ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ගේ මුතුන් මිත්තන් 09 වන සියවසේ දී කායල්පට්නම් හි පළමු ජනාවාසය පිහිටුවාගත් අතර, ඉන් අවුරුදු ගණනාවකට පසුව ක්‍රි. ව. 1024 දී ඒ නගරයෙන් පැමිණි මුස්ලිම්වරු පිරිසක් බේරුවල ජනාවාසය පිහිටුවා ගන්නා ලද බව Cassie chetly, The Ceylon Gazeteer හි දක්වා ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ පැරණිතම මුස්ලිම් ජනාවාසය සේ සැලකෙන්නේ බේරුවලය.
ඉන් පසුව කල්පිටිය, මන්නාරම, හලාවත, මඩකලපුව ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශවලත් කොළඹ ආශ්‍රිතවත් මුස්ලිම් ජනතාව බහුල වශයෙන් පදිංචි වූ බවත්, මෙම මුස්ලිම් ජනතාව අනෙකුත් මුස්ලම් රට වලින් පමණක් නොව මැලේසියාව ඉන්දියාව වැනි රටවලින් ද විටින් විට සංක්‍රමණය වූ බවත් පෙනී යයි.
H.C.P. Bell ගේ මෙම වාර්තාවේ කරුණු වලට වෙනස් ඓතිහාසික විස්තරයක් The Ethonology Moors in Ceylon ග්‍රන්ථයේ ආර්. ඒ. රාමනාදන් දක්වා ඇති අතර, රාමනාදන්ගේ එම විස්තරය Fernado De Queroz පෘතුගීසී ලේඛකයා විසින් The Temporal and Spiritual Conquest of Ceylon කෘතියෙන් තහවුරු කරයි.
මෙම ඉතිහාසඥයින් දෙදෙනාගෙන්ම තහවුරු වන පරිදි මුස්ලිම් ජනාවාස ඇති වීමට හේතු වූයේ සංචාරක අරාබි වෙළෙඳුන්ගේ ආගමනයෙන් නොව ක්‍රි. ව. 1200 – 1350 කාලය තුළ දකුණු ඉන්දියාවේ කොරමැන්ඩල් වෙරළාසන්නයේ සිට ආක්‍රමණිකයන් ලෙස ශ්‍රී ලංකාවට ඇතුළු වූ ඉස්ලාම් ආගම වැළඳගෙන සිටි දෙමළ ජාතිකයන්ගේ සංක්‍රමණය නිසා බවය.
දකුණු ඉන්දියාවේ සිට පැමිණි මුල් ම කණ්ඩායම කාදර්ෂා නමැත්තෙකුගේ මෙහෙයවීම මත පැමිණි බවත් මෙම කණ්ඩායම සමග යුද වැදී ඔවුන් පරාජයට පත් කළ ද නොමැරී ඉතිරිව යටත් වූවන්ට මෙහි පදිංචිවීමට අවසර ලබාදී ඇති බවත්ය.
එසේ පදිංචි වූ මුස්ලිම් මිනිසුන් වෙරළාසන්නයේ සිටි නයිදේ කුල පහට අයත් කාන්තාවන් විවාහ කරගත් අතර ඔවුන්ට නයිදේ නොහොත් නාච්චිරේ යන ගරු නාමය ද පාවිච්චි කිරීමට සිංහල පාලකයන් අවසර දුන් බව ද ඔවුන්ට කරාවේ කුලයට අයත් අයට අවසර ලැබී තිබූ රාජකාරි කිරීමට රජු විසින් අවසර දුන් බවද රාමනාදන් දක්වා ඇත.
මෙම ඓතිහාසික සංසිද්ධිය තහවුරු කරමින් Queroz දක්වා ඇත්තේ දකුණු ඉන්දීය වෙරළබඩ වෙළෙඳාමේ යෙදී සිටි කුල වලට අයත් පිරිස් මෙසේ සංක්‍රමණය වීම නිසා ඔවුන් ශ්‍රී ලංකාවේ ද වෙරළාශ්‍රිතව සමාජගත වී ජනාවාස වූ බවත්, එමගින් මුස්ලිම්වරු ශ්‍රී ලංකාවේ ද වෙළෙඳ ආධිපත්‍ය අත්කර ගැනීමට ක්‍රියා කළ බවත්ය (පිටුව 742 ).
මෙසේ ඉතිහාසයේ නොයෙකුත් යුගයන්හි දී ශ්‍රී ලංකාවට සංක්‍රමණය වූ ඉස්ලාම් භක්තිකයන් මෙරට කාන්තාවන් හා විවාහ ඇතිකර ගැනීම මගින් ශ්‍රි ලාංකික මුස්ලිම් පරපුරක් නිර්මාණය වී ඇත. පියා ඉස්ලාම් භක්තිකයකු වීම මත මෙම දරු පරම්පරාවන් මුස්ලිම්වරුන් ලෙස ශ්‍රී ලාංකික පුරවැසි භාවය උරුමකරගෙන ශ්‍රී ලාංකිකත්වය ලබාගෙන තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ මුස්ලිම් නීතිය මෙම දේශීය මුස්ලිම් ජනතාවට අදාළ වන පරිදි ඉස්ලාම් මූලධර්ම යටතේ මෙන්ම දේශීය චාරිත්‍ර යටතේ ද ක්‍රියාත්මක වීමට පටන් ගන්නා ලදී.
මුස්ලිම් භක්තිකයෙක් සිංහල කාන්තාවක් විවාහ කර ගැනීම මත බිහි වූ ශ්‍රී ලාංකික මුස්ලිම් පවුල් සම්භවය පිළිබඳ අපුරු සිද්ධියක් හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයෙකු වන ඉංග්‍රීසි ජාතික H.C.P. Bell. ish Report on the Kegalle District – of the province of district sabaragamaura’ – Cey sessional paper –XIX of 1872 වාර්තාවේ 99 පිටුවේ දක්වා ඇත. එය මෙසේය.
“රජු බැහැ දැකීමට ආ සංක්‍රමණික මුස්ලිම්වරුන් දෙදෙනා සිංහල කාන්තාවන් සරණ පාවා ගැනීමට කැමැත්තක් දැක්වුව ද, ඔවුන් විදේශිකයන් මෙන්ම අන්‍යාගමිකයන් ද වූ බැවින් උඩරට වංශවත් කුල වල තරුණියන් විවාහ කර ගැනීමට ඔවුන්ට නොහැකි වී තිබේ. මේ මුස්ලිම්වරුන් දෙදෙනා තම රාජධානියේ රඳවා ගැනීමට දැඩි අපේක්ෂාවක් ඇතිව සිටි රජු ඔවුන්ට විවාහ වීමට කාන්තාවක් සොයා දීමට අපූරු උපක්‍රමයක් යෙදීය. රජුට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම සඳහා කරනු ලබන චාරිත්‍රානුකූල ආ වැඩීමක් සඳහා කන්‍යා තරුණියන් ගණනාවක් රජ මාලිගාවට කැඳවනු ලැබීය. මුස්ලිම්වරුන් දෙදෙනා රාජකීය අනුග්‍රහය ලැබ ඔවුන් සිත් ගත් තරුණියන් දෙදෙනෙකු පැහැර ගෙන මාලිගාවේ ම සඟවා තැබූහ. ඒ ළමයින්ගේ මාපියන් ඔවුන් සොයා වෙහෙසට පත්ව ඔවුන් නැති වෙන්නට ඇතැයි සිතා සෙවීම අත්හැර දැමූහ. රජතුමාගේ මැදිහත් වීම මත ගැහැනු ළමයින් දෙදෙනා ඉස්ලාම් ආගමට හරවා ගෙන මුස්ලිම්වරුන් විසින් විවාහ කර ගනු ලැබීය.” මෙසේ මුල්කාලීන ඇතැම් මුස්ලිම් ජාතිකයන් සිංහල කාන්තාවන් විවාහ කර ගෙන ඇත්තේ රජුගේ බලපෑම යොදවා රාජ්‍ය අනුග්‍රහය යටතේ බව ඒ අනුව පෙනීයයි.
මුල්කාලීන මුස්ලිම්වරුන් සිය වාසස්ථාන ලෙස තෝරා ගත්තේ වෙළෙඳාමට සුදුසු ප්‍රදේශ වශයෙන් විශේෂයෙන් මුහුදු බඩ පළාත්ය. නමුත් එම මුස්ලිම්වරුන් වෙළෙඳාම් කටයුතු වල නිරත වීමත් ඔවුන් සිංහල රජවරුන් සමග සබඳතා පැවැත්වීමත් එම යුගයේ මුහුදු බඩ පළාත් පාලනය කළ පෘතුගීසි පාලකයන් නොරිස්සූහ. ක්‍රි.ව. 1600 පමණ වන විට මුහුදු බඩ පළාත් පාලනය කළ පෘතුගීසි පාලකයා වූ කොන්ස්තන්තීනු ද සා නොරොඤ්ඤා විසින් මෙසේ මුහුදුබඩ පළාත්වල වාසය කරමින් වෙළෙඳාම් කටයුතු වල යෙදුනු ඉස්ලාම් භක්තිකයින් සම්පුර්ණයෙන් විනාශ කරන ලෙස අණ කිරීමත් සමඟ මුස්ලිම් ජාතිකයන් බහුල වශයෙන් කන්ද උඩරට රාජධානියේ පාලන ප්‍රදේශ වලට සංක්‍රමණය වීමට පටන් ගත්හ. ඒ වන විට උඩරට රාජධානිය පාලනය කළ විමලධර්මසූරිය රජුගෙන් පසුව රාජ්‍ය පාලනය සෙනරත් රජුට (1604 – 1635) හිමිව තිබුණි.
මෙම මුස්ලිම් සංක්‍රමණයන් සෙනරත් රජු විසින් සතුටින් භාරගන්නා ලදී. ඊට හේතු වූයේ ඒ වන විට පෘතුගීසින් සමඟ යුද වැදීම් නිසා කෘෂිකර්මාන්තයට අවශ්‍ය ශ්‍රම බලකාය ද යුද්ධ කටයුතු සඳහා හේවායන් ද විශාල වශයෙන් උඩරට රාජධානියට අවශ්‍ය වී තිබූ නිසාය. එසේම වෙළෙඳුන් වශයෙන් ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දීමටත් සංක්‍රමණික මුස්ලිම්වරුන් නොපැකිළව ඉදිරිපත් වූහ. සටන්කාමී මුස්ලිම් තරුණයින් සිංහල රජුගේ හමුදාවට සුවිශේෂී ශක්තියක් වීම, රජු බලාපොරොත්තු වූ අයුරින්ම සිදු විය.
මේ පිළිබඳව The Temporal and Spritual conquest of Ceylon ග්‍රන්ථයේ වාර්තා කරන lafjfrdaia (Fernao De Oueroz) දක්වා ඇත්තේ කොන්ස්තනීනු ද සා විසින් මෙසේ පලවා හැරි මුස්ලිම් ජාතිකයන් තම පරම හතුරා වශයෙන් පෘතුගීසීන් සලකමින් සිටි සිංහල රජුගේ හමුදාවට (ගැරියස් හමුදාවට) දැඩි ලෙස කැප වෙමින් සේවය කළ බවය. ඒ අනුව මුහුදුබඩ පළාත් වලින් සරණාගතයන් වශයෙන් කන්ද උඩරටට පලාගිය මුස්ලිම් ජාතිකයන් සිංහල රජුගේ ආරාධනයෙන් පැමිණි අමුත්තන් සේ සුහද පිළිගැනීමකට ලක් වූ බව ක්වේරෝස් වැඩි දුරටත් සඳහන් කරයි (පිටු අංක 745). සිංහල රජුගේ මෙම ප්‍රඥා ගෝචර ක්‍රියාවේ ප්‍රතිඵලය ලෙස, 1628 සහ 1630 දී සිංහල රජු පෘතුගීසින් සමග කළ සටන් වලින් ජයග්‍රහණය ලැබීම තුළින් මෙම තත්ත්වය විද්‍යාමාන වේ යැයි The portuguese in Ceylon ( 1617 –1638) ග්‍රන්ථය මගින් C.R. De Silva දක්වා ඇත. එපමණක් නොව නැගෙනහිර ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජාතිකයන් යොදවා විශාල කෘෂිකාර්මික සංවර්ධනයක් සිදු කිරීම ද එහි තවත් යහපත් ප්‍රතිඵලයක් විය.
මෙසේ මුහුදු බඩ විසූ මුස්ලිම් ජාතිකයන් කන්ද උඩරට රාජධානියට සංක්‍රමණය වීමේ දෙවන විශේෂ සිදුවීම වාර්තා වන්නේ 1642 පෘතුගීසින් සිදුකළ මුස්ලිම් සංහාරයයි. 1640 දී මාතර බල කොටුව අත්පත් කර ගන්නා ලන්දේසි හමුදාව එම ප්‍රදේශයේ පදිංචිව සිටි මුස්ලිම් ජාතිකයන් හා සුහඳ සබඳතා ගොඩනගාගෙන පෘතුගසින්ට එරෙහිව ප්‍රහාරයකට සුදානම් වූහ. මෙම කුමන්ත්‍රණය පිළිබඳව දැනගත් මාතර ප්‍රදේශයේ පෘතුගීසි පාලකයා වූ ඇන්ටෝනියෝද ඇමරඩ් මෙයින් දැඩි ලෙස කුපිත වී පිරිමි මුස්ලිම්වරුන් ඝාතනය කිරීමටත් දරුවන් හා ස්ත්‍රීන් අත්අඩංගුවට ගැනීමටත් නියම කළ අතර ඒ අනුව මුස්ලිම් තරුණයින් විශාල පිරිසක් ඝාතනයට ලක් වූ අතර ස්ත්‍රීන් හා ළමයින් විශාල පිරිසක් අත්අඩංගුවට ගත්හ. එම සංහාරය 1510 දී ගෝවේ සංහාරය ලෙස හඳුන්වන ඇල්ෆොන්සෝද ඇල්බර්ග් නැමැති ගෝවේ පෘතුගීසි ප්‍රතිරාජයා විසින් කළ “මුස්ලිම් පිරිමින් කඩුවට ද ස්ත්‍රීන් යහනට ද කැප කිරීම” යන නියෝගය මත ගෝවේදී සිදු වූ මුස්ලිම් සංහාරයට සමාන බව ඉතිහාසඥයෝ දක්වති.
මෙම “මාතර සංහාරය” හේතුවෙන් විශාල වශයෙන් මාතර ප්‍රදේශයේ පදිංචිව සිටි මුස්ලිම්වරුන් කන්ද උඩරට ට පලාගිය අතර, ඒ වන විට එම රාජ්‍යය පාලනය කළ දෙවන රාජසිංහ රජු (1635 – 1687) විසින් ඔවුන් සතුටින් භාරගෙන, උඩරට ප්‍රදේශවල පදිංචිවීමට ඔවුන්ට රාජ්‍ය අනුග්‍රහය ලබා දුන්හ. එමෙන්ම එම මුස්ලිම් ජාතිකයන්ට සිංහල කාන්තාවන් සරණ පාවා ගැනීමට පවා රජයේ අනුග්‍රහය ලබා දී ඇත. තවද උඩරට රාජධානියට අයත් ප්‍රදේශ වූ අකුරණ, මඩිගේ, ගල ගෙදර වැනි ප්‍රදේශවල මුස්ලිම් ජනාවාස බහුලව ඇති වීමට මෙම සංක්‍රමණයන් හේතු වී ඇත.
මුස්ලිම්වරුන් කන්ද උඩරටට ගලා ඒමේ මෙම ඓතිහාසික සංසිද්ධිය සලකා බැලිය යුත්තේ එම ජාතියට ආවේණික වූ වාර්ගික භේද, කුල භේද, වංශ භේද, ආදියෙන් තොරවූ උම්මා හෙවත් විශ්ව මුස්ලිම් සහෝදරත්වයේ යන පුළුල් දෘෂ්ටි කෝණයෙනි. උම්මා සංකල්පය තවත් අතකින් රාජපාක්ෂික භාවය හා ආගමික ප්‍රජාවත් වීමේ තත්ත්වයක් ද මත සිංහල රජවරුන්ගේ විශ්වාසනීයත්වයක් හා කරුණාභරිත සැලකිලිත් දිනා ගැනීමට මුස්ලිම් ප්‍රජාව සමත් වීම මෙහිදී සැලකිල්ලට ලක්විය යුතුය.
මුස්ලිම්වරුන් කන්ද උඩරට රාජධානියට සංක්‍රමණය වීමට බල පෑ තවත් ප්‍රබල සාධකයක් වන්නේ සිංහල රජවරුන් විසින් ඔවුන්ට සිය ආගම ඇදහීමට ලබා දුන් නිදසහයි. පෘතුගීසින්ගේ බල ප්‍රදේශ වූ මුහුදු බඩ පළාත් වල සියලු දෙනාට කතෝලික ආගම වැළඳ ගැනීමට වූ බල කිරීම් වලින් මිදි, ඉස්ලාම් ධර්මය නිදහසේ ඇදහීමේ අයිතියට සිංහල රජවරුන් හෝ බෞද්ධ භික්ෂුන් ඇතුළු ආගමික නායකයින් සම්පූර්ණ නිදහස මෙන්ම සහයෝගය ලබාදීම මුහුදු බඩ මුස්ලිම්වරුන්ට කන්ද උඩරට ප්‍රදේශයට සංක්‍රමණය වීමට ප්‍රබල හේතුවක් විය. අස්ගිරි විහාර පරම්පාරවට අයත් රිදී විහාරයේ විහාරගම් තුළ කුලියට වාසය කළ මුස්ලිම් ජනතාවට ඔවුන්ගේ ආගමික හා අධ්‍යාත්මික පිළිවෙත් ඉටුකර ගැනීම සඳහා පුජකවරයෙකු පත්කර ගැනීමට හා එම පුජකයාට පහසුකම් සැලසීමට රිදී විහාරයේ භික්ෂුන් වහන්සේලා ක්‍රියා කර තිබීම මෙයට නිදසුන් ලෙස දැක්විය හැකිය.
එපමණක් නොව මෙම මුස්ලිම් ජනයාට ඉස්ලාම් ලෝක ප්‍රජාව සමඟ අන්තර්ජාතික සබඳතා පවත්වාගෙන යාමේ අවසරය මෙන්ම, පහසුකම් ද සිංහල රජවරුන් විසින් සපයා දී ඇත. එමගින් තම විදේශ සබඳතා ශක්තිමත් කර ගැනීමට සිංහල රජවරුන් සමත් වූහ.
අන්‍යාගමිකයින්ට ඔවුන්ගේ ආගමික හා සංස්කෘතික කටයුතු පවත්වාගෙන යෑමට නිදහස ලබා දීමේ සිංහල රජවරුන්ගේ යහගුණය මුස්ලිම් ජාතිකයන්ට සීමා නොවූ බවත්, හින්දු කෝවිල් හා දේවාල රාජධානිය තුළ ඉදිකරකරගෙන සිටි හින්දු භක්තිකයන්ට ද තම ආගම ඇදහීමේ නිදහස භුක්ති විඳීමට අවසර දී තිබීමත්. ක්‍රිස්තු භක්තිකයන්ට පවා තම ආගම ඇදහීම ගෞරවණීය ලෙස සිදු කිරිමටත් නිදහස ලබා දී තිබීමත් දෙවන රාජසිංහ රජු පිළිබඳව විස්තර කරමින් රොබට් නොක්ස් සිය ‘An Historical Relations of CeylonZ ග්‍රන්ථයේ සඳහන් කර ඇත.
මෙලෙස විවිධ රට වලින් සංක්‍රමණය වී ශ්‍රී ලංකාව වාස භූමිය කර ගත් සියලුම ඉස්ලාම් භක්තිකයන් ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් ලෙස හඳුන්වනු ලැබේ. ඔවුන්ගේ අරාබි සම්භවය සංකේතවත් කිරීම පිණිස ඔවුන් හඳුන්වනු ලබන්නේ ලංකා යෝනකයන් (Ceylon moors) වශයෙනි යෝනක (yonas) යන වචනය අරාබි ජාතිකයින් හැඳින්වීම සඳහා ශ්‍රී ලංකා ඉතිහාසයේ මුල් යුගවල පටන්ම එනම්, ඉස්ලාම් ධර්මය බිහි වීමට පෙර පටන්ම යොදාගෙන ඇත.
ලන්දේසි පාලන යුගයේ හේවායින් ලෙස සේවය කිරීම සඳහා ඕලන්ද පාලකයින් විසින් ඉන්දුනීසියාවෙන් විශාල ප්‍රමාණයෙන් ලංකාවට ගෙන ආ භට පිරිස් වල ඉස්ලාම් භක්තිකයින් අතුරින් මෙරට පදිංචි වූ ජන කොට්ඨාසය මැලේ ජාතිකයින් ලෙස හැඳින්වේ. මෙම මැලේ භටයින්ගෙන් පැවත එන ඉස්ලාම් භක්තිකයන් වර්තමානයේ ද මැලේ මුස්ලිම්වරුන් ලෙස හඳුන්වන අතර ප්‍රමාණයෙන් ගත්ත ද මෙම ජන කොට්ඨාසය මුස්ලිම් ජාතිකයින් ගෙන් සැලකිය යුතුකොටසක් වේ.
ඕලන්ද පාලන සමය වන විටත් ඔවුන් යටතේ පැවති මුහුදු බඩ පළාත්වල ජනගහනයෙන් සැළකිය යුතු කොටසක් වූ මුස්ලිම් ජාතිකයන් ශුද්ධ වූ කුරාණය මුල්කරගත් ශරියා නීතියේ නීතිමය තත්ත්වයන් හා ඉස්ලාම් චාරිත්‍ර විධි විවාහ දික්කසාද වැනි අංශ සම්බන්ධයෙන් ද මුස්ලිම් වෛවාහික අයිතිවාසිකම් සම්බන්ධයෙන් හා දේපළ අනුප්‍රාප්තිය සම්බන්ධයෙන් ද භාවිත කළ බවට සාධක තිබේ. කදුත්තාන් (Kadutthan) නැමති ඉස්ලාම් විවාහ චාරිත්‍ර විධි අනුගමනය කළ බවට ඇති සාදක මෙන් ම ක්‍රි.ව. 10 සියවසට අයත් වන කොළඹ සහ මන්නාරම මුස්ලිම් සුසාන භූමි වලට පිහිටුවා ඇති ශිලා ස්ථම්භවල දැක්වෙන කරුණු මත ද, මෙම ඉස්ලාම් චාරිත්‍ර විධි ලාංකික මුස්ලිම්වරුන් අතර අඛණ්ඩව පැවති බව පෙනේ.
නමුත් සමස්ත මුස්ලිම් ජනතාවට බලපැවැත්වෙන විධිමත් ඉස්ලාම් නීති පද්ධතියක් ක්‍රියාත්මක වූ බවක් ඓතිහාසික සාධක අනුව පෙනී යන්නේ නැත. සිංහල රජවරුන් යටතේ විසූ මුස්ලිම් භක්තිකයනට තම ආගම හා සංස්කෘතිය භුක්ති විඳීමට ඉඩ ලබාදී තිබුණ ද රාජ නීතියට මුස්ලිම්වරුන් ද යටත් විය යුතු වුහ. මුස්ලිම්වරුන්ට තම පුද්ගලික සබඳතා පවත්වාගෙන යෑමේදී ඔවුන්ට ආවේණික භාවිතාවන් පවත්වාගෙන යෑමේ නිදහස තිබී ඇත. නමුත් පොදුවේ සියලු දෙනාටම ක්‍රියාත්මක වූයේ එකම නීතියකි.
පෘතුගීසි පාලන සමයේ (1505 – 1656) මුස්ලිම්වරුන්ට සිය විවාහ කටයුතු වලදී ද පුද්ගල නීතිය වශයෙන් ද ඉස්ලාම් ධර්මයට අදාළ චාරිත්‍ර පවත්වාගෙන යෑමේ නිදහස තිබී ඇත. නමුත් ඒ හා සම්බන්ධ නඩු විසඳීමේදී පෘතුගසි පාලකයන් විසින් ගෝවේ පාලනය තුළ පැවැති නීතියම මෙරට මුස්ලිම්වරුන් සම්බන්ධයෙන් ද යොදාගෙන ඇත. විශේෂයෙන් දේපළ උරුමයේදී තෙස්තමේන්තු රහිත දේපළ උරුමය සඳහා මෙම ගෝවේ නීති සංග්‍රහය එපරිද්දෙන්ම යොදාගෙන ඇත.
මුස්ලිම් ජාතිකයන්ට අනන්‍ය වූ විධිමත් නීති පද්ධතියක් තම යටත් විජිතය තුළ නොපැවතීම ලන්දේසි පාලකයින්ට ද මුහුණ පෑමට සිදු වූ ගැටලුවක් විය. මේ නිසා ෆ්ලැක් (Iman Willern Falack) නැමති ලන්දේසි ආණ්ඩුකාරවරයා විසින් බතාවියාවෙන් මුස්ලිම් නීති සංග්‍රහයක් ගෙත්වා ගෙන එය ලංකාවේ මුහුදු බඩ පළාත් ඇතුළු ලන්දේසි පාලන බල ප්‍රදේශ තුළ වාසය කළ මුස්ලිම් ජනයාට බල පැවැත්වෙන මුස්ලිම් නීතිය ලෙසට 1770 දී නීතිගත කරන ලදී. ඉන් පසුව ශ්‍රී ලංකාවේ ලන්දේසි බල ප්‍රදේශය තුළ මුස්ලිම් ජනයාට බලපැවැත් වූ නීති සංග්‍රහය වූයේ මෙම ලන්දේසීන් සමයේ පැවති මුස්ලිම් නීති සංග්‍රහයයි. මෙම නීති සංග්‍රහය ලන්දේසි බසින් හඳුන්වා ඇත්තේ Bysondere wellen aangande mooren of mahomelaen නමින් ය. මෙය බතාවියාවේ අංක 09 දරණ ප්‍රඥප්තිය වේ.
1658 මෙරට පෘතුගීසි බලය පරදවා මුහුදුබඩ පළාත්වල බලය අත්පත් කරගත් ලන්දේසීන් ද මුල්කාලීනව මුස්ලිම් වෙළෙඳුන් වෙළෙඳාම තුළ දරණ ලද ස්ථානයට එරෙහිව මුස්ලිම් වෙළෙඳුන් දැඩි තාඩන පීඩන වලට ලක් කළහ. සුමාත්‍රා ජාවා, සෙල්බීස් වැනි දිවයින් වල මුස්ලිම් ජාතිකයන් වෙළෙඳාමේ අත්පත් කරගෙන සිටි බලය හමුවේ ලන්දේසීන්ට මුහුණ පෑමට සිදු වී තිබූ තත්ත්වයන් ද, ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව බලපෑවේය. මුලින්ම ඔවුන් මුස්ලිම් ජාතිකයන්ට සිය ඉස්ලාම් ආගම ඇදහීමට හා ඉස්ලාම් චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කිරීම තහනම් කර ඔවුන් ක්‍රිස්තියානි ආගමට බඳවා ගැනීමට උත්සාහ කළහ.
-උපුටා ගැනීමකි-
නීතිඥ නියාස් මොහොමඩ්