ඔටු බලකාය
හෙන්රි කොරයා (ද සන්ඩ් ඔබ්සර්වර්, ඉරුදින සංග්‍රහය – 1965 අගෝස්තු 8)
රණ ශුරයන් වූ ලංකා යෝනකවරු සිංහල යුධ හමුදාවේ කොටසක් වුහ. ඔවුන්ගේ ඔටු බලකාය (ඔටු පැන්නිය) 17 වන ශත වර්ෂයේදී වැල්ලවාය සටහනේදී ප්‍රමුඛ ස්ථානයක් ගත්තේය. වැල්ලවාවේදී ලැබු විශිෂ්ඨ ජයග්‍රහණය සිහි කිරීමක් වශයෙන් මේ ඔටු බලකායට ගෙෘරව කරමින් දෙවන රාජසිංහ රජු (ක්‍රි ව 1634-1684) විසින් හඟුරන්කෙත මහා දේවාලයට පුජා කරන ලද රාජකීය ප්‍රතිඥාත දේව අංගම් රෙදි කඩෙහි මේ බලකාය සිතුවම් කරන ලදී.
මන්නාරමේ බෝබ් ගස් දෙකක් තවමත් තිබීම මෙහිලා සැලකිය යුතු කරුණකි. මේ ගස්වල කොළ ඔටුවන්හේ ආහාරය පිණිස ගනු ලැබීය. මේ ගස් දෙකින් එකක් මන්නාරම් නගරය මැද ඇති අතර අනෙක පිහිටා ඇත්තේ මන්නාරමෙන් සැතපුම් දහයක් ඈත යාපනය පාරේ පපාමොටෙයි ගමෙහිය.
මන්නාරම් දිස්ත්‍රික්කයේ මුරුක්කන් සහ සලවතුරෙයි (සිලාවතුර) හරහා ළඟා විය හැැකි අරිප්පු නමැති ස්ථානයේ මුහුදට මුහුණ ලා පිහිටි අතහැර දැමු යෝනක ජල ස්ථම්භයක් දැනුදු දක්නට ඇත.
ලන්දේසි අදමිරාල් ජෝරිස් වෑන් සප්ලිබර්ජන් මඩකලපුවට ගොඩබට බව සැලවු විට දෙවන විමලධර්මසුරිය රජු මහත් සේ සතුටට පත්ව මේ විශේෂ අමුත්තන් පිළිගැනීම සඳහා තුර්කි යෝනක සිංහල වැනි විවිධ ජාතීන්ගෙන් සමන්විත බල ඇණි අටකින් යුත් දහසක් පමණ සේනාවක් මඩකලපුවට යැවු බව වුටර් ස්කෝටන් විසින් ලියා තිබේ.
එක්තරා ලුණු ප්‍රමාණයක් වර්ෂයක් පාසා ලුණු බද්දේ දිසාවට ගෙනවුත් භාර දීමටත් පුවක් වෙළඳාමෙන් ලැබෙන ලාභයෙන් කොටසක් භාණ්ඩාගාරයට ගෙවීමටත් යටත්ව මුහුදුබඩ පළාත් සමග වෙළඳාම් කිරීමේ තනි අයිතිය කන්ද උඩරට රජවරුන් විසින් යෝනක ජාතිකයන්ට ලබා දී තිබුනේය.
මුහුදු බඩ ප්‍රදේශවල සංචාරය කිරීමේදී යෝනක වෙළඳුන්ට දී තිබුනු අවසර පත් ඒ ඒ කඩවත් භාරව සිටි මුදලිවරුන්ට පෙන්වීමට යෝනක වෙළඳුන්ට නියම කර තිබු බවත් ලේඛනාගාරවල ඇති ඕලන්ද ලේඛනවලින් පෙනේ.
කල්පිටිය සහ පුත්තලම වරායවලට ඇතුළු වන උඩරට යෝනක වෙළඳුන් විසින් රතු සිංහ රූපයක් සහිත කොඩියක් වෙළඳ බඩු වැඩියෙන් තිබු සෑම යාත්‍රාවකම ඔසවා තැබීම විශේෂ සිද්ධියකි. මේ අනුව බලන කල ඔවුන්ගෙන් පැවතෙන්නන් වු වර්තමාන යෝනකවරු සිංහ කොඩියට සැලකිලි දැක්වීම පුදුමයට කාරනයක් නොවේ. ඔවුන් ලංකාවට ගොඩබට දිනයේ සිටම සිංහ කොඩිය ඔවුන්ගේ ඉතිහාසයේ කොටසක්ව පවතී.
නිශ්චල කලපු ජලයෙන් යුත් ලේවායන් හරහා සැතපුම් හතරක් ඈතින් නැතහොත් පුත්තලමේ සිට බටහිර දෙසට විහිදි කල්පිටියට යන දුවිලි සහිත පාරේ සැතපුම් දහයක් ගිය තැන නවකඩ්ඩු නමැති අප්‍රකට ගම්මානය පිහිටා තිබේ. මෙහි පිහිටි අලංකාර පුළුල් වෙරළේ බොරළු රහිත සිහින් වැලිතලාව මෘදු පාදවලට සුවපහසුව ගෙන දෙන්නකි. රළ පතරින් තොර මුහුද කෙතරම් නොගැඹුරුද යත් බොහෝ ඈතට යන තෙක් ළදරුවන්ට වුවද එහි බැස යා හැකිය.
මේ ගම නවකඩ්ඩු යනුවෙන් නම් කර ඇත්තේිකඩු නවයක ගම’ යන අර්ථයෙනි. එකල රජෙකුගේ අභිෂේක මංගල්‍යයෙන් පසු අභිනව රජතුමා මුහුදේ ස්නානය කොට රාජකීය අසිපත පැළඳීමට පෙර එය මුහුදු ජලයේ එබිය යුතුව තිබුනි. ඔහු ලංකාවේ රජු වශයෙන් හඳුන්වනු ලබන්නේ මෙම චාරිත්‍රය ඉටු කිරීමෙන් පසුව පමණි. මෙම පැරණි චාරිත්‍රය ඉටු කිරීම සඳහා රජවරුන් නව දෙනෙකු තම අසිපත් මෙම ගම අවට මුහුදු ජලයේ ගිල්වා ඇති බැවින් ගමට මෙම නම ලැබුනේය යැයි ජනප්‍රවාදයක් පවතියි.
මෞලි මංගල්‍යයේ මෙම චාරිත්‍රය මහනුවර දළදා මාලිගාවේ සහ දේවාලවල පෙරහැර අවසාන වීමෙන් පසු සිදු කරනු ලබන දිය කැපීමේ උත්සවයට සම්බන්ධ වුවක්ද දැයි අප නොදනිමු. එහෙත් මෙම චාරිත්‍ර දෙකෙහි කැපී පෙනෙන සමානාත්වයක් දක්නට ලැබේ.
ඇතැම් විට රජතුමෙකු තමන්ගේ රාජධානියට අයත් සමුද්‍රයටද අධිපතියා බව හැගවීම සඳහාත් තම කඩුවේ බලයෙන් සමුද්‍රය ආරක්‍ෂා කිරීමට ප්‍රතිඥා දීමක් වශයෙනුත් මේ චාරිත්‍රය පැවැත්වුවා විය හැකිය. එමෙන්ම විජය කුමරු මෙම ගම අසල ප්‍රදේශයකට ගොඩ බැස්ස නිසාත් පුත්තලමෙන් සැතපුම් හයක් පමණ ඈත පිහිටි තණමල්විල නමැති ස්ථනයේ කුවේණි සමග ඔහුගේ විවාහය සිදු කරනු ලැබු හෙයින් ඒ නගරය මගුල් තොටමුණ යන නමින් ප්‍රකට වීම නිසාත් මේ චාරිත්‍රය ඇති වුයේය යැයිද සිතා ගත හැකිය.
පුත්තලමේ පදිංචිව සිටි අරාබි වෙළෙන්දෝ වැඩි දෙනා යෝනක ජාතිකයෝ වෙති. මෙම යෝන ජාතිකයෝ වූ කලී, ලුණු හිඳීමට හා වෙළඳාම් කිරීමට අමතරව මුතු කිමිදීම, පොල් වගා කිරීම සහ වී ගොවිතැන් කිරීම සඳහා අට වන සිය වසේදී මෙහි පැමිණි අරාබි ජාතිකයන්ගෙන් පැවතෙන්නෝ වෙති. මේ නිසාම මෙම නගරයේ ඇති මුස්ලිම් පල්ලිය අත්‍යලංකාර විශිෂ්ඨ ගොඩනැගිල්ල්ලක් ලෙස ඉදි කොට තිබේ. මෙම පල්ලියේ උත්තුංග කොත් ඉතා ඈතට දර්ශනය වන අතර ළඟ සිට නරඹන්නෙකුට මේ පල්ලියේ අලංකාරය සහ එය තබා ඇති මනහර තත්වය මැනවින් දැකිය හැකිය. එහෙත් මේ සැමට වඩා මේ පල්ලියේ ඇති විශේෂ ලක්ෂණය නම් සිංහල රජ දරුවෙකු විසින් තම කෘතඥතාවය පළ කිරීම වස් තමාගේ රාජ පාක්ෂික යෝනක ජාතිකයන්ට තෑගී කරන ලද අගනා තෑගී රැසක් මෙහි තැක්පත් කර තිබීමය.
සිංහල රාජ පරම්පරාවේ අවසාන රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා චාරිත්‍රානුකුලව මෞලි මංග්‍ය්‍යය අවසාන කිරීමට නවකඩ්ඩු බලා යන ගමනේදී මේ නගරයෙන් පිටත පිහිටි සෙල්ලංකෙන්ඩල් නමැති ස්ථානයෙහි නතර වී ඇත. මේ ස්ථානය අද විනෝදකාමීන්ගේ ජනප්‍රිය ස්ථානයකි. විශේෂයෙන්ම, උෂ්ණාධික දිනවල දුවිල්ලෙන් පිරි මාර්ගවල ගමන් කොට විඩාවට පත් මිනිසුන්ට මෙහි ඇති පිරිසිදු වැලිතලාව සස පැහැදිලි ජලය ආනන්ද ජනකය. ඉහත සඳහන් පරිදි නරේන්ද්‍රසිංහ රජතුමා මෙහි සැපත් වූ අවස්ථාවේදී මේ ප්‍රදේශය පාලනය කරන ලද්දේ හෙට්ටි ගෝත්‍රයට අයත් රාමනාදන් නමැති දිසාව විසිනි. මුරමඩ්ඩු නමැති ඔහුගේ දිසා සහය මුක්කුමාර් ජන ප්‍රධානීන් අට දෙනෙකුගෙන් සමන්චිත වුවකි. ඔවුන් රජු සඳහා තාවකාලික මණ්ඩපයක් ඉදි කොට ඒ ප්‍රදේශයෙන් ලබා ගත හැකි වූ සෑම වර්ගයකම ප්‍රණීත ආහාර පාන වලින් රජතුමාට සංග්‍රහ කළහ. එහෙත් රජුට හෝ රජුගේ පිරිවරේ අන් කිසිවෙකුට හෝ කවරදාවක වත් සතුරු උවදුරක් මෙහිදී ඇතිවේය යැයි ඔවූහු සිහිනෙන් පවා නොසිතුහ.
මිනීමරුවන් පලවා හැරීම
බලයෙන් රජකම උදුරා ගැනීමට අපේක්ෂා කළ තැනැත්තෙකු විසින් රජු මරා දැමීමට එවන ලද පිරිසකගේ කඩා වැදීම නිසා හදිසියේම විශාල කලබැගෑනියක් එහි ඇති විය. මේ අවස්ථාවේදී රජුට හරසර දැක්වීමට පැමිණ සිටි යෝනක ජනයා මිනීමරුවන්ට පහර දී තළා පෙළා ඔවුන් පලවා හැරූහ. කෘතඥ පුර්වක රජතුමා මේ යෝනක ජනයාහේ නිර්භීත භාවය සහ රාජ පාක්ෂික භාවය ගැන පැහැදී මහනුවර රාජ ලාංඡනය සහිත තම පෞද්ගලික කොඩියද රාජකීය පෙරහැරේ භාවිත කළ සංගීත භාණ්ඩ කිහිපයක්ද චාමර දෙකක්ද රිදී ටැසල් අහඅටක් සහ වෙනත් බොහෝ භාණ්ඩද ඔවුන්ට තෑගි කොට ඒවා ඔවුන්ගේ පෙරහැරවල පාච්චි කිරීමට උපහදස් දුන්හ.
රජතුමා තෑගී කළ ඉහත සඳන් කොඩියට කුමක් වුයේ දැයි දැන ගන්නට නැති නමුත් අනෙකුත් සියලුම භාණ්ඩ සුරක්ෂිතව ඉහත කී මුස්ලිම් පල්ලියෙහි තැන්පත් කර තිබේ. එසේම, රජතුමා අපේක්ෂා කළ පරිද්දෙන් මේ භාණ්ඩ සමහරක් පෙරහැරවලදී භාවිත කරනු ලැබේ. එසේ තෑගී කරන ලද හොරණෑවලින් එකක් පසු කලෙක කොට කිරීමට සිදුවිය. එය තිබුණු පරිදි පිඹීමට අපහසුවූ අතර ශත වර්ෂ ගණනකට ඉහත දී සිටි මිනිසුන්ට අදට වඩා ශක්තිම්ත් පෙණහලු තිබුණේදැයි ඒ දකින ඇතැමෙකුට සිතෙන්නට පුළුවන. – හෙන්රි කොරයා (ද සන්හේ ඔබ්සර්වර්, ඉරුදින සංග්රෙය – 1965 අගෝස්තු 8)
(උපුටා ගැනීම: ‘ශ්‍රී ලංකා යෝනකවරුන්ගේ තීත පියසටහන් යෝනක ඉස්ලාමීයං සංස්කෘතික නිකේතනය’- කොළඹ)