ශ්‍රී ලංකාව බහු ජාතික සහ බහු ආගමික ජනතාවගෙන් සමන්විත රටකි. ජන අනුපාතය අනුව වැඩිම ජනගහනයක් සිංහලයින් ද, දෙවෙනුව දෙමළ ජාතිකයින් ද, තුන්වෙනුව මුස්ලිම් ජාතිකයින් ද වන අතර තවත් විවිධ ජාතික ජන කණ්ඩායම් සුළු අනුපාතයකින් වාසය කරති. ආගම් වශයෙන් සැලකුව ද බෞද්ධාගමික, ක්‍රිස්තියානි භක්තික, ඉස්ලාම් භක්තික සහ හින්දු භක්තික වැනි විවිධ ආගම් ලබ්ධිකයින් ශ්‍රී ලංකාව තුළ වාසය කරති. මුස්ලිම් ජනගහනය ද ශ්‍රී ලාංකික මුස්ලිම්වරු (Ceylon moors), ඉන්දියානු මුස්ලිම්වරු (Indian moors), මැලේ මුස්ලිම්වරු (Malays) වශයෙන් වෙනස් කණ්ඩායම් වලට බෙදී ඇත. නමුත් ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන් සමස්තයක් වශයෙන් ගත් කල ඉස්ලාම් ආගමේ සුන්නි නිකායේ ෂාෆි ගුරු කුලයට අයත් ජන කොට්ඨාසයක් වේ. ඒ බව ශ්‍රී ලංකාවේ අධිකරණ ඉදිරියේ පැවැති නඩු වලදී ලබාදී ඇති අධිකරණ තීන්දු මත ද තහවුරු වී ඇත. එම නිසා ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ට බලපාන මුස්ලිම් නීතිය ෂාෆි ගුරුකුලයට අදාළ නීතිය යැයි පිළිගැනීමක් ඇත.
මෙසේ බහු ජාතික හා බහු ආගමික ජනගහනයක් ඇති වීමට ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම මූලික හේතුවක් වී ඇත. එනම් ඇත ඉතිහාසයේ සිටම සාගරික වෙළෙඳාමට පාදක වූ ඉන්දියන් සාගරයේ නාවික මාර්ගයේ කේන්ද්‍රස්ථානයේ ශ්‍රී ලංකාවේ පිහිටීමත් මෙම දිවයිනේ භූගෝලීය වශයෙන් ඉතා වටිනා ස්වාභාවික වරායන් පිහිටා තිබීමත් ඊට මූලික සාධකය වී ඇත. චීනයේ සිට යුරෝපය හා මැද පෙරදිග දක්වා ගොඩබිම් වෙළෙඳ මාර්ගය වූ සේද මාවත පසු කාලීනව අවහිර වීමත් සමග සමුද්‍ර වෙළෙඳාම වෙත විදේශ වෙළඳාමේ යෙදුන ජාතීන් බහුල වශයෙන් යොමු වීම හේතුවෙන් මෙම භූගෝලීය සාධකය වඩාත් වැදගත් වූ අතර, විදේශ වෙළඳ මධ්‍යස්ථානයන් දිවයිනේ සමුද්‍රාශ්‍රිත නගර වල ඇති වීම සිදු විය. ක්‍රි.පූ. 06 වන සියවසේ ශ්‍රී ලංකාවට ආර්ය සංක්‍රමණය වීමට පෙර සිටම ශ්‍රී ලංකාව විදේශ වෙළෙඳාමේ කේන්ද්‍රීය මධ්‍යස්ථානයක් ලෙස පැවතී ඇති බව පාහියන් හිමිගේ වාර්තා මගින් හෙළිදරව් කරයි.
ඉස්ලාම් ධර්මය බිහි වූ ක්‍රි. ව. 07 සියවසට දීර්ඝ කාලයකට පෙර සිටම අරාබි ජාතිකයින් වෙළෙඳාම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් වෙළෙඳ කටයුතු වල නිරත වී සිට ඇති බවත් මෙම ඓතිහාසික සාධක අනුව පෙනී යයි. පෙරදිග හා අපරදිග යා කරන මුහුදු මාර්ගයේ කේන්ද්‍රස්ථානය වූ ශ්‍රී ලංකාවේ එවකට වැඩි වශයෙන් භාවිත වූ බව පෙනී යන්නේ මාන්තොට (මන්නාරම) සහ ගෝකණ්න (ත්‍රිකුණාමලය) වරායන් බව පෙනී යයි. මෙම වරායවල් යා කළ අනුරාධපුරය හරහා පැවැති මාර්ගය පිළිබඳව, එම මාර්ගයේ ඉදිකර තිබූ ගල් පාලම් වල නටඹුන් ඇසුරින් පෙනී යයි. මෙම වෙරළවල් යා කරමින් ගොඩබිමින් තිබූ මාර්ග වලට අමතරව ඒ සඳහා ගංගා භාවිත කළ බව ද පෙනීයයි.
ක්‍රි.ව. 150 දී පිළියෙල කරන ලද බව දැක්වෙන ක්ලෝඩියස් ටොලමිගේ භූගෝල ශාස්ත්‍රය අනුව පිළියෙල කළ ලංකාවේ සිතියමේ දැදුරු ඔය පෙන්වා දී ඇත්තේ යෝනා ෆ්ලූවියස් වශයෙනි. ඊට හේතුව මෙම අරාබි වෙළෙඳුන් දැදුරු ඔය අසබඩ ස්ථානගතව සිටීම විය හැකිය. අරාබි වෙළෙඳුන් මහා වංශයේ හඳුන්වා ඇත්තේ ද යෝනත් වශයෙනි.
මෙම ජාත්‍යන්තර වෙළෙඳාමේ යෙදුන ප්‍රධානතම ජාතීන් අතර ග්‍රීක හා රෝම අධිරාජ්‍යයන් මෙන්ම නැගෙනහිරින් චීනය ද අරාබිකරයේ වෙළෙඳුන් ද වූහ. මෙම ජාත්‍යන්තර වෙළෙඳාම තුළ ඉන්දීය වෙළෙඳුන් අතර මැදියන් ලෙස ක්‍රියා කර ඇති බව ඓතිහාසික මුලාශ්‍ර මගින් පෙන්නුම් කරයි.
රෝම ලේඛයකු වන ප්ලිනි ගේ වාර්තාවේ සඳහන් කරන පරිදි ශ්‍රී ලංකාවේ නාවික කටයුතු පවා ඉතා දියුණු මට්ටමක පැවති ඇති අතර විධිමත් විදේශ වෙළෙඳ ජාලයක් ශ්‍රී ලංකාවේ පැවැති තිබේ. රෝමයේ කොලෝසියස් අධිරාජ්‍යයා සමග සමකාලීන සිංහල රජවරු වෙළෙඳ සම්බන්ධතා මෙන්ම තානාපති සම්බන්ධතා ද පවත්වා ඇති බව ද ප්ලිනි සදහන් කරයි. ක්‍රි. පූ. 22 සිට ක්‍රි. ව. 07 දක්වා ශ්‍රී ලංකාවේ රජ කළ භාතිකාභය රජු රෝම අධිරාජ්‍යයා සමඟ පැවති සමීප සම්බන්ධතා මත රුවන්වැලි සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු වල දී සෑය අලංකාර කිරීම සඳහා රෝමයේ භාණ්ඩ ගෙන්වාගෙන ඇති බව මහාවංශ ටීකා සඳහන් කරයි.
ක්‍රි. ව. 04 වන සියවසේ රෝම අධිරාජ්‍යය බිඳ වැටීමත් සමග ඔවුන් සතුව පැවති වෙළෙඳ ආධිපත්‍යය අත්පත් කර ගන්නේ පර්සියානුවන් විසිනි. ඒ දක්වා සාගර වෙළෙඳාමේ ප්‍රමුඛ ස්ථානය ගෙන සිටි රෝම අධිරාජ්‍යයා සතුව පැවති සාගර වෙළෙඳ ආධිපත්‍යය ද, අත්පත් කර ගැනීමට පර්සියානුවන් වඩාත් පෙළඹෙන්නේ ක්‍රි. ව. 05 වන සියවසේ දී සේද මාවත ඔස්සේ සිදු වූ ගොඩබිමේ වෙළෙඳාම අඩපන වීමට සාපේක්ෂවය.
Ceylon Arab relations ග්‍රන්ථයේ එස්. ඒ. ඉමාම් “පර්සියාවේ සැසේනියානු අධිරාජ්‍යය විසින් ක්‍රි.ව. පස්වෙනි සියවසේ දී අනුරාධපුරය සමග තානාපති සබඳකම් පැවැත් වූ බව ද පර්සියානුවන්ගේ සාගර වෙළෙඳාමේ කේන්ද්‍රස්ථානය වූයේ ශ්‍රී ලංකාව බව ද සාධක සහිතව පෙන්වා දේ.
මේ නිසා ක්‍රි. ව 05 වන සියවස වන විට ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගෙන සිදු වූ සාගර වෙළෙඳ කටයුතු වල සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි. මේ වන විට අරාබි ජාතික වෙළෙඳුන් විදේශ වෙළඳාමේ යෙදී සිටියද ඔවුන් ලබා ගෙන සිටියේ නොවැදගත් ස්ථානයකි.
නමුත් ක්‍රි.ව. 07 වන සියවසේ මොහොමඩ් නබිතුමා විසින් ඉස්ලාම් ධර්මය දේශනා කිරීම ආරම්භ කිරීමත් සමගම අරාබිකරයේ සියලු රටවල්වල සියලුම ගෝත්‍ර එකම ආගමක් හා සංස්කෘතියක් යටතේ එක්සත් වීමත්, ඊට සමගාමිව ඉස්ලාම් අධිරාජ්‍ය බිහිවීමත් දක්නට ලැබේ. මොහොමඩ් නබි නායක තුමා ද මුල් කාලයේ වෙළෙඳාමේ යෙදුන බවත්, පසුව ඔහු සංග්‍රාමිකයකු ලෙස ඉස්ලාම් ආධිපත්‍ය ව්‍යාප්ත කිරීමේ යෙදුනු තැනැත්තෙකු බවත් ඉහතින් දක්වා ඇති පරිදි ඉස්ලාම් ඉතිහාසය පෙන්වා දෙයි. මෙසේ අරාබිකරයත් සමස්ත මැද පෙරදිගත් එකම ආගමික බලවේගයක් යටතට ගන්නා මුස්ලිම්වරුන්, එතෙක් පර්සියාව සතුව පැවති වෙළෙඳ ආධිපත්‍ය බිඳ දමා එය තමන් යටතට ගැනීමට ක්‍රි.ව. 07 වන සියවසේ සිට 08 වන සියවසේ මුල් භාගය උදා වීමත් සමග සමත් වේ. ක්‍රි.ව 07 වන සියවසේ සිට 09 වන සියවස දක්වා කාල වකවානුවේ දී ස්පාඤ්ඤයේ සිට ඉන්දියාවේ බටහිර වෙරළ දක්වා සියලු රාජ්‍යයන් පාහේ ඉස්ලාම් අධිරාජ්‍යයට යටත්ව මුස්ලිම් රාජ්‍ය බවට පත්වන අතර, අල් බහිද් උමෙයියද් වැනි කාලිවරුන් යටතේ එම රාජ්‍යයන් පැවති බවත්, චීනය හා ආසියාතික රටවල සම්පූර්ණ වෙළෙඳ ආධිපත්‍ය දිනාගැනීමට ඉස්ලාමික අරාබිවරුන්ට හැකි වන බවත් ඓතිහාසික මුලාශ්‍ර මගින් පෙන්නුම් කරයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ වෙළෙඳ මධ්‍යස්ථාන අරාබිවරුන්ගේ බලගතු වෙළෙඳ මධ්‍යස්ථාන ලෙස එම කාලයේදී පත් වී ඇත.
ක්‍රි.පු. 05 වන සියවස පමණ සිට ශ්‍රී ලංකාවට අරාබි වෙළෙඳුන් පැමිණි බවට සාධක දක්නට ඇති නමුත් ඔවුන් ශ්‍රී ලංකාවේ වාස භූමි පිහිටුවා නොමැති බවත්. ක්‍රි.ව. 07 වන සියවසේ වරින් වර වෙළෙඳ කටයුතු සඳහා ශ්‍රී ලංකාවට සංක්‍රමණය වූ අරාබි වාස භූමිය ද කර ගැනීමේ අවස්ථාවන් සිංහල රජවරුන්ගේ අවසරය මත ලැබෙන්නට ඇති බවත් පෙනී යයි. විදේශ වෙළෙඳාම තුළින් ශ්‍රී ලංකාව ලංකාවේ රජවරුන්ට ලැබෙන තීරුබදු ආදායම වැඩිකර ගැනීම සඳහා එවකට සිටි සිංහල රජවරුන් අරාබි වෙළෙඳුන්ට වැඩි පහසුකම් සපයා දී තිබේ. එසේම අරාබිවරුන් ශ්‍රී ලංකාවේ පදිංචි වීමට සමකාලීනව චීනයේ කැන්ටන් වරාය ආශ්‍රිතව ද මුස්ලිම් ජනාවාස ඇති වූ බවට සාධක දක්නට තිබේ. ඊට අමතරව ඉන්දුනීසියාව, සුමාත්‍රා, ජාවා හා මැලේසියාව වැනි රටවල ද ඉන්දියාවේ දකුණු හා බටහිර වෙරළ තීරයේ ද මුස්ලිම් ජනාවාස වීම සමකාලීනව ඇති වුවා විය හැකිය.
-උපුටා ගැනීමකි-
නීතිඥ නියාස් මොහොමඩ්