ඉස්ලාමය හා තිරසාර සංවර්ධනය
තිරසාර සංවර්ධනය යනු ඉස්ලාමයට නව සංකල්පයක් නොවේ, තිරසාර සංවර්ධන මූලධර්ම ශුද්ධ වූ අල් කුර්ආනයේ සහ හදීසයේ සියවස් ගණනාවක් තිස්සේ සිට පැවතෙනු දැකිය හැකි ය. කෙසේ වෙතත්, ඉස්ලාමීය ලෝකයේ ‘තිරසාර සංවර්ධන’ සංකල්පය ආදේශ කර ගෙන ඇත්තේ මෑතකදී ය. ඉස්ලාමය පවසන්නේ පෘතුවියේ සෑම දෙයක්ම මනුෂ්‍යයන් සඳහා දෙවියන් මැවු දායාද යනුවෙනි. අනවශ්‍ය ලෙස විනාශ නොකර හා නාස්ති නොකර පරිසරයෙන් ප්‍රයෝජන ලැබීමට ඉස්ලාමය අනුමැතිය දෙයි. මානව ක්‍රියාකාරකම් පරිසරයට සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහාය විය යුතු බව ෂරිආවේ මතයයි. මානව ක්‍රියාකාරකම් පරිසරයට සහය දැක්විය යුතුය යැයි හා ජනයාගේ අයිතීන් හා අවශ්‍යතා ආරක්ෂා කළ යුතුය යැයි ද මානව ක්‍රියාකාරකම් සමාජීය ආර්ථික සහ ස්වාභාවික පද්ධතිවල අත්‍යවශ්‍ය දේ වර්තමානයෙහි මෙන්ම අනාගතයෙහි ද අවදානමට ලක් නොකළ යුතුය යැයි ද ඉස්ලාමය අණ කරයි. මෙම අධ්‍යයනයේ පරමාර්ථය වන්නේ තිරසාර සංවර්ධන විවාදයේදී ඉස්ලාමයේ භූමිකාව හඳුනා ගැනීමයි. ඉස්ලාමීය සන්දර්භය තුළ තිරසාර සංවර්ධනය යනු මිනිසා සහ පරිසරය අතර සම්බන්ධතාවය නැවුම්ව තබා ගැනීමට අවස්ථාවක් ලෙස සලකනු ලැබේ.
මානව අවශ්‍යතා සපුරා ගැනීම.
තිරසාර සංවර්ධනය යනු සමාජීය හා ආර්ථික සංවර්ධනය සමග පරිසර සංරක්ෂණය සමතුලිත කිරීමේ මානව අවශ්‍යතාවය සඳහා වන ප්රතිචාරයකි. පළමුව අප මානව අවශ්‍යතාවයන් වෙත යොමු වෙමු.
අවශ්‍යතා පිළිබඳ සංකල්පය විවිධ අර්ථකථනයන්ට යටත් වන අතර ඇතැමුන් මෙය මානසික තත්වයක් ලෙසින් දකිති. තවත් ඇතැමුන් පවසන්නේ එය මානව හැකියාවක් බවයි. මිනිස් අවශ්‍යතාවයක් යනු විවිධාකාර භාණ්ඩ, සේවා මෙන්ම සෞඛ්‍යය, අධ්‍යාපනය, රැකියාව, නිවාස, සබඳතා සහ සියලු මිනිසුන් සඳහා පිළිගත හැකි ජීවන තත්වයක් පවත්වාගෙන යාමේ තත්වයන් ලෙස ද වග්‍රහ කර ඇත. පරිසරය හා සංවර්ධනය පිළිබඳ ජගත් කොමිසම විසින් ලබා දී ඇති තිරසාර සංවර්ධනය පිළිබඳ අර්ථ දැක්වීම මගින් මානව අවශ්‍යතා පහත අයුරින් ඉස්මතු කෙරේ:
“අනාගත පරපුරට ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීමට ඇති හැකියාව අවදානමට ලක් නොකර වර්තමාන අවශ්‍යතා සපුරාලන සංවර්ධනය”
මෙම නිර්වචනය තාවකාලික මානයේ වැදගත්කමට හේතු වේ. තාවකාලික මානය අන්තර් හා අභ්‍යන්තර පරම්පරා අවශ්‍යතා ඇතුළත් කරයි. ඇත්ත වශයෙන්ම, මෙය සංවර්ධනයේ ප්‍රතිලාභ බෙදා හැරීමේ සමානාත්මතාවයක් වන අතර අනාගත පරපුරට ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා එකම සම්පතක් භාවිතා කිරීමේ අයිතිය හෝ අවස්ථාව ලබා දෙයි.
මානව අවශ්‍යතා ඉස්ලාමීය දෘෂ්ටියෙන්
ඉස්ලාමීය දෘෂ්ටිකෝණයකින්, මිනිස් අවශ්‍යතා පිළිබඳ සංකල්පය පදනම් වී ඇත්තේ වටාපිටාවේ සියලුම සංඝටක දෙවියන් විසින් නිර්මාණය කරන ලද්දේය යන මූලධර්ම මතය. මිනිසාට මූලික අවශ්‍යතා දෙකක් ඇත.
1) දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් හෝ විශ්වාසයෙන් ඉටු කරන අධ්‍යාත්මික අව්‍යතා
2) දෙවියන් වහන්සේ ඔහු වෙනුවෙන් මැවූ සියලු සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගැනීමෙන් ඉටු වන භෞතික අවශ්‍යතා.
මිනිසා මෙම පෘතුවි ගෝලයේ ආහාර, ජලය, වාතය, ආලෝකය, තාපය, තෙතමනය වැනි ජීවිතයේ අත්‍යවශ්‍ය අවශ්‍යතා සොයා ගනී. එමෙන්ම වාතයේ නිසි පීඩනය, ඔක්සිජන් ප්‍රතිශතය, පසෙහි මූලද්‍රව්‍යයන්, මිනිසාට ජීවත්වීමට හා ජීවිතය විධිමත්ව හා පිළිවෙලට කිරීමට හැකි වන පරිදි නිශ්චිත අනුපාතයකින් යුක්ත කර තිබීම ආදිය මෙයට ඇතුලත් වේ. දෙවියන් මේ පිළිබඳ කුර්ආනයේ මෙසේ පවසයි:
“අල්ලාහ් කෙබන්දෙක්ද යත් අහස් හා පොළොව මැවුවේ ඔහුය. තවද අහසින් ජලය පහළ කර එමගින් ඔබට ආහාර වශයෙන් ගෙඩි වර්ග පිට කරන්නේය. තවද නෞකාව ඔහුගේ අණ පිරිදි මුහුදෙහි ගමන් කරන්නක් ලෙසින් එය ඔබ වසඟට පත් කර ඇත්තේය. තවද ගංගාවන්ද ඔහු ඔබ වසඟට පත් කර ඇත්තේ ය. තවද ඉරු හා සඳු යන එම දෙකම (එහි ගමන් පථයේ නියමිත පරිදි) ගමන් කරන්නා සේ එය ද ඔහු ඔබ වයඟට පත් කර ඇත්තේය. තවද රාත්‍රිය ද දහවල ද ඔහු ඔබ වසඟට පත් කර දී ඇත්තේ ය. තවද ඔබ ඔහුගෙන් ඉල්ලා සිටි සියළු දෙයින්ම ඔහු ඔබට දුන්නේය. එහෙයින් ඔබ ඔහුගේ දායාද ගණන් කළේ නම් එය ඔබට (සංඛ්‍යාවලින්) සීමා කළ නොහැකිය. නිශ්චය වශයෙන්ම මිනිසා අපරාධකාර ප්‍රතික්ෂේප කරන්නෙකුමය.” (ඉබ්රාහීම් 32-34)
අධ්‍යාත්මිකය ගැන කුර්ආනය මෙසේ පවසයි:
“නිශ්චය වශයෙන්ම අහස හා පොලොව මැවීමෙහි හා රාත්‍රිය හා දවාල මාරු වීමෙහි නුවණැතියන්ට සාධක ඇත. ඔවුන් කෙබන්දන් ද යත්, සිටිවනම ද, හිඳගත් සැටියෙන් ද, සිය ඉල මත (හාන්සි වී සිටිමින්)ද අල්ලාහ්ව මෙනෙහි කරති. තවද අහස හා පොළොව මැවීම් පිළිබඳ ද සිතති. ඕ අපගේ හිමියනි ඔබ මෙය නිකරුණේ නොමැවුවෙහි ය. ඔබ සුවිශුද්ධය. තවද අපව ගින්නෙන් ආරක්ෂා කරනු මැන. (ඕ අපගේ හිමියනි) නිශ්චය වශයෙන්ම ඔබ කවරෙකුව ගින්නට ඇතුල් කළේ ද නිශ්චය වශයෙන්ම ඔබ ඔහුව නින්දාවට පත් කළෙහි ය. තවද අපරාධකරුවන්ට කිසිදු උදව්කරුවෙකු නැත.” (යැයි ප්‍රාර්ථනා කරති) (ආලු ඉම්රාන් : 190-192)
ස්වාභාවික පරිසරයේ විවිධ යාන්ත්‍රණයන් මානව වර්ගයාට සේවය කරයි. සියල්ල මවා ඇත්තේ මිනිසාගේ ප්‍රයෝජනයට පමණක්ය, යනු මෙහි අදහස නොවේ. මනුෂ්‍ය වර්ගයා උදෙසා සෑම දෙයක්ම දෙවියන් මැව්වා සේම, තමන්ට තුති පිදීම උදෙසා ඔහු මනුෂ්‍යයන්ව (හා ජින් නම් වන තවත් අද්භූත කොටසක්) මැව්වේය. මෙම මූලික සංකල්ප මත පදනම් වෙමින් ඉස්ලාම් ධර්මය සහ තිරසාර සංවර්ධන වෙතට දැන් අප යොමු වෙමු.
ඉස්ලාමයේ දසුනින් පාරිසරික තිරසාර බව.
ඉස්ලාමය මූලික හැඳින්වීම.
ඉස්ලාමය සමස්ථ ලෝ වැසියන් සඳහා පහළ වුනු ආගමකි. එහි අවසාන දූතයා වූයේ වක්තෘ මුහම්ම්ද් තුමන් ය. ඔහුට දෙවියන් වහන්සේ හෙළි කළ පණිවිඩය ශුද්ධ කුර්ආනයෙහි අඩංගු වේ. එයට අමතරව මුහම්මද් තුමන් සිය අනුගාමිකයන්ට ඔවුන්ගේ ජීවිත ස්පර්ශ කළ ඉගැනුම් ගණනාවක්ම ඉගැන්වීය. හදීස් නම් වන මෙම මාර්ගෝපදේශ ප්‍රවේශමෙන් සටහන් කර සංරක්ෂණය කර ඇත. කුර්ආන් සහ හදීස් යන මෙම මුලාශ්‍ර දෙකින් මුස්ලිම්වරුන් එලොව මෙලොව දිවියට අවශ්‍ය සියලු උපදෙස් ලබා ගනිති. මෙම මුලාශ්‍ර දෙක පදනම් කර ගත් නීති සංග්‍රහය ෂරීආ නම් වේ. ෂරීආ නීති පද්ධතිය ආර්ථික සමාජීය දේශපාලන පවුල් දිවිය වෙළෙඳ හා ණය ගනුදෙනු, ආයෝජනය, රක්ෂණය, දේපළ උරුමය, විවාහය, දික්කසාදය, අනාථයන් රැකබලාගැනීම, තානාපති සේවය ගිවිසුම්, සංග්‍රාමය, අසල්වැසි සත්කාරය, උපත හා විපත ඇතුලු මානව ජීවිතයේ සියලු පැතිකඩ ආවරණය කරමින් ඉතා නැණවත් හා යුක්තිසහග නෛතික ප්‍රතිපාදන ලබා දෙයි.
තිරසාර සංවර්ධනයේ ඉස්ලාමීය පදනම.
තිරසාර සංවර්ධනය යනු මුස්ලිම්වරුන්ට නව සංකල්පයක් නොවේ. කුර්ආනය සහ හදීස් මානව වර්ගයාගේ අධ්‍යාත්මික හා ශාරීරික සුභසාධනය සඳහා වන රාමුව සපයයි. කුර්ආනයේ වැකි 500 කට අධික සංඛ්‍යාවක් පරිසරය හා ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ මුස්ලිම්වරුන්ට මග පෙන්වීම් ලබා දෙන අතර, නබි මුහම්මද් තුමන්ගේ ජීවිතය සහ එතුමන්ගේ කියුම්වල යුක්තිය සහ සමානාත්මතාවය සඳහා ආදර්ශයක් සපයන උදාහරණ රාශියක් ඇත.
‘පොළොවේ ඇති සියල්ල දෙවියන් විසින් මිනිසා සඳහා මැවුවේය’ යනු ඉස්ලාමීය විශ්වාසයයි. නමුත් ඒවායින් ප්‍රයේජන ගැනීම සඳහා කොන්දේසි ඇත. මෙලොව යනු, මිනිසාගේ කෘතඥාවය හා අවනත බව පරීක්ෂා කරන ස්ථානයයි.
මේ පිළිබඳ කුර්ආනය මෙසේ පවසයි:
“තවද අල්ලාහ් පොළොව මරණයට පත් වීමෙන් පසුව අහසින් ජලය පහළ කර එමගින් එයට (නැවත) ප්‍රාණය දෙන්නේය. නිශ්චය වශයෙන්ම මෙහි (සත්‍යයට) සවන් දෙන්නන්ට සාධකයක් ඇත. තවද නිශ්චය වශයෙන්ම (ඔටු ගව එළු යනාදී) සිවුපාවුන්හි ගත යුත්තක් ඇත. උන්ගේ කුසෙහි ඇති මළ හා රුධිරය අතරින් පානය කරන්නන්ට ප්‍රණීත පිරිසිදු කිරි අප (පිට කර) ඔබට පොවන්නෙමු. ඉඳි හා මිදි ඵලවලින් ඔබ බීමද, ප්‍රණීත ආහාර ද ලබා ගන්නෙහු ය. වටහා ගන්නා සමූහයාට මෙහි ද සාධක ඇත. තවද, ‘කඳුවල හා ගස්වලද (මී) වද සාදා ගනු’යයි ඔබගේ රබ් මී මැස්සාට (වහී මගින්) දැන්වූයේය. පසුව ‘සියළුම පළතුරුවලින් අනුභව කර නුඹගේ රබ් ලිහිල් කර දුන් මං අනුගමනය කරමින් යනු’ (යයිද ඔහු දැන්වූයේය). මිනිසුන්ට සුවය ගෙන දෙන විවිධ වර්ණවලින් යුත් බීමක් උන්ගේ උදරය තුලින් නික්මෙන්නේය. නිශ්චය වශයෙන්ම මෙහිද කල්පනා කර බලන සමූහයාට සාධකයක් ඇත. (අන් නහ්ල් 65-69)
ස්වාභාව ධර්මය ෂරීආ පද්ධතිය අගය කරයි
සංග්‍රාමයකට යන විට ද සතුරන්ගේ ස්ත්‍රීන්ට හෝ ළමුන්ට හෝ දුබලයන්ට හිංසා නොකරන ලෙස ද ධාන්‍යය සතුන් හෝ ගස් විනාශ නොකරන ලෙස ද මුහම්මද්තුමන් උපදෙස් දුන්හ. මේ පිළිබඳ කුර්ආනය මෙසේ පවසයි:
(ඕ මුහම්මද්) නිශ්චය වශයෙන්ම ඔබ (මිනිසුන්ට) සෘජු මගට මග පෙන්වනු ඇත. (අන් නහ්ල් : 52)
එසේ වුවද, ඔබගේ හිමි මත දිවුරා (මෙසේ කියනු ලැබේ. එනම්) ඔවුන් ඔවුන් අතර ඇති වී තිබෙන අර්බූදයෙහි ඔබව විනිසුරුවෙකු බවට පත් කර ඔබ කරන්නාවූ තීන්දුව සිය හදවත්හි කිසිදු නොසෑහීමකින් තොරව (පිළි) ගන්නා තෙක් ඔවුන් විශ්වාසිකයන් වන්නේ නැත. (අන් නිසා : 65)
මුහම්මද්තුමන් මෙසේ පැවසුහ : ‘හලාල් (අනුමත) හා හරාම් (තහනම්) දේ පැහැදිලිය. නමුත් මේ දෙක අතර සැක සහිත දේ තිබේ. වරදක් වේ දෝ යන බියෙන් සැක සහිත දෙයින් වැළකී සිටින්නා නිශ්චය වශයෙන්ම පැහැදිලි ලෙසින් තහනම් කර ඇති සියලුම දෙයින් වැළකෙනු ඇත. සැක සහිත දේ කරන්නා නිශ්චය වශයෙන්ම පැහැදිලි ලෙසින් තහනම් කර ඇති දේ කරනු ඇත.’
දෙවියන් කුර්ආනයේ මෙසේ පවසයි :
පොළොවෙහි ඇති සියල්ල ඔබ වෙනුවෙන් මැවුවේ ඔහුමය… (ඕ මුහම්මද්) ‘මා පෘතුවියෙහි නියෝජිතයෙකු පත් කරන්නෙක් වෙ(න්නට ය)මි’යයි මලාඉකාවරුන්ට ඔබගේ හිමි කී මොහොත (මෙනෙහි කරන්න). (එයට) ඔවුන් ‘අප ඔබගේ ප්‍රශංසාව මගින් ආවඩන්නෙමු. තවද ඔබගේ සුවිශුද්ධ බවින් ඔබ ආනිසංශනය කරන්නෙමු. (එසේ කිරීමට අප සිටින විට) එහි කෝලාහල ඇති කර රුධිරය වගුරන කෙනෙකු එහි ඔබ පත් කරන්නේ ද?’ යයි (මලාඉකාවරුන්) ඇසූහ (එයට අල්ලාහ්) ‘ඔබ නොදන්නා දේ මා දනිමි’යයි කීවේය. (අල් බකරා : 29 සහ 30)
දෙවියන් කුර්ආනයේ මෙසේ ද පවසයි:
ජින් හා මිනිස් වර්ගයා මට යටහත් වීමට මිස මා මැවුවේ නැත. (අද් දාරියාත් : 56)
උක්ත යටහත් වීම ෂරීආව වර්ග හතරකට වෙන් කර ඇත:
- අනිවාර්‍ය වගකීම් (ෆර්ල්):
මේ වනාහී පියවි සිහියෙන් හා නිසි වයසට පත් ගැහැණු පිරිමි සෑම මුස්ලිම්වරයෙකු නොවරදවා කළ යුතු ක්‍රියා වේ. එමෙන්ම ස්වාභාවික සම්පත් අසීමිත ලෙස පරිභෝජනය කිරීම ෂරීආව හෙළා දකියි. මක්කාවේ හා මදීනාවේ ඇතැම් ස්ථානවල ගස් පඳුරු කිසිවක් උදුරා දැමීම හෝ සතුන් දඩයම් කිරීම මුහම්මද්තුමන් තහනම් කළහ. මෙම ස්ථානවලට ‘හිමා’යැයි කියනු ලබන අතර මෙය වර්තමානෙය් පවා ඇතැම් මුස්ලිම් රටවල ග්‍රාමීය පෙදෙස්වල මෙවන් තහනම් පවතී. සිවුපාවුන්ගේ ප්‍රයෝජනය සඳහා මෙවන් ස්ථාන නිදහසේ තබන මෙන් ෂරීආව අවධාරණය කරයි. අද අප රටේ පවා අලි මිනිස් ගැටුම් ඇතිව තිබෙන්නේ අලින්ට හිමි ස්ථානවල පවා මිනිස් ක්‍රියාකාරකම් අසීමිතව සිදු කිරීම නිසා ය. හෙවත් හිමා රීතිය නොසලකා හැරීම ය. මේ සඳහා නුතන යුගයේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ කැඳවා එකගතා සම්මත කර ගන්නා නමුත් මේ පිළිබඳ මගපෙන්වීම් ඉස්ලාමය වසර 1400 කට පෙරම අවධාරණ කර ඇත.
- ප්‍රසන්න ක්‍රියා : මුස්තහබ්):
මෙම ක්රියා අනිවාර්්‍ය නොවන නමුත් මුස්ලිම්වරුන්ට කරන මෙන් ඉස්ලාමය උනන්දු කරන ක්රියා වේ. පරිසරය සංරක්ෂණය මුස්තහබ් වර්ගයේ ක්‍රියාවකි. මන්ද පරිසරයේ පැවැත්ම මිනිස් පැවැත්ම හා බැඳි කාරනාවකි.
දෙවියන් මෙසේ පවසයි:
අහස් හත ද පොළොව හා ඒවායෙහි සිටින්නන් ද අල්ලාහ්ව සුවිශුද්ධ කරන්නෝය. තවද කිසිදු දෙයක් ඔහුගේ ප්‍රශංසාවෙන් ඔහු සුවිශුද්ධ කරනු මිස නැත. නමුත් ඔවුන්ගේ සුවිශුද්ධ කිරීම ඔබට නොහැඟෙයි. නිශ්චය වශයෙන්ම ඔහු ඉවසා දර ගන්නාව ද සමා කරන්නාව ද සිටින්නේය. (අල් ඉස්රා : 44)
(ඕ මුහම්මද්) නිශ්චය වශයෙන්ම අල්ලාහ් වන ඔහුට අහස්හි සිටින්නන් ද පොළොවෙහි සිටින්නන් ද සූර්යයා ද චන්ද්‍රයා ද තරු ද කදු ද වෘක්ෂයන් ද බඩගාමින් යන ජීවීන් හා මිනිසුන්ගෙන් බොහෝ දෙනෙකු ද සජදා (හෙවත් සිරස පහත්) කරනු ඔබ නොබැලුවේද? (අල් හජ් : 18)
ඉහත වැකියෙන් අවධාරණය කරනු ලබන්නේ පෘතුවියේ වාසය කරන එකම සමූහය මිනිස් සමූහය පමණක් නොනවන බව හා අන් සියලුම ජීවීන්ට ද පෘතුවිය භාවිත කිරීමේ අයිතිය ඇති බවත් ය. නිදසුනකට මී මැසි වදයක් තුළ සිදුවන විශ්මයජනක හා අතිශය සංවිධානාත්මක ක්‍රියාකාරම් ගැන නවීන විද්‍යාව අද සොයාගෙන ඇති දේ සඳහන් කළ හැකිය.
තවද පොළොවෙහි බඩගාමින් සැරිසරනවුන් හා සිය පියාපත් දෙක මගින් පියාසර කරන පක්ෂියෙකු (අදාන්) ඔබ වැනිම වූ (සංවිධානාත්මක) සමූහයන් මිස (අනෙකක්) නොවේ. (අල් අන්ආම් : 38)
(ඕ මුහම්මද්) නිශ්චය වශයෙන්ම අහස්හි හා පොළොවෙහි සිටින්නන් ද පියාපත් විහිදුවා පියාසර කරමින් සිටින පක්ෂීන් ද ඔහුව සුවිශුද්ධ කරනු ඔබ නුදුටුවේද? (මේ ජීවීන්) සෑම එකක්ම (තම) තමන්ගේ සලාතය හා සුවිශුද්ධ කිරීමේ සැටිය නිශ්චය වශයෙන්ම දන්නේය. තවද අල්ලාහ් ඔවුන් කරන දෙය දන්නාය. (අන් නුර් : 41)
පෘතුවියේ සමතුලිතතාවය දෙවියන්ගේ විශිෂ්ඨ සැලැස්මකි. එය සංරක්ෂණය කිරීමට දායක වීම කුසල් ලැබෙන මෙහෙයකි. දෙවියන් මෙසේ පවසයි:
(ඔහු) පරම දයාබරයාය. මෙම කුර්ආනය (මිනිසාට) ඉගැන්වූයේය. ඔහු මිනිසා මැවුවේය. (කථනයේ) විග්‍රහය ඔහුට උගන්වා දුන්නේය. සූර්යයා සහ චන්ද්‍රයා (ඔවුන්ට හිමි) ගිණුම් අනුවම සිටිති. තරු සහ ගස්වැල් (පවා) ඔහුට සිරස නමති. තවද අහස එය ඔහු උස් කර තරාදිය ඇති කළේය. ඔබ බර කිරීමෙහි සීමාව නොඉක්මවනු පිණිස (ඔහු එසේ කළේය) එහෙයින් ඔබ කිරන දෙය නිසි පරිදි සිදු කරන්න. බර අඩු නොකරන්න. (අර් රහ්මාන් : 1-9)
ඔහු වෙත ඇති සියල්ල නිසි මිණුමෙන්ම ඇත්තේය. (අර් රඅද් : 13)
(ලොව) කිසිදු දෙයක් එහි භාණ්ඩාගාරය අප වෙත තිබී මිස නැත. නමුත් සීමිත ප්‍රමාණයකින් මිස අපි එය පහළ නොකරන්නෙමු. (අල් හිජර් : 21)
- අනුමත ක්‍රියා (මුබාහ්) :
අවසර දී ඇති ක්‍රියාවක් තුල මුස්ලිම්වරයෙකුට පුර්ණ නිදහස ඇත. පාරිසරික කෝණයෙන් මෙය ගත් කල මුහම්මද්තුමන් මෙසේ පැවසූහ : අප්‍රාණික (මුඩු) බිමකට කවුරුන් ජීවය දෙන්නේ ද ඔහුට එහි තෑග්ගක් ඇත. එයින් කුමන ජීවියෙක් අනුභව කළ ද ඔහුට එහි කුසල හිමි වන්නේය’ එමෙන්ම මුඩු බිමක් වගා කළ කෙනෙකුට එම භූමියට හිමිකම ඇත යැයි ද එතුමන් පැවසුහ.
- පිළිකුල් සහගත ක්‍රියා (මක්රූහ්):
මෙම ක්‍රියා වනාහි ඉස්ලාමීය නීතියෙන් තහනම් නොකළ ද සදාචාරාත්මක කෝණයකින් නොකළ යුතු ක්‍රියා වේ. ඒ අනිව මක්රුහ් ක්‍රියාවලින් වැළකී සිටීම ප්‍රසංසනීයය.
- තහනම් කරන ලද ක්‍රියා (හාරම්):
ආගමික කෝණයෙන් වගකීම් සහිත මුස්ලිම්වරුන්ට තහනම් කරනු ලබන ක්රියා වේ. ස්වාභාවික පරිසරයට හානි ඇති නොකර එයින් ප්‍රයෝජන ලැබීමට ඉස්ලාමය අවසර දෙයි.
ඕ ආදම්ගේ දරුවෙනි ඕනෑම මස්ජිදයක(ට පැමිණෙන විට)ම ඔබගේ අලංකාර(ම දෙ)ය (පැළඳ) ගන්න. තවද (අල්ලාහ් ඔබට අනුමත කර ඇති දෙය නොමසුරුව) අනුභව කරන්න, පානය කරන්න. (නමුත්) නාස්ති නොකරන්න. මන්ද යත් නිශ්චය වශයෙන්ම අල්ලාහ් නාස්ති කරන්නන්ව ප්‍රිය කරන්නේ නැත. (අල් අඃරාෆ් : 31)
පරිසරයේ ප්‍රයෝජනය වර්තමාන පරම්පරාවට පමණක් අයිති එකක් නොවේ.
දෙවියන් මෙසේ පවසයි: “පොළොවේ ඇති සියල්ල ඔබ වෙනුවෙන් මැව්වේ ඔහුය.” (අල් බකරා : 29) මෙම වැකියෙන් ආහාර පාන අනුභවය ජීව මුලාශ්‍ර භාවිත කිරීම අදහස් කරයි. එනමුත් ඒ සඳහා නියාමන හා සීමා ඇත. එම සම්පත් තිරසාර වන්නේ එවිටය. එනම් තනි පුද්ගල යහපතට වඩා වත්මන් හා අනාගත සමාජයේ යහපතට මුල් තැන දිය යුතුය. පොළොව හා එහි ඇති සියල්ල හිමි වන්නේ දෙවියන්ට වන අතර මිනිසාට එහි ඇත්තේ බුක්තියේ හිමිකම පමණි. එනිසා පොළොවේ සම්පත්වලට හානි ඇති කිරීමට විශ්වාසිකයෙකුට නොහැක. පොදු සුබසාධනයට මුල් තැන දෙන ඉස්ලාමය විරල සම්පත් සීමිත ලෙසින් භාවිත කරන මෙන් අවධාරණය කරයි.
ෂරීආව සාමජ අගයට මුල්තැන දෙයි
වගකීම (ෆරාද්) බලගැන්වීම (ෂුරා) සමානතාවය (අල් අද්ල් වල් ඉහ්සාන්) උරුම කිරීම (අල් වක්ෆ්) සහ දානය (සකාත්) යන කරුණු තිරසාර සංවර්ධනයේ මුලික සංඝඨක වේ. සමාජ සහජීවනය ගැන කුර්ආනය වසර 1400 කට පෙරම සඳහන් කළේය. සමාජයක් දියුණු විය හැක්කේ සහජීවනය තිබුණොත් පමණි.
දෙවියන් කුර්ආනයේ මෙසේ පවසයි:
මිනිසුනි නිශ්චය වශයෙන්ම අප ඔබව එක් පුරුෂයෙක් හා එක් ස්ත්‍රියකගෙන් මැවුවෙමු. තවද ඔබ එකිනෙකා හඳුනාගනු පිණිස ඔබව ජාතීන් හා ගෝත්‍ර බවට පත් කළෙමු. නිශ්චය වශයෙන්ම අල්ලාහ් වෙත ඔබ අතුරින් උසස් වනුයේ බියබැතියන් ය. නිශ්චය වශයෙන්ම අල්ලාහ් මනාව දන්නාය සංවේදියා (අල් හුජ්රාත් : 13)
අහස් හා පොළොව මවා තිබීම ද ඔබගේ බාෂාවන් හා (සමෙහි) වර්ණ විවිධාකාරයෙන් තිබීම ද ඔහුගේ සාධක අතුරින් වේ. දන්නන්ට මෙහි නිශ්චය වශයෙන්ම සාධක ඇත. (අර් රූම් : 22)
සුබසාධනය වගකීමෙන් යුතුව බෙදා ගැනීම තනි පුද්ගලයන්ගේ මෙන්ම සමූහයක ද වගකීමකි. වගකීම යනු මානව සංවේදිතාවයේ අංගයකි. පොළොවේ දෙවියන් විසින් මිනිසාව ඔහුගේ නියෝජිතයා ලෙසින් පත් කර ඇති පදනම මෙයයි. දෙවියන් ඒ ගැන කුර්ආනයේ මෙසේ පවසයි:
පොළොවෙහි ඇති සියල්ල ඔබ වෙනුවෙන් මැවුවේ ඔහුම ය… (ඕ මුහම්මද්) ‘මා පෘතුවියෙහි නියෝජිතයෙකු පත් කරන්නෙක් වෙ(න්නට ය)මි’ යයි මලාඉකාවරුන්ට ඔබගේ හිමි කී මොහොත (මෙනෙහි කරන්න). (එයට) ඔවුන් ‘අප ඔබගේ ප්‍රශංසාව මගින් ආවඩන්නෙමු. තවද ඔබගේ සුවිශුද්ධ බවින් ඔබ ආනිසංශනය ද කරන්නෙමු. (එසේ කිරීමට අප සිටින විට) එහි කෝලාහල ඇති කර රුධිරය වගුරන කෙනෙකු එහි ඔබ පත් කරන්නේ ද?’ යයි (මලාඉකාවරුන්) ඇසූහ (එයට අල්ලාහ්) ‘ඔබ නොදන්නා දේ මා දනිමි’ යයි කීවේය. (අල් බකරා : 29 සහ 30)
මිනිස් සංහතියේ නිර්මාණයේ අවබෝධය මගින් පුද්ගල වගකීම පිළිබඳ පීඩනය සාක්ෂාත් වන බව පෙනේ. සියලුම අවස්ථාවල තම වැටහීම් (ඉජ්තිහාද්) අනුව කටයුතු කිරීමේ පීඩනය සෑම මුස්ලිම්වරයෙකුටම ඇත.
තීරණ ගැනීමේ ක්‍රියාවලියෙහි මනුෂ්‍යයන් පුර්ණ ලෙසින් සහභාගි විය යුතුය. (එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන 1995) ඉස්ලාමීය කෝණයෙන් ද තීරණ ගැනීමේ සියලුම මට්ටම්වල ප්‍රජා සහභාගීත්වය අවධාරණය කෙරෙයි. මේ පිළිබඳ කුර්ආනය මෙසේ පවසයි:
තවද ඔවුන් කෙබන්දන් ද යත් සිය පරමාධිපතියා (ගේ ආඥා) පිළිගෙන සලාතය ද ඉටු කරන්නෝය. ඔවුන්ගේ කාරියන් තමන් අතර සාකච්ඡා කරන කාරියන්ව තිබෙනු ඇත. (අෂ් ෂූරා : 38)
සමානතාවය යනු ක්‍රියා කිරීමේ නිදහස වුවද එය වත්මන් මෙන්ම අනාගත පරම්පාර ගැන සැලකිලිමත් වෙමින් සිදු කළ යුතුය. දෙවියන් ඒ පිළිබඳ කුර්ආනයේ මෙසේ පවසයි:
“ඔබ අලංකාර ණයක් ලෙසින් දෙවියන්ට ණයක් දුන්නෙහි නම් ඔය ඔබ වෙනුවෙන් දෙගුණ කරනු ඇත. තවද ඔහු ඔබට සමාවද දෙනු ඇත.”
අල් වක්ෆ් නම් උරුම කිරීම දරිද්‍රතාවයට එරෙහි සටනට අත්‍යවශ්‍ය සාධකයකි. ආදායම් මුලාශ්‍රයක් හෝ ප්‍රතිපාදන හෝ රජයේ අනුග්‍රහය මගින් මෙය කළ හැකි ය.
දෙවියන් ඒ පිළිබඳ කුර්ආනයේ මෙසේ පවසයි:
තවද ඥාතීන්ට ද දුගීන්ට ද මගීන්ට ද ඔවුන්ට හිමි දෙය දෙන්න. තවද නාස්ති නොකරන්න. නිශ්චය වශයෙන්ම නාස්ති කරන්නන් සාතාන්ගේ සොහොයුරන් වන්නෝය. සාතාන් (කෙබන්දෙක්ද යත් ඔහු) තම රබ්ව ප්‍රතික්ෂේප කළ කෙනෙකු වූයේය. (අල් ඉස්රා : 26 සහ 27)
සකාත් නම් වන අනිවාර්‍ය දුගී දීමනාව ඉස්ලාමයේ එක් මුලික වගකීමකි. මෙහි පරමාර්තය වන්නේ ධනය බෙදී යාමයි. මේ අනුව වසරක් පාසා දුගීන්ගේ සංඛ්‍යවෙන් යම් ප්‍රමාණයක් අඩු වනු ඇත. මෙහි ප්‍රතිශතය වසරකට වරක් තම තැන්පත් ධනයෙන් හා අමතරව ඇති රන් රිදීවල වටිනාකමින් 2.5 % කි. ඒ අනුව ධනවතුන් හතලිස් දෙනෙකුගෙන් එක් අයෙකුගේ වස්තුවේ ප්‍රමාණයක් දුගින් අතර වසරකට වරක් බෙදී යනු ඇත. මෙහි එක් අරමුණක් වන්නේ හැකියාව ඇති එහෙත් ප්‍රාග්ධනයක් නොමැති විශ්වාසිකයන්ට ජීවනෝපායක් සඳහා පිහිට වීමයි. එමෙන්ම ණය බරින් පීඩිත වී සිටින්නන් ධර්මය වෙනුවෙන් කැපවී සිටින්නන් ආදින් ද සකාත් ලැබීමට සුදුසු අය අතර වෙති. ධනය එක් තැන පල්වීම වැළැක්වීම ද මෙහි එක් ඉලක්කයකි.
ඉහත විස්තර කළ කරුණු අනුව ආර්ථික සමතුලිතතාවය, පරිසර සංරක්ෂණය, සමාජ සුබසාධනය, තිරසාර සංවර්ධනය ආදිය සඳහා ඉස්ලාමය අවධාරණය කරන මගපෙන්වීම් ඉතා විශිෂ්ඨ බව පෙනී යනු ඇත.
නිගමනය
විසි වන සියවසෙහි නුතන ලෝකය අවධානය යොමු කරන්නට වු ඉහත කරුණු ගැන ඉස්ලාමය සියවස් 14 කට කලින්ම අවධානය යොමු කළා පමණක් නොව ඒ සඳහා ප්‍රායෝගික මුලෝපායන් ද ඉදිරිපත් කර ඇත. එයින් ඇතැමක් (නිදසුනකට සකාත් වැනි දීමනාවක් ගෙවීමට ඇතැම් ධනවතුන් අකැමැති විය හැකි බැවින් එය) අනිවාර්යය කිරීම ද ඉස්ලාමයේ නැණවත් පියවරකි. නාස්තිය හා අසීමිත සම්පත් පරිභෝජනය අනුමත නොකිරීම ද සමාජ වගකීම සඳහා වන මාර්ගෝපදේශයකි. මේ සියල්ල ෂරීආ නීති සංග්‍රහයේ ගැබ්ව ඇති විශිෂ්ඨ අංගයන් වේ.