බග්දාදයේ හාජ්ජාජ්ට අනුරාධපුර යුගයේ මානවම්ම රජු යැවූ තෑගි කොල්ල කෑම නිසා දාහිර් රාජාට පකිස්තානය අහිමි වූ හැටි.
ලංකාව සහ අරාබිය සබඳතා ආරම්භය.
ලංකාවේ ජනාවාස වීම් විවිධ ස්වරූපවලින් සිදුවී තිබෙන බව පුරා විද්‍යාත්මක පර්යේෂණවලින් ප්‍රමාණවත්ව තහවුරු වී අවසන්. එම ජනවාස වීම් අතර මධ්‍යම හා බටහිර ආසියානු කලාපයෙන් පැමිණි අරබීන් සහ පර්සියානුවන් වැදගත් වෙති. වාණිජ කටයුතු වෙනුවෙන් විදේශිකයන් ලංකාවට පැමිණීම ගැන සඳහන් කරන මහාචාර්ය හේම් චන්ද්‍රරාය මහතාට අනුව “ප්‍රථමයෙන් රෝමවරු වෙළඳාම සඳහා ලංකාවට පැමිණ ඇත. ඔවුන් පසුපස අරාබීන් සහ පර්සියානුවන් ද මෙහි පැමිණිය හ. පසුව රෝමවරු පසුබැසීමත් සමඟ පර්සියන්වරු මෙහි තහවුරු වූහ. ඉස්ලාමයේ උදාවත් සමඟ පර්සියන්වරු ඉස්ලාම් දහම පිලිපැදීමත් අරාබි භාෂාව කතා කිරීමටත් පටන් ගත්හ. ඔවුහු චීන සේද ඇඳුම් සහ ලංකාවේ නිෂ්පාදිත ද්‍රව්‍ය ලංකාවේ දී ගනුදෙනු කළහ.” (1) 1806 සිට 1819 දක්වා ලංකාවේ අගවිනුසුරු ලෙස සිටි ඇලෙක්සැන්ජර් ජොන්ස්ටන් අරාබියේ සිට ලංකාවට අරාක්ෂාව සොයා පලා ආ පිරිසක් පිළිබඳව මෙසේ වාර්තා කරයි. මෙම කණ්ඩායමත් මෙරට ජනවාස වීම් ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුවහන් කරයි.
“හෂිම් අබ්ඩ්-අල්-මෙලෙක්-බෙන් මර්වාන් (ක්‍රි.ව 685-705) කාලීෆ් රජුගේ මර්ධන ක්‍රියා නිසා අරාබියෙන් පලා යන්නෝ ශ්‍රී ලංකාවට පැමිණිය හ. යුප්‍රටීස් ගංගාවෙන් දකුණු දෙසට ගමන් කළ ඔවුහු ඔවුන්ගේ පළමු ජනාවාස කොන්කානිය, ශ්‍රී ලංකාව සහ මලක්කාව යන රටවල පිහිටුවා ගත්හ. ශ්‍රී ලංකාවට පැමිණි කණ්ඩයම දිවයිනේ ඊසාන, උතුරු, හා බටහිර දිග වෙරළ ප්‍රදේශයේ, එනම් ත්‍රිකුණාමලයේ, යාපනයේ, මාන්තොට, මන්නාරමේ කුදිරමලේ, පුත්තලමේ, කොළඹ, බේරුවල සහ ගාල්ලේ ජනාවාස අටක් පිහිටුවා ගත්හ. මුස්ලිම්වරුන් මේ පරම්පරාගත සිද්ධිය සිය සිත් සතන්හි නොමැකෙන පරිදි සටහන් කර ගන්නට ඇත. ඒ සාධාරණ අභිමානයකින් යුතුව, ඔවුන්ට ශුද්ධ වූ මුහම්මද්තුමාට නෑ සබඳකම් දක්වන්නට හැකි වූ බැවිනි.” (2) අභ්‍යන්තර ගැටුම් ඇති වීම නිසා අරාබියාවේ ඇතැම් පිරිස් ආරක්ෂාව වෙනුවෙන් වෙනත් රටවල් කරා සංක්‍රමණය වීමක් සිදු වී තිබෙන බව පැහැදිලි ය.
මානවර්මන් හෙවත් මානවම්ම රජු බලයට ඒම.
හයවන සියවසයේ බටහිර ආසියාවේ ආරම්භ වූ ඉස්ලාමීය බලය ක්‍රමයෙන් මධ්‍යම හා නැගෙනහිර ආසියාවට ව්‍යාපත් වීමට පටන් ගත් කාල වකවානුවේ අනුරාධපුර පාලන බලය හිමිකර ගැනීමට ලම්භකර්න පරම්පරාවේ මානවම්ම රජු සමත් වූවේ ය. මානවම්ම කුමරා II වන කාශ්යප රජුගේ පුත්‍රයා ය. මානවම්ම කුමරා කුඩා කාලයේ දී ම පියා වූ කාශශ්‍යප රජු මිය ගියේ. ඉන්පසු තමාගේ බාප්පා වූ දප්පුල රජු යටතේ හැදී වැඩුනේ ය. නමුත් ඉන්දියාවේ සිට පැමිණි II වන දාඨෝපතිස්ස රජු දප්පුල පරාජය කර අනුරාධපුර බලය පැහැර ගත්තේ ය.එ නිසා දප්පුල රජු මානවම්ම කුමරු ද රැගෙන රුහුණට පලා ගියේ ය. දප්පුල රජු රුහුණේ සිට සටන් කරන අවධියේ දී මානවම්ම කුමරු ලක්දිව උතුරු ප්‍රදේශයට රහසේම පලා ගියේ දාඨෝපතිස්ස රජුගෙන් ආරක්ෂා වීම සදහා ය. ඉන්පසු කුමරු උතුරුකරයේ සිටිය දී මලය අර්ධද්වීපයේ කුමාරිකවක් (කාම්බෝජය) වන සංඝා කුමරිය සමග විවාහ වූවේ ය. ඒ අතර II වන දාඨෝපතිස්ස රජු හා දප්පුල රජු අතර ඇති වූ සටනේ තම බාප්පා වූ දප්පුල රජු මිය යාම හේතුවෙන් මානවම්ම කුමරා දකුණු ඉන්දියාවේ පල්ලව රාජ්‍යයට පලා ගියේ ය. එහි එවක පාලකයා වූයේ I වන නරසීහ වර්මන් රජු ය. මානවම්ම කුමරා තමා කවුරු ද යන වග පල්ලව රජු ට හදුන්වා දී එම රජුගේ යුධ හමුදාවට බැඳුනේ. පල්ලව රජු බටහිර චාලුක්‍ය පාලකයන් ට විරුද්ධව කළ සටන් කීපයකට මානවම්ම කුමරු ඉතා සාර්ථකව හමුදා මෙහෙයවා ඉතා විශිෂ්ඨ ජය අත්කරගෙන පල්ලව රජුගේ හිත දිනාගත්තේ ය.
වසර 30 කට පමණ පසුව පල්ලව හමුදාව ද ඇතිව මහාතිත්ථ වරායෙන් ලංකාවට ගොඩබැසි මානවම්ම කුමරා උතුරු ප්‍රදේශය ජය ගෙන අනුරාධපුරයටත් පහර දුන්නේ ය. මේ කාලයේ ලංකාවේ පාලනය අන්තයටම පිරිහී තිබූ නිසා ඉතා පහසුවෙන් අනුරාධපුරය ඔහු අත්පත් කරගත්තේ ය. පසුව මානවම්ම කුමරා හත්ථදාඨ රජු හා සටන් කර ඔහුව රජු අන්ත පරාජයකට පත් කළේ ය. එහිදි රජු මිය ගිය පසු ක්‍රි.ව 691 දී අනුරාධපුරයේ රාජ්‍යත්වයට පත් වීමට රාජ්‍ය උරුමය තිබුණු මානවම්ම කුමරා ට හැකි විය. මානවම්ම කුමරා රජ වී වසර 35 කට ආසන්න කාලයක් ලංකාව පාලනය කළේ ය. වසර 60 කට පමණ ආසන්න කාලයක් පැවති අභ්යන්තරික අර්බුද ආරවුල් සියල්ල නිමවා නව දේශපාලනික, ආර්ථික, ආගමික, සංස්කෘතික ප්‍රබෝධයක් ඇති කිරීමට මානවම්ම රජුට හැකි විය. ඔහුගෙන් ආරම්භ වන ලම්භකර්ණ රාජ්‍ය පරපුරු වසර 300ක ස්ථාවර පාලනයක් ගෙන ගියේ ය. මෙම කාලය තුළ අනුරාධපුර සහ බග්දාදය අතර සමීප වෙළඳ, ශාස්ත්‍රීය, ආගමික, සංස්කෘතික හා රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ගොඩ නැගී තිබුණි. (3)
බග්දාදයේ ආණ්ඩුකාර හජ්ජාජ්
උමයියා කලීෆතයේ ප්‍රබලම ආණ්ඩුකාරවරයා සිටියේ බග්දාදයේ ය. ඒ හජ්ජාජ් ඉබ්නු යූසුෆ් ය. හජ්ජාජ්ගේ ප්‍රබලත්වය කෙසේ වීද යත් කලීෆත් පාලක වලීද්ගේ තීරණ රැසකට හජ්ජාජ්ගේ මතය බෙහෙවින්ම බලපෑවේ ය. මොහු ඉරාකයේ ප්‍රතිසංස්කරණ රැසක්ම සිදු කළේ ය. ඉරාකයට පර්සායානු භාෂාව වෙනුවට අරාබි භාෂාව හඳුන්වා දුන්නේ ය. සසානියානු මුදල් වෙනුවට නව මුදල් හඳුන්වා දුන්නේ ය. නව බඳු ප්‍රතිපත්ති, ආර්තික ප්‍රතිසංස්කරණ, නගර සැලසුම්, කෘෂිකර්මාන්තය දියුණු කිරීම, වාරිමාර්ග පද්ධති සකස් කිරීම ආදිය ඒ අතර විය. මීට අමතරව දක්ෂ ලෙස අසල්වැසි ප්‍රදේශ තම පාලනයට නතු කරගැනීමටත් මොහු සමත් විය.
අරාබීන්ගේ වෙළඳ කටයුතු සඳහා නාවික මාර්ග සුරක්ෂිත කිරීම මොහුගේ ප්‍රධාන අරමුණක් විය. ඒ සමයේ ඉන්දීය වෙරළ තීරය ඔස්සේ චීනය දක්වා වෙළඳ කටයුතුවල නිරතු වූ අරාබීන්ට තිබුණු ප්‍රධානම ගැටලුව වූරයේ මුහුඳු කොල්ලකරුවන්ගෙන් ආරක්ෂා වීමයි. එය තම වගකීමක් යැයි හජ්ජාජ් සිතුවේ ය. සිය ඥාති පුතෙකු යොවුන් වියේ පසුවෙද්දීම සෙන්පති ලෙස පත් කිරීමට හජ්ජාජ් කටයතු කළේ ය. තමවමත් 18 වන වියේ පසු වූ එම සෙන්පතියා වූ මුහම්මද් බින් කාසිම්ගේ නායකත්වයෙන් මෙහෙයවනු ලැබූ හමුදාව රාජා දාහිර්ගේ සින්ද් රාජ්‍යය හෙවත් වර්තමාන පකිස්තාන හා උතුරු ඉන්දීය ප්‍රදේශය යටත් කර ගැනීමට සමත් විය.
මානවම්ම රජුගේ රාජ්‍ය තාන්ත්‍රිකත්වය
මානවම්ම රජු ඉතාමත් නැණවත් අයුරින් රාජ්‍ය තාන්ත්‍රිකව කටයුතු සිදුකකරමින් රාජ්‍ය පාලනය ගෙන ගියේ ය. ඔහු ඉන්දියාවේ සිටි සමයේ බග්දාදය පිළිබඳවත් අරාබීන්ගේ නැගී එන බලය පිළිබඳවත් අවබෝධයක් ලැබුණා විය හැකි ය. එමෙන්ම ඔහු පල්ලව රාජ්‍ය පාලනය සමීපව දැක ගත් නිසා රාජ්‍ය පාලනය පිළිබඳව මනා වැටහීමහක් හා අත්දැකීමක් ද තිබුණි. එනිසා ඔහු බග්දාදය සමඟ හිතවත් වීමෙන් දෙයාකාරයක වාසියක් තමන්ට හිමි කරගත හැකි යැයි සූක්ෂම සැලැසුමක් සකස් කළේ ය. පළමුව බග්දාදය සමඟ සබඳතා තර කිරීමෙන් ආනයන අපනයන ආර්තික වාසිය හිමි වන්නේය. මන්ද ඒ කාලයේ ලෝක වාණිජ ආධිපත්‍ය හිමි වී තිබුණේ අරාබීන්ට ය. දෙවනුව මැද පෙර දිග ඉස්ලාම් ආගමත් සමඟ ගොඩනගාගත් ස්තාවර දේශපාලන වටපිටාව නුදුරේම ඉන්දීය උප මහද්වීපය දක්වා ව්‍යාපත්ත වනු ඇතැයිත් හෙතෙම උපකල්පනය කළේ ය. ඒනිස මැදපෙරදිග සමඟ සබඳාතා ශක්තිමත් කිරීමෙන් රටේ ආරක්ෂාවත් තහවුරු වන ඇතැයි මානවම් රජු සිතුවේ ය. උපායශීලීව කටයුතු කල මානවම්ම රජුට කදිම ඒ සඳහා අදහසක් පහළ විය. හජ්ජාජ් බින් යූසුෆ්ගේ හොඳ හිත දිනා ගැනීමට ඔහු තෑගි භෝග මෙන්ම මෙරටට මර්වාන්ගේ තාඩන පීඩන කාලයේ පළා අවුත් පදිංචි වී සිට මරණයට පත්වූ අරාබීන්ගේ අනාත වූ දරුවන් හා කාන්තාවන් ඔහු හජ්ජාත් වෙත නැවත යැවීමට තීරණය කළේය. අනාත දරුවන් රැගෙත් නැවක අරාබීන් බෙහෙවින් ප්‍රිය කරන ඇත් දළ, මැණික්, සුවඳ විලවුන් ආදි වටිනා වස්තූන් ඇතුළ තෑගි බෝග රැසක් පුරවා හජ්ජාජ් වෙත මානවම්ම රජු පිටත් කර හැරියේ ය. මෙම අනාථ කණ්ඩායම සහ තෑගි යවනු ලැබුවේ මානවම්මගේ බාප්පා වූ දාඨෝපතිස්ස බවත් ඒ ක්‍රි.ව 700 දී බවත් සඳහන් වේ. (4)
සින්ද් දේබාල් තොටුපල අසල මානවම්ම රජුගේ තෑගි කොල්ල කෑම.
ලංකාව සිට බග්දාදය බලා පිටවන නැව් යායුතු වූයේ ඉන්දීය වෙරළ තීරය දිගේ වර්තමාන කරාච්චි පිහිටි දේබාල් තොටුපල හරහා ය. එනම් දාහිර්ගේ සින්ද් රාජ්‍ය අසලිනි. වර්තමාන පකිස්තානයේ අවසාන හින්දු පාලකයා වූයේ දාහිර් ය. චච්නාමා නම් සින්ද් හි ඉපැරණි වංශකතාවට අනුව “උමයියා කලීෆතයේ මුහම්මද් බින් කාසිම් මෙහෙය වූ හමුදාව විසින් දාහිර්ගේ රාජධානිය ආක්‍රමණය කරනු ලබීය.”(5) මෙම සිදුවීම ඉතිහාසඥ අලි-බලාසුරි මෙසේ ලියා තැබීය. “ක්‍රි.ව 715 දී අරාබිවරුන් විසි සින්ද් දේශය අල්ලා ගනු ලැබීමට පෙරාතුව රූබි දිවයිනේ (ශ්‍රී ලංකාව මෙනමින් හඳුන්වා ඇත) රජු ඉරාකයේ බලසම්පන්න හජ්ජාජ් බින් යූසුෆ් ප්‍රතිරාජයාගේ හොඳ හිත දිනා ගැනීම පිණිස ශ්‍රී ලංකාවේ දී උපත ලැබූ අනාථ ගැහැනු ළමයින් පිරිසක් පෙරළා සියරට යැවූ බව ප්‍රකාශ වේ. මුස්ලිම් වෙළෙන්දන් වූ ඔවුන්ගේ පියවරුන් මිය ගොස් තිබිණි. ඒ ගැහැණු ළමයින් රැගෙන ගිය නෞකාවට වර්තමාන කරච්චිය අසල දී මුහුදු කොල්ලකරුවන් විසින් පහර දෙන ලද අතර, ඒ සිද්ධිය සින්ද් රට අරාබි අධිරාජ්‍යයට ඈඳා ගනු ලැබීමට හේතු වූවේ ය.” (6)
දේබාල් අසල කොල්ලකරුවන් විසින් පැහැරගනු ලැබූ දරුවන් සහ කාන්තාවන් යුද කොල්ලය ලෙස සිරගත කරනු ලැබූ හ. සිරගත කර සිටිය දී ඉන් එක් ස්ත්‍රීයක් විසින් බග්දාදයේ ආණ්ඩුකාර හජ්ජා වෙතජ සංදේශයක් යවමින් සෙරන්දිබ් රජුගේ තෑගි සහ සෙරෙන්දිබ් හි අනාතයන් ලෙස ආණ්ඩුකා තුමා වෙත පිටත් කර යවනු ලැබූ තම කණ්යාමට අත්වූ ඉරණම පහදා තම කණ්ඩායම මුදවා ගන්නා ලෙස ආයාචනා මෙසේ ආයාචනා කළා ය. ‘ඕ හජ්ජාජ් සහායවනු’. (7) ඊට ප්‍රතිචාරයක් ලෙස බග්දාදයේ ආණ්ඩුකාර හජ්ජාජ් සින්ද් හි රජු දාහිර් රාජාගෙන් ඔවුන් නිදහස් කරන මෙන් ඉල්ලීමක් කළේ ය. නමුත් දාහිර් ප්‍රතිචාර දක්වමින් කියා තිබුණේ මුහුඳු කොල්ලකරුවන් කෙරෙහි තමන්ට බලයක් නැති බවයි. (8)
ලංකාව සිට ගිය අනාථ දරුවන් නිදහස් කිරීමේ මෙහෙයුම.
ඉන්පසු හජ්ජාජ් විසින් යුද කොල්ලය ලෙස තබා ගත් පිරිස නිදහස් කිරීම සඳහා සෙන්පති මුහම්මද් බින් කාසිම් යටතේ විශාල සේනාවක් පිටත් කර හැරියේ ය. හින්දු නදිය තරණය කිරීමට අවස්තා තුනක දී උත්සහ කළත් කාසිම්ගේ නදිය හමුදාවට තරණය කළ නොහැකි වූයේ දාහිර්ගේ බාධා කිරීමට අමතරව කාලගුණයෙන් සහ වසංගත රෝගයකින් කාසිම්ගේ හමුදාවට එල්ල වූ අභියෝග හේතුවෙනි. එනිසා හජ්ජාජ්ට කාසිම්ගේ සේනාව ශක්තිමත් කිරීමට උදව් සහ උපකාරක සේනා යැවීමට සිදු විය. කාසිම්ට එම ප්‍රදේශයේ ‘මෙද්’ ආදී ගෝත්‍රවල සහායත් නීරුන්, බජ්රා, කාකා කොලාක් සහ සිවිස්තාන් වැනි බෞද්ධ ප්‍රාදේශීය පාලකයන්ගේ සහායත් ලැබුණි. අවසානයේ ඉන්දු නදිය තරණය කළ කාසිම්ගේ සේනාව දේබාල් අසල දාහිර්ගේ පුත්‍රයා විසින් මෙහෙය වූ හමුදාව පරාජය කර දාහිර්ව ද මරා දැමීට සමත් විය.
පසුව යුද කොල්ලය ලෙස තබා ගත් ශ්‍රී ලංකාවේ මානවම්ම රජු යැවූ දරුවන් සහ අනාථයන් ඔහු නිදහස් කළේ ය. දෙවනුව පෙර මෙහෙයුම්වල දී අත් අඩංගුවට ගත් පිරිසත් ද නිදහස් කළේ ය. දාහිර්ට හිතවත් තවත් ප්‍රදේශ කිහිපයක් ද යටත් කරගත් කාසිම් දාහිර්ගේ බිරිය වූ ‘රානි ලාදි’ ව විවාහ කරමින් සින්ද් හි පාලකයා වූවේ ය. තම පාලනයට නීරුන්, සික්කා, බ්‍රහ්මදත්, අලෝර්, මුල්තාන් සහ ගුජරාට යන ප්‍රදේශත් උතුරින් කෂ්මීරය දක්වා සියලු ප්‍රදේශත් ඈඳා ගත්තේ ය. ඒත් සමඟ ඉන්දියානු සාගරයේ අරාබීන්ගේ වෙළඳ නැව්වල ආරක්ෂාව තහවුරු කිරීමේ හජ්ජාජ්ගේ අවශ්‍යතාවත් ඉටු විය.
මානවම්ම රජු අපේක්ෂා කළ පරිදිම බග්දාදය සමඟ මිත්‍රත්වය තහවුරු වූ නිසා වසර දහසක් සින්ද් සහ ඉන්දායාව පාලනය කළ ඔවුන්ගෙන් කිසිදු තර්ජනයක් ලංකාවට එල්ල නොවීය. ඒ වෙනුවට ඉතා සුහද ගණුදෙනුවක් මනාව ගොඩනැගුනු අයුරු මහාචාර්ය රෝහිත දිසානායකයන්ගේ පර්යේෂණයෙන් තහවුරු වේ. මුහම්මද් බින් කාසිම් දාහිර්ගෙන් සින්ද් ප්‍රදේශය යටත් කරගත් කාලය පටන් වසර දහසක් පුරාම මුස්ලිම්වරු යටතේ එය පාලනය විය. බ්‍රිතාන්‍යයන්ගේ පාලනයට ඉන්දීය උපමහද්වීපය යටත්වී 1947 වසරේ බ්‍රතාන්‍ය නිදහස හිමීවීමෙන් පසු පකිස්තානය බවට පත්වූයේ සින්ද් ප්‍රදේශයයි.
1. චන්ද්‍රරාය, හේම්. 1979, ලංකා ඉතිහාසය, ලංකා විශ්වවිද්‍යාලය.
2. (J.R.A.S Great Britain and Ireland, Vol. I, Part I)
3. දිසානායක, රෝහිත. 2017, ක්‍රි.ව 8-10 සියවස් අතර කාලයේ අනුරාධපුරය සහ බැග්ඩෑඩය අතර වාණිජ සහ සංස්කෘතික සබඳතා.
4. Govt. of Ceylon, Papers laid down before the legislative council of Ceylon
5. Kufi, Ali, Chach Nama.
6. දේවරාජ, ලෝනා. 1994, ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු සහශ්‍රයක ජනවාර්ගික සහජීවනය 900 – 1915
7. Hameedullah, M. 1985, Foreign Relations of the Prophet Muhammed, Hydrabad- India
8. Reddy, Krishna. Indian History.