද සිදු විය යුතු යැයි ඉස්ලාමය අනාවරණය කරයි. ඔහුගේ කිසිම අවයවයකට හානියක් හෝ බලපෑමක් එල්ල නොවෙන ආකාරයට ඔහුගේ අවසානය සිදුවිය යුතු හෙයින් ඉස්ලාමය භූමදානයට ප්‍රමුඛත්වය ලබා දෙයි.

නියත වශයෙන්ම ආදම්ගෙ පුත්‍රයන් සියලු දෙනාවම අපි ගරු (සම්භාවනීය) කොට ඇත්තෙමු (අල්කුර්ආන් 17: 70)

 

  1. මිනිස් නිර්මාණය:

මිනිසාව ඉතා අලංකාරව දෙවියන් වහන්සේ මවා ඇති හෙයින් ඔහුව මෙලොවෙන් බැහැර කරන විටත් එයට, මිනිසා විසින් බාහිරව (අලංකාරයට) කිසිම බාධාවක් හෝ අකටයුත්තක් නොවිය යුතුයැයි ඉස්ලාමය අනාවරණය කරයි.

නියත වශපයන්ම අලංකාර හැඩයකින් අපි මිනිසා නිර්මාණය කළෙමු. (අල්කුර්ආන් 69:04).

සොබාදහම විසින් යම්කිසි වෙනස්කමක් මිනිස් සිරුරට ඇති කලත් මිනිසා විසින් එය කිරීම එතරම් සුදුසු නැති යනු මුස්ලිම්වරුන්ගේ විශ්වාස වී ඇත.

 

  1. මිනිසාගේ ආරම්භය:

ඉස්ලාම් ආගම මිනිසා පස්වලින් හා ජලය මගින් මවා ඇත්තේයයි අනාවරණය කරයි. මේ අනුව මිනිසාගේ අවසානය ද ඒ හා සම්බන්ධව තිබීම යහපත් යයි මග පෙන්වා දී ඇත. මෙ අනුව මිනිසාපේ අවසානය ද ඒ හා සම්බන්ධව තිබීම යහපත් යයි මුසේලිම්වරුන්ගෙ සාධාරණ පිළිගැනීමක් ය

කිරි මැටිපයහි(වූ) සාරයෙන් මිනිසා අපි නියතවශපයන් මැව්වෙමු. (අල්කුර්ආන් 23:12)

ඒ හා සම්බන්ධ වූ දීර්ඝ විස්තර කිරීමක් විෂ්‍ය ප්‍රධානීන් මගින් ඉදිරිපත් කර ඇත. විපශේෂයන් පාංශු විදයාත්මක කරුණු මෙය තහවුරු කරන හෙයින්, ඒ හා සම්බන්ධ විදයාත්මක අදහස් දීර්ඝව සාකච්ඡා කර තිබීම විශේෂත්වයකි.[2]

එසේම ඉස්ලාම් දහම අනුව මානව සංහතියේ පළමු මරණය සිද්ධ වූ අවස්ථාවේදී (ආබිල් කාබිල් සිදුවී)[3] එම දේහය භූමදානය කර ඇති බවට අල්කුරාණයේ සඳහන් වී ඇත. මරණය සිද්ධ වූ අවස්ථාවේදී මෙය කුමක් කළ යුතු ද යන්න නොදැනුවත්ව තිබුණු හෙයින්, එය ඉෂ්ට සිද්ධ කළ යුත්තේ කෙසේද යන්න දෙවියන් වහන්සේ මගින් විග්‍රහයක් ලැබී ඇත. ඒ අනුව එම දේහය වළ දමනු ලැබීය මෙය අල්-කුර්ආනයේ ඉතාමත්ම පැහැදිලිව ම තිබෙන හෙයින් මුස්ලිම්වරුන් ආදාහනය නොකොට භූමදානය කිරීම යහපත් යැයි දැඩි ලෙස විශ්වාස කරති

  1. තවත් මිනිස් සිරුරකට බාහිර වෙනස්කමක් කළ නොහැකිය:

මිනිස් සිරුර දෙවියන් වහන්සේ විසින් මවනු ලැබූවක් හෙයින් එයට මිනිසා බාහිර වෙනස්කමක් කළ නොයුතු ය එය එසේ කිරීමෙන් කෙනකුගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවේ. ඉස්ලාමය අනුව මිනිසෙකු තවත් මිනිසෙකුගේ ශරීරයට ඔහුගේ කැමැත්ත මත තොරව කිසිවිටෙක අතතිය නොහැක. ඉස්ලාමීය අනුව එසේ කිරීම අපරාධයක් හැටියට සඳහන් කරයි. අනුමැතියක් ලැබුණද අඹමල් රේණුවක තරම් හෝ කෙනෙක් තවත් කෙනෙකුට හිරිහැරයක්,  අපරාධයක් කළ නොහැකිය. එසේම ඔහුගේ අනුමැතියෙන් තොරව ඔහුගේ ශරීරයට කිසි දෙයක් හෝ වෙනස්කමක් සිදු කළ නොහැකිය.

මෙම නිසා ම මළ සිරුරට දැනුනද, නොදැනුන ද එය කැපීම, පැලීම, විකෘති කිරීම එම්බාම් කිරීම වැනි දේවල් නොකළ යුතු යැයි ඉස්ලාමය සඳහන් කරයි. මුස්ලිම්වරුන්ගේ විශ්වාසය අනුව මල මිනිහ පිළිස්සීම එම සිරුරට කරන බාහිර වෙනස් කමක් ය. නැතිනම් එය තව කෙනකුගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් හැටියට සැලකිය හැක ය. භූමදානය කිරීම මෙවැනි බාහිර වෙනස් කිරීමකින් තොරව සිදුවෙන දෙයක් හැටියට මුස්ලිම්වරු පිළිගැනිති.

තවත් විශේෂිත කරුණක් වන්නේ ඉස්ලාමය අනුව කෙනෙක් තවත් කෙනෙකුට අපරාධයක් කරන විට එම අපරාධයට ලක් වූ තැනැත්තා සමාව දෙන තුරු දෙවියන් වහන්සේ සමාව නොදෙන බවට සඳහන් වේ. යම් කිසි හෙයකින් මරණයට පත්වූ තැනැත්තාට අපරාධයක් සිදු වුවහොත් එයට සමාව අයැදීමට අපරාධය සිදු කළ තැනැත්තාට අවස්ථාවක් හිමි වන්නේ නැත..

عن عائشة رضي الله عنها: أن رسول الله ﷺ قال: كسر عظم الميت ككسره حيًّا. رواه أبو داود بإسنادٍ على شرط مسلم.

ඔබ මල මිනිහෙකුගේ ඇට කටුවක් සිදීම පණ පිටින් සිටින කෙනෙකුගේ රට කටුවක් සිදීම හා සමාන යයි නබිතුමාණෝ සඳහන් කර ඇත.[4] මෙයින් අදහස් වන්නේ කිසිවිටෙක කෙනෙකුට තවත් කෙනෙකුගේ ශරීරයට අතතැබීමට නොහැක යන්නය…

 

  1. ආගමානුකූල වගකීමක්.

සෑම ආගමක් දහමක් තුළම වගකීම් රාශියක් තිබේ. එසේම භූමදානය කිරීම මුස්ලිම් සමාජයීය වගකීමක් හැටියට ඉස්ලාමය අනාවරණය කොට තිබේ මෙම නිසා මුස්ලිම් සමාජයේ යම් කිසි කෙනෙකු මරණයට පත් වූවොත් එය එසැනින්ම භූමදානය කිරීම අනිවාර්ය කොට තිබේ..

  1. සොහොනක් තිබීමේ අවශ්‍යතාවය:

මරණයට පත් වූවන්ට විවිධ ආගම් විවිධාකාර ගරුත්වයන් ලබා දෙන අතර එම ගරුත්වයන් ආගමානුකූලව වෙනස්ය. සමහර ආගම් ආදාහනය කිරීම ගරුත්වයක් යයි විශ්වාස කරයි. තවත් සමහර ආගම් හා සංස්කෘතියන් තුළ පිළිමයන් තැනීම, මතක පුවරු තැනීම ඡායාරූප වලට මල් මාල දමා නිවෙස්වල එල්ලීම ගරුත්වයක් හැටියට සලකයි. නියත වශයෙන්ම මෙතුළින් ඥාතීන්ට හා හිතමිතුරන්ට මරණයට පත් වූවන් පිළිබඳව මතකය රඳා පවත්වාගැනීමටත්, ජීවිතය හා මරණයේ යථාර්ථය සිහි කිරීමටත් අවස්ථාවක් ලැබේ.

ඉස්ලාමීය අනුව කෙනෙක් මරණයට පත්වෙන විට ඔහුව සිහි කිරීමට භූමදානය කිරීමෙන් ලැබෙනවා වූ සොහොන මහඟු පිටුවහලක් වේ. මෙතුළින් මරණයට පත්වූවන් පිළිබඳව ඥාතීන්ට සිහි කර ගැනීමටත් මරණයේ යථාර්ථය පිළිබඳව නිතර සිහි කරවා ගැන්වීමටත් අවස්ථාවක් ලැබේ..

නබිතුමාණෝගේ ඉතිහාසයේ නබිතුමාණෝ සොහොන් දුටුවිට ජීවිතයේ යථාර්ථය හා මරණය පිළිබඳව තම අනුගාමිකයන්ට පැහැදිලි කොට තිබේ… විශේෂයෙන්ම නබිතුමාණෝ සොහොන් බිම් වලට නිතර යෑමේ අවශ්‍යතාවය හා එය ජීවිතයේ යථාර්ථය හා මරණය පිළිබඳව සිහිකිරීමක් ලබාදේ යයි ද සඳහන් කර තිබේ.

كُنْتُ نَهَيْتُكُمْ عَنْ زِيَارَةِ الْقُبُورِ فَزُورُوهَا

මුලින් සොහොන් බිම් වලට සංචාරය කිරීම (එයට පූජනීයත්වයක් ලබා දී වන්දනාමාන සිදුවේ යන හේතුවෙන්) තහනම් කොට තැබුවෙමි. නමුත් ඔබ එයට නිතර නිතර යෑමෙන්අවසන් දිනය පිළිබඳව වූ මතකය එය ගෙන දෙයි යයි නබිතුමාණෝ ඉතාමත්ම පැහැදිලිව සඳහන් කර ඇත. (මූලාශ්‍රය මුස්ලිම් හදිස් ග්‍රන්ථය)

05 ආදාහනය කිරීමට අනුමැතියක් තිබේද?

පොදුවේ ඉස්ලාමය තුළ ආදාහනය කිරීමට කිසි විටෙක කිසිම අනුමැතියක් නැත. එනමුත් සමහර විශේෂිත අවස්ථාවන් හි ඉස්ලාම් දහම තුල සෑම කටයුත්තකටම, සෑම නීතිරීතියකටම යම් නම්‍යශීලීත්වයක් ලබා දී ඇත. මෙතුළින් තහනම් වූ දෙයක්ද සිදුකිරීමට අවස්ථාව ලැබෙයි.

الضرورات تبيح المحظورات (අවශ්‍ය අවස්ථාවන්හි තහනම් දෑත් අනුමත වේ)[5] යන පොදු සම්මතයක් තිබේ. මෙයට කුරාණයෙන් උදාහරණයක් ලබා දෙන විට ඌරු මස් කෑම මුස්ලිම්වරුන්ට තහනම් වූවත් එය හැර කිසිම විකල්පයක් නැත යන අවස්ථාවක ජීවිතය ආරක්ෂා කරගැනීමට ඌරු මස් කෑමට ද අනුමැතිය ලබා දී තිබේ. එනමුත් කාරණා දෙකක් කුරානයේ කොන්දේසි වශයෙන් ඉදිරිපත් කරයි. සීමාව ඉක්මවා නොයෑම, නැවත නැවත එය සිදු නොකිරීම, ඒ කොන්දේසි දෙක වේ.

විශේෂයෙන් යම් ප්‍රායෝගික තත්වයක් පදනම් කරගෙන ඇතැම් ආගමික නියමයන්ට පටහැනි ලෙස කටයුතු කරන්නට සිද්ධ වන අවස්ථාවන්හි, ඉස්ලාම් ධර්මය තුළින් එයට ඉඩ දී ඇත. කිසිම අවස්ථාවක එය පවක් යැයි ඉස්ලාමය නොසලකයි.

තවත් උදාහරණයකට ඉබේ මැරුණු සතුන්, රුධිරය, ඌරු මස් ආදී දේවල් ආහාරයට නොගත යුතු යැයි මුස්ලිම්වරුන්ට තහනම් පනවා ඇත. නබිතුමාණෝගේ නබි වදන් වල දැක්වෙන විදිහට තහනම් වූ ආහාර අනුභව කරපු කෙනෙකුට ස්වර්ගයට යෑමට ඉඩ ලැබෙන්නේ නැත. එහෙත් යමෙක් අධික කුසගින්න කට මුහුණ පා, කිසිවක් ආහාරයට නොගත හොත් මරණයට පවා පත්වෙන්න පුළුවන් වාතාවරණයක ආහාර සඳහා අනුමත කිසිවක් සොයාගන්නටත් අපොහොසත් වූ වස්ථාවක, පව් කිරීමේ අදහසකින් තොරව ප්‍රමාණය නොඉක්මවා  තහනම්කර ඇති දෙයක් වූවත් ආහාරයට ගන්න අවසර දී තිබේ. එයින් පාපයක් සිද්ධ වන්නේ නැත.

ඔහු නුඹලා කෙරෙහි තහනම් කර ඇත්තේ මළ සතුන්, රුධිරය, සූකර මාංශ හා අල්ලාහ් හැර වෙනත් දෑ සඳහා නාමය උච්චාරණය කරනු ලැබූ දෑම වේ. යමෙක් කැමැත්තකින් තොරව හා (ජීවිතය රැක ගැනීමට අවශ්‍ය) ප‍්‍රමාණය නොඉක්මවා (විකල්පයකින් තොර) බලවත් අවශ්‍යතාවකට ලක් වූයේ නම්, ඔහු කෙරෙහි (ඒවා ආහාරයට ගැනීම) පාපයක් නැත. සැබැවින්ම අල්ලාහ් ක්ෂමාශීලීය කරුණාභරිතය. (අල්කුර්ආන් 2:173)

කවරෙකු පාපය වෙත නැඹුරුවීමකින් තොරව දරා ගත නොහැකි කුසගින්න හේතුවෙන් (ඉහත සඳහන් දෑ අනුභව කිරීමට) බල කරනු ලැබුවේ ද එවිට අල්ලාහ් අති ක්ෂමාශීලීය පරම කරුණාභරිතය. (අල්කුර්ආන් 5:3)

මේ අනුව භූමදානය පමණක් දහම අනුමත කළ ද යම් කිසි අවස්ථාවන්හි ආදාහනය අත්‍යවශ්‍ය වූ විට එයට ද ඉස්ලාම් දහම අනුමැතිය ලබා දෙයි එම ආදාහනයට අනුමැතිය ලැබෙන අවස්ථාවන් හැටියට පහත සඳහන් විශේෂිත අවස්ථාවන් සඳහන් කළ හැක

  1. ක්ෂේත්‍රීය විශේෂත්වයන්ගේ ඉල්ලීම.

යම් විශේෂිත අවස්ථාවක ක්ෂේත්‍රීය ප්‍රවීනයන්ගේ ඉල්ලීමක් හෝ මඟ පෙන්වීමක් තිබේනම්,  අනිවාර්යෙන්ම ආදාහනය කිරීමේ වැදගත්කම මනා ලෙස පහදා දී තිබේ නම්, එම අවස්ථාවන් හි ආදාහනය කළ හැක.

ඔබලා නොදන්නේ නම් විෂය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් අසා විමසනු (අල්කුර්ආන් 16:43) කුරාණය සඳහන් කරය.

මෙහි විශේෂිත කොන්දේසියක් වන්නේ ප්‍රවීණයන් යයි තහවුරු වූ කණ්ඩායමක් විසින් මෙය ඉදිරිපත් කළ යුතු යන්නය. එය සෞඛ්‍යයමය හෝ සමාජමය නැතිනම් අනෙකුත් කාරණා මත ඉදිරිපත් විය හැක.

උදාහරණයක් වශයෙන් ගබ්සා කිරීම:  ඉස්ලාම් දහම තහනම් කළ ද, එය මවගේ ජීවිතය බේරාගැනීමට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ මගපෙන්වීමක් තිබේනම් එයට මෙමගින් අනුමැතිය ලැබේ.

  1. සිරුරක් ආදාහනය වීම:

ගුවන් විපතක් හෝ අනෙකුත් කාරණා මත යම් සිරුරක් ඉබේම ආදාහනය වූවේ නම් එය භූමදාන කිරිමේ වගකීමෙන් මුස්ලිම් සමාජය මිදේ.

  1. විශාල විනාශයක් වළක්වාලීමට හෝ විශාල යහපතක් ගෙන ඒමට.

භූමදානය මගින් ජීවතුන් අතර සිටින ජනතාවට යම්කිසි විශාල හානියක් සිදු වේ යයි තහවුරු වෙනවිට නැතිනම් භූමදානය හා ආදාහනය සංසන්දනය කරන විට භූමදානයෙන් විශාල යහපතක් මග හැරී යයි තහවුරු වෙනවිට ආදාහනයට ඉස්ලාමය අනුමැතිය ලබා දෙයි. මේ අවස්ථාවන්හි ආදාහනය කිරීම අනිවාර්යයයි ඉස්ලාමය සඳහන් කරයි.

එනමුත් මෙය ඉතාමත් සාධාරණව බියෙන් සැකයෙන් තොරව තහවුරු විය යුතුය. පර්යේෂණ මගින් විද්වත් මඩුල්ලක් මගින් මෙය තහවුරු වෙනවිට ආදාහනය අනිවාර්ය කටයුත්තක් හැටියට පත් වේ.

  1. වගකීමෙන් මිදෙන විට:

භූමදානය කිරීම මුස්ලිම් සමාජයේ වගකීමක් ය. එනමුත් සමහර අවස්ථාවන්වල එය නිසියාකාරව ඉෂ්ට කිරීමට මුස්ලිම් සමාජයට අවස්ථාවක් හෝ හැකියාවක් නොලැබෙන විට, බාහිර පාර්ශවයෙන් දැඩි විරෝධයක් හෝ බලපෑමක් එල්ල වන විට හෝ යම් බලවත් හස්තයක් රජයක් හෝ බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ අවදානමක් තිබේ නම් මෙම අවස්ථාවන් හි භූමදානය කිරීමේ වගකීමෙන් මුස්ලිම් සමාජය මිදේ. එනමුත් අහිංසාවාදී ව භූමදාන කිරීමට තිබෙන අයිතිය පිළිබඳව පැහැදිලි කිරීම හා වටහාදීම මුස්ලිම් සමාජයේ වගකීමක් වේ.

 

  1. ආදාහනය එලෝ ජීවිතයට බාධකයක්ද ?

මුස්ලිම්වරයෙක් ආදාහනයට පත්වෙන විට එය කිසි විටෙක ඔහුගේ එලෝ ජීවිතයට බාධකයක් නොවේ. ආදාහනය හා භූමදානය ජීවතුන් අතර සිටින මුස්ලිම්වරුන්ගේ වගකීමක් මිස මරණයට පත් වුණු තැනැත්තාගේ වගකීමක් නොවේ.  අල්-කුරානයෙ සඳහන් පවන පරිදි, කිසිඳු කෙනකුට ඔහුට දැරිය හැකි බරක් විනා වගකීමක් අල්ලාහ් නොපනවයි. (සෑම කෙනකුටම) ඔහු කරන හොඳ දෙය (සඳහා යහපත් ප්‍රතිඵල ) ඔහුටය. ඔහු කරන නරක දෙ (සඳහා අනිශ්ට විපාක ද) ඔහුටමය. (2:286). පමම කුර්ආන් වාකය පැහැදිලිවම සඳහන් කරන කරුණ වන්නෙ යහපත් ක්‍රියාවන් කරන අය එහි ප්‍රතිඵලය නියත වශයෙන්ම එලොවෙහි ලබා ගනිති යන්න ය.

සමහරවිට බලහත්කාරයෙන් ආදාහනයට පත්වන්නේ නම් එය එම මළ සිරුරට ලැබෙන විශේෂිත ගෞරවයක් හැටියට සමහර ඉස්ලාමීය විද්වතුන් සඳහන් කර ඇත. ආදාහනය අනුමතිය නොවූවත් බලහත්කාරයෙන් එය සිදුවන්නේ නම් එය එම මළ සිරුරට ලැබෙන  මහඟු ගෞරවයක් හැටියටත් ගරුත්වයක් හැටියටත් නූතන මුස්ලිම් විද්වතුන් සඳහන් කරති

 

  1. අවසානය

මරණයට පත්වූ දේහයක් ආදාහනය හෝ භූමදානය කිරීමේ පොදු වූ සම්මතයක් ලෝකයේ පවතී. මෙය විවිධ ආගම් අනුව හා සංස්කෘතිය අනුව වෙනස් වේ. ඉස්ලාම් දහම තුල භූමදානය ට පමණක් අනුමතය තිබුණද අනෙකුත් සංස්කෘතියන් තුළ එය වෙනස් විය හැක හෙයින් ඉස්ලාමය එයට ගරු කරයි. ආගම තුළ කිසිම බල කිරීමක් නැත යයි අල්කුරානය සඳහන් කරයි.[6] ඕනෑම කෙනෙකුට ඕනෑම ආගමක් හෝ දහමක් නිදහසේ පිළිපැදීමේ හා විශ්වාස කිරීමේ නිදහස තිබේ. ඔබට ඔබගේ ආගම අපට අපගේ ආගම[7] යනුවෙනුත් අල්-කුර්ආනයේ තවත් තැනක සඳහන් වී ඇත. ඇත්තෙන්ම තම සමීපතම ඥාතියෙකුගේ දේහයකට අවසාන ගෞරවය යනු ඉතා වැදගත්, හැඟීම්බර, සංවර කරුණක් හැටියට සැලකෙන හෙයින් මෙය තනි පුද්ගල නිදහසක් හා එක් එක් සමාජමය වගකීමක් හැටියට දැකිය යුතුය. එක් ආගමක තිබෙනවා වූ කරුණක් තවත් ආගමකට සුළු වෙන්න පුළුවනි, එසේම තවත් ආගමක සුළුකොට සලකන කරුණක් වෙනත් ආගමකට දැඩිව විස්වාස කරන කරුණක් විය හැකිය. එම හෙයින් ආගමික නිදහස තනි පුද්ගල නිදහස අනුව මෙවන් ඉතාමත් සංවර කරුණු බැලීම විවෘත සිතක් පපුවක් මනසක් තිබෙන මිනිස්සු සියලු දෙනාගේම වගකීමක් වේ. මෙයට කිසිම ආගමක් හෝ සංස්කෘතියක් එරෙහි නොවෙයි. ආගම් දහම් මනුෂ්‍යත්වය මුල්කොට ගෙන කටයුතු කරන හෙයින් සියලුම මානව සංහතියේ අභිවෘද්ධිය, අභිලාෂය අවතක්සේරු නොකිරීම අප සැමගේම වගකීමක් වේ. ඉස්ලාම් දහම අනුව ආදාහනය කිරීම යනු ඉතාමත්ම සංවර කිසිවිටක පිළිගත නොහැකි කරුණක් හැටියට සලකනු ලැබේ. යම් අවශ්‍ය අවස්ථාවක ආදාහනයට අවසර තිබුණද, තම ඥාතියකුගේ දේහයක් පිලිස්සීම යනු දරා ගත නොහැකි කරුණක් හැටියට සලකනු ලැබේ. එය එලෝ ජීවිතයට කිසිම බාධකයක් නොවූවත් ඥාතියෙකුගේ දේහයක් ගින්නෙන් පිළිස්සෙන අවස්ථාව කිසිවිටෙක පිළිගැනීමට නොහැකියැයි මුස්ලිම්වරු දැඩිව විශ්වාස කරති. මෙය වෙනත් ආගමකට එසේ නොවිය හැකිය එය ද ඉස්ලාමය පිළිගනී. මෙම නිසා ආගම් දහම් වල තිබෙනවා හැඟීම්බර කරුණු එම ආගමානුකූලව දැකීමට තරම් විවෘත මනසක් වැඩි දියුණු කර ගැනීම ඉතා අවශ්‍යය. ලෝකය ලස්සන වන්නේ ලස්සන පෙනුම තිබෙන මිනිස්සු වෙසෙන නිසා නොව, ලස්සන සිත් සතන් තිබෙන මිනිස්සු වෙසෙන නිසා වේ.

ස්තුතියි

ආසාත් සිරස්

[1] Seerah Halbeayah Vol. 1, p272

[2]  El-Ramady, Hassan & Alshaal, Tarek & Omara, Alaa El-Dein & Elsakhawy, Tamer & Abdalla, Zakaria. (2019). Soils

and Human Creation in the Holy Quran: from Point of View of Soil Science. Environment, Biodiversity and Soil

Security.

https://www.researchgate.net/publication/331168886_Soils_and_Human_Creation_in_the_Holy_Quran_from_Po

int_of_View_of_Soil_Science

[3] අල්කුර්ආන් 05: 27-31

[4] මූලාශ්‍රය: අබූ දාවුත්, අහ්මත්  යන හදීස් ග්‍රන්ථයන්

[5] Juhaili, Wahba. (n.d.). Book of jurisprudence rules and their applications in the four schools of thought. األربعة المذاهب في وتطبيقاتها الفقهية القواعد كتاب .Retrieved December 06, 2020, from https://almaktaba.org/book/21786/27

[6] බලන්න – අල්කුර්ආන් 2: 256

[7] බලන්න – අල්කුර්ආන් 107:06

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *