යහපත් සමාජයකට

විශිෂ්ඨ ගුණාංග හෙබි සමාජයක් කරා

නව යුගය විවිධාකාර දියුණු හා සාධන දැක ඇති නමුත් සදාචාරය අතින් දැවැන්ත පසුබෑමකට ලක්ව ඇත. විවිධ නවීන සොයාගැනීම් සම්බන්ධයෙන් මිනිසාට සාඩම්බර විය හැකිය. එසේ වුවදසදාචාර කෝණයෙන් ගත් කල සිදුව ඇත්තේ දැවැන්ත පිරිහීමකි. තත්පරයකින් සැතපුම් දහස් ගණන් ගමන් කළ හැකි තාක්‍ෂණය මිනිසා සතුව ඇතත් හුදෙකලාව වාසය කරන අසල්වැසියෙකු නිවසේම මිය ගිය බව ඔහු දැන ගන්නේ එම මිනියෙන් දුගඳ පිට වුවාටත් පසුවය. මෙය මිනිසත් බවේ විශාල හිදැස්සක් ඇති බවට නොවරදින සාක්‍ෂියකි. රටවල් අතර ජාත්‍යන්තර සබඳතා පුළුල් වී තිබුනද තමාගේම පවුලේ අය හා සමීප ඥාතීන් අතර සබඳතාවය දුරස්ත වී ඇත. ස්වාමියා, බිරිය, මව, පියා, දරුවන් එකම නිවසක වුවද වාසය කරන්නේ අමුත්තන් මෙන් එකිනෙකා වටහා නොගෙනය. ඈත සිටින්නන් සමග සම්බන්ධ වීමේ තාක්‍ෂණය දියුණු වනවාත් සමග සමීපව සිටින්නන් සමග ඇසුර දුරස් වී ඇත.

දැනුම නුවණ විද්‍යාව ආදිය මිනිසාට අත්‍යවශ්‍ය දේ බවට විතර්කයක් නොමැත. නමුත් සදාචාරයට හා යහපත්  ගුණධර්මවලට ඒවා නිසා හානි හෝ බැලපෑම් ඇති වන්නට ඉඩ නොදිය යුතුය. මන්ද යත් සදාචාරය යනු සැබෑ මානව උන්නතියට නැතිවම බැරි අගයක් වන හෙයිනි. සදාරාචාත්මක ප්‍රගතියෙන් තොර ලෞකික දියුණුව යනු ප්‍රයෝජනයක් නොමැති නාම මාත්‍ර දියුණුවකි. යම් සමාජයක් සදාචාරයේ හිනි පෙත්තට යාමට නම් එම සමාජයේ තනි පුද්ගලයන් ආදර්ශ පුරුෂයන් විය යුතුය. තනි පුද්ගලයන් සදාචාරයෙන් පිරිහෙන විට ඔහු හෝ ඇය අයත් වන ජන සමාජයද පිරිහීමට ලක් වෙයි.

සදාචාරය යනු පුළුල් විෂයයකි. එය ආගම් හා අධ්‍යාත්මික සීමාවන් අභිබවා ගිය කරුණකි. සදාචරය යනු මිනිස් වර්ගයා පොදුවේ වටහා ගන්නා එකම එක් විශ්ව භාෂාවක් වැනිය. තවද එය පොදුවේ පිළිගන්නා රීති මාලාවකි. උදාහරණයකට වැඩිහිටියන්ට ගරු කිරීම විශ්ව සදාචාරයකි. එයට ලොව සෑම තැනකම පිළිගැනීම ඇත. එයට ආගම් හෝ ඇදහීම් සීමා හෝ අනන්‍යතා නොමැත. එය මිනිසත් බව හා බැඳුනු ගුණාංගයකි. එනිසා මෙවන් අගයන් සංරක්‍ෂණය කිරීම මිනිස් වර්ගයාගේ අනිවාර්ය වගකීමකි. මෙම අගයන් අප ආරක්‍ෂා කරන විට අපගේ දේශය, අනාගත පරම්පරාව  හා ජන ජීවිතය සමෘධිමත් වනු ඇත.

ශ්‍රී ලංකාව වැනි රටවල් සැබෑ දියුණුවක් අත් කර ගන්නට නොහැකිව පසුබෑමට ලක්ව ඇත්තේ තාක්‍ෂණ හෝ විද්‍යාත්මක දැනුම අඩු නිසා නොව මානුෂීය අගයන්වලින් අප පිරිහී සිටින නිසාය. සියලුම ප්‍රශ්න හා අර්බුදවලට විසඳුම ඇත්තේ සදාචාර පද්ධතියේය. සියලුම ගැටළු ජය ගත හැක්කේ සදාචාර අගයන් මගිනි. යම් රටක යහගුණාංග වර්ධනය වන විට යුක්තිගරුක හා මිනිස් බව අගයන සමාජයක් බිහි වනු ඇත. ඔවුන්ගේ චින්තනය නිසි මගකට යොමු වනු ඇත. එවන් ප්‍රජාවක් සිටින දේශයක් සාමකාමී හා සමෘධිමත් වනු ඇත. තවද එහි නීතියේ ආධිපත්‍යය රජයනු ඇත. සහජීවනය එක්සත් බව සංවේදි බව හා අන්යොන්ය ඉවසීම සහ ගරුත්වය සමානතාවය ආදිය එම දේශයෙහි තිබෙනු ඇත.

ඒ අනුව මෙම කොටසෙහි අරමුණ වනු ඇත්තේ යහගුණාංගවලින් සපිරි සමාජයක් ගොඩනැගීමට අවශ්‍ය මගපෙන්වීම් ඉදිරිපත් කර ඇති ආකාරය ගැන සංවාද පැවැත්වීමයි. එමගින් සදාචාරාත්මක ජන සාමයක් බිහි විය යුතුය යනු අපගේ පැතුමයි

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *