යහපත් සමාජයකට

වසංගතය නිසා ඇති වූ සමාජ ගැටලුවලට විසඳුම් මොනවා ද?

2019 වසර අවසන් භාගයේ චීන වුහාන් ප්‍රදේශයෙන් ඇරඹී නව කොරෝනා වෛරසය (කොවිඩ් – 19) ගෝලීය වසංගතයක් බවට පත්වී ලොව සෑම රටක්ම වෛරසයේ ගොදුරු බවට පත් විය. එනිසා ගෝලීය ප්‍රජාව වෛරසයෙන් මිදීමට විවිධ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළහ. මේ සටහන ලියන මොහොත වන විට (2021/10/03) ගෝලීය වශයෙන් කොවිඩ් – 19 වෛරස ආසාදිතයන් 235,502,159ක් සහ මරණ 4,813,405ක් වාර්තා වී තිබුණි. ඉන් ආසාදිතයන් 519,630 ක් සහ මරණ 13019ක් වාර්තා වී තිබුණේ ශ්‍රී ලංකාවෙන් ය. (1)

වසංගතයේ ස්වභාවය.

වසංගතය යන අදහස නිරූපණය කරන ඉංග්‍රීසි වචනය වන pandemic සෑදි ඇත්තේ pan, පෑන්“සියල්ල” සහ demos, “ප්‍රාදේශීය මිනිසුන්” ජන සමූහය, යන ග්‍රීක වචනයන්හි එකතුවෙනි. එනම් මහද්වීප ගණනාවක නැතිනම් ගෝලීය වශයෙන් හෝ විශාල පුද්ගලයන් සංඛ්‍යාවක් අතර ආදි ලෙස විශාල කලාපයක් පුරා බෝවෙන රෝගය, වසංගතයකි. මානව ඉතිහාසය පුරාවටම වසූරිය වැනි වසංගත රෝග ගණනාවක් වාර්තා වී තිබේ. ලිඛිත ඉතිහාසය තුළ දරුණුම මාරාන්තික වසංගතය වාර්තා වී තිබෙන්නේ 14 වන සියවසේදී ය.ඒ Black Death ලෙස හැඳින්වෙන කළු මරණයයි. එම වසංගතය නිසා මිලියන 75 ත් 200 ත් අතර ජනතාවක් මිය ගොස් ඇත. (2) මෑත ඉතිහාසයේ වාර්තා වූ අනෙකුත් වසංගත අතර ක්ෂය රෝගයකොලරාවඒඩ්ස්සාර්ස්ඉන්ෆූලුවෙන්සා ආදිය ඇතුළත්. මිනිස් සිරුරට කිසියම් හෝ ක්‍රමයකින් ක්ෂුද්‍ර ජීවීන් ඇතුළුවීමෙන් කිසියම් සංකූලතාවක් ඇති කිරීමෙන් මෙවැනි රෝග ආසාධනය වේ.

 

වසංගතයට ප්‍රතිකාර, බෙහෙත් විතර ද?

වසංගතය රෝග අනෙකුත් රෝගයන්ට වඩා වෙනස් මුහුණුවරක් ගෙන තිබෙන්නේ එම රෝගය විසින් ඇති කරන්නේ උදෙක් තනි පුද්ගලයන් තුළ කායික හෝ ජීව විද්‍යාත්මක සංකූලතා පමණක් නොව මුලුමහත් සමාජයේ තුළම සමාජ විද්‍යාත්මක හා මනෝ විද්‍යාත්මක සංකූලතාවක් නිර්මාණය කිරීම හේතුවෙනි. එනිසා වසංගත රෝග සඳහා වෛද්‍ය විද්‍යාත්මකව පමණක් පිළියම් සෙවීම පරිපූර්ණ විසඳුමක් නොවේ. එමගින් රෝග සුව වුවත් නිර්මාණය වන ව්‍යසනයන් සුව නොවේ.

 

එනිසා මානව විද්‍යාත්මකව සහ සමාජ විද්‍යාත්මක ප්‍රවේශයකින් ද වසංගතයට විසඳුම් සෙවිය යුතුය. ආගමික දෘෂ්ටියෙන් වසංගත පිළිබඳව අධ්‍යනයක නිරත විය යුතු ය. ආගම් විසින් ද වසංගත තත්වයක ක්‍රියා කළ යුතු අන්දම පැහැදිලි කර දී ඇත. එම ඉගෙන්වීම් සමාජය විසින් පැහැර හරින විට සමාජ ව්‍යසනයකට වසංගතය මග පාදනු ලබන්නේ ය. මෙහිදී සමාජ ව්‍යසනය යනුවෙන් හඳුන්වනු ලබන්නේ මනුෂ්‍යත්ව ගුණාංග අඩුවී මිනිසුන් අතර සහයෝගය ආදි සදාචාරාත්මක ගති පැවතුම් හීන වීම යාමයි.

 

එනිසා මෙම ලිපියෙන් අපි අවධානය යොමු කරන්නේ ආගමික මූලාශ්‍රයන් හි රෝග පිළිබඳ සඳහන් කරුණු කෙරෙහි ය. එමගින් ආගමික මගපෙන්වීම් ඔස්සේ වසංගතයෙන් සහ වසංගතයෙන් උද්ගත වී තිබෙන සමාජ ගැටලුවලින් මිදෙන්නේ කෙසේ දැයි මගපෙන්වීමක් ලබා දීමට අප උත්සහ කරමු.

 

රෝග සහ නිරෝගිකම පිළිබඳව ආගම් දරණ ස්ථාවරය.

ආරෝග්‍යා පරමා ලාභා
සන්තුට්ඨි පරමං ධනං
විස්සාසා පරමා ඤාතී
නිබ්බාණං පරමං සුඛං (ධම්මපදය – 204)

ආරෝග්‍යා පරමාලාභා යන්නෙන් කායික නිරෝගී භාවය (Physical well-being) සන්තුට්ඨි පරමං ධනං යන්නෙන් මානසික නිරෝගී භාවය ද, (Mental well-being) විස්සාසා පරමා ඤාතී යන්න සමාජ යහපැවැත්ම ද, (Social well-being) නිබ්බාණං පරමං සුඛං යන්නෙන් ආධ්‍යාත්මික යහපැවැත්ම ද (Spiritual well-being) දක්වා ඇත. මෙයින් පෙනී යන්නේ බුදු දහමෙහි කායික නිරෝගී භාවය පිළිබඳව ද අවධානය යොමු කර ඇති බවයි. කායික නිරෝගී භාවයෙන් තොරව මානසික නිරෝගීභාවයක් ඇති කර ගත නොහැක. (3) කායික හා මානසික නිරෝගිකම සමාජ හා ආධ්‍යාත්මික නිරෝගීභාවයට උපකාර කරයි. එසේ නම් බුදුදහම තුළ පුද්ගල නිරෝගීකමට, සෞඛ්‍යයට හිමි වන්නේ ඉහළම ස්ථානක් බව පැහැදිලි ය. එලෙසම ඉස්ලාම ධර්මයේත් සෞඛ්‍ය සම්පන්න බව උසස්ම ආශිර්වාදයක් ලෙස දකී.

නබිනායක තුමාණන් මෙසේ පැවසූහ:

“ආශීර්වාද දෙකක් තිබේ.

බොහෝ අය ඒවා අගය නොකරති:

  එනම් සෞඛ්‍යය සහ විවේකය යි”.

 

එමෙන්ම “විශ්වාසය හැර සෞඛ්‍යසම්පන්න බවට වඩා  හොඳ ආශීර්වාදයක් වෙන නැත” යැයි ද නබිතුමා පැවසූ හ. මෙලෙස පුද්ගල නිරෝගීකම බෞද්ධ හා ඉස්ලාම් මූලාශ්‍රවල අගයකොට සලකන බව පැහැදිලිය.

නිරෝගීකම සහ සෞඛ්‍ය සම්පන්නකම යනු රෝගවලින් තොර වීමයි. (රෝග සූත්‍රයඅනි 2,276) සෞඛ්‍යසම්පන්න බව සහ නිරෝගිකම ආරක්ෂා කිරීම මූලික මිනිස් අවශ්‍යතාවක් ලෙස බුදුදහම දකී.  සංයුක්ත නිකාය  5(2),270ට අනුව සෞඛ්‍ය ගැටලු නොවිසඳීම ඛේදවාචකයකි.

මානව දියුණුවට නිරෝගිකම අත්‍යාශ්‍ය ය. නබිනායක තුමාණන් මිනිසුන් තම තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කරගැනීමේ වැදගත්කම පිළිබඳව මෙසේ අවධාරණය කළහ. “විනිශ්චය දිනයේදීතම තමන්ගේ මෙලෝ ජීවිතය ගත කළේ කෙසේ ද; තම දැනුම භාවිත කළ ආකාරය; තම මුදල් උපයාගෙන වියදම් කළ ආකාරය; සහ තම සෞඛ්‍යය භාවිත කළේ කුමන අරමුණු සඳහා ද; යන ප්‍රශ්න අසන තුරු කිසිවෙකුට තමන්ගේ ස්ථානවලින් ඉවත් වීමට ඉඩ නොදේ.”

එනම් සැමගේ යුතුකම වන්නේ තමාට ලැබී තිබෙන සෞඛ්‍යසම්පන්බව නමැති දිව්‍යමය ආශීර්වාදය ආරක්ෂා කර ගැනීම ය. එය අයථා භාවිතාවන් තුළින් අනතුරේ හැලීමට ඉඩ නොතැබිය යුතු ය. එසේ නොවුවහොත් ඉස්ලාමයේ දැක්වෙන්නේ දේව නීතිය පරිදි දැඩි දඬුවම් පමුණුවනු ලබන බවයි. මීට සමානව  මජ්ක්‍ධිම නිකායෙහි දේවදූත සූත‍්‍රයෙහිදී දක්වා ඇති දේවදූතයන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු ලෙස දක්වා ඇත්තේ රෝගී බවට පත්වූ පුද්ගලයා යි. රෝගී වූ පුද්ගලයෙකු දැක තමා ද රෝගී වන බවත් දැන දැක ධර්මානුකූලව කටයුතු නොකළේ මන්දැයි යම රජු විමසා මෙහි වරද මවුපියන් හෝ අන් අයෙකුගේ නොවන බවත් වරද තමාගේම බවත් පවසා පංචවිධ දඬුවම් පවරන බව දක්වා ඇත.

ආගම්වල වසංගත රෝග ගැන සඳහන් ද?

බණපොතට අනුව අහිවාතක යනු එවකට පැවති වසංගත රෝගයකි. එසේම පණ්ඩුරෝගය රුධිරය ආශ්‍රිත ඇඟ සුදුමැලිවීමේ රෝගයකි. තිණපුප්ඵක යනු උණ රෝගයකි. ඝරදින්නකාබාධය යනු වශිකරණ බෙහෙත් බීමෙන් ඇතිවන රෝගයකි. පක්ඛහත නමින් අංශභාගය වැනි ආබාධිත තත්ත්වයකි. ශරීරසන්ධි පුරුක් අතර දැඩි වාත වේදනාවක් උපදවන පබ්බහත නම් රෝගයක් දපාද මහත් වීමකුෂ්ට ඇතිවීමහම රළුවීම් සහිත සීපද නම් රෝගී තත්වයක් ද එකල විය. මේ නිසා රෝගීවීම යනු විවිධ වේෂයන්ගෙන් කාල දේශ භේදයකින් තොරව බලාපොරොත්තු විය යුත්තකි. (4)

වසංගත තත්වයක දී කටයුතු කළ යුත්තේ කෙසේ දැයි නබි නායක මුහම්මද් තුමා මෙසේ ප්‍රකාශ කළහ. “යම් ප්‍රදේශයක වසංගත රෝගයක් පැතිර යන බවට ඔබට ආරංචි වූවේ නම් එම ප්‍රදේශයට ඔබ ඇතුලු නොවන්නඑමෙන්ම ඔබ සිටින්නේ වසංගතය පැතිර යන එම ප්‍රදේශය තුළ නම් ඉන් පිටතට නොයන්න.” එතුමා වැඩිදුරටත් කියා තිබෙන්නේ, “බෝවන රෝග ඇති අය නිරෝගී අයගෙන් ඈත් කර තැබිය යුතුය.” නබිතුමාණන් මේ පෙන්වා දී තිබෙන්නේ වසංගත තත්වයක පිළිපැදිය යුතු සමාජ දුරස්ථභාවය පිළිබඳව සහ හුදෙකලා කිරීම් පිළිබඳව ය. එමෙන්ම බෞද්ධ ආචාරවිධි අතර අපරදිග රටවල්වල දෑත් පපු මත තබා ආචාර කිරීමත් සිංහල බෞද්ධ සංස්කෘතිය තිබෙන ශ්‍රී ලංකාවේ දෑත් එක්කොට ආචාර කිරීමත් අතට අත දී ආචාර කිරීමට වඩා සෞඛ්‍ය සම්පන්න ක්‍රමයකි. අතට අත දීම, සිප ගැනීම වැනි ආචාර විධි වෛරස බෝවීමේ මාධ්‍යයන් ය. එනිසා බෞද්ධ ආචාර විධි වෛරස බෝවීම වැළැක්වීමට කදිම පුරුදු වේ.

ආගමික් ඉගෙන්වීම්වල සාරය සෑම විට පිරිසුදකම පවත්වාගැනීම, හොඳ සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම, ශාරීරික සෞඛ්‍ය පවත්වාගෙනීම ආදියයි. එසේ නම් කොවිඩ් 19 වසංගතයෙන් තමන්වත් සමාජයත් මුදවා ගැනීම සඳහ සමාජ දුරස්ථභාවය, මුඛ ආවාරණය පැළඳීම, නිතර දෑත් සේදීම ආදි යහ සෞඛ්‍ය පුරුදු පිළිපැදිය යුතු වේ. එය තමාවත් අනෙකාවත් වසංගතයෙන් ආරක්ෂා කිරීමට මහෝපකාරි වන්නේ ය.

කොවිඩ් 19 වසංගතයත් සමඟ නිර්මාණය වී තිබෙන සමාජීය ගැටලු.

 

අධ්‍යාපනය කඩා වැටීම.

ලෝකය පුරා පාසැල්, විශ්වවිද්‍යාල සහ අධ්‍යාපන පද්ධති වසා දමා තිබේ. ඉකුත් මාර්තු මාසයේ යුනෙස්කෝ සංවිධානය කළ සමීක්ෂණයක දී රටවල් 165ක දරුවන් බිලියන 1.5කට පාසල් වසා දැමීම බලපා ඇති අතර එම සංඛ්‍යාව අධ්‍යාපනික ආයතනවල ලියාපදිංචි වූවන්ගෙන් 87%කි. (5)

 

කොවිඩ් 19 සහ අසමානතාව.

අඩු ආදායම්ලාභීන් බහුතරයකට කොවිඩ් 19 වෛරසය ආසාධනය වී ඔවුන්ගෙන් වැඩි පිරිසක් ඉන් මරණයට පත් වෙති. අඩු ආදායම්ලාභීන් කුඩා ප්‍රදේශයක් තුළ ජනාකීර්ණව ජීවත් වීම සහ අවදානම් සහගත රැකියවන්වල නිරත වී සිටීම මීට හේතුවයි. එමෙන්ම ප්‍රතිකාර සඳහා අධික වැයක් දැරීමට සිදු වන නිසා ප්‍රතිකාරවලට යොමු වීමේ අවස්ථාව ද අඩු ආදායම්ලාභීන්ට අවමය.

 

ආගමික බලපෑම.

වසංගතය හේතුවෙන් ආගමික සංස්ථාවන්ට විවිධාකාරයේ බලපෑම් සිදු වී තිබේ. ඉරුදින දහම් පාසල් වසා දැමීම, වන්දනා ගමන් නැවැත්වීම, ආගමික ස්ථාන වසා දැමීම, ආගමික උත්සව අත්හිටුවීම යනාදිය නිසා මහජනයාගේ ආධ්‍යත්මික අංශය මොටවීමට හේතු වී ඇත.

 

සෞඛ්‍ය ආරක්ෂාව හා කොවිඩ් 19

වසංගතය ව්‍යාප්තියත් සමඟ සෞඛ්‍ය අංශය සීමා වූ අතර රෝගියා පිළිබඳව දක්වන අවධානය අඩු වී සෞඛ්‍ය නිළධාරීන්ගේ මාන්නය ඉහළ යාම. නිදන්ගත රෝග සඳහා අඛණ්ඩව ප්‍රතිකාර ලබන්නන් ප්‍රතිකාරවලින් මිදී සිටීම.

 

මානසික ගැටලු.

ඉකුත් වසර මාර්තු මාසයේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොවිඩ් 19ත් සමඟ ඇති වූ මානසික ගැටලු පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කළේ ය. එම වාර්තාවට අනුව,

 

      ·       සිය දිවි නසා ගැනීම්

නිසා කොවිඩ් – 19ත් සමාජ දුරස්ථභාවය හා අගුලු දැමීම් නිසා දැනුණු තනිකම, භීතිය, රැකියා විරහිතභාවය සහ අනෙකුත් ආර්ථික සාධක හේතුවෙන් සියදිවි නසා ගැනීම් සීඝ්‍ර ඉහළ යාමක් පෙන්නුම් කළේ ය.

      ·       කොරොනාභීතිකාව

පර්යේෂකයන් විසින් කොරොනාභීතිකාව වසංගතයේ අතුරු ඵලයක් ලෙස හඳුනාගෙන ඇති අතරවෛරසය වැළඳෙනු ඇතැයි යන අධික බියක් පුද්ගලයින් අතර ඇති වන නිසා එමඟින් ඔවුන්ගේ “දෛනික ජීවිතයේ ක්‍රියාකාරිත්වයේ සැලකිය යුතු දුර්වලතා” ඇති වේ.

      ·       සමාජානුයෝජනය

ඒකාරාශිවීම් පිළිබඳ භීතිකාවක් නිර්මාණය වී තිබෙන අතර ආධුනිකයන් කෙරෙහි සැකයක් සහ බියක් ඇති වීමත් අනෙකා ඇසුරු කිරීම කෙරෙහි මැලිකමක් දැක්වීමත් හඳුනාගෙන ඇති තවත් බලපෑමකි.

      ·       ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය

බොහෝ රටවල්වල කොවිඩ් 19ත් සමඟ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ ඉහළ යාමක් වාර්තා වෙයි. ආර්ථික අනාරක්ෂිතාව, විශාදය, අවිනිශ්චිතතාව ගෘහයන් තුළ ආරවුල් වැඩිවීමට හේතු වී තිබේ.

      ·       වැඩිහිටියන් රැකබලා ගැනීමේ ගැටලු

කොවිඩ් ආසාදිතව මරණයට පත්වූ වැඩි දෙනා වැඩිහිටියන් බැවින් වැඩිහිටියන් අතර මානසික ගැටලු වැඩි වී තිබේ.

      ·      විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්.

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට වෛරසය ආසාදනය වීමේ අවධානම සාමාන්‍ය පුද්ගලයන්ට 4ගුණයකින් සහ මරණයට පත්වීමේ අවධානම 2 ගුණයකින් වැඩිය. එබැවින් ඔවුන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍ය පිළිබඳ මනා සැලකල්ලකින් පසු විය යුතු වේ.  (6)

 

ව්‍යාජ තොරතුරු

කොවිඩ් 19 සම්බන්ධයෙන් විවිධ කටකතා, ව්‍යාජ පුවත් සමාජ මාධ්‍ය පරිශීලකයන් අතර බහුල ලෙස බෙදාහැරීමේ ප්‍රවනතාවක් නිර්මාණය වී තිබේ. එමෙන්ම කොවිඩ් 19 සම්බන්ධ ප්‍රවෘත්ති දැකීමෙන් බිය වීම, විෂාද තත්වයන් ඇති වීම වැනි මනෝ ව්‍යාධීන්ට සමාජජාලා පරිශීලකයන් මුහුහුණ පාති.

 

පුද්ගලිකත්වයට හානි පමුණවීම.

කොවිඩ් 19 වැළඳුනු පුද්ගලයන්ගේ දර්ශන හෝ රූප මාධ්‍ය ඔස්සේ පෙන්වීමෙන් පුද්ගල නිදහසටත් පෞද්ගලිකත්වයටත් බාධා එල්ල කිරීම.

 

ආත්මාර්තකාමීත්වය.

එකිනෙකාට සහාය වීම වෙනුවට මිනිසුන් අතර තමන්ගේ අවශ්‍යතා පමණක් සපුරා ගැනීමේ සහ තමා ගැන පමණක් සිතීමේ මනෝභාවයක් නිර්මාණය වීම.

 

උද්ධමනය ඉහළ යාම.

කොවිඩ් 19 වසංගතයේ අවාසනාවන්තම තත්වය මෙය ලෙස හඳුනාගත හැකි ය. සුලු රැකියා, ස්වයං රැකියා, කුලී වැඩ වැනි ස්තීර නොවන අනාරක්ෂිත රැකියාවන්වල නිරත වූවන්ට තමන්ගේ රැකියා අහිමි වීම නිසා ආර්තික පීඩනයකට ඔවුහු නතු වී සිටිති. එමෙන්ම ප්‍රවාහනයේ ඇති වී තිබෙන බාධා, අමුද්‍රව්‍ය මිල ඉහළ යාම ආදිය සමුච්චයක් ලෙස ගත් කළ සමස්ත නිෂ්පාදන ක්‍රියාවලියම අඩුවීමට හේතුපාදක වී ඇත. එහි අවසන් ප්‍රතිපලය ලෙස උද්ධමනය ඉහළ ගොස් තිබේ.

 

එන්නත් වෙනුවට මිත්‍යාවන් පසුපස යාම.

දැනට ලෝක සෞඛ්‍ය සංවිධානය වඩාත් සාර්තක ප්‍රතිකර්මය ලෙස හඳුනාගෙන තිබෙන එන්නත්කරන වැඩසටහනට බාධා කරමින් එන්නත් පිළිබඳ විවිධ සැක සංකා සමාජගත කර තිබේ. එමෙන්ම එන්ත  වෙනුවට අන්ධ විශ්වාසයන් පසුපස යාමට සාමාන්‍ය ජනයා පොළඹවා තිබීමත් රෝග පාලනය විශාල බාධාවකි. රෝගීන්ගේ ජීවිත ද අනතුරක වැටීමකි.

 

වසංගත සමාජ ව්‍යසනයට ප්‍රතකර්ම මොනවාද?

උක්ත සමාජ ගැටලු නිර්මාණය වී තිබෙන්නේ ජනයින් තමන්ගේ ආගම් ලබා දුන් මග පෙන්වීම් පැහැර හැරීම නිසයි. මෙවැනි මානව සහ සමාජ ගැටලුවලට පැහැදිලි විසඳුම් ආගම්වලින් ඉදිරිපත් කොට තිබේ. සෑම ආගමක්ම පරාර්තකාමීත්වය දේශනා කරයි. එකිනෙකාට උදව් කිරීම, රැකබලාගැනීම, එකිනෙකාගේ නිදහසට ගරුකිරීම, අනෙකා අනතුරේ නොහෙලීම, ව්‍යාජ තොරතුරු, දුශ්ප්‍රචාර නොකිරීම සෑම ආගමකම මූලික හරයන් වේ. එමෙන්ම පුද්ගල සෞඛ්‍යය ආරක්ෂා කරගැනීමට ක්‍රමවත් මගපෙන්වීම් ආගම් පරිනමා තිබේ. එම ඉගෙන්වීම් කිහිපයක් මෙලෙස සංශිප්තව දැක්විය හැකිය.

 

වසංගතය සම්බන්ධයෙන් සහ එන්නත් කරණය සම්බන්ධයෙන් කටකතා පැතිරවීම, බොරු කීම ආදියෙන් ‘මුසාවාදා වේරමණී සික්ඛා පදං සමාදියාමි’ යන පංචශීලයට අනුකූල යමින් වැළකී සිටිය යුතු වේ. බයිබලයේ, හිතෝපදේශ 14:15 සඳහන් වන්නේ “අද්දැකීම් අඩු තැනැත්තා අනුන් පවසන සෑම දෙයක්ම විශ්වාස කරයි. නමුත් සිහිබුද්ධිය ඇති අය තමන් ගත යුතු පියවර ගැන හොඳින් කල්පනා කරයි.” එනම් මාධ්‍ය තුළින්, සමාජ මාධ්‍ය තුළින් සහ විවිධ පුද්ගලයන්ගෙන් තමාට ලැබෙන තොරතුරු එලෙසම පිළිනොගෙන ඒවායේ නිරවද්‍යතාව තහවුරු කර ගත යුතු ය. වසංගතය සම්බන්ධ සංඛ්‍යා ලේඛණ, ප්‍රතිකාර එලෙස පිළිනොගෙන වෛද්‍ය උපදෙස් පරිදි කටයුතු ක යුතු ය. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) විසින් හඳුනාගෙන තිබෙන වසංගතයේ මූලික ගැටලුවක් වන දුස්තොරතුරු, ව්‍යාජතොරු (7) වළක්වා ගැනීමට ඉහත ආගමික මඟපෙන්වීම වඩාත් හොඳ විසඳුම් වේ. මෙම දුස්තොරතුරු ව්‍යාජ තොරතුරු, අපතොරතුරු බොහෝ දෙනෙකුට මානසික ගැටලු ඇති කිරීමට හේතු වූ බවත් UNDP හඳුනාගෙන තිබේ.

හිතෝපදේශයේ 17:17 සඳහන් වන්නේ විපතකදී හැකි අය අවශ්‍යතා ඇත්තන්ට උපකාර කළ යුතු බවයි. “සැබෑ මිතුරෙක්.. විපතකදී උපකාර කරන්න ඉපදුණු සහෝදරයෙකි.” එනම් ආර්ථික අපහසුතාවයන්ගෙන් පෙළෙන එමෙන්ම උදව් අවශ්‍ය අඩු ආදායම්ලාභීන්ට උදව් කිරීම ඇති හැකි අයට මෙවන් අසීරු කාලයක කළ හැකි මහත් පුණ්‍ය කටයුත්තක්. දන් දීම සෑම ආගමක්ම ගුණයහපත් චර්යාවක් බව උගන්වයි. අධිකව දානමාන කිරීමෙන් උද්ගතවී තිබෙන උද්ධමන තත්වයෙන් අහිංසකයන්ට සරණක් හිමි වේ. නබිනායක තුමාණන් වරෙක කියා සිටියේ, ඔබේ අසල්වැසියා කුසගින්නේ පසුවන විට ඔබ පමණක් කුස පුරවා ගනී නම් ඔබ සැබෑ මුස්ලිම්වරයෙක් නොවන්නේ ය, යනුවෙන්. එබැවින් මනුෂ්‍යත්වයට පණපෙවීම සඳහා එකිනෙකා උදව් කරගනිමු.

 

වසංගතයක් ඇයි?

බයිබලයේ, රෝම 5:12ට අනුව “එක් මිනිසෙකු පව් කළ නිසා මුළු මිනිස් වර්ගයාටම පව්කාර ස්වභාවය ඇතුල් විය. එහි ප්‍රතිඵලය මරණයයි.” යනුවෙන් සඳහන් වෙයි. සමාජය තුළ පාපී ක්‍රියා බහුලවන විට මෙවැනි වසංගතයන් බලාපොරොත්තු විය යුතුය යන්න බයිබලයේ ඉගෙන්වීමයි. බෞද්ධ හා ඉස්ලාම් මූලාශ්‍රවලත් සඳහන් වන්නේ පුද්ගලයන්ගේ ක්‍රියාකලාප නිසා සමාජයට මෙවැනි ව්‍යසනයන් ඇති විය හැකි බවයි. එනිසා තනි පුද්ගලයන් වශයෙන් එකිනෙකා නිරතවන පාපකර්මවලින් සහ සාමූහිකව නිරතවන පාපකර්මවලින් ඈත් වී සිටිම මෙම දරුණු වසංගතයන්ගෙන් ආරක්ෂාව ලැබීමට ඇති තවත් එක් මගකි.

“දිය යුතු බෙහෙත් දැන සකසා දීමට දත යුතුය. හිත අහිත දෙය දැන රෝගියාට අහිත දෙය බැහැර කර හිත දෙය පමණක් ලබා දිය යුතුය. යමක් බලාපොරොත්තුවෙන් නොවමෛත්‍රී සහගත සිතින්ම උවටැන් කළ යුතුය. මළ මූත්‍රාකෙළ හෝ වමනය හෝ බැහැර කරන්නට පිළිකුල් නැති විය යුතුය. වරින්වර සුදුසු කථාබහ මඟින් රෝගීයා උත්සහවත් කරවන්නටසතුටු කරවන්නටඋද්යෝගීවත් කරවන්නට සමත්විය යුතුය.” (අඃනිඅනුකම්පක සූත‍්‍රය) මෙම සූත්‍රයේ දැක්වෙන කරුණු වෛරසය ආසාදනය වූ රෝගීන්, රෝගියාගේ පවුලේ සාමාජිකයන් සහ රෝගය පිළිබඳ බියකින් පසුවන්නන්ට උපදේශන දීම වැනි මානසික සහනයක් ලබා දීම කෙරෙහි බුදුදහම ලබා දෙන අපූරු උපදෙශයකි.

අධ්‍යාපනය සම්බන්ධයෙන් අදහස් දක්වන අවස්ථාවක නබිනායක තුමාණන් කියා සිටියේ “එක්කෝ ඔබ ඉගෙන ගන්නෙක්ව සිටින්න, නැතිනම් උගන්වන්නෙක්ව සිටින්න, එසේත් නැතිනම් අධ්‍යාපනය සඳහා උදව්කරන්නෙක්ව සිටින්න, සිව්වන්නා නොවන්න” යනුවෙනි. සිව්වන්නා යනු කිසිම අයුරකින් අධ්‍යාපන කාර්යයට සම්බන්ධ නොවීම හෝ අධ්‍යාපනයට බාධා කිරීමයි. නබිතුමාගේ මෙම උපදේශය කොවිඩ් 19 ව්‍යාප්ත වී තිබෙන මෙම කාලයට වඩාත් උචිතය. මන්ද යත් අධ්‍යාපනය ලැබීමේ මෙවලම් නොමැති නිසා හෝ, ජාලගත අධ්‍යාපනයට ප්‍රවේශ වීමට තරම් ආර්ථික පහසුකම් නැති නිසා විශාල දරුවන් පිරිසක් අධ්‍යාපනය නවතා දමා සිටිති. එබැවින් තමන් සවතු අමතර තාක්ෂණික මෙවලම් තිබේ නම් ඒවා සිසු දරුවන්ට ලබා දීම, දරුවන්ට අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීම, ජාලගත වීමේ පහසුකම් සපයා දීම නැතිනම් අසල්වැසි දරුවන්ට ඉගෙන්වීම් කිරීම යනාදිය අධ්‍යාපනය වෙනුවෙන් දායක වීමේ අවස්ථාව සෑම කෙනෙකුටම වසංගතය සමය තුළ විවර වී තිබේ. නබිතුමා පැවසූ පරිදි නිකමෙක්ව නොසිටීමෙන් වසංගතය හේතුවෙන් කඩා වැටී තිබෙන අධ්‍යාපනය යම් මට්මකින් හෝ නගා සිටුවිය හැකි නොවේ ද!

බුදුරජාණන් වහන්සේ විසින් සුභ මානවකයාට දේශනා කළ පරිදි වසංගත රෝග බෝවන හේතුවක් දුටු විට ඒවා වැළැක්වීමට වෑයමක් නොගන්නා පුද්ගලයන්ට හා ඒවා වැළැක්වීමට ක‍්‍රියා කරන පුද්ගලයන්ට තම ක‍්‍රියාවට අනුව විපාක විඳින්නට සිදුවන බවයි. මතු ආත්ම භවයන්හි පමණක් නොව මේ ආත්මයේදීම මේ සඳහා විපාක විඳින්නට සිදුවිය හැකිය. (8)

කුර්ආනයට අනුව මෙවැනි වසංගත තත්වයන් මිනිසුන් පිරික්සා බලනු පිණිස ඇති කරනු ලබයි. එහිදි මිනිසුන්ගේ යහ කල් ක්‍රියාව මැන බලයි. “තරමක බියෙන් දකුස ගින්නෙන් දවස්තූන්ජීවිත (ලෙඩ රෝග හෝ මරණ)අස්වැන්න ආදියෙහි පාඩුවෙන් ද නියත වශයෙන්ම අපි ඔබව පිරික්සුමට ලක් කරන්නෙමු. එහෙත් ඒවා විඳ දරාගෙන සිටින්නන්ට ඔබ සුභාරංචි පවසනු මැනව! (2:155) එනිසා මෙම වසංගතය අවසන් වන තුරු ඉවසීමෙන් සිටීමෙන් විශාල ජයක් හිමි වනු ඇත.

ඔබේ වගකීම කුමක් ද?

අවසාන වශයෙන් මෙම රෝගය පාලනය කිරීමට දැනට සොයාගෙන තිබෙන සහ භාවිතයට සුදුසු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කළ එන්නත ලබා ගැනීමේ වැඩසටහනට සැම දෙනාම සහයෝගය දිය යුතු ය. නබිනායක තුමාණන් වරෙක කීවේ, “දෙවියන් වහන්ස ප්‍රතිකාරයක් නොමැති කිසිදු රෝගයක් නිර්මාණය නොකළ බවයි.” (බුහාරි 7582) එනිසා මෙම වසංගතය නුදුරේම පහව යනු ඇතැයි බලාපොරොත්තුවෙන්, සියලු සෞඛ්‍ය පුරුදු පිළිපදිමින්, ආගමික ඉගෙන්වීම් පිළිපැද, එන්නත්කරණ වැඩසටහනට සහයෝගය දිය යුතුය. එමගින් වසංගතයත්, වසංගතය නිසා ඇතිවන සමාජ ගැටලු අවම කරගත හැකිය. කොවිඩ් 19 මාරයා පරදා සාමූහිකව ජයගැනීමට ඔබත් එකතු වන්න.

 

  1.  https://www.worldometers.info/coronavirus/
  2. “Black Death’s Gene Code Cracked“. Wired, 2001.
  3. https://www.lankaleadnews.com/?p=76824 
  4. ධම්මානන්ද, මකුරුප්පේ. 2020, බුදුසරණ අන්තර්ජාල කලාපය,.
  5. https://en.unesco.org/covid19/educationresponse
  6. https://www.who.int/
  7. https://www.undp.org/press-releases/undp-governments-must-lead-fight-against-coronavirus-misinformation-and
  8. http://www.cnnlanka.com/2021/05/blog-post_27.html

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *