‘සතුට’ පිළිබඳව මෙරියම් වෙබ්ස්ටර් ශබ්දකෝෂය අර්තදක්වන්නේ යහපැවැත්මේ හෝ සංතෘෂ්ටිමත් තත්ත්වයක් සහ සතුටුදායක හෝ තෘප්තිමත් අත්දැකීමක් යනුවෙනි. බොහෝ විට දාර්ශනිකයෝ සතුට නිර්වචනය කර තිබෙන්නේ යහපත් ජීවිතයක් ගත කිරීම යනුවෙනි. එමෙන්ම සතුට යනු තෘප්තියේ සිට දැඩි ප්‍රීතිය දක්වා වූ හැඟීම් වලින් පිරුණු යහපැවැත්මක තත්වයක් ලෙසත් විග්‍රහ වී ඇත.
පසුගිය වසර කිහිපයක් තිස්සේම මනෝවිද්‍යාඥයින් සහ පර්යේෂකයින් ලොව පුරාම සිටින මිනිසුන් පිළිබඳව අධ්‍යයනයන් සිදු කරමින්, මිනිසාව සතුටු කරන්නේ කුමක් දැයි සොයා බැලූහ. මිනිසාව සතුටු කරන්නේ මුදල් ද, ආකල්ප ද, සංස්කෘතිය ද, මතකය ද, සෞඛ්‍යය හෝ පරාර්ථකාමිත්වය ද? ආදී ලෙසයි. ඔවුන්ගේ නව අනාවරණයන් පෙන්නුම් කරන්නේ, යම් යම් ක්‍රියාවන්ට සතුට ඇති කිරීම කෙරෙහි ධනාත්මක බලපෑමක් සිදු කළ හැකි බවයි. “යස්! සඟරාව” විද්‍යාත්මකව ඔප්පු වූ, සතුටු ගෙන දිය හැකි උපාය මාර්ග ලැයිස්තුවක් ඉදිරිපත් කර තිබුණි. ඔවුන්ගේ එම අනාවරණයන් සමඟ අල්ලාහ් දෙවිඳුන්ගේ සහ උන්වහන්සේගේ දූත මුහම්මද් නබිතුමාණන්ගේ ඉගෙන්වීම් අතර සමානතාවක් දක්නට ලැබීම පුදුමසහගත ය.
සතුට වැඩි කිරීම “විද්‍යාත්මකව” ඔප්පු වූ ක්‍රම හතක් මෙහි දැක්වේ. නමුත් මෙහි විශේෂ අනුපිළිවෙලක් නොමැති බවත් සලකන්න.
සසඳා බැලීමෙන් වලකින්න.
ස්ටැන්ෆර්ඩ් මනෝවිද්‍යාඥ සොන්ජා ලියුබොමීර්ස්කි [1] ට අනුව, අපව අන් අය සමඟ සංසන්දනය කරනවා වෙනුවට අපේ පෞද්ගලික ජයග්‍රහණයන් කෙරෙහි අවධානය යොමු කිරීම අපට තෘප්තිමතියක් ගෙන දෙන්නේ ය. දෙවියන් වහන්සේ අල් කුර්ආනයේ මෙසේ පවසයි.
සමහරෙකුට සුවය විඳීමට අපි ලබා දී ඇති දැය දෙසට ඔබ, ඔබගේ බැල්ම නොහෙළනු. (මේවා සියල්ල) මෙලොව ජීවිතයෙහි අලංකාරයන්ය! ඔවුන්ව පිරික්සුමට ලක් කිරීම සඳහාම (අපි ඒවා ඔවුන්ට ලබා දී ඇත්තෙමු). නමුත් ඔබගේ දෙවියන් (ඔබට) ලබා දී තිඛෙණ දැය නම්, ඉතාමත් උසස් හා ස්ථීරවත් දැයයි. (අල්කුර්ආනය 20:131)
එසේ නම් අපට ලැබී තිබෙන සම්පත් පිළිබඳව අපට වඩා සම්පත් නොලැබුණු අය සමඟ සංසන්දනය කිරීමෙන් ද අපගේ හැකියාවන් දක්ෂතාවන් අපට වඩා ඉහළින් සිටින අය සමඟ සන්සන්ධනය කිරීමෙන් ද වැළකිය යුතුයි. එලෙස කිරීමෙන් අපට ඇති වන්නේ දුකක් හා කාන්සාවකි. ඇත්තෙන්ම අපට වඩා ඉහළින් සිටින්නන්ට ඒවා ලැබී තිබෙන්නේ පරීක්ෂණයක ලෙසිනි. එනිසා අපි අපටත් වඩා ඉහළ තත්වයක ජීවත් වන්නන්ට වඩා පහළ තත්වයක ජීවත් වන්නන් හා අපව සංසන්ධනය කිරීමෙන් අප තුළ දුකක් හට ගන්නේ නැත. නිදසුනක් ලෙස එක් පාදයක් අහිමි වූ අයෙකු පාදයන් දෙකම අහිමි වූ අයෙකු ගැන සිතා තමාට එක් කකුලක් හෝ ලැබී තිබේ යැයි තමාව සනසා ගත හැකි ය.
. සිනහවීමට හේතුවක් නොතිබුණත් සිනහවන්න.”ප්‍රීතිමත් මිනිසුන්, තමන්ගේ හැකියාවන්, තමන්ට හිමිවන අවස්ථා සහ සාර්කත්වයන් දකිති. ඔවුහු අනාගතය ගැන සිතන විට සුබවාදීව සිතන අතර, ඔවුන් අතීතය ගැන මෙනෙහි කරන විට සාර්තක දේවල් ගැන සිතා, ඒවා ගැන වින්දනයක් ලබති,” යනුවෙන් ඩයිනර් සහ බිස්වාස්-ඩයිනර් පවසයි. [2]
මුහම්මද් නබි තුමා, පැවසුවේ, “කිසිඳු යහ ක්‍රියාවක් සුලුකොට නොතකන්න. ඔබේ සහෝදරයාට සතුටු සිතින් පිළිගැනීම පවා (සුලුකොට නොතකන්න).” [3] එමෙන්ම “ඔබේ සහෝදරයා දෙස බලා සිනාසීමත් ඔබ කළ දානයක් වන්නේ ය. “[4]
මුහම්මද් නබි තුමාගේ එක් සහගාමියෙක් පැවසුවේ, “මම ඉස්ලාමය වැළඳගත් දිනයේ සිට නබිතුමාණෝ සිනහමුසු මුහුණින් තොරව කිසි දිනෙක මා හමුවී නැත.” (5) ඉස්ලාමීය විශාරදයෙකු වන ෂෙයික් ඉබ්න් බාස්, පැවසුවේ, සිනහමුසු මුහුණ හොඳ ගුණාංගයක් වන අතර එය ආශීර්වාදාත්මක ප්‍රතිඵල ගෙන දෙන්නේ ය – ඉන් අදහස් කෙරෙන්නේ, එවැන්නන්ගේ හදවත් ද්වේෂයන්ගෙන් තොර වන නිසා මිනිසුන් අතර සෙනෙහස වැඩීමට එය හේතු වන බවයි.”
ව්‍යායාම් කරන්න.
ඩියුක් විශ්වවිද්‍යාල අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ මානසික අවපීඩනයට ව්‍යායාම ඔසුවක් මෙන් ඵලදායී ප්‍රතිකාරයක් විය හැකි බවයි. මුහම්මද් නබිතුමා මෙසේ පැවසුවේ ය: “දුර්වල විශ්වාසවන්තයෙකුට වඩා ශක්තිමත් විශ්වාසවන්තයෙකු දෙවියන් වහන්සේ ඉදිරියෙහි වඩා හොඳ හා ආදරයට පාත්‍ර.” විශ්වාසවන්තයෙකි. (6) එතුමා මින් අදහස් කරන්නේ හුදු ඇදහිල්ල සහ චරිතය ගැන පමණක් නොව විශ්වාසවන්තයෙකු තුළ ප්‍රශස්ත සෞඛ්‍ය තත්වයක් සහ ශරීර සුවතාවක් තිබීම ඉතා හොඳ ලක්ෂණයක් යන්නත් ය. එම සෞඛ්‍යසම්පන්න බව ළඟා කර ගැනීමට ක්‍රීඩා කිරීම ව්‍යායාම් කිරීම යහපත් පුරුදු ලෙස නබිතුමාණෝ පූර්වාදර්ශනයන් ලබා දුන්නේ ය. නබිතුමාණෝ, අශ්වයන් පැදීම, දුනු විදීම, දිවීම වැනි ක්‍රීඩාවන් ගැන දිරිමත් කර ඇත්තේ ජවසම්පන්න හා තෘප්තිමත් මිනිසුන් නිර්මාණය වීමට ව්‍යායාමෙන් ලැබෙන මනා සෞඛ්‍ය පිටිවහලක් බැවිනි.
මිතුරන් ගොඩනගා ගන්න. පවුල ඔබේ නිධානයක් කර ගන්න.
ප්‍රීතිමත් මිනිසුන් හොඳ පවුලක්, මිතුරන් සහ සහයෝගී සම්බන්ධතාවන් (supportive relationships) ඇති කර ගැනීමට නැඹුරුතාවක් දක්වන බව ඩයිනර් සහ බිස්වාස්-ඩයිනර් පවසයි. [7] අපට අවශ්‍ය කෙරෙන්නේ උදෙක් සබඳතා පමණක් නොව, තේරුම් ගැනීම සහ සැලකිලි දක්වන (caring) “ සමීප පරිස්”ය. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි.
අල්ලාහ්වම නමදිනු. ඔහුට කිසිවක් සමානයන් වශයෙන් නොතබනු. දෙමව්පියන්ට කෘතඥ වනු. (එසේම) ඥාතීන්ට ද, අනාථයින්ටද, දුප්පතුන්ට ද, අසල්වැසි ඥාතීන්ට ද, අසල්වැසි අන්‍යයන්ට ද, (සෑමවිටම) ඔබ සමග සිටින මිතුරන්ට ද, මගියන්ට ද, ඔබ යටතේ සිටින්නන්ට ද (ආදරයෙන් යුතුව කෘතඥ වනු). කවුරුන් ගර්හිතව ආඩම්බරයෙන් යුතුව හැසිරෙන්නේ ද, ඔහුව නියත වශයෙන්ම අල්ලාහ් ප්‍රිය කරන්නේ නැත. (අල්කුර්ආනය 4:36)
එමෙන්ම මුහම්මද් නබි තුමාණන් පැවසුවේ, “මෙම ජීවිතය තුළ විශ්වාසවන්තයෙකුට සතුට ගෙන දෙන කාරණාවන් අතර ධාර්මිෂ්ඨ අසල්වැසියෙකු සිටීම, ඉඩකඩ සහිත නිවසක් සහ හොඳ වාහනයක් තිබීමත් ඇතුළත් ය.” [8] පවුල, අසල්වාසීන් සහ සියලු ප්‍රජාවන් සමඟ සහයෝගීතාව පවත්වා ගැනීම කෙරෙහි ඉස්ලාමය දැඩි අවධානයක් යොමු කරන් සතුට පිරුණු සමාජයක් ගොඩනැගීම උදෙසා නොවේ ද!
කෘතවේදී වන්න.
කතෘ රොබර්ට් එමොන්ස් පවසන පරිදි සතිපතා කෘතඥතා දිනපොත් නඩත්තු කරන පුද්ගලයින්ට සෞඛ්‍ය සම්පන්න, වඩා සුභවාදී සහ පෞද්ගලික අරමුණු සාක්ෂාත් කර ගැනීමට වැඩි ඉඩක් ලැබෙන්නේ ය.
ඉස්ලාමයේ ඉගැන්වීම් වල මූලික කරුණක් වන්නේ, සතුටින් සිටීමට හෝ තෘප්තිමත්ව සිටීමට නම් දෙවියන් වහන්සේට කෘතඥ විය යුතු ය, කෘතවේදී විය යුත්තේ ආශීර්වාදයක් ලෙස අප සලකන දේවල් සඳහා පමණක් නොව සෑම තත්වයක් සඳහාම ය. අප කුමන තත්වයක සිටියත්, අපි දෙවියන් වහන්සේගේ ඉගැන්වීම් අනුගමනය කරන තාක් කල් ඒවා අපට යහපතක් වනු ඇතැයි තරයේ සිතා කෘතවේදී විය යුතු ය. දෙවියන් වහන්සේ මෙසේ පැවසයි:
ඔබ මාව මෙනෙහි කරනු. මම ඔබව සිහිපත් කර (දයාව පහළ කරමින්) සිටින්නෙමි. ඔබ මා හට (මා ලබා දුන් අප්‍රමාණ දායාත වෙනුවෙන්) කෘතඥ වෙමින් සිටිනු. අකෘතඥ ප්‍රතික්ෂේප කරන්නන් බවට පත් නොවනු. (අල්කුර්ආනය 2:152)
තවද ඔබගේ දෙවියන්ට ඔබ කෘතඥ වුවහොත් වරප්‍රසාදයන් ඔබට තව තවත් අධික කර දෙන්නෙමි. ඔබ (මගේ වරප්‍රසාදයන්ට කෘතඥ නොවී) වෙනස්කම් කළහොත් නියත වශයෙන්ම මගේ දඬුවම ඉතාමත් දරුණු එකක් වශයෙන් තිඛෙණු ඇත”(අල්කුර්ආනය 14:7)
දන් දෙන්න, පුණ්‍යකර්ම කරන්න!
පරාර්ථකාමීත්වය සහ පුණ්‍ය කටයුතු ඔබේ ජීවිතයේ කොටසක් කර ගන්න, ඒ ගැන අධිෂ්ඨානයක් තබා ගන්න. පර්යේෂකයෙකු වන ස්ටීවන් පෝස්ට් පවසන්නේ අසල්වැසියෙකුට උපකාර කිරීම, ස්වේච්ඡා කටයුතු සඳහා ඉදිරිපත් වීම හෝ භාණ්ඩ හා සේවා පරිත්‍යාග කිරීම තුළින් “උදව්කරන්නා උසස්භාවයක් ලබන අතර” එය ව්‍යායාම් කිරීමෙන් හෝ දුම්පානය නවතා දැමීමෙන් ඔබට ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභවලට අධික ගුණදායක බවයි.
පවුල, මිතුරන්, අසල්වාසීන්, ආගන්තුකයන්ට පමණක් නොව සතුරන් කෙරෙහි පවා ත්‍යාගශීලීව කටයුතු කරන මෙන්ව ඉස්ලාමය දිරිමත් කරයි. මේ බව අල් කුර්ආනය පුරාමත් මුහම්මද් නබිතුමාගේ තහවුරු වූ හදීස් වාර්තාවන්වලත් නැවත නැවතත් සඳහන් වී ඇත.
“නියත වශයෙන්ම මගේ දෙවියන් තම දාසයන් අතුරින් තමා කැමති පිරිසට (ජීවනෝපායට අවශ්‍ය) වස්තුව විස්තීරණ කර අධිකව ලබා දෙන්නේය. (තමන් අභිමත පිරිසට) සීමාසහිතව ලබා දෙන්නේය. එබැවින් ඔබ කුමක් දානමාන වශයෙන් දුන්න ද, එයට අනිවාර්යයෙන්ම ප්‍රතිලාභ ලබා දෙන්නේය. දානමාන කරන්නන්ගෙන් ඉතාමත් උසස්වන්තයා ඔහුය” (අල්කුර්ආනය 34:39)
පිරිසක් මුහම්මද් නබි තුමා වෙත පැමිණ, ” දන් දීමට කිසිවක් නොමැති තැනැත්තා කුමක් කරන්නේද” යනුවෙන් විමසූහ. එතුමා පැවසුවේ “ඔහු තම දෑතින් උපයා තමාට ප්‍රයෝජන ගන්න අතරම ඉන් (ඔහු උපයන දෙයින්) දන් දිය දිය යුතු බවයි.” ජනතාව තවදුරටත් විමසුවේ “ඔහුට එලෙස වත් කිසිවක් සොයාගත නොහැකි නම්?” එතුමා පිළිතුරු දුන්නේ, “උදව් ඉල්ලන අසරණයන්ට ඔහු උදව් කළ යුතුය” යනුවෙනි. එයට ජනතාව, “ඔහුට එයත් කළ නොහැකි නම්?” එතුමා පිළිතුරු වශයෙන් දුන්නේ, “එසේ නම් ඔහු යහපත් ක්‍රියාවන් කළ යුතු අතර නරක ක්‍රියාවන්ගෙන් ඈත් වී සිටිය යුතු ය, එය ඔහුගේ පුණ්‍ය කර්මයක් ලෙස සලකනු ලැබේ.” [10]
මුදලෙ, ඔබේ ප්‍රමුඛතා ලැයිස්තුවේ පහළ ස්ථානයක තබාගන්න.
පර්යේෂකයන් වන ටිම් කාසර් සහ රිචඩ් රයන් පවසන පරිදි මුදල් තම ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින් තබා ගන්නා පුද්ගලයින්ට මානසික අවපීඩනය, කාංසාව ඇතිවීමේ අවදානම අධික බවය. දේව දූතයාණන් පැවසුවේ, “සතුටු වන්න, ඔබව සතුටු කරන දේ ගැන බලාපොරොත්තු වන්න. දෙවියන් වහන්සේ මත දිවුරා කියමි, ඔබ දුප්පත් වනු ඇතැයි මම බිය නොවෙමි, නමුත් ඔබට පෙර ජීවත් වූවන්ට ලෝක ධනය ප්‍රදානය කළාක් මෙන් ඔබටත් ලැබෙනු ඇතැයි මම බිය වෙමි. එබැවින් පෙර සිටි පිරිස් ඒ සඳහා තරඟ කරමින් විනාශ වූ පරිදිම ඔබලාත් ඔබලා අතර ඒ වෙනුවෙන් තරඟ කර විනාශ වී යනු ඇත. “[11]
එබැවින් මුදල යනු එක්තරා දුරකට විනාශයට හේතුවක්ව පවතින බව මෙම වැකියෙන් මනාව පැහැදිලි ය. මුදල ජීවිතයේ එක් අවශ්‍යතාවයක් වුවත් අපගේ ජීවිතය මුලුමනින්ම මුදල් වෙනුවෙන් කැප නොකළ යුතුය. එය අපගේ සතුට අහිමි කරන්නේ ය. මුදල් මත සියලු දේවල් තීරණය කිරීමෙන් භෞතිකවාදී පුද්ගලයන් බවට අපි පත් වන්නෙමු. ඉන් ඇති වන්නේ මානව සම්බන්ධතා ගොඩ නැගීම, සමාජ කටයුතු සිදු කිරීම, පරාර්තකාමී වීම වැනි සතුට ලබා දෙන අනෙකුත් ක්‍රියාවන්ගෙන් අපි ඈත් වී මසුරුකමත්, තන්හාවත් අපගේ ඉහවහා යෑමයි. එනිසා මුදල අපගේ ජීවිතයේ එකම හා පළමු අරමුණ කර නොගෙන සිටීම සතුට අපට ළඟා කරන ප්‍රධාන සාධකයකි.
සතුට යනු අධික ප්‍රීතිය පමණක්ම නොවේ, තෘප්තිය ද ඊට ඇතුළත්. අපගේ මීලඟ ලිපියෙන් අපි ඉස්ලාමයේ සතුට පිළිබඳ ස්ථාවරය අධ්‍යනය කරමු. එමෙන්ම දෙවියන් වහන්සේගේ විධානයන් පිළිපැදීම, ධර්මිෂ්ඨකමේත් තෘප්තියේත්, සතුටේත් මාවත ද යන්න ගැන අවබෝධයක් ලබමු.
https://www.islamreligion.com/articles/4322/happiness-in-islam-part-2/
ලිපිය ඇසුරින්.
සකීෆ් සාම්.
පාද සටහන්
- The How of Happiness: A Scientific Approach to Getting the Life You Want, Sonja Lyubomirsky, Penguin Press, 2008
- Happiness: Unlocking the Mysteries of Psychological Wealth, Ed Diener and Robert Biswas-Diener, Blackwell Publishing Ltd, 2008
- සහීහ් මුස්ලිම්
- සහීහ් අල් බුහාරි
- සහීහ් අල් බුහාරි
- සහීහ් මුස්ලිම්
- Happiness: Unlocking the Mysteries of Psychological Wealth, Ed Diener and Robert Biswas-Diener, Blackwell Publishing Ltd, 2008
- සහීහ් හාකිම්
- Thanks! How the New Science of Gratitude Can Make You Happier, Robert Emmons, Houghton Mifflin Company, 2007
- සහීහ් අල් බුහාරි
- සහීහ් අල් බුහාරි.