මුල්කාලීන ඉතිහාසයේ මුස්ලිම්වරුන් දැරූ තත්ත්වයට වඩා වැදගත්කමක් ක්‍රි. ව. 12 වෙනි සහ 13 වෙනි සියවස් වලදී ලංකාවේ ඇතිවන දකුණු ඉන්දියානු ආක්‍රමණ හේතුවෙන් ඔවුනට හිමි වේ. ලංකාවේ ධාන්‍යාගාරය වූ රජරට අත්හැර දැමීම ද මෙම ආක්‍රමණ හේතුවෙන් සිංහල රජවරුනට සිදු වීම රටේ ආර්ථිකය රැඳී තිබූ කෘෂිකර්මාන්තය ද්‍රවිඩ ආක්‍රමණිකයන් වාරි මාර්ග විනාශ කිරීම නිසා බිඳ වැටීමත් මෙරට පාලකයින් අසරණභාවයට පත් කරන ලදී. ක්‍රි. ව. 11 සියවස වන විට අනුරාධපුර රාජධානිය අත්හැර දමා පොළොන්නරුවට යෑමට සිදු වීමත් ක්‍රි. ව. 1215 දී කාලිංග මාඝගේ ආක්‍රමණ මගින් පොළොන්නරුව අල්ලා ගැනීමත් මත සිංහල රජවරුනට රටේ නිරිත දිග දක්වා පසු බැසීමට සිදු වේ.
මේ අනුව කෘෂි ආර්ථිකය බිඳ වැටීම නිසා ඒ වන විට සාර්ථකව පැවැති ජාත්‍යන්තර වෙළෙඳාම දෙසට යොමු වීමට ලංකාවේ පාලකයන්ට සිදු විය. මේ වන විට වෙළෙඳ ක්ෂේත්‍රයේ වැඩි ආධිපත්‍යයක් දරමින් සිටි මුස්ලිම් වෙළෙඳුන් සිංහල රජවරුන්ට සහාය දැක්වීමට නොපැකිලව ඉදිරිපත් වුහ. විදේශීය රටවලට අලෙවි කළ හැකි සියලු වෙළෙඳ භාණ්ඩ එක්රැස් කිරීමේ ජාලයක් මුස්ලිම්වරුන් විසින් රට පුරා ඒ වන විට නිර්මාණය කර තිබීම ශ්‍රී ලංකාවේ කුළු බඩු ඇතුළු නිෂ්පාදන සඳහා සාර්ථක විදේශීය වෙළෙඳ පොළක් නිර්මාණය කර තිබීමත් මගින් මුස්ලිම් වෙළෙඳුන්ගේ සහාය මේ වකවානුවේ දී සිංහල රජවරුනට ආශිර්වාදයක් විය. ක්‍රි. ව. 12 වන 13 වන සහ 14 වන සියස් වල පැවැති මෙම ද්විපාර්ශ්වීය සහජීවනය පිළිබඳව අගනා විස්තරයක් Alexander Johnston, R.A. S. of Great Britain anf Island Vol. 2, Part 1 හි දක්වා ඇත.
විදේශ වෙළෙඳ සම්බන්ධතාවන්හිලා වෙළෙඳුන් දැක්වූ දායකත්වයට අමතරව, විදේශ වෙළෙඳ ප්‍රතිපත්ති පිළිබඳ සිංහල රජුන්ට උපදෙස් දීම ද, විදේශයන්ගේ සිදු වූ කාලීන සිදුවීම පිළිබඳ තොරතුරු රජුට දැන්වීම ද හේතුවෙන් අරාබි වෙළෙඳුන් රජුගේ වැඩි ආකර්ෂණයක් දිනාගනු ලැබූහ. උදාහරණ වශයෙන් ලන්දේසි පාලන සමයේදී කන්ද උඩරට රාජධානිය ලන්දේසීන්ගේ යුද බලය මඟින් හුදකලා වූ අවස්ථාවේ දී රජුට තොරතුරු හා ඔත්තු සැපයීම මගින් මෙම වෙළෙඳුන් විශාල කාර්ය භාර්යයක් ඉටුකර ඇත.
ලංකාවේ රජවරුන් අරාබි රාජ්‍යයන් හි කාලිස්වරුන් සමඟ සමීප සම්බන්ධතා පැවැත් වූ බවට අල් බිලාධූරි නම් ඉස්ලාම් ලේඛකයා සිය ග්‍රන්ථයන්හි විස්තර කර තිබේ. මෙසේ ඉස්ලාමීය අරාබි ජාතිකයන් 08 වන සියවසේ සිට 16 වන සියවස දක්වා විටින් විට ලංකාවේ නොයෙකුත් ප්‍රදේශවල විශේෂයෙන්ම සමුද්‍රාසන්න ප්‍රදේශවල සිය ජනාවාස ඇති කරගත්හ. කොළඹ සහ මන්නාරම මුස්ලිම් සුසාන භූමි වලින් හමු වී ඇති ක්‍රි.ව. 10 වන සියවසට අයත් ශිලා ස්ථම්භ දෙකකින් හෙළිදරව් වන සාධක අනුව කොළඹ වරාය ආශ්‍රිතව සහ දිවයිනේ මුහුදු බඩ බොහෝ පෙදෙස්වල මුස්ලිම් ජනාවාස මෙන්ම ආගමික ස්ථාන ද පවතින්නට ඇති බව හෙළිදරව් වී ඇත. මුස්ලිම් රාජ පරම්පරාවල රාජ්‍ය මුද්‍රා සහිත කාසි විශාල ප්‍රමාණයක් මුහුදු බඩ පළාත් වලින් මෙන්ම මධ්‍යම කඳුකරයේ බොහෝ ස්ථානවලින් ද රට තුළ තවත් බොහෝ ප්‍රදේශ වලින්ද සොයා ගැනීම මගින් පෙන්නුම් කරන්නේ ක්‍රි.ව. 10 සියවස පමණ වන විට දිවයිනේ විවිධ පෙදෙස්වල මුස්ලිම් ජනයා වාසය කර ඇති බවය.
සිංහල රාජ සමයේ මෙම අන්‍යාගමිකයින්ට මෙන්ම අන්‍ය ජාතිකයින්ට පවා නිදහසේ ජීවත් වීමටත් තමන් අදහන ලබ්දිය නිදහසේ ඇදහීමටත් නිදහස තිබූ බව තහවුරු වන ඓතිහාසික මූලාශ්‍ර රාශියක් වේ. ක්‍රි. පූ. පස්වන සියවසේ පණ්ඩුකාභය රජ (ක්‍රි. පූ. 437) සමයේ විවිධ ආගමිකයන්ගේ පූජනීය ස්ථාන ඉදි කිරීම සඳහා අනුරාධපුර අගනුවර පිහිටු වීමේ දී සුදුසු ස්ථාන වෙන් කළ බව මහා වංශයේ 10 පරිච්ජේදයේ විස්තර කර ඇත. එහි ශදබ්ි වශයෙන් හඳුන්වා ඇත්තේ අරාබි වෙළෙඳුන් බව E.R. Ayrton (Moorish culture) ග්‍රන්ථයේ පෙන්වා දී ඇත.
ක්‍රි.ව. 1344 දී ලංකාවට සැපත් වූ ඉබන් බතූතා නැමැති ඉස්ලාමීය පූජකවරයා සිය ගමන් වාර්තාවේ (Travels in Asia and Africa-Iban Batutha) දක්වන පරිදි ඔහු පුත්තලම නගරයේ දී ආර්ය චක්‍රවර්ති නැමති පාලකයා විසින් පිළිගත් සුහදශීලි ආකාරයත් ඔහු ශ්‍රී පාදස්ථානය වැඳ පුදා ගැනීමට එහි ගිය ගමනේ දී විවිධ ආගමිකයින් ආගමික වතාවත් වලට සහභාගිව සිටි බවත්, ඔවුන්ට නිදහසේ තම ආගමික වතාවත් කිරීමේ නිදහස පැවති ආකාරයත් විස්තර කර ඇත.
මෙලෙස ඉස්ලාම් භක්තිකයන් ද ලංකාවේ අනෙකුත් ජනතාව සමග සහජීවනයෙන් ජිවත් වූ බව තහවුරු වන ශිලා ලිපියක් ශ්‍රී පාද කන්දේ භගවා ලෙන ගුහාවෙන් සොයාගෙන ඇත. ශ්‍රී නිශ්ශංක මල්ල රජු (ක්‍රි.ව. 1197 – 1196) විසින් ශ්‍රී පාදස්ථානයට ගම්වර කිහිපයක් පූජා කළ බව දැක්වෙන ශිලා ලිපි ආසන්නයේම පිහිටුවා ඇති මෙම අරාබි සෙල් ලිපිය මගින් “අල්ලාහ් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔහුට ( රජුට) ලැබේවා – මිනිස් වර්ගයාගේ පියා” යනුවෙන් සඳහන් වී තිබේ. මෙය 13 වෙනි සියවසට අයත් බවට Ceylon Journel of Science Vol. II Paper 1 හි 20 වෙනි පිටුවේ දැක්වේ. මේ මගින් ද පෙන්නුම් කරන්නේ ඒ කාලයේ දී ද මුස්ලිම් ජනයා ලංකාවේපාලකයන් සමග සුහදශීලීව හා සහජිවනයෙන් වාසය කර ඇති බවයි.
එසේම රොබට් නොක්ස්ගේ Historical Relations – The Island of Ceylon (1681) කෘතියේ ද සිංහල රජවරුන්ගේ මෙම යහගුණය විස්තර කර ඇත.
මහාචාර්ය එස්. ජී. පෙරේරා ‘History of Ceylon’ VOL – 01 ග්‍රන්ථයේ දක්වන පරිදි ක්‍රි.ව. 16 වන සියවසේ මුල් කාලයේ දී කොළඹ වරාය ආසන්නයේත් දිවයිනේ තවත් ප්‍රදේශ ගණනාවකත් මුස්ලිම් ගම්මාන පැවති බවත්, මුස්ලිම් නීතිය යටතේ ඔවුන්ගේ නඩු විසඳීමට විශේෂ අධිකරණයක් පැවති බවත් සඳහන් කර ඇත.
Sir Alecsander Jonston අග විනිසුරුවරයා රාජකීය ආසියාතික සංගමය වෙත ඉදිරිපත් කළ පර්යේෂණ වාර්තාවේ දැක්වෙන පරිදි දිවයිනේ සමුද්‍රාසන්න ප්‍රදේශ වල මුස්ලිම් ජනතාව ගම්මාන වශයෙන් පදිංචිව දීර්ඝ කාලයක පටන් ස්ථාපිතව සිටි බවත්, ඔවුන් තමන්ට ආවේනික ආගමික කටයුතු සහ අධිකරණ ක්‍රමයක් පැවැත් වූ බවත්, විස්තර කර පෙන්වා තිබේ.
1 වන පරාක්‍රමබාහු (ක්‍රි.ව 1153 – 1186) රජ සමයේ මුස්ලිම් වෙළෙඳුන් නිතර පාහේ අගනා තෑගි බෝග රැගෙන රජු බැහැදැකීමට ආ බවත්, රජතුමා ඔවුන් සමඟ හිතවත් සබඳතා පැවැත්වූ බවත්, චුල වංශයේ සඳහන්ව ඇත. මේ අනුව විදේශ වෙළෙඳාමට අමතරව විදේශ රාජ්‍ය සබඳතා පුළුල් කර ගැනීම සඳහා සිංහල රජවරුන් මෙම මුස්ලිම් වෙළෙඳුන් සමඟ මිත්‍ර සම්බන්ධතා පවත්වන්නට ඇති බවට විශ්වාස කළ හැකිය. විදේශීය වෙළෙඳාම වඩාත් ක්‍රමවත් කිරීම හා දියුණු කිරීම සඳහා දේශීය භාණ්ඩ නිෂ්පාදන කර්මාන්ත දියුණු කිරීමට අත්තරංගධූර නමින් වෙනම අංශයක් මෙම වකවානුවේ රජය විසින් පිහිටුවා තිබූ බවත්, විදේශීය වෙළෙඳුන්ගේ වැඩිම ඉල්ලුමක් ඇති ද්‍රව්‍ය නිෂ්පාදන කර ඉදිරිපත් කිරීම මගින් නිර්යාත වෙළෙඳාම දියුණු කිරීමට එමගින් පියවර ගෙන ඇති බවත් වංශ කතා මගින් පෙන්නුම් කර ඇත.
සිය රජ සමයේ දී එනම් 1164 දී ශ්‍රී ලංකාවේ විදේශ වෙළෙඳාමේ යෙදුන මෙම වෙළෙඳුන්ට බුරුමයේදී අතවරයන් සිදු කිරීම නිසා බුරුමය ආක්‍රමණය කිරීමට 1 වන පරාක්‍රමබාහු රජුට සිදු වූ අතර, ඒ සඳහා මුස්ලිම් වෙළෙඳුන් ඔත්තුකරුවන් සේ ක්‍රියා කර ඇත.
යාපහුව රාජධානිය බවට පත් කර ගෙන විසූ 01 බුවනෙකබාහු රජු (1272 – 1284) ඊජිප්තුවේ මම්ලුක් රජු වෙත අල්හාජ් අබු උත්මාන් නැමැති මුස්ලිම් ජාතිකයෙක් සිය දුතයා ලෙස යවා ඇත.
එසේම යාපහුවේ ෂ වන බුවනෙකබාහු රජ සමයේ දී නිර්මාණය කළ යාපහුවේ සිංහ රුව ග්‍රීක කැටයම් කලා සම්ප්‍රදායට අයත් නිර්මාණයක් වන අතර අධිරාජ්‍ය සමග ද විදේශ සම්බන්ධතා එවකට පැවති බව ඒ අනුව තහවුරු වේ. මෙම විදේශ සබඳතා පවත්වා ගෙන ගොස් ඇත්තේ මුස්ලිම්වරුන් මගින් බව ඓතිහාසික සාධක තහවුරු කරයි.
උඩරට රාජ්‍ය සමයේ දී ඉන්දියාව සමග විදේශීය රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගොඩනගා ගැනීම සඳහා රාජ ධූතයන් වශයෙන් බොහෝ විට යවා ඇත්තේ මුස්ලිම් ජාතිකයන්ය. ඊට ප්‍රධාන හේතුව වන්නට ඇත්තේ ඔවුන්ගේ විදේශ භාෂා දැනීමත්, විදේශ සංචාර වලදී සහ විදේශ සබඳතා ගොඩ නගා ගැනීමේ දී ඔවුන් තුළ තිබූ විශිෂ්ට කුසලතාවක් විය හැකිය. ඒ අනුව සිංහල රජවරුන්ගේ විදේශ ප්‍රතිපත්ති හා විදේශ සබඳතා වලදී මුස්ලිම් ජාතික වෙළෙඳුන්ගේ සහාය ලබා ගන්නට ඇත.
උඩරට ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයන්ගේ වාසගම යෙදීමේදී සිංහලයින්ගේ මෙන්ම ඔවුන් රජුට ඉටුකළ සේවාවන් පද නම් කොට ගෙන ඇත. වර්තමානයේ පවා උඩරට ඇතැම් මුස්ලිම්වරුන් තානාපති ගෙදර වාසගම දැරීම මගින් පිළිගත හැක්කේ එම පරපුරේ ආරම්භක මුස්ලිම්වරයා රජුගේ තානාපති සේවයේ යෙදුනෙකු විය හැකි බවයි.
ශ්‍රී ලංකාවේ පමණක් නොව තායිලන්තය, බුරුමය වැනි රට වල පවා රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වලදී මුස්ලිම් ජාතිකයන් තානපති සේවයේ යොදවා ඇති බවට සාධක දක්නට ලැබේ. තායිලන්තයේ ආයෝධ්‍යා රාජධානියේ තායි රජවරු මුස්ලිම් ජාතිකයන් තානාපතිවරුන් ලෙස විදේශ වලට යවා ඇත. බුරුම රාජ්‍යය පර්සියන් රජවරුන් සමඟ පර්සියානු භාෂාවෙන් විදේශ සබඳතා පවත්වා ඇත්තේ මුස්ලිම් ජාතිකයින් මගිනි. මේ අනුව එම රටවල ද පදිංචි වූ මුස්ලිම්වරුන් මේ වන විට ඒ දෙරටේම ප්‍රබල සුළු ජාතියක් ලෙස වාසය කරති.
Secret Minutes of the Dutch Poltcal Council – (1762) වාර්ථාවේ (edited and translated by J.H.O. Pouluz Colombo – 1954 – Page 126) දැක්වෙන පරිදි ලන්දේසින් සමග ගැටුම් ඇති කර ගෙන සිටි කන්ද උඩරට කීර්ති ශ්‍රී රාජසිංහ රජු (1747 – 1781) හමුවීමට ත්‍රිකුණාමලයේ සිට ගන්නෝරුව දක්වා ගිය ජොන් පයිබර්ස් නම් ඉංග්‍රීසි ජාතිකයාගේ පරිවාර නිලධාරියා ලෙස රජතුමා යවා ඇත්තේ. මුස්ලිම් ජාතික මවුලා මුහන්දිරම්ගේ පුතා වන උදමා ලෙබ්බේ නවාබ් නැමැති මුස්ලිම් ජාතික තරුණයෙකි.
මෙලෙස සිංහල රජවරුන්ගේ සිත් දිනා ගැනීම හේතුවෙන් මුස්ලිම් වෙළෙඳුන්ට දිවයිනේ පදිංචි වීම සඳහා රාජ්‍ය අනුග්‍රහයෙන් ඉඩම් ලබා දී තිබේ. මේ අනුව ඉස්ලාම් ධර්මය ඇදහීම සඳහා ඔවුන්ට රජු විසින් ලබා දුන් නිදහස මත ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජාතිකයන් පදිංචි ප්‍රදේශවල මුස්ලිම් දේවස්ථාන ඉදිකිරීම ද සිදු වී ඇත.
ශ්‍රී ලංකාවේ රජවරුන්ගේ මෙම කරුණා භරිත සැලකිලි හේතුවෙන් රජයෙන් පිරිනමන ලද ඉඩම් තුළ ඉදිකෙරුණු මුස්ලිම් ගම්මාන මෙන්ම මුස්ලිම් දේවස්ථාන රාශියක් ද මේ දක්වා දිවයින තුළ දක්නට ලැබේ. මහනුවර කාටු පල්ලිය, මද්දුල් බෝව පල්ලිය, කහටපිටිය පල්ලිය මෙසේ රාජ්‍ය දීමනා යටතේ ලැබු ඉඩම්වල ඉදි වූ මුස්ලිම් දේවස්ථාන වේ.
එපමණක් නොව මුස්ලිම් භක්තිකයින් ගේ ආචාරශීලී හැසිරිම් රටාවන් හේතුවෙන් බෞද්ධ ජනතාවගේ විශ්වාසය දිනා ගැනීම නිසා බෞද්ධ විහාරස්ථාන සතු විහාර ගම් වලින් ඉඩම් කොටස් භික්ෂුන් වහන්සේලා විසින් මුස්ලිම් ජාතිකයන්ට පරිත්‍යාග කළ අවස්ථා පිළිබඳව ද ඉතිහාසයේ දැක්වේ. පන්ගොල්ලමඩ මුස්ලිම් පල්ලිය ඉදිකර ඇත්තේ දෙගල්දෙරුව විහාරය සතුව තිබූ ඉඩමක් මුස්ලිම්වරුන්ට පරිත්‍යාග කිරීමෙනි. කුරුණෑගල රිදී විහාරය සතුව පැවති ඉඩමක් මුස්ලිම්වරුන්ට පරිත්‍යාග කිරීමෙන් පසුව එම ඉඩම තුළ රඹුක්කන්දන පල්ලිය ඉදි කර ඇත.
මෙසේ වෙළෙඳාම සඳහා පැමිණි ඉස්ලාම් භක්තිකයින් රටේ විවිධ ප්‍රදේශවල ස්ථානගත වෙමින් දිවයින පුරා මුස්ලිම් ජනාවාස ඇති කරගෙන දිර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව තුළ බොහෝ ප්‍රදේශ තම ජනාවාස බවට පත්කරගෙන ඇත.
-උපුටා ගැනීමකි-
නීතිඥ නියාස් මොහොමඩ්