ඉතිහාසයෙන් බිඳක්

ශ්‍රී ලංකාවේ අරාබි සෙල්ලිපි – 02

පසුබිම

අරාබි අර්ධද්වීපයේ විසූ ජනතාව අතීතයේ සිට ම වෙළඳාම හා සම්බන්ධ වූ ප්‍රජාවකි. ක්‍රිස්තු උත්පත්තියට වසර 2200 කටත් පෙරත් ඕමානය ආශ්‍රිත ප්‍රදේශයේ නැව් කර්මාන්ත ගැන අක්කඩියානු මූලාශ්‍රවලින් දෙස් ලැබෙන බව කියවේ. එබැවින් ලංකාවේ මුල් ජනාවාස සංවිධාන වෙමින්, මධ්‍යගත වෙමින් ජාත්‍යන්තර වෙළඳාම සමග සම්බන්ධ වන විට අරාබි අර්ධද්වීපයේ සහ පර්සියානු වෙළෙන්දන් සමග ද ක්‍රමයෙන් සම්බන්ධවන්නට ඇත. ක්‍රි. ව. 414 වන විට පූර්ව ඉස්ලාමීය යුගයේ ම ලංකාවේ සිටි අරාබි වෙළෙඳුන් පිළිබඳ පූජ්‍ය පාහියන් ස්වාමින් වහන්සේගේ වාර්තාවේ සඳහන් බව කියවේ. ඔවුන් ලංකාවේ වරායන් ආශ්‍රිතව තාවකාලික ජනාවාස ගොඩනගා ගන්නට ඇත. (පර්සියානු, රෝම, ග්‍රීක, චීන, ආදීන් ද ඒ සමඟ ම වන්නට ඇත.) පසුකාලීනව අරාබි අර්ධද්වීපය ඉස්ලාමික වීමෙන් අනතුරුව එම අදහස් ලංකාවේ සිටි අරාබි වෙළඳ ප්‍රජාවන් අතර ද කාලයත් සමග ව්‍යාප්ත වන්නට ඇත.

මෙම වෙළඳාම වඩාත් සංවිධානාත්මක සහ ශක්තිමත් වන්නට ඇත්තේ පර්සියානු අධිරාජ්‍ය ද මැඩගෙන කිලාෆතයන් බිහි වෙද්දී බැවින් දෝ හෝ ලංකාවේ අරාබි සෙල්ලිපි සියල්ලම පාහේ 8/9 වැනි සියවසින් පසු යුගයට අයත් වේ.

හැඳින්වීම

ලංකාවේ හමුවන අරාබි භාෂාවෙන් ලියවුණු සෙල්ලිපි ද බොහොමයක් ලැබෙන්නේ මුහුදුබඩ වරාය ආදී ප්‍රදේශ ආශ්‍රිත ව ය. තව ද මෙම සෙල්ලිපි බොහෝ විට සොහොන් ගල් ය. එසේ නොවන සෙල්ලිපි ලැබෙන්නේ ඉතා අල්ප ව ය.

අරාබි සෙල්ලිපි භාෂාව සහ ලේඛන

භාෂාව සහ ලේඛන පද්ධතිය (අක්ෂර පද්ධතිය) යනු කොටස් දෙකකි. බ්‍රාහ්මී අක්ෂර සලකන්න. එය ලේඛන පද්ධතියකි. මුල් තමිල්, සිංහල ප්‍රාකෘත, අර්ධ මාගධී, පාලි ආදී භාෂාවන් එයින් ලියා තිබේ. අද වන විට සිංහල නම් ලේඛන පද්ධතියක් මෙන්ම භාෂාවක් ද වේ. සාමාන්‍යයෙන් සිංහල ලේඛන පද්ධතිය සිංහල, පාලි සහ සංස්කෘත භාෂා ලිවීම සඳහා භාවිත වේ. අරාබි අක්ෂර ද පර්සියානු අක්ෂර ද එවන් වූ ලේඛන පද්ධති වේ. ඒ ද්විත්වය බොහෝ දුරට සමාන වේ. අරාබි භාෂාවෙන් පර්සියානු භාෂාව ආභාශය ලැබූ බව කියයි. (perso-arabic) පර්සියානු ලේඛන පද්ධතියෙන් පර්සි, උර්දු වැනි භාෂාවන් ලියනු ලබයි. අරාබි ලේඛන පද්ධතියෙන් අරාබි, පර්සි, උයිගුර්, කුර්දිෂ්, පන්ජාබි, බලෝචි, පැෂ්ටො. සෝමාලි ආදී භාෂාවන් ලියනු ලබයි.

තව ද අරාබි හෝ පර්සියානු ලේඛන පද්ධතිවල අක්ෂරවල හැඩය වෙනස් කොට තවත් අලංකාර එක් කිරීමෙන් විවිධ ලේඛන සම්ප්‍රදායන් බිහි වී/කොට තිබේ. Islamic calligraphy කලාව මේවායේ ප්‍රගමනයට හේතුවකි. එය වෙනම සාගරයක් වන් මාතෘකාවකි. (ඒ පිළිබඳ ලිපියක් ඉදිරියේ දී බලාපොරොත්තු වන්න)

ලේඛන සම්ප්‍රදායන්;

  1. කූෆික් – ඉරාකය ආශ්‍රිත ප්‍රදේශයේ සම්භවය වූ බව සැලකෙන අතර සෙල්ලිපි අයෝලිපි සඳහා බහුලව භාවිතා වේ.
  2. නස්ඛි – මක්කා, මදීනා ප්‍රදේශ ආශ්‍රිතව සම්භවය වූ බව සලකන අතර පැපිරස් ආදී කඩදාසිවල ලිවීමට බහුලව භාවිතා කර ඇත.

මේ පුරාණ ම සහ ප්‍රධාන ම ලේඛන සම්ප්‍රදායන් දෙකයි. මීට අමතරව තුලුත්, ඔටෝමාන් යුගයේ සම්භව වූ දිවානි, උතුරු අප්‍රිකාවේ සම්භවය වූ මග්රිබි, නෂ්‍තාලිඛි, චීනයේ සීනි යන ලේඛන සම්ප්‍රදායන් ද වේ.

ලංකාවේ සෙල්ලිපි අතර කියුෆික්, නාස්ඛි සහ පර්සියානු ලේඛන පද්ධති තුනේ ම ලිපි හමුවන බව කියවේ. එසේ ම වෙනත් ලේඛන සම්ප්‍රධායන් ගැන ද මූලාශ්‍රවල ලියැවී තිබේ.

ලංකාවේ හමුවුණු අරාබි සෙල්ලිපි.

  1. මන්නාරම, පුලියදූව අරාබි සෙල්ලිපිය

මන්නාරම, පුලියදූව (පුලියන්තිවු) ප්‍රදේශයෙන් ලැබී දැනට කොළඹ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර ඇති මෙම සෙල්ලිපිය ක්‍රි. ව. 9 වන සියවසට අයත් බව කියනු ලැබේ. කූෆික් අක්ෂරවලින් සමන්විත මෙය බොහෝ විට සොහොන් ගලක් වන්නට ඇතැයි සලකනු ලැබේ. මෙය කොටු හැඩැති ගල් පුවරුවකි. මෙහි යටින් කොටසක් කැඩී ඇතැයි සැලකේ. අකුරු පේළි 6 කි.

එහි පහත වැකි සඳහන් වේ;

“අල්හම්දු ලිල්ලාහ්

බිස්මිල්ලාහිර් රහ්මාන් අර් රහීම්

ලා ඉලා ඉල්ලල්ලාහු වහ්දහූ ලෂාරිකා ලහූ

මුහම්මදුර් රසුලිල්ලාහි සල්ලල්ලාහු අලෙෙහි

කුල්ලු නෆ්සින් දා ඉඛාතුල් මාවත්”

එහි තේරුම;

“සියලු ප්‍රශංසා අල්ලාහ්ට වේ.

ත්‍යාගී, කරුණාභරිත අල්ලාහ්ගේ නාමයෙන්

අල්ලාහ් දෙවියන් හැර වෙනත් දෙවියෙක් නොවේ. ඔහු ඒකීය ය. සහකරුවන් නැති ය.

මුහම්මද් අල්ලාහ්ගේ රසූල්වරයා වේ.

අල්ලාහ් දෙවියන්ගේ ආශිර්වාදය හා සාමය ඔහු සහ ඔහුගෙ පවුල සමග වේවා.

සියලු ආත්මයෝ මරණය රස විඳිති.”

  1. අනුරාධපුර පුත්තලම් මාර්ගය අසළින් ලැබුණු අරාබි සෙල්ලිපිය

මෙය අනුරාධපුර පුත්තලම මාර්ගය අසළින් ලැබී ඇති අතර දැනට ඇති තැන නොකියවේ. මෙයත් ක්‍රි. ව. 9 වැනි සියවසට අයත් බව සැලකේ. කූෆික් අක්ෂර සම්ප්‍රධායෙන් යුතු ය. මෙය කුමකට කෙටූවක් ද යන්න නිශ්චිත නොවේ. බොහෝ දුරට සොහොන් ගලක් විය හැකි ය. පේලි නවයකින් යුතු ගල් පුවරුවකි.

  1. පෙට්ටියමරුප්පු, අරාබි සෙල්ලිපිය

මෙය රෝහිත දසනායක මහතාගේ ‘arabs in serendib’ කෘතියේ මෙනමින් හඳුන්වා ඇත්තේ එනම් පළාතකින් හමු වූ බවට සාක්ෂි ඇති නිසා විය හැකි ය. අද කොළඹ ජාතික කෞතුකාගාරය ඇති මෙය 9 (10 හෝ 11) වැනි සියවසට පසු කාලයකට අයත් බව කියවේ. කියුෆික් හෝ මොරොක්කෝ අක්ෂර සම්ප්‍රදායෙන් ලියා තිබෙන කියවේ. මෙය ද බොහෝ විට සොහොන් ගලක් විය හැකි බව අනුමාන කෙරේ. නමුත් මෙහි කොටස් කැඩී ගොස් ඇත. මධ්‍යයේ රවුම් කැපුමක් ඇත්තේ මෙය ඇඹරුම් ගලක් ලෙස යොදාගත් හෙයිනැයි සැලකේ. දැන් ඇත්තේ පේළි 7 ක් පමණකැයි කියවේ.

  1. ජාවත්ත සොහොන අරාබි සෙල්ලිපිය

මෙය කොළඹ ජාවත්ත සුසාන භූමියේ මුලින් තිබී ඇති නමුත් එයත්, තවත් ගලුත් 1780 කාලයේ රැගෙන ගොස් ලන්දේසි නිලධාරියෙකුගේ නිවසක බිමට සවිකර තිබී ඇත. අනතුරුව 1806 – 1819 යුගයේ ලංකාවේ අගවිනිසුරු ඇලෙක්සැන්ඩර් ජොන්ස්ටන් නයිට්වරයා මෙහි තීන්ත පිටපතක් කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයට යවා ඇත. ඒ පරිවර්තනය සඳහා යි. කේම්බ්‍රිජ්හි අරාබි භාෂා මහාචාර්ය සැමුවෙල් ලී පූජකතුමන් එය පරිවර්තනය කර ඇති අතර මෙම සිද්ධි පිළිබඳ ඇලෙක්සැන්ඩර් ජොන්ස්ටන් මහතාගේ පැහැදිලි කිරීමක් ද සහිතව එම පරිවර්තනය Transactions of the royal Asiatic society of great Britain and Ireland ; Volume I (1827) හි පළකර තිබේ. මෙය ලංකාවෙන් හමු වූ ප්‍රථම අරාබි සෙල්ලිපිය වන නමුත් අද ඇත්තේ එම ලිපියේ තීන්ත සටහන් පමණක් වේ. ලිපිය සොයාගැනීමට නොහැකි වී තිබේ. මෙම සෙල්ලිපිය එහි අන්තර්ගතය අනුව ක්‍රි. ව. 929/949 ආසන්න කාලයේ බව කියවේ. කූයුෆික් අක්ෂර සම්ප්‍රධායෙන් ලියා ඇති බව කියවේ.

මේ පිටිපස කතාවක් ද වේ. මෙරට විසූ මුස්ලිම් ප්‍රජාව, ඔවුන් වෙනුවෙන් ඉස්ලාමික ගුරුවරයෙක් එවන මෙන් එවකට අබ්බාසී පාලක අබු මුහම්මද් අලි ඉබ්නු අහමද් එනම් අල් මුක්තෆි බිල්ලාහ් කලීෆාතුමාගෙන් ඉල්ලා ඇත. ඔහු එවිට කාලිද් ඉබ්නු අබු බකායා නම් ආගමික ගුරුවරයෙක් ලංකාවට එවා ඇත. ඔහු ලංකාවට පැමිණ ජීවත් වී කොළඹ දී මියගොස් තිබේ. අනතුරුව කාලිෆ්තුමා එම ගුරුවරයා වෙනුවෙන් මෙම සෙල්ලිපිය කෙටූ ගල් පුවරුව එවා තිබේ.

මෙය පැතලි ඍජුකෝණාස්‍රාකාර ගල් පුවරුවකි. මෙහි අක්ෂර පේලි පහළවකි. පහළින් ඍජුකෝණාස්‍රාකාර, ඉහළින් ආරුක්කු හැඩැති රාමුවක් තුළ කොටා ඇත.

  1. මන්නාරම, මාන්තෙයි අරාබි සෙල්ලිපිය

මාන්තෙයි ප්‍රදේශයේ, තිරුකේතීස්වරම් කෝවිල අවටින් හමු වී, අද කොළඹ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. මෙය අදාළ අක්ෂර අනුව 11 වැනි ශතවර්ෂයට පමණ අයත් බව අනුමාන කරනු ලැබේ. කූයුෆික් අක්ෂර සම්ප්‍රධාය අනුගමනය කර ඇති බව කියවේ. මෙය සොහොන් ගලක් බව අනුමාන කරන අතර ඍජුකෝණාස්‍රාකාර හැඩයෙන් යුතු ය. ඉහළ සිට පහළට ක්‍රමිකව කුඩා ප්‍රමාණයකින් පළල අඩු වන බව පෙනේ. පහළ කොටස කැඩී හෝ කපා ඇතැයි කියවේ. ගල් පුවරුවේ පහළින් ඍජුකෝණාස්‍රාකාර, ඉහළින් ආරුක්කු හැඩැති රාමුවක් තුළ සෙල්ලිපිය කොටා තිබේ.

මෙය තුළ සාම්ප්‍රධායික දේව ප්‍රශංසා සහ අයෙක්ගේ පව් සමා කර අනුකම්පාව ලබා දෙන ලෙස කරන ඉල්ලීමක් ද වේ. යසිද් නැමැත්තාගේ මරණය එම ලිපියේ වාර්තා වේ. ඔහුගේ සම්පූර්ණ නම යසිද් බින් අල් මාර්දුබාන් බින් මාහුයා යන නම එහි සඳහන් වේ. ඉබ්නු/ඉබ්න්/බින් යන වදන පුත්‍රයා යන්න නිරූපණය කරයි. එවිට මෙහි තේරුම මාහුයාගේ පුත් අල් මාර්දුබාන්ගේ පුත් යසිද් යන්නයි.

  1. ශ්‍රී පාද භගවා ලෙන අරාබි සෙල්ලිපිය

මෙය ශ්‍රී පාදස්ථානය මුදුනට මීටර් 100 ක් පමණ පහළින් ඇති භගවා ලෙන නම් ලෙන තුළ කොටා ඇත. වත්මන් අඹගමුව මාර්ගගේ මදක් ඇතුළට වන්නට පිහිටි මෙම ලෙනේ සෙල්ලිපි තුනක් සහ රූපයක් වේ. රූපය නිශ්ශංකමල්ල රජ්ජුරුවන්ගේ (ක්‍රි. ව. දොළොස්වන සියවසේ රජකම් කළ) ය. එහි පසෙකින් “නිශ්ශංක පරාක්‍රමබාහු චක්‍රවර්ති ස්වාමින් වහන්සේ පද ලසදා වැඳ බැස සිටි නියායි” යනුවෙන් සෙල්ලිපියක් වේ. පද ලස දා යනු පාද ලාංඡන ධාතූන් වහන්සේ යන්නයි. තවත් විශාල සෙල්ලිපියක් ඊට දකුණින් වන අතර එහි නිශ්ශංකමල්ල රජ්ජුරුවන්ගේ ඉන්දියා ආක්‍රමණය සහ ශ්‍රී පාදස්ථානයට ගම්වර නැවත පූජා කිරීම ඇතුළු තවත් විස්තර වේ.

අරාබි සෙල්ලිපිය කොටා ඇත්තේ රජ්ජුරුවන්ගේ රූපය පසෙකින් ය. මෙය ක්‍රි. ව. 13/14 වන සියවසට පමණ අයත් බව සැලකේ. මෙය නිශ්ශංකමල්ල රජ්ජුරුවන්ගේ කාලයට ම අයත් බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා සිය The god of Adam’s peak ලිපියේ සඳහන් කර ඇතැයි කියවේ. ලුඩ්විග් සහ ක්ලොඩ් විසින් සම්පාදිත ග්‍රන්ථයේ දැක්වෙන්නේ එය මෑතකාලීන ලිපියක් විය හැකි බවයි. අක්ෂර සම්ප්‍රදාය ගැන වැඩි විස්තරයක් නොමැති අතර හුදෙක් කෙටි අරාබි වාක්‍යයක් පමණක් වේ. ශ්‍රී පාදටය ගෞරව කිරීමට ආ අරාබිවරුන් මෙම ගුහාවේ පිහිටි නිශ්ශංකමල්ල රජ්ජුරුවන්ගේ රුව දැක එය ආදම් නබිතුමාගේ රුවක් යැයි සලකා මෙම සෙල්ලිපිය කෙටවූ බව හැඟේ.

මෙහි සලාවතයෙන් කොටසක් වන “අල්ලාහුම්මා සල්ලි අලා මුහම්මද්” යන්න සඳහන් බවත් ඊට අමතරව අබුල් බෂර් (අබු අල් බෂර්) යන්න එහි ඇති බවත් කියවේ. එය ආදම් නබිතුමාට භාවිත කරන තවත් නමකි. එනම් මානව සංහතියේ පීතෘ යන නමයි.

 මෙහි ස්පර්ශ ලාංඡනයක් නොලැබුණි.

  1. කූරගල අරාබි සෙල්ලිපි

මේ පිළිබඳ ලිපියක් ඉදිරියේ දී පළ කිරීමට නියමිත යත.

  1. ත්‍රිකුණාමලය අරාබි සෙල්ලිපිය 1

ත්‍රිකුණාමලය වරායාශ්‍රිත නිකල්සන් කෝච් ප්‍රදේශයෙන් හමු වී ඇත. මෙය 14 – 16 සියවස්වලට අයත් බව සැලකේ. මෙහි අක්ෂර ගිලුණු පසුබිමක මතුවන අයුරින් (sunken relief) කොටා ඇත. ඒවායෙන් නස්බි සහ තුලුත් ලේඛන සාම්ප්‍රධායන්ට අයත් බව කියයි. මෙය සොහොන් ගලක් ලෙස සැලකේ. මෙම ගල් පුවරුවේ ඉහළ කොටස කැඩී ගොස් තිබෙන අතර එය ලංකාවට පිටතින් ගෙන ආවක් බව සැලකේ. තිරස් පේලි 7ක් දක්නට ඇති අතර ඉහළම පේලියේ ඇත්තේ පේලියේ පහළ කොටස පමණි. පහළ පේලි ද ගෙවී ඇත. ඊට අමතරව දෙපසින් සිරස් අක්ෂර තීරු දෙකක් ද ඇත. එය සම්පූර්ණ වම්, ඉහළ සහ දකුණු කෙළවර හරහා රාමුවක් ලෙස විහිදී තිබූ බව පැහැදිලි වන්නේ එහි අල් කුර්ආණයේ 2:255 වැකියේ මුල් සහ අග කොටස් අද ඉතිරි වී තිබීම හේතුවෙනි.

මෙය අලී අල් හලබි නමැත්තාගේ පුත් අමීර් බද්රුද් දීන් හුසයින් නැමැත්තාගේ දුව වූ කාන්තාවකගේ සොහොනකට අයත් බව සෙල්ලිපියේ කරුණුවලින් පෙනී යයි.

  1. ත්‍රිකුණාමලය අරාබි සෙල්ලිපිය 2

මෙයත් ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිතව පෙර සෙල්ලිපිය ලැබුණු ස්ථානයට මද දුරකින් සොයාගෙන තිබේ. අද වන විට මෙය තබා ඇත්තේ කොළඹ ජාතික කෞතුකාගාරයේ ය. මෙය ක්‍රි. ව. 1405 ට අයත් බව අන්තර්ගතය අනුව ලුඩ්විග් සහ ක්ලොඩ් විසින් සම්පාදිත ග්‍රන්ථයේ තීරණය කොට තිබේ. නමුත් ආචාර්ය හොබොම් දක්වා ඇත්තේ හිජ්රි 7 වැනි සියවසට ආසන්න කාලයකි. ඒ අනුව 13 – 15 සියවස් අතර කාලයට මෙම සෙල්ලිපිය අයත් යැයි ගැනීම සුදුසු ය. මෙම සෙල්ලිපිය නාස්බි හෝ රෙයිහානි (පර්සියානු ලේඛන සම්ප්‍රධායකි.) ලේඛන සම්ප්‍රදායන්ට අයත් බව දසනායක මහතාගේ කෘතියේ සඳහන් වේ. ඒ ආචාර්ය හොබොම්ගේ මතයයි. නමුත් ලුඩ්විග් සහ ක්ලොඩ් විසින් සම්පාදිත ග්‍රන්ථයේ කූයුෆික් සහ තුලුත් සම්ප්‍රධායන්ට අයත් අක්ෂර ද ඇති බව කියවේ. මෙම සෙල්ලිපිය සහිත ගල් පුවරුව ද සොහොන්ගලක් සහ විදේශයක සිට ගෙන ආවක් වන බව කියවේ.

මෙය ඉහළින් ආරුක්කු හැඩ ගත් ඍජුකොණාස්‍රාකාර ගල් පුවරුවකි. මෙහි ආරුක්කු කොටස මධ්‍යයේ අලංකාර පහනක කැටයමකි. එම පහන දෙපස, ආරුක්කුවේ කෙළවර වක්‍රාකාර දාරයේ, ආරුක්කු කොටස සහ පහළ ඍජුකෝණාස්‍රාකාර කොටස වෙන් කරන මායිමේ තිරස් තීරුවක් ලෙස, පහළ ඍජුකෝණාස්‍රාකාර කොටස වටා දාරයේ, මධ්‍ය කොටසේ පේලි හතක් ලෙස අක්ෂර කොටා ඇත. වටා ඇති දාර ආදියේ දෙවියන්ට ප්‍රශංසා, කුර්ආණ පාඨ වේ. මධ්‍යයේ ඇති පේලි හතේ ලිපිය ලියු කරුණ සහ තවත් කුර්ආණ පාඨ අඩංගු වේ. එසේ ම දෙපස අලංකාරවත් කුළුණු දෙකක් ද කැටයම් කර තිබේ.

මෙහි අතීෆ් උද් දීන් අබ්දුල්ලාහ් නම් අයෙක් සහ ඔහුගේ මරණය ගැන සඳහන් වේ. ඔහුගේ පිය පරම්පරාව අනුව සම්පූර්ණ නම අතීෆ් උද් දීන් අබ්ද් අල්ලා ඉබ්නු අබ්ද් අල් රහ්මාන් ඉබ්නු මුහම්මද් ඉබ්නු යූසුෆ් අල් අලාවි වේ. මෙය ලංකාවෙන් ලැබුණු අලංකාරත ම සෙල්ලිපියකි.

  1. ගාල්ල ත්‍රෙෙභාෂා සෙල්ලිපිය

මෙය මුලින් පිහිටුවා තිබී ඇත්තේ දෙවිනුවර උත්පලවර්ණ දෙවියන් වහන්සේගේ දේවාලය අභියස විය යුතු ය. ක්වේරෝස් පාදිලිතැනගේ වාර්තාවලින් ද එය සනාථ වේ. නමුත් මෙය 1911 දී හමු වූයේ ගාල්ලෙ ක්‍රිප්ස් පාරේ බෝක්කුවක සවි කර තිබිය දී ය. අනතුරුව පසු කලෙක මෙය කොළඹ ජාතික කෞතුකාගාරයට ගෙන එන ලදි. සෙල්ලිපියේ සඳහන් දිනය (යුං ලෝ අධිරාජයාගේ රාජ්‍යත්වයෙන් සත්වැනි වර්ෂයේ දෙවැනි මාසය) ක්‍රි. ව. 1409ට ගැළපේ.

මෙහි භාෂා තුනකින් අක්ෂර වර්ග තුනකින් ලිපි වේ. දකුණින් චීන ලිපිය, වමේ ඉහළින් දෙමළ සෙල්ලිපිය, වමේ යටින් පර්සියානු සෙල්ලිපිය වේ. මෙය පර්සියානු භාෂාවෙන් (අරාබි අකුරින්‍) ලියවී ඇත. මෙය චීනයේ මින්ග් රාජවංශයේ යොන්ග් ලෝ නම් අධිරාජයාගේ නාවුක සෙන්පතියෙක් වූ ඡෙන්ග් හෝ (මොහුගේ මුස්ලිම් නම ෂම්ස් වන අතර ෂම්ස්ගේ මෙම නාවික ගමන පිළිබඳ ලිපියක් ඉදිරියේ දී පළ වීමට නියමිත ය) විසින් ලංකාවට පැමිණ කරන ලද පූජාවන් ආදිය දක්‌වමින් කරවන ලද්දකි. එය චීන වාර්තාවල සඳහන් වන්නේ විහාරයන්ට පූජා භාණ්ඩ පුද දීමටත්, චීන අධිරාජ්‍යයේ සැලසුම් අනුව සාමකාමී රාජ්‍ය පාලනයක් පිහිටුවීමටත් කර වූ ගල් පුවරුවක් බවයි.

මෙහි ඉහළ ආරුක්කු වැනි ශීර්ෂ කොටසේ සාම්ප්‍රදායික චීන මකර රූප දෙකක් සහ ඔවුන් යොමු වී සිටින ගෝලයක් වේ. පහළ ඍජුකෝණාස්‍රාකාර කොටස වටා මල්වැලක් නිර්මාණය කර ඇත. චීන කොටස හොඳින් සුරැකී ඇති අතර, දෙමළ කොටස ද බොහෝ දුරට ආරක්ෂිත ය. නමුත් පර්සියානු කොටසේ තැන තැන මැකී ගොස් තිබේ.

මෙහි චීන භාෂාවෙන් කළ ලිපියේ කදුකර බෞද්ධ විහාරයකට කළ පූජාවන් ගැන කියවේ. (දක්ෂිණ සාගරය මධ්‍යයේ ඇති සිලානයේ (Xilan) කන්ද ලෙස දැක්වෙන එය බොහෝ දුරට සමනොළ ශ්‍රී පාද කන්ද විය යුතු ය. මක් නිසා ද යත් ලංකාවේ බහුතර වරාය පිහිටි දකුණු සහ බටහිර මුහුදු තීරයන්ට, මුහුදේ සිට ම ස්වර්ගය සේ පෙනෙන ඒ මහා පර්වතය සමනොළ ශ්‍රී පාද කන්ද වන බැවිනි.)

මෙහි දෙමළ සෙල්ලිපියේ ඉලංකා රාජ්‍යයේ තේනවරයි නායනර් දෙවියනට කළ පූජාවන් ගැන කියවේ. මේ සෙල්ලිපිය ගැන ක්වේරෝස් වාර්තා ද අනුව මෙම තේනවරයි නායනර් යනු දෙවිනුවර උත්පලවර්ණාභිධාන දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ බවට සැකයක් නොවේ. තව ද තේනවරයි නායනර් දෙවියන් වහන්සේ අනුකම්පාවෙන් යුතුව ජීවත්වන සියල්ලන් සතුටේ ආරක්ෂා කරන බවත්; එම ස්ථානයට පැමිණෙන සියල්ලන්ට සතුට ලබා ගැනීමට ඇති බාධාවන්, දෙවියන්ගේ දිව්‍යමය කරුණාවෙන් දුරු කරන බවත්; මෙම කොටසේ සඳහන් වේ.

මෙහි පර්සියානු ලිපියේ ඇත්තේ ඉස්ලාම් ආගමික සිද්ධස්ථානයකට හෝ පූජකතුමෙක් වෙත කළ පූජාවන් ය. ‘ඉස්ලාම්’ යන වදන සඳහන් වී තිබීමෙන් එය තහවුරු වේ.

  1. මන්නාරම, එළුපිටිය අරාබි සෙල්ලිපිය

මෙය මන්නාරම එළුපිටිය ප්‍රදේශයෙන් සොයාගෙන තිබේ. මෙය අයත් දිනය නිශ්චිත නොවේ. කියුෆික් අක්ෂරවලින් කොටා ඇති බව කියවේ. මෙය සොහොන් ගලක් ලෙස හඳුනාගෙන තිබේ. මෙහි ඉහළින් සහ පහළින් කොටස් කැඩී ගොස් තිබේ. දැනට පේලි 5 ක් ඉතිරි වී ඇති අතර ඒවායේ ඉහළ ම සහ පහළ ම පේළි දෙක බොහෝ සෙයින් විනාශ වී තිබේ. ඉතිරි පේළි තුනෙහි සොහොන් ගලක සාමාන්‍යයෙන් අඩංගු කරුණු අන්තර්ගත වේ.

  1. හෙම්මාතගම සොහොන් ගල්

මේවා ලැබී ඇත්තේ හෙම්මාතගම, මඩොල්බෝව ජාමි උල් හසන් ජුම්මා මස්ජිදය යාබද සුසාන භූමියෙනි. මෙහි නව ගොඩනැගිල්ලක් ඉදි කිරීමට කණින විට 1976 දී මෙම සොහොන් ගල් 3 ලැබී ඇත. මේවායේ වර්ෂ සඳහන් වන්නේ හිජ්රි ක්‍රමයෙනි.

  1. ඉබ්නු මීරාන් 1274 (නම සහ මියගිය වර්ෂය විය යුතු ය. හිජ්රි 1274; ක්‍රි. ව. 1857/1858 ලෙස ගත හැකි ය.)
  2. 1305 (මෙහි ඇත්තේ හිජ්රි 135 ලෙස අයෙක් සිතුව ද 3 සහ 5 මැදින් තිතක් ඇති බවත් එබැවින් අයත් විය යුත්තේ හිජ්රි 1305ට බව ලුඩ්විග් සහ ක්ලොඩ් විසින් සම්පාදිත ග්‍රන්ථයේ දැක්වේ. අරාබි අක්ෂරවලින් බිංදුව යෙදෙන්නේ තිතක් ලෙසිනි. හිජ්රි 1305; ක්‍රි. ව. 1887/1888 ලෙස ගත හැකි ය.)
  3. 3 3 133 (මෙය ගොඩ ගැනීමේ දි කොටස් දෙකකට කැඩී ඇති බව කියවේ. මෙය හිජ්රි 133 වීම පිළිගත නොහැකි බව ලුඩ්විග් සහ ක්ලොඩ් විසින් සම්පාදිත ග්‍රන්ථයේ සඳහන් වේ. පෙර ලිපිය මෙන් හිජ්රි 1300 ආශ්‍රිත කාලයට එනම් ක්‍රි. ව. 19 වන සියවසට අයත් බව සැලකීම යුක්ති සහගත වේ.)
  1. ගාල්ල තලපිටිය මස්ජිදයේ සොහොන් ගල

මෙම මස්ජිදය ගාල්ලේ පිහිටා ඇති අතර පැරණි ඉතිහාසයක් සහිත මස්ජිදයක් ලෙස මෙරට සාම්ප්‍රධායික මුස්ලිම් ජනතාවගේ ගෞරවයට පාත්‍ර වේ.

මෙහි සොහොනක 1013 හෝ 1313 යනුවෙන් සඳහන් බව කියවේ. හිජ්රි 1013 යනු 1604/1605 වේ. හිජ්රි 1313 යනු 1895/1896 වේ. තව ද පැරණි ලී බාල්ක කිහිපයක තබා ඇති ෂහාදාව ඇතුළු ආගමික වැකි අඩංගු ලිපි 6 ක් ගැන කියවේ.

  1. මන්නාරම, එන්. මදුතුන් නැමැත්තෙකුගේ නිවසින් ලැබුණු බව කියවෙන අරාබි සෙල්ලිපිය

මෙය මන්නාරම එන්. මදුතුන් නමැති අයෙක්ගේ ගෙවත්තකින් හමු වූ කොරල් පාෂාණයකි. මෙය අරාබි සෙල්ලිපියක් නොවන්නට ඉඩ ඇති බව ලුඩ්විග් සහ ක්ලොඩ් විසින් සම්පාදිත ග්‍රන්ථයේ සඳහන් වේ.

  1. හලාවත ප්‍රදේශයේ පල්ලියක තිබූ බව කියවෙන අරාබි සෙල්ලිපිය

මෙය ලැබුණු මස්ජිදය ගැන සඳහනක් නොවේ. ලුඩ්විග් සහ ක්ලොඩ් විසින් සම්පාදිත ග්‍රන්ථයේ සඳහන් වන්නේ කොළඹ පුරාවිද්‍යා කාර්යාලයේ දී සුළු මොහොතකට දුටු නමුත් පිටපත් කරගැනීමට නොහැකි වූ බවයි. දිගු කලක් සෙව්ව ද එම මස්ජිදය ද සොයාගැනීමට නොහැකි වූ බවයි. කූෆික් ලේඛන සම්ප්‍රදායට අයත් නොවන මිශ්‍ර ලේඛන සම්ප්‍රදායක් විය හැකි බවත්, මෑත කාලයේ ඒවා විය හැකි බවත් එහි කියවේ.

තව ද ලංකාවෙන් ලැබෙන අරාබි කාසි සහ බඳුන් ආදිය ද අමතක කළ නොහැකි ය. පූර්ව ඉස්ලාමීය පර්සියානු (සැසනියන්-ෂපූර් කාසි වැනි) කාසි ද ලැබී තිබේ.

විනුක විදානපතිරණගේ ලේඛනයකින් උපුටාගෙන සකස් කළේ සකීෆ් සාම්.

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *