කලාව

ලංකා මුස්ලිම්වරුන්ට අනන්‍ය නර්තනය

ලංකා මුස්ලිම්වරුන්ට අනන්‍ය කලි කම්බු ආට්ටම් නර්තනය

නර්තනය හැඳින්වීම

මානවයාගේ විකාශනයේ කිසියම් නිශ්චිතව හඳුනා නොගත් අවධියක නර්තනය බිහි වී ඇත. සිසිලි‍යේ ගුහා චිත්‍ර, ස්පාඥ්ඥයේ ඇති මොරොල්ලා සලා ගුහා චිත්‍ර වැනි ගුහා ආශ්‍රිතව ඇඳ තිබූ ඉපැරණි චිත්‍ර මගින් පෙනී යන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයේම නර්තනය තිබී ඇති බවයි. මිනිසා ස්වභාව ධර්මය සමඟ කළ අරගලය ප්‍රතිනිර්මාණය කිරීමට ගත් උත්සාහය තුළ නර්තනයත් බිහි වන්නට ඇත. නර්තනය මිනිසාගේ සතුට, විනෝදාස්වාදය, ප්‍රීතිය, වින්දනය, විවේකය සඳහා ප්‍රබල මාධ්‍යයක් වෙයි.

ලෝකයේ සෑම ප්‍රදේශයකම විවිධ මාදිලයේ නැටුම් ක්‍රම බිහි වී ඇත. ඒවා ගැමි නැටුම් නැතිනම් ජන නැටුම් සම්ප්‍රදායන් වේ. එම නැටුම් සම්ප්‍රදායන් තුළ ප්‍රාදේශීය හෝ ජාතික අනන්‍යතා ලක්ෂණ ද පිළිඹිබු වේ. පොදුවේ එකී නැටුම්වල දැකිය හැකි සමාන ලක්ෂණයන් වන්නේ.

            සාමූහික සහභාගීත්වය

            සරල අංග චලනයන්

            විනෝදාස්වාදය හෝ විඩාව නිවා ගැනීම අරමුණ කර ගැනීම

            ජීවන රටාව හා සමාජ සම්බන්ධතා නිරූපණය වීම

අපෙ රට තුළත් මෙවැනි ලක්ෂණවලින් හෙබි අනන්‍යතා ලක්ෂණ පෙන්නුම් කරන ගැමි නැටුම් රැසක් දැකිය හැකි ය. එම ගැමි නැටුම්වල ආරම්භයන් අතරත් විවිධ වෙනස්කම් දක්නට ලැබේ. නිදසුන් ලෙස ධීවර නැටුම්, ගොයම් කැපීම,  ගොවි නැටුම, කුලු නැටුම, තේ දලු නෙළීම, පන් නෙළීම වැනි නර්තනාංග කිසියම් ජීවන වෘතියක් සමඟ බැඳී ඇත.  එමෙන්ම නිවෙස්වල සිදුකරන විවිධ කාර්යයන්ට අදාළව කළගෙඩි නැටුම, මෝල්ගස් නැටුම වැනි නර්තන වර්ගත් චාමර, සවරන් පතුරු වැනි සමාජ අවශ්‍යතා හා බැඳුනු නර්තන ද දැකිය හැකි වේ. මීට අමතරව ලී කෙළි නැටුම, කඩු සරඹ වැනි ජන නැටුම් ආදිය පුරාණ යුද හරඹ ඇසුරින් නිර්මාණය වූ ඒවා වේ. කාවාඩි වැනි ජන නැටුම් ඇදහිලි හා විශ්වාස මත ගොඩනැගුණකි.

ලංකා මුස්ලිම්වරුන්ගේ ජන නැටුම්.

ලංකාවේ මුස්ලිම්වරු අතරත් පක්කීර් බයිත්, සීරා ගැයුම්, ලී කෙලි නැටුම් හෙවත් කලිකම්බු, කඩු හරඹ, කරනම්, ලී හරඹ, සීනඩි වැනි නර්තන කලාවන් තිබී ඇත. අදටත් මුස්ලිම්වරු අතර සුරක්ෂිතව තිබෙන ජන නැටුමක් වන්නේ ලී කෙලි නැටුම යි. මෙය පොදුවේ සිංහල ගැමි සමාජය තුළ ද තිබුණු සාම්ප්‍රදායික ගැමි නැටුමකි. විශේෂයෙන් පුත්තලම, මන්නාරම හා මඩකලපුව ආශ්‍රිත මුස්ලිම් ප්‍රජාව අතර ලී කෙලි නැටුම අදටත් පවතී. ඔවුහු එය හඳුන්වන්නේ ‘කළි කම්බු ආට්ටම්’ යනුවෙනි. එමෙන්ම මුස්ලිම්වරු අතර මෙය ‘කම්බඩි, පොල්ලඩි, කළිකම්බු, කලිකම්බඩි ආදි ලෙසත් හඳුන්වති.

‘කලි කම්බු ආට්ටම්’ ආරම්භය.

දකුණු ඉන්දියාවේ ‘කලි කම්බු ආට්ටම්’ වර්ග කිහිපයක්ම තිබේ. ඒවා ‘පින්නල් කෝලාට්ටම්’ ‘වෛත්තානෛක් කෝලාට්ටම්’, ‘අයින්තරෛ’, ‘කලියල්’ යනාදියයි. වෛදානෛක් කෝලාට්ටම් සහ කලියල් පිරිමි පමණක් සහභාගි වන නැටුම් විශේෂයකි. නමුත් දකුණු ඉන්දීය ලී කෙලි නැටුම් සහ ලංකා මුස්ලිම්වරුන්ගේ ‘කලි කම්බු ආට්ටම්’ අතර වෙනස්කම් කිහිපයක්ම පවතී. “ලංකා මුස්ලිම්වරු අතර තිබෙන කලි කම්බු නර්තන කලාව ඉන්දියාවේ කලියල් ආට්ටම් සහ මලයාවේ තිබෙන ‘කෝල්කලි’ නර්තනය මිශ්‍ර කලාවක් යැයි හඳුනාගත හැකි ය. ඒ අනුව මුස්ලිම්වරුන්ගේ ‘කලි කම්බු ආට්ටම්’ කේරල ප්‍රාන්තයේ මුස්ලිම්වරු අතරින් බිහිවූවක් යැයි අනුමාන කළ හැකි ය. (පාවලර් සාන්දි මුහියිද්දීන්, 2011)

කලි කම්බු ආට්ටම් ව්‍යාප්තිය.

පාරම්පරික කලාවක් වන මෙම නර්තනය ගොවි ගම්මාන සහ ධීවර ගම්මානවල බහුලව ව්‍යාප්තව තිබුණි. වී වැපිරීම, ගොයම් කැපීම, වී පැගීම සහ දඩයමේ යෑම ආදි රැකියාවන් අවසන් කළ පසු විවේක ගන්නා වේලාවන්වලදදි විනෝදාශ්වාදයක් ලෙස ගැමි මුස්ලිම් ගොවියන් ‘කලි කම්බු ආට්ටම්’ නැටූහ. එමෙන්ම කන්දූරි (පල්ලියේ පවත්වනු ලබන විශේෂ භෝජන සංග්‍රහයක්), කොඩි එසවීම (ඇතැම් පල්ලිවල පවත්වන විශේෂ උත්සවයක්) ආදි පල්ලිය හා සම්බන්ධ උත්සවයන්වලත් මෙම නැටුම දක්නට තිබුණි. ඊට අමතරව කන් විදීම, කත්නා (චර්මඡේදනය) උත්සව, විවාහ උත්සව, අවුරුදු, මුහර්රම් නව වසර (මුස්ලිම්වරුන්ගේ අලුත් අවුරුද්ද) මීලාද් නබි දිනය (නබිනායකතුමාණන්ගේ ජන්ම දිනය) ආදි විශේෂ දිනයන්වලත් කලි කම්බු ආට්ටම් නටනු ලැබේ. විනෝදාශ්වාද සහ ව්‍යායාමයක් වශයෙන් ප්‍රභවය ලැබූ මෙම කලාව වර්තමානයේ අමුත්තන් පිළිගැනීම, වේදිකාවල ඉදිරිපත් කිරීම සහ තරඟ සඳහා ඉදිරිපත් කරනු ලැබේ. මෙරට මුස්ලිම්වරු බහුළව ජීවත්වන ප්‍රදේශ අතුරින් පුත්තලම, මන්නාරම, බේරුවල, කල්පිටිය, මඩකලපුව ආදි ප්‍රදේශවල කලි කම්බු ආට්ටම් නටනු ලැබේ.

 

‘කලි කම්බු ආට්ටම්’ නැටුමේ ගුරා – අන්නාවියාර්.

‘කලි කම්බු ආට්ටම්’ නැටුමට නායකත්වය දෙන ගුරා, අන්නාවියාර් යනුවෙන් හඳුන්වනු ලැබේ. ‘කලි කම්බු ආට්ටම්’ නැටුමේ ගුරාට ප්‍රධාන තැනක් හිමි වේ. ගීත ගායනය, කණ්ඩායම හැසිරවීම, ලී කෙලිය, අඩිය තැබීම, චලනය වීම් නොවරදින ලෙස හැසිරවිය යුත්තේ මොහු විසිනි. ‘කලි කම්බු ආට්ටම්’ නැටුමේ සාර්තකත්වය සහ අසාර්තකත්වය ගුරා මත තීරණය වන නිසා අන්නාවියාර් හෙවත් ගුරාට වැදගත් ස්ථානයක් හිමි වේ. මොහුට තාලය නොවෙනස් වන ලෙස ගී ගැයීමේ හැකියාව ද තිබිය යුතු වේ. නැටුමට ඔබින ගැයුමත්, ගැයුමට ඔබින නැටුමත් සකස් කිරීමේ හැකියාවත් මොහු සතු විය යුතු ය. අන්නාවියාර්ට කණ්ඩායමේ නැට්ටුවන්ගේ ගෞරවයත් හිමි වේ. මඩකලපුවේ ඇතැම් පෙදෙස්වල කලි කම්බු නැටුමක් පැවැත්වීමට අවශ්‍ය නම් අන්නාවියාර්ට බුලත්, පළතුරු ආදිය දී අවසර ලබා ගනී. ඉන්පසුව යොදාගත් දිනයේ අන්නාවියාර්ව පැරහැරකින් කැඳවාගෙන විත් නර්තනයේ යොදවයි. අන්නාවියර්වරයෙකු විශ්‍රාම ගිය පසු නැතහොත් මරණයට පත්වූ පසු එම කණ්ඩායමේ අත්දැකීම් බහුල සාමාජිකයෙකු ඔහුගේ වගකීම භාරගනී. නැතිනම් දෙතුන් දෙනෙකු තනි තනි නැටුම් කණ්ඩායම් සකස් කර ගනී.

‘කලි කම්බු ආට්ටම්’.

පුත්තලම දිස්ත්‍රික්කයේ වැඩිහිටියන් සහ දරුවන් ද ‘කලි කම්බු ආට්ටම්’ නැටුමට සම්බන්ධ වෙති. කුඩා දරුවන් උදෑසන සහ සන්ද්‍යාවේ ‘කලි කම්බු ආට්ටම්’ නටන අතර වැඩිහිටියන් රාත්‍රියේ නටති. විදුලිය නොමැති පෙදෙස්වල පොල්කටු අවුලුවා එම එලියේ ආධාරයෙන් නටති. මඩකලපුවේ මෙම නැටුමට ලාම්පු භාවිත කරනු ලැබේ. ‘කලි කම්බු ආට්ටම්’ නැටුම සඳහා කණ්ඩායම රවුම් දෙකකට සකසා ගැනීම සහ ජෝඩු වශයෙන් සිටීම අතිශය වැදගත්. කලි කම්බු ආට්ටම් නැටුමට පිරිමි පමණක් සම්බන්ධ වීම තවත් විශේෂ ලක්ෂණයකි. අවමය ශිල්පීන් 8 ක් සහ උපරිමය 38ක් රවුම් දෙකේ එකිනෙකාට ප්‍රතිවිරුද්ධව සිටිමින් නටනු ලැබේ. සාමාන්‍යයෙන් පුත්තලම ආශ්‍රිතව දස දෙනෙකු, දහහතර දෙනෙකු හෝ දහසය දෙනෙකු නර්තනයට සම්බන්ධ වේ. කණ්ඩායමේ සාමාජිකයෝ අන්නාවියාර්ගෙන් ආශිර්වාද ලබා නිර්තනය සඳහා ලීය ලබා ගනි. නර්තනය ආරම්භ කිරීමට පෙර දෙවියන් වහන්සේගේ අවසර පතමින් ලී කෙලියේ යෙදෙන විට අත් සහ හිසේ පහර වැදී තුවාල නොවීමටත් නැටුම නොවැරදීමටත් දෙවියන්ගෙන් ප්‍රාර්ථනා කරයි.

‘කලි කම්බු නර්තනයේ’ ප්‍රස්ථාවනාව වැදගත් ස්ථානයක් ගනී. නර්තනයට පෙර අන්නාවියාර් විසින් ප්‍රස්ථාවනා කියනු ලැබේ. බොහෝ විට එම ප්‍රස්ථාවනා “සීරාප්පුරානම්, කනකාබිෂේකමලෛ, සලීම් තිරුප්පුහල්” වැනි ග්‍රන්ථයන්ගෙන් ගයනු ලැබේ. මඩකලපුව ප්‍රදේශයේ “මස්තාන් සාහිබු පාඩල්” ආදි ග්‍රන්ථයෙන් ද ප්‍රස්ථාවනාව කියනු ලැබේ. ප්‍රස්ථාවනාව ආරම්භවීමත් සමඟ නැට්ටුවෝ රවුමකට දකුණ පසින් ද අනතුරුව වම් පසින් ද ගමන් කරති. ප්‍රස්ථාවනාවේ සෑම පදයකින් පසුවම සියලු දෙනා මර්හබා (හොඳයි/යහපත්) යැයි කියති. පසුව රවුම් දෙකකට බෙදී ජෝඩු වශයෙන් එකම හඬක් නැගෙන ලෙස ලී එකින් එක ගැටෙන්නට සලස්වති. ප්‍රස්ථාවනාව අවසන් වූ පසු ගුරා හෙවත් අන්නාවියාර් විසින් ‘තෙයි’ නැතිනම් ‘තෙයි තාම් තෙයි’ යනුවෙන් පවසා තමා ගැයීමට අපෙක්ෂා කරන ගීතයේ තනුව ආරම්භ කරයි. ගායනය ඇරඹීමත් කිරීමත් සමඟ කණ්ඩායම රවුම් දෙකකට සකස් වී සිටින නර්තන කණ්ඩායම ලී එකිනෙක වද්දමින් නටති.

කලි කම්බු ආට්ටම් නර්තනයේ නැටුම් වර්ග

නැටුම් වර්ග කිහිපයක් ම තිබේ. මේ පිළිබඳව පාවලර් සාන්දි මුහියද්දීන් මෙසේ පවසයි. “අප දන්නා පරිදි ලී කෙලියේ නැටුම් 24ක් තිබේ. ඊටත් වඩා වැඩිවෙන්නත් පුලුවන්. මේ නැටුම් සියල්ල අතුරින් විශිෂ්ඨතම හා වැඩි කාලයක් ගන්නේ ලණු ඇඹරීම සඳහා ය. (පාවලර් සාන්දි මුහියද්දීන්, 2011) පුත්තලම ප්‍රදේශයේ ‘ඔට්රෛමල්ලි, ඉරට්ටෛමල්ලි, තිරුහුමල්ලි, සක්කරවෙට්ටු’ ආදී නැටුම් භාවිත කරති. කලිකම්බු නර්තනයේ ලී හතර, ලී හය, ලී නවය ආදී තාල මාරු ද මානවෙට්ටු, පූට්ටු කම්බු ආදි ක්‍රම සහ’ දිමිර් දිමිර් තක්කිනදෝම’, තකිර්දාම් තකිර්දාම් තීජරි තාජරි ආදි වචන ද භාවිත කරති. ‘ඔට්රෛ මල්ලි’ යන පහසු නැටුමේ සිට පැන නැටීම, කැරකීම ආදී සංකීර්ණ නැටුම්වලට ක්‍රමයෙන් ඔවුහු මාරු වෙති. සංකීර්ණ නැටුම් අංක අට නැතිනම් තරු හැඩය ගනී. මඩකලපුව ආශ්‍රිතව ප්‍රාර්ථානවන් ගායනා කරයි. ඉන්පසු සරළ නැටුමේ සිට සංකීර්ණ නැටුම් දක්වා ක්‍රමයෙන් නටති. ගයනු ලබන ගීතයට අනුව හෝ තබනු ලබන අඩිය අනුව නැටුමේ නම් වෙනස් වේ. නර්තන වේදිකාව අඩි 20ක් දිගින් හා පළලින් යුක්තයි. නමුත් කණ්ඩායමේ සංඛ්‍යාව වැඩි වන්නේ නම් වේදිකාවේ ප්‍රමාණයත් ඊට අනුව වැඩි කරගනු ලැබේ.

‘කලි කම්බු ආට්ටම්’ සඳහා භාවිත කරන ලීය.

ශක්තිමත් සහ හොඳින් ශබ්ධ නගන ලී වර්ග මේ සඳහා තෝරාගනු ලැබේ. කැලෑ ගස්වලින් ලබා ගන්න ලී නිවැරදි දිග ප්‍රමාණයට කපා, ගින්නෙන් පුලුස්සා, පොතු ඉවත් කර, අව්වේ වෙලාගනු ලැබේ. ලීය භාවිතයට ගන්නේ ඉන්පසුවයි. ලීයක දිග අඟල් 15 සිට 18ක් වේ. නැතිනම් අඟල් දහය සිට එකළොහ ද විය හැකි ය. විශ්කම්භය අඟල් තුනකි. එසේ වුවත් එක් කණ්ඩායම් භාවිත කරන්නේ එකම ප්‍රමාණයක ලී පමණි. ලීයේ දිග වැඩි වුවහොත් ප්‍රතිවාදියාගේ හිස තුවාලි විය හැකි අතරම ලීයේ දිග අඩු වූයේ නම් ප්‍රතිවාදියාගේ අත් තුවාල විය හැකි ය. ලීයේ පහල කොටසේ වළලු ගැට ගසති. එමෙන්ම ලීයට සායම් ගා අලංකාර කරගනිති.

‘කලි කම්බු ආට්ට’ ගීත

‘කලි කම්බු ආට්ට’ නැටුම සඳහා ගයන ගීතය ‘පදයක්’ ලෙස හඳුන්වයි. මෙහිදී බහුලව යොදා ගනු ලබන්නේ ඉස්ලාම් සාහිත්‍ය ඉතිහාස ගීතයන් ය. අලි බාදුෂා නාට්‍යය, අබ්බාස් නාට්‍යය, නෞකා ගීත යනාදිය සමඟ නූතන සිදුවීම් අලලා ලියනු ලැබූ ගීත ආදිය ගායනා කරයි. ‘කලි කම්බු ආට්ටම්’ නැටුම් සඳහා සේගු අලාවුද්දීන් කවියා, සේගු ඉස්මායීල් කවියා, උසනාර් ලෙබ්බේ කවියා යන අයගේ කවි යොදා ගනී. පුත්තලම දිස්ත්‍රික්කයේ පමණක් මෙවැනි ගීත 250ක් පමණ තිබී ඇත. එම ගීත මෙලෙස ක්ෂේත්‍ර කිහිපයකට වර්ග කළ හැකි ය.

  • භක්ත ගීත
  • ග්‍රාම ඉතිහාස සඳහන් ගීත
  • සමාජ ප්‍රතිසංස්කරණවාදී ගීත
  • හාස්‍ය උපදවන ගීත
  • සෙසු ගීත

‘කලි කම්බු ආට්ට’ නර්තනය සඳහා භාවිත කරන වස්ත්‍ර

‘කලි කම්බු ආට්ට’ නර්තනය පාරම්පරික මුස්ලිම් නැටුමක් වන බැවින් මුස්ලිම්වරු පළඳින සරම සහ අත්සහිත බැනියම, තලප්පාව පළඳිති. වර්තමාන තරුණය මේ සඳහා කමිසය සහ කලිසම පළඳිති.

 

‘කලි කම්බු ආට්ට නැටුම්’ මුස්ලිම්වරුන්ගේ සාම්ප්‍රධායික නර්තන කලාවකි. එය සිංහල සමාජය තුළ ප්‍රචලිත ලී කෙලි නැටුමට යම් සමානකම් පෑවත් වෙනස්කම් රාශියක් තිබේ. එහෙත් අද වන විට මෙම කලාව සෑහෙන ප්‍රමාණයකින් අභාවයට ගොස් ඇත. කිහිප දෙනෙකුගේ උත්සහ නිසා තවමත් රැකී තිබෙන මෙම නැටුම් සම්ප්‍රධාය ඉස්ලාමීය ආගමික වපසරිය තුළ වර්ධනය ජන නැටුමක්. එනිසා මෙම සම්ප්‍රධාය ආරක්ෂා කරගැනීමත් ප්‍රවර්ධනය කිරීමත් අප කාගේත් වගකීමක් වන්නේ ය.

 

ඒ ආර් අදවියාගේ ලිපියක් ඇසුරින්.

සැකසුම – සකීෆ් සාම්.

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *